වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මා තුළ සිනමා තාක්ෂණ ශිල්පීන් සිව්දෙනෙක් ඉන්නවා

මේ වන විට නූතන මාධ්‍ය ලෝකයේ හැසිරීම පිළිබඳ සැලකිලිමත් වී ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ ජනමාධ්‍ය හා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට අති නවීන තාක්ෂණය යොදාගෙන තම මාධ්‍යකරණයේ යෙදිය හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම පාඨමාලා සමායෝජක ලෙස මගේ පරම යුතුකම ලෙස සිතා එයට සුදුසුම තැනක් සෙවීමි. එහිදී මා හට සැක හැර ළඟා විය හැකි ස්ථානය වූයේ සම්මානනීය සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු, සංස්කරණ ශිල්පියකු, ශබ්ද නිර්මාණ ශිල්පියකු සහ ඩිජිටල් වර්ණ සංයෝජන ශිල්පියකු වන ප්‍රවීන් ජයරත්නගේ නූතන තාක්ෂණයෙන් පිරිපුන් ඩිල් ෆිල්ම්ස් ඉන්ටනැෂනල් ආයතනයයි. සිසු සිසුවියන් ද කැටුව එහි ගිය විට මෙරට ප්‍රථම ටියුබ් ස්ටූඩියෝවේ සිට වැඩසටහනක් සම්පාදනය කර ඒ මොහොතේ ම තමන්ගේ යූ ටියුබ් නාළිකාවක හෝ රූපවාහිනී වැඩසටහනක් ලෙස හෝ ප්‍රචාරය කළ හැකි පහසුම ක්‍රමය පැහැදිලි කරන්නට ඔහු සමත් වූවා පමණක් නොව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ද නිර්ලෝභී විය. ඒ කෙරෙහි කෘතඥතාවයෙන් සිටින අතර ප්‍රවීන් ජයරත්න මේ වන විට සම්බන්ධ වී කටයුතු කරන චිත්‍රපට කිහිපයකින් උදාහරණ ගෙන සිසුන්ට කරුණු පැහැදිලි කරනු දුටුවෙමි. එය සිසුන්ට පමණක් නොව සිනමාවේ නූතන තාක්ෂණය සහ පැතිකඩ සොය සරසවිය පාඨකයන් සියලු දෙනාට වැදගත් වන බැවින් ඒ පිළිබඳවත් ඔහුගේ වත්මන් නිර්මාණ පිළිබඳ තොරතුරුත් මෙසේ සටහනක් තබමි.
මොනවාද චිත්‍රපට ක්ෂේත්‍රයේ අලුත් තොරතුරු?
මේ දවස්වල චිත්‍රපට ක්ෂේත්‍රය ආර්ථික ප්‍රශ්නවලින් පසු වෙනස් වෙලා. තාක්ෂණය වෙනස්, පිරිවැය වෙනස් ඒ නිසා කලින් කළා වගේ වියදම් කරන්න බෑ. ඒ නිසා බොහෝ වෙලාවට කෙරෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ වියදම් සහිත නිර්මාණ. ඉතාම අඩු වියදම් නිෂ්පාදන කියා කොටසකුත් කෙරෙනවා. ඒ වගේම දැවැන්ත නිර්මාණත් නොකෙරෙනවා නෙවෙයි. මේ තත්ත්වය අනුව සිනමාවේ වෙනසක් සිදු වෙමින් පවතිනවා. එය හොඳද නරකද කියන දේ අපට බලන්න වන්නේ ඉදිරියේදී තමයි.
මම මේ දිනවල ඒ තත්ත්වයත් අධ්‍යයනය කරන ගමන් අලුත් වැඩ කටයුතු වගයකුත් සැලසුම් කර තිබෙනවා. ඒ මාධ්‍යවලට සම්බන්ධ කටයුතු සහ ආයතනයට සම්බන්ධ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වෙනස්කම් ගැන කියන්න කැමැතිද?
අපි සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියන දේ දිනෙන් දින ජනතාව අතරට එනවා. එය අලුත් දෙයක් ලෙස කියන්න හැදුවට මෙය කාලයක් පුරා ලොව වටා තිබුණු දෙයක්. ඒත් අපේ තිබුණු තාක්ෂණික ප්‍රශ්න නිසා සහ අන්තර්ජාල පහසුකම් සපයාගැනීමේ මිල අධිකබව වැනි විවිධ අපහසුතා නිසා එය තරමක් ප්‍රමාද වුණා. ඒත් ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර ආදිය සමඟ ඉන්න පිරිස වැඩි නිසා ඒ සමඟ කටයුතු කරන පිරිස වැඩි වෙලා තිබෙනවා. ඒ නිසාම නිෂ්පාදන කටයුතුත් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසාම නිර්මාණකරුවන් රැසක් එළියට ඇවිත් තිබෙනවා. හැබැයි මෙය සමාජ මාධ්‍ය වීම නිසාම ගුණාත්මක බවේ විශාල අඩුවක් සිදුව තිබෙනවා. අද සියයට එකක් වැනි ප්‍රමාණයක් තමයි හොඳ තාක්ෂණය සහ අන්තර්ගතයක් භාවිත කරලා නිෂ්පාදනයක් එළි දක්වන්නේ. එතැන හොඳ අලෙවියක් තිබෙන බව මම හිතනවා. මිනිසුන්ගේ අවධානය යොමු කරනගන්න පුළුවන් හොඳ අන්තර්ගතයක් තිබුණොත් කියන දේත් එයින් පැහැදිලි වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දිනවල මම වැඩ කරගෙන යන්නේ.
මොන වගේ වැඩ පිළිවෙළක් ද ඔබ කරගෙන යන්නේ?
අපි ඒ ප්ලැට්ෆෝම්ස් (ඩිජිටල් වේදිකා) වෙනුවෙන්ම කරන චිත්‍රපට සහ අලුත් නිර්මාණාත්මක වැඩ කටයුතු කීපයක් සූදානම් කරගෙන යනවා. මේ අලුත් පරම්පරාව සමඟ අලුත් තාක්ෂණය භාවිත කරලා, සමාජ මාධ්‍ය භාවිත කරගෙන ඒ නිර්මාණ කටයුතු කරන අයට අපේ ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් පහසුකම් සපයාගෙන කරන නිර්මාණවල තමයි යෙදෙන්නේ. අපේ අලුත්ම සංකල්පය තමයි ටියුබ් ස්ටූඩියෝ තාක්ෂණය. එය අධි තාක්ෂණය (හයිටෙක්) භාවිත කරන ස්වයංක්‍රිය චිත්‍රාගාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉහළ තාක්ෂණයෙන් යුතු නිර්මාණ අඩු වියදමින් ඉදිරිපත් කරන්න පුළුවන් වර්චුවල් ප්‍රඩක්ෂන් ස්ටූඩියෝ එකක් ලෙස හැඳීන්වූවත් නිවැරැදියි. එයින් සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුබවාදී බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයක් අපට ඇති වෙනවා.
ටියුබ් ස්ටූඩියෝ ගැන වැඩිපුර දැනගන්න අප කැමැතියි?
ස්වයංක්‍රීය කැමරා මඟින් අතත්‍ය (ඍඪපබභචත) නිෂ්පාදන කරන්න පුළුවන් චිත්‍රාගාරයක් කියලා සරලව හඳුන්වමු. එහි ඕනෑම කෙනකුට සම්මුඛ සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, අධ්‍යාපන වැඩසටහන්, තොරතුරු වාර්තා වැඩසටහන් අඩු පිරිවැයක් යොදා ක්ෂණිකව කරගන්න පුළුවන් අතරම එවෙලේම තමන්ගේ නාලිකාවකට යොමු කර දෙන්න පුළුවන් ක්‍රමයක්. ඉදිරියේදී දැවැන්ත නිර්මාණ රැසකට අපි මේ චිත්‍රාගාරය යොදා ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා. වැඩිපුර තේරුම් කළොත් අපට කොහොමත් තිබුණු විශාල පරිමාණයේ චිත්‍රාගාරය අප යොදා ගත්තේ මෝෂන් කැප්චර් කටයුතු සඳහා ඉඩකඩ සහ පහසුකම් ලබා දෙන්න. ගජමෑන් චිත්‍රපටය ලංකාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයක් ලෙස වාර්තා වෙන්නේ. එයින් කියැවෙන්නේ රසිකයාට උනන්දුවක් උපදවන්න පුළුවන් නිර්මාණයක් හැදෙනවා නම් ප්‍රේක්ෂකයන් ඒවා නරඹනවා. එකම ආර්ථික දේශපාලන තත්ත්වයන් යටතේ එක චිත්‍රපටයක් ලක්ෂ හාරදාහසත් පන්නා ආදායම් ලබන විට ලක්ෂ සියයක්වත් උපයන්න බැරි චිත්‍රපටත් තිරගත වන්නේ කොහොමද? මේ චිත්‍රපට දෙකම විනෝදාත්මක චිත්‍රපට වීම අනෙක් විශාලම ගැටලුව. අපි චිත්‍රපටයක් කරන විට අලුත් ප්‍රවණතා සහ අලුත් ප්‍රේක්ෂාගාරයක් වෙනුවෙන් බව දැනගෙන දැන්වත් වැඩ කරන්න පටන්ගත්තොත් හොඳයි. එය කාලයක් තිස්සේ වුණේ නෑ. මම කියන්නේ හැමෝම සජීවීකරණ චිත්‍රපට කළ යුතුයි කියන දේ නෙවෙයි. මොකද සිනමාව කියන්නේ සජීවීකරණ චිත්‍රපට පමණක්ම නොවෙයි. අනෙක ලෝකයේ මේ වන විට ඇනිමේටඩ් ෆිල්ම්ස් පහතට වැටිලා තිබෙන්නේ. ඒ මොනවා වුණත් හැම විටම ප්‍රේක්ෂාගාරය ගැනත් හිතලා තාක්ෂණයත් භාවිත කරලා නිර්මාණයක් කළ යුතු වන්නේ. හැම තිස්සේම 70 දශකයේ සිනමාව හොඳයි කියන අතර වර්තමාන සිනමාව ආදායම් අතින් බිමටම වැටිලා තිබෙන හේතුව අවබෝධ කරගත යුතුයි.
ඊ සිනමාව දැන් අප රටේ කොතැනද ස්ථානගත වන්නේ?
ඇත්තටම ලෝකයේ දැන් ඊ සිනමාව ඉවත් වෙමින් තිබෙන්නේ. වර්තමානයේ ප්‍රමිතිය තමයි ඩී සිනමාව. එය දිගු කාලයක් පවතින බව ස්ථිරයි. ඉලෙක්ට්‍රොනික් සිනමාව ඉන්දියාව වැනි රටවලින් කාලයක් භාවිතයෙන් පසු චිත්‍රපටවලට පෙර වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා භාවිත කළ තාක්ෂණය. එය කෙටි කාලයක් ක්‍රියාත්මක වුවත් ඩිජිටල් සිනමා ඉනිෂියේටිව් ලෙස සම්මත වුණු ජගත් එකඟතාවයේ නිර්ණායකවලට අනුවයි අනුමත කරන්නේ. අපි චිත්‍රපටයක් කළ පසු ශ්‍රව්‍ය ගුණාත්මකභාවය වගේම දෘශ්‍ය ගුණාත්මකභාවය විඳ ගන්න නම් ඩී සිනමා තමයි යොදා ගත යුත්තේ. ඊ සිනමාව ලංකාව වැනි රටකට පිරිවැය අඩු ක්‍රමවේදයක් නිසා එය පැවතුණත් ඩී සිනමාවට දැන් ලංකාව ගිහින් බොහෝ කල්. ප්‍රධාන පෙළේ සිනමා ශාලා මේ වන විට ඩී සිනමා ප්‍රමිතිය අත් කරගෙන තිබෙනවා. හේතුව ඒ තාක්ෂණයට පමණයි මාවල් ස්ටූඩියෝස් නිෂ්පාදන නැත්නම් සුපර්මෑන්, ස්පයිඩර් මෑන්, ඇවටා වැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට සහ පතාන් වැනි බොලිවුඩයේ මහා පරිමාණ චිත්‍රපට නරඹන්න හැකි වන්නේ. එයට හේතුව ඔවුන් නිර්මාණයේ ආරක්ෂාව සහ ප්‍රමිතිය පිළිබඳ ඉතා දැඩි අවධානයක් යොමු කිරීම.
පසුගිය කාලයේ ප්‍රදර්ශනය වුණු චිත්‍රපට රැසකට ඔබේ දායකත්වය ලැබුණා?
ළඟදිම ප්‍රදර්ශනයට නිකුත් වන්නේ ගුත්තිල චිත්‍රපටය. එය තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් හරේන් නාගොඩවිතානත් ඩිලිනි නාගොඩවිතානත් එක්ව නිෂ්පාදනය කෙරූවක්. මෑත කාලයේ නිෂ්පාදනය වුණු සාර්ථක චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්න හේතු කීපයක් තිබෙනවා. ගුත්තිල කාව්‍යයේ ප්‍රධාන කතාව ඔස්සේ ගලා යන තේමාව අලුත් අත්දැකීමක් සමඟ හොඳ චිත්‍රපටයක අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ලබා දෙනු ඇති කියා මම සිතනවා.
අද්මිරාල් සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයත් ළඟදීම නිකුත් වීමට නියමිතයි. ගුත්තිල මෙන්ම ශ්‍රී සිද්ධාත් එපික් හෙවත් දැවැන්ත චිත්‍රපට ලෙස සලකන්න පුළුවන්. මෙහි අන්තර්ගත වන්නේ පනාකඩුවේ තඹ සන්නස සොයා ගැනීම ඇසුරින් ගොඩ නැඟූ සත්‍ය කතාවක්. රිටිගල සුමේධගේ අංගම් සටන් ඇතුළත් ක්‍රියාදාම සහිත හිතට දැනෙන චිත්‍රපටයක් බව කියන්න පුළුවන්.
මේ චිත්‍රපට ද්විත්වයේම මම සංස්කරණය, ශබ්ද නිර්මාණකරණය, කැමරා උපකරණ සහ තාක්ෂණික උපකරණ සැපයුවේ අපි. ඒ චිත්‍රපට සුවිශේෂී වනවා වගේම ඊටත් වඩා අතිශයින් සුවිශේෂී චිත්‍රපටයක් ලෙස ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්වය හඳුන්වන්න පුළුවන්. මොකද ජයන්ත අය්යා සමඟ අපි ඩිල් ෆිල්ම්ස් ආයතනයේ රංගන පාසලක් කරගෙන යනවා. ඒ පාසල සමඟ බද්ධ වුණු චිත්‍රපටයක් හැටියට මට මේ චිත්‍රපටය වැඩි විශේෂත්වයක් තිබෙනවා. ඒ වගේම මේ ලිපිය පළ වන සරසවිය පුවත්පත සහ සරසවිය සිනමා සම්මාන උලෙළ වගේම ලේක්හවුස් ආයතනය මේ චිත්‍රපටයට සම්බන්ධ නිසා තව දුරටත් මිදුණු විශ්වය මට සුවිශේෂ බව කියන්න කැමැතියි. මේ කතාව ආරම්භ කරන්නේත් සරසවියට ස්තුති කරලා. චිත්‍රපටයේ රූගත කිරීම් බහුතරයක් ලේක්හවුස් ආයතනයේ සහ ඩිල් ෆිල්ම්ස් ඇක්ටිං ඇකැඩමි කියන ආයතන දෙකේ සිදු වුණේ. එපමණක් නොවේ මම සාමාන්‍යයෙන් සංස්කරණ ශිල්පියා, ශබ්ද පරිපාලනය සහ ඩිජිටල් වර්ණ සංයෝජනයට අමතරව වසර 10ට පසු කැමරා ශිල්පියකු ලෙස යළි කරළියට එන්නට හැකි වනවා. ඇරි ඇලෙක්සා කැමරාව සහ අල්ට්‍රා ප්‍රයිම්ස් කාච සමඟ මෙරට යොදාගත හැකි උපරිම තාක්ෂණය යොදාගෙන කළ චිත්‍රපටයක් මිදුණු විශ්වය. ලංකාවේ ලේසියෙන් එවැනි තාක්ෂණික භූමිකා රැසක් කරන්න ලැබෙන්නෙ නෑ ශිල්පියෙකුට. එය මගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස මම සලකනවා.
අරුම පුදුම අපේ යාළුවෝ, දිරිය දෝණි වැනි තවත් චිත්‍රපට පහක් පමණ ප්‍රදර්ශනයට නියමිතයි.
ඔබ විදේශ චිත්‍රපටයකටත් සම්බන්ධ බව ආරංචි වුණා?
මේ වෙද්දි ඉරානි නම් ඉන්දියානු චිත්‍රපටයකත් මිදුණු විශ්වයේ වගේම ප්‍රධාන තාක්ෂණික අංශ හතරෙන් සම්බන්ධ වෙනවා. එහිදීත් අලුත්ම කැමරා තාක්ෂණයක් භාවිත කළා. ලංකාවේ ප්‍රථම වරටයි අප එය භාවිත කළේ. එය මෙතෙක් අප භාවිත කළ ස්ටෙඩි කැම් තාක්ෂණයට වඩා දියුණු ක්‍රමයක්. 1970 ගණන්වල සිට තිබුණු ස්ටෙඩි කැම්වල කැමරාව චලනය කළ හැකි පරාසය ඉතා සීමිතයි. එහෙත් මේ වර්ගයේ තාක්ෂණය විස්තර කළ හැක්කේ යමෙකු ඇවිදින විට ඔහුගේ පතුලේ සිට ක්‍රමයෙන් සිරුර දිගේ මුහුණ හෝ හිස දක්වා ග්‍රහණය කරමින් ඉහළට චලනය කළ හැකි (ටිල්ට් අප්/ ඩවුන් කළ හැකි) කැමරාවක් ලෙසයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඉන්දියානු රංගන ශිල්පී රාජ් කුමාර් රංගනයේ යෙදෙන ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙහි සියලු රූපගත කිරීම් අප කළේ ශ්‍රී ලංකාවේ. කේරළයේ ඇතැම් දර්ශන වෙනුවෙන් පවා අප ලංකාවේ දර්ශන ඉසවු යොදා ගත්තා. ඉරානි ප්‍රදර්ශනයට නිදහස් කරන්නේ ඉන්දියාවේදියි. නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා වන ජෙගන් මහතා සමඟ තව නොබෝ දිනකින් තවත් ඉන්දියානු චිත්‍රපටයක් කරන්න කතා බහ කරගෙන යනවා.
ඔබ විදෙස් අධ්‍යාපනය පවා ලද සිනමා ශිල්පියෙක්. ඒ දැනුම අපේ රටේ අංකුර ශිල්පීන්ට බෙදා දෙන්න ක්‍රමවේදයක් සකසා තිබෙනවාද?
අපි අනෙක් අය වෙනුවෙන් තැනූ ටියුබ් ස්ටූඩියෝව මඟින් මටම පහසු වෙලා තිබෙනවා යූ ටියුබ් හෝ සූම් ආදිය ඔස්සේ වැඩමුළු මඟින් දැනුම්වත් කිරීම් කරන්න. අන්තර් ක්‍රියාකාරී ක්‍රමවේදය ඔස්සේ තමයි මේ දැනුම බෙදා දීම අප කරගෙන යන්න සූදානම් කරන්නේ. ඊට අමතරව අප සහතික පත්‍ර සිට ඩිප්ලෝමා දක්වා පාඨමාලා සැලසුම් කර අවසන්. මේ සියල්ල කොරෝනා නිසා වැලකුණා. ඒත් මේ වන විට ඒ සියල්ල ඇරඹිය හැකි තත්ත්වයකට පත් වෙමින් තිබෙන බව පේනවා. ඒත් මගේ කාර්යබහුලත්වය සමඟ මේ දැනුම බෙදා දීමේ වැඩකටයුතු තරමක් පමා වී තිබෙනවා. එහෙත් ඉක්මනින් මේ තාක්ෂණික දැනුම තරුණ පරපුර අතර බෙදා දිය යුතුයි. මෙය ව්‍යාපාරයක් නොවේ. මොකද සිනමාව පිළිබඳ පන්ති කරලා මුදල් උපයන්න පුළුවන් තැනක නොවේ අපි ඉන්නේ. ආර්ථික වාසිය සොයනවා නම් ඊට වඩා දේවල් තිබෙනවා අපට කරන්න. ඒ නිසා කෙසේ හෝ සිනමාව, කලාව වෙනුවෙන් යොමු වන නව පරපුර දැනුමින් සන්නද්ධ කිරීමයි අපේ අරමුණ.