මම, පියා නළුවෙක් වුණා කියලා රඟපාන නළු පුතෙක් නෙමෙයි

රංගනවේදී චින්තක වාස්
නොවැම්බර් 16, 2023

දශක පහකට වැඩි කලක් සිංහල සිනමාවේ චිත්‍රපට වල රඟ පෑ කුසලතා පිරී චරිතාංග නළුවකු වූ අන්දරවාස් පටබැඳිගේ වින්සන්ට් හෙවත් වින්සන්ට් වාස් සිංහල සිනමාව රසවිඳි එකල චිත්‍රපට ලෝලීන්ට නම් කිසිදාක අමතක නොවන චරිතයකි. සන්දේශය චිත්‍රපටයේ කත්කාරයා සිහියට නගන ඕනෙම කෙනෙකුට වින්සන්ට් වාස්ගේ භාව පුර්ණ රංගනයේ එක් උදාහණයක් මතකයට නැගෙනු නොඅනුමානය. භාව පුර්ණරංගනයේ අති උච්ච අවස්ථා මැනවින් රංගනය උදෙසා කැප කළ මේ රංගවේදියාගේ පුතා චින්තක වාස් ද මේ වන විට තම පියාණන්ට නොදෙවැනි ගමනක් යන ප්‍රතිහාපුර්ණ කලාකාරයකු වී හමාරය. 2003 වසරේ හා පුරා කියා රංගනයේ දොරගුළු විවර කරගන්නා චින්තක වාස් සිය පියාගේ අඩි පාරේ පියමන් කරමින් කලාකෙතේ අස්වනු නෙළා ගත්තේ ද ප්‍රේක්ෂක මතකයේ නිමග්න වෙමිනි. අද වන විට වසර විස්සක් පුරා තම රංග වපසරියෙන් සිනමාව, පුංචි තිරය තම ග්‍රහණයට නතු කරගෙන ඇති චින්තක වාස් මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ අනිච්චා වත සංඛාරා ටෙලි නාට්‍යයේ මිනී පෙට්ටි සාප්පුවක හිමිකාරයෙක් වූ සුසන්තය. සිනමාව තුළ වුවද ඔහු මේ වන විට නිරූපණය කර ඇති චරිත ප්‍රමාණය ඉතා කුඩා වුවද ඒ සියලු චරිතයන් පේ‍්‍රක්ෂක කතාබහට ලක් වූ උසස් ගණයේ චරිත නිරූපණයන් වීම සැබැවින්ම ආඩම්බරයකට කරුණකි. මේ දිනවල මිනී පෙට්ටි මල්ශාලා හිමියෙක් ලෙස දහසකුත් ප්‍රශ්න කරදර හමුවේ සිත් වේදනා විදිමින් තම ව්‍යාපාරය කරගෙන යන සුසන්ත ගැන කතා කරන්න පුංචි තිරයේ නිර්මාණයට සුසන්ත වෙමින් සාමාන්‍ය ජිවිතයේ චින්තක වාස් ලෙස ජීවත් වන මේ නිහතමානී කලාකරුවා හා අපි කතාබස් කරමු.

 

මේ දවස්වල චින්තක වාස් මල්ශාලා හිමිකරුවෙක්? කොහොමද සුසන්ත කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් හොඳයි. ලැබෙන ඉහළ ප්‍රතිචාර වගේම මමත් චරිතය තුළ ප්‍රශ්න ගොඩක. එහෙන් ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මල් ශාලාවේ ප්‍රශ්න, දේශපාලන, අත පෙවීම් නිසා ඇතිවෙලා තියන ප්‍රශ්න, කොටින්ම කිව්වොත් මැරිච්ච මිනියට ඇඳුම් අන්දවල ඒ මියගිය කෙනාට ගෞරවයෙන් මිහිදන් වෙන්න වටපිටාව හදන මටත් මේ කුරීරු සමාජය කරන්නෙම අකටයුතුකම් තමා.

ටෙලි නිර්මාණ අතුරින් මල් ශාලා හිමිකරුවෙක් ගේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වන්නත් ලැබීම එක්තරා අන්දමක අභියෝගයක් නොවේද?

ජාතික රූපවාහිනියේ සෑම සති අන්තයකම රාත්‍රී 8.30ට විකාශය වන අනිච්චා වත සංඛාරා ටෙලි නාට්‍ය කොටස් පනහක ටෙලි නාට්‍යයක්. මේ වන විට කොටස් තිහකට එහා ගිිහින් විකාශය වෙලා තියෙනවා. යුටියුබ් වල නම් සුසන්ත පට්ට කියලා ප්‍රතිචාර නම් ලැබෙනවා. මට මෙහිදි මගේ බිරියට රඟපාන උමයංගනා වික්‍රමසිංහගෙන් මේ චරිතය ගොඩනගන්න ලොකු සහයක් ලැබුණා. විශේෂයෙන් කියන්න ඕනේ මෙහි අධ්‍යක්ෂ සුරංග ලක්මාල් මේ චරිතය සඳහා මට යෝජනාව ගෙන එන්නේ දුරකථන ඇමතුමකින්. ඔහු කතාව කියන කොට මම සුරංගගෙන් ඉල්ලා හිටියේ මට මේ චරිතය හා යන මගේ බිරියගේ කැරැක්ටර් එකට හොඳ දක්ෂ නිළියක්. ඔහු ඒ පාර කිව්වා උමයංගනා තෝරාගෙන ඉන්නවා කියලා. මිනී පෙට්ටි සාප්පු අයිතිකරුට පැන නගින ප්‍රශ්න ටික මට සුරංග කිව්වා. ළමයි දෙන්නාගේ අකමැත්ත විශේෂයෙන් තාත්තා මිනී පෙට්ටි සාප්පුවක් කරන එක ගැන. ළමයි දෙන්නා පොඩි කාලේ හර්ස් එකේ ගියා ආවා. දැන් ලොකුවෙන කොට කැමති නෑ. ඒකේ යන්න බිරියට එන ප්‍රශ්න, බිරිය මට දාන ප්‍රශ්න, සමාජයෙන් එන ප්‍රශ්න, තමන්ගේ මළගම කරගන්න උදවු උපකාර ඉල්ලන මිනිස්සුන්ගේ ප්‍රශ්න, මේ වටපිටාව තුළ සුසන්තට කොතරම් ප්‍රශ්න තිබුණත් සුසන්ත ඒ අයට පිහිට වන විධිය, දේශපාලකයෝ ඡන්ද කාලෙට ගේන අවමංගල පැකේජ් එයින් යටිමඩි ගහන්න හදන හැටි, මේ වගේ කරුණු කාරණා ගණනාවක් ඔස්සේ විහිදුවාලන්න තියන චරිතයක් මේ සුසන්ත තුළ තියනවා. මම හිතනවා අධ්‍යක්ෂ හැටියට සුරංග අපේක්ෂා කළ දේ මම පේ‍්‍රක්ෂකයන්ට නොවඩුව දීලා ඇති කියලා ලැබෙන ප්‍රතිචාර අනුව.

අනිච්චා වත සංඛාරා පිටපත් රචනය වගේම අධ්‍යක්ෂණයත් එකම පුද්ගලයාගේ? එය නිර්මාණකරණයේදී ගැටලුවක් බව හැඟුණේ නැද්ද?

නෑ. සුරංග පිටපතේ ලියන ඔහු අපේක්ෂා කරන දේ ඩිරෙක්ෂන් තුළින් අපෙන් ගත්තා. සාමාන්‍යයෙන් රචකයා එක් කෙනෙක්. ඩිරේක්ටර් තව කෙනෙක්. මෙහිදී ගැටලුවක් පැන නොනගින්න සුරංග හැමවෙලාවෙම වගබලා ගැනීම සතුටට කරුණක්. පිටපත් රචකයා වගේම අධ්‍යක්ෂවරයා එක්කෙනෙක්වීම නිර්මාණයේ සාර්ථකත්වයට එක හේතුවක්.

ස්ක්‍රිප්ට් එකත් පරිශිලනය නොකර ටෙලි ෆොන් එකෙන් පවසන දේ මත චරිත භාරගන්න නළුවෙක් ද චින්තක වාස් කියන්නේ?

සුරංග ලක්මාල් මීට කලින් කරපු ඩ්‍රාමා මම බලලා තිබුණා. ඔහුගේ නිර්මාණ මම කලින් රසවිදල තිබුණා. ඒ නිසා ඔහු ගැන මගේ හිත තුළ විශ්වාසයක් තිබුණා. කොළඹ අපි ආවා, කකුළුවෝ සහ මකුළුවෝ ආදී ඔහුගේ නිර්මාණ බලල මා තුළ ඔහු ගැන දළවැටහීමක් තිබුණා. ඒ වැටහීම මත මම නිර්මාණය භාරගත්තා. නමුත් මම ස්ක්‍රිප්ට් එක නැතුව නිර්මාණ ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා. එක්තරා සහය අධ්‍යක්ෂවරයෙක් මට නිර්මාණයකට ආරාධනා කළා මම ස්ක්‍රිප්ට් එක ඉල්ලුවා එත් ඔහු කියනවා පිටු 592ක ස්ක්‍රිප්ට් එක මගේ වට්ස්ඇප් එකට දාන්නම්ලු පී.ඩී.එෆ්. එකක් ලෙස කියලා. ඉතිං මම ඇහුවා හැරෙන තැපෑලෙන් හේමසිරිලියනගේ රංගවේදියාට රඟපාන්න කතා කළොත් ඔහුටත් මේ විධියට පී.ඩී.එෆ් එක දානවාද කියලා. මම දන්න තරමින් එතුමාට ඔය නවීන ගැජට් තියන ෆෝන් එකක් නෑ. හලෝ කියනවා ඇරෙන්න ඔන්න අද ටෙලි නාට්‍ය කලාව ගිහින් තියන තැන.

ස්ක්‍රිප්ට් එකක් මුද්‍රාණය කිරීම අද නිෂ්පාදකට ගැටලුවක් ද?

එහෙම තමයි කියන්නේ. ස්ක්‍රිප්ට් එකක් මුද්‍රාණය කරන්න. රුපියල් හයදාහක් හත්දාහක් යනවලු. ඉතිං බජට් අඩුවෙන් කරන්න ඕනෙලු එහෙමයි කියන්නේ. පී.ඩී.එෆ්. තිරරචනයක් බලල ඇගට ගන්න දේයි ස්ක්‍රිප්ට් එකක් ලෙස පොතක් බලල ගන්න දේයි අතර රංගනයේ දී අහසට පොළොව වගේ.

ස්ක්‍රිප්ට් එකක් නැතුව විශ්වාසය මත ඔබ රංගනයේ නියුතුව අනිච්චා වත සංඛාරා නිර්මාණයේ ඔබේ රංගනය ගැන ඔබ තෘප්තිමත් ද?

සියයට සීයක් නෑ. මුල් ෂෙඩුල් එකේ තිබුණ ගැම්ම අන්තිම ෂෙඩුල් එකේ නෑ. සීන් එකේ තියන ගැඹුර අපිට රඟපාන රංගන ශිල්පින් වශයෙන් දැනුණේ නෑ. ඔහු ගැන මම වැඩේ පටන් ගන්නකොට තිබ්බ විශ්වාසය වැඩේ යන අතරේ ඩිරෙක්ෂන් වලදී සුරංග තිබ්බෙත් නෑ.

ප්‍රොෆෙෂනල් නළුවෙක් වන්න උත්සාහයක නිරතවන පුද්ගලයෙක් වශයෙන් මේ ආකාරයට පිටපතක් නැති ගමනක අවසානය කෙබඳු වෙයි ද?

මේක අද කාටත් තියන ගැටලුවක්. මම ප්‍රොෆෙෂනල් වෙන්න හදන නළුවෙක් කියල කියන දේ මම භාරගන්නේ නෑ. මම අදටත් ප්‍රොෆෙෂනල් නළුවෙක්. ඇක්ටින් කෑපෑසිටි එක ඇතුළේ සියයට සීයක් ප්‍රොෆෙෂනල් කියන එක නෙමේ මම මෙහිදි අදහස් කළේ. කෘතියට සියයට සීයක් ඇතුල්වෙලා එයට සාධාරණීයකරණයක් කිරීම මත ඉඳලයි මම මේ දේ කියන්නේ. අද සමහර නළු නිළියෝ වැඩේ ඇතුළේ ප්‍රශ්නයක් ආවහම ඒක දමල ගහලා යනවා. ඒක ප්‍රොෆෙෂනල්කම නොවේ. නමුත් අන්න ඒ කාරණයත් එක්කත් මම ප්‍රොෆෙෂනල්. එහෙම දාල යන නළුවෙක් නොවෙයි මම.

අත්දැකීම් මත නේද ප්‍රොපෙෂනල් නළුවෙක් වෙන්න පුළුවන්?

ඒක මම නැහැයි කියන්නේ නෑ. දැන් බලන්න අද ටෙලි නාට්‍යයක් රූපගත කරනකොට සීන් එක ඉවර වුණ ගමන් අනික් සීන් එක ගනිමු කියනවා. අපි නළුවෝ හැටියට දන්නෑ ඊළඟ සීන් එක මොකක්ද කියලවත්. සීන් එකේ ඊළඟ දෙබස් ටික ෆෝන් එකේ වට්ස්ඇප් එකට ඇවිත්. ඒ ආපු පිටපත පි‍්‍රන්ට් එකක් ගන්නේ ළඟ තියන කොමිනිකේෂන් එකෙන්. ඉතිං කොහොමද චරිතෙ ගැන අවබෝධයක් නැතුව රඟපාන්නේ. පිටපතක් නැතුව තිබ්බා ගැහුවා ටෙලි නාට්‍ය හැදෙන වකවානුවක මෙහෙම හරි අපි චරිතයක් රඟපාන එක ප්‍රොෆෙෂනල් නොවෙයි ද? චරිතෙ රඟපාන කෙනා හැටියට මට චරිතය ගොඩනගා ගන්න තියන වපසරිය හඳුනාගන්නවත් බැරුව මම රඟපාන දේට අධ්‍යක්ෂවරයෙක් කැමැති නම්, පේ‍්‍රක්ෂකයොත් කැමැති නම් ඒ සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉහළින් ලැබෙනවා නම් කවුරුත් ඒ චරිතය විග්‍රහ කරනවා නම් වර්ණා කරනවා නම් ඉතිං ප්‍රශ්නයක් නෑනේ මම වැඩේ කරල තියනවානේ හරියට. ඇක්ෂන් කියන්න විනාඩි දහයකට ඉස්සෙල්ලා මට දෙබස් ටික ලැබිල මම ඒ තරම් දෙයක් කළා නම් මම ඇත්තෙන්ම ප්‍රොපෙෂනල්.

කලින් තිරපිටපත ලැබිල මේ චරිතය කරන්න තිබුණා නම් ඇත්තෙන්ම මම වැඩ්ඩෙක් කියල හිතෙන්නේ නැද්ද?

මම හිතන විධිය, අධ්‍යයනය කරන විධිය, පිටපත තුළ චරිතය අනික් චරිත සමග ගොඩනඟන ආකාරය ගැන මට කලින් අධ්‍යයනයක් කරන්න තිබුණා නම් මම කොච්චර ප්‍රොෆෙෂනල් ද, සමහරු මේන් ඇක්ටර්ට ඇක්ට්‍රස්ට විතරයි පිටපත දෙන්නේ. සුළු චරිත කරන අයට දෙන්නේ නෑ. නමුත් සමහරු එහෙම නෑ. සුළු චරිත කරන කෙනාටත් ඒක දෙනවා.

ටෙලි නිර්මාණකරණයේදී අද නළු නිළියන්ට විදින්න තියන දුක් ගැහැට බොහොමයි කියන්නේ ඇත්තද?

ඔව්. කන්න දෙන කෑම එකේ ඉඳල ඒ ප්‍රශ්නය තියනවා. සමහරවිට තව ඉදිරියේදී අධ්‍යක්ෂකට ගෙදරින් බත් පැකට් එක ගෙනත් දීලා නිර්මාණය කරගන්න තත්ත්වයක් උදාවෙයි. අද සමහර නළු නිළියෝ ගෙදරින් බත්පත ගෙනත් කන අවස්ථා තියනවා. සෙට් එකේ දෙන කෑම කන්න බෑ කියලා. නිෂ්පාදනය පැත්තෙන් කියන්නේ චැනල් හරියට ගෙවන්නේ නෑ. බජට් එක අඩු කරගන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න කවුද හරි කවුද වැරදි කියන්න මම දන්නේ නෑ. ඔය වගේ තුට්ටු දෙකේ වැඩ වෙන තත්ත්වයට අද මේ කර්මාන්තය පත්වෙලා. හැබැයි ඔය අතරේ කලාතුරකින් එක් කෙනෙක් හරි ඉන්නවා. නළු නිළියන්ගේ ඉඳලා සියලු කාර්මික ශිල්පීන්ට ඉහළින්ම කන්න ටික දීලා තෘප්තිමත් කරන පිංඇත්තොත් ඒකත් කියන්නම ඕනේ.

මේ විධියට මේ ටෙලි නාට්‍ය කර්මාන්තය ඉදිරියට රැකිලා තියෙයිද?

හෙට අනිද්දට මෙහෙම කියයි. අයියේ හෙට රඟපාන්න තියන සීන් එක මම ඔන්න ඔයාගේ ස්මාට් ෆෝන් එකට වට් ඇප් කළා. ඔයා ඒක පුළුවන් විධියට ෂූට් කරල එවනවද . මම මේක මට පුළුවන් හැටියට එඩිට් කරගන්නම්. මියුසික් දාලා කලර් ග්‍රේට් කරල මම ඒක හදාගන්නම් කියලා. ඔය වගේ දේකුත් වෙන්න බැරි නෑ. අඩු බජට් එකෙන් වැඩි ලාබ ලබල වැඩේ කරගන්න තමයි හැම කෙනාම බලන්නේ. චැනල් වලින් දැන්වීම්වලින් යහමින් හම්බ කරනවා. යුටියුබ් වලින් හම්බ කරනවා. නමුත් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂකවරුන්ට ගෙවන්නේ බල්ලෝ බලල්ලු ගණනට අද කැමරාවක් හයර් කළොත් ගාණ කීයද මේකප් බඩු ගණන් අහස උසට. ඉතිං කොහොමද වැඩක් හරියට කරන්නේ. නළු නිළියෙක් ඩේපේමන්ට් එකට හරි නිර්මාණයට බජට් එකක් දුන්නොත් ඒක වැඩියි කියලා. නිර්මාණයට අඩු ගාණට නාම මාත්‍රිකයෙක් අරගන්නවා. ඉතිං මේ වගේ තුට්ටු දෙකේ වැඩ හින්ද කර්මාන්තය රැකිල තියෙයිද?

වාස් කියන විධියට සෝචනීය ඉරණම්ගමනක් යන ටෙලි නාට්‍ය කලාව ඉදිරියටත් ප්‍රේක්ෂකයෝ වැලඳ ගනියිද?

ප්‍රේක්ෂකයෝ දන්නේ නෑනේ අපි කන කට්ට ඔවුන් දකින්නේ අපි කරන වැඩේ අවුට් පුට් එක විතරයි. පේ‍්‍රක්ෂකයා කරන්නේ ඒක නරඹන එක විතරයි. අපේ දුක වේදනාව ඔවුන්ට පෙන්නේ නෑ. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයෝ, චැනල් දැනගන්න ඕනේ. නළු නිළියන්ට උපරීම පහසුකම් සපයන්න. එදා බඹරු ඇවිත් වගේ චිත්‍රපටයක් කළේ අඩුපහසුකම් යටතේ එක ටීම් එකක් ලෙස එදා දවසට සීන් එකක් දෙකක් අරන් ඒත් අද දවසට සීන් විස්ස විසිතුන ගන්නවා. එක සීන් එකක් ඉවර වෙන්න බෑ. ෂර්ට් එකෙන් අදිනවා අනික ගමු කියලා කාල කළමනාකරණය කියල බජට් ඉතිරිකරගන්න තිබ්බා ගැහුවා කරනවා.

මෙවැනි දුෂ්කර වටපිටාවක ගමනක් යන වාස් තෘප්තිමත්ව කළ රංගනයන් නිර්මාණයන් මොනවද?

මට ලොකු දෙයක් කරන්න තිබුණේ නෑ. ඝරසර්ප චිත්‍රපටයේ. නමුත් ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපටය කරන්න ඉස්සෙල්ලා හමුවන හැම අවස්ථාවකදීම කියනවා මල්ලි මගේ චිත්‍රපටයේ චරිතයක් තියනවා කියලා. නමුත් චරිතේ කියන්නේ නෑ. මම දවසක් ඇහුවා අයියේ තේ අල්ලන්න ද තියෙන්නේ කියලත්. මට පස්සෙයි තේරුණේ මේ චිත්‍රපයේ ඉන්නවා යක්ෂා වේෂ වූ පිරිසක්. ඒ පිරිසට යකා උපරීම ආරුඪවන, අවම ආරුඪවන වගේම සාමාන්‍ය ජිවිතය ගත කරන වගේ විවිධ තැන් කීපයක් නිරූපණය කරන්න තිබුණා. මම ඒක දෙබස් නැතුව කළා. යකා ආරුඪ වන චරිතය බොහොම ආශාවෙන් කළා. චරිතෙ දිග පළල මට වැඩක් නෑ. බොහොම කැමැත්තෙන් රඟපෑවා. ඇඩ්ඩ්‍රස් නෑ. චිත්‍රපටයේ මම කළ ටියුබ් ලයිට් කා ජීවත් වෙන්න සල්ලි හොයන පුද්ගලයා, අබා චිත්‍රපටයේ බුම්භක භූතාට පෙම් කරන චරිතය, දඩඉම චිත්‍රපටයේ තැරැව්කාරයා.

චින්තක වාස්ට බොහෝ සිනමා නිර්මාණවලදී ලැබුණු චරිත සුළු චරිතයක් වුණත් ඒ දේ තුළ ඔබ සෑබෑ ජීවයක් ලැබුවා?

ඔව්. මම තවම සිනමාවේ ප්‍රධාන චරිත වලට සුදුසු නැතුව ඇති. නමුත් මට ලැබුණු පුංචි චරිතය මාව ප්‍රධාන චරිතයක් බවට හැම චිත්‍රපටයකම පත්කළා. ඒකයි විශේෂත්වය.

එවැනි සුළු චරිත රංගනයේ නියැළී ඔබව මෙරට ප්‍රවීණ රංගවේදීන්ගේ පැසසුමට පවා ලක්වුණා නොවේද?

මට පෞද්ගලිකව රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා කියල තියනවා. වාස් පුතා උඹට ලැබුණු පොඩි පොඩි චරිත ටික උඹ හොඳට කරල තියනවා. වාවු.... එක්සලන්ට් කියල. ඒ වචන ටිකම ඇති. මට මහමෙරක් වගේ සම්මාන දහසකින් ගන්න බැරි දෙයක්. ඒ වචන කීපය තුළ තිබුණා. ශ්‍රීනාත් මද්දුමගේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා කතා කරලා කිව්වා වාස් ඝරසර්ප චිත්‍රපටයේ උඹේ ඇක්ටින් තමයි මරේ මරු කියලා.

ඔබේ රංගනය විහිදී ගිය වපසරියට හැරවුමක් එක්කරලන්නත් ඔබට නිර්මාණ ලැබෙනවා?

මම බොහෝවිට සීමා වුණේ උඩුකය නිරාවරණය වූ කර්කෂ දිවිපෙවතක් ගෙවන චරිත සඳහා ඒ කොටුවීමෙන් මාව මුදවගන්නේ රනිල් කුලසිංහ ඔහු තම නිර්මාණය වූ 1990 තුළ මට ලබාදෙන්නේ ටයිකෝට් ඇදපු සුපිරි පැලැන්තියේ චරිතයක්. එහි මා ඉදිරිපත් කළ සනත්ගේ චරිතයටත් මම ගොඩක් කැමැතියි.

චින්තක වාස්ගේ ස්වරූපය සැබැවින්ම කර්කෂ ජිවිතයක දිවිගෙවන චරිත සඳහා හොඳ වස්තුවක් කිව්වොත්?

මම එක්තරා ප්‍රමාණයකට ඒකට එකඟයි. මගේ බාහිර පෙනුමත් බොහෝවිට එවැනි චරිත වලට මාව හොඳින් ගැළපෙනවා. සමහරවිට මේකප් ආටිස්ලා මට කියලත් තියනවා. ආයෙ අමුතුවෙන් වෙස්ගන්වන්න දෙයක් ඇත්තෙම නෑ කියලත්. ඒ වගේ වචන හරඹ තුළ ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය ඔළුවේ දාගෙන මම පොරක් කියන තැන මම නෑ. මමත් තාම ඉගෙන ගන්නවා. හැබැයි මට සමහරු කියලත් තියනවා චින්තක වාස් උඹ ඉන්න තිබුණේ ලංකාවේ නොවෙයි ඉන්දියාවේ කියලා. මගේ හිතේ පොඩි පසු තැවීමකුත් තියනවා. අනේ අපෙන් වැඩක් ගත්තේ නෑ කියලා.

චින්තක වාස් කියන කලා ශිල්පියා රංගන ක්ෂේත්‍රයට කැන්දන් එන්නෙත් මෙරට සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී?

මගේ කලා ජීවිතයේ එඩ්වඩ් ජයකොඩි ගුරුපියාණන් වගේම ගුරුමෑණියන් චරිතා පි‍්‍රයදර්ශනී යුවළ. ඒ දේපළ තමයි මාව සංගීතය පැත්තෙන් මේ කලා ක්ෂේත්‍රයට රැගෙන එන්නේ. මාව මේ ලෝකෙට ජාතක කරපු කෙනා තමයි වින්සන්ට් වාස් වගේම තමයි මගේ රංගනයේ පියා තමයි ජැක්සන් ඇන්තනී. ජැක්සන් ඇන්තනී මගේ රංගනයේ පියා වෙන්න මට මහඟු දායාදයක් වන්නේ එඩ්වඩ් චරිතා යුවල.

ඔබට රංගනයේ ඇසූ පිරූතැන් සොයා යන්න ගෙදර පරිසරය කොයි වගේ වටපිටාවක් ද සකසා දෙන්නේ?

මගේ ලොකු පුතා ගී නෝද් ‘ජෝසප් වාස්, පොඩි පුතා මිනෝද් රෆායල් වාස්, මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ 11 වසරේ සහ 9 වසරේ ඉගෙනුම ලබනවා. දුව විඳලි මරියේටා වාස් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබනවා. දරුවෝ කාටවත් තාත්තාගේ රඟපෑම් ගැටලුවක් වෙලා නෑ. එයාලට මාව ආදරණීය තාත්තා කෙනෙක් මිසක් නළුවෙක් නොවෙයි. මමත් පණමෙන් රකින මගේ දරුවෝ තුන්දෙනා කවදා හෝ මාවත් පණමෙන් රැකබලා ගනියි. දරුවෙකුට වුණත් මම රඟ පෑ දෙයක් ගැන දැනගන්න ලැබුණොත් ඒ ගුරුවරයෙක් කියලා හරි නැත්තම් තමන්ගේ යාළුවෙක් කියල හරි මිසක් දරුවෝ කවදාවත් මගේ රඟපෑම් ගැන කතා කරලත් නෑ.

 

 

සේයාරූ - මාලන් කරුණාරත්න

[email protected]