කලා සෞන්දර්ය බිහිවෙන්නේ ස්වයං විනය සමඟ

ජෙනරාල් කමල් ගුණරත්න
සැප්තැම්බර් 7, 2023

යුදබිමේ අවිය සවියක් කරගත් සොල්දාදුවන් වෙනුවෙන් ඔහු පියකු මෙන් පෙනී සිටියේය. එතුමෝ විටක පෑන අවියක් කරගත්හ. දියේ පතුලේ සුන්දර සුදු නෙළුම් හටගත්තාක් මෙන් අමානුෂික යුද බිමෙන් ද මානුෂීය තත්ත්වයේ සුවඳ වහනය වන අගනා ගීත සාහිත්‍ය හා කලා කෘති ලේඛකයකු ලෙස ඔහු අතින් ලියවිණ. ඒපරිද්දෙන් රට දැය වෙනුවෙන්, අනාගත පරපුර හා නුපන් පරපුර වෙනුවෙන් තිස් අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධයේ දි 53 වන සේනාංකයේ සේනාධි නායකයා ලෙස සිටීමෙන් අනතුරුව ලියු ගීත 25කට නොවැඩිය. ඒ අතර මේ දිනවල කාගෙත් කතාබහට ලක්වන්නේ ඔහු ලියු හතරවන ගීතය ‘ලෝවීනා’ ගැනයි. 1835 ලාංකේය ඉතිහාසයේ නවතම පිටුවක් පෙරළන්නට විය. සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ආදර කතා ගොන්නට එකතු වු සුන්දරම ළඳුන් අතර ලෝවීනා ඔහුට නිල් මණික්‍යකටද වඩා වටින්නට විය. ඒ ආදර අන්දරය අකුරු අතර වචනවලට පෙරලන්නට පසුගිය දිනක ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්නට හැකිවිය. ආදර ගිත අතර ආදරය දැනුණු විඳපු විදිහ සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ආදර කතාව ලියු විදිහ සරසවිය සමඟ කළ පළමු කතාබහ මෙසේය.

 

මේ ගීතයේ පද වැල ගැන කතා කළොත් ?

 

ලොවීනා මගේ සොඳුරියේ

නුඹේ තුරුණු ළැම හද කිතිකවයි

නුරා ඉතිරෙන වියරු බැල්මන්

එල්ලවී තිසරුන් දවයි

 

ස්වාමීනි මම රොඩි කුලයේ

ඉපදුණේ පෙර පවකටයි

ළැම වසන්නට වරම් නෑ මට

රාජ අණ හරි බලගතුයි

 

රණ තිසරු උස් අහස දෙස

නෙත් යොමා ඇති හැටි සුන්දරයි

පිරුණු ළැම මත වැහතිර සිටිනා

උනුත් හරි ආඩම්බරයි

 

රාජ තේජස කොතෙක් තිබුණද

මුදු වදන් ඔබේ පෙම්බරයි

ඔබෙන් ලැබෙනා හාදු වැස්සට

තිසරු කොහොමත් ළෙන්ගතුයි

 

මගේ හාදුව ලබන තිසරුන්

වෙනත් නෙත් නොගැටිය යුතුයි

වසාගනු ළැම මෙයින් මතුවට

රාජ අණ දැන් අහවරයි......

 

ළැම වසන්නට ඔබෙන් ලද

අණ මතක් වෙන විට සුන්දරයි

ඉගිළ යන්නට අර අදින

රණ තිසරු මන්මත් වී නටයි.......

 

මම ලියූ මේ හැම වචනයකම තියෙන්නේ ඔහු ලොවීනාගේ සුන්දරත්වය දැකපු විදිහ. 1800 ගණන්වල තෙක් රෝඩි කුලයේ ස්ත්‍රීන්ට පියයුරු වසන්නට අවස්ථාවක් නොතිබුණා. ඒ කාලේ මේ වගේ සුන්දර යුවතියක් ගේ නාරි දේහය දකිනවා කියන්නේ පාලන තන්ත්‍රය ඉන්න ඉහළ අය හැම මොහොතකම උත්සහ දරන්නේ ආදරය කිරීමටයි. ඒත් ආණ්ඩුකාරවරයා මේ යුවතියට ආදරය, දයාව, කරුණාව, ළෙන්ගතු කමත් එක්ක සෙනෙහසක් පිදුවේ. එදා ආණ්ඩුකාරවරයා පියවරු වසන්නට අවසර නොදුන්නා නම් අදත් ඔවුන්ට එහෙම ජීවත් වෙන්න වෙන්නේ එහෙමයි කියලා මට හිතුණා. ලොවීනාට කරපු සෙනෙහස නිසා රොඩී කුලයේ සියලුදෙනාට තනපටක් අඳීන්නට අවසර ලැබුණා. ආණ්ඩුකාරවරයා යන්න ගියා. ඒත් ඒ මතකය අප මනසේ ඉතිරි කරලා ගිය නිසා. ඒ ලබා දුන්න සෙනෙහස මගේ මනසේ ඇඳුණු චිත්ත රූප එක්ක තමයි මම මේ පදවැල් ලියන්නේ. හැම මොහොතකම ඇයගේ ශරීරය දැකීමෙන් සුන්දරත්වය සමග ශෘංගාරය දනවන විදිහේ. ගලාගෙන යන වචනවලට සුරේෂ් මාලියද්ද ගේ සංගීතය මුසු වීමත් කාංචනාගේ හා චිත්‍රාල්ගේ හඬ මුසුවීමත් තුළ හරි ලස්සනට මේ වැඩේ වුණා කියලා මට කියන්න පුළුවන්.

ඔබ ගීත ගණනාවක් රචනා කරපු කෙනෙක් මුලින්ම අපි ඉතිහාසය පිළිබඳ කතා කරමුද?

මම ඇත්තටම ගී පද රචනයට යොමු වුණේ ප්‍රියානි ජයසිංහ කියන ගායිකාව මට කිව්වා යුද්දෙන් පස්සේ ගීත දෙකක් විතර ලියන්න. මම කියන්නම් කියලා. කොහොම හරි ඇයගේ ඉල්ලීම මම ඉෂ්ට කළාට ඒ ගීතය ප්‍රියානිට කියන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇය අවාසනාවන්ත ලෙස මේ බිම අතහැරලා සදහටම යන්න ගියා. ඒත් ඇගේ ඉල්ලීම කොහොමහරි ඉෂ්ට කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා එම ගීතය මම සසිකා නිසංසලා ලවා ගායනාප කළා. ප්‍රියාණි මගෙන් ඉල්ලූ ගීත රචනය නිසා අද වන විට මම ගීත විසි පහකට නොවැඩි සංඛ්‍යාවක් රචනා කරලා තියෙනවා. ඒ ගීත නව පරපුරේ ගායකයන්ට ගායිකාවන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද ගායනා කරන්නට මම ඒ පද රචනා ලබා දුන්නා. ඒ සියලු දෙනාම නොපැකිළිව මගේ ගීත ගායනා කරන්න කැමති වුණා. යුද්ධයත් එක්ක ජීවිතය කැපකර මම වගේ රචකයෙක් ඉස්සරහට එනකොට ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි කලාව තුළ අද ජීවත් වෙන්නේ කියලත් මට සමහර වෙලාවට හිතෙනවා. අපි කොතනක සිටියත් අපේ නිර්මාණයක ගුණයත් නිර්මාණය තුළ පවතින ගුණාත්මකභාවයත් සමාජගත කරනවා නම් එයට කවුරුත් උදව් කරනවා කියන එක මම හොඳාකාරවම දැනගෙන හිටියා.

ගීත රචනයට ලේඛනයට යොමුවෙන්න ඔබට බලපෑ හේතු කාරණා මොනවාද?

යුද්ධය අත්දැකීමුත් සමඟ ජීවිතය හරිම සුන්දරයි කියලා මට දැනුණ වාර අනන්තයි. මේ පද රචනා ලියනකොට. සමහර දවස්වලට මම ලියාගෙන යනකොට වෙලාව දැනුණෙත් නැහැ, මට නවත්තන්න හිතුණෙත් නෑ, යුද්ධයේදී මම යුද සාහිත්‍යයත් එක්ක ජීවත් වුණා. ඒ නිසා මට හොඳ කෘති පළ කරන්නට අවස්ථාව ලැබුණා. මේ හැමදේකම තියෙන්නෙ අත්දැකීම් සත්‍ය දේවල්ය. සරලව ජීවත් වීමත් සරලව සිතීමත් තුළ කලාව කියන එක හරිම ප්‍රභලයි කියන එක මට හොඳටම තේරුණා. මොන දේ තිබුණත් මනුෂ්‍යයාගේ මනස තුළ ජීවිත පැවැත්ම තුළ කලාවක් තිබිය යුතුයි. රසවින්දනාත්මක ලෙස උපේක්ෂා සහගතව හැම දෙයක් ගැනම බලන්න ඕන.මම එකතු කරගත්ත දැනුම් සම්භාරය යුද්ධයත් එක්ක සහ මගේ ජීවිතයත් එක්ක බැඳුණු දේවල් සංරක්ෂණයක් හැටියට මට ගේන්න ඕන වුණා ප්‍රේක්ෂකයාගේ ඉදිරියට.ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි මම හැම දෙයක්ම කළේ කියලයි මට හිතෙන්නේ. මට ඕන වුණා සමාජයේ නොයෙක් පැතිකඩවල් විවර කරන්නට. ඒ නිසා මට ලේඛන කලාවෙන් ගොඩක් දේවල් කරන්නට පුළුවන් කියලා හිතුණා. සරලවම කිව්වොත් මම ගමන පටන් ගත්තා.

ඔබ තුළ පවතින මේ සෞන්දර්ය කාමි අදහස් හමුදාව තුළ පවතින දැඩි විනය නීති මාලාව සමඟ දැනුණේ කොහොමද?

ජීවත්වීමට විනය කියන එක අත්‍යවශ්‍යයි. හමුදාවට විතරක් දැඩි නීති රීති පද්ධතියක් සහ විනයක් සීමා වෙනවා කියලා මම පිළිගන්නේ නැහැ. ජීවත්වෙන සියලු දෙනාටම ස්වයං විනයකින් පාලනය විය යුතුයි. හමුදා වක්තුල විශේෂයෙන් විනය නීති රීති මාලාවක යටත්ව පාලනය වීම ඇත්ත. ඒත් අපි අපේ ස්වයං විනය වෙනුවෙන් තමයි අපි ජීවත් වුණේ.එතකොට හැමෝගෙම විනය තමන්ම ක්‍රියාත්මක කරගන්නවා. සරලවම කියනවා නම් විනයක් තියෙන තැනක තමයි සෞන්දර්යාත්මක සිතුවිලි පහළ වෙන්නේ. උදාහරණයක් ගත්තොත් නිස්කලංක පරිසරයක පරිසරය විඳීමෙන් කොච්චර සිතුවිලි කලාත්මක දේවල් පහළ වෙනවද ? ඒ තුළ කොච්චර නිර්මාණ බිහි වෙනවාද? අද මේ වන විට බිහිවුණු නිර්මාණ කොච්චර නිදහසේ හිතපු, දැකපු දේවල් ද? අපි අපේ මනසට කතා කරල ඇහුවොත් කියයි අපි මොන තැනකද ඉන්නේ අපි මොන වගේ නිර්මාණාත්මක දේවල්ද දැක්කේ කොහොමද අපි සෞන්දර්ය ඒ තුළ විඳීනවාද කියලා. මට හිතෙන විදියට ලෝකයේ වැඩිහරියක්ම යුද සාහිත්‍ය තුළ තමයි පොත් පත් ලියැවිලා තියෙන්නෙත්. විවිධ පැතිකඩ ඔස්සේ නිර්මාණාත්මක දේවල් බිහි කරලා තියෙනවා. අද වන විට සිනමාව ගත්තත් වැඩි හරියක් දකින්න ලැබෙන්නේ මොකක්ද? ඒ හැම නිර්මාණයක් තුළම ජීවත් වෙන්නේ හමුදාවේ තිබ්බ සෞන්දර්යාත්මක සිතුවිලි. සෞන්දර්යවාදී මිනිසාට කවදාක්වත් හමුදාවේ පවතින විනය නීතිරීති මාලාවක් බලපාන්නේ නැහැ. ඔවුන් රසවතුන් අනිත් මිනිසුන්ව ජීවත් කරවනවා. ඒ පිනම මදිද සමාජයට මෙහෙවරක් කරන්න.

ලොවීනා සම්බන්ධ වෙන්නේ අපේ ඉතිහාසයේ සුන්දර ප්‍රේම කතාවකට ප්‍රේමය පිළිබඳ ඔබේ අත්දැකීම් කවරේද?

ජීවිතය ජීවත් කරවන්නේ ආදරය. ඒ ආදරය තුළ මම හැමදාම ජීවත් වෙනවා.

ලොවීනා ගීතය ගායනා කරන්න චිත්‍රාල් සෝමපාල වගේ ගායකයෙක් තෝරා ගත්තේ ඇයි? ඔහුට ප්‍රේමනීය හඬක් තියෙනවා කියලා හිතනවද?

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පෞරුෂත්වය සහ ගැඹුරු හඬට ගැළපෙන්නෙ චිත්‍රාල් කියලා හිතාගෙනම තමයි මම සින්දුව රචනා කළේ. මෘදු හඬක් මේ ගීතයට ගැළපෙන්නෙ නැහැ. ලොවීනා සහ ආණ්ඩුකාරවරයා අතර පවතින වයස් පරතරය ඔවුන්ගේ පරිණතභාවත් එක්ක මේ ප්‍රේමයේ ආදරය ප්‍රේක්ෂකයාට දනවන්න මට ඕන වුණා. ආදර ගීත ලියනවා ගායක ගායිකාවන් තෝරාගෙන ඒත් මේකට හරි යන දෙදෙනා තමයි මම තෝරාගෙන තියෙන්නේ කාංචනා අනුරාධි, ලෝවීනා ලෙස උපරිමයෙන්ම සාධාරණය ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. චිත්‍රාල් ගේ ගැඹුරු හඬ පරාසය තුළ ආණ්ඩුකාරවරයාගේ නිල ඇඳුම ඇඳ ගත්තා ම ඒ තේජස හඬ එක්ක මුසු උණාම මාව එක්දහස් අටසිය ගණන්වලටම ඇදගෙන ගියා කියලා මට දැනුණා.

ලොවීනා ගීතයේ රූප රචනයට අවුරුදු තුනක් බලාගෙන හිටියා. ඒ සිදුවීම වෙච්ච තැන ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයාට දැනෙන්න ඕන නිසා. ලොවීනා එදා ආණ්ඩුකාරවරයා හම්බවෙන්න ආ රහස් උමග මේ සඳහා යොදා ගත්තා අපි. ඒ සඳහා අවස්ථාව ලබාදුන් ගල්කිස්ස මහ හෝටලයේ සනත් උක්තවත්ත මහතාට විශේෂ ස්තූතියක් කරනවා. ඒ රූප රාමු එක්ක සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටා මුසු කරමින් චමිල් පෙරේරාගේ රූප රාමු ප්‍රේමනීය බව විඳිනවා. කියලා මට ඔවුන් දෙදෙනාගෙන් දැනෙනවා. මේ ගීතයේ ප්‍රේමනීය හඬකට වැඩිය මම හැමවෙලේම හෙව්වේ පෞරුෂත්වයත් සමඟ හඬ පරාසයන් කොහොමද ගැළපෙන්නෙ කියන එකයි. ඒ සෙවීමේදී මම ජයග්‍රහණය කරා කියලා මම හිතනවා.

ලොවීනා ගීතය නිර්මාණය වීමේ පසුබිම කොහොමද?

ගොඩක් දෙනෙක් මට ප්‍රේමනීය ගීතයක් ලියන්න කියලා කාලයක් තිස්සේ කිව්වා. මේ කියපු අතරතුරේ මම හැමදාම හෙව්වේ හොඳ දෙයක් සමාජගත කරන්න ඕනේ වටිනා දෙයක් තියෙන්න ඕන කියන එකයි. එහි ප්‍රතිඵලයක් ලෙසට තමයි ලොවීනාගේ ආදර කතාව මට දැනෙන්නෙ. ලොවීනාගේ කතාවට පසුබිම් වෙච්ච හැම සිද්ධිදාමයක් ම මම ගවේෂණය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ලොවීනා ට පණ දෙන්න ඕනේ කියලා මම මේ ගීතය රචනා කළේ. 1835 දී ඒ සිදුවීම පද රචනයක් බවට පෙරළපු මමත් වාසනාවන්තයෙක් ලෙස මම දකිනවා. ආදර කතා තේමාවන් පද රචනයන් බවට පෙරළපු පද රචකයන් අතර මම හාල්මැස්සෙක් වගේයි. මම තවමත් හැම දෙයක් ගැනම ඉගෙන ගන්නවා. ඒ නිසා මට ඕනේ මේ දේවල් ගැන හොඳ අධ්‍යයනය කරමින් ගුණාත්මක පදවැලක් නිර්මාණය කර හොඳ හඬකට මුසුකර ජනගත කිරීමටයි.

ලොවීනා ආදර කතාව හා බැඳුණු මේ ගීතය ජනතාව අතරට ගෙන යාමට වඩාත් සුදුසු ක්ෂණික හා නවීන ක්‍රම වේදය පිළිබඳ ඔබ විශ්වාස කරන්නේ කුමක්ද?

ඕනෑම නිර්මාණයක් කරද්දි අපිට ක්‍රමවේදවල ටිකක් තියෙනවා. වර්තමානයේ නිර්මාණයක් ජනගත කිරිමට ප්‍රථමයෙන් අපි සොයන්නේ නිර්මාණය ජනතාව අතරට ගෙන යා යුතු ලේසිම ක්‍රමය කුමක්ද කියයි. අද තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන නිසා අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා මෙය ජනගත කළ යුතු වෙනවා. මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යයට ඉඩකඩ නැතුවා නොවේ. මේ සියලු දේ පරයා අද සමාජ මාධ්‍ය ඉස්සරහ ඉන්නේ. ඒ නිසා අද සමාජ මාධ්‍ය තෝරා ගන්න වෙනවා. දැනටමත් සියලුම තැන්වල ඡ්-ථධඡඪතඥ සිස්ටම් එකට වැඩ කටයුතු සිදු වෙනවා. ඵභඡඵජපඪඡඥපඵ හා බපඥදඤ ඪද වැඩි කරගැනීම තමයි ඕනෑම නිර්මාණයක වැඩසටහනක අද දක්නට ලැබෙන්නේ. අපි පරණ පාරේ ගියොත් සියල්ල ඉවර වෙනවා. හැම දෙයක්ම ආරක්ෂා කරගෙන නිහඬව ගමනක් යෑම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ.

 

වර්තමානයේ හොඳ ගීත සාහිත්‍යයක් තියෙනවා කියලා ඔබ හිතනවද?

දක්ෂ ගීත පද රචකයන් සමඟ දක්ෂ ගායික ගායිකාවන් ඉන්නවා. ඔවුන් ප්‍රවීණයන් සහ ආධුනිකයන් ලෙස ගන්නත් පුළුවන්. මේ සියලුම දෙනා නවීන තාක්ෂණයත් එක්ක ගනදෙනු කරනවා. මේ නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණ සමාජගත වීම වැඩියි. මේ හරහා සුපෝෂිත ගීත සාහිත්‍යයක් බිහි වෙනවා. අතීතය වර්තමානය අනාගත යන කාලච්ජේද තුනේම හොඳ නිර්මාණ බිහිවෙලා තියෙනවා. මේ තුළ ගායනා කරපු ගායන ශිල්පීන්, පද රචකයන්, ගීත නිර්මාපකයන් සංගීතඥායන් ඔවුන්ගේ නිර්මාණ ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙළක් ලෙස සජීවී ප්‍රසංග පැවැත්වීම, යූටියුබ් නාලිකා හරහා ඒවා ජනගත කිරීම, මේ තුළින් ඒවාට දායක වෙච්ච සියලු දෙනාටම සාධාරණයකුත් ඉෂ්ට වෙනවා කියලා මම මේ තුළ දකිනවා. ගීත සාහිත්‍යයක් නොතිබුණානම් රස විඳීන්න ගීතත් නැති වෙනවා කියලා මම හිතනවා. ගුවන් විදුලිය රූපවාහිනීය වැනි සංරක්ෂණය කරන පුස්තකාලවල මේවා ආරක්ෂා වීම තුළින් හොඳ සාහිත්‍යයක් එතන එකතුවීමකුත් දකින්නට පුළුවන්.

වත්මන් පරපුරේ ගීත රස විඳීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන පිරිසක් ජීවත් වෙන්නේ දැන්. ඔවුන් හැම වෙලේම ජීවත් වෙන්නේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක. මේ තුළ සාහිත්‍යයට ඇලුම් කරන පිරිසකුත් ඉන්නව නැති පිරිසකුත් ඉන්නවා. මේ සියලු දෙනාම එය රසවිඳීම කරනු ලබන්නේ යූටියුබ් එක හරහා, එහෙමත් නැත්නම් විවිධ සමාජ මාධ්‍ය ජාලාවන් හරහා. ඒ තුළ තියන හොඳ නරක නෙවෙයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඡ්දබඥපබචඪදථඥදබ කියන දේ පමණයි. අද වැඩි හරියක් තරුණ පරපුර බලාපොරොත්තු වෙන්නේ නවීන තාක්ෂණය මුසු කරගනිමින් සංගීත රටා මවමින් රූපරචනය ගීත ජනගත වීමයි.

රණමඟ ඔස්සේ නන්දිකඩාල් කෘතිය සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනයෙන් පසු ඔබ කෘති කිහිපයක් රචනා කළා නේද?

ඔව් මම කෘති කිහිපයක්ම රචනා කළා. ඒ අතරින් ප්‍රේක්ෂකයා වඩාත්ම වැලඳගත්තේ, උත්තරදේවි යන කෘතියයි. ප්‍රේක්ෂකයන් රණ මග ඔස්සේ නන්දිකඩාල් වගේම උත්තර දේවිද කියවන්න පටන් ගත්තා. මේ පසුගිය දින කඩොල් ඇත්තු සහ තාරාදේවි ගේ ආගමනය ජනගත වුණා. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා. ජීවිතයේ මම ලබා ගත්ත දේවල් දැනුම හැම දෙයක්ම තව කෙනෙකුට බෙදලා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද කියලා මම හිතෙනවා. ඒ නිසා ජනතාව අතරට මගේ දේවල් ගෙනියන්න පුළුවන් ලේසිම ක්‍රමවේදයන් තමයි මේ කෘති රචනය සහ ගේය පද රචනය කියලා මට හිතෙනවා. මේ හැම දෙයක් පිටුපස්සේ ම මගේ බිරිඳ සහ දුව ඉන්නවා ඒ වගේම මට උදව් කරන ගොඩක් පිරිසක් ඉන්නවා. ඔවුන් මම මේ වෙලාවේ ඇත්තටම මතක් කරනවා. මට කරන හැම උපකාරයක් වෙනුවෙන්ම.

දැනට ලංකාවේ රචනාකරපු ලොකුම සන්දේශ කාව්‍යය ඔබේ අතින් ලියැවුණා කියන්නේ ඇත්තද?

සැළලිහිණි සන්දේශයෙන් පස්සේ මේ මගේ අලුත්ම කෘතිය තමා සන්දේශ කාව්‍යයක් ලෙස ජනගත වෙන්නේ ‘රාජාලි සන්දේශය’ ලෙසයි.

මම හිතන විදිහට දැනට තියෙන ලොකුම සන්දේශ කාව්‍යය රාජාලි සන්දේස කියලයි හිතන්නේ. මේ කෘතිය වෙළුම් 600 කින් සමන්විත කවි 2560 කින් අන්තර්ගතයි. එන අවුරුද්දේ ජනවාරි රාජාලි සන්දේශය ජනගතකිරීමටයි මගේ අදහස වී තිබෙන්නේ. ඒ වගේම නවතම ගේය පද රචනා ටිකකුත් කරගෙන යනවා. ඉදිරි වැඩ වැඩකටයුතු කලාව හා සම්බන්ධ මේ ආකාරයෙන් තමයි සිදුවෙන්නේ.

 

සටහන සහ සේයාරූ  නිශ්ශංක විජේරත්න