වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
කලාවේ හතර ඉම දන්නා නව පරපුරක් අපට අවශ්‍යයි

- ‘රිටර්න්’ සිනමා ලෝලීන්ට විශේෂ අත්දැකීමක් වෙයි
- මිදුණු විශ්වය ඉතාම අපූරු පරිකල්පනීය අදහසක් ඔස්සේ ගොඩනැඟුණු නිර්මාණයක්
- අද බොහෝ දුරට පිටපතක් සියලු දෙනා එක් වී සාකච්ඡා කෙරෙනවා අඩුයි
- නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යෑම යුද්ධයක් වගෙයි
- සම්මාන බලාගෙනම නිර්මාණ හැදුවොත් පේ‍්‍රක්ෂකයාගෙන් ඈත් වෙනවා
- වපසරිය දැනගෙන ගියොත් පමණයි හොඳ කලාවක් ඉදිරියට ඉතිරි වන්නේ
- සිනමා පටයක ගැඹුර, රසය විඳගන්න නම් අපි යා යුත්තේ සිනමා හලකටමයි
මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද සිදුවන්නේ?
මේ දිනවල අරුණ පත්තිනිගේ මහත්මයාගෙ රිටර්න් චිත්‍රපටයේ වැඩකටයුතු සිදුවෙනවා. මමත්, පාලිත සිල්වාත් තමයි එහි ප්‍රධාන චරිත කරන්නේ. මේ චිත්‍රපටය විශේෂයි. මොකද මේ චිත්‍රපටය කෙටි ධාවන කාලයක් සහිතව නිෂ්පාදනය කෙරෙන චිත්‍රපටයක්. ඒක සිනමා ලෝලීන්ට විශේෂ අත්දැකීමක් වෙයි. එහි සංස්කරණ කටයුතු තමයි මේ දිනවල සිදුවෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම කතා කළ යුතු චිත්‍රපටය වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මිදුණු විශ්වය චිත්‍රපටයයි.
අපේ ප්‍රධානම සිනමා පුවත්පත, සරසවියත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. සරසවිය පුවත්පත හා බැඳුණු සරසවිය සිනමා සම්මාන උලෙළත් මේ චිත්‍රපටයේ කතාව හා සම්බන්ධයි. මේ චිත්‍රපටයේ මම නිරූපණය කරන චරිතය මට ලැබෙන්නේත් හරි අපූරු විදියකට. වරක් අපි නිකවැරටිය පැත්තෙ වේදිකා නාට්‍ය දර්ශනයක් වෙනුවෙන් ගිහින් හිටි වෙලාවක මට ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා මුණ ගැහෙනවා. එතනදි තමයි මේ චිත්‍රපටයේ හමුවන සුවිශේෂ චරිතයක් සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මගේ පෙනුම පිළිබඳ සැලකිලිමත් වෙන්නේ. ඇත්තටම ඒ අවස්ථාවේ ඔහු අපි කතා බස් කරමින් සිටින අතරතුරම කණ්ණාඩි කුට්ටමක් ගෙනැත් මට දාගන්න කියා කිව්වා. ඒ කාලයේ මම කණ්ණාඩි පලඳින්නෙත් නැහැ. කොහොම හරි ඔහු මට කණ්ණාඩි දෙක දාලා ටික වෙලාවක් මා දිහා බලා හිටියා. ඊළඟට මේකප් ටෙස්ට් එකක් කරමුයි කිව්වා. ඒ මොහොතෙ ඇයි ඔහු එහෙම කරන්න කියාවත් මම දැනගෙන හිටියෙ නැහැ. ඉන් පසුව තමයි මම දැනගත්තෙ ඔහු මාව ඒ නිරීක්ෂණය කළේ ඩඩ්ලි සේනානායක මහත්තයාගෙ චරිතයටයි කියා. ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයාගෙ විශේෂත්වයක් තමයි, ඔහු චරිතයක් කොච්චර ලොකු ද පොඩි ද එහෙම නැතිනම් එක රූප රාමුවක පමණ ද පෙනී හිටින්නෙ කියන දේ අදාළ කර නොගෙන ඒ චරිතය පිළිබඳ උපරීමයෙන්ම සැලකිලිමත් වීම. තවත් විදියකට කිව්වොත් ඒ චරිතය චිත්‍රපටයට වැදගත් වන ආකාරය පිළිබඳයි ඔහු දැඩිව සැලකිලිමත් වුණේ. ඉතින් ඔහු මිදුණු විශ්වය චිත්‍රපටයේ ඩඩ්ලි සේනානායක මහත්තයාගෙ චරිතය ගැන මට කිව්වට පස්සේ මම එතුමා ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මොකද චරිතයකට පිවිසෙද්දි ඉතා සියුම්ව අධ්‍යයනය කළ යුතු දේ බොහෝ තිබෙන නිසා. විශේෂයෙන් ඩඩ්ලි සේනානායක මහතා වැනි විශේෂ අයකුගෙ හැසිරීම් රටාව බොහෝ වෙනස් එකක් නෙ. එතුමා සන්සුන්ව කතාබහ කළ පුද්ගලයෙක්. අත පය වීසි කරමින් කවදාවත් කතා කළේ නැහැ. එහිදී ජයන්ත චන්ද්‍රසිරි මහත්මය සමඟ මේ චරිතය පිළිබඳ කතා බහ කළ පසු මට ඩඩ්ලි සේනානායක කියන සුවිශේෂ චරිතයට පිවිසෙන්න හොඳ පසුබිමක් නිර්මාණය කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සරසවිය පුවත්පතට වසර හැටක් සපිරෙද්දී සරසවිය සම්මාන උලෙළ පිළිබඳත් කියැවෙන මිදුණු විශ්වය චිත්‍රපටය ඉතාම අපූරු පරිකල්පනීය අදහසක් ඔස්සේ ගොඩනැගුණු අපූරු නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්.
ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයා පිළිබඳ කතා කළොත් මම ඔහුත් එක්ක නිර්මාණ ගණනාවකට සම්බන්ධ වී කටයුතු කර තියෙනවා. ඔහුගේ තවත් වටිනා නිර්මාණයක් වූ ‘අග්නි දාහය’ චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා. එහි ‘කිකිළි අක්කා’ කියන සමාජ කතාබහට ලක්වන වෙනස්ම චරිතයකට මට පණ පොවන්න ලැබුණේ. කොළඹ සරසවියේ විද්‍යාර්ථීන්ගේ සම්මානයක් පවා මට ඒ සඳහා හිමි වුණා. ඊට අමතරව ඔහුගේ දඬුබස්නාමානය අනෙකුත් වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය ගණනාවකටමත් මට සම්බන්ධ වෙන්න ලැබී තියෙනවා.
ඔබේ රංගන දිවිය ඇරඹුණේ පාසල් අවධියේමයි නේද?
ඔව්. මගෙ රංගන දිවිය ආරම්භ වුණේ පාසල් අවධියේමයි. නමුත් එවකට මම කළේ විද්‍යා විෂයන්. හැබැයි කවදත් මගෙ හිත තිබුණෙ කලාව පැත්තටයි. ඇත්තටම අපව කුඩා කල සිට කුමන දේට යොමු කෙරුණාත්. අපේ සහජ නිපුණතාව තියෙන දේටයි කවදාහරි තල්ලු වෙන්නේ. මගේ ජීවිතයේ අත්දැකීමත් ඒකයි. පාසලේ දී කලාවට හිතැතිව සිටියදී විද්‍යා විෂයන් හදාරා අවසානයේ පුවත්පත් කලාවේිදියකු ඒ වගේම රංගන ශිල්පියකු බවට පත්වුණා. ඒ කාලයේ ප්‍රේමකුමාර කරුණාරත්න කියන නාට්‍යභාර ගුරුතුමා තමයි පාසලේ හිටියේ. එතුමා වරක් නිෂ්පාදනය කළා ‘උදාව’ කියල පාසල් නාට්‍යයක්. මම ඒකෙ හිටියෙ මැෂිමකට. දෙබස් මුකුත්ම නැහැ. එතැනින් පස්සේ මමම නිෂ්පාදනය කළ පාසල් නාට්‍ය කීපයකුත් තිබුණා. ඉතින් ඒ විදියට පාසල් වේදිකාවෙන් ආරම්භ කළ ගමන තමයි ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වුණේ අශෝක හඳගමගේ ගේ මාඝාත කියන වේදිකා නාට්‍යයෙන්. ලංකාවේ අසීරු වටපිටාවක් පැවැති යුගයකදී තමයි එය වේදිකා ගත වුණේ මුලින්ම.
ඊළඟට කේ.බී. හේරත්ගෙ නාග ගුරුළා, දෙවැනි මහින්ද, දෝන කතිරිනා, රංජිත් සිල්වාගේ ප්ලැටුන් ආදි නාට්‍යවලින් පටන් ගෙන වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වුණා. මෑතකාලයේ අවසන් වරට සම්බන්ධ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ හංකිති දහතුන නාට්‍යයට වගේම ශි‍්‍රයන්ත මෙන්ඩිස් මහත්මයාගේ නව නිෂ්පාදනයක් වූ ‘පරාස්ස’ කියන වේදිකා නාට්‍යවලටයි.
ටෙලි නාට්‍ය ගත්විට විමලරත්න අධිකාරි මහත්මයාගෙ නිර්මාණයකටයි (සසර සෙවණැලි) මුලින්ම සම්බන්ධ වුණේ. ඒකත් හරි ලස්සන කතාවක්. මොකද අඩි පන්දාහක් හයදාහක් පොළොව යට පතලක් ඇතුළෙ තමයි මම මුලින්ම කැමරාවක් දුටුවේ. පතල් කම්කරුවන් විදියට මමත්, එච්.ඒ. පෙරේරාත් රංගනයෙන් දායක වුණේ. පතලක් ඇතුළෙ ස්වභාවය පවා මම දැක්කෙ එදායි. පතලක් ඇතුළෙ තියෙන අනතුර පිළිබඳ පවා කල්පනා නොකරයි මම පතලට බැස්සේ. ඇත්තටම මුල්වරට කැමරාවකට මුහුණ දෙමින් ලබාගත් පළමු ටෙලි නාට්‍ය අත්දැකීම තමයි ඒ.
ඊළඟට මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ අපේ ප්‍රවීණ ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ගමගේ මහත්මයාගෙ ‘පූජා’ චිත්‍රපටයෙන්.
එකල එතුමාව මුලින්ම මම හඳුනාගත්තේ සාහිත්‍ය උත්සවයකදියි. අපේ පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමකු වූ රත්නායක කියන විදුහල්පතිතුමන් මඟිනුයි එතුමාව හඳුනාගනු ලැබුවේ. ඒ හඳුනා ගැනීම මට ලොකු ශක්තියක් වුණා කියා මා හිතනවා. ඉතින් කොහොම හරි ගමගේ මහත්තයා පූජා චිත්‍රපටය කරන්න ලෑස්ති වෙද්දි මම කීපවිටත් එතුමා මුණ ගැහුණා. ඒ පාර දවසක් ගමගේ මහත්තය කිව්වා වැලිකඩ බන්ධනාගාරයේ රූගත කිරීම් කීපයක් සිදුවන නිසා එතැනට එන්න කියා. ඒ අනුව මම වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට ඇවිත් මුල් දිනයේ සිටින විට ගමගේ මහතා මෝටර් රථයෙන් පැමිණ බන්ධනාගාරය ඇතුළු වුණත් මට මුණ ගැසෙන්න බැරි වුණා. දෙවැනි දිනයේ දී වුණේත් එයමයි. හැබැයි තුන්වැනි දිනයේ මම කොහොම හරි එතුමා මුණ ගැසුණා. ඒ පාර එතුමා මාව හඳුනාගෙන ආ ගාමිණි එන්න කියා මාවත් බන්ධනාගාරය ඇතුළට රැගෙන ගියා. අනතුරුව ජම්පරයක් ඇඳගන්න දී වෙස්ගැන්වීම් සිදු කළා. බන්ධනාගාරගතව පසුවන සිරකරුවකුගේ චරිතයක් තමයි එදා මම මුල්වරට නිරූපණය කළේ. එතැන් සිට චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ආසන්න වශයෙන් කටයුතු කළේ අපි පෙර කතා කළ මිදුණු විශ්වය චිත්‍රපටයේ හා රංජන් ප්‍රසන්න අධ්‍යක්ෂවරයාගේ විසංගමනය චිත්‍රපටයේයි.
ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය පිළිබඳත් කතා කරමු.
ඩොරික් සමරසුන්දර මහතාගෙ ‘වඩිනාගල’ චතුර දිල්හාරගෙ නිර්මාණවේදියාගේ වෛතාලෙ ටෙලි නාට්‍යය ඇතුළු කීපයක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.
මෙතෙක් ඔබ වැඩි ජන අවධානයකට ලක් වූ චරිත පිළිබඳ සිහිපත් කළ හැකිද?
ඔව්. අපි පෙර කතා කළ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාගේ අග්නි දාහය චිත්‍රපටයේ ‘කිකිළි අක්කා’ ගේ චරිතය විශාල අවධානයකට යොමු වුණා. එය සම්මානයට පවා පාත්‍ර වුණා. ඒ වගේම සනත් අබේසේකරගේ ‘උරුමයක අරගලය’ නාට්‍යයේ කළ ‘හීන්පොළ නිලමේ’ චරිතයත් වැඩි අවධානයට යොමු වූ චරිත වශයෙන් හඳුන්වා දිය හැකියි. ඒ වගේම ගිහාන් රෝහණගේ චක්‍රාංගි නාට්‍යයේ කළ චරිතය ආදි කතා බහට ලක්වුණා.
අද නිර්මාණ ක්ෂේත්‍රය කෙරේ බලපා ඇති ගැටලු ඔබ කෙසේ ද හඳුනාගන්නේ?
පවතින ආර්ථික අර්බුදය අද සියලු අංශ කෙරේ බලපා තියෙනවා. කලාවට පමණක් නොවෙයි සියලු අංශ කෙරේ එය බලපා තියෙනවා. ඉස්සර අපට රූගත කිරීමට සහභාගිවනවා කියන්නෙ වන්දනා ගමනක් යනවා හා සමාන දෙයක්. රූගත කිරීම නිම වූ පසුවත් තවත් දිනක් දෙකක් එහි ගත කර තමයි ආපසු පැමිණෙන්නෙත්. විශාල සුහදත්වයක් කා අතරත් තිබුණේ. ඒ කාලයේ හැම දෙයකදීම පෙර සුදානම ඉහළින්ම තිබුණා. පිටපතක් පවා බොහොම කල් ඇතිව තමයි අතට ගන්නේ. නමුත් අද බොහෝ දුරට දර්ශන තලයේදීමයි පිටපතක් අතට ලැබෙන්නේ. පිටපතක් සියලු දෙනා එක් වී සාකච්ඡා කෙරෙනවා අඩුයි. කෙසේ වෙතත් පොදු ගැටලු, ආර්ථික සමාජීය කාරණා රැසක් නිසයි මෙබඳු දේ අත්දකින්නේ.
නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ මොනවගේ අදහසක් ද තිබෙන්නේ?
ඇත්තෙන්ම හොඳ නිර්මාණ බිහිවෙනවා. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. මට හිතෙනවා සමහර නිර්මාණ ලංකාවේ පේ‍්‍රක්ෂකයාට දෙන්න නොවේද හදන්නේ කියා මොකද නිර්මාණයක් මුල පටන්ම සම්මාන බලාගෙන හැදුවොත් එය පේ‍්‍රක්ෂකයාගෙන් ඈත් වෙනවා. නමුත් එහෙමම නොවෙයි විය යුත්තේ. එය අපේ රටටත් ගැළපෙන එකක් විය යුතුයි. මුලින්ම අපේ පේ‍්‍රක්ෂකයා දැනුමින් සන්නද්ධ කළ යුතුයි. ඔවුන්ගේ රස වින්දනයට හේතුපාදක වන නිර්මාණයක් සැකසිය යුතුයි. බොහෝ විට සින්තටික් නිර්මාණවලින් වැසුණු පසුබිමකුත් අප දකිනවා. ඊළඟ කාරණය තමයි දක්ෂ නිර්මාණ කරුවන්ට මතුවීමට තිබෙන අපහසුතාව ඒ වගේම හොඳ නිර්මාණ හැදුණත් එය විකාශය කරගැනීමට තිබෙන බාධා. එතකොට කොහොමද නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතර ගෙන යන්නේ. මෙය හරියට යුද්ධයක් වගෙයි.
ඊළඟට නව තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාල භාවිතාවන් හේතුවක් වී තියෙනවා. ඒ ඒ නිර්මාණයන් රසවිඳිය යුතු ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක් ජංගම දුරකතනයකින් නරඹනවාට වඩා වෙනස් අත්දැකීමක් ලැබෙන්නේ පුළුල් තිරයක් ඔස්සේ නැරඹීමෙනුයි. සිනමා පටයක තියෙන ගැඹුර, වපසරිය දකින්න එහි රසය විඳගන්න නම් අපි යා යුත්තේ සිනමා හලකටමයි.
සිනමාව වේදිකාව රූපවාහිනිය කියන්නේ මාධ්‍ය තුනක් නෙ. මෙහි වෙනස ගැන අවබෝධයක් අපට තිබිය යුතුයි. ඒවායේ හැසිරිම සමානයි මෙන් පෙනුණත් සැබැවින්ම වෙනස්.
මේ මොහොතේ නිර්මාණ ක්ෂේත්‍රය ගමන් කරන දිශානතිය පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
සමස්තයක් ලෙස බැලුවොත් මෙහි දියුණුවට බාධා වී ඇති කාරණා බොහෝ හඳුනාගන්න පුළුවන්. පොදුවේ කලාව, පමණක් නොවේ සියලු දේවල් තියෙන්නෙ අවගමනයක. අර්බුදවලට මුහුණ දීම පොදුයි. නමුත් කලාකරුවො, නිර්මාණකරණයේ යෙදෙන පිරිස වගේම, නිර්මාණ රසවිඳින්නත් පවා ඉන් ඇත් නොවිය යුතුයි. මේ වෙලාවේ ඒ සඳහා ඒ සියලු පිරිස්වල දායකත්වය ඕනේ. මේක දාලා යන එක පිළිතුරක් නෙමෙයි. කලාව පවත්වගන්න නම් කලාකරුවන් ඉන්න ඕන, නිර්මාණ හැදෙන්න ඕන පේ‍්‍රක්ෂකයෝ ඉන්න ඕන, එහෙම පසුබිමක් පවත්වාගත්තොත් තමයි අපට මෙහි සාධනීය ඉදිරියක් දකින්න පුළුවන් වෙන්නේ.
නව පරපුර මේ ගමනේ දී කුමනාකාර සාධක කෙරේ අවධානවත් විය යුතුයි කියා ද ඔබ සිතන්නේ.
නව පරපුර මෙහි හතර ඉම දැනගත යුතුයි. එසේ නැතිව මෙහි ගනුදෙනු කිරිම පහසු නෑ. මෙහි ඉතිහාසය, වපසරිය ආදි දැනගෙන ගියොත් පමණයි හොඳ පරපුරක් සේම හොඳ කලාවක් ඉදිරියට ඉතිරි වන්නේ. අලුත් පරපුරට කියා දිය යුතුව තිබෙන්නේ දඹුලුත් ගිහින් තලගොයිත් මරන්න එපා. කියන එකයි. එයින් ඔබත් විනාශ වෙයි. කලාවත් විනාශ වෙයි. විවිධ අරමුණු සමඟ මේ ක්ෂේත්‍රයට නොආ යුතුයි කියන එකයි.
මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අපට ලබාගත හැකි දේ බොහෝයි. ඔවුන්ගෙන් ඒ වටිනාකම් ඉගෙන ගන්න, ඒවා ප්‍රගුණ කරන්න ඒ වගේම මනාව මේ සියල්ලක් පිළිබඳ දැන අවබෝධ කරගෙන කලාවට පිවිස කටයුතු කරනවානම් මේ පූජනීය කලාව සමඟ දුර ගමනක් යා හැකි වේය කියන එකයි මගේ අදහස වෙන්නේ.
පුවත්පත් කලාවේදිකයකු ලෙස ඔබේ ගමන ඇරැඹුණේ කොහොමද?
පුවත්පත්කලාවට ආදරයක් ඇතිවුණේත් පාසල් අවධියේමයි. එයත් රඟපෑමට තිබු ආසාව හා සමානම දෙයක්. ඒ කැමැත්ත මත පාසල් කාලයේදීම ලියන්න පෙලඹී හිටියා. මගේ ගම තමයි බණ්ඩාරගම, මැදගම. ඒ කාලෙ ඒ ගමේ තිබුණු අඩුපාඩු පිළිබඳ තොරතුරු ඇතුළත් කර මං ලිපියක් ලියා එව්වා, දියුණුවේ හිරු නොදුටු මැදගම නමින් දිවයින පුවත්පතට. කොහොම හරි ඒ ලිපිය පළ වූ විට පත්තරේ ඒක මට යම් උත්තේනයක් වුණා ලිවීමට. ඒ කාලේ අපේ තාත්තා ගෙදරට ගෙනවා දිනකර පුවත්පත. ඒ පුවත්පතේ ඇසුර ලබද්දි පාසල් අවධියේම මම ඒ පුවත්පතට ලියන්නත් පෙලඹුණා. මුලින්ම මම ලියුවේ එහි ළමා පිටුවටයි. කොහිලවත්තෙ මෙරිල් පෙරේරා කියල මහත්තයෙක් තමයි ඒ කාලෙ ළමා පිටුව සංස්කරණය කළේ. පසුකාලයේ ඒ සබඳතාව ඇසුරෙන් දිනකර පුවත්පතේ බණ්ඩාරගම වාර්තාකරු ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ කාලෙ එහි කර්තෘ ධුරය දැරුවේ කරුණාසේන ජයලත් මහත්තයා. පාසල් ගමන නිමකර ටික කලක් ගතවෙද්දී එහි මාණ්ඩලික වාර්තාකරු ලෙස කටයුතු කරන්න ගත්තා. ඒ අවධියේ කොළඹ නගරයේ නොඇවිදපු තැනක් නැතුව ඇති. ඒ අවධියේ මම ඡායාරූප ශිල්පියකු විදියටත් වැඩ කළා. ඒ ඇසුරින් එකල පුවත්පත්කලාවේදියකු විදිහට වටිනා අත්දැකීම් රාශියක් ලැබුවා.
පසුකාලයේ මම උපාලි පුවත්පතේ ආයතනයට සෝදුපත් බලන්නකු විදිහට සම්බන්ධ වුණා. ඒ කාලයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා නවලිය සිනමා අතිරේකය කරන කාලෙ. ඔහු මට කතා කර කිව්වා නවලියට ලියන්න කියලා. ටික කලකින් මම නවලිය සිනමා අතිරේකයේ ජනපි‍්‍රයම ලේඛයකු බවට පත්වුණා. ඔය අතරේ නාරද නිශ්ශංක මහත්තයා කළා සිනමා කලා පිටුව දිනපතා දිවයිනේ. එතකොට මම ඒ පිටුවටත් ලිවුවා.
බන්දුල පද්මකුමාර මහත්තාගෙ පත්තරවලටත් ඉන්පසු සම්බන්ධ වුණා. ඒ අතරේ ලේක්හවුස් ආයතනයේ සරත් අමුණුගම මහත්මයා සභාපතිත්වය දරන කාලේ එතුමා මට මුණ ගැසුණා. ඒ අවස්ථාවේදී එතුමා ආරාධනා කළා ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වෙන්න. ඒ අනුව තමයි මම ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඉන්පසු එහි උප කර්තෘවරයකු, විශේෂාංග කර්තෘවරයකු, විශේෂාංග සම කර්තෘවරයකු ආදී වශයෙන් කටයුතු කරන්න හැකිවුණා. අනතුරුව දිනමිණ ප්‍රධාන කර්තෘ ධුරය දරන්න අවස්ථාව හිමි වුණා දෙදෙහස් එකොළහ වර්ෂයේ මුල්වරට. එහිදි වසර තුනක කාලයක් මම දිනමිණ කර්තෘ ධුරය දරුවා. ඉන් අනතුරුව නැවත දෙදහස් විස්ස වසරේ සිට දෙදහස් විසි තුන වර්ෂයේ ජනවාරි දක්වා එහි කර්තෘධුරය දැරූ අතර මේ වන විට දිනමිණ පුවත්පතේ උපදේශක කර්තෘ ලෙස කටයුතු කරනවා.
ඔබ ලේඛකයකු විදියටත් පියවරක් තැබුවා නේද?
ඔව්. ‘ආලෝකය යට හමුවීම’ නමින් ග්‍රන්ථයක් කළා. නාට්‍ය කලාකරුවන්ගෙන් ජීවන මං පෙත් ගැන එහි කතා කළේ. දැනට තවත් නව ග්‍රන්ථ කීපයක් සුදානම් කෙරෙමිනුයි තියෙන්නේ.