වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
කලාකරුවකු වීමට ජීවිතයම කැප කළ යුතුයි

මම සිනමාවට සම්බන්ධ වෙන්න 1987,88 වගේ කාලයේ.ඒ සරසවිය පුවත්පත මූලික කරගෙනයි.ඇත්තටම මම නළුවෙක් වුණේ සරසවිය නිසායි. ඒ කාලයේ සරසවිය පත්තරයේ දාලා තිබුණා, මු. අරුක්ගොඩ මහත්තයාගෙ චිත්‍රපටයකට රංගන ශිල්පින් තෝරා ගන්නවයි කියලා. ඒ වෙලාවේ මම මු. අරුක්ගොඩ මහත්තයාගෙ නිවසට ගියා ඒ ලිපියත් රැගෙන. ඒ වෙලාවේ අරුක්ගොඩ මහත්තයා හරි අපූරු දෙයක් කිව්වා. එතුමා ඒ වෙලාවේ කිව්වේ ඒ වනවිටත් ඒ චිත්‍රපටයේ සෑම චරිතයකටම රංගන ශිල්පින් තෝරාගෙන ඉවරයි කියලයි.හැබැයි එතුමා ඒ වෙලාවේ මගේ හිස සිට දෙපතුල දක්වාත්, දෙපතුල සිට හිස දක්වාත් හොඳින් බැලුවා.
ඒ බලලා කිව්වා මට වෙලාසන ඔයාව මුණ ගැසුණා නම් හොඳ අවස්ථාක් දෙන්න තිබුණා. නමුත් ඔයාව හරවා යවන්නත් බැහැ.මොකද ඔයා මේ වගෙ දේකට ගැළපෙන කෙනෙක් හන්දා කියලා.
ඒ කතාවෙන් මට මා ගැන යම් ආත්ම විශ්වාසයක් ගොඩනැඟුණා. කොහොමහරි ඒ වෙලාවේ මූ. අරුක්ගොඩ මහත්තයාගෙ චිත්‍රපටයේ මට පුංචි චරිතයක් දුන්නා.
ඒ අවස්ථාව තමයි මගේ පටන් ගැන්ම වුණේ ඒ ගමනේදි යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස්, දිනේෂ් ප්‍රියසාද් වැනි බොහෝ නිර්මාණකරුවන් මට මුණ ගැහෙනවා. කොහොම වුණත් සිනමාව රූපවාහිනිය ආදී සියල්ල අතරින් මම වැඩියෙන්ම කැමති මාධ්‍යය තමයි වේදිකාව.
මොකද මම සිනමාවට පා තබන්නේ පාසල් වේදිකාවෙන්. වේදිකාවෙන් එන නළුවන් ලේසියෙන් වැටෙන්නේ නැහැ. මම රහසක් කිව්වත් කියන්න ඕන වේදිකාවේ කෙළවරට ඇහෙන්න. ඒක ලේසි නැහැ. ඒ විදිහෙ පසුබිමක් එක්ක ක්ෂේත්‍රයට ඇවිත් තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. එතැනදි කපිල සිගේරා කියන පුද්ගලයා කොතැනකට හරි ගිය විටදි කෙනෙකු “කොහොමද කපිල අයියේ” කියලා මා සමඟ කතා කරන තැනට පත්වීම තමයි මා ලද හොඳම සම්මානය කියා මා සිතන්නේ. මේ දිනවල නම් මම වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වී ඉන්නවා, එකක් ජයසේකර අපොන්සු මහතාගේ නාට්‍යයක්. අනික “පට්ට සෙට් එක බ්‍රෝ” කියන වේදිකා නාට්‍යය.
ඔබ වසර තිහකටත් අධික කාලයක් ක්ෂේත්‍රයේ රැඳි ඉන්න කෙනෙක්. මොන වගේ අදහසක්ද අද නිර්මාණ හා මේ ක්ෂේත්‍රය ගැන තිබෙන්නේ?
මම හැම මොහොතකම අපේ ජ්‍යෙෂ්ඨයන්ට ගොඩක් ගරු කරන කෙනෙක් ඔවුන්ට මගෙ ගෞරවය උපරිමයෙන්ම තියෙනවා. කලාකරුවකු වෙන්නම් අනිවාර්යයෙන් ජීවිතය කැප කළ යුතුයි කලාවට. අපි එසේ කළ නිසයි අද මේ විදිහට ඉන්නේ.
පිටපතක් අතට ලැබුණම පැය ගාණක් අපි ඒක කියවනවා. කපිල සිගේරා කියන නම හදාගන්න මම අවුරුදු ගානක් දුක්විඳින්න ඇති. ඒ වගේම මම වෙලාවට වැඩ කරන කෙනෙක් රැකියාව ගැන අවබෝධයෙන් කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඒ කාලේ අපි අපේ ජ්‍යෙෂ්ඨයන් සමඟ වැඩ කරද්දී පිටපතේ තියෙන දේවල් කලින් කතාවෙනවා. සාකච්ඡා කරනවා. හැමදේමට පෙර සූදානමක් ඇතිව ඇවිත් තමයි වැඩ කරන්නේ. ඒ කාලෙ පිටපතක් අතට ගත්තම අපට හරි ආසයි. අදටත් එහෙමයි.
ඔබ ඇසුරු කළ අපූරු නිර්මාණකරුවන් පිළිබඳත් කතා කරමු.
යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස්, මූ.අරුක්ගොඩ, වී සිවදාසන් ආදින් ගැන ගොඩක් සතුටින් කතා කරන්න පුළුවන්.
ඒ කාලෙ ප්‍රවීණ පුවත්පත්කලාවේදීන් සිය චිත්‍රපට විචාරවලදී ලියූ දේවල් ගැන මතක් කරද්දී ප්‍රවීණ විචාරක ගාමිණි වේරගම මහත්තයා කිව්වා මතකයි ඔහු එක් චිත්‍රපටයක් පිළිබඳ ලියූ විචාර ලිපියකදි, මල්ලි උඹ විතරයි මගෙන් බැනුම් ඇහැව්වෙ නැත්තෙ කියා. ඒ වගේ අපි ගොඩක් කැපවීමෙන් කටයුතු කළේ. අදටත් එහෙමයි. අද මේ ක්ෂේත්‍රයේ ඉන්න තරුණ පිරිස් ටිකක් වෙනස්. නමුත් මම හැමදාම කියන්නේ මේක උතුම් කලාවක්. අපිට එදත් අදත් මේ ක්ෂේත්‍රය කෙරේ විශාල ආදරයක්, ගෞරවයක් තියෙන්නේ. අපි හරියට දෙයක් කරන්න කැමතිනම් ඒ කැපවීම අවශ්‍යමයි. ක්‍රමයෙන් මේ ක්ෂේත්‍රයේ සිටින යහපත් මිනිසුන් අහිමි වෙමින් යනවා. ඒ ගැන ගොඩක් කනගාටුයි. සංගීත ක්ෂේත්‍රය ගත්තත්, වේදිකාව ගත්තත්, සිනමාව ගත්තත්, රූපවාහිනිය ගත්තත් මීට උදාහරණ දක්වන්න පුළුවන්.ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන්ට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ අය සතු ගුණයහපත්කම් ඉහළයි. ඉතින් අද දවසේ විය යුත්තේ ඒ වටිනාකම් හා පිළිවෙළ යළි හරියට සකසා ගන්න කටයුතු කිරීමයි. ඒක ඕනම ක්ෂේත්‍රයකට අදාළ දෙයක්. හොඳ නිර්මාණ බිහි කිරීමට නිර්මාණකරුවන් උත්සහ කරනවා හා සමානව මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයන්න වුවමනා අනිකුත් අංශත් මැනවින් ගොඩනඟා ගැනීමත් තමයි ඉතාමත් වැදගත් වන්නේ.
මේ දිනවල ඔබේ වැඩි අවධානයක් යොමුවී තිබෙන කටයුතු මොනවාද?
අනිච්චාවත සංඛාරා ටෙලි නාට්‍යය ලබන මාසයේ ජාතික රූපවාහිනි විකාශය වීමට නියමිතයි. එය සුරංග ලක්මාල්ගේ නිර්මාණයක්. ඊට අමතරව සතියේ දින පහේම රාත්‍රී 8.00 දෙරණ සංගීතේ ටෙලිනාට්‍ය විකාශය වනවා. ඊළඟට මෙරට විකාශය වන දීර්ඝතම ටෙලි නාට්‍යය (කෝපි කඩේ)තමයි මම එදා මෙදා වැඩිම කාලයක් සම්බන්ධ වී වැඩ කරන්නේ. එහි ෂෙල්ටන් මහත්තයාගේ චරිතයට(පොලී මුදලාලි ගේ පුතා) විශාල ජන අවධානයක් තියෙනවා.ඒ වගේම ආනන්ද පින්නවල අධ්‍යක්ෂණය කරන වීණා චිත්‍රපටයේ කටයුතුත් මේ මාසයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ අතරේ ආනන්ද පින්නවල අධ්‍යක්ෂවරයාගේම තවත් නිර්මාණයක් වූ රාස්ස අසපුව චිත්‍රපටයෙහි වැඩකටයුතුත් නිම වී තිබෙන අතර එය ප්‍රදර්ශනයට සූදානමින් තිබෙනවා..