ශ්‍රී ලංකාවේ උපන් සිනමා විද්‍යාඥයා ගේ පනස් වසරක සිනමා මෙහෙවර

ගිවන්ත අර්ථසාද් නැමැති සිනමා ප‍‍්‍රාඥයාගේ දැනුම් වපසරිය නම් එක විෂයයකට පමණක් සීමා නොවනු ඇත
ඔක්තෝබර් 14, 2021

 

යාන්තමට මට අවුරුදු දහය අහවරවූවා පමණි....

ඒ 1967 වසරයි.... මා හතරේ පංතියේ සිසුවෙකි. මගේ සහෝදරයා වන - මේ සිනමා කථාවේ කථානායකයා ලෙස මවිසින් හඳුන්වනු ලබන ගිවන්ත අර්ථසාද් හෙවත්, මගේ අයියා මට වඩා අවුරුදු හතරක් වැඩිමහල්ය. ඔහු උපන්නේ 1953 ඔක්තොබර් 14 වෙනිදාය -

අයියා ඉගෙනුම ලබන්නේ කොළඹ වෙස්ලි විද්‍යාලයේය. මා ඉගෙනුම ලබන්නේ මොරටු ගමේ වේල්ස් කුමාර විද්‍යාලයේය. එබැවින් වැඩි කලක් ගතවීමට මත්තෙන් ලාංකේය සිනමාව හා නෑකම් පනවා ගැනීමට මට වඩා අවකාශය ලැබුණේ අයියාට ය.

බොහෝ සිනමාකරුවන් ගැවසෙන ගෙන්දගම් නගරය තුළ සැරිසැරීමත්, ඒ අවට ඇති සිනමාහල් රාශියක දිග - පළල මැන බැලීමත් අයියාගේ කාර්යභාරය වී තිබුණේ - පාසල් කාල වේලාවෙන් පසුවය. පාසල් වේලාවන් තුළ ද ඉඳහිට හෝ සිනමාහල්වල තත්ත්වයන් විමසා බැලූ වාර ද නැතිවා නොවෙයි.

ලංකා චිත්‍රාගාරයේ සහ විජයා චිත්‍රාගාරයේ කුණු බාල්දිවලින් - වෙළෙන්දන් විසින් රැගෙන එන චිත‍්‍රපට කැබලි - බොහෝ විද්‍යාල ගේට්ටු අසල දී විකිණී යන අතර - එකී වෙළෙන්දන් කීප දෙනෙකු සමඟ අයියා ඇයි - හොඳයිකම් පවත්වමින්, ඔවුන්ගෙන් අඩුමුදලට ලබාගන්නා සිංහල චිත්‍රපට වල මිමී. 35 හේ ප්‍රදර්ශක පට අතර, සතපනහ - වෙන සුවර්ගයක් කුමටද? - සැමියා බිරිඳගේ දෙවියාය - සුරයා - ගැටවරයෝ - සුරයන්ගෙත් සූරයා - ඉපදුණේ ඇයි වැනි රූප පටල කැබලි තොග ගණන් රැගෙනවිත් ගෙදර සිනමාගාරයේ තැන්පත් ධනය ලෙස සුරැකිමට උත්සුක විය. මම ද එය තදින්ම අනුගමනය කළෙමි.

 

අයියා පාසල් ඇරී ගෙදර එනතුරු මට ඉවසිල්ලක් නොමැත....

ඒ ඔහු රැගෙන එන චිත්‍රපට කොටස් පිරික්සීමට මෙන්ම රසවිඳීමටත් සහ මා ළඟ ඇති ෆිල්ම් කැබලි ඔහු හා හුවමාරු කර ගැනීමටත් ය.

පාසලේදී අයියා විද්‍යා විෂයයන් හදාරමින් ඒ පිළිබඳ හසල දැනුමක් ලබාගත් හෙයින්, එය මට නොමඳ වාසියක් වූ අතර, මා කුඩා කල සිටම සිනමා තාක්‍ෂණයට නැඹුරුවීමේ අවස්ථාව ඉන් එළි පෙහෙළි විය. සිනමාව පිළිබඳ මා නොදත් බොහෝ දෑ - උගත්තේ අයියා ගෙන්ය. දර්ශන ප්‍රයෝග යන්ත්‍රවල ද සිනමා කැමරාවේ තාක්‍ෂණය පිළිබඳව ද කැමරා කාච - ආලෝකය සහ අර හැසිරවීම ද රසායනය පිළිබඳව ද තිර නාටක මෙන්ම සංස්කරණ මූලධර්මද ‘‘සිනමා - සයන්ස්’’ එකෙන් වැඩේ දෙන හැටිද මා ඉගෙන ගත්තේ, අයියා හෙවත්, ගෙදර සිටි සිනමා විද්‍යාඥයාගෙන්ය.

තවද - තාත්තා මුල් පුටුව දැරු වැල්ලවත්ත මෙතොදිස්ත පාසලට ආධාර පිණිස පෙන්වු ‘‘රැන ගිරව්’’ චිත්‍රපටය නරඹද්දී - අයියා මා කැටුව සිනමාහලේ ප්‍රක්‍ෂේපන කුටියට ගොස්, ප්‍රොජෙක්ටර් යන්ත්‍ර පෙන්වා දුන්නේ, ජීවිතයේ පළමු වරටය...... ඒ, පාමංකඩ ‘‘ඊරෝස්’’ සිනමාහලේ - 1968 දීය.

මුලදී රැගෙන ආ චිත්‍රපට කැබලිවල ‘‘නළු - නිළියන්’’ අප නිදන කාමරයේ බිත්තියේ පතිත වන ආකාරය - අයියා මට පෙන්වුයේ, ස්ලයිඩ් ප්‍රොජෙක්ටරයක් සාදා මැජික් කාරයෙකු විලසටය.

අකුරු ලොකු කර බලන තාත්තාගේ වීදුරු කාචය ද (MANIFINE GLASS)  තාත්තා විසින් අයියාට පරිත්‍යාග කළේ ස්ලයිඩ්ස් පෙන්වන යන්ත‍රය වැඩි දියුණු කර ගන්නා ලෙසට උපදෙස් ද සපයමිනි.

ශ්‍රී ලංකාව තුළ ටෙලිවිෂනයක් හෝ නොමැති 60 දශකයේ සිනමාහල්වල මෙන් චලන ප්‍රක්‍ෂේපන යන්ත‍‍‍රයක් සදා සිංහල නළු - නිළියන්, අප ගෙදර බිත්තියට වද්දා පණ ගැන්වීම තුළ අහල පහළ හිතමිත‍්‍රාදීන් හට එය මහත් විමතියක් විය.

පාසල් විදුහල්පතිවරයෙකු හා බාලදක්‍ෂ කොමසාරිස්වරයෙකු වන අපේ තාත්තා සහ පාසල් ගුරුවරියක වන අපේ අම්මාගෙන් අපට ලැබුණු ප්‍රබල තල්ලූව සිනමා කර්මාන්තය වෙනුවෙනි.

1970 වේ අවසන් භාගයේදී ඩී.බී. නිහාල්සිංහ මහතාගෙන් ඉල්ලාගෙන අයියා විසින් රැගෙන ආ අමුතුම මාදිලියේ චිත්‍රපට කැබලි දැක මා වික්ෂිප්ත විය. එහි ඇත්තේ ගාමිණි - ජෝ - ස්විනීතාගේ දෙපසින් හැකිලී ගොස් විකෘති වු - රූප සමුදායක් ය. එය වැලිකතරට භාවිත කළ ඇනමෝෆික් නම් පුළුල් - තිර කාච ප්‍රයෝගයකි.

ගිවන්ත අර්ථසාද් නැමැති සිනමා ප්‍රාඥයාගේ දැනුම් වපසරිය නම් එක විෂයයකට පමණක් සීමා නොවනු ඇත.

සින්දු පද බඳීන්නටත්, කවි විරිඳු පද ගොතන්නටත්, නොයෙක් දෑ ගැන ලියන්නට තරම් සාහිත්‍ය දැනුම් සම්භාරයක් ඇති ඔහු අතින් වැඩිපුරම ලියැවුණේ, ක්‍රිස්තියානි ගීතිකා ය. වසර පනහකට වඩා වැඩි ඈතක ඔහු අතින් ලියැවුණු ඒ ගීතිකා, අදටත් කිතුනු දේව මෙහෙයයන් හි දී භාවිත වෙයි.

ඒ අතර ම, ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතාණන් ගෙන් චිත්‍රකර්මය ඉගෙන ගන්නට, ඔහු මොරටුවේ සිට මහරගමට ගියේ ආවේ පා පැදියෙනි. මේ අතර ම ඔහු ස්ක්‍රීන් මුද්‍රණය ද කළ හෙයින්, ඒ සඳහා කඩදාසි, තීන්ත ආදිය මිලට ගන්නටත් ඔහු කොළඹට පැද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ටයිටස් තොටවත්ත අදියුරුවන් හට, ආයිබෝං කියා යෑමටත් එක්කය.

ඔහුගේ බයිසිකලේ ‘ලගේජය’ කම්හලකින් තනවා ගෙන තිබුණේ, බඩු භාණ්ඩ බැඳගෙන එන්නට සුදුසු අයුරින් වුවද ඒ ඉඩකඩ ප්‍රමාණවත් මඳ බැවින්, බයිසිකල් හැඬලයේ ද කම්බි රාමු තට්ටුවක් විය. අව්ව වැස්ස ඔහු තඹයකට මායිම් නොකළේ ය. අව්වට සුදු තොප්පියකි; වැස්සට කළු පිරිමි කුඩයකි; පාසලට ඇඳී සුදු ඇඳුම ම ය. ඔහු සුදුම අඳීන බැවින්, ඔහුට සුදු ඇඳුම් කොපමණ ඇත්දැයි කෙනෙකුට සිතා ගත නොහැකි විය. කඩදාසි නොතෙමෙන්නට ඝනකම පොලිතීන් ය.

කුඩා කල සිට ම අපේ අම්මාගෙන් ඉගෙනගත් ‘ලයිනෝලියම්’ බ්ලොක්වලින් කරන මුද්‍රණයෙන්, ඔහු අපේ නිවෙස අසල සිටි කාන්තාවන්ගේ සාරි මත මුද්‍රණ පින්තාරු කළේ, මුදල් සෙවීම මූලික අරමුණ කරගෙනය. එවන් වූ මුද්‍රිත ඉන්දියන් සාරියක් මිල ඉතා අධිකය.

ගුරුවරුන් වූ අපේ අම්මාට හා තාත්තාට බරක් නොදී, තම සිනමා පර්යේෂණ කරන්නට ඔහු සමත් වූයේ - තම මහන්සියෙන්ම මුදල් උපයා ගෙනය. එම මුදලින් සුළු ප්‍රතිශතයක් හෝ අයියා මා වෙනුවෙන් වියදම් කළේ මට චිත්‍රපට පෙන්වීමට සහ කඩචෝරු කැවීමටය.....

උණ බම්බු පලංචි මත, සුදු පාසල් ඇඳුමින්ම නැඟී, ඒවායේ එක තීන්ත බින්දුවක්වත් හළා ගන්නේ නැතිව, වෙළෙඳ සල් බිත්ති මත වෙළෙඳ නාම පුවරු ඔහු අඳීනු දුටු, විදුහල්පති අපේ තාත්තා, ”උඹට වයිට් කොලර් ජොබ් එකක් නං හරියන්නේ නෑ පුතා” යි කියමින්, අයියාට වුවමනා වූ ඒ විචිත්‍රවත් සිනමා ලෝකයට පා තබන්නට දොරටුව විවර කර තැබීය.

1971 අවසන්ව 72,73 කාලය වන විට, අප නිවෙසට සිනමාකරුවන්ගේ සපැමිණීම ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අතර - ටෙනිසන් කුරේ - බර්මින් ලයිලි - දොන්ගයි - මෙරිල් ඇල්බට් -ඩී.බී. නිහාල්සිංහ, රංජිත් පෙරේරා - සුනිල් ආරියරත්න - විජය ධර්ම ශ්‍රී - එස්.එම්. අස්මීන් - එස් රාමනාදන්, ලෙස්ටර් ජේම්ස් පීරිස් - ධර්මසේන පතිරාජ - ඩොනල්ඩ් කරුණාරත්න - ජයතිස්ස දිල්ලිමුණි යන මෙකි නොකි සිනමා කරුවන් හට අපගේ සේවය නොලබා සිටිය නොහැකි විය.

2001 වසරේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සිනමා සම්මන්ත්‍රණයක ආරාධිත දේශනය පැවැත්වීමට වේදිකාවට ගොඩ වූයේ, මෑතක දී, කීර්තිශේෂභාවෝපගත වූ, ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීන් ය. සභා මණ්ඩපයේ දේශනයට පෙර, සිරිත් පරිදි සභාවේ සිටින වියතුන්ගෙන් අවසර ගනිමින්, කලාසූරී ආරියදාසයාණෝ, අවසනට සඳහන් කෙළේ, ”සිනමා විද්‍යාඥ, ගිවන්ත අර්ථසාද් මහතාණන්ගෙන් ද අවසරයි” යනුවෙනි.

ඉන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයේ දී, එතුමාණන් අසලට සේන්දු වුණු එහි නිවේදකයා, ඒ අසල සිටි ගිවන්ත අර්ථසාද් මහතාණන් පෙන්වා, ‘සිනමා විද්‍යාඥයකු ලෙස, ගිවන්ත අර්ථසාද් මහතාණන් හැඳීන්වූයේ මන්දැ’ යි යනුවෙන් පිළිවිසී ය.

”සිනමා කැමරාවක් අපේ රටේ තැනුවේ කවුරුන් ද ? ඒ ගිවන්ත අර්ථසාද්; තමන් විසින්ම තනා ගනු ලැබූ කැමරාවකින් ශ්‍රී ලංකාවේ පළමුවැනි කාටූන් චිත්‍රපටය නිර්මාණය කෙළේ කවුරුන් ද ? ඒත්, ගිවන්ත අර්ථසාද්; ඉතින් ඒ ගිවන්ත සිනමා විද්‍යාඥයකු නොවේ දැ” යි යනුවෙන් ආරියදාසයාණන් ඍජු පිළිතුරක් දුන්නේ, තම සුපුරුදු සිනහවෙන්ම ය.

එතැන් පටන් මාධ්‍ය ක්‍ෂේත්‍රය ඔහු හඳුන්වන්නේ, සිනමා විද්‍යාඥ ගිවන්ත අර්ථසාද් යනුවෙනි. අදට ද, සතියේ හැම දිනයක ම, ශ්‍රී ලංකා ගුවන්විදුලියේ, වෙළෙඳ සේවය ඔස්සේ, දිනපතා උදේ 09.00 ට පුවත් විකාශයෙන් අනතුරුව ඇසෙන්නේ, ”ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සිනමා විද්‍යාඥ ගිවන්ත අර්ථසාද්ට සවන් දෙමු” යනුවෙන් කරන හැඳීන්වීමකි.

සිනමා විද්‍යාඥ ගිවන්ත අර්ථසාද්ගේ මාධ්‍ය සරුසැරිය, වපසරි නවයකි (9) කි. ඒ වනාහි, චිත්‍ර ශිල්පය, මුද්‍රණ කර්මාන්තය, චලන ඡායාරූපකරණය, නිශ්චල ඡායාරූපකරණය, ලේඛනය, ගුවන්විදුලිය, නාට්‍ය වේදනය, සිනමාව සහ රූපවාහිනීය යි.

මා කලින් සඳහන් කළාක් මෙන් කුඩා කල, කොළඹ වෙස්ලි විදුහලේ දී නැරැඹූ කාටූන් සිනමා පට නිසාවෙන්, කාටූන් චිත්‍රපටවලට හිත ගිය ද, ඇත්තෙන් ම ඔහුට වුවමනා වූයේ, මා දන්නා තරමින් මුද්‍රණ ශිල්පියකු වන්නට ය.

ඔහුගේ ඒ මුද්‍රණ සිහිනය බොඳ වී ගියේ ද නැත. ඒ මන්ද යත්, අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් නමුත්, මුද්‍රණ ශිල්පය පිළිබඳව උපාධියක් පවා නැති ඔහුට, පසු කලෙක, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ, මුද්‍රණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා (2015 සිට) වන්නට ලද කැඳැවුම නිසා ය. ඊට හේතුව, ඔහුගේ ශිල්පීය සතතාභ්‍යාසය යි. ඔහු වෙතින් ඒ පිළිබඳ ව උගත්තෝ අද උපාධිධාරීහු ය.

අද වන විට අයියාගේ දැනුම් සම්භාරය තුළින් කරන දේශනවලින් ද, ඔහු ලියූ පත-පොත හෝ යාන්ත්‍රික රූප සටහන්වලින් ද, විශ්වවිද්‍යාල සිසු- සිසුවියෝ ඉගෙන ගනිති.

ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකි. මුද්‍රණ ශිල්පය පිළිබඳ ‘‘ඒ ටු ඉසෙඩ්’’ උගන්වන එකම ශිල්පියා ශ්‍රී ලංකාවේ ගිවන්ත අර්ථසාද් පමණි. අම්මාගෙන් ඉගෙනගත් ‘‘ලයිනෝලියම්’’ බ්ලොක් මුද්‍රණයේ සිට ත්‍රිත්ව පටල ටෙක්නිකලර් මුද්‍රණය ද ඉන් නොනැවතී ඩිජිටල් මුද්‍රණ ක්‍රමවේදයන් සියල්ල දත් ශ්‍රී ලංකාවේ එකම ශිල්පියා අයියා පමණි. එහෙත්, ඔහු කිසි දිනෙක - කිසිදු විශ්වවිද්‍යාලයකින් උගෙන නොගත් බව මට දිවුරා කිව හැකිය.

එසේම, එයට පෙර, ජාතික රූපවාහිනියේ, සජීවීකරණ, මාධ්‍යරූප, අංගරචන සහ පසුතල නිර්මාණ, යන අංශ සතරම ගොඩනංවනු වස්, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වීමට ඔහු කැඳවන ලද්දේ, එදා රාජ්‍ය අමාත්‍යාංශය භාර ඇමැති වරයා වූ, ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් සහ එහි ස්ථිර ලේකම් වරයා වූ, ආචාර්ය සරත් අමුණුගම යන දෙදෙනා විසින්, ඔහුගේ ශක්‍යතාවයන් වටහාගත් නිසා ය;

එවක රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මඟින් පිරිනැමුණු, කාටූන් සිනමා ශිල්පී, කලා අධ්‍යක්‍ෂ, සිනමා කැමරා ශිල්පී, සිනමා සංස්කරණ ශිල්පී, සිනමා අධ්‍යක්‍ෂ සහ දර්ශන ප්‍රයෝග ශිල්පී යන සිනමා ක්‍ෂේත‍්‍ර බලපත‍්‍ර හය (6) ක් සතු එක ම සිනමා ශිල්පියා ගිවන්ත අර්ථසාද් වීම සියලු සිනමාකරුවන් හට මහත් අභිමානයකි. එමෙන්ම, බටහිර බර්ලීනයේ ශිෂ්‍යත්වයක්ද රජය ඔහුට ප‍්‍රදානය කළේය.

ඒ නිසා ම, එ දවස කැලණිය විශ්වවිද්‍යාලයේ, සිනමාව සහ රූපවාහිනිය සඳහා බාහිර කථීකාචාර්යවරයා ලෙස (1982 - 1987) ද ඔහු කැඳවුම් ලද්දේ ය. ‘එසේ වන්නට හේතුව, තමාට වුවමනා කරන ක්‍ෂේත‍්‍රයන් හි වපසරිය පුළුල් කරගනු පිණිස, නොයෙක් පුස්තකාලවලට යමින් ඒ සඳහා තිබෙන පොත පත පරිශීලනය කිරීමත්, තමා නොදන්නා දේ, දන්නා අයගෙන් අසා දැන ගැනීමත්, විවිධ අන්දමේ පර්යේෂණ කරමින් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු, නොකඩවා කරන අත්හදා බැලීමත්, ඔහුගේ දෛනික ජීවිතය වූ හෙයිනැ’යි මම සිතමි. තමාගේ මාධ්‍ය සරුසැරියට මඟ කියා දුන් ගුරුවරුන් 12 දෙනා තවමත් ඔහු සිහිපත් කරන්නේ ඉමහත් වූ ගෞරවයෙනි.

පසු ගිය 2019 අගෝස්තුවේ දී තම නවතම සිනමා නිර්මාණය වන ‘යුරේකා’ සජීවකරණ චිත්‍රපටය එළිදැක්වූ අවස්ථාවේ දී තවමත් අප අතර සිටින ඔහුගේ ගුරුවරුන් පස් (5) දෙනෙකුට ඔහු ප්‍රණාම සම්මාන පිරිනැමීය.

අතීතයේදී රාත්‍රී නමය (09.00) ට පමණ නින්දට යන ඔහු අවදි වන්නේ පාන්දර දෙක (02.00) ට ය. එසේ අවදිව, කාටූන් චිත්‍රපට සඳහා රූප අඳීමින් පර්යේෂණ කරන ඔහු, ඇතැම් දිනයන්හි දී, උදේ හය (06.00) ට පමණ බොරැල්ල බලා පාපැදිය පදින්නේ, ශාරීරික ව්‍යායාමයට නම් නොව, සිනමාවේ ඔහුගේ ගුරු ටයිටස් තොටවත්තයන්ගේ සිනමා කටයුතු වලට සහාය වීමට ය. එය සිනමා ව්‍යායාමයක් විය.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී, පාසල් වේලාවෙන් පසු, මොරටුවේ, පුවක්අරඹේ, ලලිත් මුද්‍රණාලයේ වැඩ ඉගෙන ගන්නටත් ඔහු ගියේ මුද්‍රණ ශිල්ප ට තිබුණු ළැදියාව නිසා ය.

තමන්ගේ ම මුද්‍රණාලයක් අරඹන්නට අවශ්‍ය මුදල් නැති නිසා, 1/8 ප්‍රමාණයේ ලෙටර් ප්‍රෙස් මුද්‍රණ යන්ත්‍රයක් ඔහු ලීයෙන් තනා ගත්තේය. ඒ ඔහු කාටූන් සිනමා කැමරාව හදන්නටත් පෙරාතුව, 1969 වසරේ දී ය. එවක ඔහුගේ වයස අවුරුදු දහ සයක් (16)විය. පයින් පාගා වැඩ කරවන එහි වේගය සමබර ලෙස රඳවා ගැනුමට, ‘ෆ්ලයි වීල්’ එකක් හෙවත් ජව රෝදයක් අවශ්‍ය විය.

එතෙක් බර ලීවලින් තනාගත් ජව රෝදයට නිවාඩු දෙන්නට ඔහුට හැකි වුණේ, ඔරුවල වානේ සංස්ථාවේ වැඩ කළ, තම පාසල් මිතුරකු වූ ඇලෙක්ස් ප්‍රනාන්දුගේ උපකාරය මත, කැමරා හා දර්ශන ප්‍රයෝග යන්ත්‍ර තනන්න වුවමනා අබැලි යකඩ මිලදී ගන්නට, ගිය අවස්ථාවේ දී මිලට ගත් එම අබැලි යකඩ අතර තිබුණු ‘ෆ්ලයි වීලයක්’ ඒ අඩුව පිරිමැසී ය. ඔහුගේ මෙකී ව්‍යායාමය ගැන නිහඬව ම කියා පාමින්, එම‘ ජව රෝදය’ අද ඔහුගේ නිවෙසේ බිත්තියේ රවුම් ජනේලයක් සේ මහත් ආලෝකයක් ගෙන දෙමින්, අභිමානයෙන් පෙනී සිටී.

ඩිජිටල් මුද්‍රණ කටයුතු ලොව උපත ලැබීමටත් බොහෝ කලකට පෙරාතුව අයියාගේ මුද්‍රණ කටයුතු කඩදාසි මතට පමණක් සීමා නොවිණි; එය රෙදි මත ද, ලී මත ද යකඩ සහ වීදුරු තහඩු මතද ඔහු ස්ක්‍රීන් මුද්‍රණය කෙළේ, ඇතැම් අයගේ තාප්ප මත රඳවන නාම පුවරු තනන්නට ය. එපමණක් ද නොව, ඔහු දළ සේයා පටල මත ද රසායනික මුද්‍රණයන් කෙළේ ය. ඒවා ඔහු ඉගෙන ගත්තේ, ලංකා චිත්‍රාගාරයේ රසායනාගාරය බාර ශිල්පී, ඒ. අයි. ජොහාර් මහතාගෙනි. ඒ.අයි. ජොහාර් මහතා යනු සිංහල චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක - රසායනාගාර පරිපාලකවරයා ය. ඇතැම් චිත්‍රපටවල ප්‍රචාරක පට ලංකා චිත්‍රාගාර රක්ත වර්ණ කළුවර කාමරයේ දී මුද්‍රණය කරන්නට අයියාට භාර දී ජෝහාර් බලා සිටියේ ය.

මෙරිල් ඇල්බට් ගේ ‘දහකින් එකෙක්’ චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂණයට සම්බන්ධ වෙමින්, එහි නාමාවලිය ද තැනූ ඔහු, ‘නිව් ජානකී ෆිල්ම්ස්’ සඳහා සජීවකරණ සිරස්තලයක් මෙරිල්ට තනා දුන්නේ, සෙරෙන්ඩිබ් චිත්‍රපට සමාගමේ සිනමා කැමරාව භාවිත කරමිනි. ඔහු එය කළ හැටි අපූර්ව ය. කළු පසුබිමේ සම්පූර්ණයෙන් ඇඳී එම සිරස්තලය, උඩ යට හරවා, අවසන් අකුරේ සිට මුලකුර දක්වා ටිකෙන් ටික ඒ කළු තීන්තෙන් මකමින් රූප ගත කළ එහි මුද්‍රණ පිටපත ද උඩ යට හරවා ප‍්‍රක්ෂේපණය කළ විට, එම අකුරු ටිකෙන් ටික ඇඳෙන හැටි තිරයේ දිස් විණි. ‘මේ ආකාර වූ සිනමා විජ්ජා ඔහු කොහෙන් කොහොම කවදා ඉගෙන ගත්තා දැ’යි මම නොදනිමි.

1973 දෙසැම්බර් 14 වෙනිදා තිරගත කළ ‘දහකින් එකෙක්’ හි ප්‍රචාරක කටයුතු සඳහා ස්ක්‍රීන් මුද්‍රණයෙන් කළ පෝස්ටර් මුද්‍රණය, ඔහු සිනමා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් කළ පළමුවැන්න ය. එකල චිත්‍රපටවල අකුරු පෝස්ටර් මුද්‍රණය කරන ලද්දේ, මුද්‍රණාලයන්හි තිබුණු ලොකු ලී අකුරුවලිනි. සමහර ඒවා රවුම් ය; ඇතැම් ඒවා සතරැස් ය. මේවා කලවමේ භාවිත කෙරුණේ, ලී අකුරු කැපීමට දත් ශිල්පීන්ගේ හිඟය නිසා ය.

මොරටුවේ සිටි, බැමිණහැන්නැදිගේ කොන්ස්ටන්ටයින් පීරිස් නම් වූ කැටයම් බාස් කෙනෙකුගේ මුණුපුරකු වූ නිසාම දෝ, ලී කැටයම් ශිල්පීය තාක්‍ෂණය ඔහු අත ද වූයෙන්, ‘දහකින් එකෙක්’ හි ප‍්‍රචාරක අකුරු පෝස්ටරය මුද්‍රණය කිරීම සඳහා, ‘කොලොං’ ලීයෙන් අඟලක් ඝනකම, අඟල් 36 ක් දිග, අඟල් 24 ක් පළල සුමට ලෑල්ලක් මොරටුවේ වඩු මඩුවකින් තනවා ගෙන, එහි ‘දහකින් එකෙක්’ අකුරු, කැටයම් කෙළේ ය; ඒ කණපිටට ය. ඒ වූ කලී, සිනමාවේ පමණක් නොව, අප රටේ මුද්‍රණ ඉතිහාසයේ එතරම් විශාල තනි ලී බ්ලොක් එකකින් පෝස්ටරයක් මුද්‍රණය කළ පළමුවැනි අවස්ථාව ය.

එහෙයින් එය ද ඔහු තැබූ නොබිඳීය හැකි වාර්තාවකි. එය මුද්‍රණය කරන ලද්දේ, මරදානේ ‘ක්‍රවුන්’ මුද්‍රණාලයේ දී, ඩබල් ඩිමයි සිලින්ඩර් මුද්‍රණ යන්ත‍්‍රයෙනි. ටයිටස් තොටවත්තයින් ගේ ‘සිහසුන’, ‘මංගලා’ සහ ‘සාගරිකා’ ට ද, වසන්ත ඔබේසේකර ගේ ‘දියමන්ති’ සඳහා ද, එස්.රාම්දාස් ගේ ‘එමාලිගල්’ හා ‘කෝමාලිගල්’ වෙනුවෙන් ද, මේ කියන විශාල ලී බ්ලොක් අකුරු කපා දුන්නේ මගේ අයියා ය. මේ හැම පෝස්ටරයක ම, පහළ කෙළවර, ට්ඪමඥ යනුවෙන් කැටයම් කරන්නට ඔහු අමතක නොකෙළේය. එබැවින්, සිනමා ක්‍ෂේත්‍රයේ පැරැණි අය කවුරුත් පාහේ තවමත් ඔහු අමතන්නේ ද - හඳුන්වන්නේ ද, ‘ගිවා’ යනුවෙනි. ගිවන්ත අර්ථසාද් යනුවෙන් වන ඔහුගේ නම මෙසේ කෙටි කරන ලද්දේ චිත්‍රපට අධ්‍යක්‍ෂ, බර්මින් ලයිලි ප්‍රනාන්‍දු විසිනි. අයියා තම ව්‍යාපාරය මුලින් ලියාපදිංචි කෙළේ ට්ඪමච ච්ඥඵඪඨදඥපඵ ) ඒපබඪඵබඵ යන නමිනි; පසුව ‘දුටුගැමුණු’ තනද්දී, එය ට්ඪමඥ ඉබභඤඪධඵ බව ට පෙරැළිණි.

කෙසේ වෙතත්, මෙයට වසර 50 කට පෙර එතෙක් නොතිබුණු - සිනමාවට අත්‍යවශ්‍ය සේවාවන් රැසක් සමඟින් 1971 වසරේ දී සිනමාවට අවතීර්ණ වෙමින් අයියා තමාගේ ද, අප දේශීය සිනමාවේ ද, පළමුවැනි කාටූන් චිත‍්‍රපටය වූ ‘අන්දරේ’ තැනුවේ ඔහු වයස අවුරුදු 18 ක් ව සිටියදී ය. මම එවක 14 වැනි වියේ පසුවිය.

කුඩා කල අප විසූයේ කටුනායක බැවින්, ‘සත් සමුදුර’ නිෂ්පාදක වෛද්‍ය ලීනස් දිසානායක අපගේ පවුලේ වෛද්‍යවරයා විය. ඒ සම්බන්ධකම් මත, එම වෛද්‍යවරයාගේ පුත් වූ දිසානායක චිත්‍රපට සමාගමේ ලාල් දිසානායකගෙන් ලබා ගත් ‘ඇරිෆ්ලෙක්ස්’ 2 බී සිනමා කැමරාව ධාවනය කරවමින්, තමා ඇඳී කාටූන්, කැමරා ශිල්පී එස්. එම්. අස්මීන්ගේ උපකාරයෙන් රූපගත කළ හෙතෙම, එහි රූප රාමු තුන බැගින් කපා අලවා ගත්තේ ස්ටැන්ලි ද අල්විස් නම් වූ සංස්කරණ ශිල්පියා ලවා ය.

කුඩා දැරියක පොතක් බලමින් සිටියදී, ඇයට සිතෙන ජවනිකාවක් ලෙසින් අන්දරේ මඟුල් ගෙදර ගිය හැටි දැක්වෙන එහි වූ සිහින ජවනිකාවට පෙර, රූප නොමැති පටල කොටසක් ඈඳා ගත් අයියා, ඒ මත විවිධ පාට ෆෙල්ට් පෑන්වලින් යම් රටාවකට තිත් තැබුවේ ය. එය සිනමා තිරයේ අලංකාර ව දිස් වූයේ, නරඹන්නා තුළ අමුතු සිතිවිල්ලක් පහළ කරමිනි. එසේ, බර්මින්ගේ උපකාරයෙන් ඔහු නිම කළ අපගේ කාටූන් සිනමාව ඇරැඹෙන්නේ, වර්ණයෙන් හා කළු-සුදු වෙනි. එකල එම ක‍්‍රමවේදයට ගිවා වර්ණ යනුවෙන් මම නම් තැබුවෙමි. අන්දරේ 1971 වසරේ ඔක්තෝබර් මස පැවැති, ලංකා චිත්‍රපට හා විචාරක සංගමයේ සිනමා සම්මාන උලෙළේ තිරගත වූයෙන්, ගිවන්ත අර්ථසාද් නම් ලත් මේ සිනමාකාරයා මෙම ක්‍ෂේත්‍රයට සම්ප්‍රාප්ත වී දැන් සමරන්නේ පනස්වෙනි වසර ය. ඒ චිත්‍රපටයේ ඔහුගේ නම ගිවන්ත අර්ථසාද් පීරිස් යනුවෙන් සටහන් කර තිබිණි.

ඊළඟ වසරේ එම උලෙළට කාටූන් චිත්‍රපටයක් තනන්නට, එකල කඩවලට බඩු අසුරා ගෙනෙන පකිස් ලී පෙට්ටියක් උපයෝගී කරගෙන, කැමරාවක් සාදා ගත්තේ ය. රාමුවෙන් රාමුව ලෙසින් දළ සේයා පටලය තල්ලූ කළ හැකි වන පරිදි, ඔළුව කැපූ අල්පෙනෙත්ති ඇණ ගැසූ සියුම් ලී රෝදයක් ද එහි සවි කළ ඔහු, එයට අපේ මහප්පා වූ, ගරු.ඩී. ඩබ්ලිව්. පීරිස් දේවගැතිවරයා ළඟ තිබුණු අමතර මැජික් ලැන්ටර්නයේ කාචය ඉල්ලා ගෙන සවිකර ගත්තේ ය. එය දැන් කැමරාවකි. එහි නිරවද්‍යතාවය පිරික්සා බැලීමට, පළමුවෙන් ම අපේ තාත්තාට පුටුවක හිඳ ගන්නට කියා, ඔහු ගේ සේයා රුවක් ගත්තේ ය. අනතුරුව, ඔහු තමාගේ ම සේයාරුවක් ද ඉන් ගත්තේ මා ලවා ය. කළුවර කාමරයක් නොමැති නිසා, ඒවා ඔහු පිරියෙදුම් කෙළේ, ඇඳ යටට වී, සබන් පෙට්ටි පියන්වල වත් කරගත් රසායන ද්‍රවවලිනි. එම පර්යේෂණය අති සාර්ථක විය.

ඒ වන විට, ඔහු ‘කල්පාන්තයක්’ යන නමින්, විනාඩි 20 ක පමණ කාටූන් චිත‍්‍රපටයක් තනන්නට රූප ද ඇඳ තිබිණි. ඉන් විනාඩි දෙකක පමණ කොටසක් ඔහු රූප ගත කළ අතර, යට කී සම්මාන උලෙළට කෙටි චිත්‍රපට බාර ගැනීමේ දිනය පුවත් පතක පළ විය. එම චිත‍්‍රපටය සම්පූර්ණයෙන් රූ ගන්වා නිම කිරීමට කාලය මඳ බැවින්, බ්ලීච් (ඕතඥචජඩ) කරන ලද නෙගටිව් පටල රෝලක් ලංකා චිත්‍රාගාරයෙන් ඉල්ලා ගෙනවිත් ඔහු ඒ හිස් දළ සේයා පටලය මත, කටු පෑනක් ගෙන එක රැයකින් ඉන්දියන් තීන්තෙන් ඇන්දේ, ‘මුහුද යටට ඉර පායයි’ නම් වූ බලවතා සහ දුබලයා අතර ඝට්ටනය පාදක කරගත්-විප්ලවවාදි අමුතු ම සිනමා කතාවක් ය.

එදා, හලාවත හා රත්නපුර ඇතුළු මැතිවරණ කොට්ටාස සතරක අතුරු මැතිවරණයක් පැවැති දිනයක් බව මට මතක ය. මැතිවරණ ප්‍රතිඵල ගෙන එන ගුවන් විදුලි විකාශයට සවන් දෙමින්, ධාවන කාලය, විනාඩි එකකුත් තත්පර තිහක් වූ එහි ඔහු අතින් ඇඳුණු රූප රාමු ගණන 2160 කි.

පසු දින ලංකා චිත්‍රාගාරයෙන් ලබා ගත් එහි මුද්‍රණ පටලයේ කළු පසුබිමේ සුදුවෙන් දිස් වුණු රේඛා රූප, පාට ෆෙල්ට් පෑන් වලින් වර්ණ ගන්වා, උලෙළට ඉදිරිපත් කෙළේ ය. ඊට පෙර දින අයියත් මමත් තාත්තාත් ගොස් මොරටුවේ ‘‘එමෙස් සිනමා හලේ’’ ඔපරේටර් පෝල් අංකල් ලවා දෙවරක් ප්‍රක්ෂේපණය කර - අයියා හැදු ‘‘මුහුද යටට ඉර පායයි’’ නම් වු දෙවෙනි ගිවා වර්ණ චිත්‍රපටය දෙවරක්ම අප දැක බලා ගත්තෙමු.

මරදානේ ‘නිව් ඔලිම්පියා’ සිනමා හලේ පැවැත්වුණු එම උලෙළේ දී, කැමරාවක් නොමැති ව, එවන් චිත්‍රපට තනන, කැනඩාවේ නෝමන් මැක්ලරේන් ගැන පවසමින්, ඒ සඳහා අයියාට ගරු සඳහනක් ලැබිණි. එය එදා කියැවූයේ ඩි. බී. වර්ණසිරි මහතාය. මිලි මීටර් 35 ක පළලින් යුක්ත වූ සේයා පටලයක මිමි. 21 පළලින් වූ රූප රාමුව තුළ චිත‍්‍ර අතින් ඇඳී නිසා, තම නාමය වන ගිවන්ත අර්ථසාද් පීරිස් යන්න සම්පූර්ණයෙන් අඳීන්න ට ඉඩ නොමැති වූයෙන්, එහි ගිවන්ත අර්ථසාද් යන්න පමණක් ඔහු කටු පෑනෙන් ඇන්දේ ය; එතැන් පටන් ඔහු ගිවන්ත අර්ථසාද් පමණක් විය.

එපමණක්ද නොව, විචාරක මඬුල්ලට මෙන්ම විද්වතුන් හට ද නොපෙනෙන, නොදැනෙන තවත් විශේෂිත වූ යමක් ඇත. ඔහු අතින් අඳීන ලද සියලු චිත්‍රපටවල ශබ්ද පට ද ඔහු අතින් - තීන්තෙන් කටු පෑනෙන්ම ඔප්ටිකල් ශබ්ද පථය මත අඳීන්නේ, ඉතා සුක්ෂම ව, මි.මී 35 පටල පටයේ රූප රාමු 19 1/2 ක් (දහනවයාමාරක්) ශබ්දය ඉදිරියෙන් - ප‍්‍රමිතිගතව පිහිටුවා ඇති බව, සිහි කල්පනාවේ තබාගෙනය. (19 AND HALF FRAMES - SOUND ADVANCED)  කැනඩාවේ චිත‍්‍රපට, අතින් අඳීන රජා වන නෝමන් මැක්ලරෙන් වත් එසේ ශබ්ද පටයක් අතින් නිර්මාණය කර ඇති බවට කිසිදු සාක්‍ෂියක් - සටහනක් කොතැනකවත් නොමැත. එබැවින්, ගිවන්ත අර්ථසාද් යනු සැබැවින්ම සිනමා විද්‍යාඥයෙකු වන්නේය....!

මේ අතර, ටයිටස් තොටවත්ත මහතාට ඔහුගේ කාටූන් චිත්‍රපට දෙක දැක ගන්නට ලැබී, තම චිත්‍රපටවලට ඔහු සම්බන්ධ කරගෙන, ‘මංගලා’ චිත්‍රපටයේ නාමාවලිය තැනීමට භාර කරන ලද්දේ ය. එය ඔහු තැනුවේ, හැඳල පිහිටි විජයා චිත්‍රාගාරයේ, ‘මිචෙල්’ නම් වු සිනමා කැමරාව උපයෝගී කරගෙන ය.

ඊළඟ වසරේ දී ඔහු අතින් ඇඳුණේ, බෞද්ධ සංකල්පයක් වන ‘දේවදත්ත’ය. එහි රූප ඇඳ තිබුණේ දෙපැත්තෙන් හකුළමිනි. එබැවින් එය පුළුල් තිර කාචයකින් රූ ගැන්වීමක් නොකළ පුළුල් තිර චිත්‍රපටයකි. එය ගිවා ස්කෝප් යනුවෙන් මවිසින් නම් කෙරිනි. තම වයස විස්සේ දී, පළමු වැනි සම්මානය ඔහු ලද්දේ එම පුළුල් තිර කාටූන් චිත්‍රපටය වූ, ‘දේවදත්ත’ට ය. මේ වන විට, ‘දහකින් එකෙක්’ හි කලා අධ්‍යක්‍ෂණයට සම්බන්ධ වීම නිසා, කලා අධ්‍යක්‍ෂ බලපත‍්‍රය ද, කාටූන් කෙටි චිත්‍රපට තැනූ නිසා, කාටූන් චිත්‍රපට ශිල්පී බලපත්‍රය ද, රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන්, ඔහුට ලැබී තිබිණි. මේ අතර, තමන් හැදූ කැමරාවේ අඩුපාඩු නිවැරැදි කරමින්, හතරවැනි කාටූන් සිනමා කැමරාව ද ඔහු අතින් නිර්මාණය විය.

මේ බව දැනගත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුට පවසා ඇත්තේ, ‘ඔප්ටිකල් ප්‍රින්ටරයක්’ තනන ලෙසට ය. ‘ඒ කුමක් දැයි තමා නොදන්නා බව’ ඔහු කී විට, ලෙස්ටර් මහතා තම පුස්තකාලයට ඔහු කැඳවාගෙන ගොස්, එවැන්නක පින්තූර පෙන්වා තිබේ. යාන්ත්‍රික ඇඳීමට ද අති දක්ෂයෙක් වූ නිසා දුටු සැණින් එය මනසේ සටහන් කර ගන්නට හැකියාවක් තිබුණු අයියා, දින කිහිපයක් ඇතුළත, එවැන්නක් තනා ගත්තේ ය. ‘ඇත්තෙන් ම එය ඔප්ටිකල් ප්‍රින්ටරයක ආකෘතියක් ය’ යි කීම වඩාත් නිවැරැදි ය.

එහි විදුලි බල්බය රැඳවීම සඳහා, ක්ලෝරම්පෙනිකල් නැමැති බෙහෙත් පෙති වර්ගය අවසන් වූ සතරැස් හිස් ටින් එකක් ෆාමසියකින් ඉල්ලා ගෙන ඔහු ඊට සවි කරගත්තේය. ඔහු ඉන් සාම්පල දර්ශන ප්‍රයෝග ද කිහිපයක් තැනී ය. ඒ, ටයිටස් තොටවත්ත මහතා නිම කළ රක්‍ෂණ සංස්ථාවේ ප්‍රචාරක පටයකත්, මහජන බැංකුව විසින් තනවන ලද වාර්තා චිත්‍රපටයකත් කොටස් ලෙසට ය. එහි සාර්ථකත්වය දුටුවේ ඉහළ ප්‍රමිතියකින් තිරයේ දිස් වූ ආකාරයෙන් ය.

මේ වන විට, මා රත්මලානේ පිහිටි, කනිෂ්ඨ කාර්මික ආයතනයේ ස්වයංක්‍රීය යාන්ත‍්‍රණය පිළිබඳ කාර්මික පුහුණුව ලබමින් සිටියෙමි. එබැවින් එම ඔප්ටිකල් යන්ත්‍රය වැඩි දියුණු කිරීමේ කටයුත්ත අයියා මා හට පැවරුවේ ය. මම එය වවාගෙන කෑවෙමි. එවකට ටයි මහතාගේ ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ කොටස් කිහිපයක් තනන්න අප හට භාර කර තිබිණි.

එහි කැමරා ශිල්පියා වූ ඇන්ඩෲ ජයමාන්න සමඟ ඒවා නිම කිරීමට මට පැවරී ය. ඇන්ඩෲ සමඟ මා විසින් කරන ලද ඒ කටයුත්ත අපගේ සිනමාවේ පළමුවැනි වෘත්තාන්ත චිත්‍රපටයක් වෙනුවෙන් කළ පළමුවැනි දර්ශන ප්‍රයෝගය ය. අදටත් යම් කෙනෙකු ඔහුගෙන් සිනමාවේ කාර්මික ගැටලුවක් ගැන විමසතොත් ඔහුට එය කියා දෙන්නේ සියලු වැඩ පසෙකලා කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගනිමිනි. ‘ඇතැම් විට එදා ඇන්ඩෲ සමඟ ‘මරුවා සමඟ වාසේ’ කටයුත්තත් යන්ත්‍රය වැඩි දියුණු කිරීමේ කටයුත්තත් අයියා මට පැවරූයේ මාගේ ඉදිරි ගමන ගැන ඔහුට යම් ඉව වැටීමක් ඇති වූ නිසායැ’යි මට සිතේ. මරුවා සමඟ වාසේ පුළුල් තිර චිත්‍රපටයේ ප්‍රයෝග දර්ශන ජයගත් අපි - සිනමාහල් හිමියන්ගේ දැඩි ප්‍රසාදයට පාත‍්‍ර වීමු.

පසුව - ලෙස්ටර් මහතාගේ වීරපුරන්අප්පු - අහසින් පොළවට - ගැහැනු ළමයි ද පතිරාජගේ බඹරු ඇවිත් - එම්.එස් ආනන්දගේ චන්ඩි ශ්‍යාමා - සුනිල් ආරියරත්නගේ සරුංගලේ ද, පොඩි මල්ලී ද විජය ධර්ම ශ්‍රී ගේ සිටු කුමරියෝ සහ චුඩා මැණික්‍ය ඇතුළු දේශිය චිත‍්‍රපට ගණනාවකට ප‍්‍රයෝග දර්ශන සේවය ලබාදීමෙන් අපි නිමක් නැති සතුටක් ලැබුවෙමු.

ඒ අතර, ‘කදා වළලු’ කතාව අතින් ඇඳ නිම කරද්දී, ඔහු මා ද එයට සහභාගි කරවා ගත්තේ ය. මම ද, ඉන් සිනමාව ට සම්ප‍්‍රාප්ත වීමි. ඒ, 1974 වසරේ දී ය. මම ද එහි කොටස් කිහිපයක් ඇඳීමට බාරගත් අතර - එහි යුහුමු දර්ශන කිහිපයක්ද අතින් ඇන්දෙමි. එය ඉතා අසීරු කාර්යයකි. එහි නාමාවලිය පමණක්, ඇනිමේෂන් කැමරාව උපයෝගී කර ගෙන අපි තැනීමු.

එම වසරේ දී ඔහුගේ මිත‍්‍ර සරත් කැල්ලපත අතින් ‘දුටුගැමුණු’ තිර රචනය ලියවා ගෙන, රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කෙළේ ය. ඊට ‘බී’ ශ්‍රේණියේ අනුමැතියක් ලැබුණ ද, ‘බී’ ශ්‍රේණියේ තිර රචනයන්ගෙන් තැනෙන චිත්‍රපටවලට රුපියල් 1,50,000/- ක ණය මුදලක් එවක සංස්ථාව දුන්න ද, මේ කාටූන් චිත්‍රපටය සඳහා එම මුදල අනුමත කිරීම, සංස්ථාවේ නිෂ්පාදන අංශය ප්‍රතික්‍ෂේප කළේය. ඒ, ‘අතින් හැදූ කැමරාවකින් චිත්‍රපටයක් තැනීමට නොහැකි ය’යි කියා ලිපියක් එවමිනි. එය තවමත් අයියා ළඟ තිබේ.

එබැවින්, එය තැනීමට මුදල් සොයා ගැනුමට මහත් දුෂ්කර ක්‍රියා කළ හෙතෙම, තම මිතුරන් විසි දෙනෙකුන් විසින් මසකට රුපියල් පනහ (50/-) බැගින් ලබා දෙන උපකාරයෙන් නිෂ්පාදන වියදම සොයා ගත්තේ ය. එසේ වුවද, දළ සේයා පට නිකුත් කිරීමේ ඒකාධිකාරය එදා සතු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ නිෂ්පාදන අංශය, පොල්ලක් හරස් කරමින්, මේ චිත්‍රපටය තැනීමට අනුමැතිය දීම ද ප‍්‍රතික්‍ෂේප කළේය.

එහෙත්, ඔහු එවක චිත්‍රපට කිහිපයක් සඳහා කරන ලද දර්ශන ප‍්‍රයෝග ද, පතිරාජ එල්. එස්. දයානන්දගේ සිංහබාහු චිත්‍රපටයේ, දර්ශන ප්‍රයෝග ආශ්‍රිතව කළ සමෝධානිත ජවනිකාව ද දැක තිබුණු, රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්, ”ඔහුට සිනමා කැමරා ශිල්පී සහ සංස්කරණ ශිල්පී බලපත‍්‍ර පිරිනැමීම උචිතය” යනුවෙන් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුම්වත් කර තිබිණි. ඒ හේතුවෙන්, කිසිදු චිත්‍රපටයක් කැමරාගත නොකළ, කිසිදු චිත්‍රපටයක් සංස්කරණය නොකළ, මේ ශිල්පියා හට, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව එම බලපත්‍ර දෙක ද, පිරිනැමුවේය.

යට කී පරිදි චිත්‍රපට සංස්ථාව විසින්, ‘දුටුගැමුණු’ චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා දළ සේයා පටල බලපත‍්‍රය දීම ප්‍රතික්‍ෂේප කරන ලද නමුදු, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් මැදිහත් වී, ඔහුට කෙටි චිත්‍රපට බලපත්‍රයක් නිකුත් කරන්නට, නිෂ්පාදන අංශයට නියෝග කෙළේය. නිහාල්සිංහයන්ගේ අදහස පරිද්දෙන්, තම කුලුඳුල් වෘත්තාන්තය වූ ‘දුටුගැමුණු’ චිත‍්‍රපටය නිර්මාණය කිරීම, කෙටි චිත්‍රපටයක් ලෙස ඔහු ආරම්භ කෙළේ ය. මවිසින් නම් තැබු ගිවාස්කෝප් නම් නව ක‍්‍රමවේදය යටතේ එය රූ ගැන්විය.

එම කෙටි චිත්‍රපට බලපත්‍රය අනුව සංස්ථාවෙන් මිල දී ගත්, චුම්බක පටල මත, බොරැල්ලේ ජෝ- නෙත් ශබ්දාගාරයේ දී, චිත‍්‍රපටයේ ගීත සඳහා සංගීතය ද, ගීත තුනක් ද, ඩොනල්ඩ් අයිවන් අප්පුහාමි ලවා පටිගත කරවා ගත්තේ අයියා විසින් සිනමාවට කැන්දාගෙන ආ සංගීතඥ සෝමපාල රත්නායකගේ සංගීත අධ්‍යක්‍ෂණය යටතේ ය. ඒ, 1976 වසරේ ජූනි 29 වැනිදා ය. එම ජූලි 6 වැනිදා, එහි ඉතිරි ගීතවලට, ආචාර්ය වික්ටර් රත්නායක සහ ටී. එම්. ජයරත්නගේ හඬ කැවිණි. එදිනම, චිත්‍රපටයේ දෙබස් ද පටිගත කරන ලදින්, රූප අඳීමින් එහි කටයුතු ශීඝ‍්‍රව කරගෙන යාම ඔහු ඇරැඹී ය.

එහෙත්, 1977 දී නවරජය පත්වීමත් සමඟම දුටුගැමුණුට දල සේයා පටල නිකුත් කිරීම - සංස්ථාව සහමුලින්ම නවතා දැමීය. මේ බව මා විසින් ගාමිණි ෆොන්සේකා මහතානන් හට සැලකිරීමෙන් උරණ වූ එතුමා තම වීරවන්ත බලවත් හස්තය දුටුගැමුණු වෙත දිගු කළේය......

වහාම - ගිවන්ත අර්ථසාද් වෙත දලසේයා පට නිකුත් කරන මෙන් නියෝග කොට සුද්දගේ බාසාවෙන් සංස්ථාවට ලියු ලිපිය අයියා අත තැබුවේය. ලිපිය ලද උපසේන මාරසිංහ සභාපතිවරයා එවෙලේම දලසේයා පට නිකුත් කළේය.

දුටුගැමුණු කැමරා අධ්‍යක්‍ෂණයේ වගකීම ද අයියා විසින් මා හට පවරනු ලදුව, මාස 18 කින් නිම කිරීමට පිඹුරුපත් සැකැසූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය, එම ඉලක්කයට දින 5 කට පෙර වැඩ නිම කර, එනම්, 1978 ක් වූ දෙසැම්බර් 24 වැනිදා, එහි පළමු පිටපත ලංකා චිත්‍රාගාරයේ දී අපි නැරැඹීමු.

තවද මහජන ප්‍රදර්ශනය සඳහා පිටපත් මුද්‍රණය කළේ කැලණියේ සරසවි චිත්‍රාගාරයේ දීය. එහි පළමු පිටපත නැරඹුවේ ලාංකේය සිනමාවේ ප්‍රථම නළුවා වන ඇඩී ජයමාන්න මහතාත් අයියාත් මාත් පමණි.

සිනමාව පිළිබඳ හසල දැනුමක් ඇති අයවලුන්ව ද විමතියට පත් කරවමින් - දුටුගැමුණු ලෝක වාර්තාවක් තැබුවේය......!

ඇනමෝෆික් පුළුල් තිර චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය කිසිදු ‘‘ඇනමෝෆික්’’ කාච භාවිතයකින් තොරව, රූගැන්වු ලොව එකම චිත්‍රපටයයි. චිත‍්‍රපටයේ පළමු රූප රාමුවේ සිට අවසන් රූප රාමුව දක්වා 129,600 ක සියලු චිත්‍ර 1:2 කේ අනුපාතයට දෙපසින් හකුළා අඳීන ලදී. එම හැකිළී ගිය විකෘති වූ රූප මාලාව - සිනමාහල් ප්‍රක්ෂේපණයේ දී විහිදී යන ආලෝක කදම්භය වැඩිපුර දෙගුණයක් දෙපසට ඇදී ගොස් නැවත ප්‍රකෘති තත්ත්වයෙන් පුළුල් තිරයක් මත දර්ශනය පතිත වන්නේ සිනමාහල් ප්‍රක්ෂේපණයේ ඇති ප්‍රදර්ශන ‘‘ඇනමෝෆීක්’’ කාචය හරහා ය. එය ලෝක වාර්තාවකි. ඇනමෝෆික් පුළුල් තිර කාචයක් නොමැතිව, ඇනමෝෆික් පුළුල් තිර චිත්‍රපටයක් හැදූ ලෝකයේ එකම සිනමාකරුවා ගිවන්ත අර්ථසාද් නමැති සිනමා විද්‍යාඥයාය.

ඔහු ‘දුටුගැමුණු’ නිර්මාණය ට අත ගසන්නට පෙර, අන්දරේ, මුහුද යටට ඉර පායයි, දේවදත්ත, කදා වළලු , කුරුල්ලා මීයා සහ ඉඹුල් කිරිබතා, ලෝකෙම සාක්කුවේ, වෛකල්ප, මහාචාර්ය, අල්ලස් සහ දුම (රජයේ චිත්‍රපට අංශය සඳහා) නමින් යුත් කෙටි කාටූන් චිත්‍රපට දහය (10) ක් නිම කර තිබුණේ, එම ශිල්පය වැඩි දියුණු කර ගැනුමට ය. ‘දුටුගැමුණු’ නිර්මාණය නිසා, චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ දර්ශන ප්‍රයෝග ශිල්පී බලපත‍්‍ර ද ඔහුට ලැබුණෙන්, ගිවන්ත අර්ථසාද් යනු අප සිනමාවේ බලපත‍්‍ර හය (06) ක් සතු එක ම ශිල්පියා බවට පත්විණි. දේශීය චිත්‍රපට 50 ක් පමණ වූ සංඛ්‍යාවකට ඔහු තම සේවය දුන්නේ, කාටූන් නාමාවලි, පූර්ව ප්‍රචාරක පට, කලා අධ්‍යක්‍ෂණය, දර්ශන ප්‍රයෝග , ස්ක්‍රීන් මුද්‍රණ, පෝස්ටර් සැලැසුම, සිනමා ස්ලයිඩ්ස් හා ප්‍රචාරක කටයුතු ආදි විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ය.

මේ අතර 1980 දෙසැම්බර් මස 20 වැනිදා ඔහු ගේ විවාහය සිදු කෙරිණි. එදා එම මංගල්‍යෝත්සවයට පැමිණි රාජ් රණසිංහ නම් චිත‍්‍රපට නිෂ්පාදකවරයා ඔහුට පිරිනැමූ තෑග්ග වූයේ දර්ශන ප්‍රයෝග ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කටයුත්තය. ඒ වන විට අයියා ස්වාධීන රූපවාහිනීයට බැඳී සිටියෙන් එහි නිර්මාණ කටයුත්ත ඔහු මට පැවරුවේ ටෙනිසන් කුරේ ද හවුල් කරගෙන එය තනනු පිණිස ය. එහෙත් මට වුවමනා වුයේ මගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් කර පෙන්වීමටය.

ඒ අනුව - ටෙනිසන් කුරේ කථාව දෙබස් ලියු නොම්මර එකයි මා ආරම්භ කළේ නිෂ්පාදන කාර්යයට රාජ් රණසිංහ මහතා කැමති කරවාගෙනය. මම ටෙනී ද කැඳවා ගෙන සිනමාව නමැති පීල්ලේ ගමන් ඇරඹූවෙමි. අයියා රූපවාහිනී පීල්ලට තම ගමන සීරුවෙන් මාරු කෙළේ ය.

‘පරිගණක නොමැති යුගයේ ආරම්භ වුණු රූපවාහිනීයේ දර්ශන ප්‍රයෝග සඳහා ඔහු අතින් නිමැවුණු මෙවලම් ගණන මෙතෙකැ’යි කිව නොහැකි ය. වයස 27 ක් වූ ඔහු එහි අංශ සතරක කටයුතු මෙහෙයවමින්, මාධ්‍යරූප ඒකකයේ පමණක් තමන් යටතේ ශිල්පීන් තිස් දෙක (32) ක් සිටිය ද, ඔහුගේ අතින්ම ඇඳී රූපවාහිනී මාධ්‍යරූප සංඛ්‍යාව ද ගණනය කළ නොහේ. පළමුවැනි ජනාධිපතිවරණය සඳහා දැවැන්ත පසුතලයක් ඔහු ඉදි කොට, පරිගණක මුහුණතක් සේ දිස් වන්නට සැලැස්වූයේ, පරිගණක භාවිතයක් ගැන අප රට නොදැන සිටි යුගයක ය. එමෙන් ම, එතෙක් මෙතෙක් කවුරුත් නොකළ, දර්ශන ප්‍රයෝග ඡායාරූප දැක්මක්, 1985 වසරේ දී ඔහු ඊපඪජඩඵ ) ඡ්ටටඥජබඵයන නමින් එළි දැක්වූයේ ද, පරිගණක සේයා රූ ගැන අප ශිල්පීන් දැනගන්නටත් කලිනි.

සියුම් රූප ඇඳීමට සිය දෑස් අනවශ්‍ය පරිදි වෙහෙස කිරීම හේතුවෙන්, ඔහුට වයස අවුරුදු 32 ක් ව සිටිය දී, දෑස් අන්ධ වී යන ලකුණු පහළ විය. ඒ බව වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ ද ඔහුම ය. ඒ, කැමරාවත් ඇසත් එක හා සමාන බව දත් ඔහු, සිනමා කැමරා කාර්මිකයකු වූ බැවිනි. රජයේ නයනාරෝග්‍ය ශාලාවේ දී, 1986 වසරේ දී තිබූ තාක්‍ෂණය අනුව, කාබන්ඩයොක්සයිඩ් වායුව උපයෝගී කරගෙන, ඔහුගේ ඇස් දෙකෙහිම, දෘෂ්ටිවිතානයන්, වෙල්ඩිං කර තිබේ. වෛද්‍යවරුන්ගේ උපදෙස් වී ඇත්තේ, ඔහුගේ අන්ධ වීම ගැන කිසිවක් කිව නොහැකි හෙයින්, තමන් අදහන දෙවියන් සමඟ ජීවත් වන ලෙසට ය. කාරණාව ඒ තරමටම බරපතළ බව කියැවිණි.

ඔහු තම තනතුර හැර දමා රූපවාහිනීයෙන් එළියට බටුයේ, තමන් අන්ධ වීමට පෙර, තමා මෙලොවට එන විට නොමිලයේ රැගෙන ආ ශිල්ප, නොමිලයේ ම අනුන්ට කියා දීමට ය; හර්මන් හෙස ගේ ‘සිද්ධාර්ථ’ නම් කෘතිය ඇසුරෙන්, හෙන්රි ජයසේන ලියූ, වෙසක් උදානය, ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තම සේවය නිම කරමින් කළ අවසන් සජීවකරණ නිර්මාණය යි. එයට විජය රූපවාහිනී පළමුවැනි සම්මාන උලෙළේ දී, විශිෂ්ටතම රූපවාහිනී සජීවකරණ නිර්මාණයට හිමි සම්මානය ලැබිණි.

ජපන් රජය අප රටට පිරිනැමූ රූපවාහිනියෙන් කළ හැකි කායදැයන් ගැන විමසා බලනු වස්, රූපවාහිනියේ ඉංජිනේරු අංශය ඔහුගෙන් එදා කළ ඉල්ලීමක් වූයේ, ‘අපට ලැබී තිබෙන රූපවාහිනී චිත්‍රාගාරයන්හි තිබෙන නවීනතම මෙවලම් උපයෝගී කරගෙන, කුමන අන්දමේ දර්ශන සැරැසිලි(Effects)  ඉන් නිමැවිය හැකිදැ’ යි පිරික්සා බලන ලෙසටය; තව ද, ඒ සඳහා, දර්ශන ප්‍රයෝග සහිත වැඩසටහනක් ද නිර්මාණය කරන ලෙසට ය. ඒ අනුව, ජාතික රූපවාහිනිය විසින් නිපදවන ලද, අප රටේ පළමුවැනි විද්‍යාත්මක ටෙලි නාට්‍යය වූ, ‘සක්වළ සැරිසරන ලිහිණි’ කොටස් සතරකින් යුක්තව, ගිවන්ත අතින් නිර්මාණය විණි. එදා ඔහු රචනය කර නිමැවූ එම ටෙලි නාට්‍යය වූ කලී අප රටේ නිම කළ පළමුවැනි විද්‍යා ප‍්‍රබන්ධ ටෙලි නාට්‍යය The First science ficion tele drama in sri Lanka)  ලෙස ඉතිහාස ගත වෙයි.

එසේ ම 1997 වසරේ දී Event Horizon යන නමින් බිහි වූ විදේශීය චිත්‍රපටය සඳහා 1983 දී ‘ඔහු නිම කරන ලද මෙම ටෙලි නාට්‍යයේ තේමාව ම පාදක කර ගත්තේ කෙසේ දැ’යි යන්න තවමත් පැනයකි.

ඒ සියල්ලම ඉතිහාසය සමඟ ක‍්‍රමයෙන් වැළලී යන්නේ බුද්ධිමය දේපළට නිගා කරමිනි.

අයියා නිම කළ විද්‍යා ප‍්‍රබන්‍ධ ටෙලි නාට්‍යයේ දර්ශන ප්‍රයෝගවල සාර්ථකත්වය ද, ඒ සඳහා ඔහු නිමැවූ යාන්ත්‍රික මෙවලම් ද දුටු, රූපවාහිනී ඉංජිනේරු අංශයේ ප‍්‍රධානී, රුක්මින් විජේමාන්න කළ තවත් ඉල්ලීමක් වූයේ, ප‍්‍රවෘත්ති කියැවීම පිණිස, ‘ටෙලි ප්‍රොම්ප්ටරය’ (Tele M‍mrompter)  ක් තනා දෙන ලෙසයි. වර්තමානයේ රූපවාහිනී නාළිකාවන් ප්‍රයෝජනයට ගන්නේ, විද්‍යුත් ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ටෙලි ප්‍රොම්ප්ටර් ය. එහෙත් ගිවන්ත එදා (1982) දී නිර්මාණය කළ මේ කියන ටෙලි ප්‍රොම්ප්ටරයේ කියවන පිටපත දැකගත හැකි රූපවාහිනී තිරය හැර, සෙසු කොටස් සියල්ල ම, සම්පූර්ණයෙන් ම මෙහි තනන ලද යාන්තත්‍රික මෙවලම් විය.

1987 වසරේ දී, දේශීය සිනමාව ට සතළිස් වසරක් පිරෙත් දී, ඊට විශේෂ ලෙසින් දායක වූ ශිල්පීන් 19 දෙනෙකුට, ජාතික කතෝලික සිනමා පර්ෂදය (OCIC) ප්‍රණාම සම්මාන පිරිනමද්දී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ ගිවන්ත අර්ථසාද් ද, ඒ අතර විය. 1989 වසරේ දී, නාට්‍යවේදී සංගීතඥ සැම්සන් සිල්වා සමඟ ඔහු නිම කළ, ‘මහ සිකුරාදා’ කෙටි චිත්‍රපටය (මි.මී.16) ට ස්වර්ණ සම්මානය හිමිවූයේ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර සම්මාන උලෙළේ දී ය.

එපමණක් ද නොව, 1989 වසරේදී අයියා විසින් ‘‘ඉන්දු සයුරෙ මුතු ඇටේ’’ නම් උපහාසයන් පිරි හාස්‍යෝත්පාදක තේමාවක් රැගත් - විශේෂ දර්ශන ප‍්‍රයෝගයන්ගෙන් හෙබි කළු - සුදු චිත‍්‍රපටයක් නිම කළේය.

අද්‍යතනයේ අප දකින ‘ඩිජිටල් රූප මායාවන්’ වලට පෙර, 1990 වසරේ දී ඔහු, සුනිල් සාන්තයින්ගේ 75 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්, මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේ දී, ‘සුනිල් සඳ’ නමින් අප රටේ පළමුවැනි රාවාලෝක දර්ශනය දැක්වූයේ, තමන්ම සාදා ගත් ප්‍රක්ෂේපණ යන්ත්‍ර (8) ක් උපයෝගී කරගෙන, ඒවා සියල්ලම තනිවම තම අතින් ක්‍රියා කරවමිනි. එයට මම නම තැබුවේ සිනේරාවා (ඛ්ඪදඥපචචමච) යනුවෙනි.

2000 වසරේ නිෂ්පාදන කටයුතු ඇරඹි 2001 දී තිරගත කල ශ්‍රී ලංකාවේ දෙවැනි කාටුන් චිත්‍රපටය වන මහදැනමුත්තයි ගෝලයො රොත්තයි වර්ණ සිනමා පටය, ඔහු මා සමඟ අධ්‍යක්‍ෂණය කළ අතර එයට සිග්නීස් සිනමා සම්මාන උලෙළේ ගෞරව සහතිකයක් පිරිනැමිණි.

මේ වන විට, අප දේශයේ තුන්වැනි කාටූන් චිත්‍රපටය වන, ‘යුරේකා’, ආලේඛ්‍ය චිත්‍ර ද සම්බන්ධ කරමින් තනා නිම කර සිටින ඔහු අතින්, සජීවකරණයෙන් නිම කළ බෞද්ධ ජාතක කතා පහක්, ඩයලොග් නාළිකාව ඔස්සේ දැක ගත හැකි ය.

මේ සිනමාවෘද්ධයා ගුවන්විදුලිය ඔස්සේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ වත්මන් තාක්‍ෂණය යොදා ගෙන සිය නිවෙසේ සිටම ය. රූපවාහිනී නාළිකා සඳහා තවමත් ඔහු සජීවකරණයේ යෙදෙයි. ඒ ද තමාම අටවාගත් මෙවලම් හා පරිගණකය සුසරගත කරමිනි. ග්‍රාපික මාධ්‍ය උපයෝගී කරගෙන චිත්‍ර නිර්මාණ කටයුතුවල ද ඔහු යෙදෙයි. පුවත්පත් සඳහා වූ ලේඛන කටයුතු මැද ඛධධථ තාක්‍ෂණය ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන් ද දැනුම්වත් කරමින් දේශන පවත්වයි. ඒ ඔහු වසර 68 කට පෙර මෙලොවට නොමිලයේ රැගෙන ආ දැනුම නොමිලයේ ම අන්‍යයන්ට දානය කිරීමේ පරම අභිලාශයෙන් යැයි කීවොත් ඔහුගේ ජීවිත සංකල්පය වඩාත් නිවැරදි වෙමින් - ඔපමට්ටම් වෙයි.

ගිවන්ත අර්ථසාද් නැමැති, මේ මහා සිනමා විද්‍යාඥයාට - නව සිනමා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හට ගුරු-හරුකම් ලබා දීමට තව තවත් ඉඩ ප්‍රස්ථාව ලැබේවායි සිනමාව වෙනුවෙන් පතමි ....!