‘අපේ කොල්ලෙක් හොලිවුඩ් චිත්‍රපටයක් කරලා

හෙට ලොස් ඇන්ජලිස්වල පෙන්වනවා!’
ඔක්තෝබර් 14, 2021

 

ඒ කාලෙම අපි පාසලට යූටියුබයක් හැදුවා 'Le Royale' කියලා

 

මම ගොඩක් බැලුවේ හොලිවුඩ් චිත්‍රපට

 

ඉස්කෝලෙට අරන් ගියේ පොත් නෙවෙයි ලොකු කැමරාවක්

 

මම කැමැති දෙබස් වැඩි චිත්‍රපටවලට

 

 

ඇමසොන් අයිතිකරු චිත්‍රපටවලින් හම්බ කරලා හඳටත් ගිහින් ආවා.

 

හොලිවුඩ් නළු නිළියන්ගේ කොණ්ඩ ගහක් වුණත් අල්ලන්න පුළුවන් කොණ්ඩ මෝස්තර ශිල්පියාට විතරමයි

 

මේ මාතෘකාව සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් සත්‍යය එයයි. මේ සමය මෙරට තරුණ තරුණියන් සිය උපන් බිමේ නම ලෝකයට ගෙන යන යුගයක් බව තවත් වරක් තහවුරු කරන ලක් මවගේ පුත්‍රයකු වන ඔහු ලක්පති විජේසේකර ය. චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු අතරතුර වුව සරසවිය සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රථම පුවත්පත් සාකච්ඡාව පවත්වන්න ඔහු කාලය සොයාගත්තේය. ඒ නිසාම ලක්පතිගේ මේ ජයග්‍රාහී සිනමා දැක්ම දක්වා වන අධිෂ්ඨානයේ මාවතේ අතුරු සිදුරු නැති සම්පූර්ණ කතාව ඔබ වෙත අප ගෙන එන්නේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය අගය කිරීමක් වශයෙනි.

එසේම මේ කතාවට හොඳීන් අවධානය යොමු කළ හොත් ලෝකයේ දැවැන්තම සිනමා කර්මාන්තයක් වන හොලිවුඩය පිළිබඳ මෙන්ම බොහෝ දෙනාගේ සිහින දේශය වන ඇමෙරිකාව පිළිබඳ අප සිතනවාට වඩා වෙනස් ආකාරයක අවබෝධයක් ලබන්නත් එය උපකාරී වනු ඇත කියා සිතමි.

 

ඉදින් අපි යොමු වෙමු සිනමා අධ්‍යක්ෂ ලක්පති විජේසේකර වෙතට...

 

අපි ශ්‍රී ලංකාවෙන්, ඔබේ කුඩා අවධියෙන් කතාව පටන් ගමු?

පොඩි කාලේ ඉඳලාම කලාව පැත්තට මගේ කැමැත්තක් තිබුණා. මම රෝයල් ගියේ, අය්යා ශිෂ්‍යත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිය නිසා. අය්යා මට වඩා අවුරුදු 13ක් වැඩිමල්. මම පාසලට ඇතුළත් වෙද්දි අය්යා වෛද්‍ය විද්‍යාලයට තේරිලා. අය්යා ඉගෙන ගන්න හරි දක්ෂයි. මම පන්තියේ පහළොස්වෙනියා විතර වුණාම ගුරුවරු කියනවා 'අය්යෝ අය්යා නම් හරිම දක්ෂයි, මෙයා අයියා වගේ නෙවෙයි' කියලා. ඉතින් ඉගෙනීමෙන් තරගයක් දෙන්න බැරි බව මට අවබෝධ වෙද්දි මම වැඩිපුර කලා කටයුතුවලට යොමු වුණා වෙන්න ඇති. ඒ කාලෙ මම ස්වාධීන රූපවාහිනියේ 'සෙල්ලම් ගෙදර' වැඩසටහනට, කෝපි කඩේ නාට්‍යයට, පාසලේ, දහම් පාසලේ නාට්‍යවලට සම්බන්ධ වුණා.

 

මා සාමාන්‍ය සටහනක් කළ ද ඔහු යමක් පවසන්නේ මේ ජීවිතය පිළිබඳ හදවත පත්ලෙන්ම නැඟෙන හාස්‍යය මුසු භාවයක් පෙරදැරිව යැයි මට සිතේ. එය ඊළඟ මොහොතේ ඔහුගෙන් ඉස්මතු විය.

සෙල්ලම් ගෙදර වැඩසටහනෙදි තමයි මුලින්ම වීඩියෝ කැමරාවක් දැක්කෙ. ආසාවක් ඇති වුණේ. ලක්ෂ්මන් මත්තුමගල මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. ඔහු මට දුරකථනයෙන් අමතලා කීවා 'ඊළඟ එකටත් එන්න ඔයා හොඳට රඟපානවා' එහෙම කියලා. ඒ පාර මම කීවා එහෙනම් සෙල්ලම් ගෙදර ඊළඟ වැඩසටහන මට අධ්‍යක්ෂණය කරන්න දෙන්න කියලා. ඒ මහත්මයා බොහෝම කාරුණිකව මගේ හිත නොරිදෙන විදිහට 'මේවා රජයේ ආයතන නිසා අවසර ගන්න ඕනේ අපි ටිකක් ලොකු වුණාම බලමුකො' වගේ කරුණු ගොඩක් කියලා තමයි මාව අධෛර්යමත් නොකර වැඩේ බේරගත්තේ. එතකොට මට වයස 12ක් විතර ඇති.

 

වෛද්‍ය නොවිල් විජේසේකර අය්යා ලක්පති මල්ලීගේ අපේක්ෂාව මැනවින් තේරුම් ගත්තේය.

පස්සේ අයියාම අරන් දුන්නා පොඩි වීඩියෝ කැමරාවක්. පාසලේ හය වසරේ සිට කෙටි චිත්‍රපට කියලා දේවල් හදනවා. ඒවා එහෙම හඳුන්වන්න පුළුවන් නම්...! (සිනාසෙයි)

ඒවා ලංකාවේ පොඩි පොඩි තරගවලට දාලාවත් ලේසියෙන් දිනන්න ලැබිලත් නෑ මගේ හිතේ. සම්මාන කියලා දිනුවේ රාජකීය හරසර ප්‍රණාම කියන උලෙළෙදි වේදිකා නාට්‍ය සඳහා හොඳම අධ්‍යක්ෂ, හොඳම පෙළ රචනය වගේ ඒවා. ඒ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඇත්තෙන්ම මම කවදාවත් ෆෙස්ටිවල් සඳහාම කියලා නිර්මාණ කරලත් නෑ කරන්නෙත් නැහැ.

ඒ කාලෙම අපි පාසලට යූටියුබයක් හැදුවා 'ඹ්ඥ අධරචතඥ' කියලා. ඒ කාලේ යූටියුබය එතරම් ජනප්‍රිය එකක් නෙවෙයි. පාසලෙන් අවසර ගන්නත් අමාරු වුණා 'ඉන්ටනෙට් එකේ පින්තූර දාන්න පිස්සුද' කියලා. පස්සේ හොරෙන් හදලා පෙන්නුවාම ආදි ශිෂ්‍ය සංගමය එහෙම බලලා හොඳ වැඩක් කියලයි අවසරයත් ලැබුණේ.

ඔහුගේ ඉලක්කය අරඹන්නේ පාසල් සමයේදීමය.

පොඩි කාලෙ අපෙන් අහනවානේ 'ලොකු වුණාම කවුද වෙන්නෙ?' කියලා. මම කීවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කියලා. මම ඉස්කෝලෙට හැමදාම අරන් ගියේ පොත් නෙවෙයි. ලොකු කැමරාවක්. මාව බස් එකේ නංගගන්නෙත් නෑ ඒ පෙට්ටිය දැක්කාම.

අපි සාමාන්‍ය පෙළ කරද්දි ශිෂ්‍යත්වයෙන් ලංකාවේ දෙවැනියා හිටියෙත් මා එක්ක. හැබැයි අපි දෙන්නාම චිත්‍රපට හදනවා. විද්‍යාව පොතේ පාඩම් හත අරගෙන අපි හැදුවා වීඩියෝ පාඩම් පෙළක්. කාමර හතක් තිබෙන ගෙදරකට යනවා අපි. ඒ එක එක කාමරේ තිබෙන්නේ පාඩමට අදාළ දේ. කටපාඩම් කරන්න ඕනෙ දේවල් අපි ඒකෙ කියනවා, කුතුහලය දැනවෙන විදිහට නාට්‍යානුසාරයෙන්. එකක හෘදය වස්තුව ගැන කියනවා. මොනවාද ධමනි, ශිරා. අනෙකේ රබර් වත්තක්. අපි ඒවා ළමයින්ට පෙන්නුවා. අනිත් අයටත් දුන්නා. අපි පොඩියි දන්න දේකුත් නෑ. ඒත් කොහොම හරි කළා. සාමාන්‍ය පෙළ කාලේ මම කීවෙම ඇමෙරිකාවට යනවා කියලා.

 

ඇයි හොලිවුඩ්ම?

මම ගොඩක් බැලුවේ හොලිවුඩ් චිත්‍රපට. උදේට අම්මාගෙන් සල්ලි ඉල්ලගෙන නුගේගොඩින් චිත්‍රපටයක් බලලා, දවල්ට එම්සී එකේ බලලා ඊළඟට ලිබර්ටි එකට පයින් ගිහින් තවත් චිත්‍රපටයක් බලලා තමයි හවස ගෙදර එන්නේ. ඒ කාලේ මල්ටිෆ්ලෙක්ස් කියලා නෑනේ. එක ශාලාවක එක චිත්‍රපටයයි. ඒ වගේම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ චිත්‍රපට පුස්තකාලය වගේම ඇමෙරිකන් සෙන්ටර් එකේ චිත්‍රපට බැලුවා. ඒ වෙද්දි මට තේරුණේ නැහැ අපේ අම්මලාට මාව ඇමෙරිකාවේ යවන එක දරාගන්න පුළුවන් බරක් නෙවෙයි කියලා. සාමාන්‍ය පෙළ ඉවර වෙලා ඉද්දිත් මම ඇමෙරිකාවේ උසස් පාසලකට ලියලා ඒ අය එන්න කියලා ලෑස්ති කරලාත් තිබුණා. ඒත් යන්න ලැබුණේ නෑ. පස්සේ බොහොම අමාරුවෙන් තමයි ආපහු රෝයල් එකේ උසස් පෙළ පන්තියට යා ගත්තේ.

 

ඔහුට හැම දෙයක්ම චිත්‍රපට කතාවකි.

පාසල් සමය ඉවර වෙද්දී මගේ ඉලක්කය තිබුණේ චිත්‍රපටයක් කරනවාමයි කියලා. නව යොවුන් විය අවසන් වීම ගැන '19' කියලා පිටපතක් ලීවා. නිෂ්පාදකවරයකුත් සොයාගත්තා. එයාගේ කොන්දේසිය වුණේ චිත්‍රපටය ජනප්‍රිය නළු නිළියන් යොදාගෙන කරන්න කියන එක. ඉතින් අපි ඒ අය ගාවටත් ගියා. බොහෝ දෙනෙක් කීවේ 'අපෝ ඔයගොල්ලො පොඩි අය ඔයාලාට පුළුවන්ද චිත්‍රපට හදන්න' කියලා. අන්තිමට නිෂ්පාදකවරයාත් නළු නිළි ප්‍රශ්නය නිසාම අපව අතහැරියා. අපිත් හෙම්බත් වෙලා. සමහරු දෙවැනි වර උසස් පෙළ කරන්න ගියා. ඔය හේතු නිසා තමයි මම බිහයින්ඩ් ද සීන්ස් ( Behind the Scenes)  කියන චිත්‍රපටය නිර්මාණය කළේ.

එහි තිබෙන්නේ අපි චිත්‍රපටයක් කරන්න ගියාම වෙච්ච දේ. එය තරමක් ප්‍රහසන ප්‍රවර්ගයට අයත් වන එකක්. ඒ වගේම අද වගේ අරයා තරහ වෙයි මෙයා මෙහෙම හිතයි කියලා බයක් දැනුණේ නැති නිසා හරිම අව්‍යාජ විදිහට අපි ඒ නිර්මාණය කළා.

ඒ වගේම ඒ චිත්‍රපටය හදලා පෙන්වන තුරු මගේ යාළුවන්ටත් ඇතිවෙලා තිබුණේ චිත්‍රපට කිරීම ගැන අවිශ්වාසයක්. මොකද ලැබුණේම අධෛර්යමත් කරන පිළිතුරුනේ. මමත් බයේ හිටියේ හදලා මුලින්ම සෙනඟකට පෙන්වන තුරු මොනවගේ අත්දැකීමක් වෙයිද කියලා. හිනා යන තැන්වලට ප්‍රේක්ෂාගාරයේ පිරිස සාමූහිකව හිනාවෙද්දි ඒක මට අමුතුම අත්දැකීමක් වුණා. අපට එය ශාලාවල පෙන්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තරංගනී ශාලාවේ එකවරකුත්, ඉන්දියාවේ ලක්නව් නුවර අන්තර්ජාතික ළමා සිනමා උලෙළක දින හතරක් විතරත් ප්‍රදර්ශනය කරන්න ලැබුණා එච්චරයි. දන්නවානේ ඉතින් ලංකාවේ චිත්‍රපටයක් පෙන්වන්න ගියාම? වෙන චිත්‍රපටයක් අපේ එකට කලින් දාන්න වුණා, ඒ වගේ සිදුවීම් නිසා ප්‍රදර්ශනය නතර වුණා.

සිනමාවෙදි මට හැම තිස්සේම ඕනේ උලෙළකට තරගෙකට ගිහින් එතැන දිනනවාද කියන ඉලක්කයකට කරනවාට වඩා නිර්මාණයක් කරන්න.

අම්මලා මම කලින් හැදූ චිත්‍රපට ගෙදරදි බලලා තිබුණත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, අරුණ ගුණරත්න වැනි අය එක්ක චිත්‍රපටයක් බැලීම සහ ඒ අයගේ ප්‍රතිචාර සමඟ තමයි මගේ මේ චිත්‍රපට පිස්සුවට වටිනාකමක් ලැබුණේ.

ඉන්දියාවෙත් ගිහින් ආවට පස්සේ අය්යා තමයි මගේ 'චිත්‍රපට උණ' හොඳ කරන්න වගේ ඇමෙරිකාවට එන්න සූදානම් කරලා දුන්නේ ඇත්තටම බැංකු ණය පහසුකමකුත් අරගෙන.

 

ඔහුගේ හොලිවුඩි සිහිනය සැබෑ වීමේ පළමු පියවර එය විය. දැන් කතාව දිගහැරෙන්නේ ඇමෙරිකාවේ විඳී අත්දැකීම් ඔස්සේය.

මුලින්ම මම ආවේ කොමියුනිටි ස්කූල් කියන වර්ගයේ පාසලකට. ඒවායේ වියදම ටිකක් අඩුයි. මට පළමුවෙනි දවස හරියට හීනයක් වගේ. මොකද මගේ වීසාත් කීපවරක් ප්‍රතික්ෂේප වෙලා වීසා නැතිව ආවේ කොයි වෙලේ මොනවා කොතැනින් වරදීද කියලා නොදැන. ඒ ඉස්කෝලේ අපේ රටවලට සාපේක්ෂව ගොඩක් ලොකු නිසා 'අනේ! මේක මාර තැනක්නේ' කියලා හිතාගෙන මාත් හිටියා. මට ඇමෙරිකාවේ කිසිම ඇඳුණුම්කමක් තිබුණේ නැහැ. අපේ පවුලක කෙනෙක්වත් යාළුවෙක්වත් නෑ, හොලිවුඩ් එන්න ඕනෙ කියලා ඉතින් හොලිවුඩ් ආවා එච්චරයි.

යළිත් මතු වන්නේ ඔහුගේ උපහාසයයි

පස්සේ මුහුණු පොතෙන් අඳුනගෙන හිටිය රෝයල් එකේ අය්යා කෙනෙක් මාව මෙහෙ තියෙන ලොකුම ෆිල්ම් ස්කූල්වලට ගෙනියන්නම් කියලා දවසක් එක්කගෙන ගියා තමයි තේරුණේ මම මාර තැනක් කියලා හිතාගෙන හිටියේ කොයි වගේ ඉස්කෝලෙකටද කියලා. ඒ ලොකු පාසල්වල ශබ්ද පරිපාලන, දෘශ්‍ය ප්‍රයෝග,සංස්කරණ වගේ දේවල් පුහුණු කරන්න තිබෙන පහසුකම් දැක්කාම කෙළින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හැදූ තැන් වගේ. ඊට පස්සේ තමයි හිතා ගත්තේ මමත් මේ වගේ තැනකට ඇවිත් ඉගෙන ගන්න ඕනෙ කියලා. මම කොහොම හරි  El Camino College  එකට ආවා.

 

මම ලංකාවේ ෆීචර් ෆිල්ම් එකක් කළානේ. එනිසා ඇමෙරිකාවෙත් චිත්‍රපටයක් කරන එක ඒ වගේ කියලා තමයි හිතුවේ. ඉතින් මාත් එක්ක ඉගෙන ගන්න ළමයින්ට 'අපට හදන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි' කියලා පටන් ගත්තා. ඇමෙරිකාවට ඇවිත් අවුරුද්දක්වත් නෑ. හැබැයි ඉතින් ළමයිනුත් එක එක්කෙනා මේ වැඩේට එකතු වෙන්න ගත්තා. ලංකාවේ ඉඳන් ඇවිත් පොඩි එකෙක් මේ වගේ වැඩක් කරනවාට කැමැත්තට එක එක්කෙනා උදවු කරලා අපට නොමිලේ ලැබුණා ඒ කාලේ තිබුණ ලොකු කැමරාවක් 'රෙඩ් එපික්' කියලා. අපි ලංකාවේ වීඩියෝ කැමරා පාවිච්චි කළාට ෆිල්ම් කැමරා පාවිච්චි කරලා තිබුණේ නෑනේ. පණ්ඩිතයන් වගේ වැඩ කරන්න ගත්තාට සමහර සෙටිංස් එහෙම දන්නෙත් නෑ. ඒ නිසා රාමු සංඛ්‍යාව වෙනස් වෙලා රූප කාටූන් වගේ ගැස්සෙනවා. ඒක දුන්න කෙනාටත් දුකයි සිද්ධ වෙච්ච දේට. අවසානයේ ඒ 'ෆෝල්ස්හුඩ්' (ජ්චතඵඥඩධධඤ) කියන චිත්‍රපටය ගැන තිබුණු බලාපොරොත්තුව ඉවර වුණා. අනෙක් අයට තිබුණු උනන්දුවත් අඩු වුණා. මොකද මෙහෙ නත්තල් කියන්නේ ලංකාවේ අවුරුදු වගේ තමයි. හැමෝම ‌ගෙවල් දොරවල යනවා, සමරනවා. ඒ සියල්ල කැප කරලා චිත්‍රපටය කළේ. අන්තිමට ගමේ ගියෙත් නෑ. චිත්‍රපටයත් නෑ. අපි ඒක හදන්න පුළුවන්ද බලන්න තැන්-තැන්වලට ගියා. බැරි කමක් නෑ. හැබැයි තව චිත්‍රපට දෙකතුනක් විතර කරන වියදම යනවා ඒක‌ට. මොකද ඒ අය කියන්නේ 'අපි මේ ඉන්නේ හොලිවුඩ්වල මෙහෙ කරන්න බැරි දෙයක් නෑ. හැබැයි වියදම් කරන්න ඕනෙ' කියලායි. ඊට පස්සේ අවුරුදු හතරක් විතර යනතුරු මම චිත්‍රපට කරන්න බය වෙලා හිටියා.

 

පරාජයන් යනු ජයග්‍රහණයේ කුලුනුය. එහෙත් ඒ කුලුනු මත ජයකොඩි නැංවීමට යා යුත්තේ සුවපහසු මඟක නම් නොවේ. අවශ්‍ය වන්නේ නොසංසිඳෙන අධිෂ්ඨානයම පමණි.

ඒ පාසලෙන් ඉවත් වනවාත් එක්කම මම ලංකාවේ කෙටි චිත්‍රපට කරලා තිබුණු අත්දැකීම් එහෙමත් එක්ක ඉවෙන්ට්ස් කවර් කරන්නත් ගත්තා. ඒ වෙද්දි මම කළ ලොක් ( Locked) කියන කෙටි චිත්‍රපටය ඇමෙරිකාවේ රූපවාහිනී නාළිකාවක් වන Shorts HD නාළිකාවෙන් මිල දී ගත්තා. ඒක කවුරුහරි බලන වාරයක් ගානේ තමයි මුදල් එකතු වෙන්නේ. මාස තුනකට විතර ඒ අය චෙක් එකක් එවනවා. ලොකු ගාණක් නෙවෙයි ඩොලර් 10ක් විතර එන්නෙ. එත් මෙච්චර කල් චිත්‍රපට කරලා පළමුවෙන්ම කීයක් හරි හම්බුණ එක නිසා ඒක එනකල් බලාගෙන ඉන්නවා.

 

ඔහු ඊට අමතරව හෙලෝ, අනදර් ඩේ වැනි කෙටි චිත්‍රපටද නිර්මාණය කර තිබුණු අතර ලොක්ඩ් එසේ තේරුණේ එය බූම්ටවුන්, ඇට්ලන්ටා වැනි උලෙළ නියෝජනය කර තිබුණු බැවිනි. ඇමෙරිකාව ඔහුට අලුත් අත්දැකීම් රැසක් ගෙනාවේ මේ අතරය.

ඉස්සර චිත්‍රපටවල අපි දුටු දේ සහ ඇමෙරිකාව අතර ලොකු වෙනසක් තිබුණා. දැන් විවිධ සමාජ ව්‍යාපාර නිසා ඒවා වෙනස් වේගන යනවා. ඉස්සර අපි දැක්කේ සුදු අයනේ චිත්‍රපටවල වැඩිහරියක්. ඒත් ඇත්ත ඇමෙරිකාවේ එහෙම නෑ. විශේෂයෙන් මම ඉන්න හරියේ හොලිවුඩ් සහ කැලිෆෝනියා වැනි ප්‍රදේශවල බොහොම බහු වාර්ගික, බහු සංස්කෘතික ගතියක් තිබෙන්නේ. අනෙක චිත්‍රපටවල පෙන්වන ෆැන්ටසිය සහ යථාර්ථය කියන්නේ දෙකක්. මම මෙහෙ ඇවිත් මුලින්ම ගත්තේ පාපැදියක්. ඒකෙන් මම මුලින්ම ගියේ හොලිවුඩ් බුලවාඩ්. (ලොස් ඇන්ජලිස් හි විථියක්) මම හිතාගෙන හිටියේ ඔක්කොම ෂූටිං ‌කෙරෙනවා ඇති, නළු නිළියෝ ඇති හරි ෂෝක් එකට ඇති කියලා. එහෙට ගිහින් පොලීසිය ඉස්සරහම මම බයිසිකලය ලොක් කරලා තියලා ඇවිදින්න ගියා. ඔස්කාර් සම්මාන උලෙළ තියෙන ඓතිහාසික තැන එහෙම බලලා එනකොට බයිසිකලේ එතැන නෑ. පස්සේ මම එතැනම නිසා පොලිසියට ගියා. මම හිතුවේ චිත්‍රපටවල දැකලා තියෙනවා වගේ හෙලිකොප්ටරයකින් ගිහින් බයික් එක හොයයි. එෆ්බීඅයි එකෙන් එයි එහෙම කියලා. ඒත් ඒ අය වැඩිය ගණන් ගත්තෙවත් නෑ. ඇමෙරිකාවේ පවතින ස්වභාවයට සාදරයෙන් පිළිගන්නවා වගේ තමයි කතා කළේ.

තවත් දවසක් මම ඉගෙන ගත් පාසලේ යාළුවෙකුගේ මඟුල් ගෙයක්. ඒකත් සරලයි මුහුද ළඟ හතර පස්දෙනෙක් එකතු වෙලා මඟුල් ඇඳුමෙන් සැරසිලා ෆාදර් ඇවිත් අවශ්‍ය කටයුතු කරලා සුප්‍රසිද්ධ කඩේකින් බන්ස් ටිකක් කාලා ගියා. හවස පාර්ක් එකේ ඉවෙන්ට් එකක් ෂූට් කරනවා පොඩ්ඩක් එන්න කියලා යාළුවෙක් කියු නිසා ගියා. මෙමරි කාඩ් පොඩිම ඒවා විතරයිනේ ළඟ තියෙන්නේ. ඒ නිසා වෙඩිං එක අරගෙන ඉතිරි වෙච්ච එකෙන් ඒ ෂූට් එක කරද්දි එකපාරට මනුස්සයෙක් කැමරාව උදුරගෙන දිවුවා. මම පස්සෙන් දුවලා- දුවලා බෙල්ලෙන් අල්ලගත්තාම ඒ මනුස්සයා පිස්තෝලයක් මගේ නළලට තියලා තර්ජනය කළා. දැන් මම හොරාට 'සර්' කියකිය අඬනවා. මොකද මගේ ජීවිතේම මේ කැමරාවනෙ. අනෙක යාළුවාගේ මඟුල් ගෙදර පින්තූර ඔක්කොමත් ඒකෙ. ඒ මනුස්සයාගේ කිසිම අනුකම්පාවක් නෑ. අන්තිමට මම ගල්ගැහුණා. මොකද ලංකාවේ අපට ඔච්චර යුද්ධයක් තිබුණා බෝම්බ පිපිරුවා කීවත් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙලා නෑනේ. අන්තිමට අපි පොලීසි ආවා. එතකොට අහන්නේ පුදුම විහිළු ප්‍රශ්න. ඇයි ඔයා එයා පස්සේ එළෙව්වේ? ඔයාටත් වෙඩි තියන්න තිබුණනේ, වාහනේ නොම්බරය සම්පූර්ණයෙන් මතකද? වගේ ඒවා. මගේ යාළුවාට නොම්බර දෙකක් මතකයි ඉතිරි ටික මතක නෑ. ඉතින් අහනවා ඇයි ඔයාට ඉතිරි නොම්බර මතක නැත්තෙ? වගේ ප්‍රශ්න. එතනින් එහාට මුකුත් නෑ. මම මෙතන වෙවුලනවා. ඒ ගැනවත් තැකීමක් නෑ. හැබැයි සුදු ජාතිකයෙක් කතා කළානම් ඔය තත්ත්වය වෙනස්. ඉතින් ලංකාව ඒ අතින් බොහොම හොඳයි. මෙහෙ වාර්ගික වෙනස්කම් එහෙම හරියට තිබෙනවා. ඥාති මිත්‍ර සංග්‍රහය හරියට තිබෙනවා. මෙහෙ තිබෙනවා 'හූ යූ නෝ' (එඩධ රධභ ඬදධඹ) කියලා දෙයක් හරියට අපේ රටෙත් ඉගෙන ගත්ත පාසලට අදිනවා වගේ මෙහෙත් දන්න අඳුනන ලොකු අය ඉන්නවා නම්, කොලේජ් එක අනුව එහෙම ඉහළට යන්න පුළුවන්.

 

ඔහු ඇමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ගැනද කියයි.

විශේෂම දේ තමයි අපි ලංකාවේ අපේ චිත්‍රපට මනින්නේ ඇමෙරිකාවේ දැවැන්ත චිත්‍රපට එක්කනෙ. ඒත් මෙහෙත් තිබෙනවා පොඩි පිරිවැයකින් හදන ක්ෂුද්‍ර මට්ටමේ චිත්‍රපට. ඒවා ප්‍රධාන ධාරාවට එන්නේ හරිම කලාතුරකින්. ඒක වෙනම කර්මාන්තයක්. ඒවායේ වැඩ කරන අය අර මට්ටමට යන්නෙත් නැතුව ඇති. ඒ අය පොඩි පොඩි උලෙළවලට සහභාගි වෙලා ක්‍රම ක්‍රමයෙන් ඉහළට එනවා. ඒ කියන්නේ අපට එළියට පේනවාට වඩා විශාල කර්මාන්තයක් තියෙනවා.

හදන චිත්‍රපටයක් ඕටීටී ප්ලැට්ෆෝර්ම් දාන එක ලේසීයි කියලා කතා වෙනවානේ සමහරු. ඒකෙන් දෙන්නේ ස්වාධීන චිත්‍රපට කරුවන්, ඒ කියන්නේ අපි වගේ අයට හරි පොඩි ගාණක්. හැබැයි ස්ටූඩියෝවලට ඒ අය ලොකු ගාණක් දෙනවා. උදාහරණයකට ඇමසොන් ආයතනයෙන් ස්වාධීන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් පැය අනූනවදහස් නවසිය අනූනවයක්, ඒ කියන්නේ ලක්ෂයකට අඩු පැය ගණනක් නම් නරඹලා තිබෙන්නේ ඔහුට මිනිත්තුවකට ගෙවන්නේ ඩොලර් ශත 0.06යි. හිතන්න කොහොමද ස්වාධීන චිත්‍රපටයක් එහෙම සල්ලි හොයන්නේ? මේ වර්ගයට තමයි අපි හදන චිත්‍රපට ගොඩාක් අයිති වන්නේ. මේ අයට අවශ්‍ය නම් ගෙවන්න බැරිකමක් නෑනේ... ලොකු ස්ටූඩියෝස්වල චිත්‍රපටවලට ඒජන්ට්ලා, මැනේජර්ලා ඉන්නවා නම් ලොකුවට ගෙවනවා. ඒ විතරක් නෙවෙයි. අර ශත බින්දුවයි හය ලබන චිත්‍රපටවලට බෙදාහරින්නෙක් ඉන්නවා නම් ඒ අය සියයට 20ක් ගන්නවා. ඒ වගේම බෙදාහරින්නන් කියන පිරිස අතර මාර හොරු ඉන්නේ. හරිම පරෙස්සම් වෙන්න ඕනෙ. උදාහරණයක් හැටියට හැමෝගෙම ආසාව නෙට්ෆ්ලික්ස් එකට චිත්‍රපටයක් දාගන්න එකනේ. ඒත් අපට කෙළින්ම ගිහින් නෙට්ෆ්ලික්ස් එකට චිත්‍රපට දෙන්න බෑ. ඒකට ඇග්‍රිගේටර් කෙනෙක් (එකතුකරන්නෙක්) ඉන්නවා. ඒ අය චිත්‍රපට එකතු කරලා අවශ්‍ය විදිහට ෆයිල් හදලා නෙට්ෆ්ලික්ස් එකට බාර දෙනවා. එහෙම කෙනෙක් 2019 වෙද්දි චිත්‍රපට දාහක් පමණ එකතු කරගෙන තිබුණා. ඒ ආයතනය අවුරුදු දහයකට චිත්‍රපටවල අයිතිය ලබාගෙන තිබුණේ. මෙහෙ තිබෙනවා පාඩු ලබා කඩා වැටුණා කියලා ආයතනවලට 'බෑන්ක්‍රප්ට්සි' දාන ක්‍රමයක්. මේ අයත් එහෙම බෑන්ක්‍රප්ට්සි දැම්මාම ආයතනයේ තියෙන පුටු මේස පවා විකුණලා ණය ගෙවන්න මුදල් ගන්න පුළුවන්. එහෙම අර චිත්‍රපට දාහත් ඒ අය විකුණුවා. ඒවා මේ අයම වෙන ආයතනයක නමින් සල්ලි දීලා ගත්තා. එතකොට චිත්‍රපටකරුවන් නෛතිකව බැඳෙන්නේ කලින් විකුණූ ආයතනය එක්කනෙ. අලුත් ආයතනයට කිසිම බැඳීමක් නෑ හොඳට ඒ චිත්‍රපටවලින් හම්බ කළා. සදාචාරාත්මක නැති වුණාට මේ අය නීති විරෝධී වැඩක් කළා කියලා කොහෙත්ම ඔප්පු කරන්න බැහැ. නෙට්ෆ්ලික්ස්වල පවා මාස හයක් පමණ ඒ චිත්‍රපට දිවුවා. සිනමාකරුවන් විශාල සටනක් කරලයි කොන්ත්‍රාත්තුව පවා නතර කරගත්තේ. ස්ටූඩියෝවලට ඒ වගේ දේවල් වන්නේ නැති තරම්. උදාහරණයකට සන්ඩාන්ස් සිනමා උලෙළට අවුරුද්දට චිත්‍රපට 8000ක් ලැබෙනවානේ. ඒවායින් 200ක් විතර තමයි චිත්‍රාගාරවලින් එන ලොකු ලොකු චිත්‍රපට තිබෙන්නේ. අනෙක් සියල්ලම පාහේ අර මම කියූ මට්ටමෙන් තැනෙන ඒවා. ඇමසොන්ලා කලින් ගෙවුවේ ශත 12ක් දැන් ශත හයට අඩු කළා. ඒ ආදායමෙන් අයිතිකාරයා හඳට ගිහිල්ලා එනවා. එහෙම තමයි මෙහෙ චිත්‍රපට කර්මාන්තයත් කෙරෙන්නේ.

 

සිංහල චිත්‍රපට පිළිබඳව ද ඔහුට විචාරයක් ඇත.

ලංකාවෙදි ශාලාවට යන්නේ චිත්‍රපටය මොකක්ද කියලා හොයලා නෙවෙයි. යනකොට තිබුණ ඕනෙම චිත්‍රපටයක් බැලුවා. මචං චිත්‍රපටය ඒ අතරින් මම දෙතුන් වතාවක් බැලූ එකක්. එය මගේ හදවතට බොහෝ කතා කළ කතාවක්.

මෙහෙදි මම චිත්‍රපට උලෙළවලට එන ලංකාවේ චිත්‍රපටත් බලලා තිබෙනවා. මේවා කීවාම තරහ වෙයිද දන්නෙත් නෑ මා එක්ක. ඒත් මට පෙනුණේ, රටේ කර්කශ, දුෂ්කර පැත්ත විතරක් පෙන්වන්න උත්සාහ කරනවා වගේ. අපි ඉදිරිපත් කරන්නේ ලෝකෙට ලංකාව තුන්වැනි නෙවෙයි හතරවැනි ලෝකෙ රටක් වගේ කියලයි මට හිතෙන්නේ. ඒක නරකයි කියනවා නෙවෙයි. හැබැයි ඒවාටම කැමැති සිනමා උලෙළත් තිබෙනවා. ඒත් ඉතින් ඒවායින් ලංකාව, ලංකාව විදිහට ඉදිරිපත් කෙරෙනවාද කියලා හිතන්න අමාරුයි. ඒවා ඇත්තෙන්ම පෙන්වද්දි බලන්න අමාරුයි. ඒ කියන්නේ චිත්‍රපටයක් ලෙස හොඳ වැඩිකම තිබුණට මමත් ලංකාවේ කෙනෙක් හැටියට මම ආවේ මේ වගේ තැනකින් කියලා කියන්න ටිකක් අපහසුවක් දැනෙනවා. ඒ තරමටම දුෂ්කරතාව ඉස්මතු කෙරෙන නිසා සහ ඒ තරමටම අපි දුෂ්කරතාවයෙන් පෙළෙන්නේ නැති නිසා.

ඔහු බොලිවුඩ් චිත්‍රපටද නොබලන්නේ නොවේ.

මෙහෙ තිබෙනවා ඒලිස් කියලා පාස් එකක්. මාසෙට ගාණක් ගෙවලා ඒකෙන් ඕනෑ තරමක් චිත්‍රපට නරඹන්න පුළුවන්. අපි වගේ අය ඒ පාස් එක ගත්තාම ආයතනයට සෑහෙන පාඩුයි. කෙසේ හෝ වේවා බොලිවුඩ් චිත්‍රපටවලින් පෙන්වන්නේත් ඉන්දියාව නෙවෙයි. හැබැයි ඒ අය හදාගත් වෙනම තලයක් තිබෙනවා. අපේ පාසල්වල වුණත් බොලිවුඩ් නැටුම් පන්තිවල ඉන්නේ ඉන්දියානු ළමයින්ට වඩා වෙනත් ජාතිකයන්. බොලිවුඩ් චිත්‍රපට අතරින් මට වඩා මතක ත්‍රී ඉඩියට්ස් තමයි.

 

දැන් අපි කතා කරමු හෙට ප්‍රදර්ශනය වන ඔබේ ෆ්‍රී බයි නූන් ගැන?

මුලින්ම කියන්න ඕනෙ මම දෙබස් සහිත චිත්‍රපටවලටයි කැමැති. ඒ කියන්නේ සමහරු කැමැති දෙබස් අඩුවෙන් තිබෙන රූපරාමු වැඩි ඒවාටනේ. මම වේදිකා නාට්‍ය කරපු නිසාද දන්නේ නෑ මම දෙබස්වලට වැඩිපුර කැමැති වෙන්නේ. සෝෂල් නෙට්වර්ක්, ස්ටීව් ජොබ්ස්, අ ෆිව් ගුඩ් මෙන්, මෙලීස්, ද රොක්, දි ඇමෙරිකන් ප්‍රසිඩන්ට්, මනිබෝල් තිරරචනා වගේම මොලීස් ගේම්, ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඇරන් සොර්කින් කියන සිනමාකරුගේ වැනි චිත්‍රපටවලට තමයි වැඩි ආසාවක් තිබෙන්නේ. අනෙක මට වුණ දේවල් එක්ක ප්‍රායෝගිව හිතන්නත් වෙනවා, මගේ පිරිවැය කොපමණද, කොයි වගේ දර්ශනතල ගන්න පුළුවන්ද වගේ දේවල්. ඇමෙරිකාව ෆෙඩරල් රාජ්‍යයක් නිසා ඒ ඒ තැන්වල දර්ශනතලවලට අවසර ගැනීමේ වියදම වෙනස් වෙනවා වගේම කැලිෆෝරිනියාවේ එක තැනක රූපගත කිරීමට විතරක් අවසර ගන්න ඩොලර් 800ක් වැය වනවා. (ආසන්න වශයෙන් රුපියල් 150,000/- පමණ) ඉතින් ලොකේෂන් දහයක් තිබුණොත් අවසර ගන්නම සල්ලි ඉවර වෙනවා.

යූටියුබර් කෙනෙක්ට නම් බැනලා එළවනකල්ම ෆෝන් එකක් අල්ලගෙන ෂූට් එක කරන්න පුළුවන්. ඒත් චිත්‍රපටයක් එහෙම බෑනේ. එතැනට එන පොලිස් නිලධාරියා අනුවත් තත්ත්වය වෙනස් වෙනවා. සැරයක් දෙසැරයක් අවවාද කරලා යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමරා උපකරණ බාරයට ගන්නත් පුළුවන්. ඉතින් මමත් ආසයි හොඳ ඇක්ෂන් ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් හෝ විෂුවල් ඉෆෙක්ට්ස් තිබෙන චිත්‍රපටයක් හදන්න. ඒත් මේ වෙලාවේ අපට අපේ සීමාවන්ට යටත් වෙන්න වෙනවා.

ඒ අනුව හැදූ ෆ්‍රී බයි නූන් කියන්නේ ඩාක් කොමඩි ප්‍රවර්ගයට (අඳුරු හාස්‍යජනක) අයත් චිත්‍රපටයක්. මෙහි ව්‍යංග්‍යාර්ථයෙන් කියැවෙන්නේ විවාහය කියන දේ තුළ සහ අපේ සම්බන්ධතාවලදී අපේ අදහස් හුවමාර නොකර ගැනීම පිළිබඳ. උදාහරණයකට අපේ ලංකාවේ ගෙවල්වල ළමයින්ට කන්න තියෙන දෙයක් කාලා ඉන්න වෙනවානේ. ඒත් ඇමෙරිකාවේ ළමයින්ට ඒ ගැන තමන්ගේ ස්වාධීන මතය, අදහස්, කැමැත්ත, තෝරාගැනීම කියන්න මවුපියන් අවස්ථාව දෙනවා. තෝරාගැනීම වැරැදුණොත් එයට හේතුවත් පැහැදිලි කරනවා. ඒ වගේ වැඩියෙන් අදහස් හුවමාරු කරගන්න එක හරිම හොඳ හදාවඩා ගැනීමේ ක්‍රමයක්. විවාහ ජීවිතයේ කොපමණ බැඳුණා වුණත් අපේ රටවල සමහර දේවල් හිතේ සඟවාගෙන ඉන්න ගතියක් තිබෙනවා. මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරන්නෙත් අපි සිතුම්පැතුම් නොසඟවා කතා කරන්න ඕනේ කියන අදහස.

 

ඔබ තෝරාගන්නේ හොලිවුඩ් නළුනිළියන්?

මෙහෙ නළු නිළියන් දෙකොටසක් ඉන්නවා. කොටසක් යූනියන් ඇක්ටර්ස්, ඒ කියන්නේ ඔවුන් සැග්ඇෆ්ට්‍රා වෘත්තිය සමිතියේ සමාජික සාමාජිකාවන්. ඒ වෘත්තීය සමිතිය ඒ ශිල්පියාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ ලංකාවේ නම් චිත්‍රපටයක් කරන අතරතුර නිළියගේ කොණ්ඩ රැල්ලක් මූණට වැටුණොත් කාටහරි ඒක ටිකක් හදන්න පුළුවන්නේ... තහනමක් නෑනේ. මෙහෙ එහෙම කළොත් ලොකු ප්‍රශ්නයක්. මොකද කොණ්ඩ අල්ලන්න පුළුවන් කොණ්ඩ මෝස්තර ශිල්පියාටම විතරයි. මේකප් කරන කෙනාට හදිසියට ලයිට් එක අල්ලපං මචං කියන්න අපිට පුළුවන්නේ. මෙහෙ බෑ. හැබැයි ඒක හොඳයි. මොකද ඒ නිසා තමයි කර්මාන්තය රැකිලා තියෙන්නෙ. අපේ යුනියන්වලින් කරන්නේ ඡන්දෙ කාලෙට ගිහින් කාටහරි සහයෝගය දෙන එකනෙ. ඒ අයගේ දේශපාලනයට වඩා වෘත්තීය අයිතීන් වෙනුවෙන් තමයි පෙනී සිටින්‌නේ.

අනෙක ලොස් ඇන්ජලිස්වල නළු නිළියන්ගේ හිඟයක් කියලා නෑ. මම ප්‍රසිද්ධ කෙනෙක් නොවී වුණත් චිත්‍රපටයක් කරනවා කියලා නළු නිළියන් ඉල්ලලා දැම්මාම එක චරිතයක් සඳහා පන්සියයකගෙන් පමණ ප්‍රතිචාර ලැබී තිබුණා. එයින් තමයි අපි පරීක්ෂණ තියලා ගත්තේ. එහි ප්‍රධාන නළු නිළියන් සියලු දෙනාම යූනියන් අය. ඒ වගේම සෙසු අයත් යුනියන් එකට බැඳෙන්න සුදුසුකම් ලත් වෘත්තීය නළු නිළියන්. මගේ කලින් චිත්‍රපටයකට ඒ එක්කෙනෙක් අනතුරක් වෙලා මගේ යාළුවෙක්ව දැම්මා. චිත්‍රපටය බලද්දි ඒ වෙනස තේරෙනවා. වෘත්තීය නළු නිළියන් සමඟ සාමාන්‍ය කෙනෙක් ගළපන්නම බෑ. ඒ පුහුණුව කොච්චරද කියනවා නම් අපි ටේක් සියයක් ගත්තත් යුනියන් ශිල්පියෙක් ඒ හැම වාරෙකම එකම විදිහට තමන්ගේ රංගනය, ඉංගිතයන් ලබා දෙනවා.

ඒ අය දර්ශන තලයට ගේන තිරපිටපත දැක්කාම අපට පුදුම හිතෙනවා. ඉරි ගහලා සටහන් දාලා අපි කියද්දි අපට වඩා ඒ අය දන්නවා අදාළ දර්ශනය ගැන. ඒ වගේම මම නිරන්තර උත්සාහ කරනවා සුදු අය විතරක් නැතිව සැම ජාතියක්ම මිශ්‍ර කරලා ගන්න. මොකද දැන් ඒ තත්ත්වය තරමක් වෙනස් වුණත් අපි හෝ ඉන්දියන් ජාතිකයකු නළුවෙක් වෙන්න ඕනෙ කීවොත් අපට දෙන්නෙ පෙට්‍රල් ගහන චරිත, ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක් නැත්නම් ටැක්සි රියැදුරෙකුගේ චරිතයක්. එහෙම පොඩි රාමුගත කරන ගතියක් තිබුණා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස් කරගන්න තමයි හැම වෙලේම අපි උත්සාහ ගන්නේ.

 

ඔබ ඔවුන්ට විදේශික, අඩු වයස්, අලුත් අධ්‍යක්ෂවරයෙක් ?

මීට පෙර අවස්ථාවක මම ස්ටන්ට් කෙනෙක්ව ගත්තාම එයා ඇමෙරිකානු චිත්‍රපට රාශියක වැඩ කරපු කෙනෙක්. මට ඇත්තෙන්ම පුදුමයි එයාට මම අණ දෙන එක ගැන. හරි නම් අපි එයාගෙන් ඉගෙන ගන්න ඕනෙ තරම් අත්දැකීම් තිබෙනවා. ඒත් වෘත්තීයමයභාවය කියන්නේ ඔවුන් කවදාවත් අධ්‍යක්ෂවරයා අලුත් ද තරුණද ඒ කිසි දෙයක් සලකන්නේ නෑ. ඔවුන් අතිශයින්ම අධ්‍යක්ෂවරයාට ගරු කරනවා. ඒ නළු නිළියන්ට කළමනාකරුවකු ඉන්නවා. ඔවුන් මගේ කලින් කළ වැඩ බලනවා. මාස ගණනක් මගේ චිත්‍රපටයකට මහන්සි වෙන එක තේරුමක් තිබෙනවාද කියලා බර තියලා තමයි කැමැති වන්නේ. ඒ අය එක්ක වැඩ කරද්දි හරි පහසුයි.

 

අනෙක් තාක්ෂණික කණ්ඩායම?

මේ චිත්‍රපට කණ්ඩායමට ලංකාවේ තිදෙනෙක් සම්බන්ධ වෙනවා. ලහිරු මධුශංඛ තමයි සංස්කරණය කළේ. ඔහු ලංකාවේ සිට එය කළේ. නෙට්ෆ්ලික්ස් ආදියේ බොහෝ සංස්කරණය කරන්නේ ඉන්දියාවේ අය. ඉතිරි ටික තමයි ඇමෙරිකාවේ කරන්නෙ. ඉතින් මට හිතාගන්න බෑ ඇයි අපට ඒ අවස්ථා ගන්න බැරි කියලා. අපේ රටේ බොහෝම දක්ෂ පිරිසක් ඉන්නේ. අපේ අය හොලිවුඩ් ආවොත් මෙහෙ අයත් පුදුම වෙයි. ඒ තරම් දක්ෂයින් ලංකාවේ ඉන්නවා. ඒත් මොකක් හරි හේතුවකට ඔවුන් යටපත් කරලා ති‌බෙන්නේ. ඒ නිසා අලුත් අයට හරියන්න හෝ වරදින්න අවස්ථාවක් දීලා බලන්නයි ඕනෙ. මෙහි විධායක නිෂ්පාදක ලාල් තිලකරත්න. අමතරව විදර්ශි වගආරච්චි කටයුතු කළා. ඔවුන් වෘත්තීය මට්ටමින් කටයුතු කරන නිසා අපට පහසු වුණා. අනෙක් සියලු දෙනා හොලිවුඩයේ අය.

හෙට මෙය ප්‍රදර්ශනය අරඹනවා?

ඔවු. ඔක්තෝබර් 15 සිට සතියක් දවසට දෙවර බැගින් ප්‍රදර්ශනය කෙරෙනවා. මුලින්ම පෙන්වන්නේ ලොස් ඇන්ජලිස්වල. දැනට සිකුරාදා සහ සෙනසුරාදා ප්‍රදර්ශන සඳහා ටිකට් පත් විකිණී අවසන්. ඒත් අපි තාම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් හෝ ගීතයක් නිකුත් නොකරයි ප්‍රවේශ පත්‍ර අලෙවි වුණේ. ඒකට බලපෑවේ ඒ නළු නිළියන් සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව ඉන්න ආකාරය ආදිය. 15 වැනිදා රතුපලස මතින් කැඳවන උත්සවයක් තිබෙනවා. එදාම පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරනවා. ලොස් ඇන්ජලිස්වලින් පසු නිව්යෝක් ආදි වශයෙන් නගරයෙන් නගරයට රෝඩ් ෂෝ එකක් වගේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ එන ප්‍රතිචාර සමඟ දර්ශන සංඛ්‍යාව තීරණය වෙයි.

 

ලංකාවේ අපිත් ආසයි එය නරඹන්න?

ඇත්තටම මට ලංකාවේ චිත්‍රපටයක් පෙන්වන්න හරි ආසයි. මොකද අවුරුදු දහයකට වැඩිය ඉඳලත් මට බැරි වුණා මගේ රටේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න. ඒ නිසා ශාලා විවෘත කළාම උත්සාහ කරලා බලනවා ෆ්‍රී බයි නූන් ලංකාවේ ප්‍රදර්ශනය කරන්න. මොකද අපි මෙහෙ ආයතනයට දීලා තිබෙන්නේ එක්සත් ජනපදය සඳහා අයිතිය පමණයි. අනෙක් රටවල ප්‍රදර්ශන අයිතිය අපට තිබෙනවා.

 

ලංකාවේදී චිත්‍රපටයක් කරන්න කැමැතිද?

හරිම ආසයි. මම කතාවක් ලියලත් තිබෙනවා. ඒක මගේ පෞද්ගලික අත්දැකීමකුත් පාදක කරගෙන ලීවේ. මම කරන හැම කතාවක්ම මට පෞද්ගලිකව සම්බන්ධයි. ලංකාවෙන් ඇමෙරිකාවට යන තරුණයෙකුගේ කතාවක් එය. ඒත් මේ සඳහා නිෂ්පාදකයකු සොයන්න ගියාම හැමෝම කියන්නේ ඒ චරිතයට ඉන්දියානු කෙනෙක් යොදවන්න කියලා. මොකද අලෙවිය ගැනයි ඒ අය හිතන්නේ. ඒත් මම කැමැති නැහැ ඒකට. මොකද මේ කතාවේ හදවත තිබෙන්නේ ලංකාවේ. ඒ කතාවේ නම නොට් සෝ ඇමෙරිකන් ඩ්‍රීම්. (Not so American dream)  ඇත්තෙන්ම ඉන්දියානු නළුවෙකු මෙයට යොදලා හින්දි බසින් කළ ගමන් කොයි තරම් වෙනස් වෙනවාද මේ කතාව? අනෙක ඉන්දියානුවන්ගේ කතාව සෑහෙන තැන්වල කියැවෙනවා. ඒත් අපේ කතාව එහෙම වැඩිය කියැවෙන්නෙ නෑ. පළමු පරම්පරාවට වඩා අපේ දෙවැනි පරම්පරාව ඇමෙරිකාවේ ඉහළම තැන්වල ඉන්නවා. ඒ අයත් ඉන්දියානු කියලයි නම් කෙරෙන්නෙ. ඒත් ඇත්ත ඒක නෙවෙයි.

ෆ්‍රී බයි නූන් ප්‍රදර්ශනය ආරම්භ වුණාට පස්සේ ඊළඟට මේ කතාව තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් නළුවරණයේදී අපට ඇමෙරිකාවේ පන්සියයක් දෙනා අතරින් තෝරනකොට ලංකාවේ දහදෙනෙක්වත් ඉඳීයිද දන්නේ නෑ තෝරා ගැනීම් කරන්න. ඊට පස්සේ ඒ අය මෙහෙ පිරිසත් එක්කත් වැඩ කරන්න වෙනවානෙ. ඒවාත් බලන්න ඕනෙ. අනෙක මට හිතෙන විදිහට ලංකාවේ තිබෙන ලොකුම දේ අපේ අය බොරු කියලා අමාරුවේ දාන එක. ලංකාවේ තිරපිටපතක් දෙන්න බයයි. නිර්මාණාත්මක අදහසක් කියන්න බයයි. ඇමෙරිකාවේ නම් තිරපිටපත්කරුවන්ගේ අයිතීන් රකින්න සංසදයක් තිබෙනවා. ලංකාවේ එහෙම සංවිධිත මට්ටමක් නෑ. ඇමෙරිකාවට ඇවිත් ලංකාවේ චිත්‍රපටයක් හදලා නම ගෙනියනවා කියන එක වෙනම සටනක්. ඒත් ලංකාව තුළ ඉඳගෙන ලෝකයට චිත්‍රපට හදනවා කියන්නේ තවත් අරගලයක්. මම දන්න සමහර අය ලංකාව තුළ ඉඳන් දෘශ්‍ය ප්‍රයෝග හදනවා, රූප රචනා කරනවා. ඒ අයට පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕනෙ තව තව ඒවා දියුණු කරගන්න. කොහොම වුණත් ලබන වසරේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ලක්පතිට 'චිත්‍රපට' පිළිබඳව ද වෙනම අර්ථකථනයක් තිබේ...

චිත්‍රපට තැනීම කියන්නේ මට අනුව පිස්සුවක්. මට ටික කාලයක් චිත්‍රපටයක් හදන්නේ නැතුව ඉන්නකොට හරි අමාරුයි වගේ. කතාවක් ලැබුණාම මට එය කියාගන්න තියෙන එකම මාධ්‍යය සිනමාව. කොරෝනා කාලෙ ශාලා වැහුණා කීවත් මේ වෙද්දි සිකුරාදා දවසක චිත්‍රපටයක් බලන්න ශාලාවකට ගියොත් එය අනිවාර්යයෙන් පිරෙනවා. ගිය සිකුරාදා මම 'වෙනම්' කියන චිත්‍රපටය බලන්න උත්සාහ කළා ටිකට්පත් ගන්න නෑ. අන්තර්ජාලය ඔස්සේ ඔවුන් හොඳට ටිකට්පත් අලෙවිය, චිත්‍රපට ප්‍රචාරය කරනවා. ඒ නිසා සිනමාව මැරිලා කීවට එහෙම නෑ, රෝගී වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අපි බෙහෙතක් කරලා ගොඩ ගන්නයි ඕනෙ.

අන්තර්ජාලය ඔස්සේ බලන චිත්‍රපට සිනමාවම නොවුණත් ඒවාත් මේ සංස්කෘතියේ සෑහෙන ප්‍රචාරය වෙලා තිබෙනවා. ඒත් මිනිසුන්ට මේ ගෙවන ජීවිතයෙන් ඈත් වෙලා ෆැන්ටසියකට ගිහින් එන්න අවස්ථාව ලබා දෙන්න ඕනෙ. මනුෂ්‍යයන් විදිහට අපි කැමැතියි පැය බාගයකට හරි අපේ ප්‍රශ්න අමතක කරලා වෙන කාගේ හෝ ප්‍රශ්න ටිකක් බලලා විනෝද වෙන්න.

අනෙක කොච්චර මොන දේ වුණත් කට්ටියක් එක්ක සෙට් එකක ඉඳගෙන චිත්‍රපටයක් හදනවා කියන්නේ මාර අත්දැකීමක්. මම චිත්‍රපට හදන්නේ මුලින්ම මට බලන්න පුළුවන් වෙන්න. කලාත්මක සිනමාව නරක නැහැ ඒක තිබෙන්න ඕනෙ. ඒත් වාණිජ සිනමාව නැති වුණොත් කර්මාන්තය පවතින්නේ නෑ.

 

ඔබට මේ මොහොතේ බොහෝ දෙනෙක් සිහි වෙනවා ඇති?

මුලින්ම අම්මා ජයසීලි විජේසේකර, තාත්තා රත්නසිරි විජේසේකර සහ අය්යා නොවිල් විජේසේකර ස්තූති පූර්වකව මතක් කරන්න ඕනෙ. ඒ වගේම උදවු කළ හැමෝටම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.

 

ඔහුට අනාගත බලාපොරොත්තු රැසක් ඇතුවාට සැක නැත...

මගේ නිර්මාණ බැලූ ඇමෙරිකානු ප්‍රවීණයන් කියන්නෙම රූපවාහිනී මාලා නාටකවලට යොමු වෙන්න කියලා. මම තවම හිතුවේ නෑ. අපි බලමු ඉදිරියට. ලංකාවට ඇවිත් නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

 

හෙට දිනයේ සැබෑ වන සිහිනය වෙනුවෙන් සිනමා අධ්‍යක්ෂ ලක්පති විජේසේකරට සරසවියේ සුබ පැතුම් එක් කරන අතර ඔහු කී දෙයකින්ම සටහන නිම කරමි.

"සිනමාව මායාවක් තමයි ඒ වුණත් ඒ තුළ තමන්ට තමන් අවංක නොවුණොත් එය ෆැන්ටසියක්ම පමණක් වෙනවා."

 

 

විශේෂ ස්තූතිය

ෂෙවොන් ජෝන්