වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ගුත්තිල සංගීතවත් කරන්න මට තිබුණු එකම සුදුසුකම බුදුන් කෙරෙහි උපන් අප්‍රමාණ ශ්‍රද්ධාව

බෝහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවල ‘ගුත්තිල’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. මේ චිත්‍රපටයේ සුවිශේෂීම කාරණාව වෙන්නේ එය සංගීතමය චිත්‍රපටයක් විම. ගුත්තිල සහ මූසිල අතර වන වීණා වාදන තරගය නිසා මෙහි පදනම සකස් වනුයේ සංගීතය පදනම් කොට ගෙනයි. මෙකී සංගීතයේ අරුමය ලාංකික ප්‍රේක්ෂක ඔබ සැමට විඳීන්නට අපූර්ව ආකාරයෙන් නිර්මාණය කරනුයේ මෙරට ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් සුබසිංහයි.
දිනේෂ් මෙරට සංගීත ලෝකයට අමුත්තකු නොවන්නේ ඔහු දශක කිහිපයක් පුරා වාදන ශිල්පියකු ලෙසින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ විවිධ ඇසූ පිරු තැන් වලට හිමිකම් කියූ නිසයි. සතතාභ්‍යාසයෙන් සහ උත්පත්තියෙන් හිමිකරගත් දක්ෂතා සේම කාලාන්තරයක් පුරා තමන් වඩවා ගන්නා ලද සංගීත ඥානය ඔහු භාවනාවක් කොට ගනිමින් ගුත්තිල හි සංගීත නිර්මාණය කර ඇති අපූරුව මේ දිනවල චිත්‍රපටය නරඹන බොහෝ ප්‍රේක්ෂකයන් හට තේරුම් යනු ඇත.
මෙවර අපගේ කතා බහ යොමු වන්නේ ගුත්තිල වෙනුවෙන් සංගීතය නිර්මාණය කළ දිනේෂ් සුබසිංහ සමඟය. ඒ වෙනුවෙන් ඔහු කළ අප්‍රමාණ කැප කිරීම් සහ එහි අත්දැකීම් පිළිබඳයි මේ කතා බහ.
දිනේෂ්, ඇත්තටම ඔබට ‘ගුත්තිල’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අභියෝගයක් වුණාද?
ඔය ප්‍රශ්නය මගෙන් 2011 ට වගේ පෙර කාලයකදි ඇසුවා නම් මම කියයි ඔව් ඒක මට අභියෝගයක් වුණා කියලා. මගේ චරිතය දිහා 2011ට පෙර කාලයේදි බැලුවා නම්, ඒ කාලයේ මම ක්ෂේත්‍රය සමඟ තරග කළ කෙනෙක්. ඒ කාලයේ මට ගුත්තිල සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණා නම් මේ ක්ෂේත්‍රයේ හැමෝමත් එක්ක මම තරග කරනවා. නමුත් 2011න් පස්සේ මම දැනට අවුරුදු දස දහස් ගණනකට ඉස්සර ඉන්දියාවේ සෘෂිවරුන් පිරිසක් විසින් පුරුදු පුහුණු කරපු ක්‍රමවේදයක් පුරුදු පුහුණු වෙන්න පටන් ගත්තා. මේ පුහුණුවත් එක්ක මගේ ජිවිතය, මගේ සිතුවිලි, මගේ ආධ්‍යාත්මික ශක්තිය, මම හිතන පතන විදිය ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ප්‍රැක්ටිස් කිරිල්ලත් එක්ක මගේ යටිසිත පිරිසිදු කරන්න පටන් ගත්තා. මේ අභ්‍යාසයන් සමඟ මට ගුත්තිල චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම අභියෝගයක් වුණේ නෑ. එතකොට මට කා සමඟවත් තරගයක් නෑ. මේ කාලය වනවිට බෝධිසත්වයන් වහන්සේ කවුද කියන එක මගේ හිතේ ගැඹුරින් සටහන් වෙලා තිබුණා. ඒ වගේම ගැඹුරු ශ්‍රද්ධාවකින් බෝධි සත්වයන් වහන්සේ මා තුළ ජිවත් වෙමින් හිටියා.
බෝධි සත්වයන් කෙරෙහි මේ වගේ ගැඹුරු ශ්‍රද්ධාවක් ඇතිවෙන්න, සහ ඔබේ හිත මෙවැනි තත්ත්වයකට රැගෙන යන්න ඔබට මාර්ගය පෑදුණේ කොහොමද?
මම උත්පත්ති කතෝලිකයෙක් වුණාට පුංචිකාලේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේ කෙරේ ඇල්මක් තිබිලා තියෙනවා. මට මතකයි අපේ අම්මලා කියනවා මම නුවර ගියාම දළදා මාළිගාවට මලක් පූජා කරලා මිසක් කවදාවත් එන්නෙ නෑ කියලා. මට පුංචි කාලේ ඉඳලම බුදුන් කෙරෙහි ගැඹුරු ශ්‍රද්ධාවක් තිබුණා. මම හිතන්නේ ඒක මට උත්පත්තියෙන්ම ආපු දෙයක්.
මගේ ජීවිතේ තවත් එක් අවස්ථාවක දළදා මන්දිරය අභියස දි ලොකු අගය කිරීමක් ලැබුණා මට මතකයි. ඒ ස්වර්ණවාහිනි නාළිකාව කරපු ‘සාදු නාද’ වැඩසටහනේදි විශාරද නන්දා මාලිනිය මට ආරාධනා කළ නැගිටලා ඉදිරියට එන්න කියලා. 2008 දි තමයි මට මේ ඇගැයීම ලැබුණේ . බුද්ධාලම්බන ප්‍රීතිය හොඳටම තිබුණ දවසක දළදා වහන්සේ ඉදිරිපිටදි එවන් ඇගැයීමක් ලැබීමත් එක්තරා අන්දමක වාසනාවක්. කොහොම වුණත් පොඩි කාලේ ඉඳලම බුදුන් වහන්සේ කෙරෙහි මට තිබෙන භක්තිය, ශ්‍රද්ධාව මට හිතෙන්නේ පෙර ජන්මෙක ඉඳන් මට ලැබුණු ආශිර්වාදයක් විදියට. ගුත්තිල සංගීතවත් කරත්දී මට දැනුණා ගුත්තිල පඬිතුමා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේට කියන එක. එතුමන්ගේ හීන තමයි මම හැබෑ කරන්නේ. කොහොමත් මම වෙන කෙනකුගේ හීන හැබෑ කරන්න නිතරම උදව් කරන කෙනෙක්. සිහිනයකට යන කෙනෙකුට ඒ හීන දකින්න තල්ලුවක් දෙන්න මට ඕන. මගේ ජීවිතේ ඒ වගේ දේවල් කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අද ලංකාවේ සුපර් ස්ටාර්ලා වෙලා ඉන්න හුඟාක් දෙනාට මම ඒ විදියට උදව් කරලා තියෙනවා ඔවුන්ගේ හීනෙට ළඟා වෙන්න. මගේ ජීවිතේ ආපහු හැරිලා බලත්දි වචනයකින්වත් මම කෙනෙකුට අහිතක් කරපු කෙනෙක් නොවෙයි.
ඔබ උපතින් කතෝලිකයෙක්. පල්ලියේ ආභාසය ඔබගේ සංගීත දිවියට වැදගත් වුණේ කොහොමද?
පල්ලියේ ආභාසය මට පුදුම තරම් වාසියක් වුණා. පල්ලියේ අස්සේ අහපු සංගීතයට බුදු දහම මිශ්‍ර වුණාම මේ චිත්‍රපටයට අපූරු රසයක් ගේන්න පුළුවන් වුණා. ඇත්තටම ලංකාවේ මතයක් තියෙනවා බොදු -කතෝලික ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑ. මම ඉන්න මීගමුව කියන නගරය පුදුම සංස්කෘතික නගරයක්. වැඩිපුර කතෝලිකයෝ ඉන්නේ. කතෝලික පල්ලිවල පෙරහැර යනකොට පන්සලේ හාමුදුරුවෝ ගිලන්පස දෙනවා. මේවා ඇස් පනාපිට අපි පොඩිකාලේ ඉඳලා දැකපු දේවල්. කටුවපිටිය පල්ලියට බෝම්බ ගහපු වෙලාවේ ඉස්සරලම පල්ලියට ආවේ අඟුරුකාරමුල්ල පන්සලේ හාමුදුරුවෝ. අපේ නගරය මුස්ලිම්, කතෝලික, දෙමළ, බෞද්ධ ඔක්කොම ඉන්න නගරයක්. විවිධ පුද්ගලයෝ එහෙම ප්‍රශ්න හදන්න හැදුවට ජනතාව අතර එහෙම ප්‍රශ්න නෑ. මේ සේරම අතරේ මගේ පපුව අස්සේ තිබුණේ කලාව කරන ශ්‍රද්ධාවක්. ගුත්තිල කරන්න මට තිබුණු එකම සුදුසු කම වුණේ මම දන්න සංගීතය නෙමෙයි. කෙනෙකුට කියන්න පුළුවන් මෙයා කේමදාස මාස්ටර් ළඟ අවුරුදු අටක් හිටියා. රෝහණ වීරසිංහයන් සමඟ වැඩ කරලා තියෙනවා කියලා. චන්න පෙරේරාගේ ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටයේ ආචාර්ය රෝහණ වීරසිංහයන් පසුබිම් සංගීතය නිර්මාණය කරත්දි එහි ගීත ටික නිර්මාණය කළේ මම. මේ වගේ අත්දැකීම් මට තියෙනවා කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන්. නමුත් මේක නෙමෙයි මට ගුත්තිල කරන්න තිබුණු සුදුසුකම.
ගුත්තිල සංගීතවත් කරන්න මට තිබුණු එකම සුදුසුකම වෙන්නේ මා තුළ බුදුන්ට තිබුණු ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාවත් එක්ක මට ආව මාර දෙයක්.
නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. නරඹපු බොහෝ පිරිසක් කිවිවේ රූ රැසේ ගීතය අහත්දි කඳුළු ආවා කියලයි. ඇත්තටම ඒ ගීතය නිර්මාණය කරත්දි මගේ ආධ්‍යාත්මික ගුරුවරයා ගෙන් ලොකු උදව් ටිකක් ලැබුණා. ජ්‍යෝතිෂ වෙලාවල් ගත්තා. ඇත්තටම මේ කතාව තුළ මූසිල තමන්ගේ තරුණ ජවයෙන්, ශක්තියෙන් තමන්ට උගන්වපු ගුරුවරයා පරද්දනවා. එතකොට අර ගුරුවරයා වයෝවෘද්ධයි. මම සංගීතඥයෙක් නිසා කාරණාව මට හොඳීන් දැනුණා. මම තරුණ කාලෙදි මට උගන්වපු තාත්තා ඒ සමාන ගුරුවරයා ට වඩා මම හොඳීන් වාදනය කළා කියලා මම ගුරුවරයාට වඩා උසස් වෙන්නේ නෑනේ. මට මේ සිද්ධිය දකිද්දි ඇත්තටම මට මාව පේනවා. කොහොම වුණත් මේ ගීතය මේ තරම් සංවේදිව දැනෙන්න මම ප්‍රැක්ටිස් කරපු ආධ්‍යාත්මික ක්‍රමවේදය, වෙලාවල්, මතක් කර දුන්න සමහර දේවල්, ඒ වෙනුවෙන් පේ වුණ අවස්ථා මේ සේරම බලපාන්න ඇති කියලා මට හිතෙනවා.
ඔබේ ආධ්‍යාත්මික ගුරුවරයා කොහොම කෙනෙක්ද?
එතුමා සංගීතඥයෙක් නොවෙයි. ආධ්‍යාත්මික ගුරුවරයෙක්. සාමානය පෘථග්ජන ලෝකයේ ඉන්න කෙනෙක්. අපේ මිනිස්සු අතර සිය ගණනක් ශාස්තෘවරුන් වෙන්න පුළුවන් පින් ශක්තිය ඇති අය මේ සමාජය තුළම ඉන්න පුළුවන්. අපට එයාලව අහුවෙන්නේ නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ. මට එහෙම කෙනෙක් අහුවෙන්න වාසනාවක් තිබිලා තියෙනවා. මම ආධ්‍යාත්මික වශයෙන් මගේ ශරිරයට ගත්ත ඒ ශක්තියම ශ්‍රද්ධාවෙන් ශබ්දාගාරයට ගිහින් අතහැරියා. ඒක හරියටම හරි ගියා. බෝධිසත්වයන්ට ලැබෙන්න ගිය අපහාසයට ගෞරවාන්විත ජයග්‍රහණයක් ලැබුණා කියලා හිතෙනවා. ඒක ඇතුළේ බුද්ධාලම්බන ප්‍රීතිය නිර්මාණය වුණා. නමුත් මේක මම කරපු මාර වැඩක් කියලා මමත්වයෙන් ගන්න මට ඕන කමක් නෑ.
ගුත්තිලට සංගීතය නිර්මාණය කරන්න කොච්චර කාලයක් ගියාද?
මට දවස් 81ක් ගියා මේ චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්න. වීණාව විතරක් මම පැය 280ක් ගැහුවා. ඒ කියන්නේ මිනිස් කාලයෙන් දින 12ක් විතර. වීණාව කියන වාද්‍ය භාණ්ඩයත් අපි මෙහිදි යොදා ගත්තේ විවිධ පර්යේෂණ කරලා. දැනට වීණාව කියලා අපිට දකින්න තිබෙන වාද්‍ය භාණ්ඩය වෙන්නේ දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීතයේ එන වීණාව. ඒක තමයි අපිට ඉතිරිවෙලා තියෙන වීණාව කියන භාණ්ඩයට අපිට තිබෙන සංකේතය. නැතිනම් සියලු තත් වාද්‍යභාණ්ඩවලට කියන පොදු නම වෙන්නේ වීණා. දිල්රුබා, එස්රාජ්, සිතාර්, රාවණ වීණා, රුද්‍ර වීණා, සරස්වති වීණා, තාම්පුරා, මැදපෙරදිග තිබෙන රුබාබ් වගේ දේවල් ඔක්කොම විණා පවුලට අයිතියි. ඒ කියන්නේ ඒක පොදු නමක්. හැබැයි අපට අදවනවිට ඉතුරු වෙලා තියෙන්නේ වීණාව කියන අර දකුණු ඉන්දිය භාණ්ඩය විතරයි. ඒ නිසා චිත්‍රපටයට ඒක ගහලා වැඩක් නෑ. ගුත්තිල ජීවත් වුණු කාලය අපට නිර්ණය කරන්නත් අමාරුයි. සමහර විට මේ පොළොවේ නොවෙන්නත් පුළුවන්.
ඔබ මෙම වාද්‍ය භාණ්ඩ පිළිබඳ පර්යේෂණය කළේ චිත්‍රපටය උදෙසාමද?
මම තත් වාද්‍ය භාණ්ඩ වාදකයෙක්නේ. මගේ මුළු ජීවිතේම යන්නේ ඒකෙන්. මම ජීවිත කාලය පුරා ටිකෙන් ටික හොයපු දේවල් මේ සඳහා මට වාසි වුණා. අමිත්ත වීරසිංහත් මට ගොඩක් දේවල් හොයන්න උදව් වුණා. බුද්ධ දේශනයේ තැන් 6ක විතර වීණාව ගැන සදහන් වෙනවා. ඒ වගේම ජාතක කතා තුනක විතරත් ඒ ගැන සඳහන් වෙනවා. මේ ගැන රිසර්ච් කළාට හැඩයක් හොයන්න අමාරුයි. නමුත් ත්‍රිපිටකයේ තියෙනවා පන්සිළු ගේ වීණාවට බේලුව පණ්ඩු වීණාව කියලා. ඒ යුගයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරත්දි රහතන් වහන්සේලා ඉදලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා ඇත්ත වෙන්න පුළුවන්.
ඔබේ ජීවිතේ චිත්‍රපට සංගීතයේ මුලාරම්භයට ගියොත් අක්මුල් කොතැන වෙයි කියලද ඔබ හිතන්නේ.?
චිත්‍රපට සංගීතය පැත්තෙන් මගේ ජීවිතේ ගැන හිතුවොත් කේමදාසයන් සුවිශේෂ ලකුණක්. එතුමන් ළඟ මම අවුරුදු 8ක් හිටියා. චිත්‍රපටකරුවාගේ සහ චිත්‍රපට සංගීතකරුවාගේ හැසිරීම කොයිවගේද කියනවා නම් එයා හැම වෙලාවෙම කිව්වේ සිනමාකරුවාට පිටපතක් තියෙනවා වගේම, දර්ශන ඔළුවේ තියෙනවා වගේම සංගීතයත් හිත ඇතුළෙ තියෙනවා කියලා. මොකද මගෙන් හෝ ගාණ පොකුණ සඳහා ඉන්දික ෆර්ඩිනැන්ඩු අරගත්තේ ඔහුගේ හදවතේ තිබුණු ශබ්දය. මගෙන් සන්ත අබේසේකර ගත්තෙත් ඔහුගේ හදවතේ තිබුණු ශබ්දය. මට හිතෙනවා සිනමාකරුවාගේත් පැහැදිලි බලපෑමක් තියෙනවා සංගීතඥයාගෙන් තමාගේ කෘතියට, ඔහු හදන රූපවලට සරිලන සංගීතයක් ගන්න. මේ දෙන්න එක්කම වැඩ කරත්දි මට ඒක තේරුණා.
අනිත් පැත්තෙන් අපි අහපු කියපු අපට දැනුණු සංගීතය අපේ හදවතේ නිධන් ගත වෙලා තියෙනවා. නවරත්න ගමගේගේ ආදරණිය වස්සානය වගේ ගීතයක්, රෝහණ වීරසිංහගේ සුවඳ දැනි දැනෙනවා වැනි ගීතයක් ගත්තත් මගේ හදවතේ පැළ පදියම් වුණු දේවල් තියෙනවා. මම සංගීත අධ්‍යක්ෂවරයකු විදියට චිත්‍රපට 17ක වැඩ කරලා තියෙනවා. ඉන් නවයක් තිරගත වුණා. තව 8ක් එන්න තියෙනවා. නමුත් මම වාදකයෙක් විදියට ගත්තොත් චිත්‍රපට 58ක වැඩ කරලා තියෙනවා. මගේ 17ට අමතරව චිත්‍රපට 41 වාදකයෙක් විදියට වැඩ කරලා තියෙනවා. මේ ටිකට ඉන්දියන් චිත්‍රපට පහකුත් අයිතියි. පහුගිය දිනවල තිරගතවුණු චන්න පෙරේරාගේ යුගාත්‍රා චිත්‍රපටයෙත් සංගීත අධ්‍යයක්ෂවරයා වුණේ මම. ඉදිරියේදි සරත් වීරසේකරගේ ‘ශ්‍රී සිද්ධා, ප්‍රසාද් සමරතුංග ගේ ‘තාත්තා’ සහ ග්‍රේස් ආරිය විමල්ගේ ‘අම්මා’ කියන චිත්‍රපට තිර ගත වෙන්න තිබෙනවා.
ලංකාවේ චිත්‍රපට සංගීතයේ අනාගතය ඔබ දකින්නේ කොහොමද?
තරගකාරි කැනකට යන්න වෙනවා. හැම කෙනෙකුගේම නිර්මාණයක්ම බොක්ස් ඔෆීස් වෙන්න ඕන. තවමත් ප්‍රේක්ෂකයන් සිනමාව අතහැරලා නෑ. හැම නිර්මාණකරුවෙක්ම එළියට බැහැලා මේ වෙනුවෙන් කතා කරන්න ඕන. නිර්මාණකරුවෝ විදියට එකතු වෙලා වැඩ කරන්න ඕන. අලුතින් කියවීමක් තිබෙන විශාල පිරිසත් බිහිවෙන්න ඕන. නිර්මාණකරණයේදි තරගකාරිත්වයක් ඇති වුණොත් එතැන හොඳ නිර්මාණ රාශියක් බිහිවෙයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු?
තව අවුරුදු දාහක් මට සංගීතය වයන්න ලැබේවා. නිර්මාණ කරන්න ලැබේවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න