‘ගැහැනු ළමයි’ කුසුම්ට මුලින්ම තෝරගත්තේ මාවයි

ප්‍රකට ලේඛිකා, ගේය පද රචිකා පී‍්‍රති රන්දෙණිය
ඔක්තෝබර් 26, 2023

"එකමත් එක රටක" ඉකුත්දා ප්‍රීති රන්දෙණිය විසින් එළිදක්වන ලද ළමා කතාවයි. ලේඛිකාවක, ගීපද රචිකාවියක ලෙස ඇය මෙතෙක් පැමිණි ගමන්මඟ පිළිබඳවත් ඇගේ රංගන කාර්යයේ යම් යම් සොඳුරු ඉසව් පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් ඇය සරසවිය හා මෙසේ එක්වූවාය.

 

ඔබ ලියූ නවතම ග්‍රන්ථය පිළිබඳව හඳුන්වා දුන්නොත්...?

මගේ නවතම ග්‍රන්ථය "එකමත් එක රටක" නමින් යුත් ළමා පොතක්. පොඩි ළමයි වෙනුවෙන්ම ලියපු පොතක් කියලා මේක හඳුන්වා දෙන්න පුළුවන් .මගේ සිතුවිල්ලක් ලේඛනයට හැරවීමක් කළේ.

"එකමත් එක රටක" ලියන්න සිතුවිල්ල පහළවුණේ කෙසේද....?

මට සාමාන්‍යයෙන් ළමා පොත් ලියන්න දක්ෂතාවක් තියෙනවා. මගේ "පුංචි ආච්චි" පොත දසවතාවක් පමණ මුද්‍රණය වෙලා තියෙනවා . එය පුස්තපාල පොතක් ලෙසද අනුමතව තිබෙනවා . හැම අවුරුද්දේම එහි පිටපතක් එළිදක්වනවා. ඒනිසා මට හිතුණා ළමයි මූලික කරගෙන තව පොතක් ලියන්න ඕන කියලා.

ඔබ ලේඛන කලාවට පිවිසි අයුරු පැහැදිලි කළොත් ...?

මම 1974 විවාහ වුණා. 1976වගේ ලියන්න පටන්ගත්තා . ඒත් ඒවා ලොකුවට එළිදැක්වුණේ නැහැ. මුලින්ම මම කවි තමයි ලිව්වේ. කවි තුළින් තමයි ලේඛනයට මූලාරම්භය තැබුවේ . ඒ සඳහා මාව පෙලඹුවේ ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී රංජිත් කුමාර මහතා. ඉස්සර මම ගෙදර කාන්සියෙන්, පාළුවෙන් සිටිය කාලයක් තිබ්බා. එහෙම කාන්සියෙන් , පාළුවෙන් ඉද්දී මොනවාහරි ලියන්න ඕන කියලා හිතුණා. ළමයි ගොඩක් ඉන්න පවුලක හැදුණු කෙනෙක් නිසා මට ලොකු තනිකමක් දැනුණා. මගේ සැමියාත් ඒ කාලයේ කලා කටයුතු වෙනුවෙන් නිතරම එළියෙමනේ හිටියේ. මම මගේ හිතට එන දේ ඔහේ සටහන් කළා. ඒත් මම දන්නේ නැහැ ඒවා සින්දුද, ගීතද , නිසදැස්ද කියලා .ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා අපේ ගෙදර ආව මොහොතක මගෙන් ඇහුවා "නිකං ඉන්න වෙලාවට මොකද ප්‍රීති කරන්නේ..?" කියලා. මම කිව්වා "මම දන්නේ නැහැ මේවා හොඳද කියලා මගේ හිතට එන දේ ලිව්වා" කියලා ඔහුට මම ඒ ලියපුවා පෙන්නුවා . ඔහු මම ලිව්ව දේවල් බලලා කිව්වා "හරිම ලස්සනයිනේ, හොඳ නිර්මාණාත්මක බවක් මේවායේ තියෙනවා , ඒ නිසා දිගටම ලියන්න" කියලා. ඔහු මම ලියූ කවි ටිකක් අරගෙන ගියා .ඒවා ඔහු පුවත්පතකත් පළකර තිබ්බා.

එසේ ඔබ ලියූ කවි පුවත්පතේ පළවීමත් සමඟ ප්‍රවීණ ගීත රචකයන් ඔබව දිරිමත් කළා...?

ඔව්, ඒ.ඩී. රංජිත් කුමාර මහතා පුවත්පත්වල පළකරපු කවි දැක්ක මහාචාර්ය සුනිල් ආරියරත්න , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ වැනි ප්‍රවීණයෝ කතා කරලා කිව්වා "ප්‍රීති, මේවා හරිම ලස්සනයි , මේවා නැවුම් අත්දැකීම් "කියලා..ඊටපස්සේ ඉතින් දිගටම ලියන්න ආසාවක් හිතුණා .ඔවුන්ගේ සහයෝගයත් මට දිගටම ලැබුණා .මගේ පළමු කවි පොත වූ "කාන්සියට ලියැවුණු කවි" ධර්මසිරි ගමගේ මහතාගේ සහයෙන් එළිදක්වන්න පුළුවන් වුණා .එහි කවරය සකසා දුන්නේ ඒ. ඩී. රංජිත් කුමාර මහතා. "කාන්සියට ලියැවුණු කවි" කියන නම දැම්මේත් ඒගොල්ලෝමයි. බණ්ඩාර ඇහැලියගොඩත් මේ වැඩේට සහභාගී වුණා. ඒ අය තමයි මේ නමත් යෝජනා කළේ.

ඔබේ ගීත රචනා කලාවට වස්තුබීජ සපයාගත් ආකාරය පැහැදිලි කළොත්..? ✍️අධ්‍යයනයකින් තොරව තනිවම ඉන්න ගමන් සිතට ආව සිතුවිලි එක්ක තමයි මම කවි ලියන්න පෙළඹුණේ . මට එදිනෙදා ජීවිතයේ මුණගැසෙන චරිත මුහුණදුන් අත්දැකීම් මම හොඳීන් අහගෙන ඉන්නවා . ඒවා ගැන හිතද්දී නිකම්ම කවි සිතුවිලි මතුවෙනවා .පසුව පොත් කියවලා මගේ ඒ හැකියාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරගත්තා. ගෙදර වැඩට ඉන්න කෙනාගේ කතාව අහද්දී, පොල් කඩන්න එන මනුස්සයාගේ කතාව අහගෙන ඉද්දී ඔවුන් කියන සුළුදේ වුණත් මගේ හිතේ හරියට වැඩ කරනවා . ඒවා මගේ කාව්‍යකරණයට වස්තුබීජ වුණා.

ඔබේ නවකතාකරණය ගැන සඳහන් කළොත්....?

ඔව්, මම දැනට නවකතා 04ක් ලියා තියෙනවා .පළමු නවකතාව "මහගෙදර" කියලා නවකතාවක් . එය එක්තරා පාරම්පරික මහගෙදරක් මූලික කරගෙන තමයි ලියැවුණේ. ඉන්පසුව ලිව්වා " චිත්තානුපස්සනා" නමින් නවකතාවක් .ඒකත් මගේ අත්දැකීමක් මූලික කරගෙන ලිව්වේ .මෙයට තේමා වුණේ කාන්තාවකගේ සිතුවිලි. ඒ කාන්තාව මම දැක තිබෙන කාන්තාවක්. ඇය අවසන් කාලයේ ජීවිතය දැක්ක ආකාරයයි ඇගේ ජීවිතයේ ඇතුළාන්තයයි මම මේ නවකතාවට පාදක කරගත්තේ. ඒ පොත එළිදැක්වුණු අවස්ථාවටත් ඒ කාන්තාව පැමිණියා. තුන්වැනි නවකතාව "කැට කිරිල්ලී". ඒකත් මගේ ජීවිත අත්දැකීමක් . සමස්ත කතාවම ජීවිත අත්දැකීමම නෙවෙයි. අපි ආශ්‍රය කරන අයගේ සිදුවීම් එකතු කරගෙන පරිකල්පනයත් එයට එකතුකරලා තමයි "කැට කිරිල්ලී" ලිව්වේ. ඉන්පසුව "ගිනි" නවකතාව ලිව්වා. ඒකත් කාන්තා චරිතයක් මූලික කරගනිමින් ලියැවුණේ. එහි ගැහැනු චරිත කිහිපයක්ම තියෙනවා. මගේ ජීවිතයට හමුවුණු කෙනෙක් කියපු කතාවක් පරිකල්පනයත් සමඟ මිශ්‍රකරගෙන "ගිනි" බවට පත්කළා.

ළමා කතා නිර්මාණයට ඔබේ දරුවනුත් බලපෑවාද...?

ඇත්තෙන්ම. එතැනදී ළමා කතා ලියන්න පෙලඹුණු විදිහ හරිම අපූරුයි. මම අපේ ළමයින්ට කෑම කවද්දී කතන්දර කියාදෙනවා. හැමදාම එයාලට කතන්දරයක් කියන්නම ඕන. මම කියන කතාවලට එයාලා හරිම ආසයි. අන්තිමට මට කියන්න කතා නැහැ. ඉතින් මම කතා හදලත් කියනවා. එතකොට එයාලා අහනවා මෙච්චර කතා කොහෙන්ද අම්මිට කියලා එතකොට දුව තමයි මට කිව්වේ අම්මිගේ කතා හරිම ලස්සනයි , ඒවා ලියලා තියන්න අපිට ලොකුවුණාම බලන්න කියලා. මට එතැනදී හිතුණා මෙයාලා ඒවාට හරිම ආසයි නේද කියලා . ලොකු වුණාම එයාලා ඒවා බැලුවේ නැහැ. (සිනහවෙමින් )

ඔබ ලියූ නවකතාවලින් වඩාත් කැමැත්තක් දක්වන නවකතාව ගැන කිව්වොත්...?

මම විශේෂයෙන් කැමැතියි මගේ "පුංචි ආච්චි" ළමා කතාවට. ඒක මගේ ජීවිතය වගේ. ඒකේ තියෙනවා ගොඩාක්දුරට මගේ අත්දැකීම් . ඒ පොත විශාල වශයෙන් පාඨකයන් අතරට ගියා. ඉහළින්ම විකිණුණා. අනෙක් නවකතාත් මම පරිකල්පනය සමඟ ලිව්ව නිසා මගේ "පුංචි ආච්චි" තරම් නොවුණත් ඒවාටත් කැමැතියි .

නවකතා ලිවීමේදී ඔබ ගුරුකොටගත් ලේඛකයන් සහ නවකතා මොනවද .?

එහෙම එක්කෙනෙක් කියලා විශේෂයක් නැහැ. හැමෝගෙම ඒවාට කැමැතියි . සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක වගේ අයගේ කතාවලට කැමැතියි. මාර්ටින් වික්‍රමසිංහගේ "ගම්පෙරළිය" වගේ ඒවාටත් කැමැතියි . ඒවගේම නෝබට් අයගමගේ "කාලනදී ගලාබසී" නවකතාවට ගොඩාක් කැමැතියි .ඒක ඉතාම ලස්සන කතාවක්.මටනම් ඒවගේ කතාවක් කවදාවත් ලියන්න බැරිවේවි.

සාහිත්‍ය කෘති පරිශීලනයට ඔබ දවසේ යම් කාලයක් වෙන්කරනවද..?

මට පොතක් හම්බවුණාම කොහොමහරි ඒක කියවලා ඉවරකරනවා. දැන් අපි බෙහෙත් ගන්න ඩොක්ටර් ගාවට යද්දීහරි කාර් එකේ යද්දීහරි කියවන්න යම් වේලාවක් ලැබෙනවා . ඒවගේ අවස්ථාවලදී කොහොමහරි පොතක් කියවලා අවසන් කරනවා

ඔබේ කවි සිතුවිලි පොත් වශයෙන් එළිදැක්වුණු අවස්ථා කිව්වොත්...?

"කාන්සියට ලියැවුණු කවි, ඔබ දැකුමෙන් "වගේ කවි පොත් රැසක්ම මගේ අතින් ලියවුණා.

සිනමා නිර්මාණයකට - ටෙලිනාට්‍යයකට ගීතයක් රචනා කරන්න අදහසක් නැද්ද...? ආරාධනාවක් ලැබුණොත් ලියන්න ආසවෙන් ඉන්නවා. මම චිත්‍රපට 02කට පමණ ගීත ලියා තිබෙනවා. චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටයකටයි එච්.ඩී. ප්‍රේමරත්නගේ චිත්‍රපටයකටයි මම ගීත ලියලා දීලා තියෙනවා

චිත්‍රපට තිර රචනයක් ලියන්න ආසාවක් නැද්ද...?

තිර රචනා කලාව ගැන මම ඉගෙන්ගෙන නැහැ. "පුංචි ආච්චි" පොතට පෙරවදන ලිව්වේ ආචාර්ය තිස්ස අබේසේකර මහත්තයා ..ඔහු ඒ පොතට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඔහු කියා තිබුණා මේක චිත්‍රපටයකට සුදුසුයි කියලා. ඊටපස්සේ මට එන්න කියලත් තිබ්බා. සුමිත්‍රා පීරිස් මහත්මිය ඒකෙන් ළමා චිත්‍රපටයක් කරන්න ආසයි කිව්වලු. මම ගිහින් සුමිත්‍රා පීරිස් මහත්මියවත් හම්බවුණා. ඉතින් මට ඒක හරි සතුටුදායක දෙයක් වුණා. ඒකට ළමයින්වත් තෝරාගෙන හිටියේ. ඒත් චිත්‍රපටය කරගන්න බැරිවුණා. තිර රචනය ලියාගන්න බැරිවුණේ තිස්ස අබේසේකර මහත්තයා මිය යාමත් එක්කයි. මම අවසානයට ලිව්ව "ගිනි" නවකතාව චිත්‍රපටයකට කරන්න අධ්‍යක්ෂවරයෙක් මගෙන් ඉල්ලුවා චිත්‍රපටයකට කරන්න කැමැතියි කියලා.

ජීවන අත්දැකීම් ආශ්‍රයෙන් නවකතා ලියන ඔබ ඉන් පරිබාහිර වස්තුබීජයක් තෝරාගෙන වෙනත් ශානරවලින් ලියන්න අදහසක් නැද්ද....?

මම කැමැති සාමාන්‍ය ජීවිතයේ දේවල්වලටයි. මිනිසුන්ව දැක්කාම එයා මේ විදිහේ කෙනෙක් , අර වගේ කෙනෙක් කියලා එයාලව මම තේරුම් ගන්නවා. සත්‍යජිත් රායිගේ චිත්‍රපටවල තිබෙන සාමාන්‍ය ජීවිතයේ චරිත වගේ චරිත මගේ ජීවිතයට බොහෝසෙයින් සමීපවෙනවා. මම ඒවගේ චරිතවලට කැමැතියි. වෙනත් ශානරයක් කියලා දෙයක් මට නම් නැහැ. ස්වාභාවික විදිහට ජීවත්වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම්, ජීවිතයේ එන හැලහැප්පීම් වගේ දේවල් ආශ්‍රය කරගන්න තමයි කැමැති.

පාසල් අවධියේ ලේඛනයට යොමුවුණාද..?

නැහැ, ඒ කාලයේ එහෙම ලේඛනය ගැන හිතලාවත් තිබ්බේ නැහැ. පුංචිකාලයේ මම ටිකක් ලැජ්ජයි .ඒකාලයේ වනිතා විත්ති පත්තරයේ තිබ්බා පොඩි කතාවක් ලියලා එවන්න කියලා. එතකොට මම පාසල් ශිෂ්‍යාවක්. මම ඒකට කතාවක් ලියලා යැව්වා. ඉන්පසු හොඳම 10දෙනාගේ නම් පුවත්පතේ පළකර තිබුණා . ඒ අතර මගේ නමත් තිබ්බා. ඒක මම කාටවත් පෙන්නුවේත් නැහැ .ඒක මම හංඟාගෙන හිටියා.

වේදිකානාට්‍ය රංගනයටත් ඔබ මුලින්ම යොමුවුණා නේද....?

මම මුලින්ම වේදිකා නාට්‍යවල රඟපෑවා . "ශෛලාසනය" නමැති වේදිකා නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා .ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර කියන්නේ මගේ ඥාති වෙන අයියා කෙනෙක්. ඔහු කිව්වා දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා" නාට්‍යයට තරුණියක් සොයනවා ඒකට යන්න කියලා .ඉතින් ඔහු මගේ මවුපියන්ගෙන් අහලා ඒකට අරගෙන ගියා. එතැනදී ඔවුන් කිව්වා මේ නාට්‍යය වේදිකාගත කරන්න ටික කාලයක් යනවා කියලා, එතැන සිටි පිරිස අතර චන්ද්‍රා කළුආරච්චිත් හිටියා. එයා කිව්වා "ශෛලාසනය" කියලා නාට්‍යයක් කරනවා මාත් එහි රඟපානවා,ඒකේ කුමරියගේ චරිතයට ඔයා සුදුසුයි , ඔයාට ඒකට එන්න පුළුවන් ද කියලත් ඇහුවා. ඉතින් මම ඒකට ගිහින් එහි පුහුණුවීම් කරද්දී එතැන හිටියා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වෙන විජය නන්දසිරි , උපාලි අත්තනායක , කුවින්ටස් වීරකෝන් , චන්ද්‍රා කළුආරච්චි , ෂෙල්ටන් පෙරේරා වගේ පිරිසක්. එහිදී මට ඔවුන්ගේ ඇසුර ලබන්නත් පුළුවන් වුණා.

සිනමාවට අවතීර්ණ වූ ආකාරය පැහැදිලි කළොත් ..?

සුමිත්ත අමරසිංහ කියන ඡායාරූප ශිල්පියා මගේ ෆොටෝස් වගයක් අරන් තිබ්බා එයාගේ කෙටි චිත්‍රපටයකට.ඒ ෆොටෝස් සුමිත්‍රා පීරිස් මහත්මිය දැකලා උපාලි අත්තනායක අතේ මට පණිවිඩයක් එව්වා ඇවිත් ඇයව හමුවෙන්න කියලා. මම ඇය හමුවෙන්න ගියාම ඇය කිව්වා චිත්‍රපටයක් කරනවා හැබැයි ඒකේ වැඩ පටන්ගන්න අවුරුද්දක් විතර යයි කියලා . එතකන් අපි "දෑස නිසා" කියලා චිත්‍රපටයක් දැන් කරනවා ,ඒකේ පොඩි චරිතයක් තියෙනවා . සබකෝලය දුරුවෙන්නත් එක්ක මේකට පෙනීසිටින්න කියලා. ඒ විදිහට "දෑස නිසා" චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. මුලින්ම චිත්‍රපටයක කියලා රඟපෑවේ ඒකෙයි. ඊටපස්සේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයාගේ "ගෝඩ් කිං" චිත්‍රපටයේත් සුළු චරිතයක් කළා. තිස්ස අබේසේකර , විජය ධර්මශ්‍රී,ධර්මසේන පතිරාජ වගේ අයගේ කෙටි චිත්‍රපටවල මාස 06ක් ඇතුළත රඟපෑවා .

"ගැහැනු ළමයි" චිත්‍රපටයේ කුසුම් වෙන්න හිටියේ ඔබ නේද...?

"දෑස නිසා" කරද්දී මට රවීව මුණගැසුණා .ඊටපස්සේ "ගැහැනු ළමයි" රූගත කරද්දී අපි විවාහවෙලා හිටියේ. ඉන්පසු "ගැහැනු ළමයි" රඟපාන්න යන්න බැරිවුණා ."ගැහැනු ළමයි" හි කුසුම්ව සොයාගෙන සුමිත්‍රා පීරිස් මහත්මිය ගම්පහ හෝලික්‍රෝස් විද්‍යාලයට යද්දිත් මට කෝල් කළා , "මම ගම්පහ යනවා මොකද ඔයා කියන්නේ , ඔයා එනවද? " කියලා. එතකොට රවී කැමැති වුණේ නැහැ මම රඟපාන්න යනවට බබෙක් හම්බවෙන්න ඉන්න නිසා කියලා. එකඑක්කෙනාගේ ඉරණම කැරකෙන හැටියට තමයි හැමදේම වෙන්න්. "ගැහැනු ළමයි" කුසුම්ට වසන්ති චතුරාණි එන්නම ඉන්න ඇති. කොහොමහරි අවුරුදු 40කට පස්සේ මට රවී කිව්වා "දැන් කමක් නැහැ රඟපෑවට "කියලා. ඉතින් අවුරුදු 40කට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ "විජයබා කොල්ලය" චිත්‍රපටයට රංගනයෙන් දායකවුණා. සුනිල් ආරියරත්න මහතා දවසක් කතා කරද්දී මම කිව්වා ආයේ රඟපාන්න ආසයි කියලා. ඒ විදිහටයි "විජයබා කොල්ලය"ට සම්බන්ධ වුණේ. වේදිකා නාට්‍යයත් මට ගොඩාක් ලැබුණා . ඒත් විවාහ ජීවිතය එක්ක ඒ සියල්ල අතහැරලා දැම්මා.

ගීත රචනය තුළින් ලැබෙන මානසික සුවය ගැන යමක් කිව්වොත්...?

ඔව්, මම පාළුවෙන්, තනියෙන් ඉද්දී ගීත රචනයට යොමුවුණේ. "කාන්සියට ලියැවුණු කවි" කියන්නේත් කාන්සියටම කියැවුණු ඒවා නිසා. ගීත රචනය හරිම මානසික සුවයක් වුණා මට. මගේ ගෙවත්තට එන ලේන් පැටව්, සමනල්ලු වගේ සත්තු දිහා බලලා ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කරද්දී මගෙන් කවි සිතුවිලි බිහිවුණා. ඒවගේම ඒ සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරද්දී පුදුම මානසික සුවයක් දැනෙනවා . සාහිත්‍යයෙන් , ගීත කලාවෙන් සිදුවෙන්නේත් අපිව වැරදි දේට පොලඹවන්නේ නැතිව අපේ සිත සුවපත් කිරීමක්නේ.

මෙය මට දෙවියන්ගෙන් ලද තෑග්ගක් වගෙයි. රවීත් නිතරම එළියේ හිටියේ. දරුවනුත් රට ගියා. මම තනියෙන් ඉද්දී ජීවිතය වින්ඳේ ගීත කලාව තුළින්

ඔබේ ගීපද රචනයන් ප්‍රාණවත් කරන්න ප්‍රවීණ ගායනවේදීන්, සංගීතඥයන් බොහොමයක් සහය වුණා නේද...?

ඔව්, සනත් නන්දසිරි අයියා මුලින්ම එයාගේ අම්මා ගැන කියැවෙන ගීතයක් ලියන්න මට ආරාධනා කළා. ඊටපස්සේ සනත් නන්දසිරි අයියා මගේ ගීත 03ක් විතර ගායනා කළා. සමිතා මුදුන්කොටුව ගයන මගේ "පිපිච්ච මල් උඩ වැටිච්ච පිනිපොද" ගීතය ඉතා ජනප්‍රිය වුණා. ආනන්ද පෙරේරා එය සංගීතවත් කළා. කොහේහරි ගියත් මාව හඳුන්වා දෙන්නේ ඒ ගීතයෙන්..ඒවගේම මගේ ගීත රැසකටම රෝහණ වීරසිංහයන් සංගීතය සැපයුවා..වික්ටර් රත්නායක සහ නීලා වික්‍රමසිංහ මගේ ගීතයක් ගායනා කළා . ඒකට වික්ටර් අයියාමයි සංගීතය සැපයුවේත්. දයාරත්න රණතුංග අයියා මගේ ගීතයක් සංගීතවත් කළා. දැන් ආයේ මට ගීත ලියන්න ලොකු ආසාවක් තියෙනවා

කලාවට එන අලුත් පිරිස ගැන මොකද හිතෙන්නේ...?

කලා ක්ෂේත්‍රයට එන අය ඉගෙනීමකින් පසුව මේකට ගොඩවෙනවානම් ඔවුන් යම් හැදියාවක් එක්ක මූලික අධ්‍යාපනයක් එක්ක එන්නේ. එයාලා හෙමීට ගියත් හොඳ ගමනක් යනවා . ඔවුන්ට පැවැත්මක් තියෙනවා . අපේ කාලයේ නම් ගැහැනු ළමයින්ට එහෙම ඉගෙනගන්න ඕන කියලා මතයක් තිබ්බේ නැහැ. දැන් නම් ඒක අත්‍යවශ්‍යමයි . ගැහැනු ළමයෙකුට අවශ්‍යමයි. හරි දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. අපේ කාලයේ නිර්මාණයක් කරද්දී ඔක්කොම අරන් ගිහින් එක තැනක ඉඳන් කරන්නේ. එතකොට හැමෝගෙම ඔළුවේ තියෙන්නේ නිර්මාණයනේ. දැන් එහෙම නෙවෙයි . එදා තිබ්බේ ටීම් වර්ක් එකක්. ඒ වෙනුවෙන් කැපවෙනවා. දැන් උදේට ඇවිත් ෆෝන් එකෙන් ඔක්කොම කියලා වැඩන්පටන්ගන්නේ .අද පරපුර වෙනස්. දැන් කට්ටිය ඉක්මනින්ම ජනප්‍රිය වෙලා කීයක්හරි හොයාගෙන ගෙයක් හදාගෙන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා. එක අතකට ඒකට අපට වරදක් කියන්නත් බැහැ. ඒ කාලයේ නළු නිළියන් ගෙයක් හදාගන්නවත් හිතුවේ නැහැ. එහෙම වෙද්දී හිතෙනවා මේ පරපුර ඉස්සර පරපුරට වඩා දියුණුවෙයි කියලා. දැන් පරපුර හිතනවා මූලිකව ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන කියලා .

ජ්‍යෙෂ්ඨ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය ඔබේ සැමියා. එවැනි සැමියකුගෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහයත් එවැන්නකුගේ බිරිඳ වීම ගැනත් මොකද හිතෙන්නේ ..?

බිරිඳ වීම නිසාම තමයි වෙන්න ඕන මට ලියන්න පුළුවන් වුණේ. මොකද එයා නිතරම එළියේ ඉද්දී මම තනිවුණානේ. සමහරවිට මමත් ගියානම් වෙනස් චරිතයක් වෙන්න තිබ්බා. අනික අපි විවාහවෙද්දී රවී සිනමාවේ මහා ලොකු දැවැන්තයෙකුත් නෙවෙයිනේ. එහෙමවෙයි කියලා හිතලා බැන්ඳෙත් නැහැ . ඒක අපේ දෛවය වෙන්න ඇති. ඔහු දැවැන්ත නළුවෙක් වුණා. මම නම් සාමාන්‍ය කෙනෙක්. ඔහුගේ නළුකම ඔහු ළඟ තිබුණා . ඒක එයා ගෙදරට ගෙනාවේ නැහැ. ඉතින් අපි සාමාන්‍ය ජීවිතයක් ගතකරනවා .

ඔබේ දරුවන් ගැන සිහිකළොත් ...?

පුතාලා දෙන්නයි. පුතාලා දෙන්නම විදෙස්ගත වෙලා ඉන්නේ. එක්කෙනෙක් සමීර රන්දෙණිය . අනිත්කෙනා රිෂී රන්දෙණිය . දුව අපි එක්කමයි ඉන්නේ. එයා තමයි අපි දෙන්නාව බලාගන්නේ. අපිට හැමදේම කරලා දෙන්නේ. දුව ඉන්ද්‍රචාපා රන්දෙණිය

"දුවේ නුඹ දියමන්තියක්.." ඒ දියමන්තිය ගැන කතාකළොත් ..?

ඔව්, ඒක දුව ගැන මම ලිව්ව ගීතයක්.ඒක දුවගේ උපන් දිනයක් මූලික කරගෙන මම ලිව්වේ. එයා තමයි දැන් අපිව බලාගන්නේ. මාවයි රවීවයි හොඳටම බලාගන්නවා.

පොඩි පුතාගේ විවාහය වෙනුවෙනුත් ඔබ අතින් ගීතයක් රචනා වුණා..?

ඔව්, ලොකු පුතාගේ විවාහය වෙනුවෙන් ගීතයක් ලියන්න බැරිවුණා. දෙවැනි පුතාගේ විවාහය වෙනුවෙන් තමයි ගීතයක් ලිව්වේ. ලොකු පුතාගේ විවාහය වෙනුවෙන් එහෙම ගීතයක් ලියන්න බැරිවුණ එක ගැන දුකයි. එයා නිතරම කියනවා මල්ලිට විතරයි ගීතයක් ලිව්වේ මට නැහැනේ කියලා (සිනහවෙමින් ). ඒත් ලොකු පුතා වෙනුවෙන් කුඩා කාලයේ ඕනතරම් කවි ලියලා තියෙනවා. විවාහය මොහොතේ නොලියවුණු එක ගැන නිතරම කියනවා. පොඩි පුතා වෙනුවෙන් ලියවුණා කීවට මේක ලියවුණේ ඇත්තෙන්ම ලේළිය වෙනුවෙන්. ගීත සාහිත්‍යයේ ලේලියකට නැන්දම්මා කෙනෙක් විසින් ගීතයක් ලියැවුණු පළමු අවස්ථාව සමහරවිට මේක වෙන්නත් ඇති.

අද සිනමාව ගැන ඔබේ අදහස...?

එදා අපි දැක්කේ කළු-සුදු සිනමාවක්නේ. හැබැයි ඒ සිනමාව අපේ සිත්වල රැඳීලා තිබ්බා. දැන් ඉතින් පාට තවරපු සිනමාවක් අපි දකින්නේ . හරි දක්ෂ ළමයි පිරිසක් අද සිනමාවට ඇවිත් ඉන්නවා . අද සිනමාවේ රූපය පෙන්වන විදිහ වෙනස්. අද තාක්ෂණය අතිනුත් දියුණුයි. එදා එක්ක බලද්දී සිනමාවේ විශාල වෙනසක් වෙලා තියෙනවා. මම කැමැති සාමාන්‍ය ජීවිතය අලළා ලියැවෙන චිත්‍රපට කතාවලට. සටන් ජවනිකා වගේ ඒවාට මම එච්චර ආසා නැහැ. දැන් එන චිත්‍රපට ගොඩාක් වෙනස්වුණාට සමහර චිත්‍රපට ගොඩාක් ලස්සනයි . තාක්ෂණයෙන්ම මේක පෙන්වන්නේ නැතිව කලාත්මක විදිහට පෙන්වනවානම් මම ගොඩක් කැමැතියි. අද සිනමාශාලා වැසීයන තත්ත්වයක් උදාවෙලා. ඒක අපට නවත්වන්න අමාරුයි. අද අපට ෆෝන් එකෙන් සිනමාව බලන්න පුළුවන්. මිනිස්සුන්ට ඉස්සර වගේ කාලය නාස්තිකරන්න වෙලාවක් නැහැ. අඳුරු කාමරයක දැවැන්ත තිරයක හරි විදිහට සිනමාව නරඹන්න ඇබ්බැහිවුණු පිරිසකුත් තවම ඉන්නවා. ප්‍රේක්ෂකයා ඇඳබැඳගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි හොඳ තිර කතාවලින් හොඳ චිත්‍රපට හැදීම. එහෙම හැදුවොත් මිනිස්සු කොහොමත් චිත්‍රපට බලන්න පෙලැඹෙනවා. තාක්ෂණයෙන්ම චිත්‍රපට හදන්න ගියොත් ඒකට එච්චර ප්‍රේක්ෂකයා කැමැති නැතිවෙයි කියලා මට හිතෙනවා . ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න මිනිස්සු චිත්‍රපටශාලාවට ගිහින් ලස්සන දෙයක් බලන්න පෙලැඹෙනවා මිසක් චිත්‍රපටවල තියෙන සංකීර්ණ බව එක්ක තවත් ප්‍රශ්න ඔළුවට දාගන්න මිනිස්සු කැමැති නැහැ. සාමාන්‍ය ජනතාවටත් බලලා රසවිඳීන්න පුළුවන් හොඳ චිත්‍රපට හැදෙනවා නම් මම හිතනවා සිනමාවේ හොඳ ගමනක් ,අනාගතයක් තියේවි කියලා .ප්‍රචණ්ඩත්වය , අපරාධ , මිනීමැරුම් , ලේ වැගිරීම් වැනිදේ චිත්‍රපටවලින් පෙන්වන්න හොඳ නෑ..

ඔබේ පොත් ප්‍රකාශනයේදී සහය දුන් ප්‍රකාශන ආයතන පිළිබඳ සිහිකළොත් .?

විශේෂයෙන්ම සරසවි පොත් ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාට ස්තුතිවන්ත වෙන්න ඕන. පළමු පොත මම කළේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන්. "කැට කිරිල්ලී" නවකතාව ප්‍රේම් දිසානායක මහතාගේ ෆාස්ට් පබ්ලිෂර්ස් එකෙන් කළේ. මගේ බොහෝමයක් පොත් ප්‍රකාශනයට පත්කළේ සරසවි ආයතනයෙන්

ඔබේ ඉදිරි සාහිත්‍ය කාර්යයන් ගැන සඳහන් කළොත්...?

මේ දිනවල අලුත් නවකතාවක් ලියාගෙන යනවා. කවි පොතක් ලියා අවසන් කළා. ලබන ජනවාරිවල වගේ ඒවා එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ඒ නවකතාව එක්කෙනෙක්ගේ පුංචි සිදුවීමක් මූලික කරගෙන ජීවන අත්දැකීමක් ආශ්‍රයෙන් ලියවෙන්නේ.මට අත්දැකීම් ලැබෙන ලැබෙන විදිහට මගේ සාහිත්‍ය නිර්මාණ බිහිවේවි.

 

[email protected]