වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
අවමවාදී කියන්නේ ලෝ බජට් සිනමාව නෙවෙයි

අවමවාදී සිනමාව (Minimalist Cinema) පිළිබඳ අධ්‍යයනය කරමින් එය මෙරටට හඳුන්වාදීමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන තුසිත ද සිල්වා සිනමා සිලෝන් සමාගමේ සභාපතීත්වය ද හොබවයි. "උත්තමාවි, පුංචි රාල, පුනරාගමනය, ධවල කඩුල්ල, යකඩ දෝලි" වැනි ප්‍රකට ටෙලි නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ හෙතෙම අවමවාදී සිනමාව පිළිබඳවත් සිය සිනමා_ ටෙලිනාට්‍ය කලා භාවිතය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.
මොකක්ද මේ "අවමවාදී සිනමාව" කියන්නේ...?
අවමවාදී සිනමාව කියන්නේ ප්‍රංශ ජාතික රොබට් බ්‍රෙන්සෝ නමැත්තා 1960 දශකයේ හඳුන්වා දුන් සිනමා ශෛලියක්. මොහු අවමවාදී සිනමාවේ පියා වශයෙන් ද හඳුන්වනවා . මෙම සිනමා ශෛලිය ලොව පුරාම ව්‍යාප්ත වුණා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ශූරීන් පවා මෙම අවමවාදී සිනමාව පිළිබඳ උනන්දු වුණා. මේක අපේ රටට හොඳ විකල්පයක්. සරලව කිව්වොත් අවම වියදමකින්, අවම රංගන ශිල්පි ප්‍රමාණයකින්, අවම දර්ශනතල ප්‍රමාණයකින් ඉතා විශිෂ්ට සිනමා නිර්මාණ බිහිකිරීමයි. ඕනෑම තිර රචනයකින් අවමවාදී සිනමාවක් කරන්න බැහැ. ඒක විකෘතියක් වෙනවා.
අවමවාදී සිනමාවේ ලක්ෂණ ලෙස ඔබ හඳුන්වන්නේ මොනවාද...?
මෙහි සීමිත දර්ශනතල ප්‍රමාණයයි තියෙන්නේ . ඒ වගේම සීමිත නළුනිළියන් පිරිසක් මෙයට තෝරාගන්නේ. රූපයට මූලිකත්වය දීමක් ද කෙරෙනවා. දෙබස් භාවිතයේදී මෙහිදී රූපයට මුල්තැනක් දෙනවා. මෙම සිනමා නිර්මාණවල නිශ්චිත අවසානයක් නැහැ. සීමිත රංගන ශිල්පීන් පිරිසක්, සීමිත දර්ශනතල ප්‍රමාණයක් තිබුණට මෙම සිනමා නිර්මාණ අඩු වියදමින් කෙරෙන බාල නිර්මාණ නෙවෙයි. ඒත් හැම අවමවාදී සිනමා කෘතියකම ඉහත සඳහන් කළ ලක්ෂණ සූත්‍රයක් වගේ පිළිපදිනවා කියන්නත් බැහැ. මේ වගේ මොහොතක, ලංකාව අර්බුද රැසක ඉන්න මොහොතක මෙම අවමවාදී සිනමාව වැදගත් කියා මම සිතනවා.
අද මෙරට සිනමාව තිබෙන තැන ගැන යමක් කීවොත්...?
අද ප්‍රේක්ෂකයා හැකිලිලා. සිංහල ජනයාගෙන් 1/%ක් 2%ක් වගේ චිත්‍රපට බලන්නේ. ලක්ෂ 10ක් ඉක්මවා යනවා කියන්න බැහැ.චිත්‍රපට නොබලන පිරිසට මිලියන 17ක් වගේ ඉන්නවා. 10%කටත් අඩු ගණනක් එහෙම චිත්‍රපට බලලා කර්මාන්තයක් වගේ මේක ගෙනියන්න බැහැ.චිත්‍රපටයක් දුවනවා කියන්නේ ස්විප් එකක් ඇදෙනවා වගෙයි.විවෘත ආර්ථිකයත් එක්ක සිනමාව බැහැලා ගියා. ෆ්ලැට් ෆෝම්, සමාජ මාධ්‍යයන්ගේ චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන තත්ත්වයක් අද තියෙන්නේ. කර්මාන්තයක් වශයෙන් සිනමාව පවතින්න නම් සමස්ත චිත්‍රපට ප්‍රමාණයෙන් 60%ක්වත් ආදායම් උපයන්න ඕනේ. සිනමාව නොනැසී පැවැතිය යුතුයි. හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව ලාංකේය සිනමාව අයිති කරගෙන ඉන්නේ.
අවමවාදී සිනමාව කිව්වම සමහරු හිතනවා ලෝබජට් සිනමාවක් ද කියලා...?
අපි අවමවාදී සිනමාව කියන්නේ ලෝබජට් සිනමාවක් නෙවෙයි කොහොමත්. කතා පුවත, විකාශනය කිරීම ආදියෙන් ද අවම විය යුතුයි. මේ ක්‍රමවේදයෙන් ඉතා ගැඹුරු දෙයක් කරන්නත් පුළුවන්. වාණිජව කරන්නත් පුළුවන්. අබ්බාස් කියරොස්තාමිගේ චිත්‍රපටවල අවමවාදී ලක්ෂණ තියෙනවා. ලෝක සිනමාවේ දැවැන්තයන්ගේ නිර්මාණ තුළින් ද හොඳ දෙයක් කරන්න පුළුවන්.ලෝබජට් කියන්නේ සංකල්පයක් නෙවෙයි. තාක්ෂණික අංශයෙනුත් 35ථථන් කරන්නත් පුළුවන්
අපට අවමවාදී සිනමා ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා ද....?
අපට එහෙම අවමවාදී සිනමා ප්‍රේක්ෂකාගාරයක් නැහැ. ඉන්දියාව වගේ රටවල් සිනමාශාලා 50ක 60ක එකවර පෙන්වනවා. මේ සිනමාව අපට හොඳම විකල්පයක්. තරුණ නිර්මාණකරුවන්ට හොඳ තෝතැන්නක්. දැන් චිත්‍රපටවලින් 60%ක් වගේ වියදම් කළ 40%ක් හොයාගන්න බැහැ. ලංකාවේ අවමවාදී සිනමාව ගැන පීලිපැනීමක් තියෙනවා.
"Bicycle Thieves" චිත්‍රපටය අධ්‍යක්ෂවරුන්ට බලපෑමක් කළ නිර්මාණයක් නේද...?
"Bicycle Thieves" ඉතාලි නව තාත්විකවාදී සිනමාවෙන් කළ චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂවරුන්ට එක් එක් අයුරින් බලපෑවා. ඇකඩමි සිනමාවේ හොඳම විදෙස් චිත්‍රපටවලට (Best Foreign Films) සම්මානයක් දෙනවා. ඉතාලි නව තාත්විකවාදී සිනමාව බිහිකළේ විටෝරියෝ ඩී. සිකායි. සිකාට සම්මානයක් දෙන්නටයි මේ චිත්‍රපටය කළේ. ඉතා දුෂ්කරතා රැසක් මධ්‍යයේ නිර්මාණය කළ "Bicycle Thieves" ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරුන්ට බලපෑ ප්‍රධානපෙළේ චිත්‍රපටයක්. චිත්‍රපටයේ ගුණාත්මක බව මුදල අතර සම්බන්ධයක් නැහැ.
අවමවාදී සිනමාව ශානරයක් ද..? ක්‍රමවේදයක් ද..?
අවමවාදී සිනමාව ශානරයක් නෙවෙයි. ක්‍රමවේදයක් පමණයි. ලංකාවේ වැරදි මතයක් තිබෙනවා හොඳම නිර්මාණයකට ලොකු මුදලක් ඕන කියලා. ඒක මිථ්‍යාවක්. අවමවාදී සිනමාවෙන් එය ඔප්පු කර තිබෙනවා. මේක අපේ රටට හොඳම විකල්පයක්.
සංකල්ප එක්ක සිනමාව ඉදිරියට යායුතුයි නේද...?
මම වෙනම විදිහකින් හිතලා කරන්න ඕන කියලා අලුත් සංකල්ප ගෙනාවානම් එය සාර්ථකයි . හැමදාම කරනවා වගේ කරන්නේ නැතිව සංකල්ප එක්ක සිනමාව කළ යුතුයි කියා මම හිතුවා.
ඔබේ "Midnight Train" චිත්‍රපටය ගැන යමක් කීවොත්..එය අවමවාදී සිනමා නිර්මාණයක් ලෙස මට්ටමක තිබෙනවා ..?
දුම්රිය නැවතුමක පැය 03ක සිදුවෙන සිද්ධිමාලාවක් මූලික කරගෙන "Midnight Train" අධ්‍යක්ෂණය කළේ. මෙහි නිශ්චිත අවසානයක් නැහැ.
අද වෙද්දී සිනමාවේ ව්‍යාකරණය දියුණුවෙලා යැයි ඔබ සිතනවා ද...?
සිනමාවේ තිබෙනවා සාක්ෂරතාව කියලා දෙයක්. "නිධානය, පරසතු මල්" වගේ චිත්‍රපට කළත් ඒ වගේ චිත්‍රපට අද කරන්න අවශ්‍ය නැහැ. සිනමාවේ ව්‍යාකරණය දියුණුවෙලා. ඇඟිල්ලෙන් ඇනඇන කියන්නේ නැහැ. හොඳ කලා කෘතියක විවිධ කියවීම් තියෙන්න පුළුවන්. සිනමාවේ ව්‍යාකරණය, කියවීම වෙනස් විය යුතුයි.
අවමවාදී සිනමාව තුළ ඔබේ නිර්මාණ ගැන සඳහන් කළොත්....?
"අහසින් වැටෙයි" කියලා ළමා චිත්‍රපටයක් කළා. එහි ඇතුළත් වෙන්නේ ළමයෙකුගේ සිතුවිලි ධාරාවක්. "Midnight Train" අනෙක් නිර්මාණය. එය 2021දී මහජන ප්‍රදර්ශනයට දැම්මා. තව චිත්‍රපටයක් තමයි "Cant die Wont die" (මට මැරෙන්න බැහැ මම මැරෙන්නේ නැහැ). මෙය ගැහැනියකුගේ පලායාමක් වශයෙන් අර්ථනිරූපණය කරන්නත් පුළුවන්. එහි ප්‍රධාන චරිතය කරන්නේ තරින්දි ප්‍රනාන්දු. මෙහි පලායන අවස්ථාවේ.එන චරිත එක්වරයි හමුවන්නේ. මෙම සිනමා ක්‍රමයේ අන්තර්ගතයේ සහ ආකෘතියේ වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. අවමවාදී සිනමාව තුළ ජීවිතය තිබෙනවා.අවමවාදී සිනමාව තුළින් ජීවිතයේ දිග,පළල පෙන්වන්න පුළුවන්. මෙහි ජීවිතය සරලව පෙන්වනවා. සංකීර්ණ බවක් චිත්‍රපටයට ඇතුළත් කරන්නේ නැහැ.
අවමවාදී සිනමා නිර්මාණ සඳහා දායකවූ නිෂ්පාදන අර්ථපතීත්වය සිහිකළොත්...?
ඒ සඳහා මට නිෂ්පාදකවරු ඉන්නවා. "Midnight Train" සඳහා මහාචාර්ය නිමල් සේනානායක නිෂ්පාදනයෙන් දායකවෙනවා. තිර රචනයත් ඔහු ලිව්වා. "අහසින් වැටෙයි" නිෂ්පාදනය කළේ කුසල් පෙරේරා. " Cant die Wont die" නිෂ්පාදනය ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන දුලාන් රණවීරයි.මේ හැමෝටම අවමවාදී සිනමාවට හිත ගියා. මේ තුළින් විශිෂ්ට සිනමාවක් බිහිවෙනවා කියා ඔවුන් සිතනවා. ඒ පිළිබඳ නිෂ්පාදකවරුන් විශ්වාසයක් ඇතිකරගෙන ඉන්නේ. පැරණි ආකෘතිය, ක්‍රමවේද වෙනස් කළ යුතුයි කියන මතයේ නිෂ්පාදකවරුන් ඉන්නේ.
පුංචිතිරයේ ඔබේ ආගමනය සිහිකළොත්...?
පුංචිතිරයට මම ආවේ 1990 දශකයේ. ටෙලිනාට්‍ය 16ක් වගේ කළා. "ඇන්ගෝරා" නමින් ප්‍රථම ත්‍රිමාණ ටෙලිනාට්‍යය කළා. ඉන්පසු "උත්තමාවී" අධ්‍යක්ෂණය කළා. එය සෝමවීර සේනානායකගේ තිර රචනයක්. එහි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. කේ. ජයතිලකගේ "පුංචි රාල" සහ "පුංචි රාලගේ මරණය" නවකතා ද්විත්වයේ එකතුවෙන් "පුංචි රාල" ටෙලිනාට්‍යය කළා. පුණ්‍යකාන්ති විජේනායකගේ"The Visitor" කෙටිකතාව ආශ්‍රයෙන් "පුනරාගමනය" ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. එහි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂණයක් ඇතුළත් වුණා. එයට හොඳ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානත් ලැබුණා. සුනේත්‍රා රාජකරුණානායකගේ "කවිකඳුර" නවකතාව ආශ්‍රයෙන් "ධවල කඩුල්ල" ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. එය දුෂ්කර පරිසරයක කළ සුන්දර නිර්මාණයක් . ඒ නිර්මාණයත් සම්මානයට පාත්‍රවුණා. සරත් ධර්මසිරිගේ විශිෂ්ට තිර රචනයකින් "යකඩ දෝලි" අධ්‍යක්ෂණය කළා . "සොඳුරු දඩයක්කාරයා"ත් මගේ අධ්‍යක්ෂණයක්. එයත් සම්මාන රැසකටම නිර්දේශ වුණා. මෙම සියලු ටෙලිනාට්‍ය සිනමාත්මක ලක්ෂණ සහිත නිර්මාණයි. දැනට නම් ටෙලිනාට්‍යවලින් ඉවත්වෙලයි ඉන්නේ. "උත්තමාවී" වගේ ටෙලිනාට්‍යයක් කළේ හොඳට සැලසුම් කරලා. දවසටම දර්ශන 02ක් වගේ රූගතකිරීම් කළේ. මගේ මාධ්‍යය රූපවාහිනිය නෙවෙයි කියලා මට හිතෙනවා.මගේ ටෙලිනාට්‍යවලට සම්මාන 26ක් ලැබුණා. ඒ අතර "පුංචි රාල"ට සම්මාන 08යි, "ධවල කඩුල්ල"ට සම්මාන 07යි.
වේදිකාවට ගොඩවුණේ නැද්ද....?
1979දී "පාර වසා ඇත" නමින් වේදිකානාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එය විචාරයටත් ලක්වුණා. විවේකයක් නැතිවීම නිසා ඊටපස්සේ වේදිකාවට යොමුවුණේ නැහැ. ළඟදී වේදිකා නාට්‍යයක් කරන්න උත්සහ කළා ශ්‍රියන්ත මෙන්ඩිස් , කුසුම් රේණු වගේ සෙට් එකක් දාලා. පුහුණුවීම් පවා සිදුකළා. "යතුරු හිලෙන් බලන්න" නමින් එය නම්කළේ. බ්‍රිතාන්‍ය නාට්‍යයක් ආශ්‍රයෙන් එය පරිවර්තනය කළේ කුමාර සිරිවර්ධනයි.. කොවිඩ් නිසා එය අතරමඟ නැවතුණා. ඉදිරියට එය නැවත කරන්න අදහසකුත් තියෙනවා.
ඔබේ "Midnight Train" අන්තර්ජාතික නියෝජනය කළා නේද..?
2023 අන්තර්ජාතික සිනමාව තුළ ඉහළ මට්ටමේ "Midnight Train" තියෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියාවේ Indi film festival හි Indipendent film Maker Award නියෝජනයට "Midnight Train" තෝරාගෙන තිබෙනවා . එය ඔක්තෝබර් මස පැවැත්වෙනවා. ඒ සිනමා උළෙලට ගියාම 2023 සිනමාවෙන් අපි දිහා බලන්නේ. ඇමරිකන්, ප්‍රංශ, ජර්මන්, චීන චිත්‍රපට මෙයට තරඟ වදිනවා. යාවත්කාලීන වුණු සිනමාවක් ඇති රටවල් එක්ක අපිත් අලුත් වෙන්න ඕන.
ඔබේ මේ සිනමා ආකෘතිය තුළ ප්‍රකාශනය වෙනස්...?
සිනමාවේ ව්‍යාකරණය දියුණුවෙන්න ඕන. සිනමාවෙන් විශාල දේවල් පුංචියට කියන්න පුළුවන්. අපි උත්සහ කරනවා පුංචි දේ විශාලව කියන්න . විශාල දෙයක් පුංචියට කීමයි සිනමාව කියා මම දකින්නේ. ඉරාන සිනමාව එයට හොඳ උදාහරණයක්. අපට අනුකරණය කළහැකි හොඳම සිනමාව තිබෙන්නේ ඉරානයේ. අපේ ප්‍රකාශනයේ අඩුවක් තිබෙන බව අපි පිළිගන්න ඕන ඉරාන සිනමා උළෙලේදී සම්මාන නොලැබීම නිසා. අපි දියුණු සිනමා ආඛ්‍යානයක් භාවිත කළ යුතුයි. දියුණු සිනමාවක් සරලව කියන්න පුළුවන්.
ඔබේ සිනමා දිව්යේ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිසත් ඔබ ආභාසය ලැබූ සිනමාව ගැනත් සිහිකළොත්...?
මෙහෙමයි, අපි මුල්කාලයේ තානාපති කාර්යාලවල චිත්‍රපට බැලුවා. එහිදී ආචාර්ය ධර්මසේන පතිරාජ අපට ගුරුවරයෙක් වුණා. ඔහුව ළඟින්ම ඇසුරු කළා. ඒ ඔහු "සොල්දාදු උන්නැහේ" කරන කාලයේ. ඔහුගේ ශෛලිය සහ කියන දේවලින් අපි බොහෝදේවල් ඉගෙනගත්තා. මම හිතන විදිහට ඔහුගේ "සොල්දාදු උන්නැහේ" තමයි ලංකාවේ විශිෂ්ටතම දේශපාලන කියවීම සහිත චිත්‍රපටය. ඔහු අපට දැවැන්තයෙක් වුණා. ඔහු තුළ වෙනස් විදිහකට සිතන මානසිකත්වයක් තිබ්බා. මුල්ම කාලයේ ප්‍රංශ, ජර්මන්, රුසියන් තානාපති කාර්යාලවල සෑම සතියකම හොඳ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළා. අපේ කණ්ඩායම ඒවා බැලුවා.ජර්මන් සිනමාව මට විශේෂයෙන් බලපෑවා. ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රංශුවා ටෲෆෝ වැනි පිරිසත් , ජර්මන් සිනමාවේ "විම් වෙන්ඩර්ස්, වර්නර් හර්සොග්, ෆ්‍රෙසි බින්ඩර්"වගේ අයත් මගේ සිනමා දිවියට තදින්ම බලපෑවා. අපේ සිනමාවට වඩා ජර්මන්, ප්‍රංශ සිනමාව වෙනස් කියලා වැටහුණා. ඒවගේම අර්නස්ට් පෝරුතොට පියතුමා මල්වත්ත පාරේ පාවුළු මධ්‍යස්ථානයේ සෑම සිකුරාදාවකම චිත්‍රපටයක් පෙන්නුවා. එතුමා සිනමාව ගැන ප්‍රබෝධයක් ඇතිකළා. මේවගේ ආභාසයෙන් 1981දී මම 08mm කෙටි චිත්‍රපටයක් කළා. ආචාර්ය ලෙස්ටර් මහතාගේ සිනමාවත් මට බලපෑවා කිව්වොත් හරි. "හඳයා" කරද්දී ටයිටස් මහතා එක්කත් සම්බන්ධයක් මගේ තිබුණා . ටයි මහත්තයා බොරැල්ලේ හිටියේ. අපි එහේ ගිහින් කතා කරනවා.අලුත් මතවාද ඉගෙනගන්නවා. ඒවා පැය ගණන් අහගෙන ඉන්නවා. ඒවගේම ආනන්දය මගේ පාසල. ආනන්දයේ පාසල් සිසුන් පිරිසක් එකතුවෙන් නිර්මාණය කළ රංජිත් ලාල්ගේ "නිම් වළල්ල" තුළින් චිත්‍රපට නිර්මාණයට ආභාසය ලැබුවා. අපිට ඒ කාලයේ චිත්‍රපට කරන්න පිස්සුවක් තිබ්බේ. චිත්‍රපට නැරඹුවා . ඒවා අධ්‍යයනය කළා..
විචාර සම්මන්ත්‍රණවලටත් ඔබ සම්බන්ධ වුණා නේද....?
ආචාර්ය ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" සිනමා කෘතිය ගැන සම්මන්ත්‍රණයක් කළා . එය ඉතාම ජනප්‍රිය වුණා. තිලක් ගොඩමාන්න එහි නිෂ්පාදක. ඒ සම්මන්ත්‍රණයට විජය කුමාරතුංගවත් ගෙන්වගන්න අපට පුළුවන් වුණා.එය අපේ පාසලේ තිබුණු විචාරාත්මක සම්මන්ත්‍රණයක්. එදා තමයි ජීවිතයේ පළමුවරට විජයව හමුවුණේ.
අද නව පරපුර ගැන ඔබේ මතය....?
නව පරපුර තමයි හැමතිස්සේම මේකට ඇතුළු වෙන්න ඕන. සිංහල සිනමාවේත් දැන් පරම්පරා 03ක් ඇවිත් තිබෙනවා. 04වැනි පරම්පරාවත් දැන් එන්න ඕන. ඔවුන් අතේ තමයි අනාගත සිනමාව තියෙන්නේ. එයාලා ඩිජිටල් ඥාතීන්. මේ 04වැනි පරම්පරාව උපදින්නේම සෙල්ෆෝන් එකත් එක්ක. එයාලා සිනමාව ඩිජිටල් සමඟ අරගන්නවා. ඔවුන් තමයි අලුත්ම සිනමාව. පරණ පරම්පරාව නිසා තමයි අලුත් අය ඉන්නේ. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් පළමු පරපුරටත් ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර දෙවැනි පරපුරටත් ප්‍රසන්න විතානගේ , අශෝක හඳගම තෙවැනි පරපුරටත් අයිතියි. "මාව යෝධයෙකු ලෙස පෙනෙන්නේ මා යෝධයෙකු නිසා නෙවෙයි, මගේ කර මත තවකෙකු ඉන්න නිසායි" යනුවෙන් අයිසෙක් නිව්ටන් වරක් ප්‍රකාශ කර තිබුණා. ඒවගේ දැන් අලුත් පරපුරක් ගොඩනගන්න ඕන. 04වැනි පරම්පරාව ඉහත කී පරම්පරා 03ම උඩට නැඟ ඒ ශක්තිය අරගෙන ඉන්නේ. විශාල පරිණාමයක් කරන්න නම් 04වැනි පරම්පරාව එන්න ඕන. ඒ පරපුරටම තමයි මම අවමවාදී සිනමාව හැදුවේත්. ඒ අය තියටර් ද, ප්ලැට්ෆෝම් ද කියලා ඔවුන් තීරණය කරාවි. දැනුමත් එක්ක පරම්පරා 03කම ශක්තිය අරගෙන අතිශය ශක්තිමත්ව 04වැනි පරම්පරාව හැදෙනවා. ඔවුන්ගේ සිනමාව අර පරම්පරා 03ටම වඩා වෙනස් එකක්. ඒ පරම්පරා තුනේම එකතුවේ සාරය අරගෙන හැදෙන්නේ අලුත්ම පරම්පරාවක්. ඒ පරිවර්තනය වෙනතෙක් මේ සිනමාව අලුත් වේවි කියා හිතන්න බැහැ. අරගොල්ලෝ නවත්වපු තැනින් 04වැනි පරම්පරාව පටන්ගන්න ඕන. මේක බොහෝ අයට නොතේරෙන සත්‍යයක්. එහෙම නොවුණොත් මේකත් දේශපාලනය වගේ වෙනවා. මේ වෙනස අනිවාර්යයෙන්ම වෙන්නත් ඕන. ඒක ස්වභාව ධර්මයේ නීතියක්. ඔවුන් සිනමා කෘති කියලා කියන්නේ අපි කියන සිනමා කෘතිවලට නෙවෙයි. අපි දකින හීන සහ අපි දකින සිනමාව නෙවෙයි ඉදිරියට තියෙන්නේ.
ඔබ නිර්මාණය කළ සිනමා සිලෝන් ප්ලැට්ෆෝර්ම් එක ගැන කිව්වොත්....?
"සිනමා සිලෝන්" නමින් හැදූ ප්ලැට්ෆෝර්ම් හැදුවෙත් ඒ ප්ලැට්ෆෝර්ම් හරහා සිනමාව ගමන් කරන බව සිතූ නිසා. ඒ පරපුරට ර්‍ථඩධදඥ එකේ තිරය හොඳටම ඇති...ර්ඪජපධඵධටබ සහ ඒනනතඥ එකතුවෙලා ලොව හොඳම චිත්‍රපට සයිබර් අවකාශයට දාන්නයි යන්නේ. ඒ තාක්ෂණය අපේ දොර ළඟටම ඇවිත් තියෙන්නේ. ඩිජිටල් 04වැනි පරපුර මේ සිනමාව ඒධ් තාක්ෂණය එක්ක අයිති කරගන්නවා. එතකොට ඉතින් අපි පරණ වෙනවා.