ගෞරවය ආදරය බවට පෙරළන කලාවේ මැජික් එක ගැන කියන

රංගන ශිල්පි ආචාර්ය කිෂූ ගෝමස්
ජූලි 20, 2023

ඔබ පාර දිගේ ටෙලිනාට්‍යයට යොමුවූයේ කොහොමද?

මේ ටෙලිනාට්‍යයට ඇමරිකන් සමාගමක කළමණාකාර අධ්‍යක්ෂවරයකුගේ චරිතයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අවස්ථාවේ අධ්‍යක්ෂතුමා, නිෂ්පාදක තුමා සහ තිර පිටපත් රචකයා ඒකට ගැළපෙන කෙනෙක් හොයමින් ඉඳලා තියෙනවා. ඇමරිකානු සමාගමක් ඇතුළේ තිබෙන සංස්කෘතිය අවබෝධ කර ගත්ත, එහි ඇතුළත සිද්ධ වෙන දේ ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන් කෙනෙක් තමයි ඔවුන් හොයලා තියෙන්නේ. ඒ අනුව තමයි පාරදිගේ නිෂ්පාදකවරයා මම අඳුනන කෙනෙක් මාර්ගයෙන් මාව සම්බන්ධ කර ගන්නේ. ඒ චරිතයේ ස්වභාවය මට පැහැදිලි කරලා ඒ චරිතය මට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ අනුව තමයි මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.

ඇත්තටම මේ චරිතය දිහා බලද්දි ඒක ඔබට අමුතු දෙයක් නොවෙන්න ඇති. ඔබේ සාමාන්‍ය ජීවිතේත් මෙවැනි විශාල ආයතනයන්හි ඉහළ තනතුරු රාශියක් ඔබ හොබවන නිසා.

මතුපිටින් කෙනෙක් බලලා එහෙම හිතුවාට යතාර්ථය ඒකම නොවෙයි. ඒක ඒ තරම් සමාන හා පහසු කාර්යයක් නොවෙයි. ඇමරිකන් සමාගමක සමාන්‍යයෙන් අපි ක්‍රියාකරන විදියයි, මේ නාට්‍යය ඇතුළේ, තිර පිටපත ඇතුළේ ඒ චරිතයට ඇතුළු වෙලා චරිතය තුළ කරන්න සිදුවුණ දේවලුයි වෙනස් ඇත්තටම කියනවා නම්. එතෙනදි පොඩි අභියෝගයක් තියෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා වූ සිවගුරුනාදන් හැම වෙලේම මට කියන්නේ ‘මේ බොස් හරි කාරුණික කෙනෙක්’ කියලයි. මම මගේ ජීවිතේ අවුරුදු 19ක් කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් හැටියට ඉඳලා තිබෙන පළපුරුද්දට මගේ ඇතුළතින් යම් දෙයක් එළියට එනකොටම සිවා කියනවා ‘ඔයිට වැඩිය පොඩ්ඩක් සොෆ්ට් වෙයි නේද?’, ඔයිට වඩා පොඩ්ඩක් කාරුණික වෙයි නේද? කියලා. එච්චරයි ඔහු කියන්නේ එතකොට මම දැන ගන්න ඕන දෙන්න ඕන ෆීලින් එක මොකක්ද කියලා. අන්න ඒ වගේ ගොඩාක් වෙනස් කම් තිබුණා. අනිත් පැත්තෙන් මේ ටෙලිනාට්‍ය යේ පුද්ගලික ජීවිතයට වැඩියෙන් ඇඟිලි ගහනවා. නමුත් නියම ඇමරිකන් සමාගමක් ඇතුළේ ඒක වෙන්නේ නෑ. ඒ නිසා ඒ අහපු ප්‍රශ්නයට උත්තරය වෙන්නේ ඔව් සහ නැහැ දෙකම තියනවා කියලයි. මේ ටෙලිනාට්‍යයට මට ආරාධනා කරන්නේ කොටස් එකකට හෝ දෙකකට. නමුත් ඊට පස්සේ මම ලොකේෂන් එකට ගිහින් ඇමරිකන් සමාගම් හා මේ චරිතය පිළිබඳ කතා කරපු බොහෝ දේවල් එක්ක, ඔවුන්ට හිතෙන්න ඇති මේ චරිතය ඉස්සරහට ගෙන ගියොත් හොඳයි කියලා. ඒ අතරේ සද්ධා සහ නිෂ්පාදකවරයා මට කතා කරලා අහනවා මේ නාට්‍යයට ඉස්සරහදි දුවෙක් හඳුන්වා දෙන්න පුළුවන්ද කියලා. දුවෙක් ගේන එක එපා කියන්න මට හේතුවක් තිබුණේ නැති නිසා මම කැමැති වුණා. මම එතැනදි ඒ තරම් හිතුවේ නෑ දුවෙක් ගෙනාවම දුවට අම්මෙකුත් ඉන්න ඕන කියලා. මොකද මම නිරූපණ ශිල්පියෙක් විදියට ප්‍රතිපත්තියක් විදියට තවත් කාන්තාවක් සමඟ කිසිම දේකට පෙනී හිටලා නෑ. ඒක මම කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආපු දෙයක්. අන්තිමේ ඒ යෝජනාවත් ආවා. පස්සේ මම තීරණය කළා මේ වැඩේට මම බැස්ස නිසා හදවතින්ම මම ඒකට සහයෝගය දෙනවා කියලා. අවසානයේ ඒ චරිතය හිතුවට වඩා දිර්ඝ වුණා.

ඔබට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත් කොහොමද?

මම ජීවත්වන සමාජ වට පිටාව තුළ මට සියයට පනහ පනහ හොඳ සහ නරක ප්‍රතිචාර ලැබුණා. සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්, මෙච්චර ලොකු කෙනෙක් ඇයි මේ රඟපාන්නේ කියලා, ඒක සුදුසු නැති දෙයක් විදියට කියපු, හිතපු අය හිටියා. නමුත් මගේ ජීවිතේ දිහා බලද්දි මම හැමදාම කරලා තියෙන්නේ සම්ප්‍රදායට පටහැණි දේවල්. මම කරලා තියෙන්නේ මගේ හිතට එකඟව, මම හරියි කියලා හිතෙන, සාමාන්‍ය මිනිස්සු එක්ක පාලම් හදා ගන්න පුළුවන්, පො‍ළොවේ පය ගහලා ඉන්න, සාමාන්‍ය ජීවිතයක් ගත කරන දේවල්වලට තමයි මම හැම තිස්සෙම නැඹුරු වුණේ. ඒක නිසා ඒ විවේචන මට විශේෂ දෙයක් වුණේ නෑ. 50%ක් මේක හොඳයි කිව්වා. රඟපාන්න පුළුවන් කියන එකත් ඔප්පු කරලා පෙන්නුවා කියලා හිතුවා. නමුත් සාමාන්‍ය ජනතාව ගොඩාක් ආදරණීයව මා දිහා බලන්න පටන් ගත්තා. මම විවිධ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වුණු වැඩ සටහන් නිසා මිනිස්සු මාව දැනගෙන හිටියා. මේකෙන් පස්සේ තමයි මම දැන ගත්තේ රංගන ශිල්පියකුට මිනිස්සු ඇත්තටම හරි ආදරෙයි කියලා. ඒ ආදරණිය බව හරි සුන්දරයි. ළයාන්විතයි. මම සිනමා කර්මාන්තය තුළ මෙන්ම සංගීත ලෝකය තුළත් අවුරුදු 22 වැනි දිර්ඝ කාලයක් වැඩ කරලා ඕන තරම් කලා ලෝකය තුළ ගනුදෙනු කරලා තියෙනවා. මම දැකලා තියෙනවා ඒ අයට තිබෙන ආදරණිය බව., ආකර්ෂණය කොච්චරද කියලා. ඒක මට අත්විඳීිමේ හැකියාවත් ලැබුණා.

නමුත් මම ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මගේ වෙනම මූලයන් තිබෙනවා. මම පෞරුෂත්වය හදාගත්ත තැනක් තියෙනවා. ඒ ස්ථානය රැක ගන්න ගමන්, ඒකට යම්කිසි දෙයක් එකතු කර ගන්නවා ඇරෙන්න ඒක නැති කරගෙන තවත් චරිතයක් නිර්මාණය වෙන එනෙක් මම වළකිනවා. ඒක ටිකක් සූක්ෂමව කරන්න ඕන වැඩක්. ඒක ඒ විදියට කරන තාක් කල් මගේ චරිතයට ඩැමේජ් එකක් වෙන එකක් නෑ. ඇයි ඒක මම ඒ විදියට හිතන්නේ කිවුවොත්, නළුවෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ වගේම නිළියොත් ඉන්නවා. නමුත් කිෂූ ගෝමස් නළුවෙක් වෙලා හරියන්නේ නෑ. කිෂූ ගෝමස්ට රඟපාන්න පුළුවන් කියන එකේ ප්‍රශ්නයක් නෑ. නමුත් කිෂූ ගෝමස් නළුවෙක් වෙන්න බෑ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.

බහු ජාතික සමාගමක වැඩිම කාලයක් සේවය කරපු, ලෝකයේ අඩුම වයසකින් බහුජාතික සමාගමක ප්‍රධාන විධායක, කළමණාකාර අධ්‍යක්ෂවරයා බවට පත්වෙච්ච හා තනතුරේ වැඩිම කාලයක් හිටපු (අවුරුදු19) ශ්‍රී ලාංකිකයා මම. මේ දේවල් අනිත් අයට නැති දේවල්. එතකොට මම කොහොමද ඒක යටපත් නොවී, ඒක පවත්වාගෙන යන ගමන් ඒකට යම්කිසි දෙයක් එකතු කරන්නේ කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒක බොහොම ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයක්.

 

ඒ කියන්නේ ඉදිරියට ඔබට රඟපාන්න ආරාධනා ලැබුණොත් ඔබ නොසලකා හරින්නේ නෑ කියන එකද?

මට මං වෙන්න පුළුවන් චරිතයක් ලැබුණොත්, මගේ පෞරුෂත්වයට හානියක් නොවන, මෙතෙක් ළඟාකර ගත්ත ජයග්‍රහණවලට පටහැණි නොවන දේවල් ලැබුණොත් මම බාර ගනී. ඒ වගේම මම කියන්න ඕන ‘පාර දිගේ’ කියන්නේ මගේ පළමුවෙනි රඟපෑමත් නොවෙයි. මම මීට කලින් චිත්‍රපටයක රඟපෑවා. ඒ රඟපෑමටත් හේතු වුණේ මම යුත් විත් ටැලන්ට් වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරත්දි එහි නිෂ්පාදකවරයා චිත්‍රපටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ සඳරුවන් ජයවික්‍රම. ඒක තාම රිලිස් වුණේ නෑ. ඒකේ මම රඟපෑවෙත් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා විදියට. මේ විදියට මගේ අනන්‍යතාවයට බාධාවක් නොවන, ඒකට හරස් නොවන චරිතයක් ලැබුණොත් රඟපායි.

 

ඔබ තුළ තිබෙන ඔය කලා රසිකත්වය, කලාවට තිබෙන බැඳීම ඔබ තුළට පැමිණි මූලය කුමක් කියලද ඔබ හිතන්නේ?

ඒකට පසුබිම ලැබෙන්නේ ගෙදරින් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකට හේතුව මගේ අම්මට ලස්සනට චිත්‍ර අඳීන්න පුළුවන්. එයා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. අපිට පුංචිකාලේ චිත්‍රයක් ඇඳගෙන එන්න කිව්වම අම්මගේ උදව්වෙන් තමයි අපි චිත්‍ර අඳීන්න පුරුදු වුණේ. අම්මා ලස්සනට අඳීනවා දැකලා තමයි මමත් ලස්සනට අඳීන්න උත්සාහ කළේ. ඊට පස්සේ මම ලංකාවේ චිත්‍ර තරඟවලින් පාසල් මට්ටමින් පළවෙනියා වෙලා තියෙනවා. ඒකාලේ ඉඳන්ම මට ගීත ගායනා කිරීමේ හැකියාව, කවි කීමේ හැකියාව තිබුණා. මට මතකයි ආච්චි මාව පන්සලට එක්කගෙන ගිහින් පන්සලේ උත්සවවල කවි සින්දු කියෙව්වා. මම පාසල් යන කාලේ ලංකාවේ කවි ගායනා තරගවලින් ගැහැනු ළමයි 47 ක් එක්ක තරග කරපු එකම පිරිමි ළමයා. මම ලංකාවේ පළමුවෙනියා වෙනවා. අදටත් මම විවිධ තැන්වල විනෝදයට ගීත ගායනා කරනවා.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ කොහොමද?

මගේ අම්මා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඉතින් මටත් පුංචි කාලේ ඉඳන්ම හැකියාව තිබුණා මගේ ෂර්ට් එක මම කපාගෙන මහගන්න. ඒවා අම්මගෙන් ලැබුණ දේවල්. ඒ වගේම මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක්. තාත්තාට ස්ටුඩියෝස් තිබුණා. මට අවුරුදු 7 දි පුළුවන් වුණා වෘත්තීය කැමරා පාවිච්චි කරන්න. කැමරාවෙන් ලස්සන දෙයක් දකින ඇහැ මට තාත්තගෙන් ආවා. මම නිරූපණ ශිල්පියෙක් වෙන්න විශේෂයෙන්ම හේතු වෙන්නේ ක්‍රීඩාව. මම විශාල වශයෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. මම ක්‍රීඩා වර්ග 13ක් කරපු කෙනෙක්. මලල ක්‍රීඩාවලින් මම ජාතික ශුරයා වෙනවා කඩුලු පැනීමෙන්. අවුරුදු 5ක් මම පිට පිටම චැම්පියන් වෙනවා. ඊට පස්සේ මම කොකා කෝලා සමාගමට මගේ පළවෙනි රැකියාවට ගියාම එහිදිත් මට ක්‍රීඩා තරග වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. පොලිස් ක්‍රීඩාංගණයේ පැවති තරගයකදි මම තරගය නිම කරන ලස්සන ඡායාරූපයක් ඡායාරූප ශිල්පියෙක් ගන්නවා. දවසක් ඒ ඡායාරූපය අරගෙන ඡායාරූප ශිල්පියා මාව හොයාගෙන කම්පැනියට ආවා. “මේ ඡායාරූපය හරි ලස්සනයි. මේක දැන්වීමකට පාවිච්චි කරන්න අවසර දෙන්න”‘ කියලා ඔහු මගෙන් ඉල්ලා හිටියා. මමත් එතකොට වයස අවුරුදු 18-19 කාලේ. මම ඒකට කැමැති වුණා. එතැනින් පස්සේ තමයි මට දැන්වීම්වලට ඉන්න ආරාධනා ලැබෙන්න පටන් ගත්තේ. මත්පැන් ප්‍රචාරණය කරන්න පුළුවන් කාලේ මත්පැන් දැන්වීමකටත් මම සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මැත භාගයේ හේමාල් රණසිංහ සමඟ දැන්වීමකට පෙනි හිටියා. විවිධ දැන්වීම් සඳහා මෑත භාගයේත් පෙනී ඉඳලා තියෙනවා. මගේ ආසාවට වාගේම මට තියෙන ඉල්ලුමටත් අනුව ඒක කරගෙන යනවා. කලකට ඉහතදී මම රූපවාහිනි නාළිකාවක සින්දු කියන්න යනවා. ඒක දැකලා තමයි මට සිනමා හා සංගීත ක්ෂේත්‍රයෙන් ආරාධනා ලැබෙන්නේ ඇවිත් උදව් කරන්න කියලා. ඊට පස්සේ මම සිනෙස්ටාර් පදනමේ සහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙක් විදියට සම්බන්ධ වුණා. දැන් අවුරුදු 22ක් පුරා ඒ දේවල් කරගෙන යනවා. මම කලාවට හරිම ආදරෙයි. කලාව කියන්නේ හැම මනුෂ්‍යයෙක් තුළම තිබිය යුතු හැඟීමක්. ඒක නැති පුද්ගලයා සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්නේ නෑ. හැඟිම්, දැනීම් එක්ක ජීවත් වෙන්න නම් කලාව කියන දේට නැඹුරුවක් තියෙන්න ඕන. තමන් නියුතු අංශය මොකක්ද කියන එක වැදගත් නෑ. කලාකාමී හදවතක් තියෙන්න ඕන. මානසිකත්වයත් තියෙන්න ඕන. ඒ තුළ තමයි අපිට ඇත්තටම ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සැකසෙන්නේ. අනිත් කෙනාගේ ආදරය, ගෞරවය ලබා ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මම බහුජාතික සමාගමකට බැඳීලා සම්පූර්ණ කර ගත්ත කිසි දේක මට වටිනාකමක් ලැබෙන්නේ නෑනේ මිනිස්සු ඒ දිහා බලලා, දැකලා, මගේ මනුස්සකම් දැකලා, මගේ සරල බව දැකලා “අනේ මෙයා හරි හොඳ කෙනෙක්” කියලා කිව්වේ නැත්නම්. ගෞරවය තියෙයි. නමුත් ඒ ගෞරවය ආදරය බවට පෙරළෙන්නේ නෑ. කලාවේ තියෙන මැජික් එක ඒක තමයි.

 

ඔබව හඳුන්වන්නට අපිට අති විශාල වෘත්තිය නාම ගොන්නක් තියෙනවා. දැන් ඒකට රංගන ශිල්පියා යන්නත් එකතු වෙනවා. ඔබ කැමැති ඔබ කවුරු කියලා හඳුන්වනවාටද?

සම්මානිත ප්‍රධාන විධායකවරයා හැටියට (Award winning celebrity CEO) ඒක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඇතුළේ මගේ හැමදේම තිබෙනවා. ලංකාව ඇතුළේ වැඩිපුරම සම්මාන ගත්ත පුද්ගලයා මම. මම ආසයි මේ ටික රැකගෙන ඒකට තව දේවල් එකතු කර ගන්න

 

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දි අද මොනවද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. ඒකට හේතුව වෙන කිසිම දෙයක් නොවෙයි. මේ පට්ටම්, තානාත්තර, ජයග්‍රහණ නොවෙයි. මිනස්සුන්ගේ තිබෙන ආදරය, මිනිස්සු මම කෙරෙහි දක්වන ආකල්පය. මම ආපස්සට හැරිලා බලන කොට මම ආපු ගමන තුළ ‘ගමන’ නොවෙයි. ගමන ආපු ආකාරය තමයි තෘප්තියක් හැටියට තිබෙන ප්‍රධානම දේ.

 

මේ සියලු දේ අතරතුර ඔබට පෞද්ගලික ජීවිතයකුත් තිබුණා. මේ සියල්ලට කාලය කළමණාකරණය කර ගත්තේ කොහොමද?

සංකල්පයක් හැටියට කාලය කළමනාකරණය කරන එක පාවිච්චි කළාට මම ඒ සංකල්පය බැහැර කරනවා. මම කළමනාකරණ උපදෙස්වලදී අපේ තරුණ පරපුරට උපදෙස් දෙන්නේ කාලය කළමනාකරණය කරන්න එපා. කාලයට සාපේක්ෂව තමන්ව කළමනාකරණය කර ගන්න කියලයි. ඒක තමයි අපි කළ යුත්තේ. මම අදටත් පැය 18ක් දවසකට වැඩ කරනවා. කවුරුත් හිතන්නේ නෑ මම එහෙමයි කියලා. ඒකේ වෙනස මම කරන හැමදෙයක්ම මම කරන්නේ ආසාවෙන් සහ ආදරෙන්. තමන් ආසාවකින් යම්කිසි දෙයක් කරනවා නම් තමන්ට මහන්සියක් දැනෙන්නේ නෑ. තෙහෙට්ටුවක් දැනෙන්නේ නෑ. තමන් ඒ ගැන චෝදනා කරන්නේ නෑ. මම තරුණ පරපුරට හැම තිස්සේම කියන දෙයක් තමයි අපිට හැම තිස්සෙම අපි කැමැති දේවල් කරන්න ලැබෙන්නේ නෑ. සාමාන්‍ය ජීවිතේ එහෙම වෙන්නේ නෑ. අපි අකමැති දේවලුත් කරන්න සිද්ධ වෙනවා අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. අපේ ඉලක්ක කරා යන්න. අකමැති දෙයක් සිදුකරන්න හරි කැමැත්තක් ඇති කර ගන්න. අකමැත්ත කැමැත්තක් බවට පරිවර්තනය කර ගන්න. ඒතුළ ක්‍රියාත්මක වෙන්න එතැන තමයි ජයග්‍රහනය තියෙන්නේ.

මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් විදේශ ගතවෙලා ඉන්නවා අනිත් එක්කෙනා මෙහේ ඉන්නවා. මගේ බිරිඳ ජීවිතේටම රැකියාවක් කරලා නෑ. ඉස්කෝලෙන් අයින්වුණ ගමන්ම තමයි අපේ ප්‍රේම සම්බන්ධය ඇති වුණේ. ඒ කාලෙදිත් මගේ ජයග්‍රහණ ඇතුළත දෙයියනේ කියලා මට අවශ්‍ය කරන මුදල් තිබුණා. ඉතින් එයා ගෙදර දේවල් බලාගෙන හිටියා. මෙතනදි වැදගත් වෙන්නේ මම කොච්චර වෙලාවක් එයා සමඟ ඉන්නවද කියන එක නොවෙයි. ඉන්න වෙලාවේ මම එයා එක්ක මොනවද කරන්නේ කියන එකයි. අපි ජීවත් වෙත්දි පවුල් ජීවිතයක් ගෙනියද්දි මම කළයුතු දේ තුළ මම ක්‍රියාත්මක වෙනවා.

ඉතින් කොහොම නමුත් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි ලාංකිකයෝ විදියට සම්ප්‍රදායට කොටුවෙන්න නරකයි. අපි මොන දේ කරන්න ගියත් ඒකට විරුද්ධවාදින් ඉඳීයි. බුදුරජාණන් වහන්සේට පවා එහෙම විරුද්ධවාදින් හිටියනේ. නමුත් අපි කරන දේ නිතිගරුක නම්, සමාජයට අහිතක් නොවනවා නම්, තමන්ගේ වටිනාකම වැඩිවෙනවා නම්, ඒක තමාට සාර්ථකව කරන්න පුළුවන්නම්, ඒ සියලු දේ කරන්න. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක තමයි අපේ ජාතිය අගාධයකට දැම්මේ. ඒකෙන් බැහැර වෙලා තමන්ට තිබෙන සියලු දේ පාවිච්චි කරලා වටිනා පුද්ගලයින් වෙමු. එහෙම වුණොත් අපිට වටිනා පුද්ගලයින් බිහිවේවි. එතකොට අපිට වටිනා රටක් නිර්මාණය වේවි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]