වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘චෞර භක්ෂක’ හීනය සැබෑ කරන්න එක්වන්න

“චෞර භක්ෂක” නමැති වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කර වේදිකාවට ගෙනඒමට අදහස් කරගෙන එම සිහිනයට අර්ථපතියකු මේ දිනවල සොයමින් සිටින වේදිකා,ටෙලිනාට්‍ය,සිනමා රංගන ශිල්පි ප්‍රසාද් සූරියආරච්චි බොහෝ කලකට පසු සරසවිය හා එක්වූයේ සිය නවතම වේදිකා නිර්මාණය පිළිබඳවත් ඔහුගේ වේදිකා ටෙලිසිනමා රංගනයන් හා අධ්‍යක්ෂණ කාර්යයන් පිළිබඳවත් කතා කිරීමේ අදහසිනි.
ඔබේ කලා දිවියේ ආරම්භය ගැන කතා කළොත්..?
මගේ කලා දිවියේ ආරම්භය ගැන කිව්වොත් ඒක පාසල් අවධිය දක්වාම යනවා. මම ඉගෙනගත්තේ වෙස්ලි කොලේජ් එකේ. උසස්පෙළ කරන කාලයේ අපේ සිංහල සර් වුණේ ප්‍රවීණ කලාකරුවකු වන ගාමිණී සමරකෝන් මහත්තයා . ඒ කාලයේ ඔහු කළා “රටේ වෙදා” කියලා නාට්‍යයක් . ඒක තමා මගේ මුල්ම රඟපෑම. එහි කමල් අද්දරආරච්චිත් රඟපෑවා . ඒකේ රඟපෑමෙන් පසු රංගනය හදාරන්න ආසාවක් ඇතිවුණා.
පසුව ඔබ ළමා හා යොවුන් රංගපීඨයට යොමුවෙනවා නේද.......?
ඔව්, මම පසුව සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංගපීඨයට ඇතුළු වෙනවා. එතැනදී මට එතුමියගේ “විකෘති” නාට්‍යයේ රඟපාන්න ලැබෙනවා. “විකෘති” වලින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ. එහි කවිකොළකාරයාගේ චරිතය කළා. අවසානයේ එහි තාත්තාගේ චරිතය මට කරන්න ලැබුණා. ඒ චරිතය මුලින්ම කළේ සුදත් දේවප්‍රිය. පසුව සුසිල් ගුණරත්න, නිහාල් ප්‍රනාන්දු වගේ අයත් කළා.”විකෘති” 1982 වේදිකා ගතවුණේ. ළමා හා යොවුන් රංගපීඨයේ නාට්‍යකරණය හදාරද්දී ටෝනි රණසිංහ, පරාක්‍රම නිරිඇල්ල වගේ ප්‍රවීණයෝ අපට උගන්වන්න ආවා.
ඔබ රූපවාහිනියට පැමිණි අයුරු සිහිකළොත් ....?
රූපවාහිනිය ආරම්භ කළ කාලයේම මම එයට සම්බන්ධ වෙනවා. මුලින්ම ළමා අංශයේ නාට්‍යවලට සම්බන්ධ වුණා. “හත්පණ” ටෙලිනාට්‍යයේ රඟපෑවා. වසර ගණනක් ළමා අංශයේ වැඩ කරනවා. ශ්‍රීමතී ලියනගේ “කතන්දර පිටුව“ කියලා එකක් කළා. එහි ළමයි වෙනුවෙන්ම නාට්‍ය නිර්මාණය කළා. ප්‍රාසංගික ටෙලිනාට්‍යයකට කියලා මුලින්ම දායක වුණේ සෝමරත්න දිසානායකගේ “ඉටිපහන් 2” ටෙලිනාට්‍යයට. නිල්මිණී තෙන්නකෝන්ගේ පෙම්වතාට එහි රඟපෑවා.
වේදිකාවේ ඔබේ රංගන පරාසය ගැන කිව්වොත්....?
මුලින්ම මම සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංගපීඨයේ ඉගෙනගත්තා . ඒකාලයේ විදේශීය නාට්‍යකරුවෝ ලංකාවට ඇවිත් ජර්මන් සංස්කෘතික ආයතනයේ නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. ඒවටත් මම සහභාගි වුණා. ඒවගේම එකල පින්ලන්තයේ ශ්‍රීලාංකික තානාපතිවරයාගේ භාර්යාව වුණු හෙලේනා ලෙහ්තිමතීගේ වැඩමුළුවලටත් ගියා. ඇය මුලින්ම “පුන්තිලා” නාට්‍යය කළා. ෂේක්ස්පියර්ගේ නාට්‍යයක සිංහල පරිවර්තනයක් වූ “ගිම්හානේ රැයක්” නාට්‍යයත් කළා. එය පරිවර්තනය කළේ ටෝනි රණසිංහ මහත්තයා. ටෝනි රණසිංහ මහතාගේ ජුලියස් සීසර්” නාට්‍යයේ රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. එහි ගාමිණී ෆොන්සේකාත් රඟපෑවා . 1986 මුල වගේ මේක වේදිකාගත වුණේ. ගාමිණී ෆොන්සේකා රඟපෑ එකම වේදිකා නාට්‍යය මෙයයි. ඊට අමතරව සුගතපාල ද සිල්වාගේ “මරාසාද්” වලටත් සම්බන්ධ වුණා. පරාක්‍රම නිරිඇල්ලගේ “උත්‍තමාවී” නාට්‍යයට සම්බන්ධ වුණා.ජර්මන් සංස්කෘතිය ආයතනයේ අනුග්‍රහය එයට ලැබුණා.මම සුනේත්‍රා සරච්චන්ද්‍ර, එච්. ඒ. පෙරේරා වගේ පිරිස එයට සම්බන්ධ වුණා. කොහොමහරි දැන් මගේ කලා දිවියට අවුරුදු 40ක් වෙනවා.1982 ඉඳන් මම ක්ෂේත්‍රයේ ඉන්නවා. වෙනත් අය යටතේ රඟපෑවට කාලයත් එක්ක ළඟකදී නම් නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. එක් එක් අයගේ අධ්‍යක්ෂණය විවිධයි. නළුනිළියන් මෙහෙයවන ආකාරය, නිෂ්පාදන සැලසුම වෙනස්..එය මට විශාල අත්දැකීමක් වුණා. විවිධ අධ්‍යක්ෂවරු යටතේ රඟපෑම මා ලැබූ භාග්‍යයක්...
වේදිකාවේ ඔබ සම්මානනීය වූ අවස්ථා සිහිකළොත්......?
රාජ්‍ය සම්මාන උලෙළේ E.MD උපාලිගේ “එව බලව“ නාට්‍යයේත් රාජිත දිසානායකගේ “සිහින හොරු අරන්” නාට්‍යයේත් E.MM.. ම කරපු චෙකෝෆ්ගේ නාට්‍යයක් වන “ඉඩමේදී විකිණේ” නාට්‍යයේත් රඟපෑම වෙනුවෙන් විශිෂ්ට රඟපෑම් කුසලතා සම්මාන ලැබුණා . ඔය අතරදී යෞවන සම්මාන උලෙළටත් සම්බන්ධ වුණා. මාත් එක්ක සමකාලීනව ආව කෙනෙක් තමයි ජයලාල් රෝහණ. 1996දී ඔහු “ලෝකා” කියලා නාට්‍යයක් කළා. එය හොඳම නාට්‍යය වුණා. මට එහිදී ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා . ජයලාල් රෝහණ හොඳම නළුවා වුණා. ඒ අතරදී කෙටි නාට්‍ය කළා “චින්තන සාදය” කියලා කෙටි නාට්‍යයක් කළා.යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය උළෙලේදී මට හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය , හොඳම රචනය යනාදියට සම්මාන ලැබුණා. ඒවගේම 1999දී මම “වළලු සැණකෙළි“ කියලා නාට්‍යයක් රචනා කර නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළා. එයට යෞවන සම්මාන උළෙලේ දිගු නාට්‍ය අංශයේ තුන්වැනි ස්ථානය ලැබුණා.
ඔබ අලුත්ම වේදිකා නිර්මාණයකට සූදානම් වෙනවා නේද.....?
”චෞර භක්ෂක” කියලා දිගු නාට්‍යයක් රචනා කළා.වර්තමාන ආර්ථික, දේශපාලනික , සමාජීය පසුබිම ගැන මෙයින් කතා කරන්නේ. විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් මුදල ප්‍රමුඛ කරගත් සමාජයක් බිහිවුණා. අපි දේශපාලනයට ඇඟිල්ල දික් කළාට අපි නොදැනුම්වත්වම අපිම හොරු බවට පත්වූ අවස්ථාවක් මේක. අපි දන්නේ නැහැ අපි හොරුද කියලා. අපි ඇත්ත වශයෙන්ම අපිටම වංචනිකව ජීවත් වෙනවද කියා විටෙක හිතෙනවා. සත්‍යගරුක, වංචනික තැනැත්තන් අපි අතරේම ඉන්නවා. ඒ දේවල් සිදුවුණේ 1977 විවෘත ආර්ථිකයේ බලපෑමත් එක්ක. කලාකරුවන් තුළ මේ චෞරභාවය කොතෙක්දුරට ඇතිවෙලා තියෙනවද කියා මෙහි කතා කරනවා. නාට්‍ය කලාව අද අර්බුදයකට ලක්වෙලා. ප්‍රේක්ෂකාගාරය හිස්වුණාට නාට්‍ය කලාවේ යම් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා . සුබවාදී මොහොතක මේ කතාව ජනතාව අතරට යයි කියලා මම හිතනවා. මෙය කලාවේ අරමුණ වූ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාහැකි නිර්මාණයක් කියා මා හිතනවා.දැන් මේ නිර්මාණයට හොඳ නිෂ්පාදකවරයෙක් සොයමින් ඉන්නේ. සුබවාදීව මෙයට නිෂ්පාදකවරයෙක් එකතු වේවි කියා හිතනවා. මෙයට තවම නළුනිළියන් තෝරාගෙන නැහැ. අද කාලයේ ලොකු වියදමක් යනවා නාට්‍යයක් කරන්න. අඩුම තරමින් ලක්ෂ 10ක්වත් ඕනෑ. මට මේ නාට්‍යය ගැන පැහැදිලි සැලසුමක් තියෙනවා. මාස 03ක් වගේ කෙටි කාලයකදී මෙය එළියට දාගන්න පුළුවන් වෙයි කියා හිතනවා. මෙහි චරිත හයයි තියෙන්නේ. ඒ චරිත හයම අද වෙද්දී වේදිකාවේ ඉන්න චරිත. නළුවෙක්ට, නිළියෙක්ට රඟපෑම ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ පිටපතක් එහි තිබෙනවා කියා මම විශ්වාස කරනවා.
“චෞර භක්ෂක” අධ්‍යක්ෂණයට බලපෑ හේතු මොනවද...?
මම නිතරම පොත් පත් කියවනවා. චිත්‍රපට බලනවා, සාහිත්‍ය දේශනවලට සහභාගි වෙනවා.ඒ අත්දැකීම් එක්ක මේ වස්තුබීජය මගේ ඔළුවට ආවා..මීට අවුරුදු 6,7කට කලින් ඉඳන් මගේ සිතේ තිබුණු අදහසක් “චෞර භක්ෂක” හරහා එළියට එන්නේ.
අද වෙද්දී වේදිකා ප්‍රේක්ෂකාගාරය හිස්වුණු බවක් පේනවා එය ඔබ දකින්නේ කෙසේද....?
අද වෙද්දී මිනිස්සු සංස්කෘතිය , සාහිත්‍යය වගේ දේවලින් ඈත්වෙලා. සංස්කෘතික මිනිසා දුරස් වෙලා. රසවින්දනය කියන දේ කුඩා කාලයේ ඉඳන් පුරුදු පුහුණු කළ යුතුයි. එසේ කලාව, සාහිත්‍යය විඳීන්න පුළුවන් අගය කරන්න පුළුවන්, තව කෙනෙක් ගැන ආත්මානුකම්පාව ඇතිවන සංවේදී මිනිසෙක් අද අවශ්‍යයි. සංවේදී මිනිසා ඈත්වීම නිසා වේදිකාවෙනුත් මිනිසා ඈත්වෙලා..ඒක මෙහෙමයි උගන්වන්න බැහැ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාත් කියලා තියෙනවා කලාව රසවිඳීන්න බැරි මිනිසා අප්‍රාණික වස්තුවක් වගේ කියලා. සමාජය ඉදිරියේ අජීවී වස්තූන් විදිහට ජීවත්වෙනවා කියලා.රසවින්දනයත් හැමෝටම පිහිටන්නේ නැහැ. ඒකටත් වාසනා ගුණයක් තියෙන්න ඕන. ශාලාවකට ගිහින් චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලනවා කියන්නේ ඒක වෙනමම සංස්කෘතියක්. ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සු තමන්ගේ රසවින්දනයට වෙනත් මාධ්‍ය තෝරාගෙන තියෙනවා . සංගීත සංදර්ශන, ක්‍රිකට් මැච් නැත්නම් රූපවාහිනිය වගේ දේවල්වලට යොමුවෙලා තියෙනවා. නාට්‍ය කලාවට තිබෙන ඇල්ම අඩුවෙලා වගෙයි. මේ සංස්කෘතික මිනිසා දුරස් වීම නිසාම වේදිකාව හිස්වී තිබෙනවා කියන දේ පැහැදිලියි.
ක්ෂේත්‍රයට එන නවකයන් ගැන ඔබේ අදහස......?
අද වෙද්දි විශ්වවිද්‍යාල මට්ටමින් විද්‍යාර්ථින් බිහිවෙනවා නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් . හැබැයි එතැනින් එහාට ජාතික මට්ටමින් රංගනයේ, අධ්‍යක්ෂණයේ රැඳී ඉන්න පිරිස අඩුයි. ඔවුන් මේ කලාව අධ්‍යයනය කළාට අවසන් වෙන්නේ එක්කෝ ගුරුවරයෙක් වෙලා නැත්නම් වෙනත් රැකියාවකට ගිහින්. ජාතික මට්ටමින් කලාව තුළ රැඳෙන ප්‍රමාණය හරිම අඩුයි. සමහරු නාට්‍ය කලාව ගැන ටියුෂන් දෙනවා. ඒක බිස්නස් එකක් කරගෙන. හොඳ තාක්ෂණය වගේම පාඨමාලාවන් එදා අපට තිබ්බේ නැහැ. අපි ස්වඋත්සහයෙන් ඒවා සොයාගෙන ගියා. අද වෙද්දී ඇකඩමික් මට්ටමින් දියුණු වුණාට වෘත්තිය මට්ටමින් අධ්‍යක්ෂණයට, රංගනයට ඇවිත් නැහැ. අලුත් පිරිස ගොඩක් ඉන්නවා . වේදිකාවට එනවා. මගේ මුල්ම තැන වේදිකාව කියාගෙන ඔවුන් පටන්ගන්නේ. ටෙලියකට කතා කළොත් වේදිකාව පැත්තකට දාලා ටෙලියට දුවනවා. ඉක්මනින් ජනප්‍රිය වෙන්න . එතකොට හිතෙනවා මෙයාලා ඇත්තටම වේදිකාවට ආදරේ පිරිසක්ද කියලා. විනය කියන දේ ගිලිහිලා. ඒ අතර ආධුනික යම් පිරිසක් මේකට කැපවෙලා ඉන්නවා. අපේ කාලයේ අපි නාට්‍ය පෝස්ටරුත් ඇලෙව්වා, දැන් වගේ ඒවා සල්ලිවලට කරන අය එදා නැහැ . අපි සෙට් එකත් හැදුවා. පසුතල නිර්මාණයත් කළා. බඩුමුට්ටු පටවන තැන ඉඳන් ලයිට් හයිකරන දේත් කළා අපි. දැන් බොහෝ අය පිටපත කියවනවා, තමන්ගේ කොටස කළා ගියා , එච්චරයි . අපි වගේ කැපවීමක් ඔවුන් කරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තමන්ගේ කොටස කළාම ඉවරයි කියලා. අපි නම් අනෙක් අය රඟපානවා බලාගෙන ඉඳලා යමක් ඉගෙන ගන්නවා. වේදිකාවේ සියලු මායිම් වේදිකා නළුවා දැනගන්න ඕන. වැඩ කරද්දී සහෝදරත්වය, බැඳීම වේදිකා රංගන ශිල්පියෙකුට තියෙන්න ඕන.
90 දශකයේ ටෙලිනාට්‍ය කලාව හා අද වනවිට ටෙලිනාට්‍ය කලාව අතර වෙනස ඔබ දකින්නේ කෙසේද....?
ඒ කාලයේ නිර්මාණ කරද්දී දවසටම කළේ සීන්ස් දෙකයි, තුනයි. ඒ සීන්ස් නිවැරැදිව උපරිමයෙන් සුදත් රෝහණ වගේ අධ්‍යක්ෂවරු ගන්නවා. ඔහු කාලය පස්සේ දුවන්නේ නැහැ. දැන් හරිම ඉක්මනට රූගතකිරීම් කරනවා. මෙගා රැල්ල එක්ක එහි නිර්මාණාත්මක ගුණය නැතිවෙලා. අධ්‍යක්ෂවරයා වාණිජ රැල්ලට ගහගෙන ගිහින්. අද වෙද්දී ටෙලිනාට්‍යවලට නළු නිළියන් තෝරාගැනීම් කරන්නේත් රූපවාහිනි චැනල්වලින් . ඒකෙන් නිර්මාණයේ ගුණාත්මක බව අඩුවෙනවා. දක්ෂ නව අධ්‍යක්ෂවරයෙක්ට තමන්ගේ දක්ෂකම්, හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව නැහැ. ඒ කාලයේ නම් දින 07ට ටෙලිනාට්‍ය 07යි විකාශය වුණේ. කොටස් ගණනත් 15ක් 20ක් වගේ තිබුණේ. ඒ නිර්මාණවල ගුණාත්මක බව ඉහළින්ම තිබුණා
සුදත් රෝහණගේ ටෙලිනාට්‍යවල ඔබ එකල රඟපෑවා . ඔබ සුදත්ව දකින්නේ කොහොමද ...?
සුදත් රෝහණව මම අඳුනගත්තේ වේදිකාවේදී. සුදත්ගේ තෝරාගැනීමේ සිටම වැදගත්. ඔහුගේ නිර්මාණවල පිටපතත් බොහෝදුරට ඔහුමයි ලියන්නේ. පිටපතේ සිට අවසානය දක්වා නිර්මාණයකට විශාල මහන්සියක් දරනවා. ඔහුට අවශ්‍ය දර්ශනය ගන්න ඔහු දර්ශන තලයේදී සෑහෙන්න මහන්සි වෙනවා. ඔහු අන්තිමට අධ්‍යක්ෂණය කළ “මාණික්කාවත”ට තිබුණු කැපවීම පෙනෙනවා
ඔබ පසුගිය කාලයේ පුංචිතිරයෙන් වැඩිය දැක්කේ නැහැ....?
මම අවසානයට කළේ සුමිත් රෝහණ තිත්තවැල්ලගේ “පින්කෙත” ටෙලිනාට්‍යය . එහි ප්‍රධාන චරිතයක් කළේ. ආණමඩුව පැත්තේ රූගත කිරීම් කළේ. ටෙලියකට ගියාම සෑහෙන්න කැපවීමක් කරන්න ඕන. ඒත් ඒ කැපවීමට අගයක්, වටිනාකමක් නැහැ. බොහෝ ටෙලිනාට්‍යවල මුදල මතයි නළු නිළියන් තෝරාගැනීම සිදුවෙන්නේ. අඩු බජට් එකකට යන තත්‍ත්වයක් දැන් තිබෙන නිසා දක්ෂ නළු නිළියන් ඒවාට එන්නේ නැහැ. “ස්වර්ණ තිසරාවි”, “යශෝ මන්දිර”, “ඉටිපහන්” වගේ ටෙලිනිර්මාණවල මගේ රංගනයන් විශේෂයි.
ඔබ සිනමාවට සම්බන්ධ වුණේ බොහොම අඩුවෙන්......?
සිනමාවේ නම් ලොකුවට රඟපෑම් කළේ නැහැ. අමරනාත් ජයතිලකගේ “යුවතිපති” චිත්‍රපටයේ රඟපෑවා . බූඩි කීර්තිසේනගේ “සිහින දේශයෙන්” ප්‍රසන්න විතානගේගේ “ආකාස කුසුම්” වගේම සුදත් දේවප්‍රියගේ “එළිවෙන දවස” බන්ධුල පද්මකුමාරගේ “සරසවි දියණියෝ” චිත්‍රපටවල රඟපෑවා
වේදිකා නාට්‍ය කලාව අන්තර්ජාතික තලයට රැගෙන යනවානම් එයට ඔබේ යෝජනා....?
ප්‍රධාන වශයෙන් රඟපෑම. මීට වඩා දියුණු හැදෑරීමක් කළ යුතුයි. පිටපතේ සිට රංගන අවස්ථාව දක්වා කැපවීමෙන් හැදෑරිය යුතුයි. අනෙක නළුනිළියන් අධ්‍යක්ෂවරුන් එක්ක කතා කර මෙය දියුණු කළ යුතුයි. අපි අපේ වේදිකාවේ අවශේෂ දේවල් කතා කරනවා අඩුයි. උදාහරණයක් විදිහට ගත්තොත් විදෙස් රටවල ශබ්ද ප්‍රයෝග, සංගීතය, වේදිකා ආලෝකකරණය , පසුතල නිර්මාණය වගේ දේවල් ගැන මීටවඩා කතා කළ යුතුයි, හැදෑරිය යුතුයි . ලෝකයේ වෙනත් රටවල පහසුකම් හා සංස්කෘතියක් තිබෙනවා .ලංකාවේ මේවා දියුණු තත්ත්වයට ඇවිත් නැහැ. වේදිකාව ආකර්ෂණීය දේවල් සොයාගෙන යන්න ඕන. වින්දනීය තත්ත්වයට පත්වෙන අත්හදාබැලීමක් කළ යුතුයි.
ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්...?
මේ දිනවල වේදිකාවේ නම් “කැලණි පාලම” එක්ක රට වටේ යනවා. “කැලණි පාලම” දැන් ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ බිරිඳ වන රම්‍යා වනිගසේකර මහත්මිය භාරගෙන කරගෙන යනවා. මේ “කැලණි පාලම” තුන්වැනි නිෂ්පාදනය. ඊට අමතරව රාජිත දිසානායකයගේ “වීරයා මැරිලා” වේදිකා නාට්‍යයත් නැවත කරනවා. එහි පුහුණුවීම් ඔක්තෝබර් කරන්න හිතාගෙන ඉන්නේ...
ඔබේ පවුලේ විස්තර කිව්වොත්...?
මගේ බිරිඳත් නීතිඥවරියක්. ඇගේ නම රන්මලී සූරියආරච්චි .පුතාලා දෙන්නෙක් මට ඉන්නවා. ලොකු පුතා සුවින් සූරියආරච්චි , පොඩිපුතා කිසල් සූරියආරච්චි . මම අලුත්කඩේ උසාවියේ අපරාධ සම්බන්ධයෙන් නීතිඥවරයෙක් ලෙස රැකියාව කරනවා..