වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
කලා දිවියේ 45 වසරට රජීව්ට උපහාර

ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු, තිරනාටක රචකයකු වශයෙන් කලා ලොවේ සැරිසැරූ නිහඬ, නිහතමානී, සොඳුරු කලාකරුවකු වන රජීව් ආනන්දගේ කලා දිවියට වසර 45ක් සපිරීම නිමිත්තෙන් ඔහු වටා සිටින කණ්ඩායමක් වන ‘රිද්ම රංචුව’ විසින් ඉකුත්දා උපහාර උලෙළක් සංවිධානය කර තිබුණි. පුංචි ඉතාලිය ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මීගමුව නගරයේ ඉඥච ඕපඥඥලඥ අඥඵධපබහිදී සැඳෑ කාලයේ ‘ආදරණීය රජීව්’ නමින් මෙම කලාකරුවා ඇගැයීමට ලක්වුණි. එදින සොඳුරු මොහොත පිළිබඳ සරසවියට රජීව්ගේ හිතමිතුරන් රැසක්ද සිය අදහස් දැක්වීමට මෙසේ එක්වූහ.
හිරු බැසයාමට ආසන්න සොඳුරු නිමේෂයේ මීගමුව නගරයේ මුහුදු වෙරළාසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි ඉඥච ඕපඥඥලඥ අඥඵධපබ නමැති නිවෙසට රජීව්ගේ සොඳුරු හිතමිතුරන් රැසක් පියනඟන්නට වූයේ සිය මිතුරාට උපහාර පිදීමටය. සෞන්දර්යාත්මක සිතුවිලිවලින් පිරි සිනාමුසු මුහුණුවලින් එකිනෙකා මුණගැසෙන්නට වූයේ තවත් සොඳුරු සන්ධ්‍යාවකට දොරගුළු විවරකරමිනි.
මෙම පිරිස මේ සොඳුරු සැදෑව සංවිධානය කර තිබුණේ සිය මිතුරාවූ රජීව් ආනන්දයන්ට නොදන්වා ඔහුව මවිතයට පත්කිරීමේ අරමුණින් වීම මෙහි විශේෂත්වයකි. සම්මානනීය ටෙලිනාට්‍ය අධ්යක්ෂ සුනිල් කොස්තා, ආගම්වාදය පිළිබඳ ලොව විවිධ රටවල දේශන පවත්වන මනෝ උපදේශකවරයකු ද වන ශාන්ති කුමාර් හෙට්ටිආරච්චි, හිටපු ජනාධිපති නීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, වේදිකා නාට්‍ය ගීත රචක, තිර රචක වසන්ත බණ්ඩාර නවරත්න, මාධ්‍යවේදිනියක වන කාවින්ධ්‍යා ජයසේකර ආදීන් මෙහිදී සොඳුරු කතාබහේ නිරත වන අයුරු දැකගත හැකිවුණි. එදින මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් රංගනවේදීන් දෙදෙනා ද ‘රිද්ම රංචුව’ට එකතු වූහ. කවියකු, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩයස් කිරිආරච්චි වැඩසටහන මෙහෙයවීය. රජීව් වටා සිටි කණ්ඩායම එකම සොයුරු කැලක් මෙන් රජීව්ගේ පාළුව, කාන්සිය නිවාදැමූ අතර ඔවුන් හැඳීන්වූයේ ‘රිද්ම රංචුව’ ලෙසිනි. මෙදින රජීව්ට උපහාර පිදීමේ සිතුවිල්ල පහළවූයේද මෙම රිද්ම රංචුවටය. රිද්ම රංචුවට වසර 35ක් සපිරීමද මෙහිදී මූලික කරගනිමින් උපහාර සැදෑව පවත්වන්නට යෙදුණි. රිද්ම රංචුවේ ප්‍රධාන සංවිධායක වූ විජිත සිරිමල් උළෙල සංවිධානයට මූලිකත්වය ගෙනතිබූ අතර මාධ්‍යවේදිනී කාවින්ධ්‍යා ජයසේකර ද "ආදරණීය රජීව්" සැදෑව වෙනස්ම සෞන්දර්යාත්මක සැදෑවක් කිරීමට ශක්තියක් වූවාය.
මීගමුව රජීව්ගේ ජන්මභූමිය වන අතර ශ්‍රීලාංකේය සිනමාවේ නිළි රැජන මෙන්ම ගීත කෝකිලාව වූ රුක්මණී දේවියගේ ජන්ම භූමිය වූයේද මීගමුව නගරය වීම විශේෂත්වයකි. මෙම සැදෑව ක්‍රමක්‍රමයෙන් රාත්‍රී ප්රමෝදයට පරිවර්තනය වීමට ආසන්න වෙත්ම රජීව් ආනන්දයන් සිය බිරියද සමඟ එම නිවෙස කරා පැමිණියේ එහි දැවැන්ත ගේට්ටුව වසා තිබියදීමය. රිද්ම රංචුව එම නිවෙසේ මිදුල උත්සවාකාරයෙන් සරසා ආසනවල වාඩිවී සිටි අතර රජීව් එනතුරු ගේට්ටුව වසා තිබුණේද රජීව්ට මේ අවස්ථාව විස්මයජනක සැදෑවක් බවට පත්කිරීමේ අරමුණිනි. රිද්ම රංචුව හා එක්වී උපහාර සැදෑව තවත් ආලෝකවත් කරගැනීමට රජීව් ආනන්දගේ පුත් සංජීව් ද එක්ව සිටිනු අපට එහිදී දැකගත හැකිවිය.
උලෙළ ආරම්භ වූයේ බිම්කළුවර වැටීමත් සමඟය. මෙය සොඳුරු චරිත රැසක් එකිනෙක හමුවූ සැඳෑවක් වූ අතර කලාව, සිනමාව, රූපවාහිනිය, වේදිකාව ආදී මාතෘකා පිළිබඳ වඩාත් සොඳුරු කතිකාවන් තැනින්තැන ඇසෙන්නට විය.
‘ආදරණීය රජීව්’ සැඳෑවේදී සම්මානනීය ටෙලිනාට්‍ය අධ්යක්ෂ සුනිල් කොස්තා මෙසේ අදහස් දැක්වීය. මම මේ කලා ලෝකයට එන්න ඕනකම තිබ්බ නිසා මුලින්ම වේශනිරූපණ ක්ෂේත්රයටයි ආවේ. ඒ ගැන දැනුමක් තිබ්බෙත් නෑ. ඒ කාලයේ තමයි රජිව් මගේ මිතුරෙක් වුණේ. එක දවසක් රජීව් මට කිව්වා “මචං, මම වීඩියෝ චිත්‍රපටයක් කරනවා, උඹට ඇවිත් මේකප් කරන්න පුළුවන්ද” කියලා. මම හා කිව්වා. පන්නල දික්කැලේ ඒක කළේ. පිටිපන පාස්කුවේ ජේසුතුමාට හිටිය ස්ටීවන් අයියා තමයි ප්‍රධාන චරිතය කළේ. ‘චලෝ’ කියලා වීඩියෝ ෆිල්ම් එකක් කළේ. එතන තමයි අපි දෙන්නගේ මුල්ම එකතුව. ඊටපස්සේ මම පරාක්‍රම නිරිඇල්ල යටතට යද්දී රජීව් ප්‍රසන්න විතානගේ වගේ කෘතහස්ත අධ්යක්ෂවරයකු යටතේ වැඩකළා. ප්‍රසන්නගේ අනන්ත රාත්‍රියේ සහය අධ්‍යක්ෂණයෙන් වගේම සම තිර රචනයෙන් රජීව් දායක වුණා. ඔහු එතැනදී විශාල දැනුමක් සොයාගෙන ගියා. ඒ දැනුම සොයා යෑමේ ප්‍රතිඵලයක් විදිහට 2013 සුමති සම්මාන රාත්රියේදී හොඳම නැඟීඑන අධ්යක්ෂ ලෙස ඔහු සම්මානයට ලක්වුණා. ඒවගේම මගේ ‘පින්සර දොස්තර’ ටෙලිනාට්‍යයේ හොඳම සහය නළුවාට ඔහු නිර්දේශ වුණා. මගේ ‘සිරිසිරිමල්’ ටෙලිනාට්‍යයේදී මට රජීව් දීපු උදව්ව නම් වචනයෙන් කියා නිමකරන්න බැහැ. ඒක වෘත්තිකයෙකුට වඩා මිත්රයෙකුට දීපු උදව්වක්. එම ටෙලිනාට්‍යයේ යම් ගුණාත්මකභාවයක් තිබුණේ නම් එම ගුණාත්මකභාවයෙන් කොටසක් රජීව්ටත් අයිතියි. මීගමුවෙන් බිහිවුණු විශිෂ්ට කලාකරුවන් ඉන්නේ අතළොස්සයි. එඩී ජයමාන්න, රුක්මණී දේවි, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස් වගේ අය එහිදී විශේෂයි. ඉන්දියානු අනුකරණයත් එක්ක ගොඩනැඟුණු අය තමයි බොහෝ අය. ඒක වෙනස් කළ මීගමුවෙන් බිහිවුණු මීගමුවේ අදටත් ඉන්න කෙනා තමයි රජීව්. මීගමුවේ හැමෝටම වගකීමක් තියෙනවා මේ ගෙදර නිදාගෙන ඉන්න මනුස්සයාව ඒකෙන් වළක්වන එක. මේ මනුස්සයා දක්ෂකම් රැසක් තියාගෙන ගෙදරට වෙලා නිදාඉන්න එකනම් අපරාධයක්. ඔහු එක්ක ළඟින් වැඩකළ නිසා මම රජීව්ගේ දක්ෂකම් හොඳීන්ම දන්නවා. මීගමුවේම ඉන්න නිසයි මෙයාට මෙහෙම වුණේ. අති දක්ෂ, ලෝකය ජයගන්න පුළුවන් නිර්මාණකරුවෙක් රජීව්ගේ ඇතුළේ ඉන්නවා. මම ඉල්ලා සිටින්නේ රජීව්ව රැකගන්න නම් රජීව්ගේ නිර්මාණ එළියට ගන්න උදව් කරන්න කියලා.”
මෙහිදී අදහස් දැක්වූ ආගම්වාදය පිළිබඳ අන්තර්ජාතික දේශකයකු මෙන්ම මනෝ උපදේශකවරයකු වන මහාචාර්ය ශාන්ති කුමාර් හෙට්ටිආරච්චි මහතා :
මේ හමුවීමත් අති සුවිශේෂියි. ඒකට බුදුන් වහන්සේ කියන්නේ කල්‍යාණ මිත්‍ර කියලා. සුහද මිත්‍ර නෙවෙයි කල්‍යාණ මිත්‍ර. දුකේදී හෝ සැපදේ ඉන්නවා. මමත් අද මේ කලාකරුවන්ගෙන් ආස්වාදයක් ලැබුවා. රජීව් ඔබ අතිශයින්ම භාග්‍යවන්තයි මෙවැනි මිතුරන් රැසක් ලැබීමට. ඔබ ලක්ෂ කෝටි ගණන් සොයාගන්න නැතිව ඇති. ඒත් ඔබ හම්බකරගත් මිත්‍රයෝ රාශියයි. ඒ නිසාම මේ සන්ධ්‍යාව සොඳුරුයි. ලස්සනයි. ඒ නිසාම ස්මරණීයයි.
රජීව් ආනන්දගේ සමීපතමයකු වන හිටපු ජනාධිපති නීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, වේදිකා නාට්‍ය රචක ගීත රචක වසන්ත බණ්ඩාර නවරත්න අදහස් දක්වමින් :
රජීව්, සිරි අයියා, විජිත සිරිමල් කියන චරිත තුන කවදාවත් අමතක වෙන්නේ නැති චරිත තුනක්. රජීව්ගේ, සිරි අයියාගේ සිරිතක් තිබුණා මේගොල්ලෝ නාට්‍ය කලාව හෝ කලාව ගැන හෝ යම්කිසි දෙයක් ඉගෙනගන්න තැනක් තියේනම් හෝ යම් තැනක විශේෂ දෙයක් වේ නම් එතැනින් කෙසේ හෝ ගුරුහරුකම් ලබාගැනීම. ඒ කාලයේ ඉඳන්ම මම දැනගෙන හිටියා මොවුන් කලාවෙන් ඉදිරියට යනබව. කලාව කියන්නේ තමාගේ සිතේ ඇති හැඟීමක් ප්‍රකාශ කරන්න අපි තෝරාගන්න මාධ්‍යයක්. ඒ මාධ්‍ය තෝරාගැනීමෙන් ඒ ගැන පෘථුල අධ්‍යාපනයක් ලබාගන්න ඕනේ. ඒ ගැන රජීව්ත් එයාගේ පිරිසත් දැනගෙන හිටියා. රජීව් සම්බන්ධයෙන් විශේෂ කරුණු දෙකක් කියන්න ඕනේ, එකක් ඔහුට කලාව හරියටම විද්‍යාත්මකව ඉගෙනගැනීමට ලොකු ආශාවක් තිබුණා. ඒ වගේම ඔහුට වාසනාවක් තිබ්බා තමන්ට හිතවත් කණ්ඩායමක් හදාගැනීමට. මේක ලොකු වාසනාවක්. ඔහුගේ හැමදේටම සහය දුන්න හොඳ බිරිඳකුත් ඔහුට හිටියා. හොඳ මිතුරු පිරිසකුත් හිටියා. මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේදී රජීව්ගේ තවත් නිර්මාණ දකින්න ලැබේවා කියලා. මම ඔහුට අවශ්‍ය නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.
මාධ්‍යවේදිනියක වන කාවින්ධ්‍යා ජයසේකර අදහස් දක්වමින් :
මම උසස්පෙළ පන්තිවල ඉද්දි බන්දුල පද්මකුමාර මහතා සංස්කරණය කරපු ‘සරසි, සත්සර’ වගේ පත්තරවල තිබ්බා මතකයි දළුවකොටුවේ ‘අපේ කට්ටිය’ කියලා සංවිධානයකින් නාට්‍ය පාඨමාලාවක් කරනවා කියලා. මටත් ඒකාලයේ ඉඳන් නාට්‍ය පිස්සුවක් තිබ්බා. නාට්‍ය බලන පසුබිමකයි අම්මා, තාත්තා මාව හැදුවේ. මාසෙකට වේදිකා නාට්‍ය 7ක් 8ක් බලනවා. ඉතින් මම දළුවකොටුවේ අපේ කට්ටියට ලිව්වා. මට නැවත පෝස්ට්කාඩ් එකක් එව්වා දළුවකොටුවේ ඇන්ටනි මහා විද්‍යලයට එන්න කියලා. අම්මා මේකට තරයේ විරුද්ධ වුණා. ජීවිතයේ පළමුවරට අම්මාට අකීකරු වෙලා ගිහින් කරපු නාට්‍ය වැඩමුළුව තමයි අපේ කට්ටිය නාට්‍ය වැඩමුළුව. මේකේදී රජීව් අයියා කතාවක් පැවැත්වුවා. ඒ කතාවට අම්මා පැහැදුණා. ඒ පැහැදීමත් එක්ක 1998 ඉඳන් මේ වෙනතෙක් අවුරුදු 35ක් නොකඩවා රිද්ම රංචුව එක්ක ඉන්නවා. රජීව් අයියා නිසා මට උපුල් ශාන්ත සන්නස්ගලව, වසන්ත බණ්ඩාර නවරත්නව, පියසිරි කුලරත්න, සුන්දර නිහතමානී ද මෙල්ව හඳුනාගන්න ලැබුණා. කලා ලොවේ දැවැන්තයන් අඳුනගන්න ලැබුණේ රජීව් අයියා නිසා. මේ හැමදේකම පිටිපස්සෙන් හිටියේ රජීව් නමැති සුවිශේෂී පුද්ගලයා කියා මම ඉතා සතුටින් කියන්න කැමැතියි.
රජීව් ආනන්දගේ පාසල් ගුරුවරයකු වූ ඩී.ජේ.ඇන්තනී මහතා අදහස් දක්වමින්:
මට රජීව්ව මුලින්ම මුණගැසුණේ දළුවකොටුව විද්‍යාලයේදී. මගේ ගමේ පාසලේදී. 3 වසරේදී හා 7 වසරේදී මට රජීව්ව මුණගැසුණා.මාව රජීව්ගේ ජීවිතයට බලපානවා කියලා දැනගත්තේ ‘බරණිය’ වේදිකා නාට්‍යය බලන්න මට ආරාධනා කළවිටයි. එහිදී කියවෙනවා කලාව පැත්තෙන් යමක් කරන්න බලපෑවේ මමයි කියලා එහිදී කියවෙනවා. මේ දේශයට අර්ථවත් නිර්මාණ බිහිවෙමින් කලාවෙන් උපරිම දේ කරන්නටත් යහපත් දේශයක් බිහිවීමටත් රජීව් ආනන්දගේ දායකත්වය උපයෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා.
සිය උපහාර උලෙළ පිළිබඳ අදහස් දක්වමින් රජීව් ආනන්ද මෙසේ කීය. මම වෙනුවෙන් මේ කටයුත්තට කැපවුණු, කාලය වැයකළ සිරිමල් ප්රමුඛ සියලුදෙනාටම මගේ ආදරයයි දෙන්න තියෙන්නේ. මේක මට හිතාගන්නත් බැහැ. මම නාට්‍යකාරයෙක් වෙන්න මිසක් වෙන කිසිම දේකට සූදානම් වුණු කෙනෙක් නෙවෙයි. මම හිතුවේම නාට්‍යකාරයෙක් වෙනවා කියලා. මම විද්‍යා විෂයයන් හැදෑරුවේ. මට යන්න වුණේ හරිස්චන්ද්‍ර විද්‍යාලයට. මම මගේ අම්මාව එක්කගෙන ගිහින් විදුහල්පතිට කියෙව්වා මාව කලාවට යොමුකරන්න කියලා. මේ මොහොතේ විදුහල්පති දොස් කිව්වා. මම විද්‍යා විෂයය කළා. ඉතින් මගේ ඇඟේ තිබ්බේ කලාව. ගිහාන් ප්‍රනාන්දු වරක් මට කිව්වා ආර්ට් කරපු උන්ගේ මොකද්දෝ අවුලක් තියෙනවා බං. සයන්ස් කරලා ආර්ට් කරපු උන් අතර මොකද්දෝ වෙන එකක් තියෙනවා කියලා. මම හැමතිස්සේම හිතුවේ වෙනස්ම දෙයක් කරන්න. මම කොළඹදී ඉගෙනගත්ත දේවල් ගෙනල්ලා අපේ මීගමුවට හලනවා. හැමදේටම මගේ රිද්ම රංචුවේ කණ්ඩායම හිටියා. මාව ගොඩනැඟුවේ මේ කණ්ඩායමයි. මගේ පරම්පරාවේ කවුරුවත් නාට්‍ය කලාවට සම්බන්ධත් නැහැ. මම මොකක්දෝ පුංචිදෙයක් කරලා ඇති. ඔයාලා මට නොතේරෙන්න මේ උපහාර උලෙළ සංවිධානය කරපු එකේ තමයි මාරම මාර ගතිය තියෙන්නේ. පුෂ්පා වගේ බිරිඳක් සිටීම මගේ ගමනට ලොකුම ශක්තියක් වුණා.
‘රිද්ම රංචුව’ සංවිධායක විජත සිරිමල් අදහස් දක්වමින්:
රජීව් ගැන මේවගේ දෙයක් කරන්න කිව්ව ගමන්ම මටත් වඩා උනන්දුවූයේ මගේ බිරිඳයි. මායි රජීව් දෙන්නා ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය පාඨමාලාවකට සම්බන්ධ වුණා. ඔහු උගන්වපු සියයට හැත්තෑපහක්ම රජීව් මට ඉගැන්නුවා. අහුමුළුවලින්, පොතපතින් ඉගෙනගත්ත දේවල් තමන්ගේම කරගෙන ඒවා අපට රජීව් බෙදා දුන්නා. ඒවා හරිම ආශ්චර්යවත් සිදුවීම්.
උපහාර උළෙල පිළිබඳ අදහස් දැක්වූ රජීව් ආනන්දගේ දියණියක වන කේමමාලි මන්දස්මිතා:
තාත්තා වෙනුවෙන් මෙහෙම දෙයක් කරනවා කියලා මම දැනගෙන මාසයක් විතර ඇති. සිරිමල් මාමාට මේ අදහස ඇවිත් කෙළින්ම කිව්වේ අපේ අයියාට. මම මේ මොහොතේ සිරිමල් මාමාට ස්තුති කරනවා මෙය සංවිධානය කළාට. හැමෝටම බොහෝම ස්තුතියි. පවුලේ සාමාජිකයන් විදිහට අපි ඇත්තෙන්ම ලැජ්ජාවෙන්න ඕන මේවගේ දෙයක් අපට සංවිධානය කරන්න බැරිවීම ගැන. කලා ක්ෂේත්රයේ බොහෝ අයටවත් සංවිධානය කළ නොහැකි දෙයක් සිරිමල් මාමා ඇතුළු පිරිස සංවිධානය කිරීම සතුටක්.....
කෙසේ නමුත් මධ්‍යම රාත්රියද පසුවී පාන්දර යාමය වනතෙක්ම රජීව් ආනන්දගේ රිද්ම රංචුවේ සාමාජිකයන් පිරිස සතුටු සාමීචියේ යෙදුණු අතර එහිදී බොහෝ දෙනෙක් කලාව, සිනමාව, වේදිකාව, ගීතය යනාදී කලා මාධ්‍යයන් පිළිබඳ නොයෙක් අර්ථකථන හුවමාරු වූ අතර පාන්දර යාමය දක්වා රිද්ම රංචුවේ සතුට දෝරේගලාගියේ රජීව් ආනන්දයන් හට උපරිම වටිනාකමක්ද එක් කරමිනි.