වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
පොතේ නූපා අමතක කරලා සිනමාවේ නූපා දකින්න

ජයනාථ හෝ මසායා සං යන දෙදෙනාම ඉදිරියෙහි ආතුරයා මම වෙමි. නුඹ දෙදෙනාම රාමා නොවෙති. රාවණා ද නොවෙති.මම කිසිවකු ළඟ වැතිර සිටින්නට කැමැත්තෙමි. මගේ දෙනෙතෙහි ඇත්තේ නුඹ වසඟ විය හැකි නිලු පුල් හැඩ-රුව නොවේ. මගේ දෙනෙත් කඳුලට විවර වූ කපොලු වෙයි. රාම නුඹ හෝ රාවණා හෝ සිප ගත්තේ මගේ ඉරිතලා ගිය දෙකපොල්ය.පුපුරු ගැසී ගිය දෙතොලය. ප්‍රේමය මගේ. ස්ත්‍රියගේ ප්‍රේමයට තව නමක් තබන්නහිද? ඒ නම නම් මුග්ධ භාවයයි. මගේ හෘදය ප්‍රේමයේ ඉල්ලා කලාහ කරයි. ඔබ ප්‍රේමය යනු කිමෙක්දැයි දැන සිටියේ නැත. ප්‍රේමය යනු රාගයද විරාග ද විරහය ද නොවෙයි. (නවකතාව උපුටා ගැනිම 59 පිටුව)
ජීවිතේ ඕනෑම අභියෝගයක් භාරගනි. සිය දහස් වාරයක් සිතා ඇයට ලැබෙන චරිතයට අවතීරණ වේ. නුපා සෙවූ ආදරය ඇයට ලැබුණ ද කියන ප්‍රශ්නය සිනමා සිත්තම හරහා ප්‍රේක්ෂකයාට විඳගන්නට ඇය සලස්වයි. නූපා නම් තරුණිය මවක් දක්වා දිගහැරෙන කන්දක් සේ මා කතා පුවතේ චරිතයට නූපා වුවත් ඇය සැබෑ ජීවිතයේ නිරෝෂා පෙරේරා යි. ප්‍රේක්ෂක සිත් සතන් නිවේදනයෙන් මෙන්ම හැඟුමෙන්, රංගනයෙන් ද චරිතයෙන් ද වසඟයට ගන්නා ඇය පසුගිය දිනක සරසවිය පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
ජපානයේ තවමත් ජීවත්ව සිටින "නූපා" ඔස්සේ හෙළිවන ස්තුී භෑමිකාව ඔබට දැනෙන්නේ කෙසේද ?
මමත් තරුණියක්. නූපා කියන්නේත් තරුණ ගැහැනු කෙනෙක්. ඇගේ දුක්ඛ දොමනස්සයන් දරාගත්තේ කොහොමද කියලා මටත් දරාගන්න නොහැකි වුණා. ඇය තරුණියක් ලෙස ඉද්දීම ගැහැනියක් වෙනවා. ඇය විටින් විට ආදරය, ආරක්ෂාව හා අනාගතය ගැන සිතමින් තනිවම සටන් කරනවා. ඇය අවංකව ආදරය කරනවා. ඒ අවංක ආදරය නිසා පළමු වරද සිදුවෙනවා. ඉන් පස්සේ ඔහු ඇයට පිටු පානවා. ඇය ආදරය සොයා ගෙන යනවා. ඒ අතර වංක ආදරයට ඇය නැවත, නැවතත් හසු වෙනවා. ඇගේ ජීවිතය එහෙටත්, මෙහෙටත් දෝලනය වෙනවා. ඇය සොයන ආදරය ඇයට ලැබෙන්නේ නෑ. ඇය ගොඩ එන්න උත්සාහ කරනවා. ඒත්, නැවත නැවතත් ඈ ඇද වැටෙනවා. ඇය හැපි හැපී ගොඩ එන්න උත්සාහ කරනවා. අවසන ඇය අවලංගු කාසියක් බවට පත් වෙනවා. මිනිස්සුන් හා ගැහැනුන් අතර අවලංගු ගැහැනියක් වෙනවා. ඉන්පසු ඇයට සිදුවන්නේ විවාහ බැංකුවක් හරහා මුදලට කිසිදා නොදුටු ජපානයේ වයස්ගත පිරිමියකු වන මසායා සංට බහ දීමටයි. මේ කතාන්දරය ඔස්සේ බලපුවාම නූපා භූමිකාවෙන් සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික කරුණු රැසක් ගම්‍ය වෙනවා.
නූපා චරිතයට ඔබව තෝරා ගැනීමට විශේෂ වූ හේතුවක් තියෙනවාද?
එයට විශේෂ හේතුවක් වූයේ කන්දක් සේමා කෘතිය රචනා කළ සුමිතාු රාහුබද්ධයි. මම ගොඩක් පොත් කියවන කෙනෙක්. නමුත් මම කන්දක් සේමාහි නූපා චරිතයට තෝරා ගනිද්දීත් කන්දක් සේමා පොත කියවලා තිබුණේ නෑ. ඉන් පසුව මා පළමුවෙන්ම කළේ කන්දක් සේ මා කෘතිය කියවන එකයි. හැමෝම එකම පොත තනි තනිවම කියවනකොට රස විදින්නෙත් තනි තනිවමයි. එකිනෙකා ලැබූ තනි තනි අත්දැකීම් අනුවයි එසේ සිදු වන්නේ. සිනමා කෘතියකට නවකතාවක ජීවත්වන චරිතයකට පණ දෙනවා කියන්නේ එට හාත්පසින්ම වෙනස්ම භූමිකාවක්. අවුරුදු ගණනාවක් එක් පොතක් ලියන්න පුළුවන්. ඒත්, සිනමාව නැමැති පොත ඊට හාත්පසින්ම වෙනස්. මම දකින විශේෂත්වය තමයි, නවකතාව ලියපු කෙනාම තමයි තිර පිටපතත් ලියන්නේ කියන දෙය. එවිට පොතේ සිටින නූපා සහ තිර පිටපතේ නූපාත් එකම විදියට දකින්න ඇති. මා ප්‍රගුණ කළ ජපන් භෂාව හා මගේ පෙනුමත් තිර පිටපත් රචිකාවගේ මනසට ඇතුළු වෙන්න ඇති. එය ඇය දුටු සැබෑ නූපාට මම සමානයි කියලා සිතෙන්න ඇති. ඒ වගේම තිර පිටපත් රචිකාව සහ අධ්‍යක්ෂ වරයාගේ එකගතාවය මත මා තෝරා ගන්න ඇති.
කන්දක් සේමා කෘතියෙහි නූපා සහ සිනමාවේ නූපා කියන්නේ දෙදෙනෙක්ද?
ඔබේ කතාවට එකගයි. මම පොතේ ඉන්න නූපා නෙවෙයි. මම තිරපිටපතේ ඉන්න නූපායි. මම චරිතයක් තොරා ගන්න විට ඉතා හොඳ අවබෝධයකින් එය කියවලා චරිතයට සාධාරණයක් කරන්නයි හැම වෙලාවෙම උත්සාහ ගත්තේ. නූපා කියන්නේ වෙනස්ම චරිතයක්. නිරෝෂා කියන්නේ ඊටත් හාත්පසින්ම වෙනස් චරිතයක්. පොතේ ඉන්න නූපා අමතක කරලා සිනමාවේ නූපා දකින්න ඕනෑ. එවිට පොතේ ඔබ කියවපු චරිතයට වඩා සිනමාපටයේ චරිතය විදින්න පුළුවන් කියලා මම හිතනවා. තිර පිටපත් රචිකාවගේ මනසේ ඇදුණ නූපා මමයි. මිනිස්සු කියන්නේ වෙනස්වෙන සිත් තියෙන අය. මනසින් රූප මවාගෙන සිනමාහලකට ඇතුළු වුණාම කිසි දිනෙක සිනමා පටයක් රස විදින්න බෑ. සාමාන්‍ය මනුස්සයෙක් විදියට සිනමා ශාලාවට ඇතුළු වෙලා තිරපිටපතේ ඉන්න නූපා දකින්න ඕනෑ. ඔබ එවිට ඔබ කියවපු පොතේ ඉන්න නූපාත්, තිරපිටපතේ ඉන්න නූපාගේත් සමානකම් හා වෙනස්කම් දකින්න පුළුවන් වේවි. එය හරියට පළමු කසාදයේ ඉවර වෙලා, දෙවෙනි කසාදය කරගත්තා වාගේ හොඳ සහ නරක වගේ සම්මිශ්‍රණයෙන් වේවි. කොහොමත් දෙවන කසාදය හොද වෙන්න කියලනේ කරගන්නේ.
මෙයින් හෙළිවන දේශපාලනයට ඔබ විරෝධතාවය දක්වන්නේ ඇයි?
ඒ කාලේ රටේ තියෙන දේශපාලනය තමයි, මේ කතා වස්තුව පුරාම විහිදෙන්නේ. නිගතාවේ පිරිමින්ට අවිවාහකව ඉන්න සිදු වන්නේ ස්ත්‍රීන් විසින් ගන්නා ලද ඒකමතික තීරණයක් නිසයි. යන්ත්‍ර සූත්‍ර, යාන වාහන නැති කාලයේ කන්දෙන් ටිකෙන් ටික කපන පස් නිගතාවේ කාන්තාවන්ගේ උර මතින් කිලෝමීටර ගණනාවක් දුර ඔසවාගෙන යෑමට සිදුවුණා. ඒ කාන්තාවන් සිතුවේ, තමන්ගෙ උර මතින් කපන ලද පස් රැගෙන යාමට සිදු වූයේ පිරිමින්ගේ වරද නිසා බවයි. ඒ වගේම කාන්තාවන් පහත් කොට සලකා පස් රැගෙන යාමට නියම කළ බවයි. ඒ නිසා නිගතාවේ පිරිමින් සමග විවාහ වීමට නිගතාවේ ස්ත්‍රීන් අකමැති වුණා. ඉන් පසු ඒ කාන්තාවන් පොදු සම්මුතියකට එළඹුණා. ඒ තමයි, නිගතාවේ පිරිමින් සමග විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමයි. මෙයට ස්ත්‍රීන් වෙනත් ප්‍රදේශවල පිරිමින් සමග විවාහ වුණා. මේ නිසා බොහෝ දෙනා සිතුවේ, මීට දේශපාලනික අත පෙවීමක් තිබෙන බවයි. නමුත්, එය එසේ නොවෙයි. කෙසේ වෙතත් එකල ජපානයේ පැවති රජය මීටම මැදිහත් වීමට සිදු වුණා. ජපන් රජය විසින් සිදුකළේ, වෙනත් රටවල තරුණ කාන්තාවන් සමග විවාහ විමට ඉඩ සලසා දිමයි. නූපාට මසායා සං හමු වන්නේ ඒ ආකාරයටයි. එහෙත්, මසායා සං සිය රටට මහත් සේ ආදරය කළ කෙනෙක්. කාලයට උචිත ආකාරයට වෙනස් වෙන්න ඕනෑ කියන සංස්කෘතික හා ආගමික බැඳීම් අතින් ජපානය ඉහළින්ම ඉන්න රටක්. ඒ නිසා ඒ මිනිස්සු තමන්ගේ රටට හරිම ආදරෙයි. ගැටුම් ඇති සමාජයක ජීවත් වෙන්නට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම අන් අයට ආදරය සහ ගෞරවය දැක්වීම ට වඩාත් කැමැත්තක් දක්වනවා. නූපා මේ සියලු කාරණා දෙස උපේක්ෂාසහගතව බලන්නටත් පටන් ගන්නවා. ඇය ක්‍රමයෙන් ජපන් සංස්කෘතියට අනුගත වන්නියක් බවට පත්වෙනවා. අවසන තමා දරුවකු හදාගෙන පවුලක් විදියට ශක්තිමත්ව නිදහසේ ජීවත්වීම එකම අපේක්ෂාව බවට තීරණය කරනවා. එනිසා දේශපාලනික පසු බිමකට අකමැති.
මනෝ පෙම්බරාගේ ආදරයට ඔබ කැමත්තක් දක්වන්නේ ඇයි?
යටි සිතේ යම් යම් දේවල් සඟවාගෙන ඒ තුළ ජීවත් වීමට මිනිසුන්ට විශේෂ හැකියාවක් තියෙනවා, ඒ අනුව නූපාත් යම්කිසි කාරණාවක් සිතේ සඟවාගෙන ජීවත් වෙනවා. ඒ තමයි, තමාගේ සිත ගත් පෙම්වතා ගැන සිහිපත් කිරීම. ඔහු සිතයට තබා ගනිමින් නිරතුරුවම සිහිපත් කරමින් ජීවත් වෙන්නට උත්සාහ ගන්නවා. නමුත් නූපාගේ සැබෑ සැමියා වන මසායා සංගෙන් නොලැබෙන දේවල් ඇගේ මනෝ පෙම්බරාගෙන් ලබා ගන්නට නූපා කටයුතු නරනවා. නූපා දකින ඔබට පෙනෙන්නේ සියලු දේවල් මනෝ පෙම්බරා ගෙන් ලබාගන්නා බවයි. ඒත් සැබෑ ලෝකයේ එලෙස සිදු නොවන නිසා මනුෂ්‍ය ආත්මය තුළ ඒ විඳීමට උත්සාහ ගැනීම වරදක් නැති බවයි මම නම් දකින්නේ. අද ජීවත් වන සියලු දෙනාම තමන්ගේ යටි සිත කියවා බලා මේ ගැන සිතයි කියලා මම විශ්වාස කරනවා. තමන්ගේ සිතුවිලි සමග ආත්මීය බැඳීමෙන් ජීවත්වෙන නූපා තරම් වේදනාකාරී ආදරයක් වින්ද තවත් කතුන් තවත් නැතුවා නොවෙයි, කියාත් ඔබට සිතේවි.
නූපා ජයනාථ අවංකව ආදරය කළත් ඇයට අවංක ආදරයක් නොලැබීම ගැන ඔබ සිතන්නේ කෙසේද ?
නූපා මුල්වරට පෙම්වතියක් වන්නේ ජයන්ත නිසයි. ඒ වගේම ගැහැනියක්, ගැබිනියක් බවට පත්වන්නේත් ජයන්ත නිසයි. ජයනාථට අවශ්‍ය වන්නේ සිය අවශ්‍යතාවය ඉටු කර ගැනීම පමණයි. ආදරයක් හෝ අනුකම්පාවක් ඔහු තුළ නැති බව වැටහෙන්නේ තම ලෙයින් උපන් දරුවා මෙලොව ජනිත නොකිරීමට තීරණය කිරීමත් සමඟයි. එයින් නූපාට සිදුවන්නේ මිනිසුන් අතර අවලංගු කාසියක් බවට පත්වීමයි. බෞද්ධාගමික හා සංස්කෘතික පසුබිමක් තුළ පිරිමින් එලෙස සිදු කරනවාද කියලා සැකයක් තියෙනවා. මොහොතින් මොහොත වෙනස් වන මනුෂ්‍ය ආත්මය තුළ නූපා ජයන්ත එවැන්නෙකු නොවන බව නූපා සිතුවාය. එහෙත් තම ජීවිතය ප්‍රථමවරට මුදලට ලංසු තබන්නේ ද ජයන්ත කළ වරද නිසාය. එසේ නොවූවා නම් සමහර විට නූපා තවමත් ලංකාවේ සිටින්නට ඉඩ තිබුණා. ඒත් මමසතුටු වෙනවා, නූපා සියල්ල අමතක කොට, ඇයට උපන් දරුවා වන කසුනි සමඟ ජපානයේ අද සතුටින් ජීවත් වෙන එක ගැන.
මුදලට මසායා සං සොයා දෙන කපුවාත් ඔබ මුළා කරනවා නේද?
මේ කාරණාව අද පමණක් නොවෙයි, කවදත් සමාජයේ සිදු වෙච්ච දෙයක්. නූපාගේ කතාව සිදුවී වසර ගණනාවක් පමණ ගත වී තිබුණත්, එය තවමත් ඒ ආකාරයෙන් ම සිදු වෙනවා. මේවාට කිසිදු කලෙක කිසිදු විසඳුමක් නෑ. නීතියකුත් නෑ කියලයි මම හිතන්නේ.
ජපන් ජාතික නළුවකු සමග රංගනයකට දායක වීම ඔබට දැනුණේ කෙසේද ?
ජපන් ජාතිකයකු සමග රංගනයක දායක වීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වෙනවා. මම ඉගෙන ගත්ත ජපන් භාෂාව ප්‍රායෝගිකව ගළපා ගන්නට මෙහිදී මට හැකියාව ලැබුණා. ජපන් ආගමික හා සංස්කෘතික පරිසරය මම එයාකාරයෙන්ම දුටුවා. වින්දා. ගත කළා. මේ සිනමාපටයේ නිෂ්පාදන කටයුතු වසර අටක් තිස්සේ සිදු වුණා. ජපානයේ වසරක් තුළ සිදුවන ඍතු හතරම මෙහි රූගත කිරීම් ෂිනානෝ ගංඉවුර දෙපස සිදු වුණා. සකුරා මල් පිපී තිබුණු වසන්ත කාලය තරම් මගේ සිතේ සතුට මැවුණු කාලයක් තවත් නෑ. ජපන් ජාතිකයන් සැමවිටම එකිනෙකාට ගෞරවයෙන් සලකන ජාතියක්. මේ සංස්කෘතිය සමඟ අපේ සංස්කෘතිය හා ආගමික පරිසරය පෑහෙන නිසා මම ජපන් භාෂාව හදාරා තිබීම නිසාත් මට මෙහි රංගන කටයුතු අසීරු වුණේ නෑ. ජපන් ජාතිකයන් සෑම විටම නිර්මාණකරණයකදී ඒ තුළ සිටීමත්, මම ඒ ගැන හොඳ අධ්‍යයනයක සිටීමත් නිසා සිනමාපටයේ රංගන කට යුතු අසීරු වුණේ නෑ. ස්වභාවික සුන්දර දර්ශන තලවල රංගනයේ නියැළෙන්න සිදුවීම නිසා මට සතුට ගෙන දෙන්නක් වුණා.
ජපානයට ගිය නූපාට සිදු වන්නේ මසායා සං පිඩනයට ලක් විමනේද ?
මසායා සාං හේතුවෙන් නූපා පිටින් විට ගෘහස්ථ සිරකාරියක් බවට පත්වෙන අවස්ථා තිබුණා. නූපාට වඩාත් අවශ්‍යව තිබුණේ විවාහයෙන් පසු දරුවකු ලබා ගැනීමයි. එය මසායා සං ගෙන් ලබා ගන්නේ කෙසේද කියා ඇය බොහෝ සේ කල්පනා කළා. අනතුරුව ඇගේ උත්සාහය මත කෙසේ හෝ දරුවකු පිළිසිඳ ගනී. ඒ ගැහැනු දරුවෙක්. ඇය නමින් කසුනියි. ගෙදර දොරේ අගහිගකම් වෙනුවෙන් සහ ඒකාකාරී ජීවිතයෙන් මිදීමට රැකියාවක් සොයා ගත්තා. මේ අතර අනපේක්ෂිත සිදුවීම් ද සිදු වෙයි. ඇය සෑම විටම ආගමික පසුබිමට නැඹුරු විය. ඒත් මසායා සංගෙන් නොලැබෙන දේ අතරමගදී හමුවන ශ්‍රී ලාංකික ළාබාල තරුණයකු වන සුමාල්ගෙන් ලබාගැනීමට යයි.නූපා නොදත් බොහෝ දේවල් පසුවයි ඇයට දැනගන්නට ලැබෙන්නේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇය නැවත වරක් ගැබිනියක බවට පත්වීමයි. ජපානෙදි හමුවූ එකම ජපන් යෙහෙළිය නූපාට දුකේදීත් සැපේදීත් ළඟ සිටී. මසායා සංස්කෘතිය විසින් තම පවුලේ ගෞරවය රැක ගැනීමට අරගල කරයි. ඒ නිසා නූපාට දෙවැනි වර පිළිසිඳගත් දරුවාට මෙලොව ජනිත වීමට ඉඩ නොදී මට තීරණය කරයි. එයින් කම්පිතව නූපා සියල්ල හැරදා සියදිවි හානි කර ගන්නට පෙලඹෙයි. ඊට ප්‍රසිද්ධ ජපානයේ ඖකියනාරා වනාන්තරයට යයි. එහිදී නූපාට තම කුස තුළ දරුවා සහ ජීවත්ව සිටින කසුනිගේ හඬ ගසන අයුරු ඇසෙයි. ඇය ආපසු හැරෙයි. මට මෙහි ඇතුළාන්තය අන්තය නොපෙනෙන තැනක ඇතැයි සිතෙනවා. එහෙත්. ඒ රුප රාමු තුළ ජිවත් වුණු නුපා නම් අම්මාට දරුවන් නැති කර ගැනීමට කිසිසේත් අවශ්‍ය නැති බව මෙහි කතාන්දරය තුළ කියවෙන බවයි මට කියන්න තියෙන්නේ.
මීට පෙර ඔබ රංගනයෙන් දායක වූ චරිතයන්ට නූපා අභියෝගයක් ද?
මට සෑමවිටකම ලැබුණේ අභියෝගාත්මක චරිතයි. ඒ සෑම චරිතයකටම මම සාධාරණයක් ඉටු කළා කියලා හිතනවා. ඕනෑම රංගන ශිල්පිනියක් රඟපාන්න කැමැති චරිතයක් වේවි නූපාගේ චරිතය. නමුත් ලොකුම අභියෝගය වුණේ නවල් එකේ නූපායි. ඒත් නවල් එක පසෙකලා තිරපිටපතේ සටහන් වුණු අධ්‍යක්ෂ වරයාට අවශ්‍ය නූපාට සාධාරණයක් ඉටු කළා කියලා මම හිතනවා. අධ්‍යක්ෂවරයා සතුටු වෙනවා කියන්නේ, මම චරිතයට සාධාරණයක් ඉෂ්ට කරා කියන එකයි. සමහරක් මට ලැබුණු චරිත මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ චරිතයට අහවල් කෙනා සුදුසුයි කියලත් මම යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනා කළ සියලුම දෙනා මේ වන විට සම්මානයටද පාත්‍ර වෙලා තියෙනවා. එය මට මහත් සතුටක්. කන්දක් සේමා සිනමාපටයෙ නූපා ඇත්තටම මට අභියෝගයක් නොවෙයි. ඒක මම ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ ඉතා සාධාරණ චරිතයක් විතරයි කියලයි මම නම් හිතන්නේ.
නූපාට පසුව ඔබගේ ඉදිරි වැඩකටයුතු කොහොමද ?
කන්දක් සේමා සිනමාපටයේ ප්‍රචාරණ කටයුතුවලින් පසුව බාරගෙන තිබෙන චිත්‍රපට දෙකක රූගත කිරීම් සිදු වෙන්නට නියමිතයි. ඉදිරියට එන්නට තියන සිනමාපටය තමයි සෙවණැලි. මම කිසි දෙයක ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම ප්ලෑන් කරලා වැඩ කරන්නෙත් නෑ. ඒ සියල්ලට මුහුණදීම තමයි මම කරන්නේ. අහස් මාලිගාවල ජීවත් වෙනවාට වඩා පොළොවේ පය ගහලා ජීවත් වීමටයි මම කැමති. ඒ නිසාම නිසාම මම කියන්න කැමතියි, කන්දක් සේමා නවකතාවට සහ නූපාටත් ආදරය කළ සියලු දෙනාටත් නිරෝෂා පෙරේරාට ආදරේ කරන අයටත් නොවැම්බර් 02දා සිට ඇරඹුණ කන්දක් සේමා සිනමා සිත්තම රස විඳීන්න කියලයි.
සේයාරූ - තිලක් පෙරේරා