මගේ කලා ජීවිතයට වසර 37යි

ප්‍රකට සිනමා මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්ත
ඔක්තෝබර් 26, 2023

කුඩා ළදරුවකුව සිටියදී මෙරට නිළි රැජින රුක්මණී දේවියගේ තුරුලේ නැළවෙන්නට තරම් ඔහු වාසනාවන්තයකු විය. ඒ ඔහුගේ නිවෙසට නිතර දෙවේලේ පැමිණි රුක්මණී දේවිය මේ හුරු බුහුටි කොලු පැටියාට බෙහෙවින් ආදරය කළ නිසාමය. රැක්මණීගේ පැමිණීම මේ නිවෙසට ආගන්තුක නොවූයේ සිනමාවට නෑකම් කී තවත් සමීපතමයකු මේ නිවෙසේ විසූ නිසාය. ඇය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබෙර්ය. උදුලාගේ නිවෙසේ වූ මේ හුරු බුහුටි කොලු පැටියා වූයේ ඇයගේ නැගණියගේ පුතු වූ උපුල් නිශාන්තය.

වර්තමාන කලා ලෝකයට උපුල් නිශාන්ත කවුදැයි කියා හඳුන්වා දෙන්නට අටුවා ටීකා අවශ්‍ය නොවේ. මේ සියලු දෙනාම ඔහු කවුදැයි හොඳීන් හඳුනති. ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු. පුවත්පත් කලාෙවිදියකු සේම වත්මනේ ඔහුගේ ප්‍රධානම භූමිකාව වනුයේ සිනමා මාධ්‍ය සම්බන්ධීකාරයෙකු වශයෙනි.

අද දක්වා පැමිණි මේ ගමන් මඟ තුළ ඔහුට සමරන්නට දිගු අතීතයක් ඇත්තේය. සිය කලා ජීවිතේ වසර 37ට වැඩි කාලයක් ගෙවමින් පැමිණි මේ ගමන් මඟ තුළ බොහෝ දුෂ්කරතා, කැප කිරීම්, හිත් රිදිම්, දුක් කඳුළු, සතුටු කඳුළු මැද පැමිණී අතීතයට ඔහු බෙහෙවින් ආදරය කරන්නේය. ඉතිහාසයක් නොමැති මිනිසෙකුට වර්තමානයක් හෝ අනාගතයක් ද නැත්තේ යැයි කියන්නේ නිකම්ම නිකං නොවේ.

ඉදින්, උපුල් යනු එවන් අතිදුෂ්කර අතීතයක මතක සැමරුම් ආදරෙන් සිහිපත් කරන්නෙකි. එදා ඒවා දරාගත නොහැකි දුෂ්කරතාවන් වුවද, අද සිහිපත් කරත්දි අභියෝග මැද පැමිණි ගමන මහත් ආඩම්බරයක්ම වන්නේය. ඔහුගේ වර්තමානය සහ අනාගතය පැහැපත් වන්නේ ද, එවන් අතීතයක් ඔහුට හිමි වූ නිසාය.

උපුල් නිශාන්තට ‘කලාව‘ යන්න ළදරුවියේ සිටම අමුතු දෙයක් නොවූයේ සිය පවුලේ උරුමයක් ලෙසින් එය ලද නිසාය. එවකට සිනමාවේ, වේදිකාවේ දැවැන්ත චරිත ඔහුගේ නිවෙසේ නිතර දෙවේලේ දකින්නට ලැබීම ද කුඩා කල පටන්ම ආයාසකින් තොරව ඊට ආසක්ත වන්නට ඔහුට හේතු සැපයූ කරුණු කාරණා වන්නට ඇත.

‘ඇත්තටම කිවුවොත් මම කලාව පැත්තට නැඹුරු වෙන්නට මූලික හේතු කාරණා සපයන්නේ මගේ නිවෙසින්මය. අපි පුංචි කාලේ අපේ ගෙදරට නිතර රුක්මණී දේවිය ආවා ගියා. අපි කියන්නේ ඇයට ඩේසි ඇන්ටි කියලා. ඒකට හේතුව මගේ අම්මගේ අක්කා තමයි උදුලා දාබරේ කියන්නේ. එවකට ඇය සිනමාවේ ජනපි‍්‍රය නිළියක්. මට මතකයි පුංචි කාළේ ඩේසි ඇන්ටි ආවම මාව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මට මතකයි ලොකු අම්මා මාව සම්මාන උත්සව වලට අරගෙන යනවා. මම ඒ වගේ ගිය අමතක නොවන සම්මාන උත්සවයක් තමයි 1987 දී විජය කුමාරතුංග නැතිවෙන්න ඉස්සර කරපු සරසවිය සම්ිමාන උළෙල ඒ කාලේ සම්මාන උළෙලකට යනවා කියන්නේ දිව්‍ය ලෝකේ යනව වගේ තමයි. ඒ තරම් හරිම ලස්සනයි.’

කුඩා කල පටන්ම ඔහුට ලැබෙන මේ අභාසය නිරායාසයෙන්ම ඔහුව කලාව දෙසට යොමුකර වන්නට හේතුවක් විණ. සිය ලොකු අම්මාගේ රංගනය සේම, නිතර දෙවේලේ නිවෙසට පැමිණෙන කලාකරුවන්ගේ රඟසොබා දැකීමෙන් උපුල් ගේ සිතේ ද රංගනයට ආශාවක් උපදින්නේය.

‘මම නිතර අහපු දැකපු දේවල්වල හැටියට මටත් හරිම ආසාවක් උපදිනවා රඟපාන්න. මම හිතන්නේ එතකොට 1987 වසර විතර වෙන්න ඕන. නමුත් කාගෙන්වත් මට ඒකට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒත් එක දවසක් ලොකු අම්ම රඟපාන නාට්‍යයකට ඇය මාව තනිවට අඬගහගෙන ගියා. එතනදී කෙනෙක් මගේ ළඟට ඇවිත් ස්ක්‍රිප්ට් එකක් දීලා ‘මල්ලි, ඔයා මේක ප්‍රොම්ප්ට් කරන්න බලන්න කිව්වා. ඒක මම කරපු නිසා වෙන්න ඇති මම ප්‍රොම්ප්ටර් කෙනෙක් විදිහට ඒ නාට්‍යයේ කටයුතු කරන්න පටන් ගන්නවා. ඒක තමයි මම කලාවේ කරපු පළවෙනි රැකියාව. ඉන් පස්සේ මට ප්‍රොම්ප්ටර් කෙනෙක් විදිහට නාට්‍ය රැසකම කටයුතු කරන්න ලැබෙනවා.’

උපුල්ට සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ පළාත්වල පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබීමට සිදුවේ. ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ කරනුයේ 1983 දීය. ඔහුගේ පියා එවකට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. එබැවින් ඔහුගේ මාරුවීම් හමුවේ උපුල්ට ද ඒ ඒ පලාත් හි විදුහල් වෙත ඇතුළත් වී අධ්‍යාපනය ලබන්නට සිදුවිණ. ඒ අනුව ඔහු ළදරු වියේදී කුලියාපිටිය නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයෙනුත් ඉන්පසු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙනුත්, නැවත වතාවක් බිබිල දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලබන්නට සිදුවිණ. පාසල් අධ්‍යාපන කටයුතු හමාරකොට සිටියදී ඔහු සිය ලොකු අම්මා සමඟ පැමිණ කලාවට එක් වන්නේය.

‘මම ප්‍රොම්ප්ටර් කෙනෙක් විදියට වැඩ කළාට පස්සේ මේ ක්ෂේත්‍රයේ මට විවිධ අවස්ථා ලැබුණා. සමහර නාට්‍යවල ප්‍රධාන නළුවෝ කාර්ය බහුල වුණාම නාට්‍යවලට එන්නෙ නෑ. ඒ අවස්ථාවලදී චරිතයේ ස්වභාවය දන්නේ ප්‍රො‍ම්ප්ටර් නිසා ඒක මට ලැබෙනවා. අනිත් පැත්තෙන් මගේ පෙනුම නිසා. උස, මහත ශරීරය වගේම මට සින්දු කීමේ හැකියාවකුත් තිබුණ නිසා ඒක වඩාත් පහසු වුණා. කොහොම වුණත් මාව මුලින්ම නාට්‍යයකට තෝරගන්නේ උපාලි අත්තනායක 1989 දි. ඒක මහා පරිමාණයෙන් කරපු නාට්‍යයක්. එකේ පොලිස් නිලධාරියකුගේ චරිතයකට මාව තෝර ගන්නවා. මේ නාට්‍යයට ගීත 14ක් ඇතුළත් වුණා. මට සින්දු කීමේ හැකියාවක් තිබුණ නිසා මම කෝරස් කියන්නත් හිටියා. ඒ ගායක කණ්ඩායමේ හිටපු අය තමයි ඇන්ටන් ජූඩ්. රොඩ්නි වර්ණකුල ශිරෝමිකා ප්‍රනාන්දු වැනි අය. ප්‍රධාන නළු නිළියන් තල තුනක පිරිස් මේ නාට්‍යයට සම්බන්ධ වුණා. හුණුවටයේ කතාවේ හිටපු ජයන්ත කරුණාරත්නලා චූලා කාරියවසම්ලාත් හිටියා. ඊට පස්සේ විජේරත්න වරකාගොඩ, රොජර් සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ගාමිණී හෙට්ටිආරචිචි වැනි දැවැන්තයෝ රැසක් හිටියා. මම කළේ බොහොම පොඩි චරිතයක්. ඊට පස්සේ සුරංජන් විජේනාමගේ ‘මනෝ රාත්‍රිය’ නාට්‍යයේ රඟපෑවා. සැනට් දික්කුඹුර ආපු නැති දවස්වලට ඔහුගේ චරිතය කරන්න ලැබුණා. ඊට පස්සේ මියුරි සමරසිංහගේ නාට්‍යයක පාලිත සිල්වා නොපැමිණි දවස්වල ඔහුගේ චරිතය කළා. බර්ටි ගුණතිලක, ලිලියන් එදිරිසිංහ වැනි අති දැවැන්තයෝ එක්කත් වැඩ කරන්න ලැබුණා.’

මිනිස්සුන්ගේ දෛවය තීරණය වනුයේ හරි අපූරු ආකාරයටය. උපුල්ට ඕනෑ වූයේ නළුවෙකු වන්නටය. එහෙත් අහම්බයකින් ඔහු නාට්‍යයක ප්‍රොම්ප්ටර් කෙනෙකු වී පසුව සිය රඟපෑමේ හීනය ද සැබෑ කරගන්තේය. 1993 වසර පමණ වන විට රංගනයෙන් සහ ප්‍රොම්ප්ටර් රැකියාවෙන් සමුගන්නට උපුල් තීරණය කරන්නේය. සැබැවින්ම ඔහු මෙම කාලය ඇතුළත පසුකරගෙන ආවේ අතිශය දුෂ්කර ගමනකි. ප්‍රොම්ප්ටර් කෙනෙකුට එකල ගෙවූ මුදල වුයේ රු 150/-ක් වැනි සුළු මුදලකි. ඒ සියල්ලටමත් වඩා වේදිකාව මත දී ඒ වෙනුවෙන් බොහෝ දුක් විඳීය යුතුය. බොහෝ විට ප්‍රොම්ප්ට් කරනුයේ ඇඳුර මැද වන කුඩා ටෝච් එළියකිනි. එසේත් නොමැති නම් දල්වා ගත් ඉටි පන්දමක ආලෝකයෙනි. ඉටිපන්දම දැල්වෙනවාට වඩා නිවෙන අවස්ථා වැඩිය. මේ දුෂ්කරතා නිසාම ඔහුට ස්ථිර රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය මතුව එන්නේය.

‘මට තේරෙනවා කලාවෙන් ජීවත් වෙන්න තියෙන අමාරුකම. ඒ හින්දම මට රස්සාවක් කරන්න ඕන වෙනවා. ඒ අනුව තමයි මම ඩී.බී. නිහාල්සිංහයන්ගේ කැමරා යුනිට් එකට බැදෙන්නේ. එතැනදි මම පුංචිම තැනකින් පටන් අරගෙන මාස 03ක් වගේ ඇතුළත කැමරා ඇසිස්ටන්ඩ් කෙනෙක් බවට පත්වෙනවා. ඒ කාලේ ඔහුගේ කැමරා යුනිට් එක තමයි ලංකාවේ මුල්ම පෙළේ තිබුණේ. මගේ වාසනාවට මට ඒ කාලේ හිටපු හේමපාල තලේ, ලාල් වික්‍රමාරච්චි ජේ.ජේ. යෝගරාජා වැනි ප්‍රවීණතමයෝත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම කිව්වොත් ඒක මගේ ජීවිතේ, විශාලතම අධ්‍යයන මධ්‍යස්ථානය බවට පත් වෙනවා. මම බොහෝ දේවල් එතැනින් ඉගෙන ගත්තා. ඉතින් ඔය කාලෙම තමයි මම පොඩි කැමරාවක් අරගෙන ෂුටිං යනකොට නිශ්චල ඡායාරූපකරණයේ යෙදන්න පටන් ගත්තේ. මගේ ෆෝටෝ දැකපු එක්කෙනෙක් දවසක් මට කිව්වා. ‘මල්ලි අපේ පත්තරේට ෆොටෝ එකක් එවන්න කියලා. ඒ අනුව තමයි මගේ පළමු කවරය 1990 මුල් භාගයේ ‘රතුරෝස’ කියන පත්තරේ පළවෙන්නේ. තනුජා දිල්හානි කියන නිළියගේ කවරය, ඒක ඉතින් එදා ඉඳලා අද වෙනකොට මම ඡායාරූප ශිල්පියෙක් විදියට හොඳ නමක් හදාගෙන දිගු ගමනක් ඇවිත් තිබෙනවා. ක්ෂේත්‍රයේ විවිධ කටයුතු වල නිරතවෙලා හිටියත්. මම වැඩිම කාලයක් වැඩ කරල තියෙන්නේ ඡායාරූප ශිල්පියෙක් විදියට. ඇත්තටම ඒකට මුල් වුණේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්. මේ මොහොතේ ඔහුව බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඔහු අපට සෘජුවම ඡායාරූප ශිල්පය ඉගැන්නුවේ නැති වුණාට ඔහුගේ ෆිල්ම් යුනිට් එක ඇතුළේ අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. කැමරාකරණයේදී මම සිනේ කැමරාමන් කෙනෙක් වෙන තැනටම ඉගෙන ගත්තා. මම සිනේ කැමරාමන් කෙනෙක් නොවුණාට ඩොකියුමන්ට්‍රි, කීපයක්ම අධ්‍යක්ෂණය කරලා කැමරාකරල තිබෙනවා.

උපුල් නිශාන්ත මෙරට සුප්‍රසිද්ධ චරිත රැසක නිල ඡායාරූප ශිල්පියාය. ප්‍රවීණ රංගවේදී විජය නන්දසිරි මිය යන තුරුම ඔහුගේ නිල ඡායරූප ශිල්පියා වූයේ ඔහුය. වරක් ඔහුගේ නාට්‍ය උත්සවයකදී නිල ඡායාරූප ශිල්පියා වශයෙන් ඔහුට පෝට්රේට් ඡායාරූපයක් වේදිකාව මතදී ප්‍රදානය කළේය. එදින ආරාධිත අමුත්තකු වශයෙන් පැමිණ සිටි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්, ඔහුගේ මෙම ඡායාරූපය දැක, ‘මට තමුන්නාන්සේ ගැන සතුටුයි. මේ තමයි නියම පෝට්රේට් මේ තමයි විජය නන්දසිරි කියා ඔහුට සුබ පැතුවේය. එතැන සිටි අනෙකුත් සියලු නළු නිළියන් උපුල්ට පවසා සිටියේ තවත් ඔබට සම්මාන, ඇගයීම් අවැසි නැත කියාය. නිහාල්සිංහයන්ගේ මේ වචන ටිකම සම්මාන සියල්ලටම වඩා වටිනවා කියාය.

‘මම මේ කාලය ඇතුළත අන්ත දුක් වින්දා. කැප කිරීම් කළා. නමුත් මම හරියටම මගේ රස්සාව ඉගෙන ගත්තා. ඡායාරූපකරණය ගැන විතරක් නොවෙයි මම ශබ්ද තාක්ෂණය ගැනත් ඉගෙන ගත්තා. අදටත් මම ඉගෙන ගන්නවා. මේවා කරගෙන එන ගමන් මම රඟපාන එක නැවැත්තුවෙත් නෑ. අනෙක් පැත්තෙන් මම වාණිජ ඡායාරූප ශිල්පයෙක් විදියට විවිධ ආයතනත් සමඟ වැඩ කරන්න පටන් ගත්තා. ඒ අතර ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ ගේ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ගේ නිල ඡායරූප ශිල්පියා විදියට වැඩ කළා. මේ විවිධ සබඳතාත් එක්ක වෙනස් වෙනස් ආකාරයේ තලවල මට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.

වර්තමානයේ වගේ නොවෙයි ඒ කාලේ අපි වැඩ කරත්දි ලොකු වෙහෙසක්. කැපවීමක් තියෙන්න ඕන. දැන් වගේ ඩිජිටල් ඡායාරූප ශිල්පියෙක් නොවෙයි ඒ කාලේ තිබුණේ. දැන් නම් ඕනනෙකෙකුට කැමරාවක් අරගෙන ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි අපේ කාලේ එහෙම බෑ. නිහාල්සිංහ සර් හැමදාම කියන දෙයක් තමයි හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම් වෙන කෙනෙකුට වඩා හොඳ දැක්මක් තියෙන්න ඕන කියන එක. මම විශ්වාස කරනවා මට ඒ ඇහැ ඒ දැක්ම තිබුණා කියලා. ඒ නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

ඡායාරූප ශිල්පියකු වශයෙන් නමක් දිනාගත් උපුල්ගේ ඡායාරූපවලට හොඳ ඉල්ලුමක් ද ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. එකල ලේක්හවුස් පුවත්පත් ද ඔහුගේ ඡායාරූපවලට බොහෝ විට ඉඩ වෙන් කළේය.

‘ලේක්හවුස් පුවත්පත්වල හිටි තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුනිල් මිහිඳුකුල වැන්නෝ ඒ කාලේ මට ගොඩාක් අත දුන්න අය. ඒවගේම අර්නස්ට් වඩුගේ, රතුරෝස කර්තෘ එච්.එම්. රත්නායක මේ හැමෝම මට හුඟාක් උදව් කළා. අර්නස්ට් වඩුගේ මහත්මයා මුණ ගැහුණාට පස්සේ මගේ හැකියාව අඳුර ගෙන ඔහුගේ පත්තරවල වැඩ කරන්න මට අවස්ථාව දෙනවා. මගේ ඡායාරූප පළ කළා වගේම පස්සේ කාලෙකට මට ලියන්නත් අවස්ථාව දෙන්නේ එතුමා. ඊට පස්සේ ඉරුදින පුවත්පත හරහා මට ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා මහතා ලියන්න අවස්ථාව දෙනවා. මම අවුරුදු දෙකක් ඒ පත්තරයට නොකඩවා ලියනවා. පස්සෙ කාලෙක මට බන්දුල පද්ම කුමාර මහත්මයාත් කතා කරනවා එකතුවෙලා වැඩ කරමු කියලා. නමුත් ඒ වෙනකොට මම කැමැති වුණේ නෑ ඒක තැනකට කොටුවෙන්න. එහෙම වුණා නම් මා තුළ තිබුණ විවිධ හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙන්න තිබුණා. කොහොම නමුත් මට ලැබුණ ලොකුම වාසිය තමයි ලංකාවේ ඉන්න සුවිශේෂීම කලාකරුවන් ටිකත් සමඟ වැඩ කරන්නට අවස්ථාව ලැබීම. ඔය අතරේම මට ‘රිදී රැයක්’ ප්‍රසංගයේ නිල ඡායාරූප ශිල්පියා විදියට වැඩ කරන්න ලැබෙනවා. එතැනදි මම පරම්පරා කිහිපයක කලාකරුවන් සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඊළඟට ලතා වල්පොල මහත්මියගේ ‘මේ සෞම්‍ය රාත්‍රිය, හිරු ගෝල්ඩන් ස්ටාර් වැනි ප්‍රසංගයන් මට ලැබෙනවා. හිරු සමඟ වැඩ කරත්දි ඉන්දීය නළු නිළියන් රැසකගේ ඡායාරූප ගන්න මට අවස්ථාව ලැබුණා. අනිල් කපූර්, බිපාෂා බාසු, මධුරි ඩික්සිත් වැන්නෝ මගේ හීන වල හිටපු අය.’

අද මට ආඩම්බරයි කියන්න ලංකාවේ ඕනෑම පුවත්පතකට මගේ නමින් කවරයක් කරන්න පුළුවන්. ඒ තැනට මම ඇවිල්ල ඉන්නවා. දෙවැනි කාරණය මම දිගු කලක් ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා හොඳ විනයක් පවත්වාගෙන ගියා. ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින් විනායනුකූලව මම මේක ඇතුළේ ලොකු දුරක් ආවා. මගේ ජීවන ගමනේ 57න් 37ක්ම කලාව ඇසුරේ ගෙවී හමාරයි.’

උපුල්ගේ ජීවිත කාලයෙන් හතරෙන් තුනක්ම ගෙවී ගොස් ඇත්තේ කලාව සමඟය. ඒ තුළ විවිධ භූමිකා නිරූපණය කරමින් ඔහු පැමිණි මාවත දෙස ආපසු හැරී අද ඔහු බලනුයේ මහත් වූ සොම්නස් සිතිනි. ඒ තුළ බොහෝ දුක්. සේ සුසුම් සේම සතුටු කඳුළු ද රාශියක් වන්නේය. එහෙත් සතුටට කාරණය වන්නේ මේ සියල්ල විඳ දරා ගනිමින් ඔහු අද කිසියම් වූ ජයග්‍රාහී ගමනක නියුතුව සිටින බැවිනි. මේ ජයග්‍රාහි මාවත දෙපස ඔහුට ශක්තිය සැපයූුවන් බොහෝය. ගුරුවරුන්, අත හිත දුන්නවුන් බොහෝය. ඒ සියලු දෙනාම අද ඔහු සිහිපත් කරනුයේ නොමියෙන සෙනෙහසකිනි. වත්මනේ ඔහුගේ ප්‍රිය බිරිය හා දරුවන් ද මේ ගමනෙහි කොටස් කරුවන්ය. කලා කටයුතු වෙනුවෙන් නිදහස් කරන බිරියක සිටීම ද සැමියකුගේ කලා ගමනේ ජයග්‍රාහීත්වයට සුවිශේෂී කාරණයකි. ඒ සැනසීම උපුල් නිශාන්ත නම් වූ ඔහුට, ඔහුගේ ගමනට සදා ආශිර්වාදයක්ම වූයේය.

වත්මනෙහි ඔහු නියුතු වනුයේද සිනමාව වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යවශ්‍යම කාර්ය භාරයක් වෙනුවෙනි. එදා මෙදා තුර ලංකාවේ චිත්‍රපට කර්මාන්තය තුළ මාධ්‍ය සම්බන්ධීකරණ’ යන තනතුර වෘත්තියක් ලෙස තිබුණක් නොවීය. එය වෘත්තියමය තනතුරක් බවට පත්කිරීමේ කාර්ය භාරයේ පෙර ගමන්කරුවකු ලෙසින් උපුල්ව හැඳීන්වීම එක් අතකින් යුක්ති යුක්ත යැයි මට හැඟේ. ඔහු මේ තනතුර සඳහා කිසියම් වූ වෘත්තීය වටිනාකමක් නිර්මාණය කළේය. එසේම ඒ වටිනාකමට සරිලන ආකාරයෙන් එම කාර්ය භාරය, නිසි ක්‍රමවේිදයකින් පැහැදිලිව සිදු කිරීමට ඔහු නිරන්තරව කැප වන්නේය. ලංකාවේ වෙසෙන ප්‍රවීණ, ජනප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රාශියක් සමඟ ගෙවුණු කාලය පුරා ඔහු මේ ක්‍රියාදාමය මැනවින් කළමනාකරණය කළේය. එසේම ඉදිරියේද ඒ වෙනුවෙන් කැපවෙමින් එම වෘත්තීයමය භාවය වෙනුවෙන් කැපවෙන්නට ඔහු නිරන්තර උත්සාහයක යෙදෙන්නේය. සිනමා කලාව වෙනුවෙන් කැපවෙන එයට සදා ආදරය කරන්නවුන් වන අපේ ආදරය ගෞරවය ද සදා ඔබට හිමිවන බව පවසනුයේ පුරා වසර ගණනක් ඔබ කලාව වෙනුවෙන් කළ මෙහෙවරට ආචාරය පුද කරමිනි.

 

[email protected]