අන්තර්ජාලය ගැන මගේ විශ්වාසයක් නැහැ

Damith Warnakula
අගෝස්තු 26, 2021

 

 

 

 

රාජා හින්දුස්තානී, රෝජා, නාගීනා, මිස්ටර් ඉන්ඩියා වැනි හින්දි චිත්‍රපට ඔබ රසවින්දා නම්, ඒ නවසිනමා චිත්‍රපට ආයතනය ඒවා ආනයනය කළ නිසාය. පරසතු මල්, ඔහොම හොඳද, සූරයන්ගෙත් සූරයා, සංගීතා, ඉන්දුට මල් මිටක්, පෙම්බර මධූ වැනි චිත්‍රපට ඔබ අද නරඹනවා නම් ඒ නවසිනමා චිත්‍රපට ආයතනයේ අපමණ ශක්තිය යොදා ඒවා සංරක්ෂණය කළ නිසාය. විශාරද ගුණදාස කපුගේ ගයන 'උන්මාද සිතුවම් මැවේ බිඳේ' ගීතය ඔබ රසවිඳීනවා නම් ඒ නවසිනමා චිත්‍රපට ආයතනය 'එක්ටැම්ගේ' චිත්‍රපටය නිෂ්පාදනය කළ නිසාය. එහෙත් මීට වසර දොළහකට පමණ පෙර නවසිනමා චිත්‍රපට ආයතනයේ නිර්මාතෘ වන වෝල්ටර් ප්‍රනාන්දු මහතා ජීවන සිනමාවෙන් සමුගත්තේය. ඒ ඔහුගේ උරුමය මෙන්ම වගකීම ද සිය පුතණුවන් වන දමිත් වර්ණකුල වෙත පවරමිනි. සිනමා සංරක්ෂණයේ ආරම්භකයා වන නවසිනමා චිත්‍රපට ආයතනයේ වත්මන් කටයුතු පිළිබඳ විමසීමට අපි දමිත් වර්ණකුල සමඟ කෙටි කතාබහක යෙදුණෙමු.

 

අපි ඔබේ පියාණන්ගෙන්ම කතාව අරඹමු?

මගේ පියා වෝල්ටර් ප්‍රනාන්දු. නව සිනමා චිත්‍රපට ආයතනය ඔහුගේ. ඔහු තමයි 'එක්ටැම්ගේ' චිත්‍රපටයේ නිෂ්පාදක. තාත්තා චිත්‍රපට ශාලා කීපයක්ම පවත්වාගෙන ගියා. ඔහු ලංකාවේ සිටි ප්‍රමුඛ පෙළේ චිත්‍රපට ආනයනකරුවෙක්. රාජා හින්දුස්තානී, නාගීනා, රෝජා, මිස්ටර් ඉන්ඩියා වගේ චිත්‍රපට ගෙන්වූයේ තාත්තා. ඒ වගේම කාලයක් යද්දි චිත්‍රපට විනාශ වී යාම වැළැක්වීමේ අරමුණින් සහ සංරක්ෂණය කිරීමේ අරමුණින් බොහොම අසීරුතා මැද වුවත් චිත්‍රපට මිල දී ගත්තා. ඔහොම හොඳද, සූරයන්ගෙත් සූරයා, සංගීතා වැනි චිත්‍රපට තමයි මුලින්ම ගත්තේ. පරසතුමල් පවා අද ඔබ දකින්නේ මගේ පියා එසේ අයිතිය මිල දී ගත් නිසායි. ඉන් පසු ඒවායේ අලුත් පිටපත් මුද්‍රණය කරලා ශාලාවල ප්‍රදර්ශනය කළා. මේ දේවල් 80 දශකයේ වුණු සිදුවීම්. 83 කලබලවලින් පසු චිත්‍රපට අහේනියක් වගේ ආව වෙලාවේ ඒ චිත්‍රපට තමයි ශාලාවලට දුන්නේ. සුහද පැතුම, හඳපාන පවා තාත්තා පිටපත් යළි මුද්‍රණය කරවා ගත් චිත්‍රපට. ඉන්පසු රූපවාහිනී නාළිකාවල චිත්‍රපට පෙන්වන්න ගත්තාම ඒවාටත් ලබා දුන්නේ අප මිලදී ගත් චිත්‍රපට.

 

ඒ චිත්‍රපට අසීරුවෙන් කළා කීවේ?

මේ චිත්‍රපටවල නිෂ්පාදකවරු බොහොමයක් සිනමාවෙන් ඉවත්වෙලා හිටියේ. ඒ නිසා චිත්‍රපට පිටපත් නිසි ලෙස නිසි අයුරින් තිබුණේ නෑ, ඇඳන් යට ගරාජ්වල තමයි ඒවා තිබුණේ. ඉතින් තාත්තා ඒවා ලබා ගැනීම නිසා නිෂ්පාදකට යම් මුදලක් ලැබෙනවා, සංරක්ෂණයත් සිදුවෙනවා. ඒත් එය පහසු කටයුත්තක් වුණේ නැහැ. 'පරසතුමල්' පිටපතක් තාත්තා ගෙන්වා ගත්තේ එංගලන්තයේ යම් ස්ථානයක තිබිලා.

දැන් ඒ කටයුතු කරන්නේ ඔබ?

තාත්තා 2009 මෙලොවින් සමුගත්තා. එතැන් සිට මමත් චිත්‍රපට මිල දී ගැනීම සිදු කරනවා. සංරක්ෂණය කියන්නේ තරමක් බැරෑරුම්, ක්‍රමාණුකූලව, විධිමත්ව කළ යුතු ක්‍රියාවලියක්. හරිනම් රජයේ මැදිහත් වීමකින් මෙය කළ යුතුයි. අපි අයිතිය ලබා ගැනීම නිසාම ඇතැම් චිත්‍රපට රැකුණා මිසක් හරිනම් ඒවා විනාශ වෙන්න තිබුණු ඒවා. උදාහරණ විදිහට ඉන්දුට මල් මිටක්, පෙම්බර මධූ වැනි ඒවා. මම නම් කියන්නේ චිත්‍රපට සංස්ථාවෙන් හෝ කුමන ආකාරයෙන් හෝ මේ රටේ චිත්‍රපට සංරක්ෂණය වනවා නම් තමයි හොඳ.

සාමාන්‍යයෙන් සංරක්ෂණය සඳහා චිත්‍රපටවල අයිතිය ලබා ගැනීමේදී ඒවායේ ගුණාත්මකබව බලනවා ඇති?

 

තාත්තා කොහොම හරි හොයා ගත්තේ හොඳ පිටපත් සහිත චිත්‍රපට නිසා ඒවා වර්තමාන තාක්ෂණයට හැරවීම පහසුයි. හැබැයි අප සතු චිත්‍රපට සියල්ලම ඩීසීපී කරන්න විශාල වියදමක් යනවා. ඒත් අනාගතයේ ඒ සියල්ල නව තාක්ෂණයට හැරවීමට බලාපොරොත්තු වනවා. දැනට සිංහල චිත්‍රපට 100ක පමණ අයිතිය මා සතුයි.

 

මෙය එක් අතකට ව්‍යාපාරයක්?

ඔවු. රූපවාහිනී නාළිකා අපේ අයිතියේ තිබෙන චිත්‍රපට ඉල්ලුවොත් අපි එය යම් මුදලකට ලබා දෙනවා. සමහරු ඩීවීඩී පට බෙදා හරින්න ඉල්ලනවා. එවිට අප ඒ සඳහා මුදලක් අයකර යම් කාලයකට අවසර දෙනවා.

 

වර්තමානයේ චිත්‍රපට නැරඹීමට අන්තර්ජාලය හොඳ වේදිකාවක්?

 

අපේ චිත්‍රපට අන්තර්ජාලයට ලබා දීමට වඩා අන්තර්ජාලයෙන් අපේ චිත්‍රපට බේරා ගැනීමටයි දැන් අපට සිදු වී තිබෙන්නේ. සමහරු අනවසරයෙන් චිත්‍රපට ආදිය අන්තර්ජාලයට අප්ලෝඩ් කරලා ආදායම් ලබනවා. ආදායමක් නැතුව වුවත් අනුන්ගේ‌ දේපළක් අනවසරයෙන් පරිහරණය කරන්න කාටවත් අයිතියක් නෑනෙ. සමහර යූටියුබ්වල අයට අනවසරයෙන් ඇතුළත් කළ අපේ චිත්‍රපට ගීත ගලවන්න කීවාම ඔවුන් කරන්නේ සංරක්ෂණයක්, සමාජ සේවයක් ආදි වශයෙන් කියනවා. එවැනි සමහර හොරුන්ගෙන් මේවා බේරා ගැනීමයි වැදගත්. ඒ නිසා ප්‍රබල නීති ඇතිවිය යුතුයි අනාගතයේ මේ සම්බන්ධව අයිතිකරුවන්ගේ අයිතිය රැකගැනීමට.

 

ඉතින් ඔබටම පුළුවන්නේ ඔබ සතු චිත්‍රපට අන්තර්ජාලයට මුදා හරින්න?

 

මම දකින විදිහට අපේ චිත්‍රපට සඳහා දේශීය වශයෙන් පවා අඩු ඉල්ලුමක් තිබෙන විට අන්තර්ජාලයෙන් විශාල වෙළෙඳපොළක් තිබේද යන්න පිළිබඳ මට සැකයක් තිබෙනවා. අන්තර්ජාලයේ බොහෝ දෙනා පුරුදුව ඉන්නේ නොමි‌ලේ දේවල් ලබා ගන්න. පුන්නක්කු හරි කමක් නෑ නොමිලේ දෙනවා නම් ඕනෑම දෙයක් ගන්නවා. නිර්මාණාත්මක බංකොළොත්බව, තාක්ෂණික දියුණුව, මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න ආදිය නිසා සිනමාව අද කඩා වැටී තිබෙනවා. එවිට විනෝදාස්වාදය කියන කාරණය ඔවුන්ගේ අවශ්‍යතාවලින් කැපී යනවා. ඒ නිසා අන්තර්ජාලයට චිත්‍රපට දැමීම පිළිබඳ මම එතරම් විශ්වාස කරන්නේ නහැ.

 

රූපවාහිනිය සහ ඩීවීඩී හැරුණු විට සංරක්ෂිත චිත්‍රපට සඳහා ඇති වෙනත් මාධ්‍ය මොනවාද?

 

අපි චිත්‍රපටය මිල දී ලබා ගන්නා ගිවිසුම අනුව ඒ නිර්මාණ ගුවන්යානාවල, රූපවාහිනීවල හෝ වෙනත් මාධ්‍යවල ප්‍රචාරය කිරීම සඳහා අවසර ලබා දෙනවා කෙටි කාලීනව. විවිධ කලාකරුවන්ගේ උත්සව අවස්ථා සඳහා අපෙන් චිත්‍රපට කොටස් ඉල්ලූ විට නම් කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දෙනවා.

 

අද කාලේ තැනෙන චිත්‍රපට සියල්ලමත් ඔබ ප්‍රමිතියක් නොතකා සංරක්ෂණය කරනවාද?

 

අපි ප්‍රතිපත්තියක් ලෙස සියලු චිත්‍රපට මිල දී ගෙන එකතු කරනවා. ප්‍රමිතිය අනුව එය වෙනස් කරන්නේ නෑ. මේ ක්ෂේත්‍රයේ එන්න හැම කෙනකුටම අයිතියක් තිබෙනවා. හැබැයි මගේ පියා තමයි චිත්‍රපට සංරක්ෂණයේ නියමුවා. අමාරුවෙන් හදන සමහර චිත්‍රපට පෙන්වන්න වෙළෙඳ පොළක් අද නෑ. ඒ කොහොම වුණත් නවීන තාක්ෂණය යොදාගෙන, අනාගත පරපුරටත් පරිශීලනය කළ හැකි වන අයුරින් මගේ ජීවිත කාල තිබෙන තුරු මම මේවා සංරක්ෂණය කරනවා.