වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘ගුත්තිලයට’ තිබූ ආදරය නිසා අන්ධ පියාගේ චරිතය බාර ගත්තා

- අද වෙද්දි හොඳ ටෙලිනාට්‍යයක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්
- සනත් අබේසේකර ගුත්තිල කෘතියට කිසිම හානියක් කළේ නැහැ
- රඟපෑම කියන්නේ කැමරාවක් ඉදිරියේ දෙබස් කීම නෙවෙයි
- ටෙලිනාට්‍ය තිරයේ පතිත වන කාලසීමාව විනාඩි 24 දැන් විනාඩි 17, 16, 15 වෙලා
- මගේ කලා දිවියට වසර 50ක්
- මම ලේබල් බෞද්ධයෙක් නෙවෙයි
ඔබ මුලින්ම කලාවට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?
මගේ රඟපෑම ආරම්භ වෙන්නේ ඒ කාලයේ රේඩියෝ සිලෝන් (දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) එකේ ළමා පිටියෙන්. ඒ 1952 විතර. එතකොට මට අවුරුදු 10ක් විතර ඇති. ඒකේ සේරිවාණිජ ජාතකයේ කදා වළලු නාට්‍යයේ දෙව්දත්ගේ චරිතය කළා. ඒක නිර්මාණය කළේ රවිලාල් විමලධර්ම. ඔහු තමයි අපේ පන්තියේ සිංහල සර්. ඔහු කැලණිය ධර්මාලෝකයේ වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා උමංදාවෙන් පිටුවක් කියලා. ඒකේ මම රඟපෑවේ වේදේහ රජුගේ චරිතය. ඊටපස්සේ මහා වේදිකාවට එද්දී මගේ මුල්ම නාට්‍යය වුණේ වෙස්සන්තර. බ්.ච්.ඒ. පෙරේරාගේ නාට්‍යයක්. ජෝන්ද සිල්වා ශූරීන්ගේ පිටපතක්. මම සුළු චරිතයකට ගිහින් පසුව ජූජක බමුණාගේ චරිතය ලැබුණා ශීලා පීරිස් එක්ක රඟපාන්න. මම දැන් සේරිවාණිජ ජාතකය, උමංදාව, වෙස්සන්තර දැන් ගුත්තිලය. ඒකත් ජාතක කතාවක්නේ . බලන්න මගේ දෛවය අනුව ඒ නිර්මාණ ඇවිත් තිබෙන ආකාරය.
ගුත්තිලයේ අන්ධ පියාගේ චරිතයට ඔබ ජීවය දුන් ආකාරය පැහැදිලි කළොත්...?
ඕනෑම නළුවකුට, නිළියකට විවිධ චරිත රඟපෑමේ පිපාසයක් තිබෙනවා. අපි ආසයි හැමවිටම නොකරපු චරිතයක් කරන්න. ගුත්තිලයේ මගේ චරිතය ඉතාම වයසක වගේම අන්ධ චරිතයක් වීම විශේෂත්වයක්. මම ඇස් දෙක ඇරගෙන මෙහි රඟපෑවේ. එතනදී ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ඕන මගේ ඇස් අන්ධයි කියලා. එහෙම තමයි අර අභ්‍යන්තරික හැඟීම මේ ඉන්ද්‍රියන් තුළින් නිරූපණය කරන හැටි පෙන්වන්නේ. ඒක දුෂ්කරයි. අනික වයසක චරිතයක් කරද්දි කතා විලාසය, කතා කරන තානය, ඉරියව්, අංග චලනය, බැල්ම, හැඟීම්, භාවප්‍රකාශනය මේ සියල්ල වෙනස්. මම ගුත්තිලයේ එන අන්ධ පියාගේ චරිතයට මගේ ප්‍රාණය යොදලා තිබෙනවා. මම නිරූපණය කරන්නේ ඔබේ චරිතය නෙවෙයි. මෙයට පෙර සූදානමක් අවශ්‍යයි. අනෙක ඒ දෙබස් චිත්ත අභ්‍යන්තරයට දාගන්න ඕන. එහි දෙබස්වලට මම කැමැතියි....ඒවා හරිම අර්ථවත්.
මෙහි යශෝධාගේ චරිතය ගුත්තිල කාව්‍යයේ නැති චරිතයක්. එය අධ්‍යක්ෂගේ පරිකල්පනයක් නේද....?️
සනත් අබේසේකර මේ චිත්‍රපටය හොඳට කළා. ගුත්තිල කෘතියට කිසිම හානියක් කළේ නැහැ. හැබැයි යශෝධාගේ චරිතය ගුත්තිල කාව්‍යයේ නැති චරිතයක්. ඒ චරිතය පරිකල්පනයෙන් ගෙනත් තියෙන්නේ. පරිකල්පනයෙන් ගේන්න හේතුවක් තියෙනවා. අධ්‍යක්ෂවරයාගේ තර්කය නිවැරැදියි. සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් තිස්සේ යශෝධරාත් එයත් එක්ක ආවා නම් අධ්‍යක්ෂ ප්‍රශ්නයක් නඟනවා ගුත්තිලයේ නැතිවෙන්න හේතුවක් නැහැනේ කියලා. ඒක බොහෝදෙනෙක් නොහිතපු දෙයක්.චිත්‍රපටයක් සාර්ථක කරන්න කාන්තාවකගේ ස්වරූපයකුත් අවශ්‍යයි. ඒ නිසා අධ්‍යක්ෂ සනත් ඒ චරිතය මැව්වා. ඒක උචිතයි. ඔහුගේ පරිකල්පනය හරියටම හරි.
අධ්‍යක්ෂ සනත් අබේසේකර එක්ක ඔබ මීටපෙර වැඩකර තියෙනවද..?
නැහැ. මම ඔහු එක්ක වැඩ කරලා නැහැ. ඔහු මගෙන් කලාව ගැන ඉගෙනගත් මගේ ගෝළයෙක්. ඒ ගුරු ගෞරවය ඔහුගේ සිතේ හැමදාම තිබ්බා. ඒක ඔහු හැමවිටම මතක් කරනවා. ඔහු මීට කලින් නිර්මාණ කිහිපයකට මට කතා කළත් ඒවාට යන්න බැරිවුණා. අධ්‍යක්ෂණයට අමතරව මෙහි සංගීතය, වේශනිරූපණය, කලා අධ්‍යක්ෂණය හොඳීන්ම කර තිබෙනවා .
ගුත්තිල චිත්‍රපටය ඔබ භාරගන්න විශේෂ හේතුවක් තිබුණාද..?
ගුත්තිල කාව්‍යය, චිත්‍රපටයකට කරනවා කියලා ඒකට මාව ගන්නයි ආවේ කිව්වා. ඒ කතාවට තිබූ ගරුත්වය, කැමැත්ත තමා ඒ චරිතය භාරගන්න මූලිකම දේ වුණේ. මේක අධ්‍යාපනික වටිනාකමකුත් තිබෙන ආගමික කරුණුත් ඇතුළත් නිසා එය භාරගැනීම ගැන දෙවරක් හිතන්න දෙයක් නෑ. මෙහි රූගත කිරීම් කරද්දී නවාතැන් පහසුකම් , ආහාරපාන ආදිය පවා හොඳීන්ම තිබුණා. මගේ ප්‍රවීණත්වයට සලකලා මෙහි කණ්ඩායම මට හොඳීන් සැලකුවා...
ගුත්තිලයේ අනෙක් චරිතවලින් ඔබේ රංගනයට ලැබුණු සහය ගැන කීවොත්...?
මෙහි මම රඟපෑවේ අග්‍රගණ්‍ය නිළි අයිරාංගණී සේරසිංහ මහත්මිය සමඟ. ඇයත් සමඟ රඟපෑම හරිම පහසුයි. ඇය රංගනයේ මනා අත්දැකීම් ඇති තැනැත්තියක්. මෙහිදී එඩ්වඩ් ජයකොඩිට යම් අභියෝගයක් තිබ්බා. ඔහු ගායකයෙක් වුණාට නළුවෙක් නෙවෙයිනේ. ඒත් ඔහු ඔහුගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් චරිතය කර තිබුණා. මට හිතෙනවා ඔහුගේ තව දෙයක් ගන්න තිබුණා කියලා. ඒක කරන්න පුළුවන්, නළුවෙක් අධ්‍යක්ෂණය කළොත් තමයි. මම අධ්‍යක්ෂණය කළා නම් එඩ්වඩ්ගෙන් ඔයිට වඩා රංගනයක් ගන්නවා...අයිරාංගණී සේරසිංහ මහත්මියගෙන් වගේම අනෙක් ශිල්පීන්ගෙනුත් මට හොඳ සහයක් ලැබුණා .
ගුත්තිලයේ සංගීතය විශේෂයි නේද.?
ඔව්, ගුත්තිලයේ ජීවනාලිය තමයි සංගීතය. එහි සංගීතය සැපයුවේ දිනේෂ් සුබසිංහයි. ඔහු ඉතා ගවේෂණාත්මකව, පර්යේෂණ රැසක්ම කරලා වීණාවේ ඉතිහාසයේ සිට එය නිර්මාණය වූ හැටි දක්වා අධ්‍යයනය කරලා මුළු චිත්‍රපටය පුරාම සංගීතය යොදා තියෙනවා. වීණාවම තමයි කෘතිය පුරාම දිවෙන්නේ. දිනේෂ්ගේ අත්හදා බැලීම සියයට සියයක්ම සාර්ථකයි.
සිනමාවේ අද තත්ත්වය ඔබ දකින්නේ කෙසේද...?
අද සිනමාවේ ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, ජැක්සන් ඇන්තනී වගේ අයගේ සිනමා නිර්මාණ හැම අතින්ම උසස්. අද ඉතා දක්ෂ නළුනිළියන්, කැමරාකරුවන්, අධ්‍යක්ෂවරු ඉන්නවා. මීට වසර 50කට පෙර මම අධ්‍යක්ෂණය කරපු ‘මාතර ආච්චි’ වගේ චිත්‍රපටයක් අදත් රසවිඳීන්න පුළුවනි.
කිසිම නළුවෙකුට මට මේ ගණන දෙන්න කියා කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒගොල්ලෝ ඒක කොහොමත් දෙන්නේ නැහැ. ඉහළ මට්ටමේ ටෙලිනාට්‍යවලදී අපේ වටිනාකමට මුදල් ලැබිලා නැහැ. ඒත් ඒවගේ රඟපෑමෙන් අපිට වටිනාකමක් ලැබී තිබෙනවා මම ටෙලිනාට්‍ය කරන්නේ සම්මාන ගන්න නෙවෙයි....
90 දශකයේ ඔබ ටිකිරි නිලමේ, සත්මහල, දියවඩන මළුව, සව්සිරි උයන වැනි ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළා. එහෙත් පසුකාලයේ ඔබ අධ්‍යක්ෂණයෙන් නිහඬ වුණා...? අද ටෙලිනාට්‍යවල තත්ත්වය ගැන කීවොත්....?
අද වෙද්දි හොඳ ටෙලිනාට්‍යයක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. අද අලුත් අය ඉන්නවා ටෙලිනාට්‍ය කරන්න, වැඩේ වෙලා තියෙන්නේ රූපවාහිනි නාලිකාවල රාමුවට හිරවෙලා හොඳ නිර්මාණ කරන්න බැහැ. ඒ නාලිකා නියම කරනවා මේ මුදලින් ටෙලිනාට්‍යයක් කරන්න කියලා . නාලිකාවලට සම්බන්ධ නළු නිළියන් ගන්න කියනවා. එහෙම නිර්මාණ කරන්න බැහැ. මම ටෙලිනාට්‍ය 11ක් කළා. ඒ 11න් 08ක්ම තිර රචක කේ.බී. හේරත්. අද අවරගණයේ ඒවා වැඩියි. ඒවා නීරසයි. බලාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. සමහර නළු නිළියන්ව තෝරාගන්නේ ඇයි කියලත් හිතෙනවා. රඟපෑම කියන්නේ කැමරාවක් ඉදිරියේ දෙබස් කීමට නෙවෙයි. රඟපෑම සාමාන්‍ය ජීවිතයට වඩා ටිකක් ලොකුයි. "ඒජබඪදඨ ඪඵ ඹ්ඪබබතඥ ඕඪඨ ඕඪඨඨඥප බඩචද ඹ්ඪටඥ" දැන් තියෙන දෙබස් මොනවද කියලා මටනම් තේරෙන්නේ නැහැ . නාලිකාවල ටෙලිනාට්‍ය පාවිච්චි කරන්නේ හුදෙක්ම මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ගයක් විදිහට. අපි ටෙලිනාට්‍ය කරන කාලයේ ඒ කියන්නේ 1980-1990-2000 මුල වගේ කාලවලදී ටෙලිනාට්‍යවල මුල, මැද, අග දැන්වීම් විකාශය වුණා. දැන් දැන්වීම් අතරතුර ටෙලිනාට්‍යය විකාශය වෙනවා. කොහොමද රසවිඳීන්නේ..? එදා අපි ටෙලිනාට්‍ය කරද්දී තිරයේ පතිත වන කාලසීමාව විනාඩි 24යි. දැන් ඒක විනාඩි 17, 16, 15 වෙලා. පැය භාගය තුළ වෙළෙඳ දැන්වීම්වලට වෙන්කළේ විනාඩි 06යි . අද හොඳ ටෙලිනාට්‍යයක් කරලා විකුණාගන්න බැහැ. අපි හොඳ දෙයක් කළාට ඒවා තෝරන මණ්ඩලවල අයට දන්නේනෑ ඒවා හරියට තක්සේරු කරන්න. ඔවුන් ශාස්ත්‍රීය දැනුම සහ නිෂ්පාදන පැත්ත දන්නෙත් නැහැ. දැන් ටෙලිනාට්‍ය කියන දේ කම්කරු රැකියාවක් වෙලා.
ඔබ තිර රචනයටත් යොමුවුණා නේද...?
ඔව් මම තිර රචනා ලිව්වා. මගේ චිත්‍රපටවල තිරරචනාත් ලිව්වා.. මාතර ආච්චි, රජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා, හුලවාලි චිත්‍රපටවල තිර රචනය මම ලිව්වේ...‘හුලවාලි’ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් ඇසුරෙන් තිර රචනාව ලිව්වේ.
අන්තර්ජාතික සිනමා කෘති කිහිපයකත් ඔබ රඟපෑවා නේද...?
හොස්ටේජස් (ඕස්ට්‍රේලියාව), ද සන් ඔෆ් ද පැනඩොකාන් (ඉතාලිය), මදර් තෙරේසා ඔෆ් කල්කටා(ඉතාලිය) ආදී චිත්‍රපටවලට දායක වුණා...
ඔබ ලේඛකයෙක්. ඒ ගැනත් මතක් කරමු...?
මම පොත් 25ක් ලියලා තියෙනවා. ළමා පොත් 08ක් කළා. ජලය සහ මිනිසා, ආදරය සහ විවාහය, මසුරන් ඔවදන්, යහපත, ඔබ තවමත් ප්‍රමාද නැත, ජීවිතය දෙස නව නෙතකින්, සතුට ලැබීමට නම්, අපේ තාත්තා අපේ අම්මා, වඳුරු නුවණ, රත්තරන් දරුවෙක් වැනි පොත් රැසක්ම කළා.
ඔබ පවත්වන උපහාර උලෙළ ගැන මතක් කළොත්.....?
ඒ උපහාර උලෙළ 2011දී පටන් අරගෙන වසර 08ක් එකදිගටම කළා. එතැනදී මට අවශ්‍ය වුණේ කවදාවත් උපහාරයක් නොලබපු අය ගැන විශේෂයෙන් සලකා බලන්නයි. ඔවුන්ගේ දක්ෂතාව, ඔවුන්ගේ සේවය ඇගයීමයි මූලික වුණේ. එහි සම්මාන පිරිනැමීම පියවර 03ක් යටතේ තිබ්බා. පළමුවැන්න ‘සුසේවාභිමානී’ සම්මාන උපහාරය.අනෙක් පියවර හොඳට වැඩ කළ නළු නිළියන් දුන්නා ‘සුවඳ පද්ම’ රන් සම්මානය. රිදී සම්මානය දුන්නා ආර්ථික අපහසුකම් ඇති කවදාවත් ඇගයීමට ලක් නොවූ අයට. ‘සුසේවාභිමානී’ සම්මාන ආචාර්ය ලෙස්ටර්, සුමිත්‍රා දෙදෙනාට, එඩ්වින් ආරියදාස, සිබිල් වෙත්තසිංහ, ලතා වල්පොල වගේ ජ්‍යෙෂ්ඨ මෙන්ම ශ්‍රේෂ්ඨ අයට ලබා දුන්නා. හැම උත්සවයකම ප්‍රධාන ආරාධිතයෙ වුණේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්.
නවකයන් ගැන ඔබේ මතය..?
️අලුත් පරපුරේ සාරංග, විශ්ව කොඩිකාර, ශලනි තාරකා වගේ අය හුඟාක් දක්ෂයි. සමහරු ඉන්නවා නිෂ්පාදකගේ, අධ්‍යක්ෂගේ යාළුකමට ගත්ත අයත්. මෙතැනදී සමහර නිෂ්පාදකලා නමගිය ප්‍රවීණයෝ දෙතුන් දෙනෙක් ගන්නවා, අනික් අය හරි මදි. ඒකෙන් වෙන්නේ ප්‍රවීණයෝ හරියට කළත් අනික් අයගෙන් ඒක කඩාවැටෙනවා.
සිනමාශාලා අර්බුදය, ප්‍රේක්ෂකයා චිත්‍රපට නැරඹීම ප්‍රතික්ෂේප කිරීම වැනි ගැටලු ඔබ දකින්නේ කෙසේද....?
සිනමාව ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඒ ගැන කතා කරද්දී මෙහි අතීතයට ටිකක් යන්න වෙනවා. එකල දැවැන්ත සමාගම් 03ක් ලංකාවේ චිත්‍රපට ඒකාධිකාරයක් තියාගෙන හිටියා. ඔවුන් ඉන්දියානු චිත්‍රපට මෙහාට ගෙන්වනවා. ඒවා කොපි කරලා මෙහේ හදනවා. ශිවාජි ගනේෂන් චිත්‍රපටයක බාල්දියකට වම් කකුලෙන් ගැහුවද ලංකාවේ ගාමිණී ෆොන්සේකාත් අනිවාර්යයෙන් බාල්දියට වම් කකුලෙන්ම ගහන්න ඕන. අන්න ඒ වගේ තත්ත්වයක් තිබ්බා. චිත්‍රපට බෙදාහැරීම් ආදිය ඒකාධිකාරයක් වෙලා තිබ්බේ. ඒ කාලයේ හිටපු ඩී.බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, රෝයිද සිල්වා වගේ දැවැන්තයෝ පිරිසක් එකතු වෙලා එකල සිරිමාවෝ මැතිනිය දිනවලා ජාතික චිත්‍රපට සංස්ථාව බිහිකළා. එතන සාමාන්‍යාධිකාරී තනතුරට නියම සුදුස්සාව දැම්මා. ආචාර්ය ඩී.බි. නිහාල්සිංහයන්ව පත් කළා. එහෙම තමයි සිනමාවේ ස්වර්ණමය යුගය බිහිවුණේ. ඊටපස්සේ කළු ජූලිය සමඟ සිනමාශාලා බොහෝමයක් විනාශ වුණා. ඊට පස්සේ රූපවාහිනිය ඉදිරියට ඒමත් එක්ක සිනමාශාලා පසුපසටම ගියා. රටේ තිබුණු ආර්ථික අර්බුදය එක්කත් මිනිස්සු සිනමාශාලාවලට ගියේ නැහැ. යාපනයේ වෙලින්ටන් සිනමාශාලාවෙත් සිංහල චිත්‍රපට දුවපු රටක් මේක...
ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ඔබට විශේෂ වූ නිර්මාණක් තිබේද...? එහි විශේෂත්වය කුමක්ද...?
මගේ ‘මාතර ආච්චි’ චිත්‍රපටයට ලොකු ඇල්මක් තිබෙනවා. ඒකට අර පවුලක පළමු දරුවා වගේ හැඟීමක් තියෙන්නේ. හොඳටම කරපු නිර්මාණය විදිහට මම නම් දකින්නේ ‘අධිෂ්ඨාන’ යි. ඒක මිනිස්සු අතරට ගියා. ඒකේ හොඳ චිත්‍රපයක ලක්ෂණ තිබෙනවා. එහි ජේ. එච්. ජයවර්ධනට හොඳම නළුවා සම්මානය ලැබුණා . සුගත් සමරකෝන්ට කුසලතා සම්මානයක් ලැබුණා. ඒ අදාළ වසරේ ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උළෙලේදී සුමිත්‍රා පීරිස්ගේ ‘වහළු යෙහෙළි’ චිත්‍රපටයයි මගේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයයි අතර තරඟකාරීත්වයක් තිබ්බේ.
නැවත අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද...?
දැන් නිර්මාණයක් කරලා වැඩක් නැහැ. විකුණාගන්න බැහැනේ.
මට මතකයි කලක් ඔබ ගිහි ජීවිතයෙන් මිදෙන්න වගේ අදහසකුත් ඒ ගැන මතක් කළොත්....?
මේ ජීවිතයේ අපි දුක හඳුනනවානේ. සැප කියලා ජාතියක් ඇත්තේම නැහැ. පොතෙන් බෞද්ධයෙක් වුණු මම අවබෝධාත්මක බෞද්ධයෙක් වෙලයි දැන් ඉන්නේ.. මම ලේබල් බෞද්ධයෙක් නෙවෙයි. මම බුදුන් වහන්සේගේ දර්ශනය අවබෝධ කරගෙන තියෙන්නේ. මේ ලෝකයේ යථාර්ථය දකිද්දි අපි හුඟාක් දේවල් අතහරිනවා..
පසුගියදා ඔබේ කලා දිවියට වසර 50කුත් ඔබට අවුරුදු 82කුත් වුණා...ඒ ගැනත් මතක් කරමු.....?
ඔව්....මගේ කලා දිවියට වසර 50ක් සහ මගේ 82 වැනි ජන්ම දිනය වෙනුවෙන් මා හට ඇගයුම් උපහාර උලෙළක් පැවැත්වූවා. එය මිහිඳු සංස්කෘතික පදනම සංවිධානය කර තිබුණේ.. ඒ වෙනුවෙන් මගේ නිර්මාණ, ලේඛන සහ සමාජ සේවා කටයුතු මූලික කරගෙන ග්‍රන්ථ 02කුත් එළිදැක්වුවා... ‘සතිස්’ (දශක හයක සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රතිභානය) නමින් එක් පොතකුත් ‘මාතර ආච්චිට 50යි සතිස්ට 82යි’ කියලා සඟරාවකුත් එළිදැක්වුවා . එම ග්‍රන්ථ රචනා කළේ පුෂ්කර වන්නිආරච්චියි..