තවමත් ආසයි වේදිකාවට එන්න

වත්මන් දේශීය සිනමාවේ මහා රංග පෞරුෂය
ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය
ජූලි 1, 2021

 

සීත අරණේ සුපුල් නාමලට ජීවිතේ සුවඳ ගල්වන්නට ආරාධනා කරන අහිංසක පෙම්වතා ඔහුය, බොඳ මීදුම් කඳුරැල්ලේ දුහුළු මලකට සුරංගනා රජදහනක් මවන අසම්මත පෙම්වතාද ඔහුය, උන්මාද සිතුවම් මැවී බිඳෙන එක්ටැම්ගෙයක තනි වූ අසරණ පෙම්වතා ඔහුය, තම ලෙයින් තැනුණු කලලය දරාගත් ගැහැනියගේ කුස මතින් රිය පදවන්නට තරම් අමානුෂික දඩයමක යෙදෙන කුරිරු පෙම්වතාද ඔහුය, අතපය වාරු නැතිවද සිරිමැදුරක සපත්නියකටත් මෙහෙකාරියටත් එකවර ආලය කරන චපල පෙම්වතා ඔහුය, ගෝත්‍රික නායක අබ්බඩාද ඔහුය, ජාතික වීරයා පුරන්අප්පු ද ඔහුය, දෑස නිසා සිල් බිඳගත් තවුසාද ඔහුය, චණ්ඩිකම් කළ යකඩයාද සිරිපාලද ඔහුය, රාවණ සොයුරු විභීෂණ ද ඔහුය, රිදී තිරයේ අනේක වූ ගතිසිරිතෙන් හා හැඩරුවින් පෙනී සිටින මිතුරාද, සොහොයුරාද, සැමියාද, පුත්‍රයාද, පියාද ඔහුය. එමතු නොව ඒකාකාරී ගී හඬ පෞරුෂයකින් තම ප්‍රතිරූපය ගොඩ නඟනවා වෙනුවට රාමුගත නොවූ සිය රංග ප්‍රතිභාව විදහාලන්නට බහුවිධ ගායක නාදරූ පරාසයන්ට ගැළපෙන'යුරින් සිය කාය මූර්තිය අඹන්නට සමත් රංගධරයා ඔහුය. සරසවියගේ ආසිරි නොමඳව ලබමින් රවීන්ද්‍ර රන්දෙණිය නම් ලද ඔහු දිනූ දිනය වෙනුවෙන් 'සරසවිය' එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවායි මෙසේ පතමු...

 

ජුනි පස්වැනිදාට අදාළ මේ උපන්දින සුබපැතුමත් සමඟ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රවීණ රංගධරයාණන්ගේ රංගන දිවියේ 51 වසරක රස මතක පත්තර පිටු සුවඳේ ගල්වන්නට කොරෝනා තෙවැනි රැල්ල හරස් විය. එහෙත් සීමිත වචනවලින් හකුලාලිය නොහැකි තරම් දිගු වූ පුද්ගලයකුගේ ජීවිත කාලයක් බඳු ඒ අත්දැකීම් පිළිබඳ සරසවිය වෙනුවෙන්ම වෙසෙසින් කළ මතකාවර්ජනවල රසයෙන් බිඳක් මෙසේ ඔබට දායාද කරමි.

 

එක්දාස් නවසිය හැත්තෑවට කලින් කාලෙ මගේ ජීවිතේ හරි හිස්. වැඩට යනවා, ගෙදර එනවා, ලුම්බිනියේ නාට්‍ය බලනවා එච්චරයි. අපි ඉස්සර චිත්‍රපටත් බැලුවා. හින්දි සිනමාවෙ නම් ඉතින් දිලිප් කුමාර් තමයි. ආශා පාරෙක්ට හදවතින්ම ආදරේ කළා. මම නළුකමට අහම්බෙන් ආවාට ආසාව නොතිබුණා කීවොත් බොරුවක්. ගාමිණි අය්යලාගේ පරසතුමල් එහෙම බලලා පපුව ඇතුළටම ඒවා කා වැදිලා තිබුණා. මාලන් බ්‍රැන්ඩෝ මට රඟපෑමේ පරමාදර්ශී චරිතයක්. ඒත් මම කවදා හරි රංගන ශිල්පියකු වෙයි කියලා අරමුණක් තිබුණෙ නෑ.

කොහොමහරි වේදිකා පරිපාලනය ඉගෙන ගන්න ලයනල් වෙන්ඩ්ට් රංග මන්දීරයට බැඳීලා රංගනය පැත්තට යොමු වෙලා ජීවිතේ පළමුවෙනි වරට වේදිකාවට පය තැබුවේ මූදු පුත්තු නාට්‍යයෙන් බව අරුණි දන්නවානේ. ප්‍රොසීනීයම් වේදිකාවක් වූ ලයනල් වෙන්ට්ඩ් එක එදා ඇරීනා වේදිකාවක් නැත්නම් පේරාදෙණිය වළ වගේ රවුම් එකක් බවට පත් කළා. පාත්‍රවර්ගයා වේදිකාවෙන් බැහැර වන්නේ නෑ. පොඩි පුටු වගයක ඉඳගෙන වේදිකාවෙම ඉන්නවා. මූදු පුත්තුවලදි මුළු වේදිකාවම නිල් ආලෝකයක් ගන්නවා. හරි අමුතුම අත්දැකීමක් ඒක. ඒ තමයි මගේ ආරම්භය.

ඔහුගේ හැඟීම්බර ගැඹුරු දෑස් මත පතිත වූ අතීතයේ සොඳුරු සිතුවම් වසර පනස් එකකට පෙර යුගය වර්තමානයට ගෙන ආවේය. එහි රිසි සේ සරන්නට හැර මම නිහඬව සිටිමි. ඔහු තවත් මතකයේ කිමිදෙයි.

"ශුද්ධ විදිහට මතකයි මමයි ලෙස්ලි රාමනායකයි කළ චරිත දෙක. වැදගත්ම දේ, ඉහළ මධ්‍යම පන්තිකයන්ගේ තෝතැන්නක්නෙ ලයනල් වෙන්ට්ඩ් එක. රංග ශිල්ප ශාලිකාවේ පළමුවැනි නිෂ්පාදනය නිසා මූදු පුත්තුවලට ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට වගේ හොඳ ප්‍රචාරයක් දීලත් තිබුණා. දවසක් ලෙස්ලි ඇවිත් නොහිටි නිසා නාට්‍යයේ අධ්‍යක්ෂ ධම්ම ජාගොඩමයි ඒ චරිතය කළේ. ලෙස්ලි මට කම්මුලට ගහන දර්ශනයක් තිබෙනවා. ධම්ම වෙලාවකට පමණ ඉක්මවනවාද කියලත් හිතෙන තරම් දැඩි ආවේශයකින් චරිත රංගනයේ යෙදෙන්නෙක්. එදා ධම්ම අත දිග හැරලා කම්මුල් පාරක් ගැහුවා ආයෙ කවදාවත් ජීවිතේට කාගෙන්වත් කාලා නෑ එහෙම පාරක්. අදටත් මතක් වෙද්දි මගේ කන ඇතුළේ කූ...ම් ගාන සද්දේ තියෙනවා. මාව කැරකිලා වැටුණෙ නැති එක විතරයි. ඒ තමයි මගේ පළමුවැනි රංගනයේදීම කාපු හොඳම පාර. (සිනාසී) ඒක වෙන්නැති මෙතෙක් කල් ඕනෙම චරිතයක් කරන්න සුදුසු පාඩම වෙන්න ඇත්තේ."

"ඒ මංගල දර්ශනය බලන්න ලෙස්ටර් මහත්තයා, මණික් සන්ද්‍රසාගර ඇවිත් හිටියා. ඒවා දෛවෝපගතයි. දෙන්නම වේදිකාවට ඇවිත් මට සුබ පැතුවා. වටිනාකම, ඒ වෙද්දි දෑස නිසා කරන්න ලෙස්ටර් මහත්තයා ලෑස්ති වෙමින් සිටියේ. ගෞරවයෙන් මතක් කරන්න ඕනේ ජෝ අබේවික්‍රම මහත්තයාත් මා ගැන ලොකූ රෙකමදාරුවක් දීලා තිබුණා. 'කළුදිය දහරට' මණික් සූදානම් වෙමින් හිටියේ. ඊළඟ සති දෙක යද්දි මණික් මට කතා කළා.

ලෙස්ටර් කියන්නේ හිමාලයේ දිලෙන අපේ තරුවනේ. දැස නිසා මගේ තුන්වැනි චිත්‍රපටය වුණාට එතකොට මම රඟ පෑ එක චිත්‍රපටයක්වත් තිරගත වෙලා නෑ. ආධුනික නළුවෙක් විදිහට ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ දෑස නිසා රඟ පෑම."

ඔහු කම්මුල් පහරට වඩා දරුණු අත්දැකීමක් වෙස් මුහුණු නාට්‍යයෙන් ලද්දේය. නළුවකුට හෝ නිළියකට උරුම සම්මාන, පැසසුම්, ගැරහුම් පමණක් නොවේ. මෙවැනි අසරණවීම් නිර්මාණකරුවකුගේ ජීවිතයේම කොටස්ය.

"1987 වනතුරු වේදිකාවේ හිටියා. ධම්ම ජාගොඩමයි 'වෙස් මුහුණු' කළේ. මාලන් බ්‍රැන්ඩොත් නළුවෙකු වුණේ ස්ට්‍රීට් කා නේම්ඩ් ඩිසයර් (ඉබපඥඥබජචප දචථඥඤ ඤඥඵඪපඥ) නිසානේ.

ඒ චරිතය සුකුමාළ චරිතයක් නෙවෙයි. වැඩ ඇරිලා ගෙදර එන්නේත් යකෙක් වගේ. නපුරුත් නෙවෙයි. හැඩිදැඩියි. පාර්සලයක් විසී කරනවා ගෑනිට. එතකොට අහනවා 'මොනවද මේ?'

'මස්'

ගොරහැඩිව එහෙම කියලා කබඩ් එක දඩබඩගාලා අවුස්සලා ෆුට්බෝල් ජර්සියයි බූට්ස් දෙකයි දාගෙන දඩස් ගාලා දොර වහගෙන යනවා. දැන් තේරෙනවානේ චරිතයේ හැටි.

ඒකේ දර්ශන දෙකක් තිබුණු දවසට මට අවසානයේ කාර් එකට යන්න තරම් පණ නෑ. ඒ තරම් දුවන්න පනින්න මේස පෙරළන්න තියෙනවා. බිරිඳට අතිශය ආදරේ නිසාම රණ්ඩු වෙනවා. බිරිඳගේ අක්කව පෙන්නන්න බෑ වංසෙ කබල් ගාන නිසා.

දවසක් බර්ත්ඩේ පාටි එකේදී නෑනා ලස්සනට ඇඳගෙන එහෙම ඇවිත් කෑම මෙසේදි කියනවා පිළිවෙළකට කෑම කන්න, චාරිත්‍ර එහෙමත් තියෙනවානේ කියලා. එතකොට බිරිඳ කියනවා

'ඔය තියෙන්නේ... කාලා තියෙන්නේ කටින් නෙවෙයි මූණෙන්'

ඒ කතාවට මිනිහට කේන්ති යනවා.

(ඔහුගේ මුහුණු තෙල් පැහැ වී දිලිසෙයි. දෑස රෞද්‍රය. නාසය පිම්බී ඇත. හතිහලයි.)

'හා එහෙමද?.. එහෙමද?.. කාපල්ලා එහෙනම් කටින්'

(අත ඔසවා යමක් පො‌ළොවේ ගසන ලෙස කළ අභිනයට මම තිගැස්සුනෙමි. ඔහු යළි සිනාමුසව කියයි.) කියලා දඩාං ගාලා ගහනවා කේක් එක පොළොවෙ. ගෑනු ටික විසිරිලා එහෙ මෙහෙ දුවලා යනවා.

එහෙම කරපු මිනිහා විනාඩි දහයකට පස්සේ පඩිපෙළ ළඟ වාඩිවෙලා අඬ අඬ කෑගහනවා බිරිඳට එන්න කියලා ආපහු. මම ධම්මගේ ශිෂ්‍යයා ඒ වෙද්දි. ධම්මත් ඒ චරිතය රඟපාලා හොඳම නළුවා වෙලාත් තියෙනවාද කොහෙද. එතකොට රුක්මණී දේවි තමයි අක්කගෙ චරිතෙ කරලා තිබුණේ. ඊට පස්සේ සෝමලතා සුබසිංහ සහ ඉංග්‍රීසි වේදිකාවේ ජනප්‍රිය චරිතයක් වුණ රෝමා ඩි සොයිසා. මා එක්ක සෝමලතා සුබසිංහ සහ අයිරංගනී සේරසිංහ වැනි විශිෂ්ට ශිල්පිනියන් එහි රඟපෑවා. අයිරාංගනී මුලින්ම මට මුණගැහෙන්නේ ලයනල් වෙන්ට්ඩ් එකේ අපේ කටහඬ පිළිබඳ ගුරුවරියක් ලෙස. එතුමිය කීවා කොයිතරම් නළුවෙක් තමන්ගේ දෙබස් ගැන සීයට සීයක් දැනගෙන ඉන්න ඕනෙද කියනවා නම් යන්තම් හෝ සැකයක් හිතේ මතු වුණොත් කැමරාව ඒ බව සටහන් කරගන්නවා කියලා. ඒ නිසා නාට්‍ය පිටපත මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි මතක තබා ගන්න ඕනෙ කියලා. පසුව ඇය මගේ අම්මා ලෙස වගේම බිරිය ලෙස රඟපෑවා විතරක් නෙවෙයි එකම වේදිකාවේ දක්ෂතම නළුවා සහ නිළිය ලෙසත් සම්මාන දිනා තිබෙනවා. එයත් හරිම දෛවෝපගතයි.

ඉතින් මම කොයිතරම් ආවේශයකින් වෙස්මුහුණු චරිතය කළා ද කීවොත් කෑම මේසේ ගෝරිය ඉවරවෙලා නෝනා පිඟන් අස්කරන්න යද්දි දඩාං ගාලා ඒකටත් ගහලා තමයි පඩි පේළිය ළඟ වාඩිවෙන්නේ. මම එහෙම වාඩිවෙලා ඉද්දි මගේ අතින් ටික් ටික් ගගා ලේ බින්දු ගලනවා. බලද්දි අර පිඟානක් බිඳීලා ඇත්තටම අත කැපිලා. ඒත් මට යන්න විදිහක් නෑනේ. ඉවසගෙන ඉතිරි ටිකත් කළා. ඉතින් නාට්‍යය ඉවර වෙද්දි හිතුවා අතත් කැපිලා, ලේ පෙරිලා මම මේ පාර නම් මාර තාත්විකව රඟපෑවා කියලා. එක ප්‍රේක්ෂකයෙක් වේදිකාවට ඇවිත් අහනවා "කොහොමද මේ අර පිඟානට ගැහුවාම අත කැපිලා වගේ ලේ වැක්කෙරුණේ. තින්ත පැකට් එකක් අතේ තියාගෙන හිටියද?" කියලා. මාව නිකං... බැලුමක හුළං ගියා වගේ වුණා."

ඔහු රංගනයේ පන්නරය ලැබුවේ වේදිකාවෙනි.

"ඉඩම නාට්‍යය දර්ශන වාර 175ක් කළා. අවුරුදු තුනක් විතර. ඒකත් අත්දැකීම් බහුල නාට්‍යයක්. හබුං කටයි බත් දෙකටයි, හෙලේ නඟින් ඩෝං පුතා වගේ ඒවා අතර අන්තිමට කළ හොඳම එක තමයි ටෝනි රණසිංහ නිෂ්පාදනය කළ ජුලියස් සීසර්. ගාමිණියි, ටෝනියි, මමයි හිටියේ. ගාමිණි ෆොන්සේකා වේදිකාවට ගෙනා නාට්‍යයනේ ඒක. මම කළේ මාක් ඇන්ටනිගේ චරිතය. එය හරිම ප්‍රබල, සාර්ථක, දැවැන්ත නාට්‍යයක්. 87 වසරේනේ ඒක කළේ. ඒ කාලේ ඇති වුණු අවිචාරවත් සමය නිසා එහෙමම එය නැවතුණා. ඊට පස්සේ ආරාධනා ආවත් කාල කළමනාකරණය කරගන්න බැරි නිසා සම්බන්ධ වුණේ නෑ. ඒත් තවමත් ආසයි වේදිකා නාට්‍යයක රඟපාන්න. ඒත් අද වේදිකාව තිබෙන තත්ත්වය ගැන නම් මම අදහස් පළ කරන්න යන්නේ නෑ, හැබැයි, වේදිකාව එක්ක අර 'ෆර්ස්ට් ලව්' කියන හැඟීම තිබෙනවා.

වේදිකාවේ මතක මංපෙත දිගේ පියමන් කළ ඔහු කළු දිය දහර අසල රිදී තිරය මත මඳක් ඉසිඹුලන්නට විය. ඒ ජීවිතයේ පළමු වතාවට කාචගතවන ඔහුගේ භාවයන් කෙසේ වන්නට ඇත්දැයි සිහිකරමින් විය යුතුය. මම සුපුරුදු නිහඬබව රකිමි.

"කළු දිය දහර වෙනුවෙන් තමයි කැමරාවක් ඉදිරියට මුලින්ම යන්න සිදු වුණේ. දවස් දාහතරක් අපි හපුතලේ නයිට් ෂූටින්. හපුතලේ කඳුවල සීතලේ ගැහි ගැහී ඒ දවස් ටිකේ ඉද්දි නම් අපොයි මේකද සිනමාව? මේක නම් තවදුරටත් ඕනේ නෑ කියලා හිතෙන තරමේ පීඩනයක් ඇති වුණා.

හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. කළු දිය දහර, තරංගා, දෑස නිසා, හරි පුදුමයි වගේ මගේ මුල් චිත්‍රපට පහේම ජෝ අයියා හිටියා. ලයනල් වෙන්ට්ඩ් එකේදි ආධුනික වයසේ ඉඳලාම ආචාර්ය සරච්චන්ද්‍රයන්, අමරදේවයන්, චිත්‍රසේනයන්, මංජු ශ්‍රී මහත්මයා වැනි විද්වතුන් සමඟ සුහදව සතුටු සාමීචියේ යෙදෙමින් මිත්‍රයන් වගේ බීර වීදුරුවක් තොලගාමින් සාකච්ඡා කළ සිද්ධාන්තවල ප්‍රායෝගික පාඨමාලාව මට ලැබුණේ ඔහු සමඟ වැඩ කිරීමෙන් කියලයි මට හිතෙන්නේ. ඔහු බොහෝ පත පොත කියවන, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්.

සුමිත්ත අමරසිංහ තමයි අනෙක් මතක් කළ යුතු චරිතය. ජීවිතේ මුල් අවධියේ සිනමාව බැරෑරුම් කියලා හිතෙන්න හේතු වුණා ඔහු. කළුදිය දහර, දෑස නිසා, දුහුළු මලක් වැනි මගේ මුල්ම චිත්‍රපටවලදි මම පිළිවෙළ කියන දේ ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහු ලොකේෂන් යද්දි ඇඳ ළඟට දාන පාපිසි කෑල්ල පවා අරගෙන යන තරම් පිළිවෙළ කෙනෙක්. ඔහු කැමරා වාර්තා සියල්ල ගෙදරින් ගෙනියන රයිටරයෙන් දිනපතා පැහැදිලිව ටයිප් කරනවා රසායනාගාරයට යවන්න කලින්. ඒවා සමඟ සති ගණන් ඉද්දි අපිත් ඒවා ඉගෙනගන්නවා. ඒ අය මේ තරම් ගෞරවණීය ලෙස මේ කලාව සලකන්නේ ඇයි කියන එක අපට ඇඟට කා වදිනවා. ඒ නිසාම තමයි අපිත් සිනමාව හෑල්ලුවෙන් සලකා ආවාට ගියාට රඟපාන තැනට නොගිහින් වගකීමක් සහිතව කටයුතු කරන්න අදටත් සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ධම්ම ජාගොඩගේ ශිෂ්‍යයකු හැටියට රංග ශිල්ප ශාලිකාවේ ඉන්න යුගයේ සවස 5ට තිබෙන වැඩමුළුවට 5.05ට ආවා කියලා මාව එළියට දැම්මා. ඒ ගැන කතාකළාම කීවේ විනාඩි පහක් කලින්වත් පහුවෙලා එන්න බෑ කියලා. සිනමාවේ මතයක් තිබෙනවා මම වෙලාවට එනවා කියලා. ඒ අර විනය පුහුණුව නිසා."

"කළු දිය දහරෙදි ගින්දරෙන් බෞතීස්ම ලැබුවා වගේ මට දිගින් දිගටම ලැබුණේ අපහසු චරිතමනේ. සමහර චිත්‍රපට එහෙමම නැතත් දෑස නිසා වගේ එකක රැවුල අලවන්න පැය දෙකහමාරක් යනවා. ඉතින් අපි පාන්දර දෙකහමාරෙ තුනේ ඉඳන් ඇහැරගෙන උදේ ෂොට් එකක් ගන්න ඕනෙ වුණාම. ගල්ගමුවේ ඇහැටු වැව කන්දක් උඩනේ ශ්‍රියානිගේ ඇස් පාදන දර්ශනය කළේ. ලෙස්ටර් මහත්තයාට ඕනේ හිමිදිරියේ ළා හිරු එළියෙන් ඒ දර්ශනය ගන්න. ඒ එළිය වෙනස් වුණ ගමන් එතුමා ඒ දර්ශනය නතර කරනවා. අපි දවස් පහක් උදේ පාන්දර පහ වෙද්දි ගියා ඇස් දෙක අරින දර්ශනය ගන්න. ඒ වෙනුවෙන් රෑ එකට නැඟිට්ටෙ. අපි හිටපු සර්කිට් බංගලාවේ නළ ජල පහසුකම් නෑ. ෂූටින් ඉවරවෙලා වැවට ගිහින් නාලා එද්දි රෑ එකොළහ විතර ඇති. අන්තිමට හතර වැනි දවසේ මම සුමිත්තට ගිහින් කීවා පැය දෙක ගානෙ නිදියලා වැඩ කරන්න අමාරුයි. එක දවසක් පන්නලා ඒ දර්ශනය ගන්න පුළුවන්ද කියලා. ඒ දුෂ්කර ආරම්භයෙන් පසු පුරන්අප්පු, සිරිපාල හා රන් මැණිකා, සත්වෙනි දවස වගේ ශාරීරිකව විශාල පීඩාවන්ට ලක්වන චරිත තමයි කරන්න වුණේ. උදේට මේකප් කරද්දි ඇසිස්ටන්ට්ලා තුන්දෙනෙක් විතර එකතු වෙලා මුළු ඇඟම බිත්තියක් වගේ පාට ගාලා කළු කරනවා. ඒත් ෂූටින් ඉවරවෙලා ආවාම කවුරුවත් නෑනේ. තනියම රෙදි පටියක් අරගෙන ඒ අතට මේ අත‌ට ඇඹරි ඇඹරි ඒවා සුද්ධ කරගන්න ඕනෙ. එක දවසක් නෙවෙයි මාසයක් විතරම ඕක කරන්නත් එපැයි. සිරිමැදුර අනෙක් චිත්‍රපටය. ඒ කෑලි ටික ඇඟට තදින් ගැට ගැහුවේ නැත්නම් නිකට එහෙ මෙහෙ‌ වෙනවා. ඒකට හරියන්න ගැට ගැහුවාම හරියට පපුව පිරෙන්න හුස්ම ගන්නවත් බෑ. අනෙක ආබාධිත විදිහට අත්වාරුවලින් යන්නත් ඕනේ. ඒ මදිවට කාන්තාවෝ දෙන්නෙක්ට ලවු කරන්නත් එපැයි. (සිනාසී) හැබැයි කිසිම දවසක ඒ දුෂ්කරතා නිසා, මේක මහ වදයක් මොකටද මේ දුක විඳීනවද කියන හැඟීම මොහොතකටවත් මගේ හිත‌ට ඇවිත් නෑ. මගේ ජීවතේ කවදාවත් ඩබල්ස්, ස්ටන්ට්ස් පාවිච්චි කරලා නෑ. හැබැයි මම සිනමාවට එන්න කලින් කවදාවත් සටන් පුහුණු ආදිය ඉගෙනගෙන නෑ. ඒත් ඉතාම ත්‍රාසජනක දර්ශන කළා."

ඔහු කියන්නේ අභිමානයක්, සතුටක්, අත්ම ධෛර්යයක් වැනි හැඟීම් රැසක් මුසු වුවද නිහතමානී මන්දස්මිතියකින් මුව සරසාගෙනය. මේ ඒ ත්‍රාසජනක දර්ශනවල අත්දැකීම් ඔහුගේ දෑස් ඉදිරිපිට මැවෙන මොහොතයි.

"සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ කෝච්චියේ යට මුණින් අතට එල්ලීගෙන යද්දි අපට පේනවාට වඩා ලොකු රෝද රේල් පීල්ලේ මැදිලා මැදිලා ලේසර් බ්ලේඩ් වගේ මුවහත් වෙලා තියෙන්නේ එක සැරයක් අත වැදිලා කමිස අත පැළිලා ගියා. ඒත් මට මුකුත් වුණේ නම් නෑ. ඊට පස්සේ පෙට්ටිවලින් වහල දිගේ දුවලා කෙළින්ම පනින්නේ බිමටනෙ. ඒක මැදින් ඡේදනයකුත් නැතිව එක දිගට යන දර්ශනයක්. සාමාන්‍යයෙන් කරන්නේ පෙට්ටි මතට පැනලා දෙවැනි දර්ශනය වෙන කෝණයකින් ගන්න එකනෙ. ඒත් මේකේ එහෙම නෑ. බිම ආරක්ෂාවට කිසිම දෙයකුත් නෑ. මට මතකයි රොබිනුයි (රොබින් ප්‍රනාන්දු) මායි ගිහින් බලනවා ඒ හරියේ උල් කෑලි එහෙම තියෙනවාද කියලා පනින්න කලින්. ආදරෙන් මතක් කරන්න ඕනේ රොබින්වත්.

පළමුවැනි ටේක් එක හරියට ආවා. ඒත් කෝච්චියකුත් ලොකු කණ්ඩායමකුත් අරගෙන ගිහින් නිසා සැකේට තවත් සැරයක් කරමු කියලා නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා. ඩොනල්ඩ් කීවා ලස්සන කට් එකකට යන්න පුළුවන් තුන්වැනි සැරේ දොර ගාවින් පනින්න කියලා ඒකෙදි නම් මැණික්කටුව ගාව කෙටුණා. එච්චරයි තුන්සැරයක් පැනලත් අනතුරකට කියලා වුණේ.

බඹර පැටික්කි කරද්දි කළුතර බෝධිය ළඟ පාලමේ ඇන්දෙ ඉඳන් කළු ගඟට මැදට පැන්නා."

මගේ දෙබැම ඉහළ ගියේය. ඉෂ්ඨ දේවතාවන් සිහිකරගෙන ද පැන්නේ? මට ඉබේටම කියැවෙයි. ඔහු සිනාසෙයි.

"ඉෂ්ට දේවතාවෝ කවුරුත් නෑ එකම විශ්වාසය මට පීනන්න පුළුවන් කියන එක විතරයි. කලින් කිමිදුම්කරුවන් දෙන්නෙක් ගිහින් බැලුවා ගඟේ පාවෙලා ආව මුල් කෑලි එහෙම තියෙනවාද කියලා. දුර රූපයක් නිසා ළඟ පාතක ඔරුවක්වත් තියන්නත් බෑ. අනෙක මම නොදැන හිටිය එකම දේ ඒ තරම් උඩක ඉඳන් පැන්නාම කොයි තරම් යට යයි ද කියන එකයි. අඩි විස්සක් විතර යටට ගියා. මම පීනනවා පීනනවා උඩ‌ට එන්නෙම නෑ. මොළේ හිස් වුණා මුකුත් දැනෙන්නේ හිතෙන්නේ නැතිව යන ගාණට. ටිකකින් අහස පෙනුණා. එහෙම ගඟෙන් උඩට ආව වුණත් ඉවරයක් නෑනේ. ඉවුරට යනකල් තනියම පීනගෙන යන්නත් එපැයි.

සීතා දේවි චිත්‍රපටයේ සටනෙන් විභීෂණ තුවාල ලබනවානේ. ඊතලය උරහිසට වැදිලා මුහුද යට ඉඳන් විභීෂණ මතුවන දර්ශනය තිබුණේ. ඒ දර්ශනය ගන්න ත්‍රිකුණාමල මුහුදේ මැදට සැතපුම් තුනහතරක් ගියා මොකද අධ්‍යක්ෂ මණික් සන්ද්‍රසාගරට අවශ්‍ය වුණා කිසිම ගොඩබිමක් නොපෙනෙන විදිහට දියඹට යන්න. මුහුද මැදට යද්දි නිශ්චලව තිබුණට ඒ කොටස කළුම කළුයි. දියවැලක් යන බව තේරුණේ සිගරට් කොටයක් වගේ දෙයක් දැම්මොත් කැරකිලා ඇතුළට යන නිසා. මම එහෙ ගිය දවස් දෙක තුනේ කිමිදෙන්න ටිකක් පුරුදු වුණා විතරයි. මට කරන්න තියෙන්නේ බෝට්ටුවෙන් ඈතට පීනගෙන ගිහින් එතනින් මුහුද ඇතුළට කිමිදිලා උඩට මතු වෙන එක. අවදානම දරාගෙන හිතට ධෛර්යය අරගෙන මම කොහොම හරි කිමිදිලා උඩට මතුවෙලා ආවා යන්තම් හරි ජීවිතේ බේරගෙන උඩ ආවා කියලා හිතාගෙන. ආවට පස්සේ කියනවා වැඩේ අප්සෙට්, මගේ කිමිදුම් ඇඳුම කහපාට නිසා ඒක ඈතට පේනවලු.

ටේක් ටූ එක ගන්න වුණාම මම යටට ගියා. මට හිතුණා දැන් ආයෙත් ඒ දේ වෙනවට වඩා හොඳයි ටිකක් යටට යනවා කියලා. පහළට කිමිදිලා බලනකොට ආයෙ මුකුත් නෑ මුළු ලෝකෙම තාර කළුයි. ඉර එළියක් කියන නාමයක් නෑ. ඊට පස්සේ මගේ කන්දෙකට පීඩනයක් දැනුණා මට හිතුණා ඉවරම තමයි කියලා. වැඩේ වරද්දගත්තා කියලා මට තේරුණත් මේක දර්ශනයක්නෙ ඒ නිසා උඩට හරි විදිහට එන්නත් එපැයි. අනෙක එක අතක ඊතලය ඇණිලා නිසා තනි අතෙන් උඩට එන්නත් ඕනෙ. එක අතක් උඩට කරගෙන පාද‌දෙකෙන් උඩ අතට බලය දීලා කොහොමහරි ආවා. තවත් කල් ජීවත් වෙන්න වාසනාව තිබුණ නිසාදෝ එදා නම් බේරුණා. ඒ වගේ මගේ ගමනේ හරිම ආසා හිතෙන තැන් තිබෙනවා."

ඔහු පවසන්නේ තෘප්තිමත් හැඟීමකිනි. තවත් කිව යුතුම දෙයක් ඇති සෙයකි.

"මගේ රිය පැදවීම ගැන නම් මම කතා කරන්න හරි ආසයි. හේතුව කැමරා පොසිෂන් එකක් දුන්නොත් හරියට මෙතැන ඇවිත් නතර කරන්න කියලා, ඩොනල්ඩ් කරුණාරත්නලා, ජයනාත් ගුණවර්ධනලා වුණත් කියනවා කැමරාවේ රාමුව සම්පූර්ණයෙන්ම වාහනේ වීදුරුවට මානලා තිබෙන අවස්ථාවක වුණත් හරියටම වෙනස් නොවී නවත්තලා ඒ රාමුවෙ මැදට මුහුණ හරවන්න මට පුළුවන් කියන එක. ඒ හැකියාව හරියටම පේන අවස්ථාව දඩයම. ස්වර්ණාව හප්පන දර්ශනයේ මම ස්වර්ණාට කීවා කාර් එකේ වේගය මම අඩු කරන්නෙත් නෑ, හරවන්නෙත් නෑ, හැබැයි ඔයාට අඟල් හතරක් දුරින් මම කාර් එක ගෙනියනවා ඉන්න කියලා. ඒක හරිම අවදානම්. එකක් කාර් එක යන්නේ වැල්ලේ. තමන්ගේ ඇඟේ ගෑවි නොගෑවි අච්චර වේගයෙන් වාහනයක් යද්දි ස්වර්ණා හිටියානේ. ස්වර්ණා පැහැදිලිවම කීවා 'රවී ඇරෙන්න වෙන කවුරු වුණත් වාහනේ එළෙව්වා නම් මම ජීවිතේට එතන ඉන්නේ නෑ' කියලා. ඒ නිසානෙ හරියටම වාහනයේ හැපෙන බව කිසිම වෙනසක් නැතුව පේන්නේ. ඒ තරම් විශ්වාසයක් මගේ වාහන එළවීම ගැන ස්වර්ණාටත් තිබුණා.

අවු කාෂ්ඨකේ දරුණු රඟපෑමක් දින තුනක් තිස්සේ කළේ අපි. ඒකේ ස්වර්ණා මගේ මූණ හීරුවාම ඇස් කණ්ණාඩි ගලවලානේ මම කාර් එකේ කැඩපතෙන් බලන්නේ මූණ දිහා. ඊට පස්සේ ආයේ පැලඳගෙන නෙවෙයි යන්නේ. වින්ඩ්ස්ක්‍රීන් එකට පොල්ලෙන් ගහලා කඩන තැනදි වසන්ත (ඔබේසේකර) කීවා 'මළකෙළියයි රවී මේක නම් කරන්න දෙන්න බෑ. කලින් ෂොට් තුන හතර ආපහු කණ්ණඩි දාගෙන ගමු. නැත්නම් ඇස්වලට වීදුරු කෑලි ගියොත් හරි ප්‍රශ්නයක් වෙනවා කියලා.'

මම කීවා නෑ මම කරනවාමයි කියලා. වසන්තලා ෂූටින් නවත්තලා හිටියා අවදානම වැඩියි කරන්න බෑ කියලා. ඒත් මම දන්නවා ආයේ මුල් කොටස් රූපගත කළොත් කලින් විදිහට එන්නේ නෑ කියලා. අන්තිමට කණ්ණඩි නැතුව කළා. ඒ වෙලාවට එන ගැම්ම මොකක්ද කියලා මම දන්නේ නෑ. එක්තරා විදිහකට පාලනය වුණු ආවේශයක් ඒක. මොකද අපි චරිතයට අවේශ වුණා කියලා කැමරා කෝණ, ලයිටින් වැනි තාක්ෂණික කරුණු අමතක කරන්න බෑනේ. අන්තිමට වීදුරුවට ස්වර්ණා ගහනවා දැවැන්ත පොල්ලකින්. වීදුරු කටු ගියා කොහේ ගියාද දන්නේ නෑ හරියට බෝම්බයක් පිපිරුවා වගේ මුළු කාර් එක පුරාම. ඒ කාලේ ලංකාවට තිබුණු එකම වයිඩ් ලෙන්ස් එක ලෙස්ටර් මහත්තයාගේ, ඒක තියලා තිබුණේ කාර් එකේ පිටිපස්සේ සීට් එකේ. ඒකෙන් තමයි දර්ශනයේ වීදුරු කටු විසිරෙනවා පේන්නේ. ඒ ලෙන්ස් එකට හානි වුණා වීදුරු කටු වැදිලා. මගේ වැලිමිටේ ඉඳන් ඇඟිලි දක්වා තෙත රෙදි කෑල්ලක් වැටුණා වගේ සීතලට දැනුණා. සූකිරි කැට වගේ වීදුරුව කැඩිලා ගිහින් වැඩිය ගැඹුරු නැති ඉඳීකටු තුඩු වගේ ඇනුණු වීදුරු කෑලිවලින් තුවාල වෙලා ලේ බින්දු මතු වුණා.

එහෙමම ඉවසගෙන ඉඳලා ඉතිරි දර්ශන කළා. අත්වල ඒ ඇත්ත ලේ පිටින් තමයි අර ගෑනු කෙනාගේ ඇඟ උඩින් වාහනේ ගෙනියන දර්ශන පවා කළේ. හැබැයි අරුණි විශ්වාස කරනවාද ඒත් මගේ මූණේ එක සීනි ඇටයක තරම් තුවාලයක් තිබුණේ නෑ කියලා. ළඟදි ප්‍රීති පෙන්නුවා එකතු කරපු පින්තූර වගයක් චූඩා මානික්‍යයේ මම සෆායර් හෝටලයේ හුඩ් එකෙන් බිමට පනින පින්තූරයක්."

ඔහු ජයග්‍රාහී ලීලාවෙන් බලා ඉන්පසු පවසන්නේ සෛද්ධාන්තික කරුණකි.

"රඟපෑම කියන්නේ තාක්ෂණයත් එක්ක මුසු වුණු දෙයක්. දුර රූපයේ පෙම්වතුන් යුවළ ළඟ රූපයට ඇවිත් ආදරෙන් නිකට අල්ලද්දි නිකටට යටින් ලයිට් බෝඩ් එකේ අත නොවදින්න වගේම තාත්වික විදිහට ආදරණීය හැඟීම දනවන්නත් නළු නිළියන්ට පුළුවන් වෙන්න ඕනෙ.

අපේ රංගනයක තිබෙන හැඟීම්බරතාවයේ මානය නිතරම තාක්ෂණයේ අවශ්‍යතා තුළ රඳවාගන්න ඕනෙ. ඒ සැලැස්ම හිතේ රඳවාගෙන කොහොමද අනෙක් දේවල් සාර්ථක කරගන්නෙ කියන එක තමයි සාර්ථක රංගනය කියන්නේ. වේදිකාවේ වුණත් එහෙමයි. ඒක එතරම් පහසු කටයුත්තක්මත් නෙවෙයි.

නව පරපුර ආමන්ත්‍රණය කරද්දි වුණත් මම හැමවිටම කියන්නේ ඒකයි දක්ෂතාවයේ අඩුවක් නොවේ ඔවුන්ට තිබෙන්නේ අවස්ථාව අඩුකම කියලා."

ඔහුගේ ත්‍රාසජනක අත්දැකීම් තව බොහෝය. එහෙත් ඒවා මඳක් සටහන් පොතේම රඳවා රවීන්ද්‍ර රන්දෙණිය නම් රංගධරයාගේ මා දුටු සුවිශේෂී ලක්ෂණයක් සිහිපත් කරමි.

ලොව පුරා නළුවන් වෙනුවෙන් ගී හඬ මුසු කරන්නට යොදා ගන්නේ බොහෝ විට රංගන ශිල්පියාගේ රූපයට ගැළපෙන හඬ පෞරුෂයක් ඇති එක් ගායකයෙකු හෝ දෙදෙනකු පමණි. නිළියන්ටද එසේය. එහෙත් රවීන්ද්‍ර රන්දෙණිය රංගවේදියා වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාල, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, මිල්ටන් මල්ලවආරච්චි, දේවානන්ද වෛද්‍යසේකර, ගුණදාස කපුගේ, අබේවර්ධන බාලසූරිය, විජය කුමාරණතුංග ආදි මෙකී නොකී ගායකයන්ගේ හඬ ගැළපී ගියේ කෙසේද?

"අරුණිගේ නිරීක්ෂණය හරි. ඒ එකක්වත් මම නෙවෙයි කියන්නේ කියලා හිතෙන්නෙත් නෑ නේද? සමහර විට මගේ භූමිකා පරාසය හරි වෙනස් නිසා රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවට ඒ මතුවන චරිතය ඉස්මතු වෙද්දි එන මුහුණේ හැඟීමට ඕනෙම හඬක් ගැළපෙනවා ඇති. අමරදේව මාස්ටර්ගේ, වික්ටර්ලාගේ දෙපා නමැද ගරු කළාට මම එදා ඉඳන් කී දෙයක් තමයි මගේ ප්‍රියතම ගායකයා ජෝති. ඔහුට සමහරු බනින කාලෙත් මම ප්‍රසිද්ධියේ එය කීවා. ඔහුත් මට හරි ආදරෙයි. ඒත් ඔහුගේ හඬින් මට තිබෙන්නේ ගීත කීපයයි. අමරදේවයන් සහ ජෝති එක්වුණු එකම ගීතයට රඟපාන්නෙත් තරංගා චිත්‍රපටයේ මම. විජය කුමාරතුංග හාහාපුරා කියලා පසුබිම් ගායනය කළෙත් ලතා වල්පොල සමඟ මට. ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේ විජයගේ හඬින් තමයි මම නිරාශා සඳු ගීතය ගයමින් මාලිනීට ආදරය කරන්නේ. ඒ ගීයට විජයට හොඳම ගායකයා සම්මානයත් ලැබුණා. මේ මතකයන් හරිම සුන්දරයි."

 

ඔබටත් ගායන හැකියාව තිබෙනවා?

මාව කේමදාස මාස්ටර් ගෙදරටම ඇවිත් එක්කගෙන ගියා සිවුරඟසේනාවලට විජය වෙනුවෙන්ද කොහෙද ගීතයක් ගයන්න. ඒත් පස්සේ මමම හිතා ගත්තා ආයෙ ගීත ගයන්න යන්නේ නෑ කියලා. (සිනාසෙයි)

 

මතක බොහෝය. එය චරිතාපදානයක රැස් කරනවා මිස මෙසේ ලඝු කළ හැක්කක් නොවේ. එහෙයින් නැවතීමේ ලකුණකට ඉඩක් සෙව්වෙමි.

 

"කොහොම හරි මේ රංගන ජීවිතේට ඇතුළු වෙලා ආපු ගමන දිහා හැරිලා බලද්දි හිතෙනවා අනේ ජීවිතේ කොච්චර සුන්දරද රසවත්ද, ජීවිතේ කියන දෙයින් මට ලැබුණු දේවල් කොයි තරම් වටිනවාද කියලා. අපට පැවරුණු කාර්යය හරියට කෙරුවාද නැද්ද කියන එක තමයි අපට ජීවිතයේ සතුට හෝ දුක ගෙනත් දෙන්නේ. වසර 51ක් තමන්ගේ නිර්මාණ කාර්යයෙන් ලෝකයට යමක් ඉතුරු කළා කියන දේ සිතුණාම එන සතුට මට තිබෙනවා. මේ ගත් අවදානම් සමඟ මේ ගමන අතරමඟ නතර වුණා නම් මට මේ දේ අද කියන්න බෑනේ. මගේ අතින් වැරැදි අඩුපාඩු වෙන්න ඇති මම පුහුදුන් මිනිසෙක් නිසා. ඒත් මගේ පැත්තට ඇඟිල්ලක් දිගු කරගන්න මට බෑ. මගේ ජීවිතයට මම කෘතවේදී වන්නේ ඒ නිසා. මිනිසකුට එහෙම පූර්ණ තෘප්තියට පත්වන්න බෑ. හැබැයි හැම කෙනකුටම දුවන්න පුළුවන් දුරක් තිබෙනවා. මම ඒ දුර උපරිමයෙන් දුවලා තිබෙනවා.

මම කොරෝනා සමයේ පරණ චිත්‍රපට බලද්දි 'අනේ දෙවියනේ අපි මේ හිනාවෙන්නේ අඬන්නේ ඔක්කොම බොරුවට නේද?' කියලා හිනාත් යනවා. කෙනෙක් මුහුකුරා යනකොට ජීවිතේ යථාර්ථය එහෙම දැනෙන්න පුළුවන්. ඒත් අපි එයින් මුළු සමාජයකටම යම් රසවින්දනයක්, ජීවිතාවබෝධයක් ලබා දුන්නා නේද කියන හැඟීම ඒ සමඟම මතු වුණාම ජිවිතය ඵලදායී ලෙස ගත කිරීම ගැන දැනෙන්නේ පිරුණු බවක්.

 

 

තිලක් පෙරේරා