ඩන්කන්ගේ සමස්තයටම මම ආකර්ෂණය වුණා

ප්‍රවීණ රංගවේදී බුද්ධික ජයරත්න
ජූලි 6, 2023

- සිනමාව විතරක් අම්බලමක් වෙලා
- චරිතය දැනෙන්නේ නැත්නම් මට ඒක කොහොමත් කරන්න බැහැ
- මා තුළත් ඩන්කන් කෙනෙක් ජීවත්වෙනවා
- ජයන්ත ඇතුළෙත් ඉන්නවා ලොකු රංගන ශිල්පියෙක්
- අධ්‍යක්ෂණය බැරෑරුම් දෙයක්
- දැන් නළුවරණයක් කියා දෙයකුත් නැහැ
- සංස්කෘතිකමය වශයෙන් අපි නන්නත්තාර වෙන්න හේතුවත් බහුතර ටෙලි නාට්‍ය 
- බොහෝ ටෙලි නාට්‍යවලට කිසිම ප්‍රමිතියක්, ජාතික ප්‍රතිපත්තියක් නැහැ

කෙළිලොල්, රස්තියාදු තාරුණ්‍යයේ දඟකාරයා, හිතුවක්කාරයා ඔහුය. දඟකාරත්වයත් සමඟ මුසුවූ එකිනෙකට වෙනස් චරිතයන්ගෙන් සිනමාවේත් පුංචිතිරයේත් අපට හමුවූ ඒ තරුණයා සිංහල සිනමාවට රෝස වසන්තයක් උදාකරමින් උදයකාන්ත වර්ණසූරියගේ ‘රෝස වසන්තේ’ සිනමාපටය තුළින් සිය දක්ෂතා කුලුඳුලේ අප ඇස් ඉදිරිපිට තැබීය. ඔහු නමින් බුද්ධික ජයරත්නය. අද වනවිට ඔහු සිනමාවේ ‘ඩන්කන් සිල්වා’ වී හමාරය. විශිෂ්ට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ සිනමා කෘතියේ ඩන්කන් සිල්වා ගැන මේ දිනවල ප්‍රේක්ෂක කතාබහට ලක්ව ඇත්තේ බුද්ධිකගේ විශිෂ්ට රංගනයේ තවත් සන්ධිස්ථානයක් සිනමා තිරය තුළ පතිත වන මේ මොහොතේය. බුද්ධික මෙවර සරසවිය හා එක්වූයේ ‘ඩන්කන් සිල්වා’ තමාට දැනුණු, හැඟුණු ආකාරය ගැනත් සිනමාවේ, ටෙලිනාට්‍ය කලාවේ සිය රංගන භාවිතය ගැනත් සංවාදයක යෙදීමේ අරමුණෙනි.

ඔබ සිනමාවට රෝස වසන්තය උදාකරමින් සිනමාවට පැමිණෙනවා නේද..?

ඔව්, මට මුලින්ම උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘රෝස වසන්තේ’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා (Costume Designer) විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ සමඟ එම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා...ඒ අවස්ථාව ලබාදීම ගැන මම උදයකාන්ත මහතාට ගෞරවය මුසු ස්තුතිය පිරිනමනවා..

මේ දිනවල තිරගත වන මිදුණු විශ්වයේ ඩන්කන් සිල්වා ගැන අද වෙද්දී බොහෝදෙනා කතා කරනවා. ඇත්තෙන්ම ඩන්කන් සිල්වා කියන්නේ කවුද...?

මමත් ඇත්තෙන්ම ඩන්කන් කෙනෙක් කිව්වොත් හරි...මා තුළත් ඩන්කන් කෙනෙක් ජීවත්වෙනවා කිව්වොත් නිවැරදියි. මට හම්බවුණු, මම දැක්ක ඩන්කන්ව අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිත් පිළිගත්තා. ඩන්කන් යනු රළු පෙනුමක් ඇති, රළු ගතිපැවතුම් ඇති ඉතා සුන්දර, ඉතා සංවේදී චරිතයක්. බිරිඳට ආදරය කරන, බිරිඳගේ අභිවෘද්ධිය ගැන සිතන පිවිතුරුම ආදරවන්තයෙක්...

කොහොමද ඔබට ඩන්කන් චරිතය ලැබෙන්නේ...?

ජයන්ත එක්ක මම කලින් වැඩ කළා. පසුව මට ඔහුව මගහැරෙනවා. ඒ මට හරියට රඟපාන්න Concept නැතිවුණ නිසා . ඔහු සමඟ වැඩකළේ අවුරුදු 11කට විතර පස්සේ. 2007දී හතරදෙනෙක් සෙන්පතියෝ ජයන්ත එක්ක කළා. ඔහුව කලා කටයුතුවලදී මගහැරුණත් අපේ සබඳතාව තිබ්බා. අපි නිතරම කතා කළා. දැනගත යුතු දෙයක් තිබේනම් ඔහුට කතාකර දැනගන්නවා. ඒ අතරේ ඔහු කිව්වා මෙහෙම වැඩක් තියෙනවා, අපි කරමු කියලා. මා ඇහුවා චිත්‍රපටයක්ද කියලා. ඔහු ඔව් කිව්වම මට පුදුම සතුටක් ඇතිවුණේ. මොකද මම මීට කලින් ජයන්ත එක්ක චිත්‍රපටයක් කරලම නැහැනේ.

ඩන්කන් සිල්වාව ඔබට දැනුණු, හැඟුණු තැන් මොනවද.....?

සමස්ත ඩන්කන්ගේ චරිතයම මට දැනුණා. ඔහුගේ හැම අකුරකටම දැනුණු හැඟීමකටම මාව පුදුමාකාරයෙන් ආකර්ෂණය කළා. අමන්දානන්දයට පත්කළා. ඒක මේකයි මේකයි මේ තැනදීයි, මෙහෙමයි කියා විස්තර කරන්න බෑ. මෙතන සුදුසුයි, මෙතන නුසුදුසුයි. කියලා කියන්න තැනක් තිබ්බෙ නැහැ, ඒ තරමටම මා ඩන්කන්ගේ සමස්තයටම ආකර්ෂණය වුණා. කැමරාවට පිටුපාලා ඇවිදින එක පවා මට විශේෂයි. චරිතය ඈතට ගමන් කරද්දීත් ඇසක්, කනක් පේන තැනකදී පවා මට ඒක විශේෂයි. මට ඒ චරිතය විශේෂයි කියා හැඳීන්වුවත් ඊට එහාගිය වචනයකින් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙනුත් එහාට ගිය විශේෂයක් මට ඩන්කන් චරිතයේ දැනුණා. සුළු අංගචලනයක් පවා ශරීරයේ සුළු ඉරියව්වක් පවා මට විශේෂ වුණා.

ඩන්කන්ව ජීවමාන කිරීමේදී අනෙකුත් සහයක නළුනිළියන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කිව්වොත්...?

සහය ගැන කියද්දී මෙහෙමයි, අපට තවකෙනෙකුට සහය වෙන්න පුළුවන් කියන්නේ තමන්ගේ කොටස හරියට කරන එකම තමයි. අනෙකාට දියහැකි සහය ගෞරවය උදාරිගෙන් උපරිමයෙන්ම ලැබුණා. උද්දික පවා චරිතය ඉතා සියුම්ව හසුරවනවා. ඒ උද්දිකගේ (වාරණ්‍යගේ) රංගනය තුළින් තමයි ඩන්කන්ට හා රාජිනීට හරිම තැන ලැබෙන්නේ. මේකේ මට පොරක් වෙන්න බෑ. මෙතැන අපි පොර සංකල්පය තමයි තියෙන්නේ. අපි පොර වෙන්න ඕනේ. මම උපරිමය කරනවා, අනෙකා තවදුරටත් කරනවා නම් තමා මෙහි සාර්ථකත්වය. සමස්ත නිර්මාණයම සාර්ථක වෙන්න සියල්ලන්ගේ උපරිමය ලැබිය යුතුයි. ඒකයි මම කිව්වේ මම පොර සංකල්පය නෙවෙයි අපි පොර සංකල්පය මෙහි තියෙන්නේ කියලා. චිත්‍රපටය තවම සුළු පිරිසයි නරඹා තියෙන්නේ. ඒත් සමාජ මාධ්‍යවල පුවත්පත්වල විශාල වශයෙන් කතාවෙනවා කියන්නේ එයම සාර්ථකත්වයක්.....

ජයන්ත සහ ඔබ අතර සුසංයෝගය ඇතිවුණේ කොහොමද.....?

ජයන්‍තව මට යම් යම් තැන්වලදි හමුවී තිබුණා. ඒත් ඔහු මම අහවලා කියා දන්නේ නැහැ. කොහේදිහරි හම්බවුණාම හලෝ කොහොමද කියලා එහෙම කතා කරලා තියෙනවා. මට ඔහු එක්ක මුලින්ම වැඩකරන්න ලැබුණේ ‘හතරදෙනෙක් සෙන්පතියෝ’ ටෙලිනාට්‍යයේදී. එහි ‘දාඨා’ චරිතය ඔහු මට දුන්නා. එහි අනෙක් ආත්මයේ චරිතය ‘ඩයනා’. මට ඒකට අවස්ථාව ආවේත් අහම්බෙන් . මට දවසක් ජනාධිපති සිනමා සම්මාන උලෙළකදී සම්මානයක් වෙනුවෙන් හේතුපාඨයක් කියන්න වුණා. ඒ සම්මානනීය රංගනවේදියෙක් වෙනුවෙන්. ඒ වැඩේ කරලා ඉවරවෙලා පසුදින මට දුරකථන ඇමතුමක් ලැබෙනවා නිමල් ෆ්‍රැන්සිස් කියන ජයන්ත චන්ද්‍රසිරිගේ සහය අධ්‍යක්ෂවරයාගෙන්. අපි අලුත් වැඩක් කරන්න යනවා ඒකට ඔයාට කතා කරනවා කියලා. මට ඉතින් ඒක මාරම සතුටක්... මම ඉතින් ඒක හැමෝටම කෝල් කරකර කියනවා ජයන්තගේ චිත්‍රපටයකට මට කතා කළා කියලා. මේ කතාවේ මුල, මැද අග අහනකල් ඉවසිල්ලක් තිබ්බේ නහැ, කමල් අද්දරආරව්චිව මම දැනගන හිටියා, මම ඉතින් කමල්ට කතා කරලා කිව්වා මට ජයන්තට කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ජයන්නට කතා කළා. ඔහු මට කීවා එදා සම්මාන උලෙළේ හේතුපාඨය කියද්දී තමන්ට ඕන ‘දාඨා’ තමයි එතැන හිටියේ කියලා. එහෙම තමයි මමයි,ජයන්‍තයි අතර සම්බන්ධතාව ඇතිවුණේ.

ජයන්තව ඔබට දැනෙන්නේ කොහොමද..? ඔහුගේ නිර්මාණ දැනෙන්නේ කොහොමද...?

ඒකට කියන්න පුළුවන් ජයන්ත ඇතුළෙත් ඉන්නවා ලොකු රංගන ශිල්පියෙක්. අනෙක් අයට සාපේක්ෂව එම රංගන ශිල්පීයා ඇත්‍තට ඉඩදෙනවා. රංගන ශිල්පියා ප්‍රමුඛ කරගෙන ඔහු අධ්‍යක්ෂණය කරන්නේ. රංගන ශිල්පියාට උපරිම නිදහස දෙනවා රංගනය ඉදිරිපත් කිරීමට. මොකද ඔහුත් නළුවෙක් නිසා ඔහුට රංගනය කර පෙන්වන්න පුළුවන්.. ඒවගේම නළුවරණය ගැනත් සැලකිලිමත්. වාහකයා ගැන දැඩි විශ්වාසයක් ඔහුට තිබෙනවා. තමන්ට ඕන චරිතය කරනවා දැක්කම නිදහසේ ඒ චරිතය ගොඩනගන්න උදව් දෙනවා සහ රංගනයන් ඉදිරිපත් කරනවා. ඔහු අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ නළුවෙක්. ඔහුගේ ‘දඬුබස්නාමානය’ කරන කාලයේ අපිට ඒකට පිස්සුවක් තිබ්බා. ඊටපස්සේ ‘වෙදහාමිනේ’ටත් කැමැතියි. චිත්‍රපටවලින් ‘අග්නි දාහය’ට විශේෂ ආසාවක් තියෙනවා. ඒකට හේතුව මේකයි කියන්න තේරෙන්නේ නැහැ. ‘ඝරසරප’ චිත්‍රපටයටත් කැමැතියි. ‘සමනළ සංධ්වනිය’ ටත් කැමැතියි. ඔහුගේ මේ නිර්මාණ මාව අතිශයින්ම කුල්මත් කරන නිර්මාණ කිව්වොත් හරි.

අපි නැවත ඩන්කන්ට හැරෙමු. මේ සමාජයේත් ඩන්කන්ලා මුණගැසී තියෙනවද?

මමම ඩන්කන් කෙනෙක්. අද වෙද්දී එය ටිකක් දුරට අඩුවී ඇතැයි සිතනවා. මේ සමාජයේ මට ඕනතරම් ඩන්කන්ලා මුණගැසී තිබෙනවා. මිනිස්සු මා ගැන පූර්ව නිගමනයකට එනවා. ඒකේ තියෙන්නේ නෙගටිව් පැත්ත. එතන පොඩි ආරක්ෂාවකුත් තියෙනවා. ගොඩක් අය ළංවෙන්නේ නෑ. ළංවුණොත් ඈත් වෙන්නෙත් නෑ. හරියට මාව අඳුනගත්තට පස්සේ නෙගටිව් අදහස පරයා ඔවුන් මගේ සදාකාලික මිත්‍රයෝ වෙනව. මා තුළ බොහෝදුරට අදටත් ඩන්කන් කෙනෙක් ජීවත්වෙනවා. ඩන්කන් වගේ කෙනෙක් මීට අවුරුදු 10කට විතර කලින් හම්බවුණා නම් මරු කියා හිතුණා. මගේ ඇරියස් තමයි මම එළියට දැම්මේ...

ඔබ දායකවූ ටෙලිනිර්මාණ ගැන මතකාවර්ජනය කළොත්....?

ටෙලිනාට්‍ය නම් 20ක් 30ක් කළා. ප්‍රමාණාත්මකව බොහෝම අඩුවෙන් ටෙලිනාට්‍ය කළේ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 23ක් වෙනවා. ප්‍රමාණාත්මකව අඩු ටෙලිනාට්‍ය ගණනකට එක්වුණේ මට චරිතය දැනෙන්නේ නැත්නම් මට ඒක කොහොමත් කරන්න බැහැ. ඒකෙන් වෙන්නේ මම විඳවන එකයි . මගේ පළමු ටෙලිනාට්‍යය ‘දෙපත් නයි’. ස්වර්ණවාහිනියේ ඒක විකාශනය වුණේ. පුලින ප්‍රාසාද, ආරතී, මල්සර අකුණු, සැරිසර ලිහිණි, දෝණි, සතරදෙනෙක් සෙන්පතියෝ, චන්දෝලි යනාදී ටෙලිනාට්‍ය සුවිශේෂියි.

ටෙලිනාට්‍ය කලාවේ වත්මන් තත්ත්වය ගැන කතා කළොත්..?

ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ කාලේ ටෙලිනාට්‍යයක් චැනල් එකකට දාගන්න ලොකු සටනක් කළා. වෙනත් රටවල ටෙලිනාට්‍ය එක්ක තරඟ වදින්නත් වෙලා තියෙනවා. ඒවා අස්සෙන් අපේ රටේ සංස්කෘතියට පහරවැදිලා තියෙනවා. සංස්කෘතිකමය වශයෙන් අපි නන්නත්තාර වෙන්න හේතුවත් ටෙලිනාට්‍ය කියන්න පුළුවන්..... ටෙලිනාට්‍යවලට කිසිම ප්‍රමිතියක්, ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ටෙලිනාට්‍යයක කොටස් විකිණෙන විකුණුම් වටිනාකමත් අඩුවුණා. අද වෙද්දී ටෙලිනාට්‍යකරුවාට හිතන්න වෙලා තියෙන්නේ මේක අතහැරලා වෙනත් ව්‍යාපාරයක් කරනවද නැත්නම් මේ වෙනස්වීම ඇතුළේ වෙනස්වෙන්නේ කොහොමද කියන සාධක දෙක ගැනයි. මේ යන ක්‍රමවේදය එක්ක වෙනස්වෙන්න වෙනවා. එතනදී නළුනිළියන් පවා සීමා කරන්න වෙනවා. දැන් නළුවරණයක් කියා දෙයකුත් නැහැ. ඉස්සරනම් නළුනිළියන්ට කතා කරලා ගාණක් කතා කරගෙන වැඩේට බහිනවා. දැන් කරන්නේ බජට් එක හදලා ඒකට නළුනිළියන් හොයනවා.

වේදිකාවේ ඔබේ දායකත්වය...?

වේදිකා නාට්‍යවලට නම් මම සම්බන්ධ වෙලා නැහැ. කාර්යබහුලත්වය තමයි ඒකට හේතුව. වේදිකාවේ දැවැන්තයෝ දෙතුන් දෙනෙකුගේ ආරාධනා නම් ආවා. සිනමා, ටෙලිනාට්‍ය, වේදිකා කියන කෑල්ලක් මගේ නමට දාගන්න සම්බන්ධ වුණා නම් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන් එක්ක මට හිතවත්කමක් තියාගන්න බැරිවෙනවා. මම එනකල් ඔවුන් බලාගෙන ඉන්නවාට මම කැමැති නැහැ. ඒ නිසා ඒ ආරාධනා මම ආදරණීයව ප්‍රතික්ෂේප කළා...

රංගනයේදී ඔබ ගුරුකොටගත් දෙස් විදෙස් ශිල්පීන් සහ අධ්‍යක්ෂවරුන් මතක් කළොත්.....?

මම ආස අය කියා වෙනම කට්ටියක් ඉන්නවා. ඒක ගුරුකොට ගැනීමක් නෙවෙයි. මම පැරිෂුට් නළුවෙක්...කිසිම දේකට වැඩි සම්බන්ධයක් තිබ්බේ නැහැ... මේක ඇත්තෙන්ම උතුම් රැකියාවක් කියා මම තේරුම් ගන්නවා. අවුරුදු ගාණක් වැඩකරද්දී මේක කරන්න මම සුදුසුද කියලා හිතෙනවා. ඒත් මම අල්ලාගෙන ඉන්නවා. අධ්‍යයනය කරනවා. ගුරුකොට ගැනීමක් නැහැ...මම ෆිල්ම්ස් බලනවා. එක කාලෙකට Tamil ඒවා. English ඒවා බලනවා...ගුරුකොට ගැනීමක් ...අතිශය කලාත්මක චිත්‍රපටයේ සිට අතිශය වාණිජමය චිත්‍රපටය දක්වාම බලනවා. මගේ තියරි එක පුළුවන් තරම් චරිතයේ හැසිරෙනවා. චරිතයේ ජීවත්වෙන්න හදනවා.

ඔබත් එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එයින් නැවතුණේ ඇයි....නැවත් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද...?

‘දේදුනු වැස්ස’ 2005දී මම අධ්‍යක්ෂණය කළේ. මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග වගේ පිරිසක් දායක වුණා. මට අධ්‍යක්ෂණයට ආසාවක් තිබ්බා. ඉතින් මම කළා. ඒක නිෂ්පාදනය කළේ රංජිත් ජයසූරිය සහ පියල් පෙරේරා. ‘දේදුනු වැස්ස’ අධ්‍යක්ෂණය කළාට පස්සේ මම ඒකට පොඩි වැඩියි කියලා හිතුණා. තව ටික කාලයක් ඉන්නවා කියලා හිතුවා. මම රංගනයට ආසයි. ඒ නිසා ටිකක් ඉන්නවා අධ්‍යක්ෂණයට පිවිසෙන්න. අධ්‍යක්ෂණය කියන්නේ බැරෑරුම් දෙයක් කියලා තේරුණා ‘දේදුනු වැස්ස’ කරද්දී...අද වෙද්දී හිතෙනවා සමහර වේලාවට ඒකටත් වේලාව එන්න ඕන කියලා.

ඔබ දකින විදිහට අද අපේ සිනමාව තියෙන තැන ගැන සතුටු විය හැකිද...? අන්තර්ජාතික තලයට යන්න නම් මොනවගේ වෙනස්කම් සිනමාවේ කළ යුතුද...?

චිත්‍රපට කරද්දි ඒක අධ්‍යක්ෂණය, රංගනය හැමෝටම කරන්න පුළුවන් කියන හැඟීම නැතිවෙන්න ඕන. ඒක යම් බුද්ධිමත් පිරිසකට සීමා විය යුතුයි.. ඇයි මේ සිනමාව විතරක් අම්බලමක් වෙලා තියෙන්නේ...සුදුසුකම් ඇති, නැති හැමෝම ඔහේ ඇවිත් සිනමාවේ රංගනය, අධ්‍යක්ෂණය කරන්න හදනවා. මේකට යම් ක්‍රමවේදයක් අවශ්‍යයි. හැකියාව, දක්ෂතාව අන්තර්ජාතික මට්ටමේම තියෙනවා. සිනමාව අන්තර්ජාතික වෙළඳපොළට රැගෙන යන්න තියෙන ක්‍රමවේදය ගැන අපි හිතලා නැහැ. මේවගේ කිසිම ප්‍රමිතියක් නැහැ. ඒ සැලැස්ම ගැන දන්න එක්කෙනෙක් දෙන්නෙක් චිත්‍රපටයක් කරලා අන්තර්ජාතික සම්මාන අරන් එනවා. ඒත් ඒ ක්‍රමවේදය තවම මේ රටේ හැදිලා නැහැ. පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් මේකට අවශ්‍යයි. එහෙම නැතිව කරන්න බැහැ. අපේ රටේ කලාව වාසනාවන්තයි. මේක කරන්න ඕනතරම් කට්ටිය සැදීපැහැදී ඉන්නවා. රඟපෑමට වරම් කිව්වොත් මොනතරම් පෝළිමක් ඉන්නවද.? කලාව පෝෂණයට පිරිස ඉන්නවා. ඔවුන් කලාකරුවන් වූ කල කලාව කර ජීවත්වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. කර්මාන්තයක් වශයෙනුත් සිනමාව මාරම තැනක තිබ්බා. ඒක අදවෙද්දී නැහැ. ඒ ස්වර්ණමය යුගය අද නැහැ. ඒ නිසා මේකට පැහැදිලි පොදු ක්‍රමවේදයක්, ප්‍රමිතියක් අවශ්‍යයි. යුද්ධය ප්‍රශ්නයක් කිව්වා, තාක්ෂණය ප්‍රශ්නයක් කිව්වා, ලෝකයේ එන හැම තාක්ෂණයක්ම ලංකාවටත් එනවා. යුද්ධය ඉවර වුණා කියලා සිනමාව ගොඩගත්තද..? යුද්ධය මූලික කරගෙන හරිහමන් සිනමාවක් බිහිවුණා නම් අන්තර්ජාතික මට්ටමටම එන්න තිබ්බා.

ඔබේ අන්තර්ජාතික නිර්මාණය ‘ආරුගම්බේ’ ..ඒ ගැනත් මතක් කළොත්...? සහ එහි විශේෂත්වය ගැන කිව්වොත්.. ?

මා රංගනයෙන් දායක වූ අන්තර්ජාතික සිනමා නිර්මාණය ‘ආරුගම්බේ’ . එය ලබන අගෝස්තුවල ලොව පුරා රටවල් 50ක එකවර තිරගත වෙනවා. ලංකාවේ ගමක නමින් පළමු අන්තර්ජාතික චිත්‍රපටය බිහිවීමත් විශේෂයි . මේක නිර්මාණය කළේ ඊශ්‍රායල් කණ්ඩායමක්. අධ්‍යක්ෂණය කළේ ‘මාර්කෝ කැමල්’ නමැති විදෙස්ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මම එහි රංගනයේ යෙදෙන්නේ ප්‍රදේශයේ සිටින පොලිස් ස්ථානාධිපතිගේ චරිතය. දර්ශනතල තිබ්බේත් ආරුගම්බේමයි...

ඔබ නිර්මාණයකට දායක වෙද්දී මූලිකවම සලකා බලන්නේ මොනවාද...? අංක 1ටම බලන්නේ තිරපිටපත. අනික මට ලැබී තිබෙන චරිතය ගැනත් බලනවා. අනෙක් දේවල් ගැනත් බලනවා. ඒත් නොම්මර එක තිරපිටපත.

ඉදිරියට ඔබේ රංගනයන් දැකිය හැකි නිර්මාණ මොනවද...?

මේ දිනවල ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබී තිබෙනවා..ඒක තවම කරනවාද නැද්ද කියලා ස්ථිර තීරණයකට ඇවිත් නැහැ. චිත්‍රපට 2-3 කට කතා කර තිබෙනවා. ඒවාත් තවම ස්ථිර නැහැ.

ඔබේ පවුල් ජීවිතය ගැන මතක් කළොත්...? ඔබ රංගනයට අමතරව වෙනත් වෘත්තියක නිරත වෙනවද....?

මම ‘අර්ථ’ කියලා ගෘහභාණ්ඩ ව්‍යාපාරයක් කරගෙන යනවා . බත්තරමුල්ලේ ඒක තියෙන්නේ. මේ අර්ථ කියන දේ වෙනස්ම සංකල්පයක්. ...පවුල් ජීවිතේ ගැන කිව්වොත් මට අවුරුදු 08ක පුතෙක් ඉන්නවා. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ඇය මට නිදහස දීලා තියෙනවා රංගන කටයුතුවලට. නිදහස නැත්නම් ඒ නිදහස මම කොහොමහරි ලබාගන්නවා. මේක තමයි මාව තෘප්තිමත් කරන රැකියාව. ඒක ගෙදර අය තේරුම් අරන් ඉන්නේ ...


සේයාරූ - නිශ්ශංක විජේරත්න