ක්ෂේත්‍රය ගැන අද දැනෙන්නේ කනගාටුවක්

චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමනාකරු සරත් විජේසේකර
දෙසැම්බර් 1, 2022

 

නිෂ්පාදන කළමනාකරුවකු, නිෂ්පාදන විධායකයකු, නිෂ්පාදන සැලසුම් ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස වසර පනහකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායක වී කටයුතු කළ සුවිශේෂ අයකු අද අපගේ අවධානයට යොමු වේ. ප්‍රවීණ සිනමාකරුවන් රැසක් සමඟ දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඔහු පරිණත නිෂ්පාදන කළමනාකරුවකු ලෙස හැඳීන්විය හැකිය. එදා මෙදා තුර ප්‍රවීණ සිනමාකරුවන් රැසක් සමඟ කටයුතු කර ඇති ඔහු, නිෂ්පාදන කළමනාකරුවකු ලෙස දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව විස්සකට ආසන්න වේ. එසේම දායක වී ඇති ටෙලි නාට්‍ය ප්‍රමාණය තිහකට අධික වේ. ඔහු විවිධ අංශයෙන් දායක වී ඇති වෙළෙඳ දැන්වීම් ද අවධානයට යොමුවන සුලු වේ. එසේම පාකිස්තාන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ජෙම්සිඩ් හස්ඩින් අධ්‍යක්ෂණය කළ Mother, Elephant Girl, Pramila වැනි උර්දු චිත්‍රපටවල නිෂ්පාදන කළමනාකරු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

එසේම ඔහු 2012 වසරේ  SIGNIS OCIC  සම්මාන උළෙලේදී ප්‍රථම වරට පිරිනැමූ හොඳම නිෂ්පාදන කළමනාකරු සම්මානයට පාත්‍ර වීමද විශේෂිතය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය සුමිත්‍රා පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිනමාකරුවන්ගේ සිට නව පරපුරේ අධ්‍යක්ෂවරු සමඟ ද කටයුතු කර ඇති පරිණත නිෂ්පාදන කළමනාකරුවකු වූ සරත් විජේසේකර සමඟසිදු කරන මේ සාකච්ඡාවේදී සිනමාවේ හා කලා ක්ෂේත්‍රයේ යුග කීපයක වෙනස්කම් හඳුනාගැනීමට මනා ඉඩකඩක් ඔහු පාදා දෙයි.

නිෂ්පාදන කළමනාකරුවකු ලෙස මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ තිස්ස අබේසේකර මහතා රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ වකවානුවකයි. ඒ අවස්ථාවේ එතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් රත්තරං නමින් වාර්තා චිත්‍රපටයක් කරමින් සිටියේ. ඒ අවස්ථාවේ මේ චිත්‍රපටයේ කටයුතු වෙනුවෙන් එතුමා රජයේ චිත්‍රපට අංශයෙන් එවකට වූ නීති රාමුව අනුව බාහිර පුද්ගලයන් දෙදෙනකුගේ සහය ලබා ගන්න අවසර ඉල්ලා සිටියා. ඒ අනුව සහය අධ්‍යක්ෂ ලෙස සරත් ගුණරත්න සහ කලා අධ්‍යක්ෂවරයා ලෙස කේ.ඒ.මිල්ටන් පෙරේරාවත් සම්බන්ධ කරගනු ලැබුවා. ඒ අවස්ථාවේ මම මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්න තිබූ දැඩි කැමැත්ත නිසාම මිල්ටන් පෙරේරා මහතාගේ සහයක ලෙස සම්බන්ධ වුණේ. ඒ වෙනුවෙන් මට ගෙවීමක් හෝ වැටුපක්වත් ලැබුණෙ නෑ. නමුත් මගේ දැඩි කැමැත්ත නිසා ස්වේච්ඡාවෙන් මම ඒ නිර්මාණයට උදවු වුණා. එතැනදී තිස්ස අබේසේකර මහතා මගේ වැඩපිළිවෙළ දැක මට කිවුවෙ සරත් තමුසෙ හරියන්නේ නිෂ්පාදන කළමනාකරු කියන තනතුරටයි කියා. එතැනින් පස්සෙ එතුමාගේ මහගෙදර, කරුමක්කාරයෝ ආදි නිර්මාණ සඳහා මට දායක වෙන්න ලැබෙනවා. එතැනින් තමයි මගෙ ආරම්භය සිදුවන්නේ.

ඔබේ රාජකාරියේ ප්‍රධාන වගකීමක් ශිල්පීන් කාල වේලාවට සම්බන්ධ කිරීම. සන්නිවේදන පහසුකම් අවම ඒ යුගයේ කොහොමද එය නිවැරැදිව ඉටු කළේ ?

එවකට ඔය මහගෙදර වැනි නිර්මාණ කරන යුගයේ හෑන්ඩ් ෆෝන් වැනි කිසිවක් නැහැනෙ. ශිල්පීන් සම්බන්ධීකරණය මගේ මූලික කාර්යයක්. නිර්මාණයේ පිරිවැය කොහොමද, ශිල්පීන්ට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කොපමණ ද, ඔවුන්ට වෙන් කර ඇති දින ගණන් මොනවාද, ආදි දේ සාකච්ඡා කරගන්න බොහෝ විට ශිල්පීන්ගේ නිවෙස්වලට යා යුතු වුණා. ඒ යන්නෙ බස් එකේ. එතැනදී මේ මේ දිනවල ඔබ පැමිණිය යුතුයි. මේ ඔයාගෙ ගෙවීම, මේ තියෙන්නේ පිටපත. ඔයාට වෙන් කර ඇති බජට් එක මෙන්න, ආදි සියල්ල පැහැදිලි කර දීමේ වගකීම් රාශියක් අපට තිබුණා. නමුත් අද එසේ නොවෙයි. ඊට වඩා විශාල වෙනසක් දකින්නේ.

තිස්ස අබේසේකර මහත්මයා නිතරම කිව්ව දෙයක් තමයි අපි ඔක්කොම ඉන්නෙ තිරය පිටුපස. නමුත් මෙහි ප්‍රධාන ම කෙනා තමයි රංගන ශිල්පියා. රංගන ශිල්පියකුගේ සම්පූර්ණ දායකත්වය උකහාගන්න පුළුවන් වෙන්නේ, එයා රිලැක්ස් වුණොත් විතරයි. ඒ නිසා ශිල්පියාට යහපත් මානසික තත්ත්වයක් තියෙන්න ඕනෑ කියන එක. ඒ නිසා ශිල්පියා පැය විසි හතරකට කලින් අදාළ දර්ශන තලයේ නවාතැනේ නතර කළ යුතුයි කියන එක එතුමා නිතර ම කියූ දෙයක්. චරිතයට අනුගත වන්න එය එය ගොඩක් අදාළයි. එහෙමයි ඒ යුගයේ නිර්මාණයක් ගොඩ නඟද්දී හරිම පිළිවෙළට කටයුතු කළේ. අද එහෙම නොවේ. බොහෝ වෙනස්කම් සිදු වෙලා. එක ටෙලි නාට්‍යයක් සඳහා ශිල්පියකු බොහෝ විට වැය කරන්නේ එක වරුවයි. අනෙක් වරුව වැය කරන්නේ වෙනත් නාට්‍යයක කටයුතු සඳහායි.එතැනදී එකිනෙකට වෙනස් චරිතවලට පිවිසෙන විට එය කොපමණ බැරෑරුම් ද යන්න අවබෝධ කරගන්න වටපිටාවක් තියෙනවා දැයි හිතා ගන්න බෑ. දැඩි වාණිජකරණය වූ වටපිටාවක් දකින්න තියෙන්නේ. එය නිර්මාණයට කොපමණ බලපෑමක් කරයිද කියා මට හිතා ගන්න බෑ.

තිස්ස අබේසේකර වැනි ප්‍රවීණ සිනමාකරුවකු නිර්මාණයක් කරද්දී වැඩ කළේ කොහොමද ?

 

තිර රචනයක් සම්පූර්ණ කර නිම වූ විට එතුමා සාකච්ඡා වට ගණනාවක් තියනවා. සාකච්ඡා එක පහක් හයක් හතක් අටක්.ඒකට සහය අධ්‍යක්ෂවරයා ඉන්න ඕනෑ.කලා අධ්‍යක්ෂවරයා ඉන්න ඕනෑ. කැමරා ශිල්පියා ඉන්න ඕනෑ. නිෂ්පාදන කළමනාකරු ඉන්න ඕනෑ. එතැනදී දර්ශනයෙන් දර්ශනයට කතා කරනවා. ඒ දර්ශන තල තියෙන්නේ කොහේද, ශිල්පීන්ට එහි තියෙන පහසුකම් මොනවාද, කලා අංශය සතුව අදාළ ආම්පන්න ආදි තියෙනවා ද,නිෂ්පාදන කළමනාකරු මඟින් ඒවා ලබා ගන්න පුළුවන්ද ආදි වශයෙන් පිටපතේ හැම දර්ශනයක් පාසා කතා කර නිම කළ පසුයි නිර්මාණකටයුතු ආරම්භ කරන්නේ.එතුමා තරම් වගකීම් සහගත, පරිණත අධ්‍යක්ෂවරයකු දැක නැති තරම්.අද මේ සම්ප්‍රදායන් සියල්ලක් පාහේ වෙනස් වෙලා. අද එදිනෙදා පිටපතකට වැඩ කරන්නේ. එහෙම කොහොමද නිර්මාණයක් සාර්ථක වෙන්නේ? මම විශ්වාස කරන විදියට තිස්ස අබේසේකර මහත්තයා වැඩ කළ පිළිවෙළට යම් තරමකට හරි කිට්ටුවෙන් වැඩ කරන කෙනෙක් තමයි සුදත් රෝහණ. තමා කරන නිර්මාණයට දැඩි සාධාරණයක් කරන්න ඔහු උත්සාහ කරනවා. අද වැඩ කරද්දී ශිල්පියකු වතුර එකක් ඉල්ලුවොත් ප්ලාස්ටික් වතුර බෝතලයක් ගෙනිහින් අතට දෙනවා. එදා එහෙම නෙවෙයි. ශිල්පියකු වතුර වීදුරුවක් ඉල්ලුවොත් ට්‍රේ එකේ තියලයි වතුර එක දෙන්න කියලා තිබුණේ. ඒකයි එදා නීතිය.එදා රංගන ශිල්පියකුට එබඳු ගෞරවයක් තිබුණා. හැබැයි අද ඒ තත්ත්වය නිෂ්පාදන අංශයෙන් දියකර හැරල තියෙනවා වාගෙම ශිල්පීන්ගේ පැත්තෙනුත් දිය කරගෙන තියෙනවා. හොඳම උදාහරණයක් තමයිමහගෙදර චිත්‍රපටය රූගත කරද්දී ලැබුණ අත්දැකීම්. මහගෙදර චිත්‍රපටය රූගත කළේ කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ. එදා ඒ වලව්වට විජයව බලන්න ආ අය හදන් ආ වැලිතලප ද හැලපද නොයෙක් දේ අරගෙන ආවේ. කොටින්ම ඒ වික්‍රමසිංහ වලව්වේ මුරකාරයා මා හරහා ඉල්ලීමක් කළා, විජය මහත්තයා රූපගත කිරීම් නිම කර නැවත යන දිනේ එයා ගානේ එයා අතින්ම දිවා ආහාරය හදා දෙන්න ඕනෑයි කියා. ඉතින් විජය මහත්තයා ඊට කැමැති වුණා. එදා ඒ මනුස්සයා පුදුම විදිහේ සංග්‍රහයක් කළා. ඒවගේම කරුමක්කාරයෝ චිත්‍රපටය රූගත කරද්දී සරත් ගුණරත්න සහය අධ්‍යක්ෂවරයා විදියට හිටියේ. එක වෙලාවක විජය සරත්ගෙන් ඇහුවා සරත් මම ලොකේෂන් එකේ ඉන්න ඕන කීයටද කියලා. ලොකේෂන් එක තිබුණෙ මැදබැද්දෙ කල්තොට. සරත් කියනවා හයහමාර හත වෙද්දී ඉන්න කියලා. විජය එතනට පයින්මයි යන්නේ. ඒ වෙලාවට පාර දෙපැත්තේ මිනිස්සු ඉන්නවා මඤ්ඤොක්කා තම්බපුව තියාගෙන, ඌරුමස් තම්බපුව තියාගෙන. එදා ශිල්පියකුට එහෙම ගෞරවයක් තිබුණා. පිළිගැනීමක් තිබුණා. ආදරයක් තිබුණා. අද ඒවා සියල්ල නිෂ්පාදන අංශවලින් ඇති වන දුර්වලතාවලින් වගේම ශිල්පීන් විසින් ඔවුන්ගේ වැඩ පිළිවෙළ නිසා ඇති කර ගත් දුර්වලතා නිසා නැති වී තියෙනවා. ඒ සියල්ල දකිද්දී මට විශාල කනගාටුවක් තියෙනවා.

 

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාකරුවා සමඟ තිබූ ඔබේ අත්දැකීම් කොහොමද ?

ඉතා පිළිවෙළට වැඩ කරපු කෙනෙක් ලෙස්ටර් මහත්තයා.එතුමාගේ අම්මාවරුනේ චිත්‍රපටයේ මම නිෂ්පාදන කළමනාකරු විදියට වැඩ කළා. එතුමාට මාව හඳුන්වා දෙන්නෙත් තිස්ස අබේසේකර මහතායි. එතුමාගේ උපන්දින සාදයකදී ලෙස්ටර් මහතා හොඳ නිෂ්පාදන කළමනාකරුවකු සොයා දෙන්න කී විට තිස්ස අබේසේකර මහතා එතුමාට මාව හඳුන්වා දෙනු ලැබුවා.

ලෙස්ටර් කියලයි තිස්ස අබේසේකර මහත්තයා එතුමාට කතා කළේ.ඉතින් එදා එතුමාට කතා කර ලෙස්ටර්, මගෙ ළඟ වැඩ කරපු කෙනෙක් තමයි සරත් විජේසේකර. ඔයාට නැවක් ඕන කිවුවොත් මිනිහ නැවකුත් ගෙනත් දෙයි කළු ගඟට වුණත් කියලා කිව්වා. ඒ ගමන ලෙස්ටර් මහත්තයා මට එන්න කියලා මම ගිහින් මුණ ගැහුණා.ඊට පස්සෙ එතුමාත් සමඟ මට වැඩ කරන්න අවස්ථාව හිමි වුණා. එතුමා සමඟ වැඩ කරන කාලයේ පවා අපි අත්දැක්කේ මිනිස්සු මේ ක්ෂේත්‍රයට කොයිතරම් ආදරයක් ගෞරවයක් දැක්වූවාද කියලයි. අම්මාවරුනේ චිත්‍රපටය රූගත කරද්දී එතුමාටත් ඒ පළාතේ මිනිසුන්ගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමක්. ඒ වගේම සහයක්. ඊළඟට සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟත් මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

 

වී. සිවදාසන් වැනි නිර්මාණකරුවකු සමඟ සමීපව වැඩ කරද්දී ලැබූ අත්දැකීම් මොන වගේද ?

මම ඊළඟට වැඩිපුරම වැඩ කළ අධ්‍යක්ෂවරයා තමයි සිවදාසන්. ඔහුගේ චිත්‍රපට හතරක වැඩ කළා මම. ටෙලි නාට්‍ය නම් විස්සක විතර වැඩ කළා. ඔහුත් හරි සුවිශේෂ කෙනෙක්.ඉතා අපූරු ගුණාංගයක් මම ඔහුගෙන් දැක්කා.ඕනෑම නිර්මාණ කටයුත්තක් කරද්දී අන්තිමට ම වැඩ නිම කර නින්දට ගියේ ඔහුයි. සහයකගේ සිට හැම කෙනකු පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලුවා. ඒ හැම කෙනකුට ම වුවමනා මූලික පහසුකම් තියෙනවා ද කියා හැම විටම විමසිලිමත් වුණා.ඒවායේ අඩුපාඩුවක් තිබුණොත් මගෙන් දැඩි ව ඒ පිළිබඳ විමසනවා.හුඟක් කාරුණික, ළෙන්ගතු කෙනෙක්. මිනිසත්කම ඉහළින්ම තිබුණු අධ්‍යක්ෂවරයෙක්.

පසු පරපුරේ එබඳු නිර්මාණකරුවන් කවුද ?

ප්‍රසන්න විතානගේ එබඳු අයෙක්. ඔහුත් හොඳ සැලැස්මකට වැඩ කරන කෙනෙක්. සුදත් රෝහණත් ක්‍රමානුකූලව වැඩ කරන කෙනෙක්. ප්‍රසන්න විතානගේ සමඟ වෙළෙඳ දැන්වීම් කීපයක මම වැඩ කර තියෙනවා. එහිදී තමයි මට ඔහුගේ හැකියාව සහ විදිහ හඳුන ගන්න ලැබුණේ. සුදත් සමඟත් නිර්මාණ කටයුතු රැසක් කර තියෙනවා. ඔහුත් තමා කරන නිර්මාණයට දැඩි සාධාරණයක් කරන්න කැප වන කෙනෙක්. ඒ වගේම තමයි ප්‍රියංකර විතානාරච්චිත්. ඔහුත් හොඳ දැනීමක් තියෙන කෙනෙක්.

 

එබඳු රංගන ශිල්පීන් පිළිබඳ ඔබේ අතීත මතක මොනවාද ?

ශ්‍රියාණි අමරසේන, මාලිනි ෆොන්සේකා ආදීන් එබඳු අයයි. සබීතා පෙරේරා පිළිබඳත් විශේෂයෙන් කියන්න ඕන. සබීතා මහත්මිය සමඟ මම එක චිත්‍රපටයක වැඩ කර තියෙනවා. ඇය පිළිවෙළට වැඩ කරන කෙනෙක්. කෑම එක පවා ගෙදරින් ගේන්න උනන්දු වන කෙනෙක්. නිර්මාණයට අදාළ යම් දර්ශනයක් නිම කර නවාතැනට ආවත් ඇය පොතක් තමයි බලන්නේ. පරිබාහිර දේට වැඩිපුර නැඹුරු වෙන්නෙ නෑ.ඒ වගේම තමයි බුද්ධදාස විතානාච්චිත්. ඉතා වැදගත් මහත්මයෙක්. පාලිත සිල්වාත් එබඳු කෙනෙක්. ඉතා හොඳ ශිල්පියෙක්. තමා නිරූපණය කරන චරිතයට සාධාරණය කරන්නේ කොහොමද, ඊට අනුගත වෙන්නෙ කොහොමද, කියන දේටයි හැමවිටම මූලිකඅවධානය දෙන්නේ. දේවින්ද කෝන්ගහගේ කියන නිර්මාණකරුවා ගැනත් යමක් කියන්න ඕන. යම් දෙයක් ගැන ඉතා නිවැරැදිව කරුණු කාරණා සොයා බලා තමයි ඔහු නිර්මාණයකට යුක්තිය ඉටු කරන්නේ.ඔහුත් හොඳ අධ්‍යක්ෂවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරයි කියා මා හිතනවා.

 

නූතනයේ නිෂ්පාදන කළමනාකරුවකුට පලදායිව කටයුතු කරන්න තියෙන වටපිටාව කොහොමද ?

ඔහු සතු කාර්යභාරය නිසිආකාරයෙන් කරන්න සමස්ත වටපිටාවේ අනුග්‍රහය තිබිය යුතුයි. නිෂ්පාදක, අධ්‍යක්ෂවරයා වරයා ඇතුළු සියල්ලන්ගේ සහය ඒ සඳහා අවශ්‍යයි. යම් නිර්මාණයක් කිරීමේදී ඊට ශක්තිමත් පදනමක් සපයන කුලුනු තුනක් වැනි පිරිසක් සිටිනවා. ඒ අධ්‍යක්ෂවරයා සහය අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදන කළමනාකාරවරයායි.

මම දායක වූ සැම නිර්මාණයකදී පාහේ අධ්‍යක්ෂවරයාගෙන් හා සහය අධ්‍යක්ෂවරයාගෙන් මට විශාල සහයක් ලැබුණා. අධ්‍යක්ෂවරයාගේ අභිමතය අපට සමීප කරන්නේ සහය අධ්‍යක්ෂවරයායි.

මා වැඩ කළ සහය අධ්‍යක්ෂවරු අතර සිටි උපාලි පෙරේරා ප්‍රසන්න ඉත්තෑපන, අනුර වරාගොඩ ආදීන් විශේෂයි. එබඳු සහාය අධ්‍යක්ෂවරු සමඟ තමයි මම දිගටම වැඩ කළේ. ඔවුන් අලුත් චිත්‍රපටයක් සඳහා නිෂ්පාදන කළමනාකරුවකු සොයන අවස්ථාවල බොහෝ විට මාව නිර්දේශ කළා. සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාවක් අපට තිබූ නිසා. ඒ කාලෙ අපි වැඩ කළ රටාවයි අද වැඩ කෙරෙන පිළිවෙළයි අතර විශාල පරස්පරතා මං දකිනවා. ඒ ක්‍රමය අපට ඔරොත්තු දෙන්නෙ නැහැ. මෑතකදී දේවින්ද මට කතා කර කිව්වා ඔහුගේ අලුත් නිර්මාණයේ වැඩ කරමු කියා. මම කිවුවා ඔයා අලුත් දෙයක් කරනවා නම් මම සම්බන්ධ වෙන්නම් කියා. එහෙම දැනීමක් අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න කැමැතියි. පහසුයි. ඇත්තෙන්ම අධ්‍යක්ෂවරයකු සතු භූමිකාව බැරෑරුම් එකක්. දැනුම් සම්භාරයක් අවශ්‍යයි. ඉතින් ඇත්තෙන්ම එදා සහ අද ගත් විට විශාල පරිහානියක් දකින්න තියෙනවා.එය නවත්වාගන්න නම් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. එය යථා තත්ත්වයට පත් කරන වැඩ පිළිවෙළක් දැනට පෙනෙන්නත් නැහැ.

වරක් අපි යෝජනාවක් කළා ලෙස්ටර් මහත්තයාගේ නිවෙස රජයට පවරාගෙන එහි සිනමාව පිළිබඳ අධ්‍යයනය කළ හැකි තැනක් ලෙස ගොඩ නඟන්න කියා. මොකද එතුමාගේ නිවසේ විශාල පුස්තකාලයක් පවා තිබුණා. පාර්ලිමේන්තු පනතකින් ලෙස්ටර් සුමිත්‍රා පදනම නමින් පදනමක් පවා ස්ථාපිත කර තියෙනවා. ඉතින් එතැන මේ ගැන උනන්දුවක් තියෙන දරුවන්ට ඒ පිළිබඳ අධ්‍යාපනයක් දෙන්න වටපිටාවක් නිර්මාණය කරන්න බලධාරීන් පොලඹවන්න අපි ඒකාලෙ කණ්ඩායමක් ලෙස ගොඩක් උත්සාහ කළා.

ඇත්තෙන්ම විනය, අධ්‍යාපනය, කැපවීම අවබෝධ ආදි සියල්ලක් මේ ක්ෂේත්‍රයට පිවිසීමේදී පැහැදිලිව අවශ්‍යයි. ඒ නිසා සුළුවෙන් හෝ එබඳු පාරක් පෙන්වන යමක් ආරම්භ කිරීම අවශ්‍යයි. එයින් සියල්ල සම්පූර්ණ නොවුණත් යම් පදනමක් වැටෙයි.ආරම්භයක් ඇති වෙයි.සැබෑ දක්ෂයන්, නිර්මාණකරුවන් බිහි කරන්න හරි පසුබිමක් සකස් විය යුතුයි. එය සිදු විය යුත්තේ රාජ්‍ය මැදිහත් වීමෙනුයි.

 

 

[email protected]