වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මෙහි තිරරචනයට වස්තු බීජය වූයේ මගේ මියගිය ලොකු නංගී

ඔහු සංජීව පුෂ්පකුමාර. පසුගියදා නිමාවුණු ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ දී ඔහුගේ විහඟ ප්‍රේමය චිත්‍රපටය ඇගයීමට ලක්වෙනවා. ඒ වෙනුවෙන් සම්මානයට පාත්‍රවෙනවා. නැවත නැවතත් අන්තර්ජාතිකව දේශීය සිනමාව ඔසවා තැබූ අවස්තාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඉඟිල්ලෙන මාළුවෝ, දැවෙන විහඟුන්, ආසු සංජීවගේ සෙසු චිත්‍රපට වනවා. සිනමාවේ නියැළෙමින් කොරියාවේ තම උසස් අධ්‍යාපන කටයුතුවල නියැෙළන සංජීව සරසවිය අප මෙසේ සම්බන්ධ කර ගත්තෙමු.
බොහෝ දෙනෙක් චිත්‍රපට කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්. ඔබත් සම්මානය අරමුණ කරගෙනද මේ චිත්‍රපටය කළේ?
සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක් ඔහුගේ අභ්‍යන්තරයෙන් පැන නැඟෙන වුවමනාවකිනුයි නිර්මාණයක් කරන්නේ. නිර්මාණයක් කිරීමට මුලින්ම තිබෙන්න ඕන හැඟීම හා අවශ්‍යතාවය. එවිටයි නිර්මාණයක් කළ හැකිවෙන්නේ. මම කළ චිත්‍රපට සියල්ලම ගෙන බැලුවොත් ඒවා මම කළේ මට ලෝකයා සමඟ බෙදා ගන්න මගේ හදවත ඇතුළේ කැකෑරුණු දේවල්. එහෙම බෙදාගත්තේ මට පුළුවන් හොඳම දේ. උදාහරණයක් ලෙස ගත්තොත් සිනමාවේ නම් මම ඉගෙන ගෙන සහ ඉගෙන ගනිමින් ඉන්න සිනමා භාෂාවේ තිබෙන මගේ ප්‍රමාණයෙන් මට එය හසුරවන්න පුළුවන් හොඳම විදිහට ව්‍යක්තම විදිහටයි මම එය හසුරවන්න උත්සාහ කරන්නේ. හරියට විශිෂ්ට කවියෙක් කවියක් ලියන විට ඔහු භාෂාවේ ගැඹුරුම අර්ථයෙන් නේ ඒක ලියන්නේ. ඒ වගේ හොඳ සිනමාකරුවෙකුත් නිර්මාණයක් කරන්නේ සිනමා භාෂාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවයකින්. මගෙ චිත්‍රපටය මම කරන්නේ මට කරන්න පුළුවන් හොඳම විදිහට. ඊළඟට සිනමාව කියන්නේ විශාල ප්‍රාග්ධනයක් යොදවලා කරන නිර්මාණයක්. ඒ නිර්මාණය තමන් විතරක් රස විදලා බෑ. හුදු මහත් රසික සමූහයත් එක්ක බෙදාගන්න අවශ්‍යයි. එවිටයි ඒ චිත්‍රපටය ආයෝජනය කළ අයට කිසියම් සැනසිල්ලක් ලැබෙන්නේ. මොන තරම් ආත්මීය බැඳීමකින් නිර්මාණයක් කළත් ඒ නිර්මාණය වෙළඳපොළට අභිමුඛ වෙන්න එපැයි. චිත්‍රපටයක් නිර්මාණය කරනවිට අපිට වෙළඳපොල ෆෝකාස්ට් එකක් තියෙනවා. සම්මාන උලෙළක් කියන්නෙත් ඒ ෆෝකාස්ට් එකේ එකක්. සිනමා උලෙළක් කියන්නේ ගෞරවයත් වෙළඳපොළත් දෙකම ලැබෙන තැන. සම්මානය චිත්‍රපටයේ ඉදිරි ගමන් මගට වගේම සිනමාකරුවාගේ ඉදිරි ගමන් මඟටත් ඒක වැදගත්. අපිට චිත්‍රපටය සම්මාන බලාගෙනම කරන්න බෑ. අපි චිත්‍රපටයයි නිර්මාණය කරන්නේ. සම්මානය ලැබීම කියන්නේ දෙවැනියට වෙන දෙයක්. සම්මානයක් ලැබෙයිද නැද්ද එහෙම අරමුණකින් මම කවදාවත් චිත්‍රපට කරලත් නෑ කරන්නෙත් නෑ.
චිත්‍රපටයේ පසුබිම ගැනත් අපි කතා කරමු?
මම සිනමාකරුවෙක් වෙන්න පටන්ගත් මුල් කාලයේ සිටම තිබුණු එක වුවමනාවක් තමයි තුන් ඈදුතු චිත්‍රපටයක් කරන්න ඕන කියලා. එහි පළමු එක ඉඟිල්ලෙන මාළුවෝ දෙවැනි කොටස දැවෙන විහඟුන් තුන්වැනි සහ අවසාන එක විහඟ ප්‍රේමය. මේ චිත්‍රපටයේ තිර රචනය පටන් ගත්තේ 2014 ඉතාලියේ වැනිස් සිනමා උලෙළේ තිබෙනවා බර්ලිනාලේ කොලේජ් සිනමා කියලා වැඩසටහනක්. එයට ලෝකයේ සිටින තරුණ සිනමාකරුවෝ 12 හෝ 15 ක් තෝර ගන්නවා ඔවුන්ගේ වැඩමුළුවකට. මේ තිර රචනයත් මුලින්ම තේරුණේ එහිදි. මෙය රචනා කළෙත් එහිදි. එය රචනයට අවශ්‍ය මූලික වස්තු බීජය වුණේ මගේ ලොකු නංගි. 1996 දී වැඩිවියට පත්වී හරියටම මාස තුනකදි ඇය මිය ගියා. ඇයට හෘදයේ සිදුරක් තිබුණා. අපි ඉතාම දුප්පත් නිසා අපිට එය සුව කරගන්න නොහැකි වුණා. චිත්‍රපටයේ පටන් ගන්නේ මගේ නංගිගෙන්. ඒ වුණත් සිනමා කෘතියක් රසවින්ඳීන්න කාගෙවත් පුද්ගලික දෙයක් දැනගන්න නෙවෙයි. චිත්‍රපටයක් සමාජ ආර්ථික හා කලාත්මක ප්‍රකාශනයක් විය යුතුයිනේ. ඒ නිසා කුඩා දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීම කියන ඉතාම දිගු කාලයක් තිස්සේ සිදුවන මේ ක්‍රියාවත් මෙයට මුල් කරගෙන මගේ පුද්ගලික අත්දැකීම සමාජ දේශපානලන කැන්වසයකට එකට ගෙනත් මේ දෙකම එකතු කරලා පුළුල් සමාජ ප්‍රකාශනයක් විදිහට චිත්‍රපටය ඉදිරිපත් කරන්න තීරණය කළා. මෙයයි චිත්‍රපටයේ ආරම්භය.
ඒ සැකැස්ම තුළ චිත්‍රපට නිමැවෙන්නේ?
2019 වසරෙදි මට ලැබුණා ශිෂ්‍යත්වයක් බර්ලින්වල තිබෙන මිස්කෝ ආර්ට් රෙසිඩන්ට් කියලා වැඩමුළුවට සහභාගි වෙන්න. එයටත් ලෝකයේ සිනමාකරුවෝ 10ක් හෝ 15ක් තෝරාගෙන ඒ අය බර්ලින්වලට ගෙනත් ඒ අයට අවශ්‍යකරන පහසුකම් දීලා පිටපත සංවර්ධනය කරන්න. එයට පිටපත් රචනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුත් ඔවුන් ලබා දෙනවා උපදෙස් ලබා ගැනීමට. මගේ තිරරචනා උපදේශිකාව විදිහට සිටියේ ජර්මන් ජාතික කාන්තාවක්. ඇයත් සමඟ මම මේ පිටපත තවදුරටත් සංවර්ධනය කළා. එතැනදි මට මුණගැසුණා ඉතාලියේ අධ්‍යක්ෂවරයෙක්. ඔහු අධ්‍යක්ෂවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. ඔහුට ඉතාලියේ නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහු මගේ පිටපත දැකලා කිව්වා මෙය අපි මගේ නිෂ්පාදන ආයතනයෙන් නිර්මාණය කරමු කියලා. ඒ අනූව මෙම චිත්‍රපටය යුරෝපීය සහයෝගිතා නිෂ්පාදනයක් විදිහටයි නිෂ්පාදනය කළේ. මෙය ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර සිදු වුණු පළමුවැනි නිලලත් සමූහ චිත්‍රපට නිෂ්පාදනය.
තිරපිටපත නිමවුණත් තවම නිර්මාණය නිමවෙල නැහැ. නිර්මාණය අවසානය තෙක් ගලාගෙන යන්නේ කොහොමද? එය අභියෝගයක් වුණාද?
ගොඩක්ම අමාරු වුණේ පිටපත නිර්මාණය කිරීම සහ සංස්කරණය කිරීම. මෙතෙක් මා කළ නිර්මාණ අතරින් ආසු කියන චිත්‍රපටය ඇරෙන්න අනෙක් චිත්‍රපට 3 ම නිම කරන්න අවුරුදු 3 ක් හෝ 4 ක් ගිහින් තියෙනවා. මේවා අදහස්නේ. ඒ අදහස් හොඳට ඔපමට්ටම් වුණොත් තමයි නිර්මාණය රසවත් හරවත් එකක් බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම චරිත ගොඬනැගීම සහ කතාව නිර්මාණය කිරීම කියන කාරණා ඉතාම සීරුවෙන් කරන්න ඕන. නිර්මාණයක් කරන්න මට ලොකු කාලයක් ඕන. ඊළඟට තිබුණු ලොකුම ප්‍රශ්නය නිර්මාණයට අවශ්‍ය මුදල් සම්පාදනය. ලංකාවේ අමිල අබේසුන්දර සහ සුරංග හඳපාන්ගොඩත් යුගාන්ති යශෝධරාත් මේ අය සම නිෂ්පාදකයින් විදිහට චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඊළඟට මට ලොකුම අභියෝගය වුණේ කාස්ටින් කරන එක. මාලනිගේ චරිතයට සබීතා පෙරේරා ඔබිනම චරිතය වුණේ. අනෙක් ගැහැනු චරිතය කරන්නේ දිනාරා පුංචිහේවා ඇයයි මට අකලංක ප්‍රභාෂ්වර කියන මේ තරුණ නළුවාව හඳුන්වා දුන්නේ. ඊට අමතරව ඉතාලියේ ප්‍රකට නළුවෙක් මෙහි රඟපානවා. ළමා චරිත බොහොමයක් තිබෙනවා. ඉතාම අසිරූ වුණා කාස්ටින් කරන්න මේ චිත්‍රපටයට. තිබුණ කුඩා මුදලත් චිත්‍රපටය කළේ කොවිඩ් කාලයේ වීමත් නිසා චිත්‍රපටය කිරීම එතරම් පහමු වුණේ නැහැ. ඒත් මම හිතනවා ඒ හැම දෙයක්ම මම ජයගත්තා කියලා.
ලංකාවේ නිර්මාණ හෝ වේවා නළු නිළියන් හෝ වේවා ඒ අය ලෝකයේ විවිධ සිනමා සම්මාන උලෙළවලදී ඇගයීමට ලක්වෙනවා. ඔබ දිනු සම්මානය විශේෂවෙන්නේ?
මෙහෙමයි අපේ ජනමාධ්‍යවල ඉන්න පිරිස මේ ගැන සොයන්නෙත් නැහැ. බොහෝ වෙලාවට ඔන්ලයින් ෆෙස්ටිවල්වලට සල්ලි ගෙව්වම ඒ අය සහතික දෙනවා. ඒක හරියට ඉන්දියාවෙන් ලංකාවෙන් ගෞරවය සම්මාන උපාධි ගන්නවා වගේ වැඩක්. ඒවා කිසිම ප්‍රමිතියකට ලැබෙන දේවල්ද කියලා ඒ චිත්‍රපට දිහා බැලුවාමත් පෙනෙනවා. මම චෝදනා කරන්නේ ජනමාධ්‍යයට. මම කියන නිසා කරන්නේ නැතිව රිසර්ච් කරලා බලන්න ඕන. ටෝකියෝ සිනමා උලෙළ කියන්නේ ලෝකයේ ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළවලින් එකක්. එය වසර 35ක් පමණ පරණයි. ඒ සම්මාන උලෙළේදී සම්මානයක් සිනමාකරුවෙකුට ලැබෙනවා කියන්නේ ඉතාම වටින දෙයක්. එය මගේ චිත්‍රපටයට ලැබීම මට සතුටට කාරණයක්. පසුගිය වසර10 හෝ 12 ඇතුළත ලංකාවේ සිනමා කෘතියකට ලෝකයේ ඒ ශ්‍රේණියේ සිනමා සම්මානයක් ලැබිලා නැහැ. ඒ අතරේ මේ සම්මානය ලැබීම ඉතාම වැදගත්. විශාල අත්දැකීම් සම්භාරයක් ඇති ජූරියක් ඒ වගේ ජූරියකින් ඇගයීමක් ලැබීම මටත් වැදගත් රටටත් වැදගත්.
ඔබ සඳහන් කළ තුන් ඈදුතු චිත්‍රපට කුලකයේ අවසානය මෙය නම් අනෙක් චිත්‍රපට දෙක බලලා එන්න වෙයිද මේ චිත්‍රපටය තේරුම් ගන්න. නැත්නම් මේ චිත්‍රපටය වෙනමම බලන්න පුළුවන්ද? ඔබට අනූව වඩාත් උචිත?
තුන් ඈදුතුයි කිව්වට එකිනෙකට සෘජු සම්බන්ධයකුත් නෑ. සම්බන්ධ නොවන්නෙත් නෑ. මෙය වෙනම ගලවලා අරන් බලන්න පුළුවන්. නමුත් කිසියම් කෙනෙකුට සම්බන්ධයක් හදාගන්න ඕන නම් හදාගන්නත් පුළුවන් මේ තුළින්. මෙය එක්තරා විදිහක ආත්ම ප්‍රකාශන සිනමාවක්. නිෂ්චිතවම මම ගැන දන්න අයෙකුට මේ කතාන්දර තුන අතර තිබෙන හුයක් දකින්නත් පුළුවන්.
බොහෝ වෙලාවට ලංකාවේ ප්‍රශ්න ගැන ලෝකෙට කිව්වම තමයි සම්මාන ගන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් රටේ ප්‍රශ්න ලෝකෙට කියලා සම්මාන ගන්නේ මොකටද කියලා?
ඇත්තටම ලංකාවේ තිබෙන මේ සියලු සමාජ ප්‍රශ්නවල ප්‍රමුඛතම හේතුව අපේ විශ්ලේෂණාත්මක හැකියාව අපේ සමාජය ඇතුළේ අඩුකම. විචාරාත්මක චින්තනයේ ඇති අඩුව. අපේ අධ්‍යාපන ක්‍රමයේ තාර්කිකව හිතන්න පුරුදු කරන්නේ නැහැනේ. බොහෝ බටහිර රටවල නැගෙනහිර ආසියාවේ රටවලත් ඒ ක්‍රමවේදය තිබෙනවා. අපි හැමවෙලාවෙම ගුහාවක ජීවත්වෙන්නේ. ඒ නිසා අපි හැමවෙලාවෙම සතුරෝ මවා ගන්නවා. සතුරො ඉන්නේ පිට නොවෙයි අපි ඇතුළෙම කියලා අපිට තේරෙන්නේ නෑ. ලෝකයේ ඕනෑම කලා කෘතියක් එහෙමයි. බලන්නකෝ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි ඉන්දියාවේ ඒ සමාජයේ කිසියම් විදිහක හරස්කඩක් නිරූපණය කළා. ඉතාලියේ අන්තෝනියෝගේ ලැවෙන්චොරා කියන චිත්‍රපටය එයින් පෙන්නුම් කරන්නේ ඉතාලියේ ඒ වනවිට තිබුණු ඉහළ සමාජයේ ආත්මිය බිඳවැටීමක්. ඇමෙරිකාවේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලාගේ ගෝඩ් ෆාදර් චිත්‍රපටය ගෙන බලන්න මේ අවුරුද්දට අවුරුදු 51ක්. එහි තිබෙන්නේ ඇමෙරිකාවේ සමාජය ඇතුළේ තිබෙන මාෆියා සිස්ටම් එක. ඒ චිත්‍රපට හැදුවා කියලා ඒ රටවල නිර්මාණකරුවෝ මරන්න කියලා කවදාවත් ඒ සමාජයේ කෑ ගහලා කියලා නෑ. ඕනෑම කලා කෘතියක විශිෂ්ටත්වය තිබෙන්නේ එහි නිර්මාපකයා තමන් ජීවත්වන සමාජය කොතරම් විශිෂ්ට ලෙස කලාත්මකව ප්‍රකාශ කරනවද කියන තැනයි. මම කරන්නේ මම ජීවත්වන මනුෂ්‍ය සමාජය මේ තියෙන තැනින් මුදවාගන්න පුළුවන් විදිහේ ආලෝකයක් කොහොමද අපි කලාව කියන එළිය හරහා ඒ අඳුරට පතිත කරන්නේ කියන දේ හෙවීමයි. එමඟින් අප ජීවත්වන සමාජය කිසියන් විදිහකට සුපුෂ්පිත කරගන්න උත්සහ කිරීම.
ඔබ ලෝකයේ වෙනත් රටවල සමඟ ඒ රටවල නිර්මාණකරුවෝ සමඟ ගැටෙමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගනිමින් යන ගමනේ ලංකාවේ සිනමාව ගැන තිබෙන්නේ මොනවගේ අදහසක්ද?
මම ඒ ගැන කියන්නේ ඍණාත්මක දෘෂ්ටිකෝණයකින් නොවෙයි. නමුත් මේ යන විදිහට නම් ලංකාවේ සිනමාවට අනාගතයක් නැහැ. අපි දන්නවා අපිට ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රශ්නය දන්නවානම් ප්‍රශ්නයට උත්තරයත් අපිම හොයාගන්න එපැයි. උත්තර හොයන්නත් ප්‍රශ්නය මොකද්ද කියලා හරියට දැනගන්න ඕන. මට හිතෙන්නේ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් ප්‍රශ්නය මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. එයට හේතුව තමන් තුළ තිබෙන අධි මාන්නය. තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න තව කෙනෙක් පිළිගන්න කැමැති නෑ. හැමෝම හිතනවා තමන් තමයි හැමදේම දන්නේ කියලා. එහෙම අයගෙන් පිරුණු සමාජයක් ඉදිරියට යන්නේ නැහැ. ප්‍රශ්නයට උත්තරයක් හොයනවිට ප්‍රශ්නය මොකද්ද කියලා හරියටම දන්නවානම් ඒ ප්‍රශ්නයෙන් 50%කට උත්තර ලැබිලා කියලා ලෙනින් කියලා තියෙනවා. ප්‍රශ්නය අවබෝධ කරගන්න අවශ්‍ය ඥානය සම්පාදනය කරගන්නත් ඒ අයට වුවමනාවක් නැහැ. අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳම රටවල් දෙකක් තමයි කොරියාව හා ඊශ්‍රායලය. මේ රටවල් දෙකම ජාතික සිනමාව බිඳවැටුණු රටවල්. නමුත් අද වන විට පිබිඳුණු රටවල් මේවා. මේ රටවල සිනමාව නැවත සක්‍රීය කිරීම සහ ගොඩනැඟීම සඳහා ඒ රටවල බලධාරීන් නිවැරදි පුද්ගලයෝ එවැනි තැන්වලට පත්කරන්න මැදිහත් වුණා. පත් වුණාට පසුව ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති අයගෙන් දැනුම අරගෙන වැඩපිළිවෙළක් සකස් කළා. ඒ නිසා ඒ රටවල් අදවනවිට ලෝකයේ ප්‍රභලම රටවල් බවට පතවෙලා තිබෙනවා සිනමාව පැත්තෙන්. ඉතාම හොඳ තරුණ සිනමාකරුවෝ කිහිප දෙනෙක් වෙනත් රටවලට ගිහින් ඉගෙනගෙන සිනමාව කරනවා. නමුත් එය කර්මාන්තයක් ඉදිරියට ගෙනියන්න කොයිතරම් දුරට ප්‍රමාණවත් වෙයිද?
විහඟ ප්‍රේමය ලාංකේය ප්‍රේක්ෂකයාට බලන්න ලැබෙන්නේ කවදාද?
චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිමකර ඇති නිසා ඕන වෙලාවක පෙන්වන්න පුළුවන්. නමුත් ලංකාවේ චිත්‍රපට පෙන්වීම නිර්මාණය කිරීම තරම්ම පහසු නැහැ. මම කොහොමහරි පෙන්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. පෙන්වන කාලය තීරණය කරන්නේ චිත්‍රපට සංස්ථාව හා අනෙකුත් ප්‍රදර්ශන සමාගම්නේ.
ඔබේ කටයුතුවලට ආදරණීය බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා?
ගොඩක් වෙලාවට අපි ජීවිතේ තැන් දෙකක ගෙවෙන්නේ. ඇය ඩුබායි ඉන්නේ. මම කොරියාවේ ඉන්නේ. ඇය ඉතාම දරුණු විවේචිකාවක්. එයට මම ඇයට කැමැතියි. නදීටත් විචාරශීලීව දේවල් දිහා බලන්න පුළුවන්. ඇය දන්නවා ඇය සමඟ මම විවාහ වුණාට වැඩිපුරම ආදරේ සිනමාවට කියලා. ඇයත් පොඩි චරිතයක් කරනවා මේ චිත්‍රපටයේ.
ලෝකයේ හොඳම සම්මාන උලෙළකදි සම්මානයට පාත්‍ර වූ ඔබේ සිහිනය මොකද්ද?
මම හිතන්නේ නැහැ මම තාම මගේ හොඳම නිර්මාණය කරලා තියෙනවා කියලා. මම දන්නේ නැහැ එය කවද්ද කරන්න පුළුවන් කියලා. මම හැමදාම උත්සාහ කරනවා ඒක කරන්න්න. පුළුවන් තරම් කාලයක් හොඳ යහපත් චිත්‍රපට කරලා එමගින් අපි ජීවත් වන මනුස්ස සමාජයට කිසියම් විදියක ආලෝකයක් සහ ප්‍රහර්ෂයක් එක්කරන්න පුළුවන් නම් මේ මනුස්ස සමාජයට ජීවිතයේ සොම්නස සඳහා ඒ මනුස්සයා ලාංකිකයෙක්ද යුරෝපීයෙක්ද නොවෙයි මනුස්ස සමාජයට සොම්නසක් එකතු කරන්න පුළුවන් නම් එයයි මගේ ජීවන අභිප්‍රාය.