හඳගම අයියා ජීවිතය දිහා අලුත් ඇසකින් බලන්න ඉගැන්නුවා

රංගන ශිල්පී, සංස්කරණ ශිල්පී රුක්මල් නිරෝෂ්
ජූලි 20, 2023

 

රංගන ශිල්පියකු ලෙස ආචාර්ය තිස්ස අබේසේකර, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ ආභාසය ලබමින් රංගනය තරණය කොට සම්මානනීය සංස්කාරක ශිල්පියකු ලෙස ද නිර්මාණකරණයේ යෙදෙමින් සිට රූපවාහිනී සහ සිනමාකරණය පිළිබඳ ශාස්ත්‍රීය මට්ටමේ උපාධිය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාකරණය හදාරන සිසුන්ට ආචාර්යවරයකු ලෙස සිය දැනුම බෙදා දෙන ඔහු නමින් රුක්මල් නිරෝෂ්ය. වසර ගණනාවක නිහැඬියාවකට පසු රුක්මල් සිය ප්‍රථම චිත්‍රපටය ‘අවාළු පැහැ වලාකුළක්’ නමින් මේ දිනවල අධ්‍යක්ෂණය කරමින් සිටියි. සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය පිළිබඳවත් රංගන, සංස්කරණ ශිල්පියාගේ සිට අධ්‍යක්ෂණ භූමිකාව තෙක් ආ ගමන්මග සාකච්ඡා කිරීමේ අරමුණින් රුක්මල් සරසවිය හා මෙසේ සංවාදයකට එක්විය.️

මොකද්ද මේ ‘අවාළු පැහැ වලාකුළක්’ කියන්නේ...?

‘අවාළු පැහැ වලාකුළක්’ කියන්නේ මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. මෙහි රූගතකිරීම් සිදුවෙමින් පවතිනවා. ඇත්තෙන්ම මෙය මට සිහිනයක්. සිහිනයක් කිව්වට ඇත්තෙන්ම ඉලක්කයක්. ඉලක්කයට ගමන් කිරීමේ අරමුණක්. මෙහි කතා සංකල්පය ගොඩනඟන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ ශිෂ්‍යයෙක් වන ඕෂධ දිලුම් සිසුවා. මංජුල වෙඩිවර්ධන සමඟ මම තිරරචනය ලිව්වා. නිෂ්පාදනයෙන් හසිත බස්නායක දායක වෙනවා. ඔහු තමයි චිත්‍රපටයක් කරමු කියලා යෝජනාව අපිට දාන්නේ. ඔහු යෝජනාව ගෙනෙද්දී මෙහි ර්‍ථතධබ එක අපි ළඟ තිබ්බා. මේක අපි කට්ටියගේම සාමූහික කාර්යයක් කිව්වොත් හරි.

මෙහි තිරරචනය ලියන්න ඔබ සමඟ මංජුල වෙඩිවර්ධන එකතුවෙනවා...?

ඔව්. මගේ ගෝලයාගේ කතා සංකල්පය මා අතින් ඩිවොලොප් (Develop) කිරීමක් වුණා.ඒක මංජුල වෙඩිවර්ධන එක්ක ලියද්දී තවත් සංවර්ධිත වුණා. මගේත් වෙඩිවර්ධනගේත් අත්දැකීම් එකතුවෙලා කතා සංකල්පය ඉතා හොඳීන් සංවර්ධිත මට්ටමට පත්වුණා.

‘අවාළු පැහැ වලාකුළක්’ සඳහා දායක වූ පිරිස සිහිකළොත් ..?

මෙහි රංගනයෙන් බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, ඩිනාරා පුංචිහේවා, මෞලි ෆර්ඩිනෑන්ඩු වැනි පිරිස එකතුවුණා. හසිත බස්නායක නිෂ්පාදන අර්ථපතියා වුණා. මායි වෙඩිවර්ධනයි තිරරචනය ලිව්වා. මගේ ගෝලයා වුණු ඕෂධ දිලුම්ගේ කතා සංකල්පය. මංජුල අයගම කලා අධ්‍යක්ෂවරයා. අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවලත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත්, ශබ්ද සංයෝජනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චිත්, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රියත් දායක වුණා...

පළමු අධ්‍යක්ෂණ කාර්යයේ අත්දැකීම් කොහොමද....?

එහි විශේෂ සිදුවීම් නම් වුණේ නැහැ. හොඳම පිරිසක් එක්ක විනෝදයෙන් අපි ඒක විඳීමින් තමයි රූගත කිරීම් කළේ. ඉතා සහයෝගයෙන් වැඩ කළා. හොඳ ටීම් වර්ක් (Team Work) එකක් හිටියේ....මුළු රූපගත කිරීම් කළ කාලයම අමතක නොවන අත්දැකීමක් වුණා

ඔබ පසුගිය සමයේ විදෙස්ගත වුණා. ඒගැනත් මතක් කළොත්...?

මම මගේ සිනමාකරණ හා රූපවාහිනීකරණ උපාධිය සම්පූර්ණ කළා. 2019දී මාස්ටර් ඩිග්‍රි  (Master Degree එක කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් වැඩ කළා. දැනට මම පදිංචි ඕස්ට්‍රේලියාවේ. මාස්ටර් ඩිග්‍රි එකෙන් පස්සේ තමයි ‘අවාළු පැහැ වලාකුළක්’ අධ්‍යක්ෂණයට පිවිසුණේ. අවුරුදු 04යි මාස 04ක් එහේ ඉඳලා තමයි ලංකාවට ඇවිත් මේ වැඩේ පටන්ගත්තේ

ඔබ රංගනයට අවතීර්ණ වූ ආකාරය පැහැදිලි කළොත්....?

මම මුලින්ම පාසල් වේදිකාවේ රඟපෑවා. තිස්ස ගුණවර්ධන සර් තමයි මගේ නාට්‍ය ගුරුවරයා වුණේ. ඔහුගෙන් රංගනය ඉගෙනගත්තා. සර්ගේ නාට්‍ය කළා පාසල් වේදිකාවේ. පාසල් නාට්‍යයකදී රංගනවේදී අශෝක පීරිස් මහතා මාව දැකලා ආචාර්ය තිස්ස අබේසේකර මහතාට මාව හඳුන්වා දුන්නා. ඒ හඳුන්වාදීමත් එක්ක 1990දී ‘එකගෙයි අවුරුද්ද’ කියන ඒකාංගික අවුරුදු ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අවුරුද්දෙම අශෝක හඳගමගේ ‘ප්‍රභාතය’ ටෙලිනාට්‍යයේ රුවන්සිරිගේ චරිතයට හඳගම අයියා මාව තෝරාගන්නවා. ඔහු මගේ පාසලට ඇවිත් මාව තෝරාගත්තේ. ඒවා මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය විදිහටත් හඳුන්වන්න පුළුවනි.

ඔබ අශෝක හඳගමගේ බොහෝ නිර්මාණවලට දායකවෙනවා...?

ඔව්, හඳගම අයියා ජීවිතය අමුතුම විදිහට නිර්මාණයකින් අල්ලගන්න කෙනෙක්. ඒක හරිම ආකර්ෂණීයයි. ඔහුගෙන් ජීවිතයට බොහෝදේ ඉගෙනගන්න පුළුවන්. ඔහුගේ ප්‍රභාතය, දුන්හිඳ අද්දර, දියකැට පහණ, සින්තටික් සිහින, නැඟෙනහිර වෙරළින් ඇසෙන වගේ ටෙලිනාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම හඳගම අයියාගේ පළමු චිත්‍රපටය වන ‘චන්ද කින්නරි’ චිත්‍රපටයේ වීදි දරුවෙක් විදිහට රඟපෑවා. ‘අසන්ධිමිත්‍තා’ චිත්‍රපටයේ වගේම තවම තිරගත නොවූ ‘සඳ දඩයම’ චිත්‍රපටයේත් රඟපෑවා.

ඔබ හා හඳගම අතර සුසංයෝගය, හිතවත්කම හැදුණේ කොහොමද..?

මම කලින් කිව්වා වගේ මගේ නිර්මාණ ජීවිතයේ ඔහුගේ හොඳම නිර්මාණ රැසකට මට දායකවෙන්න ලැබුණා. 1990දී මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සිදුවූයේ ඔහු නිසායි. ප්‍රභාතයේ රුවන්සිරි, දුන්හිඳ අද්දර සුද්දේ, චන්ද කින්නරි වීදි දරුවා වගේ චරිත බොහෝ පිරිසක් අතරට ගියා. ප්‍රේක්ෂකයෝ අදටත් රුවන්සිරිට, සුද්දේට ආදරෙයි. හඳගම අයියා රංගනයට අමතරව කලාව,රසවින්දනය විතරක් නෙවෙයි ජීවිතය දිහා බලන විදිහත් අපට උගන්නනවා. ඔහුගේ ඇසුරත් එක්ක ජීවිතය දිහා වෙනස්ම කෝණයකින් බලන්න අපි පුරුදු වුණා. ඔහු නිසා ජීවිතයට බොහෝ දේ එකතු වුණා. ඒ බලපෑම අපේ චිත්‍රපට නිර්මාණකරණයටත් අනිවාර්යයෙන්ම බලපෑවා කිව්වොත් හරි. හඳගම අයියාගේ ඇසුර නිසා කලාව, ජීවිතය පිළිබඳ ලැබූ අත්දැකීම් අප්‍රමාණයි.ඔහු ඔහුටම අනන්‍ය වූ රිද්මයකට තමයි නිර්මාණ කරන්නේ, නිර්මාණයක් දිහා බලන්නේ.

ප්‍රසන්න ජයකොඩි හා ඔබ අතර ගනුදෙනුව කෙසේද..?

ප්‍රසන්න ජයකොඩි අයියාගෙන් සුන්දර අත්දැකීම් රැසක්ම ලැබුවා. ඔහුත් ජීවිතය, කලාව වෙනස්ම මානයකින් දැකපු කෙනෙක්. ඔහුගේ ඇසුර නිසා අපි ඇත්තෙන්ම අලුත් වුණා. ඉතා හොඳ ජීවිත පරිඥානයක් ලබාගන්න පුරුදු වුණා ප්‍රසන්න අයියා නිසා. මම පළමුවරට රංගනය සහ සංස්කරණය යන දෙඅංශයෙන්ම දායක වුණේ ප්‍රසන්න අයියාගේ ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍යයට. ඒක නිෂ්පාදනය කළේ ආනන්ද අබේනායක අයියා. ඔහු තමයි මට ප්‍රසන්න අයියාව හඳුන්වලා දුන්නේ. සංස්කරණය පුළුවන්ද කියලා අහලා ඔහුගේ ‘හදවිල සක්මන’ සංස්කරණයත් මට භාරදුන්නා.

රංගන ශිල්පියෙක්, සංස්කාරකවරයෙක් විදිහට ප්‍රසන්න අයියාගෙන් මනා පරිචයක් මම ලැබුවා..

ඔබේ සංස්කරණ භූමිකාව ගැන සිහිකළොත්...?

සංස්කරණයට පිවිසෙන්න කලින් මම මුලින්ම තරුණ සේවා සභාවේ සංස්කරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඊටපස්සේ ප්‍රවීණ සංස්කරණ ශිල්පියකු වන රවින්ද්‍ර ගුරුගේ (රවී අයියා) ගේ සහයක විදිහට අවුරුදු තුනහමාරක් ඔහු යටතේ වැඩ කළා. අශෝක හඳගම අයියා මගෙන් අහනවා සංස්කරණය කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව ඔහුගේ ‘දියකැට පහණ’ ටෙලිනාට්‍යයේ රවින්ද්‍ර ගුරුගේ අයියා එක්ක සහය සංස්කරණ ශිල්පියා විදිහට වැඩකළා. රවින්ද්‍ර අයියා මාව විශ්වාස කරලා වැඩ භාර දෙනවා. එතැනදී මම තවත් හොඳට වැඩ කරන්න උනන්දු වෙනවා. මට ඇත්තටම උදේ,දවල් කියලා වෙනසක් නැහැ. වැඩෙයි මූලික වෙන්නේ. ඒක රවී අයියාගෙන් ලැබුණු හොඳ ආදර්ශයක්.

සංස්කරණ ශිල්පියෙක් විදිහට ඔබ සම්මානයට භාජනය වූ අවස්ථා නම් බොහෝමයි නේද..?

‘සඳ අමාවකයි’ හොඳම සංස්කරණ ශිල්පියා සම්මානය ලැබුණා සුමති ටෙලි සම්මාන උලෙළේදී. ‘හදවිල සක්මන’ සඳහා සුමති හා සිග්නිස් සම්මාන ලැබුණා. ‘ඕලු’ ටෙලිනාට්‍යයේ සංස්කරණයට රයිගම් සම්මාන ලැබුණා. ‘සමනලුන්ට වෙඩි තියන්න’ ටෙලියේ සංස්කරණයට රයිගම් සම්මානත් ‘ධවල කන්‍යා’ සඳහා සිග්නිස් සම්මානයත් ලැබුණා. මම අධ්‍යක්ෂණය කරමින් සංස්කරණය කළ ‘සුළඟ මත මොහොතක්’ ටෙලිනාට්‍යයේ සංස්කරණයට සුමති සහ සිග්නිස් සම්මාන ලැබුණා. මේ සියල්ල මට සංස්කරණය වෙනුවෙන් ලැබුණු සම්මානයි.

ඔබේ ප්‍රථම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ගැන සිහිකළොත්.....?

ඔව්, එහි නම ‘සුළඟ මත මොහොතක්’. මගේ උපාධිය කරන අතරතුරයි ඒක අධ්‍යක්ෂණය කළේ. ඒකට නිෂ්පාදකවරයෙක් ඕස්ට්‍රේලියාවේදී හම්බවුණා. ඔහු වසන්ත බණ්ඩාර. ඔහු මට යෝජනාවක් කළා ටෙලියක් කරමු කියලා. එතකොට මම කිව්වා මට අවශ්‍ය නළු නිළියන් තෝරාගන්න නිදහස දෙනවානම් කරමු කියලා. ප්‍රියංකර රත්නායක එහි තිරරචනය ලිව්වා. රංගනයෙන් සාරංග දිසාසේකර, තිසුරි යුවනිකා, බිමල් ජයකොඩි, ඩබ්ලිව්. ජයසිරි, කෞශල්‍යා ප්‍රනාන්දු , සුජානි මේනකා වගේ පිරිසක් දායකවුණා. එහි අධ්‍යක්ෂණය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් සුමති ටෙලි සම්මාන උලෙළේදී මට ලැබුණා. තිසුරි යුවනිකා හොඳම නිළිය වුණා. කැමරාකරණය කරපු සුරේෂ් ධම්මික සම්මාන ලැබුවා. කසුන් කල්හාරට හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සිග්නිස් සම්මානය ලැබුණා.

ඔබේ ටෙලි රංගනයේ සුවිශේෂී කැමැත්තක් සහිත චරිතයක් මතක් කළොත්....?

කිසිම නිර්මාණයක් ජීවිතයට සම්බන්ධ වුණා කියන්න බැහැ. ඒ චරිත ප්‍රතිනිර්මාණය කිරීමකුයි වුණේ. දුන්හිඳ අද්දර ‘සුද්දේ’ මගේ රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක්. මිනිස්සු මාව හඳුනාගත්තේ ඒකෙන්. ඒක භාග්‍යයක්. ‘සුද්දේ’ චරිතය තුළින් මට විශාල වටිනාකමක් ලැබුණා.

සිනමා රංගනයේදී මීට වඩා දෙයක් කරන්න අවස්ථාව තිබුණා කියා මට හිතෙනවා...?

චිත්‍රපට හැදෙන එක අඩු කාලයක අපි දැන් ඉන්නේ. මම වෘත්තියෙන් සංස්කරණ ශිල්පියෙක්. ඔබ කියන කතාව හරි. ඒත් දුකක් නැහැ. සිනමාවේදී ‘චන්ද කින්නරි’ , ‘28’ වගේ චිත්‍රපටවල හොඳ රඟපෑම් කළා. ඒවගේ වටිනාකම් තිබුණා....

සංස්කරණ ශිල්පියා නිසා රංගන ශිල්පියා මඟහැරුණා නේද..?

ඒකත් මම පිළිගන්නවා. සංස්කරණයට යොමුවීම නිසා රංගන ශිල්පියාට අසාධාරණයක් වුණා තමයි. ඒත් මම මගේ ජීවිතයේ අද වනවිට ක්‍රමක්‍රමයෙන් ඉදිරිගමනක් ඇවිත් තිබෙනවා. ඒ රංගන ශිල්පියාගෙන් සංස්කරණ ශිල්පියාට ආවා, සංස්කරණ ශිල්පියාගෙන් අද වනවිට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව දක්වා ඇවිත් තිබෙනවා.. ඒ ගැන සතුටුවෙනවා..

90 දශකයට සාපේක්ෂව අද අපේ ටෙලිනාට්‍ය කලාව ඔබ දකින්නේ කෙසේද...?

පැහැදිලිවම උත්තරයක් දෙන්න අමාරුයි. කූඹියෝ, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, කොඩි ගහ යට, එයා දැන් බැඳලා වගේ හොඳ ටෙලිනාට්‍යයක් ආවොත් ඒවාට ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා හිතෙනවා. ටෙලිනාට්‍යවලින් ලාභ ලැබීම මූලිකයි තමයි. ඒත් රසවින්දනය මූලික වෙන්න ඕනි. හොඳ නිර්මාණයකට ප්‍රේක්ෂකයෝ තවම ඉන්නවා. ටෙලිනාට්‍ය කලා මාධ්‍යයක් නෙවෙයි කියලා මතයකුත් ආවා කාලයක්. ඕනෑම එකක් කලා මාධ්‍යයක් නෙවෙයි.ඒක කලාවක් වෙන්නේ ඒවා හැසිරවීමත් එක්කයි. ඉදිරියට හොඳ නිර්මාණවලට දායක වෙන්න ඕන. ඉඩකඩ මදි ප්‍රශ්නයක් මට තිබ්බා. බජට් ප්‍රශ්නත් හොඳ නිර්මාණ බිහි නොවෙන්න බලපෑවා. අඩු බජට්වලින් කරන ඒවගේ ගුණාත්මක්ස් බව අඩුයිනේ....

සිනමාවේ අර්බුදය ගැන ඔබේ මතය...?

හැම දෙයක්ම අර්බුදයකට ගිය රටක සිනමාව අර්බුදයකට යෑම පුදුමයක් නෙවෙයි. පැහැදිලිවම අර්බුදයක් තිබෙනවා. ඒක විතරක් කතා කරලා වැඩක් නැහැ. අපි රටක් විදිහට මුලින්ම ගොඩයන්න ඕන. එතකන් සිනමාවේ ගොඩයෑමකුත් නෑ. සිනමාව ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ රටේ අර්බුදයට විසඳුමක් ගන්නේ නැතිව. අපි බෙදිලා ඉන්න තෙක් සිනමාව ගොඩඑන්නේ නැහැ. සිනමාව විතරක් අර්බුදයක කියන එක ප්‍රායෝගික නැහැ. පක්ෂ විදිහට රටේ බෙදීමක් තියෙද්දී කොහොමත් ගොඩඒමක් නැහැ. රටේ ප්‍රශ්නවලට අපි එකතුවෙලා විසඳුමක් දීලා ඊටපසුව සිනමාවේ අර්බුදයටත් අපි එකතුවෙලා විසඳුමක් දෙන්න ඕන. එහෙම නැතිව සිනමාවේ අර්බුදය විතරක් කතා කිරීම විහිළුවක් වෙනවා.

සිනමාවේ අර්බුදයට ඔබේ ‘අවාළු පැහැ වලාකුළක්’ තුළින් අස්වැසිල්ලක් ලැබේද..?

අපේ උත්සහයත් ඒකම තමයි. සිනමා රසිකයන් සිනමාශාලාවලට ගෙන්වීම තමයි උත්සහය. ඒක අපි උපරිමයෙන් කරනවා. ඒක ප්‍රේක්ෂකයා පිළිගනියිද කියලා කියන්න තවම කල්වැඩියි. මේක තුළ කතාවක් තියෙනවා. අපි ප්‍රේක්ෂකයාට ආරාධනා කරනවා ඇවිත් මේක බලන්න. ඒකෙන් සිනමාවේ අර්බුදයට තරමක හෝ විසඳුමක් ලැබේවි කියා හිතෙනවා..

ඔබ රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් තිබේද....?

එහෙම එකක්නම් නැහැ. රංගනයට මට ලොකු උනන්දුවක් දැන් නැහැ. අධ්‍යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් විදිහට වැඩ කරනවා මිසක් දැන් රංගනයෙන් ගොඩක් දුරට ඈත්වෙලයි ඉන්නේ..වැඩි බරක් දෙන්නේ සංස්කරණයට සහ අධ්‍යක්ෂණයට.

ඔබ වාසනාවන්ත නළුවෙක්. ඔබට අතිදක්ෂ අධ්‍යක්ෂවරු (ආචාර්ය තිස්ස අබේසේකර, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, ආනන්ද අබේනායක වැනි) යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ පිළිබඳ සිහිකළොත්.....?

මුලින්ම තිස්ස ගුණවර්ධන සර් මතක් කරන්න ඕන. ඔහු පාසල් වේදිකාවේ මගේ ගුරුවරයා...ජීවිතයේ මිනිස්සුන්ව හඳුනාගන්න ලැබුණේ ආචාර්ය තිස්ස අබේසේකර මහතා නිසයි. ඔහුගෙන් උගත් දේ බොහෝමයි. ඔහු ඇත්තෙන්ම ඇවිදින විශ්වවිද්‍යාලයක් වගෙයි...ඔහුගේ ‘පිටගම්කාරයෝ’ ටෙලිනාට්‍යය කරද්දී ලැබුණු ගුරුහරුකම් මිල කරන්න බැහැ....ඔහුගේ ශාස්ත්‍රීය ඥානයෙන් අංශුමාත්‍රයක් හරි මට ලබාගන්න පුළුවන්වීමම මගේ වාසනාවක්....ඔහුගෙන් අධ්‍යක්ෂණය, රංගනය වැනි දෑ ගැන ඉතා විශාල දැනුමක් ලැබුණා..හඳගම අයියා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔහු ජීවිතය අල්ලගන්න විදිහ හරිම අමුතුයි...ඒ වගේම සුන්දරයි. ප්‍රසන්න ජයකොඩි අයියාගේ අධ්‍යක්ෂණය තුළ තිබෙන සංයමය හරිම වැදගත්. ඒ සංයමය ඔහුගෙන් ඉගෙනගත්තා. ඒ සියල්ලන්ගෙන් මගේ කලා නිර්මාණ ජීවිතය පෝෂණය වුණා. එයින් ජීවිතයට වටිනාකමක් ලැබුණා. ඒ අත්දැකීම් තුළින්ම තමයි මම අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. මට මුලින්ම අධ්‍යක්ෂණයට අවස්ථාව දුන්නේ ආනන්ද අබේනායක අයියා. පෝදා ටෙලිනාට්‍ය 02ක් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව දුන්නා. මම ඔහුගේ ‘සංසාරේ පියසටහන්’ පෝදා ටෙලිනාට්‍ය මාලාව සංස්කරණය කළා. එහිදී මම ඔහුට කිව්වා අධ්‍යක්ෂණයට ආසයි කියලා. තිරපිටපතක් තෝරාගත්තොත් අධ්‍යක්ෂණයට අවස්ථාව දෙන්න පුළුවන් කිව්වා.

අපේ සිනමාව අන්තර්ජාතික තලයේ තිබෙන ස්ථානය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවනිද...?

සෑහීමකට පත්වුණා කියන්න බැහැ. සෑහීමකට පත්වුණා නම් අපි එතනින් නවතින්න ඕන. තව ඉස්සරහට අපිට යන්න පුළුවන්. මතු බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ජගත් මනුවර්ණගේ, සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපට අන්තර්ජාතික තලයට යනවා. ඔවුන් මේ දූපතින් එළියට අපේ සිනමාව අරන් යාවි කියා හිතෙනවා. අපි එකතුවෙලා ඔවුන්ට සහය දෙන්න ඕන. නැතිව කකුලෙන් ඇදීම නෙවෙයි කරන්න ඕන. කවුරුන් හෝ හොඳ වැඩක් කරද්දී සමහරු ඒක නවත්තන්න හදනවා. එහෙම නෙවෙයි ඒකට උදව් කරන්න ඕනා. එතකොට අපිට අන්තර්ජාතික තලයට අපේ සිනමාව රැගෙනයන්න පුළුවන්.

අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න නම් ඒ සඳහස් ඔබේ යෝජනා මොනවාද.....?

මම හිතන්නේ එතනදී අපට තාක්ෂණයේ ප්‍රශ්නයක් නැහැ. තිරරචනාවල ප්‍රශ්නයක් තියෙනවා. තිරරචනා සංවර්ධනය කිරීම ප්‍රශ්නයක්. ඒ සඳහා අපි පසුපෙළක් හදන්න ඕනා. හරිහමන් පිටපතක් නැත්නම් අපට අන්තර්ජාතික ජයග්‍රහණය කරන්න අමාරුයි. හොඳ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, කැමරාශිල්පීන් අපට ඉන්නවා. චිත්‍රපටයකින් ඔක්කොම දේවල් කතාකරන්න ගියොත් චිත්‍රපට අවුල් ජාලවක් වෙනවා. යම්කිසි ඊඥචථ එකක් තෝරාගෙන චිත්‍රපටය කරන්න දෙන්න ඕන. අපේ ශානර අඩුයි. අපේ සිනමාවේ එක් එක් රැළි තිබුණත් ප්‍රේක්ෂකයාට එයින් විවිධත්වයක් නොලැබීමත් අඩුපාඩුවක්. කලාත්මක, වාණිජ චිත්‍රපට කියලා වර්ගීකරණය කිරීම අඩු කළ යුතුයි. එක් එක් ශානර ගැන අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපට අන්තර්ජාතික මට්ටමේ ප්‍රේක්ෂක පිරිසක් ගෙන්නගන්න පුළුවන්. විවිධ ශානරවලින් යුතු නිර්මාණ අපි කළයුතුයි.

මහේන්ද්‍ර, අනෝමා, කෞශල්‍යා,මචාඩෝ, බිමල් වැනි දක්ෂයන් ඔබේ සමකාලීනයන් වුණා. ඔවුන් ගැන ඔබේ තක්සේරුව....?

ඔබ සඳහන් කරන පිරිස හොඳට තෝරාබේරාගෙන තමයි රංගනයේ යෙදෙන්නේ. මහේන්ද්‍ර අයියා අපට ඉන්න අතිදක්ෂයෙක්. බිමලුත් හොඳයි. කෞශල්‍යා අක්කා වගේ අය ඉන්න නිසා ඔවුන්ගෙන් කලාව පෝෂණය වෙනවා. මේරටේ තියෙන අර්බුදයත් එක්ක ඒ දක්ෂයන්ගෙන් වැඩක් වෙයිද කියලා කියන්න බැහැ..

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන සිහිකළොත්....?

දැනට නම් මේ ‘අවාළු පැහැ වලාකුළක්’ රූගතකිරීම් අවසන් කර ප්‍රදර්ශනය කරගැනීම තමයි අරමුණ. ඕස්ට්‍රේලියාවේ රූගත කරන චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. එහි තිරපිටපත ප්‍රියංකර රත්නායකගේ. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය එන්න තියෙනවා. එහි සංස්කරණය මගේ

 

 

[email protected]