ඔබ ඉන්නේ කොහෙද කියා - අපි සොයනවා ලෝකේ පුරා

සැප්තැම්බර් 9, 2021

 

මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවෙනවා නම් එදින නැවත මා හිනැහෙන්නම්

 

ඔහු යන්නම යන්න ගොස්ය. මීට සතියකට දෙකකට උඩදීද ඔහු ගිය බව කියමින් අප හද ගැස්ම නතර කළෝද වූවෝය. එහෙත් ඔහු එදා ගියේ නැත. කෝවිඩ් මාරයා හා සටන් කර ජය ලැබුවේය. නොබෝදා ඔහු සුවපත් වී නිවෙසට ගොස් සිටි ඡායාරූපයක්ද මුහුණු පොතේ සැරි සැරුවේය. ඔහුගේ සුවහසක් රසික රසිකාවන් මෙන්ම ක්ෂේත්‍රයේ සුහද හිතවත්තුද දස දහස්වර දෙවියන්ට ස්තූති කළෝය. ඒ සුනිල් පෙරේරා නම් වූ ඒ සොඳුරු හිතවතා අපට ඉතිරි කර දීම වෙනුවෙනි.

එහෙත් සැප්තැම්බර් 6 වැනිදා උදය වරුව අපට රැගෙන ආවේ සෝබර පුවතක්ය. මේ වැහිබර අඳුරු උදැසන අපට රැගෙන ආවේ ඔහු අප හැරපියා ගිය බව කියනා සෝබර පුවතයි. මෙවර නම් ඔහු ඇත්තටම අප හැර පියා ගොසිනි. සංගීත ක්ෂේත්‍රයේ අති විශාල රික්තයක් ඇති කරමින් , කෝවිඩ් වසංගතයේ තවත් එක් ගොදුරක්ව නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් ජිප්සීස් නායක සුනිල් පෙරේරා සදහටම දෙනෙත් පියා ගත්තේය.

මේ වැසුණු දෙනෙත් මෙරට සංගීත ඉතිහාසයේ සදා නොමැකෙන අවදියක අමරණීය සටහන් ඉතිරි කළ අපූරු මිනිසෙකු ගේ දෙනෙත්ය. ඔහු මෙරට කණ්ඩායම් සංගීතයේ දැවැන්තම පෞරුෂත්වයයි. දශක පහකට වැඩි කාලයක් මේ රටේ ගීත රචකයෙකු , ගායකයකු, සංගීත කණ්ඩායම් නායකයකු, සංගීතඥයකු වශයෙන් කළ මෙහෙවර පිළිබඳ එදා මෙදා තුර ඇගයී ඇත්තේ නම් අල්ප වශයෙනි. එහෙත් ඔහුගේ නිර්මාණ වෙනුවෙන් සහ සමහර ඔහුගේ අදහස් දැක්වීම් වෙනුවෙන් ඉදිරිපත් වූ විචාර විවේචන නම් අති මහත්ය. මේ සියලු විචාර , විවේචන ඉතා සතුටු සිතින් බාර ගැනීමේ හැකියාව සුනිල් පෙරේරාට මුල සිටම විය. එබැවින් ඔහු කිසිදු දිනක ඒවා වෙනුවෙන් කම්පා වූයේ නැත. කෙනකු හොඳක් කීවද ඒ වෙනුවෙන් ආඩම්බර වූයේ ද නැත. කොයි තරම් කකුලෙන් ඇද්දද ඒ සියල්ල තම පෙර ගමනට ආශිර්වාද සේ සලකන්නට හැකි නොසෙල්වෙන සිතක් ඔහුට තිබුණේය. මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා අන්දමක පුරාවෘත්තයක් වන්නට ඔහුට හැකි වූයේ මෙවන් අරුමැසි ගුණාංග ඔහු සතු වූ නිසාය.

සුනිල් පෙරේරා ජන්ම ලාභය ලබන්නේම සංගීතය තුරුලු කොට ගෙනය. එයට හේතුව වන්නේ ඔහුගේ පියාද සංගීතයට ලැදි , සංගීත රසකාමී සංගීතඥයකු වු නිසාය. 1952 සැප්තැම්බර් 14 වැනිදාවක සුනිල් මෙලොව එළිය දකින්නේ සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුතු පවුලකය. සැප්තැම්බර් මාසයේම ඉපිද සැප්තැම්බර් මාසයේදීම ඔහුට යන්නට සිදුවීමද ඔහුගේ දෛවයේ ලියැවී තිබෙන්නට ඇත. සුනිල් ගේ පියා , ඇන්ටන් පෙරේරා ය. මව ඩොරීන් පෙරේරාය. ඇන්ටන් හිටපු හමුදා සාමාජිකයෙකි. පසුව ඔහු රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළේය. එසේම ඔහු රසකැවිලි ව්‍යාපාරයේද නියුතු වූවේය. සුප්‍රකට ග්ලූකෝරස ව්‍යාපාරය ද මේ පරම්පරාවේ ව්‍යාපාරයකි. මේ අතරම ඔහු සංගීතඥයෙකු වශයෙන් ද කටයුතු කරමින් ‘ ජිප්සිස් ‘ නමින් සංගිත කණ්ඩායමක්ද ආරම්භ කළේය.

සුනිල්ගේ පියාට අවශ්‍ය වූයේ සුනිල්ට උසස් අධ්‍යාපනයක් ලබා දී ඔහු වෛද්‍යවරයෙකු කිරිමටය.එහෙත් දෛවයේ ලියවි ඇති දේ වෙනස්කරන්නට ශක්‍රයාටවත් බැරි බව සනාථ කරමින් සුනිල්ගේ ජීවන මංපෙත සංගීතය හා බැඳෙන්නට පටන් ගන්නේ ඔහු ඉතා ළාබාල වයසක සිටියදීමය.

සුනිල් මූලික අධ්‍යාපනය ලබනුයේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි. පසුව ඔහු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබන්නේය. පාසල් අවදියේද ඔහු විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහුට වයස අවුරුදු 11 වත්දීම ඔහු ගිටාර් වාදකයෙකු ලෙස හුරුබුහුටිවට ගිටාර් වාදනය කළේය. සුනිල් ගේ පියා උසස් අධ්‍යාපනය පිළිබඳ සිහින දැක්කද සුනිල් පාසල් හැර ගිය වහාම සිය පියාගේ ජිප්සීස් සංගීත කණ්ඩායමට බැඳුණේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 15 ක් විය.

පසුව ජිප්සිස් කණ්ඩායම සමන්විත වූයේ සුනිල්ගේම සහෝදරයන්ගෙන් සහ ඥාති සහෝදරයන්ගෙනි. ඒ අනුව නිහාල්, ලාල්, නිමල් හා පියල් ද ඥාති සොයුරන් දෙදෙනෙක්ද ඇතුළුව සත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සාදා ගත්තේය.

සුප්‍රකට ගිටාර් වාදකයකු වූ වින්සන්ට් ජයවර්ධන සහ ජෝර්ජ් ෆර්ඩිනැන්ඩු වෙතින් ගිටාර් වාදනය ප්‍රගුණ කළ සුනිල් ලොරේන් අබේසේකර , ලිලී ගොඩ්රිජ් හා මැරීන් ඩේව්ඩ් යටතේ හඬ පුහුණුවද ලබා ගත්තේය.

සුනිල් ගේ පියා ඇන්ටන් තම පුතුන් පස් දෙනාගේ සංගීත කණ්ඩායම වෙනුවෙන් එවකට ඔවුන් පදිංචිව සිටි රත්මලාන ගාලු පාරේ නිවෙසේ පැත්තක ශබ්දාගාරයක්ද තනා දුන්නේය. ජිප්සීස්ලාගේ පළමු ගී එකතුව පටිගත කෙරුණේ මේ ශබ්දාගාරයේය. අද දක්වාම එම ශබ්දාගාරය පවත්වාගෙන යන්නට සුනිල් කටයුතු කළේය.

70 දශකය තුළ ඔවුහු ඇල්බම් 5ට ආසන්න සංඛ්‍යාවක් ‘ ඩාන්ස් විත් ජිප්සීස් ‘ නමින් නිකුත් කළෝය. ඔවුන් තම ප්‍රථම කැසට් පටය නිකුත් කරනුයේ 1980 දීය. ඒ කුරුමිටිටෝ නමිනි. මෙරට ලොකු කුඩා කාගේත් ආදරය මේ දක්වාම දිනා ගන්නට සමත් වූ ‘ පාවෙන පීරිසියක් උඩ නැඟලා ‘ ගීතය ද එයට ඇතුළත් විය.

ජිප්සීස් කණ්ඩායමේ ප්‍රධාන ගායක යුවළ වූයේ සුනිල් පෙරේරා සහ පියල් පෙරේරාය. ඔවුන් 1972/73 කාලයේ කළ ‘ ළිඳ ළඟ සංගමය' ගීත එකතුවෙන් එළි දැක්වූ ‘ අම්මා අම්මා මේ මට ‘ වැනි ගීත එකල අතිශයින්ම ජනප්‍රිය විය. මේ යුගය වනවිට සුනිල් හා පියල් හැරුණු කොට ඔවුන්ගේ අනෙක් සහෝදරයින් ජිප්සීස් කණ්ඩායමෙන් ඉවත්ව ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු බලා කියා ගැනීමට නික්ම ගොසිනි. එහෙත් කණ්ඩායමක් වශයෙන් ජිප්සීස් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට සුනිල්ගේ හැකියාව, දක්ෂතාවය සේම කළමනාකරණයද බෙහෙවින්ම ඉවහල් විය.

‘‘ නෝනෙ මගේ සුදු නෝනේ

හරි වැඩේ මෙමට වුණේ

බස් එක මඟදි කැඩුණා

ඒකයි මම පමා වු‍ණේ ‘‘ යන ගීතය 1977 දී ජිප්සීස් විසින් ගායනා කරන ලදී. එසේම 1987 දී ඔවුන් විසින් එළි දක්වන ලද ‘ ලුණු දෙහි ‘ ගීතය මෙරට ප්‍රසංග වේදිකාව තුළ විස්මය ජනක වෙනසක් කරන්නට සමත් වූ ගීතයක් වූයේය. ඉන්පසු ‘ අන්කල් ජොන්සන් ‘ වගේම ‘ ඕයේ ඔජායේ ‘ ගීතයද ඒ හා සමානවම රසික ආකර්ෂණය දිනා ගත්තේය. 1997 වර්ෂයේ දී ඔවුහු තම ගමන් මාර්ගය සුවිශේෂී වෙනසකට බඳුන් කරමින් ‘ පිටි කොටපන් නෝනේ ‘ ගීතය ඉදිරිපත් කළෝය.

මේ ගීත සියල්ල තුළම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමේ කිසියම් මැජික් එකක් විය. ඒ මැජික්කරුවා අනෙකකු නොව සුනිල්ය. ඔහුගේ හඬ පෞරුෂය , ගායන රිද්මය මෙන්ම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ කලාව මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණයේ රහස විය.

සුනිල් ගේ බොහෝ ගීත තුළ අපි දකින සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි අඩංගු උපහාස රසයයි. ගීත රචකයෙකු වශයෙන්ද මේ උපහාසාත්මක පද ගැළපීමේ හැකියාව ඔහුට පිහිටා තිබුණේය. සමාජයේ විවිධ දුර්වල ස්ථානයන් මෙන්ම මෙරට ජරා ජිර්ණ දේශපාලන ක්‍රියාදාමයේ යම් යම් සිද්ධීන්ද සුනිල් ගේ ගීතවලින් උපහාසයට ලක්කෙරිණ. උපහාස රසයෙන් යුතු පද බැඳීමට මෙන්ම එකී ගුණය උද්දීපනය වන අන්දමින් ගායනා කිරීමේ උපන් හපන් කමක් ද සුනිල් ට පිහිටා තිබිණ. ඔහු ගයන ‘අයි ඩෝන්ට් නෝ වයි ‘ ගීතයද එයට හොඳම උදාහරණයකි. ඔහුගේ මේ උත්ප්‍රාසය රැගත් ගීත නොයෙක් අවස්ථාවල තහනමටද ලක්වී ඇත. අතිශය නිදහස්කාමි සිතුවිලිවලින් පිරිපුන් මිනිසකු වූ ඔහුට ඒවා පිළිබඳ කිසිදු ශෝකයක් හෝ කනගාටුවක් නොවීය. ඒ වෙනුවට නැවතත් එවැනි නිර්මාණයක් ජනගත කිරීමේ උත්සාහයක නියුතු විම ඔහුගේ පුරුද්ද විය. එසේම තම නිර්මාණයට අවැඩක් කළවුන් වෙනුවෙන් වෛර බඳීමින් තම කාලය නාස්ති කර ගත්තේද නැත.

2017 වර්ෂයේදි ඔහු නිකුත් කළ ‘ කොත්තමල්ලි ‘ ගීතයද මෙරට ජන සමාජය දැඩි ලෙස වැලඳගත් ගීතයක් විය. 2019 දි ඔහු කළ ‘ දියවන්නාවේ ‘ ගීතය මෙරට දේශපාලන මඩ ගොහොරුව දැඩි ලෙසම උපහාසටය ලක් කළ ගීතයක් විය. එය ‘ ජය ශ්‍රී ඇමතිතුමා ‘ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරන ලද්දකි.

සුනිල් සිය නිර්මාණ මඟින් පමණක් නොව පෞද්ගලික ජිවිතයේද සෘජු ප්‍රතිපත්තින් හි පිහිටා කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු කෙනෙකුට යමක් කිව යුතු නම් එය කිව යුතු අවස්ථාවේ මුහුණටම කියන කෙනකි. නැති තැන කිසිවෙකුගේ වැරැදි කියන්නට නොපෙලඹෙන ඔහු ඒවා හිත් යට සඟවමින් මතකයේ තබාගෙන සිටින කෙනෙකුද නොවේ.

ඔහුගේ වාග් විලාසයද ආකර්ෂණීයය. එසේම තර්කානුකූලය. බොහෝ දෙනෙක් සඟවමින් කතා කරන මාතෘකා සුනිල් ඉතාම විවෘතව , යථාර්ථවාදීව කතා කරනු අපි දැක ඇත්තෙමු. එසේම ඔහු තමන් වැරැදි කළා යැයි හැඟුණු විට එම වැරැද්ද පිළිගැනීමටද , නැවැත වැරැදි නොවන්නට වග බලා ගන්නටද කල්පනාකාරි වන්නෙකි.

සුනිල් සිය ජීවන සහකාරිය තෝරා ගන්නේද හිතුවක්කාරයෙකු ලෙසටය. සුනිල් හමු වීමට ගිය නොයෙක් අවස්ථාවන්වල ඔහු තම අතීත ප්‍රේම පුරාණය රස කර කියූ ආකාරය අද ද මට මතක් වන්නේ මේ සොඳුරු මිනිසාගේ අව්‍යාජත්වය යළි යළිත් සිහිපත් කරමිනි. සුනිල්ගේ සහකාරිය වන්නේ ගීතා කුලතුංගය. ඇය සුනිල්ට හමුවන්නේ ද සංගීත ප්‍රසංගයක් නරඹන්නට පැමිණ සිටියදීය. එවකට ඇය අපොස සා. පෙළ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. හොර රහසේ බැඳී ප්‍රේමය කෙතරම්ද කියහොත් ගිතා සිය ජිවිතයම සුනිල්ගේ දෙපා මුල තබමින් ඔහු හා පැමිණෙන්නීය. එයට කලබල වන ගීතාගේ මව්පියන් සුනිල්ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දමන්නේය. 1981 ඔක්තෝබර් 25 වැනිදින සුනිල් ඒ වෙනුවෙන් හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේය. එහෙත් පසුව ඔවුන් දෙදෙනා දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතුව විවාහ දිවියට පිවිසෙන්නෝය.

ඒ විවාහයෙන් සුනිල් සිවු දරු පියෙකු වූවේය. සජිත් හා ගයාන් යනුවෙන් පුතුන් දෙදෙනෙකුද රෙහානා හා මනීෂා නමින් දියණියන් දෙදෙනෙකුද ලැබිණ. සුනිල් ගේ වැඩිමල් පුතු සජිත විවාහ වි ඇත්තේ සුප්‍රකට ගායිකා ඩැල්රින් සූබී ගේ දියණියක සමඟය. දෙවැනි පුත් ගයාන් සිය පියා ගේ මාවතේ යමින් වර්තමානයේ ජනප්‍රිය ගායකයෙකු සංගීතඥයෙකු මෙන්ම සංගිත කණ්ඩායම් නායකයෙකුද වී සිටින්නේය. ‘ ඩැඩී ‘ යනු ඔහුගේ සංගීත කණ්ඩායමයි. සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් ‘ සංගිත කණ්ඩායම ‘ බයිලා ‘ ගායනය වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රතිචාර රැසක් දිනාගත්තවුන්ය. ලෝකයේ බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනාදරය දිනා සිටින ඔවුහු වාර්ෂිකව ඔවුන් ව ප්‍රීති ප්‍රමෝදයට පත්කරන්නෝය.

කණ්ඩායම් නායකයකු වශයෙන් සුනිල්ගේ කළමනාකරණයේ ඇති දක්ෂතාවය මෙතෙක් ඔවුන් ආ ගමනට මහත් ශක්තියක් වූවේය. කණ්ඩායමේ අනෙකුත් ශිල්පීන්ටද ඔහු සැලකුවේ සමානාත්මතාවයෙනි.

මෙරට සමාජ, ආර්ථික , දේශපාලන , සංස්කෘතික වපසරිය තුළ ජිප්සිස් සුනිල් පෙරේරා නිදහස් මතධාරියෙකු විය. ඔහු කුඩා මිනිසකු වුවත් සිතුවිලි සමස්ත සමාජයකම යහපත අපේක්ෂා කළ කරුණාවෙන් පිරි එකක් විය. බොහෝ දෙනෙක් සොයනා සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර් ලෙස බෙදී වෙන්වුණු ජාතික හෝ ආගමික වර්ගවාදය තුළ ඔහු ශ්‍රී ලාංකික යන අපේකම සෙව්වේය. ජාති භේද , ආගම් භේද, කුල භේද කිසිවක් නොසැලකුවේය. ඔහු ප්‍රාර්ථනා කළේ සියල්ලන් සමගියෙන් , සමාදානයෙන් වෙසෙන සාමකාමි රටක්ය.

‘ ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා

වාද නැතී භේද නැතී

ලස්සන ලොව හෙට අපට උදාවේවා... යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේය. උස් මිටිකම් නැති , ජාති භේද නැති ඒ ලස්සන ලොව සුනිල් ගේ දෑස් පියවෙනතුරුත් ඔහුට දැක ගැනීමට හැකි වූවාද යන්න නම් ප්‍රශ්නයකි.

සුනිල් උපතින් කතෝලිකයෙකු වුවද බුදු දහම පිළිබඳ මහත් උනන්දුවකින් කටයුතු කළේය. තමන් උපයන දෙයින් අසරණයන්ට පිහිට වන්නට ඔහු නිතර උත්සාහ කළේය. ඒවා සියල්ලම ඔහු කළේ දකුණතින් දෙන දෙය වමතද නොදන්නා ආකාරයෙනි.

ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුව සිටින්නන්ට ඔහු ඔහුට හැකි අයුරින් අත හිත දුන්නේය. තමන්ගෙන් පසු මේ ගමන යන්නට අනාගත පරපුරක් නිර්මාණය විය යුතුය යන පරාර්ථකාමී අරමුණින් සිටි ඔහු කිසි දිනක නවකයින් හෙලා දකිමින් ඔවුන්ගේ ගමනට අකුල් හෙළුවේ නැත. තමන් විසින් නිර්මාණය කර ගත් සේම , තමන් උත්පත්තියෙන් වාසනා මහිමයෙන් රැගෙන ආ ශක්කියට කිසිවකු අභියෝගයක් නොවන බව ඔහු තදින්ම විශ්වාස කළේය.

මෙරට සිටින්නේ එකම එක සුනිල් පෙරේරා කෙනෙකු බව ඔහු තහවුරු කළේය. ඒ එකම එක සුනිල් පෙරේරා කොවිඩ් මාරයාගේ ගොදුරක්ව දෙව්මව් තුරුළට යන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ මහා හිඩැසක් ඇති කරමිනි. ඒ හිඩැස පුරවන්නට හැකි කිසිවකුත් අප අතර නැත. ආදරණීය ඔබට සුබ ගමන්!

 

 

සේයාරූ- දයාන් විතාරණ