දුෂ්කරතා රාශියක් මැද්දේ බාධක ජයගත්තා

ප්‍රවීණ ගායනවේදී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සැප්තැම්බර් 14, 2023

ජීවන සිහින ඉටුවන ආකාරය හරි පුදුමය. අපේ ජීවිතවල අපි දකින නොයෙක් සිහින ඉටුකර ගැනීමට අපි විවිධ අන්දමින් යත්න දරන්නෙමු. සමහර උත්සාහවන්තයින් මේ සිහින කරා යන්නට බොහෝ කැපවීම් කරති. බොහෝ දුක් පීඩා විඳිති. තම ඉලක්කය කරා ගියවිට මේ දුක් සෝ සුසුම් සතුටු කඳුළු වන්නේ ඔවුන්ට ද නොදැනීමය.

අපේ කතාවේ කතා නායකයා ද එවන් සිහින දුටුවෙකි. ඒ සිහින සැබෑකර ගැන්ම වෙනුවෙන් නොයෙක් දුක් කරදර සම සිතින් ඉවසූවෙකි. ඒ ඉවසීමේ ප්‍රතිඵලය අද ඔහු මෙරට ජනපි‍්‍රයතම ගායකයකු බවට පත් කළේය. ගතවුණු දශක හතරකට වැඩි කාලපරිච්ඡේදය පුරා ඔහු මේ රටේ සුවහසක් ගීත ලෝලීන්ගේ හදවතේ ආදරයෙන් රැඳුණු ගායකයකු බවට පත්වූයේය. අද සිය ගායන දිවියේ හතළිස් පස්වසර සපුරන ඔහු ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිය.

ගායන දිවියේ හතළිස් පස්වසර ඔහු සමරන්නේ අපූරු ආකාරයටය. ඒ සිය ආදරණීය රසික රසිකාවන් වෙනුවෙන් නොමිලයේ ප්‍රසංගයක් සංවිධානය කරමිනි. දශක හතරකට වැඩි කාලයක් ඔහු මේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ඔසවා තැබුවේ ඔහුගේ ආදරණීය රසික රසිකාවන්ය. ඔවුන් කිසිදා අමතක නොකරන ඔහු ඒ වෙනුවෙන් සිය කෘතවේදීත්වය පිරිනමනුයේ එලෙසිනි.

‘මගේ ගායන ජීවිතයට 45 වසරක් පිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. වසර 5න් පහට මම මේ වගේ ප්‍රසංග පැවැත්වූවා. එවැනි ප්‍රසංගයක් තමයි මේ පවත්වන්නේ. කොටින්ම කිවුවොත් මේක මම මගේ රසික රසිකාවන්ට දෙන තෑග්ගක්’

ඔහු පවසනුයේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිළිබඳ උපන් සැබෑ ආදරයකිනි.

‘මම මේ ප්‍රසංගය නම් කරල තියෙන්නේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 45 වසරක ගී සැමරුම, සෙනෙහසේ ගී අසිරිය - ඔයා නිසා’ යනුවෙනුයි. මේ එළැඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා සවස 6.30ට මහරගම ජාතික තරුණසේවා සභාවේ යොවුන් රඟහලේදී මේ ප්‍රසංගය පැවැත්වෙනවා. මේ ප්‍රසංගය නරඹන්න කිසිම මුදලක් අය කරන්නේ නෑ. හරිම නිදහසේ ඇවිත් කෙනෙකුට රසවිඳින්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන ඉඩපාඩු මදිවේවි. සමහරවිට ඉඳගෙන බලන්න බැරි වේවි. නමුත් මම ආරාධනා කරනවා මගේ රසික රසිකාවන්ට හැම දෙනාටම හිටගෙන හරි ප්‍රසංගය නරඹන්න එන්න කියලා.’

ගායකයකුට ගායිකාවකට තමන්ගේ රසික ප්‍රජාව තරම් වටිනා කෙනෙක් තවත් මෙහි හිටිය නොහැකිය. ගායකයකුගේ ගායිකාවගේ අනාගතය තීරණය කරන්නේ රසික රසිකාවන්ය. ඔවුන්ව තව දුරටත් ක්ෂේත්‍රය තුළ ඔසවා තබන්නේ මෙන්ම, ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයට රැගෙන එනුයේ රසික රසිකාවියන්ය. එවන් වූ පිරිසකට දක්වන මේ කෘතවේදීත්වය සැබෑම ආදරණීයය.

මෙම ප්‍රසංගයේදී චන්ද්‍රසේන සමඟ යුග ගී ගායනයට එක් වන්නෝ ද රැසකි. චන්ද්‍රසේන සමඟ මුල් යුගයේදීම යුග ගී ගායනයෙන් එක් වූ චන්ද්‍රලේඛා පෙරේරා මෙන්ම සෝමසිරි මැදගෙදර වැන්නෝ ද ඒ අතර වෙති.

‘මගෙත් එක්ක යුග ගීත ගායනා කරන්න එක්වෙන්නේ චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, රුක්මන් අසිත, දමයන්ත ගමගේ, කුමුදුනී විජේතිලක, අමන්දා දෙව්මි, රිසිනි හිමංසා, විජය බණ්ඩාර වැලිතුඩුව ආදීනුයි. මේක ඇත්තටම හරි සුන්දර, ලස්සන ප්‍රසංගයක්. සංගීතය සපයන්න ඉතාම දක්ෂ වාද්‍ය ශිල්පීන් 15 දෙනෙක් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඒ අය සමඟ සංගීතය මෙහෙයවන්නේ තිළිණ තුෂාරයි. ඩෙන්සිල් නුගේගොඩ, චිත්‍රා කුමාරි කළුබෝවිල, සංඛ නවරත්න නිවේදනයෙන් එක් වෙනවා.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගායන දිවිය අර්ධ ශතකය සමරන්නට ඇත්තේ තව වසර 5කි. මේ කාලය ඇතුළත තවත් කොතෙක් නම් ගී නිර්මාණ ඔහු අතින් බිහිවේවිද? ගෙවුණු යුගය පුරා ඔහු ගැයූ ගී ගණන කොතෙක්දැයි යන්න අපට ද නිච්චියක් නොමැත. එහෙත් සදා ඔහු මෙරට සංගීත ලෝකය තුළ නින්නාද කර වූ මේ ගීතය නම් කිසිදාක අමතක වන්නේ නැත.

‘ඈත හමායන මද සුළඟේ ඔබ

බිඳුවක් නවතින්නේ...

කාලය ගෙවිලා යයි සැණකින්

බිඳුවක් නවතින්නේ...

ගැල් පුරවාගෙන හනි හනි හනිකට

තුන්යම කතර ගෙවා

දිවිය ගෙවන්නට අඹු දරු රැකුමට

තවලම් අපි යනවා...

‘මට මේ ගීතය හදලා දුන්නේ ෂර්ලි වෛජයන්ත සර්. මේ ගීතය තමයි මගේ මුල්ම ගීතය විදියට ජනගත වන්නේ. නමුත් මම ක්ෂේත්‍රයට එන්න කලින්. මේ ගමන එන්න උත්සාහ කරන කාලේ 1979 දී මමම ගීතයක් හදල ගායනා කරනවා. ‘ජයභුමි ශ්‍රී ලංකා කියලා. ඒකට යෞවන සම්මාන උලෙළේ සම්මාන ලැබෙනවා. නමුත් ඒ මම ශාස්ත්‍රය කිසිවක් නොදන්න කාලේ.’

ඔහු අතීතයට යනවා. ලේසි පහසු අතීතයක මතක නොවෙයි ඔහුට තිබෙන්නේ. පුරා හතළිස් පස් වසරක මතකයක්. අතීතයේ බොහෝ දුක් ගැහැට තිබුණට ඒ මතක සුන්දරයි කියලයි ඔහු කිව්වේ.

‘ඇත්තටම අවුරුදු 45ක් ආපස්සට හිතලා බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා. මේ තරම් කාලයක් මාව රැක්කට මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕන. මගේ ගීත අහපු, මගේ රසික රසිකාවන්ට. ඔවුන් නිසයි අද මම මේ වගේ තැනක ඉන්නේ. මේ ගමන ආවේ මල් අතුළ මාවතක් දිගේ නොවෙයි. අනන්ත අප්‍රමාණ බාධක කම්කටුලු තිබුණා. හැබැයි ඒ ඔක්කොම විඳගෙන ඉදිරියට එන්නට ලොකු ආත්ම ශක්තියකුත් තිබුණා. දුෂ්කරතා රාශියක් මැද්දේ බාධක ජය ගත්තා. ඉතින් මේව මතක් වෙනකොට හරි සුන්දරයි.

අපි ගම්වල ජීවත්වුණු දුප්පත් මිනිස්සු මගේ ගම යටින්තොට ගරාගොඩ. මේ පැත්තට යොමු වෙන්න හැකි පවුල් පසුබිමක් හෝ ආර්ථික හයියක් හෝ තිබුණ මිනිස්සු නොවෙයි අපි. නමුත් ගීත ගායනා කිරීමේ හැකියාව මං අරගෙන ආවා. මට හිතෙනවා ඒක අපේ තාත්තාගෙන් එන්න ඇති කියලා. තාත්තා ගෙදරදි සින්දු කියනවා. මට මතකයි තාත්තා දවසක් ගෙදරට මැන්ඩලීන් එකක් ගෙනාවා. ඔහුට ඒක වාදනය කරන්නත් පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම කළේ පුරුද්දට මිසක් නියම ශාස්ත්‍රානුකූලව ඉගෙන ගෙන නොවෙයි.

අපේ තාත්තා මේසෙන් වැඩ කළා. වඩු වැඩ කළා. වැලිගොඩ දැම්මා. අපේ අම්මා රබර් වතුවල වැඩ කළා. එහෙම තමයි අපිව ලොකු මහත් කළේ. තාත්තාට වාඩිවලදී එහෙම සින්දු කියල පුරුදුයි. මැන්ඩලීන් එක ගෙනාවෙත් ඒ හින්ද වෙන්න ඇති. මමත් ඒකට හරියට ආස වුණා. නිකම්ම ඒක අත පත ගාමින් ගහන්න පුරුදු වුණා.’

විධිමත් අධ්‍යාපනයක් නොමැතිව සංගීතය එහෙන් මෙහෙන් අතපත ගාන චන්ද්‍රසේනට විධිමත් සංගීත අධ්‍යාපනයක් ලැබෙන්නේ ජාතික තරුණසේවා සභාව ආරම්භ කරපු බෙල්වුඩ් ආයතනයෙන්. සත්‍ය වශයෙන්ම කිවහොත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි නම් ගායකයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වනුයේ මේ ස්ථානයයි.

‘ඔව් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය එතැන තමයි. මුල් යුගයේම මගේ සංගීත ගුරුවරයා වෙන්නේ ෂර්ලි වෛජයන්තයන්. ඔහු කෙටි කාලයකින් ඉවත් වුණාට පස්සේ නිහාල් ගම්හේවා සර් එනවා. මම හරියට සරිගමපධනිය ඉගෙන ගත්තේ එතැනින්.’

සැඳෑ සමයයි ජීවිතේ

ගෙවන්නේ මා අද දිනේ

දෙපා වාරුව පමණකි මට

මගේ තනියට ළඟ සිටින්නේ...

මේ චන්ද්‍රසේනගේ මුල්ම ගීත එකතුවට ඇතුළත් වූ ගීතය. එදා මෙම ගීත කොතෙක් ජනපි‍්‍රය වූවාද කියනවා නම් බොහෝ තරුණ තරුණියන්ගේ මුවඟ මේවා නිතර රැව් දුන්නේය. සැදෑසමයි, තවලම් අපි යනවා, ලෝසත හට සෙත සැදූ වැනි ගීත ෂර්ලි වෛජයන්තයන් විසින් ඔහුට සදා දුන් ගීතය.

‘ඇත්තටම මේ ගීත ජනපි‍්‍රය වෙන විට තවත් යොවුන් ගී කැසට්පට බිහි වෙනකොට තව තව ගීත උවමනා වෙන්න පටන් ගත්තා. ඒ නිසාම මම ගීත ටිකක් ලියලා තියාගන්න ඕන කියල හිතලා මමම ගීත රචනා කරන්නත් පෙලඹුණා. ඒ අනුව තමයි ‘අම්මා ජීවන උයන්තෙරේ, කෙලෙසක කීවත් ඔබ ගැන මතකය වැනි ගීත මම එකතු කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ගීත 16කින් යුතු කැසට් එකක් කළා.

‘අම්මා ජීවන උයන්තේරේ

නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ....

ඒ යුගයේ මේ ගීතය අතිශයින්ම ජනපි‍්‍රය වූයේ මව්ගුණ ගීතය වශයෙනි. මෙසේ ආරම්භ වූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ නිර්මාණ ජීවිතයට විවිධ වර්ගයේ ගීත එකතු වූයේය. වෙනත් බොහෝ ගායකයන්ට සාපේක්ෂව ඔහුගේ ගීත පිළිබඳ විවරණය යෙදුණහොත් විවිධ මාතෘකාවලින් සමන්විත ගීත ගොන්නක් ඔහුට හිමිය. යොවුන් ගී කණ්ඩායමෙන් පැමිණි ගායකයකු වූවද, ඔහු ඉතාම ජනපි‍්‍රය යුගයේ වුවද පේ‍්‍රමය, ආදරය පමණක්ම ඔහුගේ ගීතවලට වස්තු වූයේ නැත.

එදා මෙදා තුර ගෙවුණු කාල පරිච්ඡේදය පුරා සංගීත ක්ෂේත්‍රය තුළ ද විවිධ රැළි පෙරළි පැමිණි බව අප කවුරුත් දන්නා කරුණකි. මේ සියල්ල අතරේ තම අනන්‍යතාවය රඳවා ගනිමින් කලින් කලට නිර්මාණකරණයේ යෙදෙන්නට ඔහු පෙලඹුණ ආකාරය ප්‍රශංසනීයය.

සෙල්ලම් ගේ පාළුවෙලා

බෝනික්කා තරහාවෙලා

කෝම්පිට්ටු මාලිගාව

කැඩිල ගිහිල්ලා

එක් යුගයක ඔහු එහෙම ගැයුවා අපට මතකය. වසර 2005 න් පසු සංගීත ලෝකය තුළ අලුත් පරම්පරාවල් බිහි වී නව නිර්මාණ බහුල ලෙස බිහිවෙමින් පැවති යුගයේදී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ද ඊට සැබෑ ලෙස මුහුණ දී සිය මුද්‍රාව නොනැසී තබා ගත්තා මතක ඇති.

‘ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්

ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්

ඔබේ පුංචි දෙතොල් අතරේ

මා තනිවෙද්දෙන්

ඔයා ලැබෙන්නේ නැතිනම්

තනිකඩ වෙද්දෙන්.’

‘එක එක කාලවලට විවිධ ආකාරයේ වෙනස්කම් සංගීත ලෝකයේ සිදුවෙනවා. අපිත් ඉතින් මේ හැල හැප්පීම් අතරේ ඉන්නවා. දැන් මගේ අලුත්ම ගීතය ‘සංවේදනා’ නමින් මේ ප්‍රසංගයේදී වීඩියෝ සමඟම එළි දකිනවා. මේ ගීතයෙන් කියවෙන්නේ මමයි මගේ අම්මයි, තාත්තායි ගැනයි. කොහොම වුණත් මේ ප්‍රසංගයේදී ගායනා කරන්න ගීත 100ක් අපි පෙළ ගැස්සුවා. ඒ අතරින් ගීත 30ක් මම එදිනට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

 

[email protected]