වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
ස්කෝප් චිත්‍රපට සමාගම ළඟදීම චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙනවා

කුඩා කල පටන් කලාවට අසීමිතව පෙම් බදින අද අපේ කතානායකයා ගමේ පොල්කොට මත ඉදිකරන වේදිකාවේ රංගනයෙන් මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයෙන් තම සහජ හැකියා පෙන්නා සිය ගම්වාසීන් අමන්දාන්නදයට පත්කරනුයේ කිසියම් හෝ දවසක කලා ක්ෂේත්‍රයේ වැජඹෙන එක් අංකුරයක් හෝ වනවා යන්න සිහිනයක් තම සිත් හී පොදි බැඳ ගෙනය.
පාසල් අධ්‍යාපනය කඩා කප්පල් නොකර පාසල් කට් කරමින් චිත්‍රපට නැරැඹුමට ඔහු වඩාත් ඇලුම් කළේ සිනමාවට තිබූ දැඩි ආශාව නිසාමය. ගාමිණි, මාලිනී, විජය, ජෝ,ටෝනි රංගනයේ නියැළෙන වැඩිමනක් චිත්‍රපට නැරඹීමේ දැඩි ආශාවකින් පසු වූ ඔහුගේ වැඩිමනක් කාලය ගෙවී ගියේ කඩුවෙල විජයන්ති කඩුවෙල රේඛා සිනමාශාලාවන් තුළය.
මරදාන කාර්මික විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන ජාතික ඩිප්ලෝමාව හදාරමින් අධ්‍යාපනයෙන් සුදුසුකම් සපුරා ගන්නා අතරේ පියෙක් සහ පුතෙක් නාට්‍යය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණයේ නියැළෙන අපේ කතා නායකයා තම නාට්‍ය නිර්මාණය සඳහා හොඳම නාට්‍යය ලෙස දෙවන ස්ථානය ලබා ජයග්‍රාහී සම්මානය දිනා ගනු ලබන්නේ මෙරට කෘතහස්ත නාට්‍යවේදියකු වූ සුගතපාල ද සිල්වාගේ සුරතිනි. අධ්‍යාපන කටයුතු අහවර වීමත් සමඟ විගණන පරීක්ෂකයකු ලෙස රැකියාව අරඹමින් පුරා වසර හතරක් කටයුතු කරන ඔහු ඊ.ඒ.පී. සිනමා සමාගමට එක් වනුයේ සහකාර ගණකාධිකාරීවරයකු වශයෙනි. ටික කලක් එම තනතුරේ සේවය කරන අපේ කතා නායකයා තුළ තිබෙන සුවිශේෂී දක්ෂතාවයක් හඳුනාගන්නා එම ආයතනයේ කළමනාකාරීත්වයේ ප්‍රධානී අසංක එදිරිසිංහ මහතා ඔහුට උසස්වීමක් ලබාදෙමින් භාරධූර කටයුත්තක් පවරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම් චිත්‍රපට නිෂ්පාදන හා අලෙවි කළමනාකරණ ධුරය ලබාදෙමිනි. එතැන් පටන් පුරා වසර විසිතුනක් එහි රාජකාරි කටයුත්තේ නියැළෙන ඔහු 2018 වසරේ පටන් අද දක්වාම ස්කෝප් සිනමා පුද්ගලික සමාගමේ අලෙවි සහ නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරයි. නමින් ඔහු ජයරත්න ගලගෙදරය. තම රැකියාවට අමතරව රංගශිල්පියකු ලෙසින් සිනමාවේත්, පුංචිතිරයේත්, වේදිකාවේත් පේ‍්‍රක්ෂක මතකයන් අතරට එක්ව සිටින ජයරත්න ගලගෙදර හා කෙරෙන රසාලිප්ත මතක ආවර්ජනා කතා බහකි මේ.
ගලගෙදර මේ දවස්වල පේ‍්‍රක්ෂකයන් අතර?
ඔව්. සිනමා පේ‍්‍රක්ෂකයන් අතර මම මේ දවස්වල ඉන්නවා. තිරගත වන ගුත්තිල චිත්‍රපටයත් සමඟ. ගුත්තිල චිත්‍රපටයේ රා තැබෑරුම බාරව ඉන්න බාමන් මම.
මේ වෙනකොට ඔබ රංගනයෙන් කොපමණ චිත්‍රපට ප්‍රමාණයකට දායක වෙලා තියෙනවාද?
චිත්‍රපට තිස් දෙකක මම මේ වනවිට රඟපාල තියනවා. සුළු චරිත
රංගනයේ නියැළී සිටි ඉදිරියේදී තිරගත වෙන්න තියෙන නිර්මාණයන් තව තියනවද?
හොරා අංකල්, ලොක්ඩවුන්, රයිඩර් චිත්‍රපට තිරගත වෙන්න තියනවා.
සංඛ්‍යාත්මකව චිත්‍රපට විශාල ප්‍රමාණයක සුළු චරිත රඟපෑවත් ඔබව පේ‍්‍රක්ෂකයන් අතර කතාබහට ලක් වූ නිර්මාණ ඒ අතරින් මොනවද?
මේ දවස්වල තිරගත වන සනත් අබේසේකර ගේ ගුත්තිල මීට පෙර තිරගත වූ සුනිල් පේ‍්‍රමරත්නගේ වැලි පවුරු, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය
මුල්ම සිනමා රංගනය සිහිපත් කළොත්?
2010 වසරේ උදයකාන්ත වර්ණසුරියගේ සෙනසුරු මාරුව චිත්‍රපටයේ රංගනයත් සමඟ තමයි මම චිත්‍රපට නළුවෙක් බවට පත්වුණේ. මේ චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ මා පදවාගෙන යන කාර් එක පිටුපසින් පැමිණෙන ලකී ඩයස් ඔහුගේ වාහනය මගේ කාර් එකේ පිටුපස හැප්පෙන දර්ශනයේදී මම කාර් එක නවතා ඇවිත් ලකී ඩයස්ට බනින දර්ශනය. තුන්මුල්ලේ හතරමං සංදියේදී තමයි මේ දර්ශනය රූපගත කළේ. විශාල පිරිසක් මේ දර්ශනය රූපගත කරනවා බලන්න වටේ රැස්වෙලා හිටියා. සෙනසුරු මාරුව සිනමා නිර්මාණයත් සමඟ තමයි. මගේ සිනමා රංගනයේ ඇරැඹුමත් පටන් ගන්නේ.
ඔබ රංගනයෙන් දායක වූ සිද්ධාර්ථ ගෞතම ඔබට විශේෂ වුණේ කොහොමද?
මම මේ චිත්‍රපටයේ සතර පෙර නිමිති වල ඉන්න මහල්ලා ගේ චරිතයට රඟපෑවේ මම පෞද්ගලිකව මේ චරිතයට ගොඩක් කැමතියි. මේ චරිතයට මාව වේශ නිරූපණයෙන් හැඩ කරන්න පැය හයක් ගියා. පැය හයක් එක දිගට මේකප් කරල තමයි මේ ගලගෙදරව චිත්‍රපටයේ චරිතයට මහල්ලෙක් කළේ.
කලාවට යොමුවෙන්න ඔබට පවුල් පසුබිම බලපෑවද? කවුද ඔබේ ගුරුභවතුන් වුණේ කලා ක්ෂේත්‍රයේ?
මගේ දෙමාපියන් වගේම මගේ පවුල් පසුබිමේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. කොටින්ම කවුරුවත් කිව්වොත් කලාවේ නමකවත් ගෑවිලා නෑ. මට කවුරුත් කලාවේ ගුරුවරු නෑ. මේ හැකියාව මගේ උත්පත්ති හැකියාවක් මිසක් ගුරුභවතුන්ගෙන් ලබාගත් දෙයක් නොවෙයි. මේ උපන් හැකියාව මම උත්තපත්තියේ පටන් ගෙනා දෙයක්. ගමේදී මම වෙසක් පොසොන් වගේම අවුරුදු කාලෙටත් මම රචනා කරල මම අධ්‍යක්ෂණය කරල මම රඟපාල නාට්‍ය කළා. ගමේ පොල්කොටවේදිකාවේ විසකටු, ජය අපටයි වගේ නාට්‍ය මම ගමේදී නිෂ්පාදනය කළා. මගේ ළමා කාලය තුළ කලාව කියන දේ මගේ කුඩා කාලේ පටන් ඇගේ තිබුණා. චිත්‍රපට නරඹන්නත් මම ගොඩක් ආශා කළා. ඉස්කෝලේ කට් කරල පවා මම චිත්‍රපට බැලුවා. වැඩිපුරම මට චිත්‍රපට බැලුවේ කඩුවෙල විජයන්ති, කඩුවෙල රේඛා සිනමා ශාලාවල මරදානේ කාර්මික විද්‍යාලයේ ඉගෙන ගන්න කොට පවා මම පියෙක් සහ පුතෙක් නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරල සම්මානත් ලැබුවා. මේ සහජ හැකියාව මගේ ආශාව මාව නිරායාසායෙන් කලාව කෙරේ ඇද බැද ගත්තා.
සිනමා නිර්මාණ වින්දනය කරන අතරේ ඔබ කවදා හෝ එහි රංගනයේ නියැළෙන්නත් අපේක්ෂා කළාද?
මුලින් නම් එහෙම අදහසක් තිබුණේම නෑ. පේ‍්‍රක්ෂකයෙක් ලෙස චිත්‍රපට රසවින්දා පමණයි. ඒත් මගේ රංගන හැකියාව මගේ ඇඟ තුළ තිබුණා. ඊ.ඒ.පී. සමාගමේ චිත්‍රපට නිෂ්පාදන හා අලෙවි කළමනාකාර ලෙස කටයුතු කරන්න පටන් ගත්තාට පස්සේ මට මෙරට බොහෝ නම් දැරූ චිත්‍රපට අධ්‍යක්ෂවරු වගේම නළු නිළියනුත් හඳුනා ගන්න ලැබුණා. ඔවුන් මගේ රැකියාව අනුව මගේ සමීප මිත්‍රයෝ වුණා. ඊ.ඒ.පී. සමාගම මඟින් නිෂ්පාදනය කළ බොහෝ චිත්‍රපටවල ප්‍රඩක්ෂන් පැත්ත, මුල්‍ය පැත්ත භාරව කටයුතු කළේ මම. ඒ නිසා සිනමාකරුවන් සමඟ බොහෝ සමීප වෙන්නත් මට භාග්‍යයක් උදා වුණා. ඉරමැදියම, හිරිපොද වැස්ස, හාට් එෆ් එම්. සර් ලාස්ට් චාන්ස් ආදී චිත්‍රපට බොහොමයක මම ඊ.ඒ.පී. සමාගම වෙනුවෙන් මුල්‍ය භාරකාරත්වය භාරව කටයුතු කළා. ඔය කටයුතු අතරේ මා හඳුනාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට මම පවසා සිටියා මගේ ඇඟ ඇතුළේ තියන හැකියාව සඳහා කිසියම් හෝ අවස්ථාවක් තමන්ගේ නිර්මාණවල තිබේ නම් ලබාදෙන ලෙස ඒ අනුව මට ඔවුන් ඒ අවස්ථාවට උදා කළා. ඒ සඳහා මුල පිරුවේ උදයකාන්ත වර්ණසුරිය ඔහුගේ සෙනසුරු මාරුව චිත්‍රපටය සඳහා මට කැරැක්ටරයක් ලබාදෙමින්.
ඔබේ එකම සිහිනය සිනමාවේ පමණක් රංගනයේ නියැළෙන්නද?
මේ වෙනකොට මම ටෙලි නාට්‍ය හතක විතර රඟපාල තියනවා. ඒ අතරින් සංගීතේ, දම්සාර ටෙලි නිර්මාණවල මම රඟපෑ චරිතවලට මම ගොඩක් කැමැතියි. මගේ රාජකාරී කටයුතු අතරේ ලැබෙන නිවාඩුවක තමයි මම රඟපෑම සිද්ධ කරන්නේ. රාජකාරියත් එක්ක දීර්ඝ චරිත නිරූපණයක නියැළීම මට ගැටලු සහගතයි.
වේදිකාවේ අළු ගසා කලාවේ ඇසු පිරූ තැන් සොයා යාම අරඹන ඔබ අද වේදිකාව අමතක කරල ද?
වේදිකාවට මම අදත් කැමැතියි. හැබැයි මට කවුරුවත් මගේ හැකියාවට කතා කරල නෑ. මම චරිත ඉල්ලා කාගෙන්වත් පස්සේ ගිහිල්ලා නෑ. හැඳුනුම්කම් මත චරිතවලට මට කතා කරනවා හැරෙන්න. රාජකාරි කටයුතු මත වේදිකා නිර්මාණයක් වෙත දායක වන්න තියන අපහසුතාව මගේ ආශාවට බාධාවක් කවදා හෝ ඉදිරියේදී ඒ ආශාවට ඉඩක් ලැබේවි මේ රැකියාවෙන් සමුගත්දාට.
මේ දවස්වල ඔබේ බයිස්කෝප් කතා යු ටියුබ් චැනල් එක බොහොම ජනපි‍්‍රයයි?
මේ යුටියුබ් නාලිකාව මම පටන් අරන් දැනට අවුරුදු දෙකක් වෙනවා. මේ වෙනකොට අටලක්ෂ පනස් දහසක් මගේ බයිස්කෝප් කතා යු ටියුබ් එක පරිහරණය කරල තියනවා.
මේ වගේ යු ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඔබ අදහස් කළේ?
මම අවුරුදු විස්සකට වැඩි කාලයක් රැකියාව කළේ සිනමාවට සම්බන්ධව මගේ ඇඟේ තියනවා සිනමාව. සිනමාවට මම හරි ආසයි. 60,70,80 දශකයේ සිනමාවට ඒ වකවානුවේ නළු නිළියන්ට චිත්‍රපටවලට කොරෝනා කාලයේ අපි ගෙවල්වලට කොටුුවුණා. ඒ කාලයේ මම මේ සිතුවිල්ල පහළ වුණා. මගේ හිත මිත්‍ර දෙරණ පත්තරේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මට යෝජනාවක් ගෙනවා. ගලගෙදර අයියා කාලයක් චිත්‍රපටත් එක්ක ඉන්නවා නේ හොඳ කතාවක් පත්තරයට ලියල දෙන්න කියලා ඒ අනුව මම සති අග දෙරණ පුවත්පතට කොළමක් ලිව්වා. බයිස් කෝප් කතන්දර කියලා ඕක ගොඩක් ජනපි‍්‍රය වුණා. දවසක් මට කල්පනා වුණා මට මේක යුටියුබ් චැනල් එකකට කරන්න බැරි ද කියලා. ඒකතාම මම බයිස් කෝප් කතා කියල යු ටියුබ් එකට කළා. මම ස්තූතිවන්ත වෙනවා ක්‍රිෂාන්තට මගේ ඇඟේ තිබුණ දේම එළියට ගන්නට මාර්ගයක් යෝජනා කරපු එකට. අදටත් ඒ කොළම පත්තරේ සති පතා පළ වෙනවා.
මේ සඳහා පාදක වන්නේ?
හැම චිත්‍රපටයකටම තියනවා බිහයින්ද සීන් කියල කොටසක්. චිත්‍රපටයක් හදනකොට සිද්ධ වෙන සිදුවීම් මට මේ අත්දැකීම ආවේ මම ප්‍රඩක්ෂන් මැනේජර් කෙනෙක් වශයෙන් ඉන්නකොට. මට හිතුණා මම අත්දැක්ක ඒ අත්දැකීම් අනික් අයටත් වෙලා ඇති කියලා. මම හොයල බලපුවහම ඒක ඇත්ත කවුරුවත් නොදන්න කතා ඕනෙ තරම්. මම ඒවා තමයි තිරයේ නොදුටු කතා හැටියට ලියන්නේ ඉදිරිපත් කරන්නේ. ඒවා බොහොම රසවත් මිනිස්සු ආසයි කියවල අහල රසවිඳින්න. මේ වෙනකොට මම චිත්‍රපට සියයක කතා සීයක් මගේ යූ ටියුබ් නාළිකාවට එක් කරල තියනවා.
මෙවැනි කතා ඔබ සොයා ගන්නේ?
මම අතීතයේ චිත්‍රපට කරපු අය පිළිබඳ සොයා බලා ඒ චිත්‍රපටවලට සම්බන්ධ අය ගැන සොයමින් ඔවුන් දන්නා කාරණා එකතු කරනවා. අද ජීවතුන් අතර ඉන්න නළු නිළියෝ කාර්මික ශිල්පීන් මේ හැම දෙනාගේම උදව්වෙන් මම මේ සිද්ධි හොයාගන්නවා. මේ මගේ බයිස්කෝප් කතා බලන කෙනෙකට ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වන තොරතුරුත් මෙහි ඇතුළත් කරල තියනවා. මගේ කතාවත් එක්ක චිත්‍රපටයේ විෂුවලුත් මම ඉදිරිපත් කරනවා. චිත්‍රපටයේ කාර්මික තොරතුරුත් ඇතුව.
මේ සඳහා ඔබ චිත්‍රපට විෂුවල් ලබාගන්නේ?
තිස්ස නාගොඩවිතාන මහතා ජීවත්ව සිටියදී මගේ මේ බයිස්කෝප් කතා අදහස දීලා තිබුණා. ඒ අවස්ථාවේ එතුමා මට කියල තිබුණා. ගලගෙදර කරන දේකට මම චිත්‍රපට කෑලි ලබාදෙන්නම් කියලා. වාචිකව කියල තිබුණා. නමුත් මේක පටන් ගන්න කලින් එතුමා නැතිවුණා. මගෙත් තිස්ස මහතාගේත් තිබුණු සමීප හිතවත්කම නිසාම මම ඔහුගේ පුත් හරේන්ද්‍රගෙන් මේ ගැන අදහස් විමසුවා. එතුමන් මගේ කටයුත්තට ආශීර්වාද කරමින් ඒ අවශ්‍ය රූප රාමු ලබාදීම සිද්ධ කළා. කිසිදු මුදල් අපේක්ෂාවකින් තොරව ඒ වෙනුවෙන් එතුමන්ට මම ස්තූති පුර්වක සිහි කිරීමක් සිද්ධ කරනවා. ඒ වැඩසටහන තුළම.
මේ වනවිට ඔබේ සිත්හි තිබු සිහිනය සැබෑ වෙලා ද?
ඔව්. සිහිනය සැබෑ වෙලා මම සතුට භුක්ති විඳිමින් ඉන්නවා.
ක්ෂේත්‍රයේ චිත්‍රපට ටෙලි නාට්‍ය නිර්මාණ කරුවන් සමඟ සමීප ඇසුරක් පවත්වන ඔබ සැමදාම සුළු චරිත මතට කොටුවෙන්නද අපේක්ෂාව?
දිගු චරිත වෙත යන්න ආසයි. ඒත් රාජකාරිය එයට බාධාවක් දීර්ඝ කාලයක් ෂූටින්වල රැඳෙන්න මට අපහසුයි. රාජකාරියක් කරමින් දීර්ඝ කාලයක් විකාශය වන ටෙලි නාට්‍ය රඟපාන්න මට ආරාධනා කළා. සති ගණන් ෂූටින් තියන ටෙලි නාට්‍ය සඳහා මට කතා කළා. ඒත් මා කරන රැකියාව නිසාම නිවාඩු ලබාගැනීමේ ගැටලුව නිසාවෙන් ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ජයන්ත චන්ද්‍රසිරිගේ නන්නන්තාර ටෙලි නාට්‍යය ඔහුගේ මිදුණු විශ්වය චිත්‍රපටය සඳහාත් මට කතා කළා. ඒත් ඒ ආරාධනයට මට දායක වෙන්න බැරි වුණා. නිවාඩු ප්‍රශ්නය නිසාවෙන්.
මේ වෙනකොට ඔබ සිනමා ශාලා සංකීර්ණයක වගකිවයුතු තනතුරක නියැළෙනවා නේද?
ස්කෝප් සිනමා පුද්ගලික සමාගමේ අලෙවි සහ නිෂ්පාදන කළමනාකරු වශයෙන් 2018 වසරේ ඉඳල රාජකාරි කරනවා. ලබන වසරේ අපේ සිනමා සංකීර්ණයක් හැව්ලොක් සිටි හිදී විවෘත කිරීමෙන් පස්සේ ස්කෝප් සිනමා පුද්ගලික සමාගම චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා. දැවැන්ත සිනමා නිර්මාණයන් සමඟ ලෝක තලයේ සිනමාව ඉලක්ක කරගනිමින්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවන් බොහොමයක් මේ වන විටත් නිමා කරල තියනවා.
ජයන්ත ගලගෙදර මේ වනවිට ග්‍රන්ථ කර්තෘවරයෙක්?
මම යුටියුබ් චැනල් එකේ පළවෙනි කතා තිස්පහ එකතු කරල පොතක් එළි දැක්වුවා. බයිස් කෝප් කතා තිස්පහ කියල සරසවි පොත් ප්‍රකාශකයන්ගේ අධිපති, එච්.ඩී. පේ‍්‍රමසිරි මහතා මට මේ පොත මුද්‍රණය කරල දුන්නා. සිනමාවට බොහොම ළැදි එතුමාගේ මේ උදවුව මම බොහෝ සේ අගය කොට සලකනවා. ඊළඟ කතා සියල්ලත් මම ග්‍රන්ථයක් ලෙස එළි දක්වන්න දැනටමත් සුදානම් කරමින් ඉන්නවා.
සිනමාව පුංචි තිරය වේදිකාව තුළ පෙළහරපාන ඔබ මෙයින් වඩාත් කැමැති?
සිනමා මාධ්‍යයට නමුත් මම වඩාත් නරඹන්න කැමති වේදිකා නාට්‍යය.
චිත්‍ර කතා පත්තර වලටත් ඔබ මහත් අභිරුචියක් දැක්වුවා නේද?
සතුට, සිත්තර, මධුර වගේ ඒ කාලේ තිබුණ චිත්‍ර කතා පත්තර මම කියෙව්වා. ඒ පත්තර බණ්ඩල් ගණන් මා ළඟ සුරැකිව තිබුණා. ඒවායෙනුත් මම යම් ආභාසයක් ලැබුවා. මගේ නිර්මාණාත්මක හැකියාව ඔප් නංවා ගන්න.
මුල්ම සිනමා අත්දැකීම ඔබේ සිත තුළ චකිතයක් ඇති කළාද?
කොහෙත්ම නෑ. මම අදත් රඟපාන්නේ කැමරාවක් තියනවද කියලවත් හිතට ගන්නේ නැතුව. එදා මගේ මුල්ම දර්ශනයේදී උදයකාන්ත ඇක්ෂන් කිව්වා. මම රඟපෑවා ෆස්ට් ටේක් එකෙන් උදයකාන්ත රයිට් ඕකේ කිව්වා. කැමරාව ගැන හිතුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් ඩිරෙක්ටර්ගෙන් අවශ්‍ය පැටන් එක අහගන්නවා. එයාට ඕනෙ ආකාරය. ඒ විදියට පිටපතේ මගේ කැරැක්ටරය ගැන වැටහීමක් ගන්නවා. ඒ අවබෝධය මගේ මනසට ගන්නවා. ඊට පස්සේ මගේ රංගනය මම කරනවා. අදටත් කවුරුත් කියන්නේ ගලගෙදර නැචුරල් රඟපානවා හදන්න කියලා දෙයක් නෑ කියලා.
ඔබට ආශීර්වාදයක් වූ අයත් ඇති නේද ස්තූති පුර්වකව සිහිපත් කරන්න?
ඊ.ඒ.පී. ආයතනයේ අසංක එදිරිසිංහ ස්කෝප් සිනමා සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් මීමන ගේ ස්කෝප් සිනමා සභාපති නවීඩ් කාදර් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අපේ මේ ආයතනය විදේශිය චිත්‍රපට පෙන්නුවත් දේශීය චිත්‍රපට සඳහාත් ප්‍රමුඛතාවය ලබාදෙනවා. මේ සිනමා සංකීර්ණය තුළ චිත්‍රපට හෝල් හයක් තියනවා. ඉංගී‍්‍රසි චිත්‍රපට හින්දි චිත්‍රපට වගේම සිංහල චිත්‍රපට සඳහාත් ඒ ශාලා විවෘතයි.
චිත්‍රපට කළමනාකාරිත්වය තුළ දීර්ඝ කාලීනව කටයුතු කරන ඔබට අපේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?
හැත්තෑව අසූව දශකයේ නිර්මාණය කළ සිංහල චිත්‍රපට දැන් හැදෙන්නෑ. ඒ නළු නිළියෝ පද රචකයෝ දක්ෂ අධ්‍යක්ෂවරු අද නෑ. ඕක තමයි අපේ සිංහල සිනමාවට වැරදුණු තැන. හරි නළුවෙක් නෑ. එදා හිටිය ඒ කට්ටිය අද හිටියා නම් අදත් අපේ සිංහල සිනමාව බැබළෙනවා. එදා හිටිය සිනමා නිර්මාණකරුවන්ගේ දැනුම අද තාක්ෂණයත් සමඟ මුසුකළා නම් අද විශාල දියුණුවක් අපේ කර්මාන්තය තුළ දකින්න පුළුවන් කියන අදහස මගේ සිතට දැනෙනවා. අද පුංචි තිරයෙන් බැහැර වෙන පේ‍්‍රක්ෂකයා සිනමා ශාලා වලට රොක් වෙන්න පටන් අරන්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න