මෙය බාධාවන්ට අභියෝග කරමින් ආ ගමනක්

ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ
අගෝස්තු 24, 2023

නිවේදන පාඨමාලාවක සංකල්පය කටහඬ නමින් ආරම්භ කළ ඔබට අද කටහඬ ආ ගමන ගැන මොකද හිතෙන්නේ?

මේ වසර විසිපහ පුරාවට මගේ කටහඬ නිවේදක පාඨමාලාව ඇසුරින් බිහි වූ පිරිස් ලක්ෂයකට වැඩියි. මේ අය නිවේදකයන් පමණක්ම නොවෙයි. විවිධ වෘත්තීවල නියැළී බොහෝ දෙනෙක් ඒ අතර සිටිනවා. පූජකවරුන්, දේශපාලනඥයන්, පරිපාලන නිලධාරීන්, ගුරුවරුන්, මාධ්‍යවේදීන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු කටහඬින් වැඩ ගන්නා බොහෝ පිරිස් මගේ කටහඬ තුළින් බිහි වූ ගෝලබාලයෝ කිව්වොත් වැරදි නෑ. මගේ ගෝලයෝ කොහේ ගියත් රටේ තැන් තැන්වල විසිරිලා ඉන්නවා. ඒක මට ලොකු ආඩම්බරයක්.

සන්නිවේදන ක්ෂේත්‍රයේත් අද ඔබේ ගෝල බාලයෝ විසිරිලා ඇති?

කළිඳු කරුණාරත්න (දෙරණ) ඉනුෂා වී බැද්ද (සිටි එෆ්.එම්) සමීර කාරියවසම් (අයි.ටී.එන්) ආදී බොහෝදෙනෙක් ඒ අතර ඉන්නවා.

කටහඬ සෑම වර්ෂයක් පුරා අඛණ්ඩව සැමරුවක් ලෙසින් සමරන පුද්ගලයෙක් නේද ඔබ? මේකට විශේෂ හේතුවක් තියනවා ද?

මම හිතන්නේ උදාවන හැම දවසක්ම අවස්ථාවක් කියල. අද කළ යුතු දේ අදම කරල හමාර කරන්න. හෙටට එය බරක් වෙන්න ඉඩ තියන්න එපා. කියමක් තියනවා ප්‍රතික්ෂේප වීමේ වේදනාව හොඳම අභිපේ‍්‍රරණයයි කියල ඉතිහාසයේ අපිට ප්‍රතික්ෂේප වු අවස්ථා ඕනෙ තරම් නමුත් මම එදා ඉඳලා සිතුවේ ඉන්ද්‍රජිත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මේ ගමන ඉදිරියට යන්න ඕනෙ කියල බාධා පමුණුවනු අයට. බාධා පැමිණිය යුතුයි අභියෝගයට අභියෝග කළ යුතුයි. මේ දර්ශනය මත තමයි මම හැම දවසම කටයුතු කරන්නේ. හිරු උදාවනවා කියන්නේ මට මහා රැස්වැල්ලක් ලබා දෙනවා වගේ හැඟීමක් මට ඇති වන්නේ හැම දවසකම හිරු උදාවන විට මම සුර්ය වන්දනාවෙන් වැඩ පටන් ගන්නේ බ්‍රහ්ම මුර්තියෙන්. ඒ ආධ්‍යාත්මික ශක්තිය මාව ඉදිරියට යවන ගාමක බලවේගයක්. බුද්ධ දර්ශනයත් සමඟ තමයි මම ජිවිතය ගත කරන්නේ. එහිදී ගෙවුණු අතීතය ගැනවත් නොලැබුණු අනාගතය ගැනවත් මම කිසිසේත්ම පසුතැවෙන්නේ නෑ.

මෙවැනි කටයුත්තක නියැළෙන්න. ඔබට වස්තුබීජය ගොඩනැගෙන්නේ කොහොමද?

මගේ මව චන්ද්‍රලතා ලියනගේ මගේ පියා ගුණදාස ලියනගේ මට විසල් නුගරුකක්සේ මට සෙවන දෙනවා. අද ජීවතුන් අතර නැතත් මට තාත්තා කීවේ පුතේ තනියම නැගිටපන් කියලා තාත්තාට ඕනෙනම් තිබුණා මාව ඔසවල ඉහළින් තියන්න. කවදාවත් මගේ ලිපියක් පත්තරයක පළ කළේ නෑ. මම ලියන ලිපි සිය ගණනක් කුණු කුඩයට ගියා. තනියම නැගිටපන් අන් අයට අත දියන් කියල තමයි තාත්තා මට නිතර කිව්වේ. දෙමාපිය ආශිර්වාදය මට ලොකු ශක්තියක් වුණා. හැමදාම උදේ අම්මාට තාත්තාට වැද නමස්කාර කරල වැඩ පටන් ගත්තේ. ඒක තමයි මට ලොකු ශක්තියක් වුණේ මෙවැන්නකට මුල පුරන්න.

කට හඬ නිර්මාතෘවරයා වන ඔබ කටහඬ බිහි කරන්න හිතුවේ?

තමන්ගේ විමානය කඩා වැටෙයි දෝ බියෙන් බොහෝ ප්‍රවීණයන් අලුත් පරම්පරාවට අතදෙන්නේ නෑ. ඒක මම හොඳට අත්දැක්ක. මේ ක්ෂේත්‍රය තුළ බොහෝ මාධ්‍ය ආයතනවල තියන කැපිල්ල මම හොඳට දැක්කා. අලුතින් කෙනෙක් එනකොට ඌව හුරගෙන කන එකයි. ඌට කපන එකයි. මම හොඳට දැක්කා. මට මේක ලොකුම උත්තේජනය වුණා. මොවුන්ට අභියෝග කරන්න. අලුත් පරම් පරාවක් හදන්න ඕනේ. ඔවුන්ට අවස්ථාව උදා කරල දෙන්න ඕනේ. ඒ සඳහා ආරම්භයක් ලෙස තමයි කටහඬ ආරම්භ කළේ එච්.එම්. ගුණසේකරයන්ට සම්මාන ප්‍රදානය කරමින්.

ඇයි ඔබ එච්.එම්. ගුණසේකරයන් මුලික කරගනිමින් වැඩකටයුත්තකට මුල පුරන්නේ?

එක පැත්තකින් මගේ නිවේදන වෘත්තියෙ ගුරුවරයෙක්. ඔහු ඊට අමතරව පාලිත පෙරේරා, සිරිල් රාජපක්ෂ, ලලිත් එස්. මෛත්‍රිපාල බර්ටි ගලහිටියාව වැනි අය මගේ ගුරුවරු වුණා. ඒ වගේම මේ රටේ විශිෂ්ට මෙහෙවරක් කළ හැම කෙනෙකුටම පුර්වාදර්ශයක් දුන් කෙනෙක් තමයි. එච්.එම්. ගුණසේකර එවක හිටපු ජ්‍යෙෂ්ඨයා වුණෙත් ඔහු ඒ නිසාම මම ඔහුට මේ සම්මාන ප්‍රදානය සිදුකරමින් මගේ යුග මෙහෙවර ආරම්භ කළා. ගුණසේකරයන් අන්තර්ජාතික තලය ජයගත් නිවේදන වෘත්තියේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වුණා.

කටහඬ ඔස්සේ ඔබ දැනුම දුන්නා පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වුවන් සඳහා සම්මානත් පිරිනැමුවා මීට හේතුවක් තියනවාද?

ලංකා ඉතිහාසයේ මාධ්‍යවේදීන් කලාකරුවන් මිය ගියාට පස්සේ දේහය අල්ලා කිඹුල් කඳුළු හෙළීමේ කැත තුච්ච නින්දිත ප්‍රතිපත්තිය ඈත් මෑත් කර ඔවුන් ජීවත්ව සිටියදී සැබෑ ඇගැයුමට පාත්‍ර කිරීමේ යුග අවශ්‍යතාවය පසක් කළේ කටහඬ ජාතික ගුවන් විදුලිය පවා මාධ්‍යවේදින්ට සම්මාන දීමට පටන් ගත්තේ මගේ සම්මාන උලෙළෙන් පස්සේ ඉතිහාසයේ ප්‍රථමවතාවට ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ සම්ප්‍රදාය රටට හඳුන්වා දුන්නේ මගේ කටහඬ මාධ්‍ය කේන්ද්‍රයයි. ප්‍රභා රණතුංග, සිරිල් රාජපක්ෂ, ලලිත් එස් මෛත්‍රීපාල, ආරියදාස පීරිස්, නන්දා ජයමාන්න, බර්ටි ගලහිටියාව, පාලිත පෙරේරා, හඩ්සන් සමරසිංහ, නිව්ටන් ගුණරත්න, විජය කොරයා, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, ගැමුණු විජේසූරිය, වසන්ත කුමාර, ටයිටස් තොටවත්ත, මාලිනී ෆොන්සේකා, ආචාර්ය නන්දන කරුණානායක, ජේ.එච්. ජයවර්ධන, ඇතුළු විශාල පිරිසක් කටහඬ ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඊට අමතරව කටහඬ මාතෘ පේ‍්‍රම අභිනන්දන සම්මානය එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා, බ්‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ ඇතුළු රණවිරුවන්ට 2009 වසරේදී අපි පිරිනැමුවා.

තවත් පැත්තකින් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය කටහඬ ජනාභිමානී ස්වර්ණ සිංහ සම්මානය පිරිනැමීම ද සිද්ධ කරනු ලැබුවා. මානව හිතවාදීත්වයෙන්, පරෝපකාරයෙන් නවෝත්පාදනයෙන්, සුවිශිෂ්්ට නිර්මාණ ශක්තියෙන් තුන්කල් දක්නා ව්‍යාපාර ඥානයෙන් සහ බහුවිධ කුසලතා පිළිබිඹු කරමින් ආගමික සංස්කෘතික, සමාජ ආර්ථික දේශපාලන මාධ්‍ය කලා පරිපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධියට විසල් මෙහෙවරක් ඉටු කළ පැවිදි අනුසාසවරුන් උත්තම පුරුෂයන් කාන්තා රත්නයන් ගෞරව බහුමානයෙන් ඇගැයීමට ලක්කරමින් තමයි ඒ සම්මානය පිරිනමනු ලැබුවේ.

කිරිබත්ගොඩ ඥානා නන්ද හිමි, බොරලන්ද, වජිරඥාන හිමි, බෙනඩික් ජෝසප් පියනම, ශාන් වික්‍රමසිංහ, එඩ්වින් ආරියදාස, ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය නන්දදාස නාරායන, දේශමාන්‍ය ජේ.එම්.යු. බී. ජයසේකර, විශාරද නන්දා මාලිනී, ජැක්සන් ඇන්තනී, හසන්ත හෙට්ටිආරච්චි, කිංස්ලි රත්නායක, චතුර අල්විස්, මයුරි අබේසිංහ, හරේන්ද්‍ර ජයලාල්, චමින්ද ගුණරත්න, සුදේව හෙට්ටිආරච්චි, දානපතිනි එම්.ඩී.සුනේත්‍රා විශේෂඥ වෛද්‍ය කාවන් කුරේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී චන්ද්‍රිකා විජේසුන්දර මෙම කටහඬ ජනාභිමානී ස්වර්ණසිංහ සම්මානයෙන් මේ වනවිට පිදුම් ලබා තියනවා.

 

ශ්‍රීමත් මෙරට බිහි වූ හැම ගුවන් විදුලි මාධ්‍යයක රූපවාහිනී මාධ්‍යයකටම සන්නිවේදකයෙක් ලෙසින් කටයුතු කළ කරමින් ඉන්නා පුද්ගලයෙක් වන්නට ඔබ වාසනාවන්ත වෙලා?

ඔව්. මොනයම් වූ අයුරකින් ඒ හැම සන්නිවේදන මාධ්‍යයකම මේ ශ්‍රීමත් මැක්කෙක් වගේ එල්ලිලා ඉඳලා ඇති. ඉන්නවාත් ඇති. ස්වදේශිය සේවය, සිටි එෆ්.එම්. වෙළෙඳ සේවය, අධ්‍යාපන සේවය, මැදපෙරදිග සේවය, ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්, ටී.එන්.එල්, එම්.ටී.වී. මැක්ස් ටීවි, මැක්ස් රේඩියෝ, සිරස එෆ් එම්, සිරස ටීවී, ඉසුර එෆ්.එම්. ඕස්ටේ‍්‍රලියාවේ 222, මැද පෙරදිග උම් අල් කුවේන් ආදි ගුවන් විදුලි රූපවාහිනි නාළිකා රැසක මම සන්නිවේදකයෙක් ලෙස කටයුතු කරල තියනවා.

දක්ෂ සන්නිවේදකයෙක් වූ ඔබ බොහෝ වෙනත් හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයෙක් වනවා නේද?

රංගනයෙන්, ග්‍රන්ථකරනයෙන් හඬ කැවීම් ශිල්පයෙන්, චිත්‍ර ශිල්පයෙන් මම හැකියාවන් පෙන්නල තියනවා. මේ වනවිට මම පොත් තිස් පහක් විතර රචනා කරල තියනවා. මුහුණට මුහුණ, පීලි පනින නහරවැල්, අරුමැසි කටහඬ, පන්හිදක සංහිද, රත්තරං අම්මා, සිහින මාළිගා, පැටිකිරිය 123, ආදරණීය නිලීකා, පත්තර මහගෙදර, දසක දෙකක මතක, සුනාමි සාපය, සිරිමත්ගේ සිතුවම්, ප්‍රභාෂ්වර ජිවිතය, සර්පයකු සමඟ සටන් වැද, වැලිකතරක ගිනි කඳුළු, රටටම කථා කරන්න, කටහඬින් වැඩ ගන්න, ආකස්මික ආදරය, නිල අල්ලා මොළ සුරා කෑමේ කලාව, සිහින මංසල, කොරෝනාවට එරෙහි සිරිමත්ගේ අසිරිමත් මත, විජය දද නැංවු කේ.ඩී. විජේපාල ආදී පොත් රැසක්ම අතර වෙනවා.

පුංචි තිරයේ වගේම චිත්‍රපට ඔස්සේ්ත් ඔබ රංගනයෙන් පේ‍්‍රක්ෂකයන් අතරට එක්වුණා නේද?

ටෙලි නාට්‍ය තිහකට වැඩි ප්‍රමාණයක මම මේ වනවිට රඟපාල තියනවා. ඒඅතරින් අසල්වැසියෝ, රැකවරණය, හිම කැටමාලය, සිහින සාප්පුව, සිහින අරන් එන්න, අන්දර වැට, වස්සාන පේ‍්‍රමය, ටෙලි නිර්මාණ කැපී පෙනෙනවා. අසල්වැසියෝ, වස්සාන පේ‍්‍රමය, සිහින සාප්පුව ටෙලි නාට්‍යවල මම කරපු චරිත වඩාත් පුංචි තිරයේ පේ‍්‍රක්ෂකයෝ අතර ජනපි‍්‍රය වුණා. චිත්‍රපටත් තිහකට විතර රංගනයෙන් දායක වෙලා තියනවා. ලේ කිරි කඳුුළු, රාජ්‍ය සේවය පිණිසයි, සොඳුරු දඩබිම, පායා එන්න හිරු සේ, හදවත මල්යායයි, මගෝඩිගොඩයි, චන්ද්‍රා සුළඟ ඒ අතරින් ප්‍රධානයි. ඉදිරියේ දී ලාල් පි‍්‍රයදේවගේ නුහුරු වෑයම චිත්‍රපටය තිරගත වෙන්න තියනවා. මම රඟ පෑ රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයේ පුවත්පත් කලාවේදියා පායා එන්න හිරු සේ මැරයා චරිත වලින් සිනමා පේ‍්‍රක්ෂකයන් අතර මම ගොඩක් ජනපි‍්‍රය වුණා.

ශ්‍රීමත් වේදිකාවේත් රංගනයේ නියැළී කලා ශිල්පියෙක්?

මාව වේදිකාවට ගෙනාවේ බන්දුල විතානගේ ඔහුගේ සෙනෙහෙබර ඩොලී නාට්‍යයේ මයිකල් ගේ චරිතයට රංගනයෙන් එක් කරගනිමින්, ඊට පස්සේ පංචායුධ, හිරු දහස, ගිනිගත් හදවත්, නිරුවත් පේ‍්‍රමය ආදී නාට්‍ය බොහොමයක ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවා. වේදිකාවට මම මුලින්ම පය තබන්නේ පාසල් කාලයේ පටන් මම නිර්මාණය කළ වේදිකා නාට්‍ය නිර්මාණයන් එක්ක.

ගීත ගායනයෙන් පවා ශ්‍රීමත් කලාවේ තවත් ඉසව්වක් සොයා ගොසින් නේද?

පාසල් කාලයේ පටන් මං සින්දු කියනවා. මට අවශ්‍යතාවයක් තිබුණා මගේම ප්‍රසංගයක් පවත්වන්න. ඒ ආශාව නිසාම මම එලිෆින්ස්ටන් රඟහලේ පැවැත්වුවා. ගී සිරිමත් නමින් ප්‍රසංගයක්. ගුණදාස කමල් අද්දරආරච්චි, ඉන්දානි පෙරේරා, ශෂිකා නිසංසලා භාතිය සංතුෂ් නිරෝෂා විරාජනී ආදීන් එදා මගේ ප්‍රසංගය රසවත් කළා. මාත් සමඟ මගේම ගීත එකතුවක් නොනිමිපෙම නමින් ගීත සංයුක්ත තැටියක් නිකුත් කළා. මම විසින් ලියන ලද මා විසින් ගායනා කරන ලද ගීත දහයක් විතර තියනවා. සරත් වික්‍රම, රෝහණ වීරසිංහ සංගීතවත් කරපු.

භාව පුර්ණ කටහඬින් විචිත්‍රවත් වූ ප්‍රසංග කලාවේ ජනපි‍්‍රය චරිතයක් නේද ඔබ?

මේ වනවිට මම එළිමහන් ප්‍රසංග දහසකට වඩා නිවේදන කටයුතු කරල ඇති. දෙස් විදෙස් සංගීත ප්‍රසංග හැරුණු විට නැටුම් ප්‍රසංග පි‍්‍රයසාද විවිධ උත්සව අවස්ථා ඒ අතර කොතෙකුත් ඇති. කලක් මගේ හඬින් විචිත්‍රවත් වූ විශාරද ගුණදාස කපුගේ, මාලිනී බුලත්සිංහල, කරුණාරත්න දිවුල්ගනේගේ ස්වර සමාධිය, කපුගේ මාලිනී ගී සිසිලස, කරුණාරත්න දිවුල්ගනේ. දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් ස්වර දැහැන ආදිය කැපී පෙනුණා.

හඬ කැවීම් ශිල්පියකු ලෙස ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයේ ජනපි‍්‍රය චරිතයක් ඔබ?

ප්‍රවීණා නාට්‍යයේ බලාජිට හඬ කැවුවේ මම. හඬ කැවීම් ශිල්පයේ වාර්තා පිට වාර්තා තැබු පුද්ගලයෙක් මම. ප්‍රවීණා නාට්‍යයේ කොටස් 1500ක ප්‍රධාන නළුවාට හඬ කැවුවේ මම. දීර්ඝ කාලයක් එකම චරිතයකට හඬ කවපු එකම නළුවාත් මම. ප්‍රවීණා ලංකාවේ කොල්ලො කෙල්ලෝ පිස්සු වැටුණු නාට්‍යයක්. ප්‍රවීණට රඟපෑ ශ්වේතා තිවාරිත් බලාජිට රඟපෑ රොනිත් රෝයිත් ලංකාවට පවා ගෙන්නුවා. ඊට අමතරව හැරී පෝටර් හී (මායාකාරයා) බේ වොච් (රෝන් ටොන්)ලෝඩ් ඔෆ් ද රිංග්ස් (එල් රොන්ඩ්) මායාවරුන්ගේ ලෝකය (රුංකි රජු) මේ ආදරයයි. (සාහිල් ෂා) ඇරෝ (වෝල්ටර්) ශනි (සූර්ය දෙවියෝ) ආදී චරිත බොහොමයකට මම හඬ මුසු කළා. 24, ස්පිරිට්, ශාන්ති, අබා පූජනීයයි ආදරේ, ඉසිවර වෙදැදුරු, මහාභාරත්, ගෞතම සිද්ධර්ථ, රජ වැඩ කාරයෝ චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහාත් මම හඬ කවා තිබෙනවා.

සම්මාන ඇගැයුම් එහෙම ලැබුණේ නැද්ද?

අපෝ ලැබුණා. බර තොගයක් හැබැයි මම කවදාවත් ඇප්ලිකේෂන් දාලා සම්මාන ඉල්ලල නම් නෑ. දේශමාන්‍ය ගෞරවනාමය, කලා කීර්ති ගෞරවනාමය, දේශබන්දු ගෞරව නාම රාජ්‍ය මාධ්‍ය සම්මාන උලෙළේ දී හඬ කැවීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. විවිධ සංස්කෘතික අංශවලින් පිරිනැමුණු සම්මානත් බොහොමයක් තියනවා.

පුවත්පත් කලාවේදියෙක් ලෙසත් ඔබ මාධ්‍ය ජීවිතයේ තවත් ඉසවුවක් නියෝජනය කළ පුද්ගලයෙක්?

මේ ශ්‍රීමත් නොකරන අටමඟුලක් නෑ. වසර විස්සක් ලේක්හවුස් ආයතනයේ දිනමිණ, සිළුමිණ, තරුණී, සරසවිය, යොවුන් ජනතා පුවත්පත්වල උපකර්තෘවරයෙක් ලෙස සේවය කළා. මට කට හඬ කියන්නේ දිව්‍යමය වීණාවක් මේ දිව්‍යමය වීණාව මට දෙවියන් දීපු ත්‍යාගයක් ආශිර්වායක්.

මෙවර කටහඬ විසිපස්වන සැමරුමට මොනවද කරන්න බලාපොරොත්තුව?

මේ මාසයේ පළවෙනිදා කෝට්ටේ රජමහා විහාරයේ විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුවා. කටහඬ ආදි සිසු සිසුවියන්ගේ කලාකරුවන්ගේ, ජනතා නියෝජිතයන්ගේ මාධ්‍යවේදීන්ගේ ප්‍රධානත්වයෙන් එහිදී ආබාධිත අයට රෝද පුටු ප්‍රදානය කිරීමක්, අසරණ සිසු දරු දැරියන්ට පොත් හා පාසල් බෑග් පරිත්‍යාග කිරීම අසරණ පවුල් සියයකට වියළි ආහාරමලු ප්‍රදානය කිරිමක් සිද්ධ කළා. එහිදී මා පිළිබඳ විවිධ පුද්ගලයන් විසින් ලියන ලද ලිපි එකතුවකින් සමන්විත අසිරිමත් සිරිමත් උපහාර ග්‍රන්ථයක් ද එදින එළි දක්වනු ලැබුවා. ඉදිරියේදී අරුමැසි කටහඬ විසිපස් වසරක අභිමන් නමින් විශාල ප්‍රසංගයක් කරන්නත් මගේ සුදානමක් තියනවා.

ඔබේ මාධ්‍ය කලා ජීවිතයේ ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

මම ගමනක් ආව නම් ඒ ආවේ දර්ශනයක් ඇතුව, මේ තාක් මම කිසිදු ලොතරැයි වැඩසටහනකට සම්බන්ධවෙලා නෑ. මේ රටේ සුදුව දුරාව දුරින් දුරු කළ යුතුයි කියන තැන දැඩිව රැදී සිටින කලාකරුවෙක්. මම ජීවිත කළමනාකරණයක්, කාල කළමනාකරණයක්, මුදල් කළමනාකරණයක් නැතුව හරියට තුන්කල් දකින්නැති බොහෝ කලාකරුවන් පිරිසක් ඉන්න අනුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් ජීවත්වන පිරිසක් තමයි අපිට එදත් අදත් දකින්න තියෙන්නේ. බේබදුකම සල්ලාලකම කුහකකම අරපිරිමැස්මක් නැතිකම තමයි අපේ කලාකරුවන්ට වෙච්ච මහා නස්පැත්තිය. මම එදත් අදත් කටයුතු කරන්නේ බුද්ධ දර්ශනය මත. ඇතැම් කලාකරුවො පත්තරකාරයෝ බේබදුකම නිසා බොහෝ විනාශ වෙන හැටි මගේ පියාගේ පරම්පරාවෙන් මම අත් වින්ඳා. ඒ නිසා මම කලාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ රසිකයන්ට ආදරේ නම් තමන්ගේ බිරියට දරුවන්ට ආදරේ නම් මේ කලාවට ආදරේ නම් මේ බේබදුකමෙන් වැළකෙන්න කියලා භීෂණයෙන් රට වෙලා ගෙන සිටි 88 -89 කාලවකවානුවේ පත්තර මහගෙදරට පියමැන්න මම මාධ්‍ය ලෝකයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයායමින් සුවිශාල ගමනක් පැමිණියා. ඒ ගමන කටුකයි නීරසයි. පැණි රසයි නමුත් මම අද ඉන්න තැන ගැන මම තෘප්තිමත්.

 

 

සේයාරූ - චින්තක කුමාරසිංහ

 

[email protected]