වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ප්‍රවීණයන්ගෙන් මා උගත් දේ විශ්වවිද්‍යාලයකින්වත් ලබන්න බැහැ

90 දශකයේ මුල් කාලයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරා විශිෂ්ට සාමර්ථ්‍ය සහතිකයක් ලබමින් වේදිකා නාට්‍ය කලාව හදාරමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති වැනි දැවැන්ත වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් අනුව ඔවුන්ගේ ආභාසය ලබමින් මනා පන්නරයකින් යුතුව රංගනය හැදෑරූ නලින් ප්‍රදීප් උඩවෙල සිය වේදිකා, ටෙලි, සිනමා රංගනයන් පිළිබඳවත් වත්මන් රංගන ශිල්පීන් පිළිබඳ ඔහුගේ මතයත් ඉදිරිපත් කරමින් වේදිකා නාට්‍ය කලාවේ වත්මන් අර්බුදය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.
- වේදිකා රංගනය අමාරු වැඩක්
- රංගන ශිල්පියකුට සජීවීව රංගනයේ යෙදෙන්න පුළුවන් එකම තැන වේදිකාව
- ‘කෝලම් කුට්ටමේ’ චරිතය බොහෝදෙනා කතා කරනවා
- මේ යන රටාව නිසා ප්‍රවීණ ශිල්පීන් අද ගෙදර
- හොඳ නිර්මාණ කරන්න අපේ රටේ ඕනෑ තරම් වස්තුබීජ තියෙනවා
- අද බොහෝ රංගන වැඩමුළු බොරු කියලා සල්ලි ගරන ව්‍යාපාර
ඔබ කලා ක්ෂේත්‍රයට පැමිණි ආකාරය විස්තර කළොත්...?
ඒ ගැන සිහිපත් කිරීමේදී පාසල් අවධියට යන්න වෙනවා. මම 1988/89 වසරවල මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලයේ උසස්පෙළ කරන කාලයේ පාසල් වේදිකා නාට්‍යවලටත් සහභාගිවුණා. ඒ කාලයේ කෙටිකතා මූලික කරගනිමින් නාට්‍ය තරඟාවලියක් කළා ‘සාහිත්‍ය රසාංග’ කියලා. මම එහිදී ජී.බී.සේනානායක ශූරීන්ගේ ‘දුප්පතුන් නැති ලෝකය’ කෙටිකතාව කළා පාසල් ළමයි එක්ක එකතුවෙලා. එහි අවසන් වටයේ තරඟ පැවැත්වූයේ කොළඹ නව රඟහලේ. 90 දශකයේ මුල් කාලයේ තමයි ඒක තිබ්බේ.
එම නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය ඔබට නාට්‍යකරණය හදාරන්න තරුණ සේවා සභාවට යොමුකළා නේද..?
‘සාහිත්‍ය රසාංග’ අවසන් වටයේදී විනිශ්චය මණ්ඩලයේ හිටිය පිරිස මට කිව්වා ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ පාඨමාලාව හදාරන්න කියලා. ඒ අනුව 90 දශකයේ මුලදී මම තරුණ සේවා සභාවේ නට්‍ය පාඨමාලාවට ගියා. ඒ පාඨමාලාව හැදෑරීමෙන් මට විශිෂ්ට සාමර්ථ්‍යයක් ලැබුණා. එහි තේරීම් මණ්ඩලය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පත්වුණේ. තරුණ සේවා සභාවේ නාට්‍ය රංගකලා උසස් පාඨමාලාවත් මම හැදෑරුවා. එහිදීත් ඉහළ සාමර්ථ්‍යයක් ලැබුණා. ක්ෂේත්‍රය අවුරුදු 03කට වැඩි අත්දැකීම් මම එහිදී ලබාගන්නවා.
එහිදී විශිෂ්ටයන් පිරිසක්ම දේශනවලට සහභාගි වුණා නේද....?
ඔව්, ඒ පාඨමාලාව කරන අතරතුරෙදී එහි දේශනවලට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, රංජිත් ධර්මකීර්ති, ජයසුමන දිසානායක, බන්දුල ජයවර්ධන, බන්දුල විතානගේ වගේ වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයන් රැසක්ම ආවා. මෙය වසරක පාඨමාලාවක්.
ඔබේ මුල්ම රංගනයන් මතක් කළොත්...?
මගේ පළමු වේදිකා නාට්‍යය වුණේ රංජිත් ධර්මකීර්ති අධ්‍යක්ෂණය කළ ‘මේඝ’ වේදිකා නාට්‍යය. ටෙලිනාට්‍යවලින් නම් දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරපු ‘දුර ගමනක්’ කියන වාර්තාමය ටෙලිනාට්‍යය. කමල් අද්දරආරච්චි සහ නිල්මිණී තෙන්නකෝන් එහි ප්‍රධාන චරිත කළේ. මම කළේ ටයර් මාරුකරන කෙනෙක්ගේ චරිතයක්. ප්‍රාසංගික ටෙලිනාට්‍යයකට කියා මුලින්ම සම්බන්ධ වුණේ සරත් ධර්මසිරි ලියූ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘අන්දරේ’ ටෙලිනාට්‍යය. M.T.V එකේ ඒක විකාශය වුණේ. එහි අන්දරේගේ ප්‍රධාන චරිතය මමයි කළේ. ජෝ අබේවික්‍රම මහතා තමයි එහි අපට උගන්වන ගුරුවරයා වුණේ. ජෝ මහතාට අමතරව දයා අල්විස්, ග්‍රැන්විල් රොඩ්‍රිගෝ, ගීතාකන්ති ජයකොඩි, නිලන්ති විජේසිංහ වගේ පිරිසක් එහි රඟපෑවා. දයා අල්විස් සහ නිලන්ති විජේසිංහ එහි මගේ අම්මයි තාත්තයි විදිහට රඟපෑවේ. සිනමාව පැත්තෙන් ජැක්සන් ඇන්තනීගේ ‘ජුලියට්ගේ භූමිකාව’ චිත්‍රපටයේ රඟපෑවේ. එහි ඇතුළත් නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට මම රඟපෑවේ.
රංගනය හැදෑරීමේදී ඔබේ ගුරුවරුන් වූ දැවැන්තයන් පිරිසගේ ආභාසය ඔබට ලැබුණු ආකාරය පැහැදිලි කළොත්....?
මම කලින් සඳහන් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන, රංජිත් ධර්මකීර්ති, ජයසුමන දිසානායක, බන්දුල ජයවර්ධන, බන්දුල විතානගේ යන අයගේ ආභාසය මගේ රංගන ජීවිතයට බෙහෙවින්ම බලපෑවා. ඔවුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. රංගනය පැත්තෙන් අවබෝධයක් දුන්නා. මට ඒ අංශයෙන් අනාගතයක් තිබෙනවා කියලා නිතරම උපදෙස් දුන්නා. ඒවගේම හෙන්රි ජයසේන මහතා විශේෂයෙන් මතක් කළයුතුයි. අනුවර්තන පැත්තෙන් ගත්තොත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ගැන ඔහුට මනාදැනුමක් තිබුණා. ඔහු ප්‍රතිභාව තිබූ රංගන අධ්‍යක්ෂවරයෙක්. ඔහු හුණුවටයේ කතාවෙන් ඉවත්වෙද්දී එහි ‘අසඩක්’ට මාවයි තෝරලා දුන්නේ. එතුමයි මානෙල් ජයසේන මහත්මියයි මට හොඳ ගුරුහරුකම් දුන්නා. තමන්ගේ රංගනයක් වෙනත් අයෙක් කරද්දී තෘප්තිමත් වෙන කෙනෙක් මම දැකලා නැහැ. ඒ අතින් හෙන්රි ජයසේන මහතා විශිෂ්ට තැනක සිටියා. ඔහුගේ ‘අසඩක්’ චරිතය මම වේදිකාවේ රඟපාද්දී ඔහු ඉතාමත් තෘප්තිමත් වුණා. මගේ රංගනය ප්‍රශංසාවට ලක් කළා. හෙන්රි ජයසේන කියන්නේ එහෙම ගුණයක් තිබූ කෙනෙක්. පරිණත බව, උගත් බව ඉහළින්ම ඔහුට තිබ්බා. සුගතපාල ද සිල්වා මහතා ගත්තොත් ස්වතන්ත්‍ර, පරිවර්තන, ලෝක නාට්‍ය සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබූ කෙනෙක්. රංග වින්‍යාසය පිළිබඳවත් හොඳ දැනුමක් ඔහුට තිබ්බා. ඒවගේම විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තියෙනවා, විශිෂ්ට රංගනවේදියෙක් වූ ටෝනි රණසිංහයන්ට සුගතපාල ද සිල්වා මහතා මාව හඳුන්වා දුන් ආකාරය. ‘මේ කොල්ලව නැතිකරගන්න එපා, අපි තව ටික කාලයකින් නැතිවෙලා යයි, ඒත් මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ’ කියලා තමයි ටෝනි රණසිංහ මහතාට සුගතපාල ද සිල්වා මහතා මාව හඳුන්වා දුන්නේ. මේ වගේ දැවැන්තයන්ගෙන් මගේ කලා ජීවිතයට ලොකු පාඩම්, අත්දැකීම් ලබාගත්තා. ඒවා ප්‍රායෝගිකව ලබාගත්ත දේවල්. ඒවා විශ්වවිද්‍යාලයකින්වත් ලබන්න බැරි දේවල්. ඔවුන්ගේ ඒ ආභාසය මගේ කලා ජීවිතයට ලොකු ආලෝකයක් වුණා.
වේදිකාවට ඔබේ විශේෂ ඇල්මක් තිබෙන බව පේනවා... ?
පැහැදිලිවම. රංගන ශිල්පියෙක් ලෙස සජීවීව රංගනයේ යෙදෙන්න පුළුවන් එකම තැන වේදිකාවයි. වේදිකාවේ වැරදුණොත් වැරදුණාමයි. වේදිකාවේ හැසිරෙන්න රංගනය කියන දේ මනාව හදාරලා තියෙන්න ඕන. වේදිකාව තුළදී අපි ප්‍රේක්ෂකයා එක්ක සජීවීව රංගකාර්යයේ යෙදෙනවා. ඒක තමයි එතනදී අපි ප්‍රේක්ෂකයා එක්ක කරන සජීවී ගනුදෙනුව. ශාලාවේ 1000ක් හිටියත් ඒ 1000ටම අපි කියන දෙබස් ඇහෙන්නත් ඕන. ටෙලිනාට්‍ය , චිත්‍රපටවලදී නම් වැරදුණොත් ආයෙත් රූගතකිරීම් කරන්න පුළුවන් . ඒත් වේදිකාවේ එහෙම බැහැ. ඒකයි මම කලිනුත් කිව්වේ වේදිකාවේ වැරදුණොත් වැරදුණාමයි කියලා. වේදිකා රංගනය අමාරු වැඩක්. මාධ්‍ය හරහා රංගන ශිල්පීන්ව පිම්බුවාට වේදිකාවේ තිබෙන ජීවගුණය අනිත් කිසිම මාධ්‍යයක නැහැ. අන්න ඒ නිසා තමයි මම පෞද්ගලිකවත් වේදිකාවට කැමැත්තක් දක්වන්නේ. අනික මගේ දෙබස් ටික හරියට කිව්වොත් තමයි මාත් එක්ක රංගනයේ යෙදෙන අනික් කෙනාටත් තමන්ගේ චරිතය හරියට කරන්න පුළුවන් වෙන්නේ.
ඔබ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමුවුණා. සම්මානත් ලැබුණා නේද...?
මම කළා ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්’ කියලා වේදිකා නාට්‍යයක්. රාජ්‍ය කෙටිනාට්‍ය උලෙළට ඒක කළේ. රාජ්‍ය සම්මාන 11ක් ඒකට ලැබුණා. හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පසුතල නිර්මාණය, හොඳම ආලෝකකරණය වගේ ප්‍රධාන පෙළේ සම්මාන එයට හිමිවුණා. එහි පිටපත ලිව්වේ ධනංජය කරුණාරත්න. වේදිකා නාට්‍යයක් ආයෙත් කරන්න වුවමනාව නම් තිබෙනවා. රටේ තිබෙන තත්ත්වයත් එක්ක ඒක අමාරුයි. අනික කරන එක හොඳ පිටපතක් වෙන්නත් ඕන. විසූක දස්සන පෙන්නලා වැඩක් නැහැ.
මේ දිනවල ඔබ නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා නේද...? ඒ අතරින් විශේෂ වූ චරිතයක් තිබෙනවද..?
ඔව්, ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් සිවගුරුනාදන්ගේ ‘කෝලම් කුට්ටම’ ටෙලිනාට්‍යයේ පාරම්පරික වෙස්මුහුණ නිර්මාණය කරන කලාකරුවකු වූ ගුරුන්නාන්සේ කෙනෙක්ගේ චරිතය කරනවා. චරිත් අබේසිංහගේ ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලිනාට්‍යයේ හුරුළුවැව කියලා වන්නි නායකයෙක් විදිහට රඟපානවා. නිවන්ත ප්‍රසාරගේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ කරවල වෙළෙන්දෙක්ගේ චරිතයක් කරනවා. වේදිකාවේ ‘සුද්දෙක් ඔබ අමතයි’ සහ ‘හුණුවටයේ කතාව’ට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ චරිතවලින් එකක් විශේෂයි කියලා නැහැ. චරිතය උපරිමයෙන් කරන්න උත්සහ කරනවා. ‘කෝලම් කුට්ටමේ’ චරිතය ගැන බොහෝදෙනා කතා කරනවා. අපේ සාම්ප්‍රදායික කලාව තුළ, වෙස්මුහුණු කලාව තුළ තිබෙන වටිනාකම එහි පෙන්වාදෙනවා. වැළලී යන අපේ කලාව, ඉතිහාසය ආරක්ෂා කරගන්න වෙහෙසෙන ඒ සාම්ප්‍රදායික ගුරුන්නාන්සේගේ චරිතයට බොහෝදෙනා ආදරය කරන බව පේනවා.
ඔබ මෙතෙක් කළ ටෙලිනාට්‍ය චරිතවලින් ඔබේ දිවියට බලපෑ විශේෂ චරිතයක් තිබේද..?
එහෙම විශේෂ එකක් කියලා නම් නැහැ. ‘මහතලා හටන’, ‘බට්ටි’, ‘ගංදෑල නිසලයි’ වගේ ටෙලිනාට්‍ය චරිතවලට ප්‍රේක්ෂකයන් කැමැති වුණා. ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ චරිතයට තවමත් බොහෝදෙනා කැමැතියි. ‘කෝලම් කුට්ටම’ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙනවා. සමහර ප්‍රේක්ෂකයෝ රූපවාහිනී චැනල් වෙන් කරගෙන ඉන්නවා. චැනල් බෙල්ට් නිසා ඒ චරිත ප්‍රේක්ෂකයා අතරට යනවා අඩුයි. චැනල් අතර තරඟයක්නේ තියෙන්නේ. රේටින්ස් වැඩිකරගත්තා කියලා වැඩක් නැහැ. ‘චණ්ඩි කුමාරිහාමි’ වගේ ටෙලිනාට්‍යයක් කියන්නේ මේ වගේ කාලයක දැවැන්ත වැඩක්.
මේවගේ කාලයක ලොකුවට බජට් කරලා නිර්මාණ කරන්න ගොඩක් අය පෙලඹෙන්නේ නැහැ නේද...? බොහෝ අය අඩු වියදමින් බාල විදිහට නිර්මාණ කරන බවක් පේනවා...?
ඔව්, බාල නිර්මාණ බිහිවීම නම් කනගාටුවක්. සමහර චැනල්වලින් අඩු තක්සේරුවට නිර්මාණ කරන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. ප්‍රසිද්ධ නළුනිළියන් දෙතුන්දෙනෙක් අරගෙන රියලිටි ෂෝවලින් ආව නංගිලා මල්ලිලා අනෙක් සියල්ලටම දාගෙන කරනවා. ඒකෙන් වෙන්නේ අර ප්‍රවීණ දෙතුන්දෙනාගේ කැපවීමත් විනාශවෙලා යන එකයි. මේ යන රටාව නිසා ප්‍රවීණ ශිල්පීන් අද ගෙදර. මටත් පසුගිය කාලයේ වැඩ නැතිව අවුරුද්දක් එකහමාරක් විතර ගෙදර හිටියේ. අදටත් රංගන අවස්ථා නැතිව ප්‍රවීණයෝ බොහෝපිරිසක් ඉන්නේ ගෙදර. ඒ වගේ කාලයක ‘චණ්ඩි කුමාරිහාමි’ වගේ නිර්මාණයකට මූල්‍ය දායකත්වය දීලා නිෂ්පාදනයෙන් දායකවීම අගය කළ යුතුයි. ඒක භාග්‍යයක්. ‘චණ්ඩි කුමාරිහාමි’ නිෂ්පාදනය කරන්නේ ඇඹිලිපිටියේ ව්‍යාපාරික මහත්තයෙක්. එක කොටසකට ලොකු පිරිවැයක් එහි යොදනවා. පසුගිය කාලයේ විකාශය වූ චරිත් අබේසිංහම අධ්‍යක්ෂණය කළ ‘මිණිගංදෑල’ත් ඒවගේ හොඳ පිරිවැයක් දරලා නිර්මාණය කරපු හොඳ නිර්මාණයක්. අද වෙද්දී ලොකු පිරිවැයක් දරලා නිර්මාණ කරන්න නිෂ්පාදකවරු කැමැති නැහැ. ඒ නිර්මාණ චැනල් වලින් භාරගනීද කියා විශ්වාසයක් නැහැ..
ඔබ අලුත් නිර්මාණයක නිෂ්පාදන සම්බන්ධීකාරකවරයකු ලෙස එකතුවෙනවා නේද..?
ඔව්, ලබන 18 වැනිදා මගේ විදෙස්ගත යාළුවෙක් එක්ක නිර්මාණයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔහු කීර්ති සුදන්ත. කැනඩාවේ ඉන්න මගේ මිත්‍රයෙක්. ‘ආදරණීය මිනිසෙක්’ කියලා ටෙලිනාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නේ. මුලින්ම මෙහි කොටස් 15ක් රූගතකිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂණය කරන්නේ සිවගුරුනාදන්. සුනන්ද සිල්වාගේ හොඳ තිර රචනයක්. මම එහි නිෂ්පාදන සම්බන්ධීකාරක විදිහට සම්බන්ධ වෙනවා. බිමල් ජයකොඩි, සරත් කොතලාවල, ගයනා සුදර්ශනී, දිමුතු චින්තක වගේ පිරිසක් රංගනයෙන් දායකවෙනවා.
සිනමාව තුළ ඔබ එතරම් දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි....?
මීට මාස හත අටකට කලින් ‘අංගර’ කියලා චිත්‍රපටයක් කළා. අරුණ අබේරත්න කියලා අධ්‍යක්ෂවරයෙක් ඒක අධ්‍යක්ෂණය කළේ. පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශවල රූගතකිරීම් කළේ. පොඩි විජේගේ කතාව මූලික කරගෙනයි ‘අංගර’ නිර්මාණය වුණේ. පොඩි විජේගේ තාත්තාගේ චරිතය මට කරන්න තිබ්බේ. උදයකාන්ත වර්ණසූරියගේ ‘මධුර චාරිකා’ චිත්‍රපටයටත් ජැක්සන් ඇන්තනීගේ චිත්‍රපටයකටත් දායක වුණා.. අලුත් නිර්මාණවලට අපිට ආරාධනා ලැබෙනවා අඩුයි. අපි චරිත ඉල්ලාගෙන යන්නේ නැහැ.. චිත්‍රපටවලට ආරාධනා ආවොත් භාරගන්නවා.
රංගනයට එන ආධුනිකයන් ගැන ඔබේ අදහස....?
සමහර අය දක්ෂයි. දසුන් පතිරණ වගේ මහේන්ද්‍ර පෙරේරාගේ පන්තිවලින් බිහිවෙලා ඒ අය එළියට එනවා..ඔවුන් දක්ෂයි. ඔවුන් දෙයක් ඉගෙන ගන්න කැමැතියි. අපිත් ඒ කාලයේ ජෝ අබේවික්‍රම, දයා අල්විස් වගේ අය රඟපාන දිහා බලාගෙන හිටියා. අද බොහෝ අය කරන්නේ අදාළ සීන් එක කළා ඊටපස්සේ ෆෝන් එක අරන් විකාර කරනවා. ආධුනිකයන්ගේ කැපවීම අඩුයි. මේ දේවල් නිසා ක්ෂේත්‍රය වෙනුවෙන්වත් අනාගතය වෙනුවෙන්වත් කිසිම දෙයක් වෙන්නේ නෑ. අවුරුදු කුමාරි වුණොත් එයා නිළියක් වෙනවා. ටවර් එකේ, එල්ෆින්ස්ටන් එකේ කට්ට කාලා තරුණ සේවාවට ගිහින් දුක්විඳලා අපි දෙයක් ඉගෙනගත්තේ. දැන් රූපවාහිනි චැනල්වලින් කියනවා අහවලා ගන්න, අහවලා ගන්න කියලා. ඉතින් ගන්නවා. ඒ අය ඩයලොග්ස් ටික කටපාඩමෙන් කියාගෙන යනවා. රංගන ශිල්පියෙක් වුණාම කොච්චරනම් පරාසයක වැඩ කරන්න ඕනද..අද බොහෝ අයට මිදුල අතුගාන්න දන්නේ නැහැ, උදැල්ලක් අල්ලගන්න තේරෙන්නේ නැහැ. ඒ අයට කොහොමද රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් කියන්නේ කියල මට නම් තේරෙන්නේ නෑ. සම්මාන දීමේදීත් හිතවත්කම් මූලික කරගෙන සම්මාන දෙන අවස්ථා වැඩියි.
මෙරට රංගනයට තිබෙන වෘත්තිය මට්ටම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවනිද ...?
වෘත්තිය මට්ටමක් අපේ රටේ නැහැ.දියුණු රටවල විලියම් ෂේක්ෂ්පියර්ගේ නාට්‍ය අවුරුදු ගණන් දුවනවා. එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල රංගන ශිල්පීන්ට රාජ්‍ය මට්ටමිනුත් අනුග්‍රහය ලැබෙනවා. උදව් තියෙනවා. වෘත්තිය මට්ටමට කලාව ගේන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. සිනමාශාලා, වේදිකා රංගශාලා ප්‍රබෝධවත්ව නැති මේ වගේ රටකට බංකොලොත් කලාව මොකටද කියලා හිතෙනවා.70 දශකයේ සිනමාවේ, කලාවේ පිබිදීම එක්ක අපි අද ඉන්නේ කොතනද..?
මෙරට රංගන වැඩමුළු ගැනත් ඔබ කලකිරීමෙන්ද ඉන්නේ....?
රංගන වැඩමුළු කියලා ඔහේ තියන්නන් වාලේ තියනවා. ටෙලිනාට්‍යයක හිටපු ගමන් රංගන පාසලක් දාගන්නවා. ඒවගේ උගන්නනවා කියලා බොරු කියලා දීලා මේක සල්ලි ගරන ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ
90 දශකයේ ටෙලිනාට්‍ය කලාවත් එක්ක අද ටෙලිනාට්‍ය කලාව බලද්දී මොකද හිතෙන්නේ..?
අද ඒ වගේ හොඳ ටෙලිනාට්‍ය එකක් දෙකක් හැදෙනවා. මෙගා රැල්ලයි විදෙස් හඬකැවීම් ගෙන්වා ගැනීමයි එක්ක මේක විනාශ වුණා. අපේ රටේ ඕනතරම් වස්තුබීජ තියෙනවා හොඳ නිර්මාණ කරන්න. ඒත් ඒවායින් ප්‍රයෝජන ගන්නේ නැහැ. ‘මල්ගුඩි දවස’ වගේ හොඳ නිර්මාණ ලෝකයේ තිබෙනවා. ඒත් සෝප් ඔපෙරා වගේ වැඩක් නැති ඒවා දාලා ටෙලිනාට්‍ය කලාව විනාශ වුණා. බඩවැල්වගේ ඔහේ ටෙලිනාට්‍ය ඇදගෙන යනවා. ඇයි මේවා මෙහෙම ඇදගෙන යන්නේ කියලා හිතාගන්න බැහැ. ඒ කාලයේ ටෙලිනාට්‍ය මෙහෙම තිබ්බෙත් නෑ. කොටස් 15ක්, 20ක්, 30ක් වගේ උපරිම තිබුණේ. සතියේ දින 07ට ටෙලිනාට්‍ය 07ක් විකාශය වුණා. දැන් ටෙලිනාට්‍යවල කොටස් 1000ක් යද්දී ඒ කාලයෙන් හොඳ නිර්මාණ 10ක් පෙන්වන්න තියෙන අවස්ථාව නැතිවෙනවා.
වත්මන් ආර්ථිකයත් එක්ක වේදිකාවට, සිනමාශාලාවලට එන ප්‍රේක්ෂක ප්‍රමාණය අඩුවී තිබෙනවා නේද.....?
මෙහෙමයි. අද වෙද්දී සීනි, පරිප්පුවල ඉඳන් මිල වැඩිවෙලා. ශිල්පීන්ගේ මිල වැඩිවී නැහැ. ලක්ෂ දෙකකට නාට්‍යයක් දුන්නොත් සංවිධායකයන් දහදුක් විඳීනවා. එදා නාට්‍ය කණ්ඩායම රුපියල් 25000ක් නම් අද ‘හුණුවටයේ කතාව’ පෙන්නන්න බදුල්ලට, බණ්ඩාරවෙලට යන්න බස් එකට විතරක් රුපියල් 135000ක් වෙලා..එහෙම තත්ත්වයක් තියෙන්නේ. අඩුම තරමින් රාජ්‍ය මට්ටමින්වත් සහනයක් නැහැනේ. දශක ගණනක් තිස්සේ කිසිම සහනයක් නැහැ. කලාකරුවෝ සමහරු ඡන්දවලට වැඩකළත් කලාවට කරපු කෙහෙල්මලක් නෑ. හොඳ නාට්‍යයකට පිරිස තවම ඉන්නවා. ඒ පිරිස කොහොමත් එනවා. ගෙදර කට්ටිය එක්කම නාට්‍යයක් බලන්න ආර්ථික තත්ත්වයක් නැතත් දරුවෝ ගෙදර තියලා හරි ගෙදරින් එක්කෙනෙක් හරි නාට්‍ය බලන්න එනවා. ඒවගේ හරිම දුෂ්කර කාලයක් මේක.
මේ අර්බුදයට ඔබේ යෝජනා මොනවද....?
අඩුම තරමින් රංග ශාලාවල මිල ප්‍රමාණයවත් අඩුකරලා හරි නාට්‍ය බස් එකකට සහනයක් හෝ දුන්නානම් සංවිධානයන්ට ඒ සහනය හරි ලැබෙනවා. රජයේ තෙල් සහනයක් හරි දෙන්න පුළුවන් නම් ප්‍රවාහන වියදම් වෙනුවෙන්. රංගශාලාවල මිල ලක්ෂයයි, ලක්ෂ එකහමාරයි. රජය මැදිහත්වෙලා ඒ ගණන අඩුකළා නම් හොඳයි. මේ වෙද්දී ටවර්හෝල් එකට බස් දෙකක් අරන් තියෙනවා ඒක සහන මිලකට දෙන්න හිතාගෙන. රංග ශාලාවේ මිලයි, බස්වල මිලයි අඩු ක්‍රමවේදයක් හැදුවා නම් ප්‍රේක්ෂකයාට ටිකට්පතක් වුණත් අඩු මිලකට දෙන්න පුළුවන්
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අතගහන්න අදහසක් නැද්ද...?
නැහැ. ඒකට අදහසක් නැහැ. කැනඩාවේ ඉන්න කීර්ති සුදත්ත කියන යාළුවාගේ වැඩේ නිෂ්පාදන සම්බන්ධීකාරක විදිහට කටයුතු කළත් අධ්‍යක්ෂණයට නම්.අදහසක් නැහැ.
අද වනවිට හොඳ තිර රචනාවල අඩුවක් තිබෙනවා නේද...?
තිර පිටපත් හොඳ ඒවාත් තියෙනවා. සමහර ඒවා හරිම බොළඳයි. හොලිවුඩ්, බොලිවුඩ් කතා කොපි කරලා ඒ වගේ තියෙන දේවල්වලින් තිර රචනා ලියනවා. හේතුව මේ රටේ කලාවේ සිස්ටම් එක හැදුණු විදිහට යන්නවෙලා තියෙන්නේ. සමහර ඒවාට ලොකු බජට් එකකට යන්න වෙනවා. ඒ මුදලට නිෂ්පාදනය කරලා විකුණාගන්නේ කොහොමද කියන් ප්‍රශ්නයත් එනවා. අද කවුරුත් රට යන්නමයි බලන්නේ. මේක හැමදාම සංවර්ධනය වෙමින් තියෙන රටක්නේ. අපි කුඩා කාලයේ ඉඳන් අද වෙනකන් සංවර්ධනය වෙමින් පවතිනවා විතරයි. මේ අර්බුදය කලින්ම දැක්ක නිසා තමයි සොමී රත්නායක, ලින්ටන් සේමගේ වැනි විශිෂ්ටයෝ මේ රටින් පිටවෙලා ගියේ.
ඔබේ ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්...?
මගේ විදෙස්ගත මිතුරාගේ ‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යය වෙනුවෙන් මහන්සිවෙනවා. ලබන 18 වැඩේ පටන්ගන්න ඉන්නේ. වේදිකාවේ ‘සුද්දෙක් ඔබ අමතයි’ , ‘හුණුවටයේ කතාව’, එක්ක රට වටේ යනවා. ටෙලිනාට්‍යවලින් ‘කෝලම් කුට්ටම’, ‘චණ්ඩි කුමාරිහාමි’, ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යවල රූගතකිරීම් දිගටම කරගෙන යනවා...
පවුලේ විස්තර කිව්වොත්....?
බිරිඳ දිල්හානි උඩවෙල, ඇය විදුලි සංදේශ නියාමන් කොමිසමේ සේවය කරනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. ලොකු පුතා බිනර චිරාත් උඩවෙල, උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙවැනියා කලිඳු පුල්සර උඩවෙල, එයා මේ අවුරුද්දේ උසස්පෙළ කරනවා. දෙන්නම ඩී.එස්. සේනානායක විදුහලේ ඉගෙනගත්තේ.