ආදරයේ අබිරහස සත්සරින් ගෙත්තම් කළ සංගීතවේදියා

ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ
ජූලි 13, 2023

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර රාශියක් ලබමින් තිරගත වේ. චිත්‍රපටයේ අප කාගේත් අවධානයට ලක්වන අංගයක් වූයේ එහි පසුබිම් සංගීතයයි. හැටේ දශකයේ සිනමාවේ පසුබිම් සංගීතය සේම එය වර්තමානය හා ගළපමින් නිර්මාණය වූ පසුබිම් සංගීතයෙන් මෙම චිත්‍රපටයේ අන්තර්ගතයට සුවිශේෂ සහයෝගයක් ලබා දෙමින් අධ්‍යක්ෂ ජයන්ත ගේ අභිප්‍රායන් ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන්නට මෙහි පසුබිම් සංගීතය දක්වනුයේ අති විශේෂ සහයෝගයකි. මේ මනරම් සංගීත නිර්මාණයේ හිමිකරු වන්නේ මෙරට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වන නවරත්න ගමගේය. චිත්‍රපට පසුබිම් සංගීතයේ සුවිශේෂී වෙනසක් කළ සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් නවරත්න ගමගේ මෙරට නමක් දිනා ගන්නේ මීට කලකට ඉහත ඔහු විසින් සංගීතය නිර්මාණය කරන ලද ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටය නිසාය. එවැනිම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔහු මෙදා ‘මිදුණු විශ්වය’ වෙනුවෙන් සංගීතය නිර්මාණය කරයි. මෙවර අපගේ කතා බහ යොමුවූයේ ‘මිදුණු විශ්වයේ’ සංගීත අධ්‍යක්ෂ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ සමඟය.

‘මිදුණු විශ්වයේ සංගීත නිර්මාණය ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම මිදුණු විශ්වයේ සංගීත නිර්මාණය මට දැනුණේ අභියෝගයක් හැටියට තමයි. මේ චිත්‍රපටයේ 60 දශකයේ සංගීතය වගේම වර්තමානයේ සංගීත භාවිතාවත් ප්‍රයෝජනයට ගැනෙනවා. 60 දශකයේ සංගීතවේදීන් භාවිතා කළ සංගීතය හරි විශාලයි. අදහස් අතින් , පද රචනා අතින් වගේම ගැයුම් වැයුම් අතින් ද ඒ සංගීතය හරි විශාලයි. වර්තමානය සමඟ ඒක සම්බන්ධ කරනකොට ඒ බරසාරකම ඒ විදියටම තියෙන්න ඕන කියන එක මම අවබෝධ කරගෙන හිටියා. මේ චිත්‍රපටයේ ගීත සඳහා අපි ගායක ගායිකාවන් කිප දෙනක් සම්බන්ධ කර ගත්තා. ජයන්ත චන්ද්‍රසිරි ලිව්ව ගීතය ගායනා කිරිම සඳහා අපි තෝරා ගත්තේ ලෙස්ලි තෝමස්ව. ජයන්ත ගේ බිරිය ලිව්ව ගීතය ගායනා කිරීම සඳහා අපි තෝර ගත්තේ කුෂානි සඳරේඛාව. ඊට අමතරව අපි දමිතා අබේරත්නත් මෙහි ගායනය සඳහා තෝරා ගත්තා. ලෙස්ලි වෙනුවෙන් ජයන්ත පුදුම නිර්ලෝභී කමකින් ඒ අවස්ථාව ප්‍රධානය කළා. ඒ වගේම ඔහු කුෂානි සඳරේඛා පිළිබඳත් හොඳ අවබෝධයකින් හිටියා. ඇගේ හඬ පරාසය වගේම ඇගේ මව්පිය පාර්ශ්වයෙන් ලැබුණු දේවල් මෙන්ම ඈ තුළ තිබුණු දක්ෂතාවයන් ගැන දැනගෙන හිටියා. ඒ නිසා ඔහු ඇයව මේ ගීත ගායනයට යෝජනා කළා. අනෙක් විශේෂම කෙනා තමයි දමිතා. ඇය මෙහි ගායනයට තෝරා ගැනීම ගැන මමත් පුදුමයට පත් වුණා.

මම හඬක් පිළිබඳ හොයමින් ඉන්නකොට තමයි මය ලෙස්ලි තෝමස් ගේ හඬ සිහියට එන්නේ. මිට ප්‍රථම මම ඔහුට ගීත කීපයක් නිර්මාණය කරලා තිබුණා. මුලින්ම මට මතකයට ආවේ මොරිස් විජේසිංහගේ වැනි කටහඬක්. ලෙස්ලි ගේ හඬ ජයන්ත ඉහළින්ම අගය කළා. ඊට පස්සේ මම උමාරියා සිංහවංශගේ හඬ මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සඳහා යොදා ගත්තා. බොහෝ වෙලාවට රාජිනි පෙනී සිටින දර්ශන සඳහා පාවිච්චි කළේ ඒ හඬ. ඒ වගේම ජයන්ත ගේ අදහසක් තිබුණා බටහිර සංගීතයේ එන සිම්ෆනි කියන සම්ප්‍රදාය මේ චිත්‍රපටය සඳහා යොදා ගන්න. ඒ අතීතය සහ වර්තමානය යන දෙක කාලය හරහා එක්තැන් වන තැනදි ඒ හඬ යොදා ගන්න. මේ කියන කාරණා එක්තැන් කරගෙන තමයි මිදුණු විශ්වයේ සංගීත නිර්මාණයට මම අතගහන්නේ.

 

ඔබට මෙහි සංගීත අධ්‍යක්ෂණය බාර වෙන්නේ කොහොමද?

ජයන්ත කොයි තරම් නිර්මාණ කරලා තිබුණත් මින් පෙර ඔහුගේ නිර්මාණයකට සංගීතය නිර්මාණය කරන්න මේ වන තෙක් මට අවස්ථාවක් හිමිවෙලා තිබුණේ නෑ. මිට ඉස්සර ඔහුත් සමඟ ගීත කීපයක් කරලා තිබුණා. ඊට අමතරව බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් මමයි ජයන්තයි , චන්න විජේවර්ධනයි එකතු වෙලා ‘ බුදුන් දැකිම‘ කියලා බැලේ එකක් කරලා තිබුණා. මේ බැලේ එකේදි තමයි ඔහු මට මුලින්ම හමුවෙන්නේ. දවසක් ඔහු මට මුණ ගැහෙනවා ලයනල් වෙන්ට් එකේ නාට්‍යයක් බලන්න ඇවිත් ඉන්නකොට. එදා ඔහු මට කියනා අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා . අපි පස්සේ හම්බවෙලා කතා කරමු කියලා. ඊට පස්සේ නාට්‍ය ඉවරවෙලා අපි දෙන්නානිකත් කතා කර කර ඉන්නකොට මම නිකමට වගේ කිව්වා රුක්මණි දේවි සහ නෙවිල් ප්‍රනාන්දු ගේ සංගීත භාවිතාව ගැන. ජයන්ත ඒ මොහොතේ පුදුමයෙන් වගේ කිව්වා ‘උඹ මාරයිනේ මචං මම ඔය සම්බන්ධයෙන් තමයි චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බොහොමයක් වැඩ කරලා ඉවරයි කියලා. ඊට පස්සේ ඔහු දුරකතනයෙන් කතා කරලා ගෙදරට එන්න කියලා අපි සාකච්ඡා වට කිහිපයක්ම කළා. අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි අපි මේ චිත්‍රපටයේ ගීත හදන්න පටන් ගත්තේ. ගීත ඔක්කොම හැදුවේ ජයන්තලාගේ ගෙදරදි.

 

60 දශකයේ සිනමා සංගීතය ඔබ මේ චිත්‍රපටයේ යළි ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවා. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. ජයන්ත මට කීවා 60 දශකයේ සිනමා සංගීතයේ ගීත කිහිපයකුත් මේකට ගන්න ඕන කියලා. ඒ සඳහා චිත්‍රපටයේ අවස්ථාවට ගැළපෙන ගීත පදරචනය කළෙත් ජයන්ත විසින්මයි. හැබැයි අර අපි අහලා තියෙන ගීතවල බරම මේ ගීත වලිනුත් ඇහෙන්න ඕන කියලා ඔහු එකහෙළාම කිව්වා. ඒක ගන්න එක ලේසි පහසු කාර්යයක් නොවෙයි. අද තාක්ෂණය කොච්චර දියුණු වුණත් එදා අපිට හිටිය අති දක්ෂ වාදක කණ්ඩායම් සමඟ පණ පිහිටවූ ඒ ගීත ඒ ආකාරයෙන්ම පණ පිහිටුවන්න අපිට ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා. මේ සඳහා ලංකාවේ සිටන අති දක්ෂ වාද්‍ය වෘන්දයක් අපි යොදා ගත්තා. එහෙම තමයි ඒ ගීත අපි පටිගත කළේ. මේ වචනවලට අදාළ තනුව දාන එක අපි දෙන්නටම අමාරු කාර්යයක් වුණා. මේ ගීත මිනිස්සු අහලා තියෙන, මිනිස්සුන්ගේ හදවතේ තිබෙන ගීත. වෙනස්කමක් වුණොත් ඒක මිනිස්සුන්ට විශාලව දැනෙනවා. එහෙම නොවෙන්න මේ ගීත කරන්න ඕනකම අපිට තිබුණා. එදා තිබුණ ධ්වනිය අද භාවිතා කරන වචන තුළින් ආවේ නැත්නම් අපි අසාර්ථක වෙනවා කියන බය මා තුළ තිබුණා.

 

ඔබ කියන්නේ වෙනත් චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට වඩා ‘මිදුණු විශ්වය’ සංගීත අධ්‍යක්ෂණය ඔබට වෙහෙසකර වුණා කියලද?

ඇත්තටම ඔව්. මොකද මේක කාලවකවානු දෙකක දිවෙන චිත්‍රපටයක්. එදා සිනමාවේ වර්ණවත් බව, ඒ සංගීතයේ ධ්වනිය පණ පිහිටුවා සංගීතය තුළින් ගන්නත් ඕන. ඒ සංගීතයට යාවුණු ජිවරාණි, සන්ධ්‍යා කුමාරි වැනි රසිකයන්ගේ හිතේ මැවුණු රූපයට වෙනස් නොවී උදාරි වැනි තරුණ නිළියකගේ රූපණය ඉස්මතු වෙන ආකාරයෙන් පසුබිම් සංගීතය නිර්මාණය කරන්නත් ඕන. චිත්‍රපටයේ ඒ කොටස නිර්මාණය කරන්න තමයි මම හිතන්නේ මම වැඩිපුරම වෙහෙස ගත්තේ. කොහොම වුණත් චිත්‍රපටයේ ගීත ටික නිර්මාණය කරලා, පසුබිම් සංගීතය නිර්මාණය කරලා, චිත්‍රපටයේ සංස්කරණ කටයුතු වෙනකොට දවසක් ජයන්ත හමුවෙලා මට මෙහෙම කිව්වා. ‘ උඹ මචං මේක ටච් කර ගත්තනේ’ කියලා ඉතින් එතකොට මට හිතුණා ඔහුගේ හිතේ මැවුණු රූපයට සරිලන සංගීතයක් මම ඔහුට නිර්මාණය කරලා දීලා තියෙනවා කියලා. ජයන්ත මට චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය බාර දීලා කිව්වේ “ආදරයේ තිබෙන අබිරහස තමයි මට සංගීතයෙන් ඕන” කියලයි. ඒ වගේම ස්ත්‍රිය විශ්වය පුරා ආදරේ හොයාගෙන යන හඬ ඕන කියලයි. මට හිතෙනවා ඒ අභිරහස, ඒ හඬ මම නිර්මාණය කළා කියලා.

ජයන්ත චන්ද්‍රසිරි කිව්ව ඒ අබිරහස සොයන්න ඔබ පාවිච්චි කළේ මොනවද?

ඔහු මගෙන් ඔහුට අවශ්‍ය දේ ඉල්ලපු විදියට මම කැමැතියි. ඔහු ප්‍රකාශ කරපු දේ මම හරියට වටහා ගත්ත ඕන නේ. අපි ලෙස්ටර් පීරිස් ගත්තත්, ධර්මසිරි බණ්ඩාරනායක ගත්තත්, ධර්මසේන පතිරාජ වැන්නෝ ගත්තත් ඔවුන්ගේ සිනමාව සහ සංගීත අධ්‍යක්ෂවරයා කොයි තරම් ගැළපී තිබුණාද කියලා අත්දැකීමෙන්ම දන්නවානේ. ඒ වගේම ජයන්තගේ මේ පැහැදිලි කිරීම්වල තිබෙන විදිය හරි දියුණුයි. එතැන බොරුවක්, මැවීමක් නෑ, හරියට කියන්න ඕන දේ පොයින්ට් එකට කියනවා. එතකොට ඉබේම අපට පහළ වෙනවා ඒකට ඕන කරන හඬක්.උදාහරණයකට ගත්තොත් දෛවය නොවේ සින්දුව මුලින්ම මම හැදුවේ සෑම කෙනෙක්ම ඒකට ඇද බැඳ ගන්න ආකාරයෙන්. ඒක හදලා ජයන්තට අහන්න දුන්නම ඔහු කෙළින්ම මට කිව්වේ මේක හරි නැහැ කියලා. මට එකපාරටම තරහකුත් ඇතිවුණා. මෙච්චර මහන්සියෙන් හදපු එක කියලා. නමුත් මම ආයෙත් ඒක හදමු කියලා පියානෝ එක අරගෙන ආයෙත් හැදුවා. ඒක අහලා ජයන්ත කිව්වා මේක හරියටම හරි කියලා. ඊට පස්සේ ජයන්ත කිව්වා “මචං මේ සින්දුව චිත්‍රපටයට අලවලා තියෙන්නේ කියලා.”

 

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගණනාවක් සමඟ වැඩ කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි සමඟ වැඩ කිරිම පහසුද?

ඔහුගේ ප්‍රකාශන විදියට මම හරි කැමැතියි. ඔහුට උවමනා දේ ඉල්ලන විදිහටත් මම කැමැතියි. මේ චිත්‍රපටයට ඔහු මගෙන් ඉල්ලුවේ ආදරයේ අබිරහස දනවන සංගීතයක්. ආදරය පිළිබඳ ඕන තරම් ගීත නිර්මාණ සහ පසුබිම් සංගීත නිර්මාණ මම කරලා තිබෙනවා. ඒත් ආදරයේ අබිරහස හොයන්න මම සෑහෙන්න මහන්සි වුණා. එක පැත්තකින් ඒක මට හොඳ අභ්‍යාසයකුත් වුණා. මේ චිත්‍රපටය තල දෙකක දිවෙන කතාවක්. ඒක එක තලයකට ගේනකොට සංයෝජනය හරි අමාරුයි. ඒකට මම මුහුණ දුන්නා. කැප වුණා. චිත්‍රපටය බලනකොට විශාල සතුටක් දැනෙනවා. උදාරිත් ඒ සඳහා ලොකු සහයෝගයක් දුන්නා. මොකද ඇය පියානෝ වාදනය කරන්න හරියට පුහුණු වුණා. පියානෝ වාදනයේදි ඒ ඇඟිලි හරියට ආවේ නැත්නම් ඒ ගීතයේ ෆීලින් හරියට ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නෑ.

 

අපිට මතකයි ඔබ චිත්‍රපට සංගිතය තුළ යෞවනත්වයේ ආදරණිය බව ‘ආදරණිය වස්සානය’ චිත්‍රපටය තුළින් නිර්මාණය කරපු හැටි. මිදුණු විශ්වයෙනුත් ඔබ නිර්මාණය කරන්නේ ආදරයම තමයි. ඒත් මේ දෙක එකකට එකක් වෙනස්?

ඔව් . මගේ සිනමා ජිවිතයේ මේ චිත්‍රපට දෙකම එක්තරා සන්ධිස්ථාන දෙකක්. සෙනේෂ් මගෙන් ඉල්ලුවේ යෞවන ආදරයේ සුන්දරත්වය. ජයන්ත මගෙන් ඉල්ලුවේ ආදරයේ අබිරහස. එකම ආදරය විවිධ විදියට මම දුන්නා කියලා තමයි හිතෙන්නේ. කොහොම වුණත් එදා ආදරණිය වස්සානය මගේ සිනමා ජිවිතයේ සන්ධිස්ථානයක් වුණා වගේම මෙදා ‘මිදුණු විශ්වයත්’ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්.

 

අලුත් නිර්මාණ කටයුතු මොනවද?

පසුගිය කාලයේ සනත් ගුණතිලකගේ අලුත්ම සිනමා පටය ‘ගඟුලක ගිනියම’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළා. සුදත් දේවප්‍රිය ගේ චිත්‍රපටයකත් සංගීතය නිර්මාණය කළා. මිදුණු විශ්වයෙන් පසුව ජයන්තගේ ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයේ සංගීතයත් මම නිර්මාණය කළා.

 

සිනමා සංගීතය තුළ ඔබ වෙනස් මඟක ගිය කෙනෙක්. ලංකාවේ සිනමාව තුළ ඒ වෙනස කරන්න ඔබට පුර්වාදර්ශ වුණේ මොනවාද?

බොහෝ දුරට මට වාසනාව ලැබුණා සෘජුවම නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්න. සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, ලෝමහංස, පේමතෝ ජායති සෝකෝ, මහාසාර කියන නාට්‍යවල මම ගායකයෙක් හැටියට අවුරුදු 7ක් කටයුතු කළා. සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍යවල වැඩ කළා. ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය 5ක සංගීත අධ්‍යක්ෂණය කළා. ඉතින් මේ තුළ තිබුණේ පර්යේෂණාත්මක හැදෑරිල්ලක්. ඒ වගේම ටෙලිනාට්‍ය කලාව තුළත් මට අවස්ථාව ලැබුණා සුදත් රෝහණයන්ගේ සිට ටිකිරි රත්නායක, චන්ද්‍රරත්න මාපිටිගම, අනුරුද්ධ ජයසිංහ වැනි නිර්මාණකරුවෝ සමඟ වැඩ කරන්න. මේ වැඩ කිරීම තුළම මට සිනමා සංගීතය අඳුරගන්න අවස්ථාව ලැබුණා.

 

ලාංකේය සිනමා සංගීතයේ අනාගතය කොහොම වෙයිද?

අනාගතය ඉතාම සතුටුදායක වෙයි. දිනේෂ් සුබසිංහ වැන්නෝ අපූරු නිර්මාණ කරමින් යනවා දකිනවා. නදීක ගුරුගේ වැනි පර්යේෂණාත්මක නිර්මාණකරුවෝ අපට ඉන්නවා. මේ තරුණ නිර්මාණකරුවෝ අපේ සිනමාවේ අනාගතය පෝෂණය කරයි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]