ගමේ පන්සලෙන් ලැබුණු සවිය මගේ කලා ජීවිතයට බලපෑවා

ලේඛිකා, ගායන ශිල්පිනී හා රංගන ශිල්පිනී චන්දි සුද්දත්චාරි
ජුනි 29, 2023

ලේඛන කලාවට ඈ අසීමිතව ආදරය කළාය. කලාවේ තවත් බොහෝ අංගයන්ට ඈ අපුර්වතම හැකියාවන් ප්‍රකට කළාය. රංගනයෙන් සේම ගායනයෙන් ද ඈ තම නිසැක හැකියාවන් විදහා පෑවේ. ලේඛන කලාවේ නියැළෙන අතරතුරදීමය. සංස්කෘතික අමාත්‍යාංශයේ බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරිනිය ලෙස සේවය කරන ඈ නමින් චන්දි සුද්දත්චාරිය මේ වන විට තමන් මහත් කැමැත්තක් දක්වන ලේඛන කලාව ඔස්සේ පර්යේෂණ ග්‍රන්ථ පහක් රචනා කොට ඇති චන්දි සංගීත විශාරදවරියක් ද වන්නේය. මෑතකදී ඈ ටවර්හෝල් පදනමේ සාදර දායකත්වයෙන් සිය පස්වන පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වුයේ ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සම්ප්‍රවේශය නමිනි. ගාල්ල තල්පේ ගම්පියසේ උපත ලබන චන්දි වැල්ලෙතොට සුගතනන්ද මහා විද්‍යාලයේ හා ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබුවාය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ සංගීත විශාරද උපාධිය ද ලබා ඇති චන්දි මේ දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ දර්ශනපති උපාධිය හදාරමින් සිටින්නීය.

 

 

ලේඛන කලාව තුළ නියැළෙන ඔබ වඩාත් පර්යේෂණ ග්‍රන්ථකරණයට යොමු වීමට විශේෂ හේතුවක් තියනවද?

මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යයනයන්ට අදාළව තමයි මම මේ පර්යේෂණ සිද්ධ කළේ. ඒ අනුසාරයෙන් මා කළ පර්යේෂණ නිබන්ධන තමයි මේ අයුරින් ග්‍රන්ථයක් ලෙස තව තවත් සවිස්තරාත්මක කරුණු කාරණා ඇතිව ග්‍රන්ථයක් ලෙස කළඑළි දුටුවේ.

 

මේ වනවිට ඔබ පර්යේෂණ ග්‍රන්ථ පහක කතුවරියක්?

ඔව්. මම මුලින්ම මගේ පර්යේෂණ ග්‍රන්ථය ලෙස එළි දැක්වුයේ ලංකාවේ වීදි නාට්‍ය කලාවේ ආරම්භය හා විකාශනය නමින් 2006 වසරේ. ඊට පස්සේ 2014 වසරේ ගාලු කොටුව නමින් ද 2015 වසරේ සරච්චන්ද්‍ර නාට්‍යයේ ජයන්ත අරවින්ද භූමිකාව 2020 වසරේ පෙමතො ජායතී සොකො නාටකයේ ප්‍රවේශය නමින් පර්යේෂණ ග්‍රන්ථ එළිදැක්වීමක් සිදු කළ අතර මේ 2023 වසරේ මගේ පස්වන පර්යේෂණ ග්‍රන්ථය ලෙසින් ලාංකේය නෘත්‍ය සංගීත ලයනල් ගුණතිලක සම්ප්‍රවේශය නිකුත් කළා.

 

චන්දිගේ අපේක්ෂාව පර්යේෂණ ග්‍රන්ථකරණයේ පමණක් නියැළෙන්න ද?

එහෙම කියලම නෑ. මේ වසරේම මගේ නිර්මාණාත්මක කෘතියක් එළිදක්වනවා. මහ පන්සල නමින් මේක නවකතාවක්. මගේ ළමා කාලය පාදක කරගෙන තමයි මේ කෘතිය මම රචනා කරන්නේ. කොටින්ම කිව්වොත් මහ පන්සල යොවුන් නවකතාවක් කිව්වත් වරදක් නෑ.

 

ඔබ මෙතරම් ලේඛන කලාවට පෙම් කරන්නට හේතුව?

මගේ ගම ගාල්ලෙ තල්පේ. අපේ ගමට සමීප ගමක් තමයි කොග්ගල. මාර්ටින් වික්‍රමසිංහයන් අපේ ගමට අල්ලපු ගමේ ජීවත් වූ කෙනෙක්. මම ගොඩක් ආස කළා. එතුමන්ගේ පොතපත කියවන්න. පරිශිලනය කරන්න. එතුමන් අතින් ලියවුණු පොතපතේ තිබුණ දේවල් මට ගොඩක් සමීප වුණා. වෙනත් පිටස්තර කෙනෙකුට වඩා මගේ පාසලෙන් තමයි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සැමරුම් උත්සව සඳහා ළමයි සහභාගි කරගත්තෙත් මමත් ගැමි පරිසරයක් තුළ ඉපදී හැදුණු වැඩුණු කෙනෙක්. මඩොල්දුව වගේ කෘතියක් මට මේ ගැමිකමත් එක්ක අපේ පරිසරය තුළ මට ගොඩක් සමීප වුණා. ඉතිං මමත් කල්පනා කළා. මේවගේ පොතක් මටත් ලියන්න පුළුවන් කියල. මගේ ජීවිතයේ සාහිත්‍යම හැදෑරීම ගොඩක් වැඩියි. මම වටා සිටිය ගුරුවරුන් ඒ සඳහා මට ගොඩක් පෙලඹවීම් කළා. කොග්ගල ප්‍රාග්ඥයාගේ ලේඛන ශෛලිය තුළ ලියවුණු ගම්පෙරළිය. මඩොල් දුව කෘති තුළ දෘශ්‍යමාන කළ පරිසරසාධක එක්ක මම ජීවත් වුණා. ඒ ආභාසය මාව තව තවත් ලේඛන කලාවට ඇද බැද ගත්තා.

 

චන්දිගේ මුල්ම නවකාව ලෙස එළි දකින්න සුදානම් මහපන්සල කෘතිය සඳහා ඔබගේ ජීවිත කතාව ඇතුළත් කරන්න ඔබ අදහස් කළේ ඇයි?

මහපන්සල කියන්නේ මගේ ගමේ පන්සල. මගේ ගම වටේ මිනිස්සු, මගේ ගුරුවරු, මගේ පන්සලේ නායක හාමුදුරුවෝ. මේ හැම කෙනෙක්ම තමයි මගේ ජීවිතය වෙනස් කළ කොටස්කාරයෝ. මගේ ගමේ මහපන්සලේ නායක හාමදුරුවන්ට ඕනෙ කළා. මම කවදා හරි ලේඛිකාවක් වනවා දකින්න. මගේ අත්අම්මා ගමේ පන්සලේ ප්‍රධාන දායිකාව, මගේ අම්මා තාත්තා උණත් ලොකු අධ්‍යාපනයක් ලබල තිබුණේ නෑ. මට අවුරුදු තුනවෙනකොට අත්අම්මා හිටියේ අසුතුන්වන වියේ. දවසක් අත්අම්මා මාව අරන් ගියා. පන්සලට ගිහින් නායක හාමුදුරුවන් ලෙස වැඩසිටි සීලරතන හිමියන්ට මාව භාර කළා. මගේ අධ්‍යාපනය වැඩිදියුණු කරගන්න. ඒ වකවානුවේ නායක හාමුදුරුවොත් බොහොම වයෝ වෘද්ධයි. උන්වහන්සේ කිව්වා උපාසක අම්මත් නෑ. මමත් නෑ මේ දරුවා ලොකු මහත්වෙන කොට අපි මේ දරුවාගේ අධ්‍යාපනය පැත්ත බලන්න. අපේ පොඩි හාමුදුරුවන්ට සිටිනා මලුවේ සුදම්ම හිමියන්ට භාර කරමු කියලා. එතැන් පටන් මට සුදම්ම හිමි පොත්පත්වල තියන වටිනාකම ගැන මට කියල දුන්නා. පන්සලේ පොතපත මට කියවන්න දුන්නා. සමහර පොත්පත් තිබුණා මට උස්සගන්න බැරි ඒවා. ඒවා පවා මට දුන්නා කියවන්න දැනුම හොයන්න මාව උනන්දු කළා. මඟපෙන්නුවා උන්වහන්සේගේ හීනයක් තිබුණා. මාව ලේඛිකාවක් කරන්න. මම ඒ හීනය අද සැබෑවක් කරලා. අද මට ඕනේ මේ තැනට එන්න මට පාර පෙන්නපු අපේ නායක හාමුදුරුවෝ මුලසුන තියාගෙන මම ඉගෙන ගත්ත පාසලේ මගේ ගුරුභවතුන් හිතමිතුරන් නෑදැයන් ගම්වාසීන් එකතු කරන් මම ආ ගමනේ කතාන්දරය ඔවුන්ට එළි කරන්න. ඔවුන්ට කෘතගුණ දක්වන්න. එයාලව සතුටු කරන්න. මගේ මේ කෘතිය කියවන කවුරුන් හෝ යමක් ඉගෙන ගනියි. තමන්ගේ ජීවිතය හදාගන්න මගේ ගමනේ කටුක බවේ ජයග්‍රහණය මා අත්පත් කරගත් ආකාරය දැකීමෙන්. ඒක තමයි මම අපේක්ෂා කරන සතුට මේ නවකතාව රචනා කිරීමෙන්.

 

පර්යේෂණ ග්‍රන්ථ රචනා කිරීම තුළින් ඔබ අපේක්ෂා කරන්නේ?

මේ පොතපත ලිවීම තුළින් කියවීම තුළින් මට ලැබෙනවා පුදුමාකාර පී‍්‍රතියක් නිරාමිස පී‍්‍රතියක් ඒක විශ්වවිද්‍යාල මට්ටමෙන් විශාල ප්‍රතිචාරයක් තියනවා. උගත් පිරිස් අතරේ හොඳ ඇගැයීමක් තියනවා. මගේ පොත්වලින් ගොඩක් අය පුට්නෝට් දාලා තියනවා. සමහරුන්ගේ නිබන්ධන වෙනුවෙන් ඒක මට ලොකු සතුටක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කළ පර්යේෂණවල පවා මගේ කෘතිය පාදක කරගත්තා කියල එතකොට දැනෙන සතුටට ඇස්වලට කඳුළු එනවා. ඒක තමයි මම ලබන තෘප්තිය. සාමාන්‍ය පාඨකයා තුළට මම තාම ගියේ නෑ. ඒ අය කියවන පොත් නෙමෙයිනේ මේ වන විට ලියල තියෙන්නේ. ඉදිරියේදී මගේ නවකතාව එළි දැක්කහම සාමාන්‍ය පාඨකයාත් එක්ක බද්ධ වෙයි. එතකන් තවම මම උගත් බුද්ධිමත් පාඨක පිරිසක් තුළ තමයි මාව පරිශිලනය වෙන්නේ. මගේ කෘති තුළින්.

 

ලේඛිකාවකට එහා ගිය හැකියාවන්ගෙනුත් ඔබ සුපෝෂිතයි?

මේ වන විට මම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරලත් තියනවා. අදටත් එම වෘත්තියේ නියැළී ඉන්නවා. ඊට අමතරව ගායනයෙත් යෙදිල ඉන්නවා.

 

රංගනය කියන දේ ඔබ අඳුන ගන්නෙ?

ගාලු නඩේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වීමත් සමඟ. රංජිත් ද සිල්වාගේ මෙම වීදි නාට්‍ය කණ්ඩායමේ මම සාමාජිකයෙක් වන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟ. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සඳහා සම්බන්ධවෙන්න මට අවස්ථාව උදා වෙනවා. සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී මනමේ නාට්‍යයේ මනමේ කුමරිය වෙන්න මට හැකියාව ලැබෙනවා. ගාමිණි හත්තොටුවේගම ගේ කුවේණි, මිස් කඩදාසි නාට්‍ය නිර්මාණ සඳහා මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.

 

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සඳහා ඔබට එකතුවෙන්න ලැබෙන්නේ කොයි ආකාරයට ද?

ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය විශ්වවිද්‍යාලවල රංගනය හදාරණ ළමයින්ගේ මේ චරිත සඳහා ළමයි හොයමින් හිටියා. ඔය ආ අවස්ථාවකදී තමයි මට අවකාශ උදා වුණේ ඒ නාට්‍ය සඳහා රඟපාන්න.

 

ඇත්තද මේ ඔබ පැය තුනේ මනමේ කුමාරිය කියන්නේ?

මම සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී කරමින් ඉන්න අතරතුර මනමේ කුමරියට රඟපාමින් සිටි යශෝධාරා අක්කාට විදෙස් ගත වෙන්න සිද්ධ වෙනවා. නමුත් දින කීපයක් තුළ තිබෙන මනමේ නාට්‍යයට මනමේ කුමරියට කෙනෙක් අවශ්‍ය වෙනවා. පුහුණුවට කාලයක් නෑ. මමත් සමඟ කාන්තාවන් තිදෙනෙක් පැමිණියා සම්මුඛ පරීක්ෂණ සඳහා නමුත් එහිදි මාව තේරුණා. මම මනමේ නාට්‍යයේ ගමන් ලතාව හොඳට පුරුදුයි. දෙබස් මුල සිට කඩපාඩම් ඒ නිසා මාව මනමේ කුමරියට තෝරාගත්තා. සුනිල් තිලකරත්න තමයි මනමේ කුමරුට හිටියේ. අවුරුදු අටක් විතර එතැන් පටන් මං මනමේ කුමරිය වුණා. ළමා නාට්‍ය සඳහාත් මම දායක වෙනවා. හොඳම නිරූපණය හොඳම ගායනය උදෙසාත් මට සම්මාන ලැබෙනවා.

 

ජන ගී ගායනයේන් ඔබ සාමාජිකාවක්?

ලයනල් රන්වලයන්ගේ ජන ගී කණ්ඩායමේ සාමාජිකාවක් වන්නත් මම වාසනාවන්ත වෙනවා. ළමා නාට්‍ය තරඟ විනිශ්චය සඳහා ගාල්ලට එන රංවලයන් එහිදී මාව හඳුනාගැනීමෙන් පසු කොළඹ ගෙනවිත් ඔහුගේ ජන ගී කණ්ඩායමේ සාමාජිකාවක් කරගන්නවා.

 

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වගේම සිනමා නිළියක් ඔබ?

ටෙලි නාට්‍ය හතක් හා එක් චිත්‍රපටයක මම මේ වන විට රඟපාල තියනවා. ලාබයි ඇපල්, සරා වසන්තය අරන් ඇවිත්, මකර දඩයම ටෙලි නාට්‍යවල වගේම මවුස් චිත්‍රපටයෙත් මම රඟපෑවා.

 

ගීත ගායනයෙන් ඔබ ඉදිරි පියවරක් තියා අවසන්?

මම සංගීත විශාරදවරියක්. මේ වනවිට ගීත විස්සක් විතර ගායනා කරල තියනවා. ඒ අතරින් මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක් ජනපි‍්‍රයයි. සමුගන්නා.... කියන ගීතය.

 

කලා ජීවිතයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයා යන්නියක් වශයෙන් වඩාත් ආශාවක් දක්වන්නේ?

ලේඛන කලාවට. අනික් දේවල්වලට කැමැතියි. නමුත් වැඩි ආශාව ලේඛන කලාවේ නිරත වෙන්න.

 

අද ලබා තිබෙන ජයග්‍රහණ මත සිට ජීවිතය පිළිබඳ ආපසු හැරිල බැලුවොත් ඒ ආ මඟ ගැන මොකද හිතෙන්නේ?

හිතාගන්නවත් බෑ. හරිම දුෂ්කර ගමනක්. මම ඇවිත් තියෙන්නේ මගේ මුල් කාලයේ මට ලස්සන මිනිස්සු හම්බ වුණා. නමුත් කොළඹට ආවට පස්සේ මට නොයෙක් කලකිරීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට අවුුරුදු දාසය විතර පිරුණ කාලයේ මම කොළඹට එනවා. එතකන් මම හිතාහිටිය දේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මගේ අම්මාගේ තාත්තාගේ පරපුර ගත්තොත් ඒ අය හරිම ආදරණියයි. ගම ගත්තත් එහෙමයි. ගමේ පන්සල ගමේ පාසල නමුත් හරිම ආදරණීයයි. ඊට හාත්පසින්ම වෙනස්. කොළඹ පරිසරය ගුරුවරුත් එහෙමයි ජීවිතය ගැන කලකිරීම් තමයි බොහෝ මට ආවේ. ඒත් මම ඒ හැම අභියෝගයක් තුළම ඒ සඳහා මුහුණ දුන්නා නොබියව.

 

ඔබේ නිර්මාණශිල්ත්වය තුළ මේ සමාජයට දෙන්න ඔබ උත්සාහ ගන්නේ?

මට ඕනේ. තව කෙනෙක්ට උපකාරයක් වන ජීවිතයක් මගෙන් නිර්මාණය වනවා දකින්න. මට පුංචි කාලේ ලැබුණ මිනිස්සුන්ගේ ආදරය ඒ නිසානේ මට මේ තරම් අද ලොකු ශක්තියක් ගොඩනැඟෙන්නේ. මුල දී ඒ දේ නැතිවුණා නම් අද චන්දි කෙනෙක් නෑනේ. මට ඕනේ මම වගේ කෙනෙක් නිර්මාණය කරන්න. මිනිස්සුන්ට අහිමි වෙලා තියෙන්නේ ආදරය. ඒ අහිමි වෙච්ච ආදරය මිනිස්සුන්ට ලබල දෙන්න ඕනේ. ඒක තමයි මගේ අවසාන හීනය. ඒක කරල මට මැරුණත් ඇති.

 

ඒ හීනය සැබෑ කරන්න මේ වන විටත් ඔබ ගමනක් අරඹලාද?

ඔව්. මට ඇසුරු කරන්න ලැබුණා. බොහෝ අයව මම නිසා මඟ පෙන්වීම තුළ හොඳ මාවතකට අරන් තියනවා. මගේ අතින් ජීවිතයේ හොඳ පැත්තට හරවපු අයත් මේ සමාජයේ දැනටත් ඉන්නවා. මම ඒ ක්‍රියාවන් තුළින් අපමණ සතුටක් ලබනවා. මම ලියපු පොත් වලින් පවා යම් පුද්ගලයන් ඇගැයිමට පවා පත් කරල තියනවා. ආදරය ලබන්න මිනිස්සු මොනයම් හෝ පැත්තකින් ජව සම්පන්න වෙනවා.

 

සාහිත්‍ය කලාව තුළ නියැළෙමින් කටයුතු කරන ඉඩහසර වෙන් කරගන්නේ කොහොමද?

මට ස්වාමි පුරුෂයාගෙන් ඒ සඳහා පුුදුම දිරිගැන්වීමක් ලැබෙනවා. ඔහුත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මේ ක්ෂේත්‍රය ගැන වැටහීමක් තියන පුද්ගලයෙක් මගේ වැඩවලදි කාල කළමනාකරණය හරි වැදගත්. ලක් එෆ් එම්. ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරි ලෙස කටයුතු කරන චරිත් සුද්දත්චාරි සමඟ තමයි මම විවාහ වෙලා ඉන්නේ. ඔහු කලක් නෙත් එෆ් එම් ආයතනයේ බැලුම්ගල වැඩසටහන කරමින් ජනපි‍්‍රයත්වයක් ලබා සිටි කෙනෙක්. නෙත් එෆ් එම් එකේ තිබුණු වන් ටු. ත්‍රි ෆෝ සංගීත වැඩසටහනට ගිහින් තමයි ඔහු මාව හඳුනාගන්නේ අවසානයේ ඒ හමුව ආදරයකට පෙරළි විවාහයෙන් කෙළවර වෙනවා.

 

අද රංගනයට වැඩි ඉඩක් ඔබෙන් වෙන් වෙන්නේ නැද්ද?

ලේඛනයටත් ගායනයටත් තමයි. අද මම වැඩිපුර යෙදෙන්නේ කාල කළමනාකරණයක් ඇතුව රංගනයේ යෙදෙන්න තමයි මම වඩාත් කැමැති. රංගනය තුළ වුණත් තෝරාබේරා ගැනීමක් මත එහි කටයුතු කරන්න මම හිත යොදලයි තියෙන්නේ. මම මුලින්ම රඟපෑ පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ අප්පච්චිගේ අවුරුදු දා ඒකාංගික ටෙලි නාට්‍යය.

 

සිනමා නිර්මාණ සඳහා ඔබට දැන් ආරාධනා නැද්ද?

තියනවා. මම ආස නෑ දුර බැහැර මාස ගණන් නැවතී සිට වැඩ කරන්න. ඒ නිසාම මම ඒ ආරාධනා සඳහා කැමැත්ත දුන්නේ නෑ.

 

ටෙලි නාට්‍ය නිර්මාණ අතරේ ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ?

සරා ටෙලි නාට්‍යයේ රේඛා චරිතය තුළින්.

 

මේ කලා ජීවින ගමනේ ඔබේ අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති?

නැති මිනිස්සු අසරණ වූ මිනිස්සු වෙනුවෙන් අරමුදලක් හදල ඔවුන්ට උදව් කරන්න මගේ ආශාවක් තියනවා. මම කරන ආට් එක තුළ මට ලැබෙන දෙයක් අරමුදලකට බැර කරල ඒ තුළින් අසරණ මිනිස්සුන්ගේ යහපතට වැඩක් කරන්න මගේ ලොකු ආශාවක් තියනවා. ඒ වගේම 50+ නමින් මම වැඩසටහනක් කරන්නත් ලොකු වැඩපිළිවෙළක් හදමින් ඉන්නේ. අපේ වැඩිහිටි කලාකරුවන් කලාකාරියන් අද බොහොම මනසින් කලකිරිල. මේ අය එකට එකතු කරන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් යමක් කරන්නත් මගේ උත්සාහයක් තියනවා. ජූලි මාසේ පළවෙනිදා පටන් ඒ කාර්ය මම පටන් ගන්නයි සුදානම. මේ උත්සාහයේ මගේ පරමාර්ථය ඔවුන්ගේ මානසික සතුට.

 

 

 

[email protected]