චිට්ටි ආච්චිගේ පෙනුම, ගමන වගේම හඬ මෙහි ජනප්‍රියත්වයට හේතුවුණා

රංගන ශිල්පිනී මෙලනි අශෝකා
මැයි 18, 2023

මේ දිනවල ඈ පුංචි තිරයේ ප්‍රේක්ෂක හද දිනා ගෙන හමාරය. ඈ යන යන තැන ඇයට ආමන්ත්‍රණයෙන් පවා කතා බහ කරනුයේ ඇගේ රංගනයේ චරිතයේ නාමයෙන්මය. තමන්ගේ සැබෑ නමපවා අමතක කරදමා ඇති රූපවාහිනි ප්‍රේක්ෂකයන් ඈට මේ දිනවල ළෙන්ගතු පාන්නේ ඈ පුංචි තිරයේ කරනා රංගනයටය. සතියේ සෑම දිනකදීම සිරස නාළිකාවෙන් රාති‍්‍ර 8.30 ට විකාශය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ නාට්‍යයේ ‘චිට්ටි ආච්චි’ ලෙසිනුත් හිරු නාලිකාවේ රාත්‍රි 9.30 ට විකාශය වන ‘අනුපමා’ ටෙලිනාට්‍යයේ අනුපමා ලෙසින්ද ප්‍රේක්ෂකයන් අතරට එක්වන ඈ නමින් මෙලනි අශෝකාය. රංගන ශිල්පනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, වේදිකා නාට්‍ය ශිල්පිනියක්, අධ්‍යක්ෂවරියක්, පිටපත් රචිකාවක්, ලේඛිකාවක් ආදී බොහෝ හැකියාවන්ගෙන් පිරිපුන් මෙලනි අශෝකා දේශ ගෞරව කීර්ති සම්මානයෙන් හා රංගන කලා විභූෂණ දේශමාන්‍ය වීරමාතා සම්මානයෙන් පිදුම් ලැබූ කලා ශිල්පිනියක්ද වේ.

මේ දිනවල ‘චිට්ටි ආච්චි’ නමින් අතිශයින් ප්‍රේක්ෂක ජනාදරයක් දිනා සිටින මෙලනි සමඟ කතාබස් කරමු.

ඉතින් චිට්ටි ආච්චි කොහොමඳ මේ දවස්වල තොරතුරු?

වයස් භේදක් නැතුව හැමෝගෙන්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා මම රඟපාන ච්ට්ටි ආච්චි චරිතයට.

කොහොමද ඔබට මේ ච්ට්ටි ආච්චි වෙන්න ලැබෙන්නේ?

ඒ කාලය කොවිඩ්වලින් රට වෙලාගෙන තිබුණු වකවානුවක්. මේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ වසන්ත අමරසිංහ මට දවසක් කතා කරලා අහනවා මෙලනි අක්කේ චරිතයක් තියෙනවා හැබැයි ආච්චි කෙනෙක්. කැමතිද කරන්න කියලා. මම කිව්වා කැමතියි. මගේ දක්ෂතාවය පෙන්නන්නත් පුළුවන් වෙලාවක්නේ කියලා. ඒ වකවානුවේ කොහේවත් කඩවල්වල ෂැම්පු නෑ. මගේ කොන්ඩේ සුදු කළාම නැවත සෝද ගන්න ඉතින් මම චරිත රඟපාන්න කැමති වුණත් මගේ කොණ්ඩෙ නැවත සෝද ගන්න ෂැම්පු නැති නිසා මට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මම කිව්වා මල්ලි කොහෙවත් කඩවල ෂැම්පු නෑ. ඉතිං කොහොමද මම චරිතේ කරන්නේ කියලා. ඒ පාර වසන්ත මල්ලි මට කිව්වා අක්කා චරිතෙ කරනවා නම් අපි කඩවල් ඇරලා හරි ෂැම්පු අරන් දෙන්නම් කියලා. ඒ කාලේ ඕඩර් කරලාවත් ෂැම්පු ගන්න බැරි කාලයක්. ඒ තරමට කෝවිඩ් දරුණු වෙලා කඩවල් වහලා යාම් ඒම් සීමා කරලා තිබුණු කාලයක්. ඒ දවස්වල ‘කියා දෙන්න ආදරේ තරම්’ අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක රත්නායක. සහය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේ දැන් මෙහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වසන්ත අමරසිංහ. වසන්ත ෂැම්පු දෙනවා කිව්ව නිසා මම චරිතය භාරගත්තා. එහෙම තමයි ‘චිට්ටි ආච්චි’ වුණේ.

කොහොමද මේ දවස්වල චිට්ටි ආච්චිට ලැබෙන ප්‍රතිචාර?

මම සාමාන්‍ය විදියට ඉන්නකොට කාටවත් අඳුගන්න බෑ. මම ‘චිට්ටි ආච්චි’ ද කියලා. මම කොහේහරි ගියත් ‘චිට්ටි ආච්චි’ ආවා කියලා ආරංචියට මම ළඟින් කිය කිය යනවා මාව හඳුනගන්න බැරිව.

මේ චරිතය මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව ලෙස ඔබ දකින්නේ?

මට මේ චරිතය ලැබුණට පස්සේ මම හිතුවා මේ චරිතයට මම නිකන්ම ආච්චි කෙනෙක් වෙනවට වඩා මේ චරිතයට විශේෂ හඬක් යොදා ගන්නවා වගේම ඇයටම විශේෂ වූ ගමන් විලාසයක් යොදා ගන්නවා කියලා. ඒක එක් හේතුවක් වුණා මේ චරිතය මෙතරම් ජනප්‍රිය වෙන්න.

චිට්ටි ආච්චි ගේ ගමනයි හඬයි කාගේ නිර්මාණයක් ද?

ගමනයි හඬයි මම හඳාගත්ත දෙයක් මිසක් අධ්‍යක්ෂවරයාගේ උවමනාවට කළ දෙයක් නොවේ. මහේෂ් සත්සර මද්දුමආරච්චි තමයි මේ ටෙලිනාට්‍යයේ පිටපත් රචකයා. ඔහු මේ චරිතයේ දෙබස් හරි අපූරුවට ලියලා එවනවා. මමත් ඒ දෙබස්වලට මගේ ඇට් එක ‘චිට්ටි ආච්චි’ තුළින් නිරූපණය කරනවා. දැනට අවුරුදු දෙකකට කලින් තමයි මම මේ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වන්නේ.

මේ වෙනකොට ඔබ රංගන ශිල්පිනියක් සේම හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් කීර්තියක් අත්කරගත් කලා ශිල්පිනියක් නේද?

මේ දවස්වල ‘අනුපමා’ ටෙලිනාට්‍යයේ අනුපමාට හඬ කවන්නේ මම. හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් මම ශ්‍රාවකයන් සේම ප්‍රේක්ෂකයන් තුළත් අතිශයින් ජනප්‍රිය චරිතයක්.

හඬ කැවීම් ශිල්පිනියක ලෙස ඔබ කීර්තිමත් නාමයක් දිනා ගැනීමේ රහස කුමක් ද?

මම හඬ කැවීම් කලාවට හා පුරා කියා පිවිසෙන්නේ ටයිටස් තොටවත්තයන්ගේ ‘මල්ගුඩි දවස’ සමඟ ටයිටස් තොටවත්තයන්ට මාව යොමු කරන්නේ අතුල රන්සිරිලාල් මහතා. ටයිටස් තොටවත්තයන්ගේ ඒ ගුරුහරුකම් මට විශාල පිටිවහලක් වුණා. මේ හඬකැවීම් ශිල්පයේ ලොකු ගමනක් එන්න ඔෂින්, සුජාතා දියණිය, අභීත දියණිය වගේ අතිශයින් ජනප්‍රිය වූ නාට්‍ය සඳහා මට හඬකැවීමෙන් එක්වෙන්න ලැබුණා. මීට කලින් මම ගොඩක් ජනප්‍රිය වුණ ‘රොබින්සන් අන්දරේ’ කතාවේ මම හඬකැව්වා. එලිසබෙත් රොබින්සන් මේ චරිතය එවක ගොඩක් පිරිස් අතර ජනප්‍රිය වුණා. මට බොහෝ විට හඬකැවීම් අතර ලැබුණේ නිර්මාණවල ප්‍රධාන චරිත. මගේ හඬ එක්වූ නිර්මාණ ප්‍රමාණය ගත්තොත් මේ වනවිට සියයකට වැඩියි.

හඬ කැවීම් ශිල්පිනියක් වීම ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. සුවිශේෂි මතක හිටින ප්‍රධාන චරිතවලට මගේ හඬ මුසු කරන්න ලැබීම ගැන මට සතුටුයි. ඒ සඳහා මම වාසනාවන්ත වීම ගැන මට මම ගැනම තියෙන්නේ ආඩම්බරයක්.

ප්‍රධාන චරිත ඔස්සේම වේදිකාව, සිනමාව, රූපවාහිනිය ආක්‍රමණය කළ සිනමා නිළියක් නේද ඔබ?

‘සැලීනා’ වේදිකා නාට්‍යයේ ‘කැතරින්’, සම්බුදු මහිම චිත්‍රපටයේ ‘අඩ්ඩකාසි’ තෙරණිය, වෙස් ගත්තෝ ටෙලිනාට්‍යයේ ‘රූපා’ ප්‍රධාන චරිත ඔස්සේ මම මේ මාධ්‍ය ත්‍රිත්වයේ රංගනයන් ඉදිරිපත් කළා.

සිනමා නිර්මාණ කොපමණ ප්‍රමාණයකට ඔබේ රංගන දායකත්වය එක් කරනවාද?

විස්සකට පමණ ‘සම්බුදු මහිම’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන්න මට ලැබුණත් පසුව ලැබෙන නිර්මාණ ඔස්සේ මට ලැබුණේ ප්‍රධාන භූමිකාවෙන් පරිභාහිර චරිත.

ඔබ චරිත තුළ කොටු වූ නිළියක්ද?

නෑ. මට විවිධ චරිත රඟපාන්න ලැබුණා. අඩුම තරමේ මගේ රංගන ජිවිතය තුළ වසර දහයකට සැරයක් වගේ මම ප්‍රහසන නාට්‍යයක රඟපාලා තියනවා. වංගුව බංගලාව, ආදරවන්තයෝ, පෙරේරා කුරේරා, කීටයා මේ වගේ ප්‍රහසන නිර්මාණ තුළත් මම චරිත කරලා තියනවා. එකිනෙකට වෙනස් චරිත තමයි මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට දුකක් නෑ එකම චරිතයට කොටු වුණා කියලා.

ඇත්තද මේ ච්ට්ටි ආච්චිට ඔබව කොටු කරන්න තවත් අධ්‍යක්ෂවරුන් ආරාධනා කළා කියන්නේ ?

ඔව්. මට මේ මෑත කාලයේ කීපදෙනෙක්ම අධ්‍යක්ෂවරුන් කතා කළා. ‘ච්ට්ටි ආච්චි’ වගේ චරිත කිහිපයකටම මම බොහොම නිහතමානිව ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. ‘ච්ට්ටි ආච්චි’ එක්කෙනයි. ආයේ මොන දේකටවත් ‘ච්ට්ටි ආච්චි’ වෙන්න මට බෑ කියලා ‘ච්ට්ටි ආච්චි’ ඉන්නේ ‘කියා දෙන්න ආදරේ තරම්’ නිර්මාණයේ විතරයි. ආයේ මොන දේකටවත් නෑ. ‘ච්ට්ටි ආච්චි’ රඟපාන්න ගත්තාම ජනප්‍රිය අධ්‍යක්ෂවරු මට කතා කළා ඒ චරිතයම කරන්න. ඒ වගේම නිර්මාණ තුනක් මම ප්‍රතික්ෂේප කළා. ආච්චි වුණත් වෙන ආකාරයකට කරන්නම් හැබයි ‘ච්ට්ටි ආච්චි’ විදියට නම් බෑ.

නිර්මාණ පසු පස හඹා යන නිළියක්ද ඔබ ?

කොහෙත්ම නෑ. මම හැමතිස්සේම ටෙලිවිෂන් එකේ නෑ. ඒකට හේතුව අපේ මහන්සියට ලැබෙන වේතනය එදා හවසට ලැබෙන නිර්මාණවලට විතරයි අද මම දායක වෙන්නේ. දෙන්නම් කාසිවලට රඟපාලා බැට කාපු කෙනෙක් මම. ඒ නිසාම දැනට වසර කිහිපයක ඉදලා මගේ සැපිරිය යුතු කොන්දෙසිවලට එකඟ නම් විතරයි මම නිර්මාණයක් වෙනුවෙන් එකතු වන්නේ.

මෙලනි අශෝකා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් අධ්‍යක්ෂවරියක් ?

මගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ‘සිලින් සීයා’. මෙහි පිටපතත් මගේ නිෂ්පාදනයත් මගේ මගේ මුල්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය ‘බවතිමිර’.

වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක් වන ඔබ වේදිකා නාට්‍ය නිෂ්පාදිකාවක් අධ්‍යක්ෂවරියක් නේද?

ඒකම තමයි මේක, සුභාවී රඟමඩල, සිලෝනා වේදිකා නාට්‍ය තුන මම රචනා කොට නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළා.

දැන් ඔබ වේදිකාවෙන් සමුඅරගෙනද?

නෑ. දැනට වසර දෙක තුනක ඉදලා වේදිකාවේ රඟපෑවේ නෑ. මම වේදිකාවේ අසූව දශකයේ රඟපෑ තිලක් වේහැල්ලගේ. කතරගම රූමතිය වගේම දෙදහ වසරේ රඟපෑ සැන්ඩෝ හැරිස්ගේ චෙරියෝ සාජන්ට්, ඩොක්ටර් චිකාගෝ නාට්‍යවලින් ගොඩක් ජනප්‍රිය වුණා.

වේදිකා රංඟනයත් සමඟ ඔබගේ කලා දිවියේ ඇරඹුම සිද්ධ වෙනවා?

විනී රන්වල, ලයනල් රන්වල දෙසොයුරන්ගේ නාට්‍ය රැසක මම මුලින්ම රඟපෑවා බීරි අලි, නොගිය ගමන, එක ගෙඩියයි ඵල ගන්නෙ, වෙස් ගත්තෝ සෛයිලාසනය ආදී බොහෝ නාට්‍ය ඒ අතර වෙනවා. පාසල් අවදියයේ මුලින්ම මම සම්බන්ධ වන්නේ පී.වැලිකලගේ ‘මං කොමසාරිස්’ ගුවන් විදුලි නාට්‍යය සඳහා. එවක මගේ පාසල වූ කෝට්ටේ ආනන්ද බාලිකාවේ විදුහල්පතිනිය වූයේ පී.වැලිකල මහතාගේ බිරියයි. පාසල් සිසුවිය ලෙස වයස අවුරුදු එකොළහදී මම මුලින්ම නාට්‍ය සඳහා එක්වෙනවා. රෝයි ජයවර්ධනගේ සැලීනා නාට්‍යයෙන් තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට එක්වන්නේ. ඒ 1976 නොවැම්බර් 14 වැනි දා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවීමත් සමඟය.

වේදිකාවේ ඔබ වඩාත් ජනප්‍රිය වූ චරිත වුණේ?

බීරි අලි නාට්‍යයේ මිසිස් දුනුසිංහ, කතරගම රූමතිය නාට්‍යයේ ප්‍රේමවති මනම්පේරි, චෙරියෝ සාජන්ට් නාට්‍යයේ අග්‍රාණ්ඩුකාර බිරිය, ඩොක්ටර් චිකාගෝ, නාට්‍යයේ නර්ස් චරිත තුළින් මම වඩාත් ප්‍රේක්ෂකයන් අතර වේදිකාවේ ජනප්‍රිය වුණා.

ඔබේ කලා දිවිය අද වන විට අඩසියවසක් පහුකරලා?

මම මුලින්ම කලාවට එක්වුණේ හැත්තෑව දශකයේ මුල් භාගයේ. අද වෙන කොට මගේ් කලා දිවියට අවුරුදු පනස් තුනක්.

රංගනයට වගේම ලේඛන කලාවටත් ආදරය කරන කෙනෙක් ඔබ?

මම මේ වන විට සිංහල නෑයා නමින් කෙටි කතා පොතකුත් සෙබළෙකු සහ ගැහැනියක් නමින් නව කතා පොතකුත් ලියලා එළිදක්වලා තියෙනවා. සමනළ බැද්ද, ඕතොමෝ නමින් නවකතා දෙකකුත් කෙටි කතා දහයකින් යුත් පොතකුත් දැනට මම ලියලා මුද්‍රණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබගේ කෙටිකතා සංග්‍රහය සම්මානනීය ඇගැයුමට පවා ලක් වුණා?

ඔව් දෙදහස් නවයේදි කඩුවෙල ජාතික සාහිත්‍ය උත්සවයේදි සිංහල නෑයා කෙටි කතා සංග්‍රහයට ප්‍රථම ස්ථානය සඳහා සම්මාන ලැබුණා.

ගීත රචනා පද්‍යරචනා සඳහාත් ඔබ සම්මානීය වූවා?

ගිය වසරේ කඩුවෙල ජාතික සාහිත්‍ය උත්සවයේදි ගීත රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය මට හිමිවුණා. ඒ ගීතය සංජීවනී වීරසිංහ මහත්මිය විසින් ඉදිරියේදි ගායනා කරන්නත් සූදානම්. ඇය විදෙස් ගත වෙලා සිටින නිසා නැවත මේ රටට ආ විගස එහි ගීත පටිගත කිරීම සිද්ධ කරන්න දැනටමත් කතාබස් කරලයි තියෙන්නේ.

සහජ හැකියාවන් බොහෝමයක් තුළ සුපෝෂිත ඔබ මෙයින් වඩාත් ඇලුම් කරන්නේ?

ලේඛිකාව කියන භූමිකාවට. එකම හේතුව මම අවුරුදු එකොළහෙදි කලාවට ආපු කෙනෙක්. අද වෙනකන් මම ජීවත් වෙන්නෙත් කලාවෙන්. ඒ කලාවේ එක් පැතිකඩක් ලේඛන කලාව. මට පහුකාලීනව තමයි ලේඛන කලාවෙන් ප්‍රයෝජන ගන්න හැකිවුණේ. රංගන ශිල්පිනියන් ගත්තොත් අද එදාට වඩා විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ලේඛිකාවක් කියන තැන මට යමක් කියන්න පුළුවන් මට යමක් ඉතිරි කරලා යන්න පුළුවන් තැනක් තමයි. මගේ ලිවීමේ හැකියාව තියෙන ලේඛන කලාවට මම වඩාත් කැමති. ඒ වගේ තමයි මේ තාක් මට විශාල ගෞරවයක් ලැබිලා තියෙන්නෙත් ලේඛිකාවක් ලෙසයි.

චිට්ටි ආච්චිට රංගනයෙන් දායක වන ඔබ ඇයව දකින්නේ කොහොමද?

ඇය අව්‍යාජ චරිතයක්. ඇගේ චරිතය මවා ගත්තු දෙයක් නොවේ. ඔය ‘චිට්ටි ආච්චි’ගේ චරිත සැබෑ සමාජයේ තියෙනවා. අපි ඔය චරිතය රූපගත කරන්නේ ග්‍රෑන්ඩ් පාස්වල රෙදිමෝල වත්තේ. එතැනත් ඔය වගේ චරිත ඉන්නවා. ඒ ඉන්න කෙනෙකුත් මට විහිළු කරනවා ඔන්න මගේ බඩටත් ගහන්නේ් හදන්නේ කියලා. චිට්ටි ආච්චිගේ කටත් හොඳ මදි. දවසක් මාව උස්සගෙන ගිහින් දැම්මා කුණු ගොඩකට. තව දවසක් මගේ කීම අහන් ඉන්න බැරිව ඇදලා දැම්මා රෙදි හෝදන වතුර ටැංකිය ඇතුළට. ඒ සීන් එක බලපු ප්‍රේක්ෂකයොත් මගේ පුතාලා දෙන්නත් මට කිව්වා අම්මා ඔය වගේ දේවල් රඟපානකොට පරිස්සම් වෙන්න කියලා. ආයෙ ඔය වගේ දෙයක් කරන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතලා බලන්න කියලා. මට ඒ වේලාවට ඒක ගාණක් නෑ. නමුත් දකින කෙනාට තමයි ඒකෙ බිහිසුණු කම දැනෙන්නේ.

චිට්ටි ආච්චි රඟපාන කොටත් අමතක නොවන සිද්ධිත් ඇති?

ඇයි අයිරා මාව රෙදි සෝදන වතුර ටැංකියට ඇදලා දාන දර්ශනය මට ලේසියෙන් අමතක වන්නේ නෑ. සබන් වතුර පෙවෙයි කියලා මම කටත් වහගෙන ඇස් දෙකත් පියා ගත්තා. අයිරා ඇදලා මගේ ඔළුව සබන් වතුරේ එබුව පාරට මාව නැවතුණේ කකුල් දෙකත් උඩ ගිහින්.

ඔබේ රංගන දායකත්වය එක්වූ නිර්මාණත් ඉදිරියේදි ප්‍රේක්ෂක හමුවට එන්නත් ඇති?

චනික පෙරේරාගේ පස්, මංජුල මොරගහගේ ‘ගුඩ් නිවුස්’, ලාල් විජිත කුමාරගේ ‘ධවල දෙගිරාව’ ආදී ටෙලි නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදි එන්න තියෙනවා. ආචාර්ය සරත් වීරසේකරයන්ගේ ‘ශ්‍රී සද්ධා’ චිත්‍රපටයත් මගේ රංගනය එක්ව ඉදිරියේදි තිරගත වෙන්න තියෙනවා. මේ වෙන කොට ඒකාංගික මෙන්ම ප්‍රසංගික ටෙලි නාට්‍ය දෙසීයක විතර මම රඟපාල ඇති.

ඔබ රංගන ශිල්පිනියක සේම සමාජ සේවිකාවක්?

මම හැමදාම කලා ලෝකයේ ඉන්නවා. කවදාවත් නැති වෙන්නේ නෑ. ටෙලිවිෂනයේ මම නැති වුණාට කලාකරුවන් අතරේ මම ජීවමානයි. කලා සංගම්වල මම දෙදාස් දෙක වසරේ සිට විවිධ නිලතල ලබමින් කටයුතු කරනවා. දෙදහස් දහය වසරේ සිට කලාකරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්න මට අවකාශ උදා වුණා. සමිති සමාගම්වල ලැබුණු තනතුරුත් එක්ක ඒ සමාජ සත්කාර මට ඉහළින් කරන්න හැකිවුණා. මම කඩුවෙල සංස්කෘතික බලමණ්ඩලයේ ලේකම්. නිදහස් කලා සන්ධානයේ ලේකම් ලෙසත් මම කලාකරුවන් සමඟ ඉන්නවා. රංගනයේදි වගේම සමාජ සේවයේදිත් කලාකරුවන් වෙනුවෙන් මම කැප වෙලා කටයුතු කරනවා. දශක පහක් පුරා කලාව තුළ රුඳිලා සිටිනවා. සමිති සමාගම් කරනකොට විවිධ පුද්ගලයන් සමඟ ගැටෙන්න සිද්ධ වෙනවා. මිනිස්සු සර්ව සාධාරණ නෑ. මිනිස්සු කවද්ද සර්ව සාධාරණ වන්නේ එදාට තමයි මේ ලෝකය ලස්සන වන්නේ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]