බිරිඳගේ නවකතා ත්‍රිත්වය එකම පොතකට

විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ
සැප්තැම්බර් 7, 2023

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ රමණී රාජපක්ෂ විසින් ලියන ලද ‘හඳුනාගත්තොත් මා’ නවකතාවේ නවතම කොටස් ද්විත්වය සමඟ කතා ත්‍රිත්වයම එකතු කරමින් සම්පාදිත ‘නිර්මාල්‍යා’ (‘හඳුනාගත්තොත් මා’ කතා ත්‍රිත්වය) පසුගිය 03දා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී එළිදැක්වූවේය. ‘නිර්මාල්‍යා’ නවකතාව පිළිබඳවත් සිය බිරිඳගේ ලේඛන කලාව, ගීපද රචනය පිළිබඳවත් සිය කලා කුසලතාවන් පිළිබඳවත් සංවාදයක යෙදීමේ අරමුණින් වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා මෙසේ සරසවිය හා එක්විය.

මොකද්ද මේ ‘නිර්මාල්‍යා’ කියන්නේ...?

මේක මගේ බිරිඳ විසින් ලියන ලද නවකතාවක්. ඇය දැන් ජීවතුන් අතර නැහැ. මෙය කොටස් 03කට ලියවුණු නවකතාවක්. එහි පළමුවැන්න ‘හඳුනාගත්තොත් මා’ ‘හඳුනාගත්තොත් මා 02කොටස නිර්මාල්‍යා’ සහ ‘හඳුනාගත්තොත් මා 03 කොටස නිර්මාල්‍යා’ විදිහට තමයි මේ කතා ත්‍රිත්වය පළවෙන්නේ. මේ කතා ත්‍රිත්වයම එකට එකතුකර ‘නිර්මාල්‍යා’ නමින් නවකතාවක් එළිදැක්වීම තමයි පසුගියදා සිදුකළේ.

‘නිර්මාල්‍යා’ කතාව ගැන හැඳීන්වීමක් කළොත්....?

‘නිර්මාල්‍යා’ කියන්නේ වලව්වක හැදුණු ළමයෙක්. මෙහි ළමාතැනී නමින් සරෝජනී. එයා වලව්වේ ලියන මහත්තයා සමඟ සම්බන්ධකමක් ඇතිවෙලා එය විවාහය දක්වාම යනවා. ළමාතැනී වෙනත් වලව්වක කෙනෙක් බඳීන්න හිටියේ. වලව්වේ රහස් මෙම කතාව පුරාම විකාශනය වෙනවා. ඒ රහස් අනුව නිර්මාල්‍යා අවජාතක ළමයෙක් විදිහටයි හැඳීන්වෙන්නේ. වලව්වේ මතුපිටින් පෙනෙන දේ නෙවෙයි ඇතුළාන්තයේ තියෙන්නේ. නිර්මාල්‍යා අවජාතක වුණේ කොහොමද, තාත්තා කවුද කියාවත් ඇය දන්නෙ නැහැ. ඇගේ උප්පැන්න සහතිකයේ තාත්තාගේ නමට නමකුත් තියෙනවා. මෙහි ‘හඳුනාගත්තොත් මා’ පළමු කොටසේදී නිර්මාල්‍යාව සමාජයෙන් කොන් කරනවා. ළමාතැනීගේ දුව, පුතා පවා ඇයට අවජාතක කෙල්ල කියලා අපහාස කරනවා. පාසල් ජීවිතයේදීත් ඇයව පීඩනයට පත්වෙනවා. ‘හඳුනාගත්තොත් මා දෙවැනි කොටසින් නිර්මාල්‍යාගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැනත් කියවෙනවා.

ඔබේ බිරිඳ රමණී රාජපක්ෂ නවකතාකරණයට යොමුවුණේ කොහොමද...?

ඇය ජීවවිද්‍යා උපාධිධාරිනියක්. එයා මුලින්ම ගණිතය විෂයයට අදාළව පොත් 02, 03ක් ලිව්වා. සාහිත්‍යයට යොමුවීමක් කියලම වුණෙත් නැහැ. උසස්පෙළ ළමයින්ට ඇය ගෙදර අමතර පන්ති කළා. ඇයට නවකතාවක් ලියන්න ඕනේ කියලා කිව්වා. ටැබ් එකෙන් මුලින්ම ලිව්වා. ඒ ලියන ඒවා එයා මට මේල් කළා. ඒවා සියල්ලම මම එකතු කළා. ‘හඳුනාගත්තොත් මා’ මුලින්ම ලිව්වා. එහි දෙවැන්නත් ඇය ලිව්වා. තුන්වැනි කොටස අවසානය දක්වාම ලියන්න බැරිවුණා. එයට පෙර අවාසනාවන්ත විදිහට ඇය අප අතහැර ගියා. නිර්මාල්‍යා අවසානය මමයි ලිව්වේ. 

රමණී රාජපක්ෂ කියන ගීත රචිකාව ගැන සඳහන් කළොත්....?

ඔව්, ඇය ගීත 05ක්ම රචනා කළා. ඒ 05ම ගායනා කළේ ලංකාවේ ප්‍රසිද්ධ මට්ටමේ ගායක ගායිකාවන්. මායා දමයන්ති , අමිතා වැදිසිංහ, ලක්ෂ්මන් හිල්මි, අමිලා නදීෂාණි, 60+ රියැලිටි තරඟයෙන් ආව චන්ද්‍රා සිල්වා වගේ පිරිස ඇගේ ගී පද රචනාවලට ගායනයෙන් එක්වුණා.

වෛද්‍ය නිහාල් රාජපක්ෂ නමැති ඔබත් කලාකාමියෙක්, කලා හැකියාවන් ඔබ තුළත් තිබුණා ....?

රමණී ලිව්ව ගීත 05න් 04කටම සංගීතය අධ්‍යක්ෂණය කළේ මම. නිරෝෂා විරාජිනීගේ ගීත 03ක් මම සංගීත අධ්‍යක්ෂණය කළා. ඒවාගේ සංගීතය පමණක් නෙවෙයි පදමාලාවත් මගේ. නාමල් උඩුගම ගයන ‘සඳ අයිතිය සඳ සාවුන්ට’ ගීතයේ සංගීතය සහ පදමාලාව මගේ. ඊට අමතරව ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංස්කරණය ගැන කවුරුවත් දන්නෙත් නැහැ. මම තනියෙන්ම සංස්කරණය ගැනත් ඉගෙනගත්තා. අමිතා වැදිසිංහගේ ගීතයක් මම තනියෙන්ම සංස්කරණය කළා. මගේ ගීත ඇතුළත් කැසට් 02කුත් නිකුත් කර තියෙනවා. එහි දමිත් අසංක, උරේෂා රවිහාරි, නෙලූ අධිකාරි, නාමල් උඩුගම වගේ අය ගීත ගයනවා.

ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට එම විෂයයට අදාළ ග්‍රන්ථ කිහිපයක් ලියා තිබෙනවා නේද...?

මවුවරුන් වෙනුවෙන් පොත් කිහිපයක් ලියලා තියෙනවා . ‘නිසරු භාවයට විද්‍යාත්මක ප්‍රතිකාර, නිරෝගී මවු පදවි, ගැබිණි වාට්ටුවේ සත්‍ය කතා’ වගේ පොත් ලිව්වා. සමහර ලිපි කොටස් වශයෙන් පුවත්පත්වල පළවුණා.

‘හඳුනාගත්තොත් මා’ මුල්ම පොත ගැන මතකයට ගියොත්....?

2018දී ‘හඳුනාගත්තොත් මා’ පළවුණේ. එවර පොත් 1000ක් මුද්‍රණය කළා. පළමු කොටස හොඳටම විකුණුණා. ඡ් ඕධධඬ එකටත් දැම්මා. ඒ පළමු කොටස. ඊඍ වැඩසටහන්වලිනුත් කළා.

රමණී රාජපක්ෂ පදනම ගැන සිහිකළොත් ...?

රමණී එක්ක කලාකරුවන්, කලාකාරිනියන් ඉතාමත් සුහදශීලීව හිටියා. විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු වන මනෝජ් ප්‍රසාන් රත්නායක මූලිකත්වය ගෙන රමණී රාජපක්ෂ පදනම පිහිටුවන්න හිතාගෙන ඉන්නේ. මනෝජ්ම මේ සඳහා යෝජනාවක් කළා. විශ්වවිද්‍යාල සිසුන්ට ඉගෙනගන්න සල්ලි නැතිවුණාම නරක දේවල්වලට පෙලැඹිලා සල්ලි හොයන්න යොමුවෙනවා කියලා ඔහු කිව්වා. එහි භයානකම දැක්ක මනෝජ් ප්‍රසාන් රත්නායක මෙහෙම පදනමක් හදමු කියන යෝජනාව දැම්මා. ඔහුගේම පෞද්ගලික මුදලින් මසකට වරක් රුපියල් 3000ක් , 4000ක් වගේ දෙනවා ඒ වගේ ආර්ථික අපහසුකම් තියෙන ළමයෙක් තෝරාගෙන. පොත විකිණීමෙන් ලැබෙන මුදලින් තමයි එම මුදල ශිෂ්‍යයාට ලබාදෙන්නේ.

ඔබේ ‘නිර්මාල්‍යා’ නවකතාවට ප්‍රකාශකයකු සොයාගන්න අමාරුවුණේ නැද්ද...?

කිසිසේත්ම නැහැ. මේ පොත පිටු 536කින් සමන්විතයි. හෙළදිව ප්‍රකාශන ආයතනයේ අධිපති තුෂාර හෙට්ටිආරච්චි ‘නිර්මාල්‍යා’ මුද්‍රණයට භාරගත්තා. ඔහුට ඇත්තටම මේ අවස්ථාවේ ස්තුතිවන්ත විය යුතුයි. පොතේ මිල රුපියල් 1500යි..ඒක මීට වඩා වැඩිකරන්න එපා කියලා මම යෝජනාවකුත් කළා.

‘නිර්මාල්‍යා’ නවකතාව ටෙලිනාට්‍යයකට සුදුසුයි කියලා මට හැඟෙනවා....?

දැනටමත් ‘නිර්මාල්‍යා’ නවකතාව ටෙලිනාට්‍යයකට අධ්‍යක්ෂණය කරන්න චන්දන ධර්මප්‍රිය මගෙන් ඉල්ලුවා. එහි නිෂ්පාදනය මමම කරන්න හිතාගෙන ඉන්නේ..මගේ බිරිඳ රමණී එක්ක කලාකරුවන් බොහෝදෙනා එකතුයි, ළෙන්ගතුයි. සමහර නළුනිළියන් මේ ටෙලිනාට්‍යයේ නොමිලයේ රඟපාන්නත් සූදානම්. සමහරු නිෂ්පාදනයට උදව් කරන්නත් දැනටමත් කැමැතියි. මගේ වයිෆ්ම ඒ දවස්වල කිව්වා මෙහි කොටස් 03ම ලියලා අවසන් කර ටෙලිනාට්‍යයකට කරමු කියලා. ඒක ඇගේ ආසාවක්. ඇගේ බලාපොරොත්තුව, ඉල්ලීම මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා .

බිරිඳගේ ගීත කිහිපයක් රූප රචනා බවටත් පෙරළුණා නේද...?

ඔව්. ඇගේ ගීතයක් පසුගියදා රූගත කිරීම් කළා. මගේ යාළුවෙක් වෙන ලස්සන ජයසේකර තමයි එය අධ්‍යක්ෂණය කළේ. එය ගායනා කරන්නේ මායා දමයන්ති. ‘නිහඬ වූ මහගෙදර අද ආ දරුවනේ’ ගීතයත් ඇගේ රචනයක්.අම්මා මියගියාට පසුව ළමයි ගෙදර එන සිද්ධියක් එයට පාදක වෙන්නේ. එය අමිතා වැදිසිංහ ගායනා කරන්නේ. එහි රූප රචනාව දැනටමත් රූගතකිරීම් කර අවසන්. ‘දැනුණේ නැහැනේ මට බියක්, දැනුණේ නැහැනේ මට දුකක්, මරණය අතරට මගේ ජීවිතය ගිය දා’ මේකත් මගේ බිරිඳගේ ගීතයක්. මායා දමයන්ති එය ගායනා කරන්නේ. මෙහි සංගීත නිර්මාණය මගේ. ‘දැනුණානම් අපේ ආදරේ එදා..’ ගීතයේ රූප රචනය කරගෙන යනවා. මේක අමිලා නදීෂාණි ගායනය කරනවා. සංජානා ගමාරච්චි මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙය පසුගිය 03දා ‘නිර්මාල්‍යා’ එළිදැක්වූ මොහොතේ එන පාඨක, ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මේ ගීතයේ රූප රචනය ඒ මොහොතේ ප්‍රදර්ශනය කළා.

‘නිර්මාල්‍යා’ එළිදැක්වීම ගැන සිහිකළොත්...?

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පසුගිය 03 වැනිදා ‘නිර්මාල්‍යා’ එළිදුටුවා. එදා මගේ බිරිඳ රචනා කළ ගීත රැසකම රූපරචනා ප්‍රොජෙක්ටරයක් මාර්ගයෙන් පෙන්වුවා.

පවුලේ විස්තර මතක් කළොත්....?

මට පුතාලා තුන්දෙනෙක් ඉන්නේ. තුන්දෙනාම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. දෙන්නෙක් විවාහ වෙලා ඉන්නේ. ලොකු දෙන්නා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා. ...බාලම පුතා වෛද්‍ය විද්‍යාව හදාරනවා....