ජෝතිපාලයන්ට මට ඇති එකම නෑකම රසිකයකුවීම පමණයි

ගායනවේදී සුනෙත් උදයරත්න
අගෝස්තු 3, 2023

 

ඔහු ක්ෂේත්‍රය පුරා ප්‍රචලිතව ඇත්තේ මෙරට ජනප්‍රියතම ගායන ශිල්පියකු වන එච්. ආර් ජෝතිපාලයන්ගේ ගීත එහි රසය නොමරා , ඒ අයුරින්ම ගායනා කරන ගායකයකු වශයෙනි. කෙනකු ඔහුගේ ස්වරූපය දෙස බැලුවහොත් තරමක් දුරට ඔහුගේ රූප ස්වභාවයද ජෝතිපාලයන්ට සමානය. ඔහු සුනෙත් උදයරත්නය. ජෝතිපාලයන්ගේ ගීත ඒ අයුරින්ම ගායනා කළද, ඔහුගේ බාහිර පෙනුම තරමක් ඔහුට සමාන වුවද ජෝතිපාලයන්ට ඔහුගේ කිසිදු නෑ සබඳතාවයක් නොමැත . ඔහුට ඇති එකම නෑකම ඔහු ජෝතිපාලයන්ගේ රසිකයෙකු වීම පමණකි. කෙසේ වෙතත් මේ දිනවල ඔහු පිළිබඳ බොහෝ තැන්හි වන කතාබහ නිසාම මෙවර අපගේ පිළිසඳර වෙන්වූයේ ඔහු වෙනුවෙනි.

ඉතින් මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

පසුගිය කාලයේ ජෝති මහත්තයාගේ 36 වැනි අනුස්මරණ උත්සවය පැවතුණා. ඒවට සහභාගි වුණා. සින්දු කිව්වා. ඒ වගේම මීට දවස් කීපයකට උඩදි මගේ අලුත්ම ගීතයක් යූ ටියුබයට මුදා හැරියා. රූප රචනයකුත් එක්කම. ගීතය කළේ චමිදු එස්. බණ්ඩාර. ඒ වගේ කරපු අලුත් ගීත ගොඩක් මගේ තිබෙනවා. ඒ වගේම මේ දවස්වල සන්දර්ශනවලටත් සහභාගි වෙනවා. එය විදියට තමයි ජීවිතේ ගෙවෙන්නේ.

 

ඔබට ඔබේම ගීත තිබුණට ඔබෙන් වැඩිපුර ඉල්ලන්නේ ජෝතිපාලයන්ගේ ගීත නේද?

ඔව්. කොහෙට ගියත් මගෙන් ඉල්ලන්නේ ජෝතිපාලයන්ගේ ගීත තමයි. ඇත්තටම කිව්වොත් මමත් වැඩිපුරම ආස එතුමන්ගේ ගීත ගායනා කරන්න තමයි. ඇත්තම රසික ජනතාව කැමැතියි ජෝතිපාල මහත්මයාගේ ගීත මම ගායනා කරනවට. තවත් අය ඉන්නවා ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරන. ඒ අය වෙනම කණ්ඩායමක් හදාගෙන මට ලොකු මඩ ව්‍යාපාරයක් අරගෙන යනවා. ජෝති මහත්මයාගේ ගීත ගායනා කරන එක මට නවත්වන්න කියලා. ඒ අයත් ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරනවා. මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඔවුන් කැමැති නෑ මම මේ ගීත ගායනා කරනවට. මාව කොහොමහරි නවත්වන්න ඔවුන් ලොකු උත්සාහයක් දරනවා. ඔවුන් ගේ ෆේස් බුක් හරහා ඊට ඔවුන් ඔවුන්ගේ කේන්තිය පිට කරන ආකාරය පෙනෙනවා.

නමුත් මම හිතන විදියට ජෝතිපාල මහත්මයාගේ ගීතවල හැබැම අයිතිය තියෙන්නේ ජනතාවට. ඇත්තටම එතුමාගේ ගීත ලියපු, සංගීතවත් කරපු අද ජිවතුන් අතර ඉන්න අය සේම, ජීවතුන් අතර නැති අයගේ දරුවන් පවා මට හරියට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඔවුන් මට කතා කරලා කියනවා ‘මල්ලී, ඔයා මේ ගිත ගායනා කරන්න. කියලා. මේ ළඟදි ඇලෝයි ගුණවර්ධන මහත්මයාගේ පුතා මට කතා කරලා එහෙම කිව්වා. ඇලෝයි ගුණවර්ධන කියන්නේ ජෝතිපාල මහත්මයාට ගොඩාක් ජනප්‍රිය ගීත ලිව්ව කෙනෙක්. ‘මා ලැබු ජීවිතයේ, මුලදි බැන්ද ආදරයක, පණ වාගේ හිටියාට, වැනි ගීත ලියුවේ ඔහු. ඔහුගේ පුතාට තමයි දැන් මේ ගීතවල අයිතිය තිබෙන්නේ. එතුමා කිව්වා ‘අනේ මල්ලි, අපට කිසිම දෙයක් එපා. අපට ඕන තාත්තාගේ ගීත ගායනා කරලා තාත්තාගේ නම සටහන් වෙන්න විතරයි කියලා. ජෝතිපාල මහත්මයාගේ බහුතරයක් ගීත හින්දි මෙලඩිවලට ලියපුවා. නීතිමය පැත්ත ගැන ලංකාවේ කතා කළොත් අපට අයිතිවාසිකම ගැන කතා කරන්න බෑ. ඇත්තටම අපේ ගොඩක් ගීත අහත්දි වෙන රටවල්වල මෙලඩිවලට තමයි ගොඩක් සින්දු හදලා තියෙන්නේ. ඉතින් අපි කොපි රයිට් ගැන කතා කළොත්, ඉන්දියාවත් එක්ක ගත්තම අපට අයිති බොහොම පොඩ්ඩයි. මම හිතන්නේ අපි එහෙම කරන්න නරකයි. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒක හැමෝටම අයිතියි. මට නම් මගේ ගීත ඕන කෙනක් ගායනා කළාට කමක් නෑ. එහෙම ගයනවා නම් තමයි අපි සතුටු වෙන්න ඕනෑ. කවදහරි දවසක කවුරු හරි ගායනා කරනවා නම් අපි සතුටු වෙන්න ඕනෑ. එතනදි මුල් ගායකයාට තමයි ගෞරවය යන්නේ.

මැතකදි ස්වර්ණවාහිනි රූපවාහිනියේ වැඩසටහනකදි මට මෙල්රෝයි ධර්මරත්න මහතා මුණ ගැසුණා. ඔහු වැඩසටහනෙන් පස්සේ මාත් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටියා. එතුමා තමයි, ජෝතිපාල මහත්මයාගේ දුරකතනයකින්, ඔබ නිදන්න, මලින් පිරිගිය විසල් වනේ, ආයුබෝවන් ආයුබෝවන් වැනි ගීත නිර්මාණය කළේ. එතුමා කියනවා. ‘සුනෙත් ඔයා ගීත ගායනා කරන්න කරන්න මුල් ගායකයා තමයි මතු වෙන්නේ කියලා. ඒකට සැබෑ ජෝති රසිකයෝ නම් ආදරේ වෙන්න ඕනෑ. හැබැයි ඔයාට මේ වළකපන්න හදන්නෙ ඇත්ත ජෝති රසිකයෝ නොවෙයි කියලා. ඒ අයට උඩට මතු වෙන්න බැරි නිසා ඔයාට වළ කපන්න හදනවා කියලයි ඔහු කිව්වේ.

කෙනෙක්ගේ හදවතේ තිබෙන ආදරය, ගෞරවය ලබා ගන්න අපට බලහත්කාරයෙන් බෑනේ. ඒක කෙනෙක් තුළින් නිරායාසයෙන් ගලාගෙන ආ යුතු දෙයක්. සංගීතය කියන විෂය පැත්තකට දැම්මත් අපට ගරු සරුවක් ලබන්න නම් අපිත් ඒ විදියට ඉන්න ඕනනේ. ඒක මනුස්සකම අඩ නිර්මාණය වෙන දෙයක්.ඉතින් මට හිතෙනවා සමහර උදවිය ඒක බලහත්කාරයෙන් ලබා ගන්න උත්සාහ කරනවාදෝ කියා.

මම ජෝතිපාලයන් ගේ ගීත ගායනා කළත්, කාටහරි අහන් ඉන්න බැරි නම් අහන් නැතුව ඉන්න පුළුවන් නේ. ගෙදරට ඇවිත් කනට කරලා කියන්නෙ නෑනේ. කැමැති අයට අහන්න පුළුවන්. අකැමැති අයට අහන්නේ නැතුව ඉන්න පුළුවන්. මට හිතෙන්නේ අපේ ලංකාව දියුණු වෙන්නේ නැති පළවෙනි හේතුව තමයි ඔය. අනිත් මනුෂ්‍යයා කෙරෙහි පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකකම හින්ද තමයි අපට ශී‍්‍ර ලාංකිකයෝ වශයෙන් අපට උඩට යන්න බැරි වෙලා තියෙන්නේ.

 

සුනෙත් ගීත ගායනා කරන්න පටන් ගත්තේ කොයි කාලෙද?

මම ගීත ගායනා කරන්න පටන් ගත්තේ 2016 අවුරුද්දේ වගේ දකුණු කොරියාවේ ඉන්නකොට. මම ලංකාවෙන් යන්නේ 2005 දි වගේ. ආපසු ලංකාවට ආවේ 2020 දි. ඉස්සර මෙහෙ ඉන්න කාලෙදිත් ගීත ගායනා කළා. ඒ වුණාට මගේ අයියා තමයි වැඩිපුර ඒ පැත්තට යොමු වෙලා හිටියේ. ඔහුට සංගීත කණ්ඩායමක් පවා තිබුණා.

 

සුනෙත් ගේ ගම් පළාත කොහෙද?

අපි කොළඹ උපන්න අය. නමුත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි කඩවත පදිංචියට ආවා. මම ඉගෙන ගත්තේ කිරිල්ලවල මහා විද්‍යාලයෙන්.

 

ඉස්කෝලෙ යන කාලෙත් මේ වගේ සින්දු කිව්වද?

අපෝ ඔව්. පන්තියේ ඩෙස්ක්වලට ගහගහ අනන්තවත් සින්දු කියලා ඇති. ඒ වගේම තමයි ඉස්කෝලෙ සමිති සමාගම්වලටත් හැමදාම මම සින්දු කිව්වා.

 

ඒ කාලෙත් ජෝතිපාල මහත්මයාගේ ගීතද ගායනා කළේ?

ඔව්. මම එතුමාගේ ගීතවලට පුදුම තරම් ආදරේ කරනවා. එතුමාගේ ගීතවලට විතරක් නොවෙයි මම එතුමාගේ මුළු චරිතයටම හරි කැමැතියි. එතුමාගේ පෙනුමට මම හරි ආදරෙයි. ඔහු තුළ තිබුණේ හරි ප්‍රතාපවත් පෙනුමක් උස මහත ශරීරය. පිරුණු මුහුණ. ඔහු තුළ තිබුණු ගැඹුරු හඬ. මේ ඔක්කොමට මම හරි ආසයි.

 

ඔබේ වයසත් එක්ක බලනකොට ඔබට ජෝතිපාල මහත්මයා හැබැහින් දැක ගන්න ලැබිලා නෑ නේද?

නෑ. මම පොඩිකාලෙවත් දැක්ක කියලා මතකයක් නෑ. මොකද එතුමා නැතිවෙනකොට මට අවුරුදු 10ක් වගේ ඇති.

 

එතුමාගේ සින්දු නිතර අහන්න පෙලඹුණේ කොහොමද?

අපේ ගෙදර පරිසරයෙන්ම තමයි. රුපවාහිනියේ, ගුවන්විදුලියේ මේ හඬ ඇහෙනකොට මම හොඳට අහගෙන ඉන්නවා. ටීවි එකේ එතුමාගේ සින්දුවක් යනකොට මම දුවගෙන ටීවි එක ළඟට යනවා. පොඩිකාලේ මම එතුමාගේ උස මහත පෙනුමට හරි ආසයි. ඔහු ටීවි එකේ සින්දු කියනවා මම ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. එතුමා ගීත ගායනය කරන රේන්ජ් එකට මම හරි කැමතියි. මමත් නිතර උත්සාහ කරනවා ඒ රේන්ජ් එකෙන් ගීත ගායනා කරන්න. මට මතකයි ඉස්සර අපේ ගෙදර නැවතිලා හිටියා අපේ අම්මගේ නංගිගේ දුව. අපි එයාට කිව්වේ කුමාරි අක්කා කියලා. ජෝතිපාල මහත්මයාගේ ‘සිරියාමේ සාරා’ ගීතයේ තියෙනවානේ ‘ආවෙමි දැන් පෙම් කුමාරි සොයාලා’ කියලා . අන්න ඒ කෑල්ල ඉස්සර මම හැම තිස්සෙම ගෙදරදි කුමාරි අක්කට කියනවා.

 

පාසල් අධ්‍යාපනය නිමා වුණාට පස්සේ ඔබ මොනවද කළේ?

ඊට පස්සේ මම ජර්මන් ටෙක් එකට සම්බන්ධ වෙලා වාහන වායුසමීකරණ පාඨමාලාවක් කළා. 1994 දි තමයි මම ඒ කෝස් එක කරන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉතින් මට සින්දු කියන්න අවස්ථාවක් තිබුණේ නෑ. අයියලා තමයි බැහැලම සංගීත වැඩ කළේ. අයියලා මම එනවටවත් කැමැති වුණේ නෑ. ගෙදරදී මට සංගීතය කරන්න එච්චර අවස්ථාවක් ලැබුණේ නෑ. අයියා තමයි හොඳටම කළේ. මට තියෙන්නේ එහෙම හැදෑරීමකින් ආපු සංගීත හැකියාවක් නොවෙයි. මේක උත්පත්ති හැකියාවක්.

නමුත් අපේ තාත්තා හොඳට සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර ගෙදරදි තාත්තාගේ වැඩේම ආලාප් ගායනා කරන එක. ඒ කාලේ ඒක මට හරි විහිළුවක් වුණා. දැන් හිතෙනවා මම අතහැර ගත්තේ කොච්චර හොඳ දෙයක්ද? කියලා. නමුත් පස්සෙ කාලෙක තාත්තගෙන් ටික ටික ඉගෙනත් ගත්තා. නමුත් ඒක විධිමත් විදියට මට කරන්න බැරිවුණා.

අපේ තාත්තා හේවුඩ් එකේ සංගීත උපාධිධරයෙක්. ඔහු ගායනය සහ තබ්ලා වාදනය තමයි කළේ. ඔහු තිස්ස උදයරත්න. වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, ඔස්ටින් මුණසිංහ වැන්නෝ සමඟ හිටිය කෙනෙක්. අපේ තාත්තට පළවැනි සංගීත පත්වීම ඇවිත් තියෙන්නේ අනුරාධපුරයට. නමුත් ඒ වෙනකොටත් තාත්තා කොමියුනිස්ට් පක්ෂයට වැඩ කරන ක්‍රියාකාරි සාමාජිකයෙක්. පක්ෂේ වැඩ නිසා තාත්තා පත්වීම බාර අරන් නෑ. ඒ නිසා එතැනින් තාත්තාගේ සංගීත දිවිය නැවතිලා තියෙනවා. හැබැයි තාත්තා ගුණදාස කපුගේ මහත්මයාත් එක්ක මොස්කව්, බල්ගේරියා වැනි රටවල්වලට ගිහින් තියෙනවා පක්ෂෙ වැඩ සඳහා. ඒ කාලේ තාත්තා ලියපු ගීතවලට කපුගේ මාමා මෙලඩි දාලත් තියෙනවා. නමුත් ඒ එකක්වත් මතුකළේ නෑ. වෘත්තියක් විදියට තාත්තාගේ ජීවිතෙන් සංගීතය අතහැරුණට එයා ගෙදරදි ප්‍රැක්ටිස් කළා මට මතකයි.

 

ඔබ ගායකයෙක් විදියට මතු වෙන්නෙ කොහොමද?

ඒක අහම්බයකින් සිද්ධ වෙච්ච දෙයක්. මම කොරියාවේ වැඩ කළේ නැව් සමාගමක. අවුරුදු 16ක් විතර වගේ මම එහෙ හිටියා. එහෙදි මම ගීත ගායනා කරනවා දැකපු මල්ලි කෙනෙක් මට කීවා ගීත ගායනා කරලා ෆේස් බුක් එන්න අප් ලෝඩ් කරන්න කියලා. ඉතින් මම ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරලා ෆේස් බුක් එකට දැම්මා . ඒවාට බොහෝ ප්‍රතිචාර ලැබුණා. මුලින්ම මම දැම්මේ ‘සල් සපු නා’ ගීතයද කොහෙද. වෙන ගායකයෙකුගේ ගීතයක් දෙකක් කළාට ඒ තරම් ප්‍රතිචාර ලැබුණේ නෑ. ඒ අනුව තමයි දිගටම ජෝතිපාලයන් ගේ ගීත ගායනා කරන්න පටන් ගත්තේ. කොහොම හරි මම රට ඉඳලා මෙහෙට එනකොට යම්තාක් දුරට ජනප්‍රිය ගායකයෙක් සෝෂල් මීඩියා තුළ. එහෙම තමයි මම මේ ගමන ආවේ. දවසක් මගේ හඩ ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක මහත්මයා ඇහුවා. ඔහුගේ මැදිහත් වීමෙන් ඊට පස්සේ මට ඔහුටම පසුබිම් ගායනයක් කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ හිරු ටිවී එකෙන් විකාශය වූ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ.

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි මට හරිම කතාව පැහැදිලි කරලා දුන්නේ. මිනිස්සු ඇයි සුනෙත් ගේ හඬට මෙහෙම කැමැති කියලා. මින්ස්සු ජෝතිපාලයන්ගේ හඬට මෙච්චර ආදරේ කළේ ඇයි කියලා.

ඔහු හඬවල් පිළිබඳ විශේෂ පරික්ෂණ පවත්වනවා. නිතරම ඇනලයිස් කරනවා. ඔහු හොයලා බලල තියෙනවා ජෝතිපාලයන්ගේ හඬට ඇයි මේ තරම් මිනිස්සු වශි වෙලා තියෙන්නේ කියලා. ඒ තමයි ඔහුගේ හඬේ ඇති සුවිශේෂීත්වය. ඔහු කියන්නේ එතුමාට තියෙන්නේ ‘අනුනාදනීය‘ හඬක් කියලයි. එක පාරක් ඇහුවම මනසින් නැවත නැවතත් ඇසෙනවා. ඒක දුර්ලබ ගණයේ හඬක්. මට පිහිටලා තියෙන්නෙත් ඒ ගණයේ හඬක්. ඒ වර්ණයේ හඬක්. හැබැයි ඒකම නොවෙයි. ඔහු කියන්නේ එහෙම තාත්තෙකුට පුතෙකුටවත් ඒ හඬම පිහිටන්නේ නෑ කියලයි. අපිට මැනලා බලන්න ක්‍රමයක් නැති වුණාට මැනලා බැලුවොත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා. ජෝතිපාල මහත්මයා දැන් ජිවතුන් අතර නැති නිසා මගේ හඬින් එතුමාගේ හඩට පුරුදු ළඟින් යන හඩක් ඇහෙනකොට ඒකට තමයි මිනිස්සු ආදරේ කරන්න ඇත්තේ කියලා ඔහු කියනවා. නැතිනම් මට කවදාවත් ජෝතිපාල මහත්මයා ජීවමාන කරන්න බෑ. එතුමා කියන්නේ සුවිශේෂි පුද්ගලයෙක්. කිසි කෙනෙකුට ළංවෙන්න බැරි.

 

ඔබට ඉස්සරලාම පසුබිම් ගීතයක් කියන්න ලැබුණේ සනත් ගුණතිලකටද?

ඔව්. ඒක මගේ ජිවිතේ ලබපු එක්තරා භාග්‍යයක්. එතුමාගේ ඉල්ලිම නිසාමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඒ දවස්වල ජෝතිපාල මහත්තයාත් ඔය වගේම අලුතින් එන අයට අත දුන්නා කියලා සනත්ගුණතිලක මහත්මයා මට කිව්වා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවද?

දිගටම ගායන වෘත්තියේ රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මටත් පුහුණුවක් ඇතිව චිත්‍රපට පසුබිම් ගායනයට එන්න තියෙනවා නම් අනිවාර්යයෙන් මට ඒක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා. මම අභියෝග බාර ගන්න හරි කැමැතියි. මෙච්චර කල් මම ඉස්සරහට ආවේ සෝෂල් මිඩියා හරහා ටෙලිෆෝනයෙන් ගීත පටිගත කරලානේ විධිමත් ආකාරයට ස්ටුඩියෝවක නිර්මාණ කරනවා නම් මටත් මීට වඩා හැකියාවක් පෙන්නුම් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.

කොහොම වුණත් මට මේ ගමන එන්න මගේ සෝෂල් මීඩියා මිතුරු මිතුරියන් තමයි ලොකු ශක්තියක් වුණේ. ඒ නිසා මේ මොහොතේ ඒ අයව ආදරෙන් මතක් කරන්න ඕන. අනිත් පැත්තෙන් මගේ පවුලේ අම්මා, තාත්තා වගේම දැන් මගේ ජීවිතේ හෙවණැල්ල වගේ ඉන්න මගේ ආදර බිරිය මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. ඇය මට කලා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙනියන්න නිවසේ වැඩවලින්, මගේ දරුවන්ගේ වගකීම්වලින් නිදහස් කරලා ඇය ඒ සියලු බර කරට අරගෙන තිබෙනවා. ඇයගේ උදව්වෙන් තමයි මේ ගමන දැන් මම යන්නේ. ඇය නිසා තමයි දැන් මගේ මනස සැහැල්ලුවෙන් තියෙන්නේ.

 

සේයාරූ - චින්තක කුමාරසිංහ

[email protected]