එදා පුවත් විශ්ලේෂණයෙහි පෙරළියක් සිදු කිරීමට හැකිවීම සතුටක්

ප්‍රවීණ මාධ්‍යවේදීනී චේතනා ලියනගේ
ඔක්තෝබර් 26, 2023

මාධ්‍ය ජීවිතයට පිවිසි නොබෝ දිනකින් සිය අනන්‍යතාවය තම මාධ්‍ය නාළිකාව තුළ සනිටුහන් කළ ඇය. එදා මෙදා තුර මේ වනවිට වසර ගණනාවක් පුරා තමන්ට අනන්‍යවූ ඉදිරිපත් කිරීම් තුළින් නොවෙනස් ජනතා ආදරයක් දිනා ගැනීමට වාසනාවන්ත වුවාය. නම ඇසූ පමණින් රුව දුටු පමණින් කවුරුත් හඳුනන ඈ චේතනා ලියනගේය. සිරස ටීවී ඔස්සේ විශේෂයෙන් ප්‍රවෘත්ති විකාශයත් සමඟ ඔබේ ආලින්දයට නිරන්තරයෙන් ගොඩවදින චේතනා හා අපි කතාබස් කරමු.

චේතනා දැන් ඔබේ මාධ්‍ය ජීවිතයේ අලුත් තොරතුරු කොහොමද?

2005 වසරේ මම ෆුල් ටයිම් මාධ්‍ය ජිවිතයෙන් අයින් වුණා. හැබැයි අදටත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම ෆුල් ටයිම් මාධ්‍ය ජිවිතයේ ඉන්නවා කියලා. සම්පුර්ණයෙන් මාධ්‍ය පැත්තෙන් අයින්වෙලා මානව සම්පත් කළමනාකරණය පැත්තට මම යොමුවීමක් සිද්ධ කළා.

රටම හඳුනාගත් නිවේදන වෘත්තියෙන් ඇයි ඔබ අයින් වෙන්න හිතුවේ?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මුල්‍ය පීඨයේ ඉගෙන ගත්තේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව කුඩා කාලයේ පටන් මගේ ආශාවක් තිබුණා මේ පැත්තේ අධ්‍යාපනයක් ලබන්න. උපාධිය අවසන් කිරීමත් සමඟ මම මහරාජා ආයතනයට කියා සිටියා. මගේ කැමැත්තක් තියනවා මානව සම්පත් පැත්තෙන් ඉදිරියට යන්න කියල ඒ පාර ආයතනය ප්‍රකාශ කර සිටියා මේ ආයතනයේම රැඳී සිටිමින් ඒ අංශයේම රැකියාවක නිරත වන්න කියලා. ඒ අනුව මහරාජා ගෲප් එකේ සමුහ මානව සම්පත් අංශයට මම එකතු වුණා. 2005 වසරේ ඒ සඳහා එකතු වුණත් ආයතනය මගෙන් ඉල්ලුවා නිවුස් කියන එක නතර කරන්න එපා කියලා. ඒ අනුව මම සතියට දවස් පහක් නිවුස් කිව්ව එක සතියට දවස් තුනක් නිවුස් කියන්න පටන් ගත්තා.

වසර ගණනාවක් ඔබ අඛණ්ඩව ප්‍රවෘත්ති නිවේදනයේ නියැළුණා නේද?

සතියකට දවස් පහක් අවුරුදු දහයක් මම අඛණ්ඩව ප්‍රවෘත්ති කිව්වා. 2005 වසරේ මම මානව සම්පත් කළමනාකරණ අංශයට යොමු වීමත් සමඟ ආයතනයේ ඉල්ලීමට 2006 වසර වනතුරුත් දවස් පහම නිවුස් කිව්වා. ඊට පස්සේ මගේ රාජකාරීයේ කාර්්‍යය බහුලතාවය මත නිවුස් කියන එක සතියකට දවස් තුනක් බවට පත්වුණා. ඊට පස්සේ දරුවෝ ලැබිලා තවත් කාර්ය බහුල වෙනකොට මම වසර දෙකක් විතර ප්‍රවෘත්ති නිවේදනයෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලාම හිටියා. අපි අලුත් පරපුරට තැනක් දෙන්න ඕනෙ නිසාම.

චේතනා, නිවේදන කාර්යෙන් සම්පුර්ණයෙන්ම සමුගත්තේ නෑනේ?

ඉඳල හිටලා ආයතනයෙන් විශේෂ වැඩසටහන් සඳහා කතා කළාම ඒවාට දායක වීමක් අතර මගහරි මම කළා. ඔය අතරේ මට සටන දේශපාලන වැඩසටහනට කතා කළා. ඒකත් කරගෙන ගියා. ඔය අතරේ කාන්තා සටන ප්‍රෝග්‍රෑම් එක දැනට වසර දෙක තුනක ඉඳල මට කරන්න ලැබුණා. ඒක මම බොහොම ආශාවෙන් කරන වැඩසටහනක් සඳුදා රාත්‍රී 9.30ට විකාශය වෙනවා. ප්‍රධාන වශයෙන් කාලීන හා දේශපාලන වැඩසටහනක් වුවත් ඒ තුළින් කාන්තාවකට ඉදිරියට එන්න හොඳ මාවතක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවෙම තියෙන්නේ එකයි. කාත්තාවොම සහභාගි වෙන කාන්තාවන්ම ප්‍රශ්න අහන වැඩසටහනක්. ඔය විධියට නිවේදන කාර්යෙන් යම් වැඩසටහන් වලට සහභාගි වෙන අතරේ යළිත් ජුනි මාසයේ විතර ඉඳල මට ප්‍රවෘත්ති කියන්න එන්න කියල යළිත් ආරාධනා කළා. ඒ අනුව සතියකට දවසක් විතර දැන් සිරසේ ප්‍රවෘත්තිත් කියනවා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් වන භූමිකාව අද ඔබ කරන්නේ අමතර රාජකාරියක් ලෙස ඔබේ තෘප්තිය වෙනුවෙන්ද?

ඔව්. මට මොන තනතුර ලැබිල තිබුණත් මම මොනව කළත් හැමෝම මාව දකින්න කැමති හඳුන්වන්න කැමැති නිවුස් ඇන්කර් කෙනෙක් විධියට තමයි. කොහේ මම ගියත් මම මොන තානාන්තර දැරුවත් මගෙන් ඉස්මතු වන්නේ නිවුස් ඇන්කර් කියන කෙනාව.

චේතනා නිවුස් ඇන්කර් කෙනෙක්?

මට රාජකාරිත්වයෙන් දිලා තිබුණු ටයිටල් එක ඒක නිවුස් ඇන්කර් කෙනෙක් කියන්නේ නිවුස් රීඩ කෙනෙක්ට නොවෙයි. නිවුස් ඇන්කර් කියන කෙනා නිවුස් හොයන්න ඕනේ. නිවුස් ලියන්න ඕනේ ලොකු වැඩ ගොඩක් ඇයට තියනවා. ඇය ටෙලි විෂන් එකේ පේන කෙනෙක් විතරක් නොවෙයි. රිපෝටින් යනවා. ගවේෂණාත්මක පැත්ත ගැන විමසිලිමත්වනවා. ප්‍රවෘත්ති කියලා ලියලා, හොයලා තමයි මම ෆුල් ටයිම් ඉන්න කාලේ නිවුස් කිව්වේ. කවුරුහරි ලියල දෙන නිවුස් එකක් කියවන එක නොවෙයි නිවුස් ඇන්කර් කෙනෙක් කියන්නේ. තමන්ම නිවුස් ලියල නිවුස් හොයල ඒ ගැන වැටහීමක් ඇතුව තමයි නිවුස් කියන්නේ. එතන ලොකු වටිනාකමක් තියනවා නිවුස් ඇන්කර් කෙනෙක්ට කොටින්ම කිව්වොත් නිවුස් විශ්ලේෂක කෙනෙක් හැටියට හැදින්වුවත් වරදක් නෑ.

සිරස නාළිකාවේ නිවුස් ඇන්කර් වූ චේතනා අද දරන්නේ මොන වගේ තනතුරක් ද?

දැනට මම කරන හැම රාජකාරියක්ම බොහොම ආශාවෙන් කරනවා. මහරාජා ගෲප් එකේ. මම දැනට තනතුරු දෙකක් දරනවා. මහරාජා සංවිධානයේ සමූහ මානව සම්පත් කළමනාකරන අංශයේ නිපුණතා කළමනාකරණ අධ්‍යක්ෂ ලෙසත් මහරාජා ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් මම රාජකාරි කරනවා.

සිරස නාළිකාවේ සුවිශේෂි චරිතයක් ඔබ?

මගේ මාධ්‍ය ජීවිතයට දැන් අවුරුදු විසි අටක් විතර වෙනවා. සිරස ආරම්භක නිවුස් ඇන්කර් මම. මගේ හඬින් තමයි මුල්ම නිවුස් එක ජනගත වෙන්නේ.

කුඩා කල පටන් ඔබේ හීනයක් තිබුණ ද කවදා හෝ නිවේදිකාවක්වනවා කියා?

මගේ පාසල වුණේ නුගේගොඩ අනුලා විද්‍යාලය පාසලේ නිවේදන කටයුතුවලටත් මම මුලිකත්වය ගෙන කටයුතු කළා. ආරාධිත පාසල් සඳහාත් නිවේදන කටයුතු සඳහා මම සහභාගි වුණා. මට මතකයි මම මුලින්ම එවැනි පාසලක නිවේදන කටයුතු කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අපොස උසස් පෙළ කරන කාලයේම තමයි. මම ටී.එන්. එල් නාළිකාවට ඉල්ලුම් පතක් ඉදිරිපත් කළේ ටී.එන්.එල්. එකේ මාස කිහිපයක් මම නිවුස් කියනකොට තමයි. මට ආරාධනා ආවේ එම්.ටී.වී එකට ජොයින් වෙන්න කියලා.

එම්.ටී.වී. නාළිකාවත් නිවුස් රීඩර්ගේ වෙනසක් අපේක්ෂා කළා නේද?

මම ටී.එන්.එල් එකේ නිවුස් කියනවා දැකල තමයි මට මහරාජා ආයතනය ආරාධනා කළේ එම්.ටී.වී එකට ජොයින් වෙන්න. ඒ වෙනකොට ඕස්ට්‍රේලියානු ජාතිකයන් පිරිසක් තමයි එම්.ටී.වී එකේ මැනේජ් කළේ ඔවුන්ට ඕනෙ කළා. දවස් පහම එකම පුද්ගලයෙක් නිවුස් කියනවා දකින්න ඔවුන්ගේ රටවල පිළිවෙත මේ රටටත් හඳුන්වා දෙන්න.ඒ වෙනස පෞද්ගලික නාළිකාවල ලොකු පෙරළියක් ඇති කළා. ජාතික රූපවාහිනියේ තිබුණ ස්වාධීන රූපවාහිනියේ තිබුණු සාම්ප්‍රදායික මුහුණුවරට ඔවුන් වෙනසක් ඇති කළා. දවස් පහට කොණ්ඩ මෝස්තර පහක් දැම්මා මට ප්‍රවෘත්ති කියන්න. සතියේ දවස් පහේම මම ප්‍රවෘත්ති කිව්වා. අනෙක් දවස් දෙකට බෝයි කෙනෙක් ප්‍රවෘත්ති කිව්වා. දවස් පහට පස් විධියට ඇඳුම් ඇදල පස් විධියකට කොණ්ඩ මෝස්තර දාලා ප්‍රවෘත්ති කිව්වා. ඒක ලංකාවේ අයට ලොකු චේන්ජ් එකක් වුණා. ඒ පෙරළියේ මුල්ම පෙරළිකාරිය වන්න මට හැකි වීම ගැන. අදත් මට තියෙන්නේ මාර නිහතමානී ආඩම්බරයක්.

මම කිව්වොත් චේතනා මොන ඉහළ තනතුරු දැරුවත් අදත් ඔබ මිනිස්සු පිළිගන්නේ සිරසේ ප්‍රවෘත්ති කියන චේතනා හැටියට කියලා?

මහරාජා සමුහ ව්‍යාපාරයේ මානව සම්පත් කලමණාකරණ අංශයේ නිපුණතා කලමනාකරණ අධ්‍යක්ෂ ලෙස මම තැනකට ගියත් ඒ හැම තැනකදීම මාව මිනිස්සු දකින්නේ ප්‍රවෘත්ති නිවේදිකාව කියන ඈන්ගල් එකෙන්. මොන නතුතරු දැරුවත් ඒක මිනිස්සුන්ට වැඩක් නෑ. සිරසේ නිවුස් කියන චේතනා තරම්.

දිගුකාලීන අත්දැකීම් සම්භාරයක් ඇති ඔබට මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න ඇවිත් ඉන්න නවකයන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?

අපි මේ ක්ෂේත්‍රයට එනකොට තිබුණාට හාත්පසින්ම වෙනස් මාධ්‍ය වටපිටාවක් තමයි අද තියෙන්නේ. අද වෙනකොට සමාජ මාධ ජාලයක් ඒ සඳහා එකතු වෙලා. අද සමාජ මාධ්‍යජාල ප්‍රබල තැනක තියනවා. අද යම් කෙනෙකුට තරුවක් වෙන්න ඕනෙ නම් විද්‍යුත් මාධ්‍ය තෝරානොගෙන සමාජ මාධ්‍ය පමණක් තෝරාගෙන ටක් ගාල තරුවක් වෙන්න පුළුවන්. යුටියුබ් චැනල් එකකින්, හරි ෆේස්බුක්වලින් හරි ටික් ටොක් වලින් හරි මාර දක්ෂ පිරිසක් අද ඉන්නවා අපිට දකින්න පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ස්ව උත්සාහයෙන් මෙතනට ඇවිත් ඉන්න විධිය දැක්කම අපි එතනට එන්න ආපු ගමනක් තිබුණත් මේ නවක පිරිස් ස්වඋත්සාහයෙන් ඇවිත් ඉන්න තැන දැකලා. අපි ආවේ සාම්ප්‍රදායික ගමනක් නමුත් මේ අය තමන්ගේම උත්සාහයෙන් ප්‍රේක්ෂක පිරිසක් හදාගෙන වෙනම ගමනක් යනවා. ඒ හරහා ඔවුනුත් විද්්‍යුත් මාධ්‍යවලට එනවා. අද මාර දක්ෂ තරුණ පිරිසක් මේ මාධ්‍ය කලාවේ ඉන්නවා. හැබැයි මට පේන දෙයක් තමයි අපේ කාලෙත් තිබුණා ඔය ඉක්මන් ජනපි‍්‍රයත්වය. එහෙම අය අපේ කාලෙටත් වඩා දැන් වැඩියි. රූපවාහිනියේ කැමරාව ඉස්සරහට යද්දී රේඩියෝවේ මයික්‍රෆෝනය ඉස්සරහට යද්දි අපි පර තෙරට දැනගත යුතුයි කියල නෑ. නමුත් මේ තරුණ පිරිස් යමක් කරනකොට ඔවුන්ට දැනුම මදියි කියල නම් දැනෙනවා. ප්‍රවෘත්ති නිවේදකයෙක් නිවේදිකාවක් කියන්නේ දෙන කොළය බලන් කියවන කෙනෙක් කියල. මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඔවුන් දකින විධිය ඒක. හැබැයි ප්‍රවෘත්ති නිවේදිකාවක් කොළයක් බලන් කියන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කෙනාට අගය එකතු කිරීමක් කළොත් අන්න ඒ කෙනා සාර්ථක ඉදිරිපත් කරන්නියක් වෙනවා.

ඔබට හිතෙනවද දීර්ඝ කලක් ක්ෂේත්‍රයේ හිටිය ඔබ වැනි අයටත් වඩා දක්ෂයෝ අද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා?

මම කිසිම කුහකකමක් හිතේ තියාගෙන නෙමෙයි මේක කියන්නේ. අපිටත් වැඩිය දක්ෂයෝ අද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ගොඩක් දේවල්වලින් ඔවුන් ඉදිරියෙන් සිටීම ගැන අපි ආඩම්බර විය යුතුයි. සමහර වෙලාවට ඔවුන් තැනට සුදුසු නුවණ භාජනය නොකරන අවස්ථා තියනවා. නවක අය ඉන්නේ රාමුවක් තුළ අපි ලබපු අත්දැකීම් අනුව අපේ යම් සුදානමක් තිබුණා. තේරුම් ගන්න ඕනේ නිවේදිකාවක් වන එකයි. ප්‍රොෆෙෂනල් මට්ටමෙන් නිවේදිකාවක් වන එකයි එකක් නොවෙයි. දෙකක් කියලා.

ඔබේ මාධ්‍ය ජිවිතය තුළ වඩාත් ජනපි‍්‍රය වූ වැඩසටහන් වුණේ?

මොනව කළත් නිවුස් රීඩර් නම්බවන්. සටන, සත්‍ය වැඩසටහන් සඳහාත් මට හොඳ ඕඩියන්ස් එකක් ගොඩනැගුණා.

ඔබ වඩාත් කරන වැඩසටහන් වලින් තෘප්තියක් ලබන්නේ?

බොහෝවිට කරන කාලීන වැඩසටහන්වලිනුත් ආර්ථිකයට බර වැඩසටහන්වලිනුත් මම ගොඩක් තෘප්තියක් ලබනවා. එවැනි වැඩසටහන් කරන්න මගේ කැමැත්තකුත් තියනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයට එන නවකයකුට ඔබදෙන අවවාදය මොකක්ද ඔබේ අත්දැකීම් මත?

දරුවන්ටත් වඩා මේ ක්ෂේත්‍රයට තමන්ගේ දරුවෝ යොමු කරන්න දෙමවුපියන්ට තමයි වැඩි උවමනාවක් තියෙන්නේ. මෙතනට එන අය දකින්නේ මේ තුළ තියන විචිත්‍ර බව විතරයි. ඒ පැත්ත දැකල එන අයට මම කියන්නේ ඒක තාවකාලික ගමනක්. අපිට සමාජ වටපිටාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි කතා කරන්නේ කාටද කියන දේ පිළිබඳ තමන්ගේ පෙනුම මත මේ කටයුත්ත කරන්න බෑ. තමන්ගේ වෘත්තීය භාවය රැකගෙන තමන්ගේ හොබී එකක් බවට එය පත්කරගන්න පුළුවන් නම් අපිටත් වඩා දක්ෂ පරම්පරාවක් හැටියට මීටත් වඩා ලොකු ගමනක් යන්න පුළුවන් කියල මට හිතෙනවා.

වැඩසටහනක ආකෘතිය අනුව ඔබ යම් වැඩසටහන් ප්‍රතික්ෂේප කරල තියවද?

මගේ කන්ඩිෂන් ගැන දන්න නිසා ද මම දන්නෑ මට ලපටි සිපයි වැඩසටහන් නම් කරන්න ලැබිල නෑ. හැබැයි මම මේ ඉන්න තත්ත්වයෙන් මිදිල ඒ වගේ වැඩසටහනක් කරන්න ලැබුණොත් සමහරවිට මම භාර ගන්නත් අකමැති වෙන එකක් නෑ හැබැයි. මට බැරි දෙයක් නම් මම කොහෙත්ම භාර ගන්නේ නෑ. මම සක්සුදක්සේ් පැහැදිලියි මට සින්දු කියන්න බෑ කියල. මොන වැඩසටහනකට ඇවිත් හරි සින්දු කියන්න කිව්වොත් මම කටඅරින්නේ නෑ. මට බැරි නම් බෑ. මම කාගෙවත් විහිලුවක් වෙන්න කැමති නෑ. හැබැයි මට මාර ආශයි සින්දු කියන්න. ඒත් මට ශ්‍රැතියකට සිංදු කියන්න බෑ. ට්‍රිප් එකක් යනකොට නම් කෑ ගහල සින්දු කියයි. අපේ අය හුඟාක් වෙලාවට බැරි දේවල් කරන්න යනවානේ. සමහරවිට අපිට බැරි දෙයක් වුණත් ට්‍රයි කරල කරන්න පුළුවන් වෙලාවල් තියනවා. ආශාව තිබුණට දක්ෂතාවය නැත්තම් කරල වැඩක් නෑ.

චේතනා ඔබගේ මාධ්‍ය ජීවිතය තුළ ඔබේ පෙරගමන්කරුවන් වුණේ කවුරුන් ද?

මගේ පවුල් පසුබිම මේ සඳහා ගොඩක් බලපෑවා. විශේෂයෙන් තාත්තා ගුණදාස ලියනගේ මහතා. රූපවාහිනි සාකච්ඡාවලට යනකොට සමහර දවස්වලට මාවත් එක්ක ගියා. මම ඒ වැඩසටහන් රෙකෝඩ් කරනවා බලන් හිටියා. කොටින්ම කියනවා නම් මම ටී.එන්.එල් එකට ඇප්ලිකේෂන් දැම්මෙත් ගෙදරට හොරෙන්. දවසක් මම පන්ති ගිහින් එනකොට මගේ නමට ඇවිත් තිබුණ ලියුමක් කඩල තිබුණා. ලියුම් කවරයේ ටී.එන්.එල් ටෙලිවිෂන් නෙට් වර්ක් කියල තිබුණ නිසා ලියුම කඩල තියෙන්නේ තාත්තා. ඒ ලියුමේ තිබුණේ මට ස්ක්‍රින් ටෙස්ට් එකකට එන්න කියලා. කොහොම හරි අම්මවත් ෂෙප් කරගත්ත නිසා මට ගැටලුවක් වුණේ නෑ. නමුත් මම ටී.එන්.එල් එකට යන හැම දවසකම තාත්තා මාව එක්ක ගියා නැවත එක්කගෙන ආවා ආයතනයට මට එන්නයන්න ට්‍රාන්ස්පෝට් දෙනව කිව්වත් මම හිතන්නේ තාත්තා මේ ක්ෂේත්‍රය ගැන හොදාකාරව දන්න නිසා තමයි මට දැනුම්, තේරුම් යනකන් මගේ ගාව හෙවණැල්ලක් වුණේ. ඒ යන හැම ගමන් වාරයකදීම මට ගුරහරුකම් ලබාදුන්නා මම ගෑනු ළමයෙක් නිසා. අනික ඒ වෙනකොට මම පාසල් යන ශිෂ්‍යාවක්. මුලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකට යන දවසේ අම්මාත් තාත්තාත් මාත් එක්ක ආවා. තාත්තා මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටියත් කවදාවත් ඒ හැඳුනුම්කම් අපේ වාසියට පාවිච්චි කළේ නෑ. මට මතකයි මුල්ම ටෙස්ට් එක දවසේ ශාන් වික්‍රමසිංහ මහත්තයා මගෙන්ම තමයි අහල දැන ගත්තේ තාත්තා කවුද කියලත්. ගෙදරින් මට හොඳ ෆවුන්ඩේෂන් එකක් ලැබුණා. ගමනේ ආරම්භයට.

චේතනාට කැපලි කෙටිලිත් ආවද ෆීල්ඩ් එකේ නැගිටින කොට?

මොකද නැත්තේ ඒක මේ ක්ෂේත්‍රයේ ස්වභාවයනේ. වටින් පිටින් කැපිලි එනකොට මාව මානසිකව වැටෙන කොට මාව දිරිගන්වන්න මට ලොකු ශක්තියක් වුණේ මගේ ගෙදර පවුලේ සාමාජිකයන්ගේ දිරිය. පිටින් කපන කොට ගෙදරින් මාව නැගිට්ටේව්වා. අලුතින් යමෙක් එනකොට ජනපි‍්‍රයත්වය තවකෙනෙකුට දරාගන්න බෑ කියන දේ මට තේරුණා ඉස්කෝලෙන් අවුට්වෙන කොට මම හිතුවා මම නිකන්ම කෙනෙක් වනවාට වඩා අධ්‍යාපනය පැත්තෙනුත් කොලිෆයිඩ් වෙන්න ඕනෙ කියලා. නිකන්ම නිවේදිකාවක් වනවාට වඩා ග්‍රැජුවේට් නිවේදිකාවක් වෙන එක මට ලොකු ආභරණයක් කියල මම හිතුවා. ඒ නිසාම තමයි උදේ යුනිවසිටි ගිහින් රෑ දහය එකොළහ වෙනකන් නිවුස් කියල අවුරුදු හතරක් විතර ලොකු කැපකිරීමක් කරල. මම නිකන්ම ගොඩට එකතු වෙන එක මඟහරවා ගත්තා.

චේතනාගේ කැප කිරීම හරියට නිකන් උදේට තියන ඔළුව හවසට මාරු කළා වගේ?

උදේට මුල්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගෙන හවසට ප්‍රවෘත්ති කියනවා. ඇත්තටම මම කුඩා කාලයේ පටන් බොහෝ දේවල් කරපු කෙනෙක්. ඒක මගේ අම්මා තුළත් බොහෝවිට තිබුණ දෙයක්. ඇය විටෙක කථිකාචාර්යවරියක්, විදුහල්පතිවරියක්, දේශකයෙක්, ගෘහණියක්, ඉතිං මමත් ඒ ආරට ආව වෙන්න පුළුවන්. ඒකම තමයි අදත් මම කරන්නේ ආයතනයක විධායක තනතුරු දෙකක් දරණ අතරේ නිවුස් කියනවා. වැඩසටහන් මෙහෙයවනවා, ඒවගේම ගෙදර ගෘහණියක් වශයෙන් කටයුතු කරනවා. මේ වගේ බහු කාර්යයක් කිරීම තුළ නිරතවීම තුළ ගැහැනියක් හැටියට මම ආඩම්බර වෙනවා.

සාමාන්‍ය සමාජ ජීවිතය තුළ ඔබට පේ‍්‍රක්ෂක ජනතාවගෙන් කොයි වගේ පිළිගැනීමක් ද පෙනෙන්න තියෙන්නේ?

දවස් පහම ප්‍රවෘත්ති කියනකොට මට තිබුණේ අසීමිත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක්. ටී.වී. එකෙන් පාරට බැස්සට පස්සේ මම සාමාන්‍ය ගැහැනියක්. මම යන්නේ මගේ විධියට කවුරුහරි අඳුනගෙන කතා කළොත් මාත් කතා කරනවා. හැබැයි මම සමාජය තුළ ජීවත් වන්නේ මාව කවුරුවත් ප්‍රවෘත්ති කියන චේතනා කියල හඳුනාගන්නේ නෑ කියලයි. මම පීක් එකේ හිටිය කාලයක් තිබුණා. ඒ වකවානුවේ නිවේදිකාවෝ බොහොම අඩු ප්‍රමාණයක් හිටියේ. දැන් නම් හැමෝම ජනපි‍්‍රය අයනේ ඉන්නේ. මම නම් ජනපි‍්‍රයත්වය බලන කෙනෙක් නොවෙයි. මට ඕනේ පාරක ඇවිද යන්න පුළුවන්.

චේතනා ක්ෂේත්‍රයට සපැමිණෙන වකවානුවේ අද මෙන් සමාජ මාධ්‍ය ජාලා පැවැතියා නම් ඔබේ ගමනේ මීට වඩා වෙනසක් අත්වෙයි නේද?

අනිවාර්යෙන්ම වෙන්න පුළුවන්. මම නම් කියන්නේ අද වෘත්තීය වශයෙන් නිවේදක නිවේදිකාවන් වන්න උත්සාහ කරන අය නම් මේ සමාජ මාධ්‍ය හරි පරිස්සමෙන් භාවිත කළ යුතුයි කියලයි මම හිතන්නේ. ඕනෙ කෙනෙක් තමන් දක්වන මත අදහස් ගැන සීමා දැනගෙන සිටිය යුතුයි. මම ක්ෂේත්‍රයට පැමිණෙන වකවානුවේ සමාජ මාධ්‍ය පැවතියා නම් මම සමහර විට එය කොහොම භාවිත කරයි ද මමත් දන්නෑ. හැබැයි මමත් මීට වඩා වෙනස්. මුහුණු වරක් ගන්න බැරිකමකුත් නෑ.

සිරස ආයතනයේ චේතනාට සිරස දාල යන්න ආරාධනා එහෙම ආවේ නැද්ද?

මොකද නැත්තේ ඕනෙ තරම් ඔෆර් ආවා. මම ටී.එන්.එල් එකෙන් සිරසට ආවා. නමුත් සිරස දාලා යන්න මට හිතුණේ නෑ. මට හොඳ පිළිගැනීමක් සිරස දුන්නා. ඉහළ කළමනාකාරිත්වයත් මට පිළිගැනීමක් ලබාදීල තියනවා. මම ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්න අවස්ථාව සොයාගන්න හදනකොටත් මට ඒ සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කරල දුන්නා. මහරාජා සමුහ ව්‍යාපාරයේ කොම්පැණි, විසි ගාණක සේවකයෝ හාරපන්දහසක් ඉන්න තැනක විධායක නිලධාරින් දෙදහස් පන්සීයක් සිටින තැනක හොඳම විධායක නිලධාරියා ලෙස මට තේරී පත්වන්න ලැබීමත් ලොකු සතුටක්. 2023 වසරේ ජුනි 15 වැනිදා පැවති ඡ්යජඥජභබඪමඥ ධට රඥචප 2023 සම්මාන ප්‍රදානයේ හොඳම විධායක නිලධාරියා ලෙස ගෝල්ඩ් මෙඩල් එක ලැබුණේ මට. මේ චේතනා නැග්ග ඉනිමඟට පයින් ගහන කෙනෙකුත් නෙමේ. මට ඉනිමගට පයින් ගහන්න ඕනෙ වුණෙත් නෑ. ඉහළ කළමනාකාරිත්වය මට මගේ සුදුසුකම් අනුව අත්දැකීම් අනුව මට නිසි තැන ලබා දුන්නා.

කොහොමද පවුලේ තොරතුරු එහෙම?

මගේ සැමියා ලක්සඳ ගුණවර්ධන මුල්‍ය කළමනාකරණ ආයතනයක ප්‍රධාන මුල්‍ය කළමනාකරුවකු ලෙස සේවය කරනවා. මට දුවල දෙන්නෙක් ඉන්නවා. දුවල දෙන්නම කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ලොකු දුව චවී ගුණවර්ධන පොඩි දුව රුවී ගුණවර්ධන.

චේතනා ලේඛිකාවක්?

මගේ තාත්තාගෙන් අම්මාගෙන් ආපු දෙයක්නේ ලේඛන කලාව. මම පොඩි කාලේ පත්තරවලට ලිපි ලිව්වා. මට ලොකු ආශාවකුත් තිබුණා. පුවත්පත් කලාවේදිනියක් වෙන්න. ඒත් වෙනස් වුණා මට තියන කාර්ය බහුලත්වය මත ඒ දේවල් වෙනස් වුණා. නමුත් මම එක පොතක් ලිව්වා. නොකියවු ප්‍රවෘත්ති නමින්. ලියන්න ආසාවක් මාගේ ඇග ඇතුලේ තියනවා. නමුත් ඒක මගෙන් මිස් වෙනවා කියලා මට දැනෙනවා. මම මුලින් ලිව්ව නොකියවු ප්‍රවෘත්ති පොත එළි දක්වන තුරු කවුරුවත් දැන සිටියේ නෑ. මම පොතක් ලියනවා කියලා. 2012 තමයි මම මේ පොත එළිදැක්වුයේ. මගේ අවුරුදු විස්සක අත්දැකීම් පාදක කරගෙන මගේ තෘප්තිය සඳහා මගේ අත්දැකීම් බෙදා ගැනීමක් සඳහායි මම පොත ලිව්වේ. මගේ නොකියවු ප්‍රවෘත්ති පොත මම ලිව්වේ. මේ ක්ෂේත්‍රයට එන අයකුට අත්දැකීමක් ලබාගන්න. කෙනෙක්ගේ අත්දැකීම් තව කෙනෙක්ගේ සාර්ථකත්වයට හොඳ පෙර ගමන්කරුවෙක්.

 

[email protected]

 

සේයාරූ - සුදත් මලවීර