සරල වින්දනයෙන් ප්‍රේක්ෂකයා සුවපත් කරන්නයි මට ඕනෑ වුණේ

ප්‍රකට නාට්‍යවේදී, මාධ්‍ය ‍ෙව්දී සුගත් ශාන්ත මොරගහකුඹුර
නොවැම්බර් 9, 2023

ලේඛකයකු, මාධ්‍යවේදියකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කරන සුගත් ශාන්ත මොරගහකුඹුරගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘අරුන්දතී මං මනමාලයි’ ඉකුත්දා වේදිකාගත කෙරිණි.ඔහුගේ නිර්මාණ භාවිතයත් ලේඛන දිවියත් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ සම්මුඛ විය.

 

"අරුන්දතී මං මනමාලයි" . මොකද්ද මේ ඔබ කියන මනමාලකම...?

"අරුන්දතී මං මනමාලයි" කියන්නේ මගේ 06 වැනි වේදිකා නාට්‍ය නිර්මාණයයි.මම කලින් නිර්මාණවල කතා කළේ දේශපාලනික වශයෙන් මගේ සිතේ තිබුණු දේවල් පිළිබඳවයි. නමුත් අද වෙද්දී දේශපාලනය කියන දේ මිනිස්සුන්ට එපාවෙලයි තියෙන්නේ. පුද්ගලාන්තරව අප්‍රසන්න විෂයයක් බවට අද දේශපාලනය පත්වෙලා. අපි නිර්මාණයකට වර්තමානයේ යමක් හසුකරගත්තොත් අද තියෙන දේශපාලන තත්ත්වයයි හසුකර ගන්නේ. ඒක මගේ පෞද්ගලික අදහසයි. තව කෙනෙකුට වෙනත් අදහසක් තියෙන්න පුළුවන්. මම මේ වෙලාවේ හිතුවා මහා ලොකු මාතෘකාවක් අරන් අපි ප්‍රබුද්ධයි කියලා ලොකුවට පෙන්වන්න නිර්මාණ කරනවාට වඩා ප්‍රේක්ෂකයාට අද තිබෙන මානසික පීඩනයෙන් මිදෙන්න සරල කතාවක් අරගෙන යම් වින්දනයක් දෙන්න.එහෙම සරල වින්දනයක් ලබාදෙමින් ප්‍රේක්ෂකයාගේ මනස සුවපත් කරන්න කළ නිර්මාණයක් තමයි "අරුන්දතී මං මනමාලයි" කියන්නේ.

මේ සරල වින්දනාත්මක නිර්මාණය කොහොමද ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගත්තේ.....?

"අරුන්දතී මං මනමාලයි" මංගල දර්ශනයේදී ප්‍රේක්ෂකයන්ගෙන් පිරුණු ප්‍රේක්ෂකාගාරයක් මගේ නළු නිළි කණ්ඩායමට ලබාදෙන්න මට පුළුවන් වුණා. බහුතරයක් දෙනා මංගල දර්ශනය නරඹා මට පැසසුම් කළා. නිර්මාණය අගය කළා. සමහරු විශේෂයෙන් මේ ක්ෂේත්‍රයේම ඉන්න කිහිපදෙනෙක් මගෙන් ප්‍රශ්න කළා "ඔයාගෙන් මීට වඩා වැඩියමක් බලාපොරොත්තු වුණා" කියලා. හැබැයි මේක බලලා අපි හිනාවෙන්නේ අපිටමයි..අපේ ගෙදර ප්‍රශ්න නේද.... අර නංගිගේ , මල්ලිගේ ප්‍රශ්නේ නේද කතාකරලා තියෙන්නේ කියලා අපටම හිතෙනවා.. අපි අපිවම ප්‍රශ්න කරගන්නවා. එක්තරා ප්‍රේක්ෂකයෙක් හිටියා ඔහු මාව මුණගැහිලා කිව්වේ "ඔයාව මම මීට කලින් දැකලා නැහැ, ඒවුණාට අපේ අල්ලපු ගෙදර ඔය සිද්ධියම තමයි වුණේ " කියලා.. ඒවගේ ප්‍රේක්ෂකයාට සමීපතාවක් මේකේ තියෙනවා..ඉතා කෙටි කලක් තුළ ලුම්බිණි රඟහලේ ආසන 397ම පුරවපු පළමු අවස්ථාව මේක කියලා මම හිතනවා.

"අරුන්දතී මං මනමාලයි" හරහා ඔබ ආමන්ත්‍රණය කරන්නේ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ සරල වින්දනයට නේද......?

ඔව්, ඇත්තෙන්ම මට "අරුන්දතී මං මනමාලයි" හරහා කරන්න ඕන වුණෙත් ඒකමයි..මටත් ඕනනම් තිබ්බා මගේ මාධ්‍යවේදී තනතුර ඉදිරියට දාගෙන සම්මාන ගන්න බලාගෙන ප්‍රබුද්ධ යැයි කියාගෙන මිනිස්සුන්ට නොතේරෙන යමක් කරන්න..ඒත් මට ඕනවුණේ එය නෙවෙයි, සරල වින්දනයක් ලබාදෙන්න. අපේ ජනතාවට, රසිකයන්ට පීඩනයෙන් මිදෙන්න නිර්මාණයක් කරන්නයි මට ඕනවුණේ. හැබැයි සමහරු මගෙන් ඇහුවා මේකේ තියෙන සංගීතය මොකද්ද? සින්දු මොනවද.? නළුනිළියන් කවුද කියලත්. මෙහි නව පරපුරේ ශිල්පීන් තුන්දෙනෙක් රඟපානවා. ඔවුන්ට කරන්න පුළුවන් උපරිමය එදා ප්‍රේක්ෂකාගාරයට දුන්නා..මම කිව්වේ "අරුන්දතී මං මනමාලයි" බලන්න එන්න. ඔබ පළමුවෙන්ම සාක්ෂිකරුවකු වෙන්න කියලා. ඒ සාක්ෂි දරපු අය දන්නවා අපට වින්දනයක් ලබාගන්න, මානසික පීඩනය අවම කරන්න අපිත් එක්ක රැඳී සිටින්න කියන එක. ප්‍රේක්ෂකයාගේ මනසේ රැඳෙන දෙයක් ඔවුන්ට නැවත නැවත මතක් කරලා සතුටුවෙන්න පුළුවන් දෙයක් මම දීලා තියෙනවා

"අරුන්දතී මං මනමාලයි" පිටපත සැකසීම ගැන යමක් සඳහන් කළොත්...?

මේ කතාව ලිව්වේ වෙනත් කෙනෙක්..මම ඔහුට ලිව්වේ සරල වින්දනයක් දෙන්න පුළුවන් දෙයක් ලියන්න කියලා..මම මාධ්‍යවේදියෙක් විදිහට පිටපත මට ඕන විදිහට වෙනස් කරගත්තා. ඔහුට පිටපත ලියන්න උපරිම නිදහස දුන්නා. හැබැයි සංස්කරණ අයිතිය මට තියෙන්නේ කියලාත් මමයි මේකේ නිර්මාණ අධ්‍යක්ෂවරයා කියලත් මම ඔහුට කිව්වා..එහි දෙබස් පවා මම වෙනස් කළා..මම ඔහුට කිව්වේ සරල වින්දනයක් එන විදිහට ලියන්න කියලා.

ඒ කියන්නේ මෙහි තිර රචනය ඔබ වෙනස් කළා....?

මම පිටපත අරගෙන වචන වෙනස් කළා, දෙබස් ලිව්වා. පිටපතටත් හානියක් නොකර ඒ වෙනස්කම් මම කළා. මමනේ මගේ ප්‍රේක්ෂකාගාරය ගැන දන්නේ . ඒ නිසා සරල වින්දනයක් ලැබන විදිහට වෙනස් කළා.

"අරුන්දතී මං මනමාලයි" කතා සංකල්පය ගැන පැහැදිලි කළොත් ...?

මේකේ තියෙන්නේ පවුලේ කතාවක්..අපි භැමෝටම අපි එකිනෙකාගේ පවුල්වල කතන්දර තියෙනවා .ඒක පොදු කතාවක් නොවෙන්නත් පුළුවන් . මගේ පවුලට කතන්දරයක් තියෙනවා. , ඔබේ පවුලට කතන්දරයක් තියෙනවා. තව × කෙනක් ගත්තොත් එයාගේ පවුලටත් තව කතන්දරයක් තියෙනවා. "අරුන්දතී මං මනමාලයි" නාට්‍යයේ තියෙන්නේත් එකම දුව සහ ඔවුන් ජීවිතයට උත්සාහ කරන විදිහ . අම්මාකෙනෙක්, තාත්තා කෙනෙක් ගත්තහම ඔවුන්ගේ අදහස් නොගැළපීම , යොවුන් දියණියක් වටහා නොගැනීම , සොයා නොබැලීම වගේ මේ සමාජයේ අපි එදිනෙදා අත්දකින දේවල් මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ .

ඔබේ නළුනිළි කණ්ඩායමත් මේ නාට්‍යය ගැන තෘප්තිමත් කියා ඔබ සිතනවද.....?

ඇත්තෙන්ම, මම සතුටු වෙනවා මගේ නළුනිළියන් කණ්ඩායම ගැන. අනුග්‍රාහකයෙක් නැතිවම මම මගේ නළුනිළි කණ්ඩායමට පිරුණු ප්‍රේක්ෂකාගාරයක් ලබාදුන්නා. ඒකෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන අරගෙන ප්‍රේක්ෂකයාට සමීප වුණා.අපට වැඩ හම්බවෙන විදිහට ඔවුන් ඒ දේ පළමු දර්ශන වාරයෙන්ම සිදුකළා. රූපා ගෝමස් කියනවා "මල්ලි, මට මාර සතුටුයි" කියලා.කුලසිරි මල්ලිකාරච්චි කියනවා ""මචං මට මාරම සතුටුයි ' කියලා. ඒ අය සතුටුවෙලා තියෙනවා වැඩේ ගැන. මමත් සතුටු වුණා.

ඔබේ "අරුන්දතී මං මනමාලයි" සඳහා "කීටැග්" එකකුත් නිර්මාණය කර තිබුණා නේද...?

ඔව්, "මුතු වියමන" කියලා මුහුණු පොතේ ඉන්න සමූහයක් (ට්පභධන) එකතුවෙලා කීටැග් එකක් නිර්මාණය කළා "අරුන්දතී මං මනමාලයි" කියලා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ඔවුන් අතරටත් මේ නාට්‍යය ගියා කියන දේනේ එයින් පෙන්වන්නේ..ඒක මාරම වටිනවා..නිර්මාණකරුවෙකුට ඒවගේ අවස්ථාවක් ලැබෙයි කියා හිතාගන්නත් බැහැ. එය මුදලින් මිල කරන්න බැරිදෙයක්. මෙයට ප්‍රේක්ෂකයා කෙතරම් සමීපවූවාද කියා එයින්ම වැටහෙනවා.

ඔබේ අනෙකුත් නිර්මාණ සමඟ සැසදීමේදී "අරුන්දතී මං මනමාලයි" හි විශේෂත්වය කුමක්ද...?

මගේ "ගැට සහ මඩ, විලංගුව, ධර්මිෂ්ටලා" වැනි වේදිකා නාට්‍ය සියල්ලේම දේශපාලන මුහුණුවරක් තිබ්බේ. වර්තමානයේ අපට හමුවන දේශපාලන චරිත ගැන තමයි ඒවායින් අපි කතා කළේ. අපි ඒවායෙන් කිව්වේ 2040 වෙද්දී මේ දේශපාලනඥයන් කොහේද ඉන්නේ කියලා. සමහරු දිව්‍යලෝකේ යයි කියලත් සමහරු අපායේ යයි කියලත් අපි සිතුවා. ඒත් දිව්‍යලෝකේ යයි කියා හිතපු අයවත් අපි අපායකට දාලා තිබ්බා. ඒක එදත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි, අනාගතයේ වෙන්නේත් එහෙමයි. මෙහි විශේෂත්වය සරල ආදරය පිළිබඳ කතාවක් ප්‍රේක්ෂකයා පිනවීම උදෙසා අන්තර්ගත වෙලා තියෙනවා. සම්මාන ගන්න බලාගෙන කරපු සම්භාව්‍ය නාට්‍යයකුත් නෙවෙයි මේක. මෙහි සමහර කොටස් එකතු කර පවතින දේශපාලනය ව්‍යංග්‍යාර්ථයෙන් කියන්නත් පුළුවන් . මෙහි අපේ පොදු අභිප්‍රාය සරල වින්දනයක් දීමයි.

මෙම නිර්මාණයට දායක වූ පිරිස සහ ඔවුන්ගෙන් ලද සහය ගැන කතා කළොත් ...?

රූපා ගෝමස්, කුලසිරි මල්ලිකාරච්චි වගේ ප්‍රවීණයන්ගේ සහයත් ලැබුණා. රොෂාන් අබේසුන්දර. ඔහු ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වගේම සහය අධ්‍යක්ෂවරයෙක්. දිල්හාරා ජයසිංහ, නිශාන් සම්පත් දෙදෙනා නව පරපුරේ දෙදෙනෙක්. ඔවුන්ගේත් උපරිමය මෙහිදී ප්‍රේක්ෂකයාට ලබාදුන්නා. ගීත රචනය ශාලුක මධුසංඛ , සමීන් ක්‍රිෂ්මිණාත් මට මේ සඳහා ඉතාම උචිත ගීත 03ක් රචනා කර දුන්නා. ඇය මුදල් අයකිරීමක් කළේත් නැහැ.ඇයට කතාව කියූ ගමන් එයට උචිත ගීත 2ක් ලබාදෙන්න කියලා ඇය මට ගීත 03ක්ම ලියා දුන්නා.

මෙහි තේමා පාඨයත් තරමක් වෙනස්....?

ඔව්, මේ නාට්‍යයේ තේමා පාඨය තියෙන්නේ " බයිස්කෝප් එකක් වගේ නාට්‍යයක් බලන්න" කියලා. මම කවදාවත්ම දැකලා නැහැ නාට්‍යයක් ආරම්භයේදී ප්‍රේක්ෂකයා අත්පුඩි ගසනවා. මේක ආරම්භයේදී මම දැක්කා ප්‍රේක්ෂකයා අත්පුඩි ගසනවා. වේදිකා නාට්‍ය 20-25කට මම දායකවුණත් පළමු වතාවට ඒ දේ මම දැක්කේ. මෙහි ගීත 04ක් තිබෙනවා.. මුල් ගීතයේදීත් අවසාන ගීතයේදීත් වගේම ගීත 04දීම ප්‍රේක්ෂකයා අත්පුඩි ගැසුවා. එය අපි ලැබූ ලොකු ජයග්‍රහණයක් . ඇත්තෙන්ම ඒකත් චිත්‍රපටයක් සරලව රසවිඳීන විදිහට තමයි ප්‍රේක්ෂකාගාරය "අරුන්දතී මං මනමාලයි" භාරගත්තේ.

කලාව තුළ ඔබේ ආරම්භය සිදුවූයේ කෙසේද....?

මගේ ගම කොත්මලේ, ගැමුණුපුර. ඉතා දුෂ්කර පළාතක්. බොහෝ අයට වගේ මටත් පාසල් වේදිකාවේ ආභාසය ලැබුණා. අහඹු ලෙස ජාතික පුවත්පතක ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට මට ජීවිතය ආරම්භ කරන්න ලැබුණා . මම කොළඹ එන්නේ නළුවෙක් වෙන්න්. මම අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් ළඟට යනවා. බෙනට් රත්නායක ළඟටත් යනවා. ඔහුගේ "ග්‍රහණය" ටෙලිනාට්‍යයේ සම්මුඛ පරීක්ෂණයට මමයි ගාමිණී ජයලතුයි යන්නේ. එහිදී මට අවස්ථාව ලැබුණේ නැහැ. එක්තරා අධ්‍යක්ෂවරයෙක්ගේ නාට්‍යයක් බලලා මම ඒ ගැන 1980 ගණන්වල "නවලිය"ට විචාරයක් ලියා තිබ්බා. මාධ්‍ය හමුවකදී ඔහු ඇහුවා නාට්‍යය ගැන ලිව්ව සුගත් මොරගහකුඹුරයි මේ සුගත් මොරගහකුඹුරයි එක්කෙනෙක්ද කියලා. මම කිව්වා "ඔව්, දෙන්නම එක්කෙනා තමයි" කියලා. ඒ කීර්ති බණ්ඩාරගේ "යකඩ සපත්තු" නාට්‍යය ගැන. කීර්ති එදා මාව වාහනයේ ගෙනැවිත් දැම්මා. ඒ ගෙනත්දාලා ටික දුරක් යද්දී මට ආයේත් කතා කරලා කිව්වා "ඔයා මගේ ඊළඟ නාට්‍යයේ රඟන්න ඕන " කියලා. ඔහු මාව තෝරාගෙන තියෙන්නේ මම ඇවිදගෙන ගිය විදිහ නිරීක්ෂණය කරලා.

ඔබේ වේදිකා නාට්‍ය නිර්මාණ කලාව ගැන කිව්වොත්...?

මගේ පළමු නාට්‍යය වුණේ මගේම නිර්මාණයක් . දෙවැනි රංගනය වුණේ කීර්ති බණ්ඩාරගේ "සොඳුරු ආඥාදායකයා".එහි මම සොල්දාදුවෙක්ගේ චරිතය කළේ. එයට සුදුසුකම් වුණේ මා කලින් කී පරිදි එදා රෑ මම ඇවිදගෙන ගිය විදිහ නිරීක්ෂණය කිරීමෙන්. ඔහු මාව තෝරාගන්නවා මම පත්තරයට විචාරය ලිව්ව නාට්‍යයේම නව නිෂ්පාදනයට. ඒක කීර්තිගේ "යකඩ සපත්තු" නව නිෂ්පාදනය . මම එහි චරිත දෙකක් රඟපානවා. රෝහණ විජේවීරගේ චරිතයත් හිටපු ජනාධිපතිවරයෙක්ගේ චරිතයකුත්.සුගත් සමරකෝන්ගේ "උතුරේ රාහුල"මම පාසල් කාලයේ නරඹනවා. මාව නිර්මාණවලට යොදාගත් අධ්‍යක්ෂවරුන්ට කිව්වා මාව නාට්‍යයට ගන්නවානම් මගේ අතින් ඔයා ගැන නිව්ස් එකක් ලියැවෙන්නේ නැහැ කියලා.මම කවදාවත්ම මම රඟපාන නිර්මාණ ගැන, ඒ නිර්මාණ ශිල්පීන් , අධ්‍යක්ෂවරුන් ගැන පුවත්පතකට අකුරක්වත් ලියා නැහැ. මගේ පත්තර වෘත්තිය නළුකම වෙනුවෙන් පාවාදුන්නේත් නැහැ. භාවිත කළේත් නැහැ. "විලංගුව" නමින් මම නාට්‍යයක් කළා. එහි දර්ශනවාර 20ක් වගේ කළා.ඒ එක්ක මගේ රංගන දිවිය ටිකකට නැවතුණා .

ඔබට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා හමුවීමේ සිද්ධිය හරිම අපූරු සිද්ධියක් වගේම ඔබේ මාධ්‍ය දිවියේද අලුත්ම පිටුවක් පෙරළුණා කිව්වොත්.....?

ලංකාදීපයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ලෙස ඉද්දී මට කොළඹ බලන්න ආසා හිතුණා.අපි ඉතින් ගම්වල මිනිස්සුනේ. ඉතින් බස් එකට අතදාලා ආවා..මම දන්නේ නැහැ කොහේද මේ යන්නේ කියලා. මම මගින් බැස්සා. බැහැලා තියෙන්නේ කොස්ගස් හන්දියෙන්.එතකොට මම දැක්කා ටයි පටියක් දාපු ප්‍රියමනාප තරමක් මිටි පුද්ගලයෙක් යනවා මම ඔහුගෙන් නුවර පාරට යන්නේ කොහොමද කියලා ඇහුවා. ඔහු මගෙනුත් ප්‍රශ්න ඇහුවා. මම ලොකු මිනිහෙක් වගේ කිව්වා මම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් , අහවල් වාර්තාකරු කියලා. ඔහු මට "එන්න මම ඔයාට හරි පාර පෙන්වන්නම් " කියා මාව එක්කගෙන ගියා අශෝකා සිනමාහල ළඟ තියෙන ලක්බිම පුවත්පත් කාර්යාලයට. ඊටපස්සේ තිලක් සේනාසිංහ සහ ප්‍රදීප් කුමාර බාලසූරියටයි එන්න කියලා මාව කාටද ඕන කියා ඇහුවා. ප්‍රදීප් අයියා කිව්වා මටනම් කට්ටිය ඉන්නවා තිලක්ට අඩුයි කියලා. ඉන්පසු ඔහු මාව "රැජින" කර්තෘ මණ්ඩලයට එක්කගෙන ගියා. එහෙමයි මම ලක්බිමේ පැළපදියම් වුණේ.එහි මම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස වැඩ කළා.

ලක්බිමෙන් ඔබ අල්ලපු වැටට පැන්නා නේද...?

ඔව්, ලක්බිමේ ඉද්දී මට අවස්ථාව ලැබුණා උපාලි පුවත්පත් සමාගමේ "නවලිය"ට සම්බන්ධ වෙන්න. එහි කාර්යාලය තිබ්බේත් ඒ ළඟමනේ. ලක්බිමේ මාස 09ක් ඉඳලා උපාලි පුවත්පත් සමාගමට මම සම්බන්ධ වුණා. හැඳුනුම්කමක් මත මම එතැනට ගියේ. එහිදී මට අසීමිත වැටුපක් ලැබුණා. එක ලිපියකට එහිදී මට ලැබුණු මුදල ගොඩාක් වටිනවා වුණා. පත්තරකාරයෙකුට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මට එහිදී දුන්නා. බන්ධුල පද්මකුමාර මහතා එහිදී මට කිව්වා "ඔයාට කොහේදිහරි වැරදුණොත් ආයේ මා ළඟට එන්න" කියලා. එහිදී ඔහු කිව්වා "මම ලක්බිමට පළමුවෙන්ම ගත්ත වාර්තාකරුත් ඔයා, පළමුවෙන්ම යන්නෙත් ඔයා" කියලා.

සුගත් ශාන්ත මොරගහකුඹුර, සුගත් මොරගහකුඹුර වුණේ කොහොමද ...?

බන්දුල පද්මකුමාර මහතා දවසක් පත්තරයට ආර්ටිකල් එකක් ලිව්වා මම පත්තරකාරයෝ ගොඩාක් ගත්තත් ඒ අයගෙන් පත්තර රස්සාව පත්‍තියම් වුණේ සුගත්ටයි කියලා. ඒ වගේම ඔහු එහිදී කියා තිබුණා මා එක්ක මෙහිදී හිටිය සුගත් ශාන්ත මොරගහකුඹුර, ශාන්ත කෑල්ල හලලා සුගත් මොරගහකුඹුර වුණේ කොහොමද කියලත් මට ඒක කනගාටුවක් කියලත්. නවලියේ ඉද්දී ආර්ට්වර්ක් එකේදී සුගත් මොරගහකුඹුර කියලයි දැම්මේ. බන්ධුල පද්මකුමාර මහතාගේ මා ගැන ඒවිදිහට ලිව්ව ආර්ටිකල් එක මගේ ජීවිතයට හරියට වටිනවා. ඊටපස්සේ මගේ ශාන්ත කෑල්ල ආයේ එකතු කරගත්තා බන්ධුල පද්මකුමාර මහතාට ගෞරවයක් වශයෙන් .

"නවලියේ" කර්තෘත්වය ලැබූ මුල්ම පිරිමියා ඔබයි....?

නවලියේ මම සමකර්තෘ දක්වා පැමිණියා. පිරිමියෙක් නවලිය පුවත්පතේ කවදාවත් කර්තෘ, සමකර්තෘ තනතුරුවලට ඇවිත් නැහැ. එහි ආරම්භයේම යම් මතයක් තිබිලා තියෙනවා කාන්තාවක්මයි මෙහි කර්තෘ විය යුත්තේ කියලා.එහෙත් මම සමකර්තෘ තෙක් ආවා. කාන්තා පුවත්පත්වල පිරිමි කර්තෘවරු ඕනතරම් ඉඳලා තියෙනවා . මම "නවලිය"ට ලිපි 15000කට වඩා ලියලා තියෙනවා .මගේ මාධ්‍ය දිවියට වසර 32ක් වුණාට මගේ නමින් ලිපි 32000කට වඩා මෙරට පාඨකයන්ට නිල හා නොනිල නමින් ලියලා ඇති.

මාධ්‍ය දිවියේ අමතක නොවන මතක සේම ඔබට උදව් උපකාර කළ පිරිස සිහිකළොත්....?

මට උදව් උපකාර කළ පිරිස ගැන මුලින්ම කිව්වොත් ලංකාදීප පුවත්පතේ කර්තෘ සිරි රණසිංහ මහතා, බන්දුල පද්මකුමාර මහතා , තිලක් සේනාසිංහ, ප්‍රදීප් කුමාර බාලසූරිය, ජයන්ත ගාල්ලගේ, නවලිය කර්තෘව සිටි චන්දිමා විජේතුංග, දිවයිනේ නාරද නිශ්ශංක , චන්ද්‍රසිරි දොඩන්ගොඩ, කරුණාදාස සූරියආරච්චි වගේ පිරිස මතක් කරන්න කැමැතියි. තරඟකාරී පුවත්පත් ආයතනයක සිටියා වුණත් ලේක්හවුස් ආයතනයේ දිනමිණ, සිළුමිණ , ලංකාදීප වගේ පත්තරවලින් තමයි මගේ නිර්මාණ කටයුතු පාඨකයා අතරට ගෙනයන්න උදව් වුණේ . සමහර කර්තෘවරුන් මගේ පුවත් පළනොකළ අවස්ථා තිබුණා . මගේ වේදිකා නාට්‍යයක නිව්ස් එකක් දාන්නේ නැති අවස්ථා තිබ්බා. ඇයි එහෙම කළේ කියා මම කවදාවත්ම ප්‍රශ්න කරන්න ගියේ නැහැ. මම පොත් 86ක් දැනට ලියා තියෙනවා .පුවත්පත් කලාව රැකියාව ලෙස කරමින් , වේදිකා නාට්‍යයත් කරමින් , පොතුත් ලියමින් මේ ක්ෂේත්‍ර තුනේම සක්‍රියව වැඩකළ මාධ්‍යවේදියෙක් තමයි මම

වේදිකා නාට්‍ය - ටෙලි නාට්‍ය - චිත්‍රපට සඳහා ඔබේ දායකත්වය කොහොමද..?

වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒවායෙන් මට ලැබුණු වටිනාකම ගැන මම සතුටු වුණා. මම බඩගින්න ගැන හිතනවා. මට දැනෙන බඩගින්නමයි ඔබටත් දැනෙන්නේ. මම රංගන දායකත්වය දුන් හැම නිර්මාණයකදීම මට හිමි මුදල මම ලබාගත්තා. ටෙලිනාට්‍ය 06කට වගේ රංගනයෙන් දායක වුණා. චිත්‍රපට ගැන කිව්වොත් "නෝ මාර්ක් කෝ මාර්ක්" , කීර්ති බණ්ඩාරගේ "බෝනික්කි" , "බදුලු කෝච්චිය" වගේ චිත්‍රපටවල රඟපෑවා

තිර රචනයට යොමුවුණේ නැද්ද....?

ටෙලිනාට්‍ය පිටපත් 02ක් ලියා තියෙනවා . "සේපාලිකා" සහ " සුළඟ" නමින්.ඒවා රූගතකිරීම් කළත් තවම විකාශනය වුණේ නැහැ.අතරමඟ නැවතිලා

වේදිකාවේ අධ්‍යක්ෂණයට අමතරව වෙනත් අංශ සඳහාත් ඔබ දායකවුණා.....?

ඔව්, මගේ "අරුන්දතී මං මනමාලයි" නාට්‍යයේ නිෂ්පාදන අර්ථපතීත් මමයි. "ධර්මිෂ්ඨලා, විලංගු " නාට්‍යවලත් නිෂ්පාදකවරයා මමයි. "විලංගුව, හිත හොඳ මිනිස්සු, මිනිස්සු, ගැට සහ මඩ" වේදිකා නාට්‍ය හතරම මගේ පිටපත් රචනා.

ඔබේ නවකතාකරණය ගැන කිව්වොත්.....? නවකතා කලාවට මගේ මාධ්‍ය ජීවිතයේ ආභාසය ලැබෙන්න ඇති. 1999දී තමයි මගේ පළමු නවකතාව ලියවෙන්නේ "කඳුළු තොටුපොළ " නමින්..අපි එක්ක සමකාලීනව පැමිණි ලේඛක, ලේඛිකාවෝ යොවුන් පුවත්පත් , කාන්තා පුවත්පත් නියෝජනය කළා. ඔවුන් නවකතා ලියමින් පත්තරවල ලොකු චරිත වුණා. මම විශේෂාංග ලිව්ව ලේඛකයෙක්. මම කොළඹම හිටියේ නැහැ , රට වටේ ඇවිද්දා. චාන්දනී විජේතුංග මහත්මිය කිව්වේ පත්තරකාරයෙක් වෙලා කන්තෝරුවේ ඉන්න බැහැ.. එළියට යන්න ඕන කියලා. අපි බස්වල ගිහින් ආර්ටිකල් ලිව්වේ. ඒවගේ ගමන්බිමන්වලදී ලබන අත්දැකීමුත් මගේ නවකතා කලාවට බලපෑවා. නවලියට අවුරුදු 18ක කර්තෘ කෙනෙක් ආවා චමින්ද රණසිංහ කියලා. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ . ඔහුයි මට "කඳුළු තොටුපොළ " ලියන්න ඉඩදුන්නේ නවලිය පුවත්පතට. ඒක කොටස් වශයෙන් ලිව්වා. ඒක පසුකාලයේ මුද්‍රණයෙන් එළිදැක්වුවා. අත දිගහැරලා ලියන්න පුළුවන් නවකතාකරුවෙක් බවට මාව පත්කළේ කරුණාදාස සූරියආරච්චි මහතා. ඔහු මාර්ගයෙන් තමයි "සේපාලිකා මල් " නවකතාව නවලියට ලියන්න අවස්ථාව ලැබුණේ. අද වෙද්දී මම නවකතා 86ක් ලියා තියෙනවා . පසුව "සුවඳ සුළඟ ඇවිදින්" නවකතාවත් පත්තරයට ලියන්න පුළුවන් වුණේ ඔහු නිසයි.එකවර එක නමින් නවකතා 02ක් එකම පත්තරයකට ලිවීම අභියෝගයක් වුණා. පසුකාලීනව ඇවිදලා මා ලබාගත් අත්දැකීම් එක්ක එකදිගට නවකතා ලියන්න ගත්තා. සමහර අවස්ථාවල සිකුරාදා සවසට බෝඩිමට ඇවිත් ලියන්න පටන්ගත්තම කන්නේ, බොන්නේත් නැතිව වතුර විතරක් බීලා ඉරිදා රෑ 12:00, 1:00 වෙනකල් ලියනවා. එහෙම තමයි මගේ නම ඉදිරියෙන් පොත් 86ක් මුද්‍රණය වෙන්නේ.

ඔබ අතින් ලියවුණු ගීත රචනා ගැන කිව්වොත්...?

මගේ නාට්‍යවලට මම ගීත ලිව්වා. දීපිකා ප්‍රියදර්ශනීට ගීතයක් ලිව්වා. ගීෂාන් ලියනගේට ගීතයක් ලිව්වා. ඔහුට ලස්සන කටහඬක් තියෙනවා . ජීවනී මීගොඩට ගීත 02ක් ලියා දුන්නා. මගේ අතින් ගීත 12ක් වගේ ලියැවිලා තියෙනවා

අද වේදිකා නාට්‍ය කලාව ඔබ දකින්නේ කෙසේද.....?

අද සුබවාදී පැත්තක් තියෙනවා .මම නම් දකින්නේ වේදිකාවට හැමදාම සුබයි කියලා .සමහරක් කලාකරුවන් කියනවා අද ප්‍රේක්ෂකාගාරයක් නැහැ කියලා. තව නිර්මාණකරුවෙකුට එන්න තියෙන ඉඩහසර තමයි එහෙම කියලා වසා තිබෙන්නේ.ඒත් එයාලගේ නාට්‍ය හැමතැනම පෙන්වනවා. මේක කරන්න අමාරුයි කියලා ඔවුන් ඒ දේවල් මවා පෙන්වනවා.නාට්‍ය දුවනවා. ඒත් අපට මවලා පෙන්වනවා නාට්‍ය දුවන්නේ නැහැ කියලා. උපාලි එකෙන් සෑම අවුරුද්දකම වේදිකා නාට්‍ය 60ක් පෙන්වනවා. ටවර් එකේ 30යි, එල්ෆින්ස්ටන් එකේ 30යි වශයෙන්. වේදිකා නාට්‍ය වැටිලානම් ඒ ප්‍රේක්ෂකාගාරයට සෙනඟ එන්නේ නැහැනේ .ඒ නාට්‍ය 60 පෙන්වන්න අවුරුද්දක් තුළ නිර්මාණ කොහෙන්ද ආවේ..? නිර්මාණ කෙරෙනවා, කොළඹ එකම පෝස්ටරයක්වත් නොගහා මුහුණු පොත පමණක් භාවිතකරලා මම ප්‍රේක්ෂකාගාරය පිරෙව්වා. අද මම රංගන ශාලා රැසකටම ගියා . දෙසැම්බර් 16 හෝල් එකක් ඡධධඬ කරන්න හෝල් නැහැ.නාට්‍ය දුවන්නේ නෑ කියන්නේ කොහොමද ..? වේදිකාවේ අනාගතය සුබවාදීයි.

ඔබේ පවුල් ජීවිතය ගැන් කිව්වොත්...?

මට දුවලා දෙන්නෙක් ඉන්නේ. එයාලා විශ්වවිද්‍යාලයේ ගිහින් දැන් රැකියා කරනවා. මගේ නෝනා ඉතා ශක්තිමත් ගැහැනියක්. මම රුපියල් 1000ක් දුන්නොත් එයා දන්නවා කොහොමද ඒකෙන් මාසේ ගෙනියන්නේ කියලා. රුපියල් ලක්ෂයක් දුන්නත් ඒකෙන් මාසේ ගෙවන්නේ කොහොමද කියා ඇය දන්නවා. කවදාවත්ම කාගෙන්වත් ඉල්ලගෙන දරුවන්ට කන්න දෙන්න එපා කියලා එයා කියන්නේ. මම එයාට රුපියල් 1000ක් දීලා , ඊළඟ මාසේ 1100ක් දුන්නොත් කොහෙන්ද වැඩිපුර 100ක් කියලා අහනවා. 900ක් දුන්නොත් කොහොමද 100ක් අඩුවුණේ කියලා අහන්නේ නැහැ. මගේ බිරිඳ කලින් හෙදියක් විදිහට රැකියාව කළා. පසුව රැකියාවෙන් ඉවත්වෙලා මගේ දරුවෝ දෙන්නයි මගේ තාත්තාවයි බලාගත්තා. එයා යකඩ ගැහැනියක්. දුවලා දෙන්නත් ගමන් බිමන් යන හැමදේම මාව දැනුම්වත් කරලයි යන්නේ.

 

 

[email protected]