විලී අබේනායක අයිරින් මරන සැටි මා ඇසින් දුටුවා

ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල
අප්‍රේල් 27, 2023

සමාජයේ විවිධ පුද්ගලයන්ට විවිධ විනෝදාංශයන් කොතෙකුත් ඇත. ඒ අතරින් සුවිශේෂී විනෝදාංශයක් හා එක් වූ පුද්ගලයන්ද නැතුවා නොවේ. වසරේ තුන්සිය හැට පස් දවස පුරා අරුණෝදයේම උපන්දින සුබපැතුම් එක්කරන ඔහු ගැන කාලා ලෝකයේ නොදන්නා කෙනෙක් නැතිතරම්ය. දවසේ හිරු උදාවත් සමඟ උපන්දින සුබ පැතුම් එක්කර දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරන ඔහු කලා ක්ෂේත්‍රයේ එක්තරා අන්දමක නිල නොලත් විවාහ, උපත්, මරණ, රෙජිස්ටාර්වරයාය. කිසියම් හෝ කලාකරුවකුගේ කලාකාරිණියකගේ තොරතුරක් දැනගන්නට කවුරුන් හෝ කතාකරන්නෙත් ඔහුටය. කලා ක්ෂේත්‍රයේ කිසියම් හෝ අයකුගේ ලිපිනයක්, දුරකථන අංකයක් පහසුවෙන් ලබා ගැනීමට අමතන්නේ ද ඔහුටය. නිරන්තරයෙන් කලා සාමාජිකයන්ගේ තොරතුරු යාවත්කාලීන වන්නේ ඔහුගේ සුරතිනි.

මේ අපුර්වතම විනෝදාශය සමඟ කලා ක්ෂේත්‍රයේ යාවත්කාලීන වන ඔහු නමින් සිරි කහවලය. මේ අපුර්වතම විනෝදාංශයේ තොරතුරුත් සමඟ අපි කතා කරමු සිරි කහවලයන් සමඟ.

කොහොමද දැන් අලුත් තොරතුරු?

දැන් මට වයස අවුරුදු 81 ක් මම ඉපදුණේ1942 පෙබරවාරි 16 වනිදා. විශේෂ දෙයක් කියල මේ දවස් වල නැහැ. අයි.ටී.එන් එකේ සෑම දවසකම උදේ සහ හවස හැපිබර්ත්ඩේ විශේෂාංගය කරනවා. ඊට අමතරව රැගුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ඉන්නවා.

රැගුම් පාලක මණ්ඩලයේ දීර්ඝකාලීන සාමාජිකයෙක් නේද ඔබ?

2006 වසරේ තමයි මම මුලින්ම මේ සඳහා පත් වුණේ.2010 වසරේ එම නිසා මම මණ්ඩලයේ සාමාජිකත්වයෙන් මාව ඉවත් කරනු ලැබුවා. ඉන්පසු මට ටෙලි බදු කොමිටියේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්න ලැබුණා. නැවත 2020 වසරේ සිට මේ දක්වා රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ඉන්නවා.

කළුතර දිස්ත්‍රික්කයේ අරකාගොඩ ඉපදුණ ඔබ අධ්‍යාපනයේ නවාතැන් බොහොමක් පසු කර එන්නෙක්?

මිල්ළෙනිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ මුලික අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලාවට අධ්‍යාපන කටයුතු සඳහා ඇතළත් වුණා. ඊට පස්සේ පානදුර ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලයේ හා පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පස්සේ කැලණියවිද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් මගේ අධ්‍යාපන කටයුතු නිමා කළා.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ?

මේ වෙනකොට මගේ වයස අවුරුදු 16යි. හරියටම ඒ අවුරුද්ද 1958 මට සිංහල දෙබස් කවපු ශෝභා චිත්‍රපටය නරඹන්න ලැබුණා. මේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක් සිංහල දෙබස් කවා තිබු මේ චිත්‍රපටයේ රඟපෑ නිළිය වුණේ වෛජයන්තිමාලා මේ චිත්‍රපටය බලපු මම ඇයත් සමඟ සිතින් පේ‍්‍රමයෙන් බැදුණා. වෛජයන්තිමාලාට සිතින් පේ‍්‍රම කරන නිසාම මට හින්දි භාෂාව ඉගෙන ගැනීමේ ආශාවක් ඇති වුණා.

හින්දි භාෂාව ඉගෙන ගැනීමේ ආශාව ඔබ ජයගත්තේ කොහොමද?

හින්දි භාෂාව ගැන ලියපු පොත පත පරිශීලනය කළා. බඹරුන්දේ සිරිසීවලී හිමියන් ලියූ හින්දි භාෂාව පොත මා පරිශීලනය කළා. චිත්‍රා විද්‍යාලය මඟින් තැපැලෙන් කළ හය මාසික හින්දි පාඨමාලාව. අධ්‍යයනය කළා. ඊට පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ 1965 දී මම හින්දි භාෂාව විශේෂ උපාධියක් ලෙස හැදෑරීමක් සිද්ධ කළා. එවක හින්දි භාෂාව හදාරපු මගේ සමකාලීනයෙක් වුණේ සිරි කුලරත්න. චන්ද්‍රසිරි පල්ලියගුරු, රවිලාල් විමලධර්ම මගේ හින්දි භාෂා ගුරුවරු වුණා. මට මතකයි මගේ හින්දි භාෂාව පිළිබඳ පරීක්ෂණයක් කළ රවිලාල් විමලධර්ම මහතා මට හින්දි ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයක් පරිත්‍යාග කළා.

කුඩා කල පටන් පුවත්පත් කලා වේදියෙක් වන්නට ඔබ සිහින මැව්වා නොවේද?

මට තිබුණේ කවදා හෝ පත්තර කාරයෙක් වීමේ ආශාව. මගේ අක්කා දයා කහවල.

ඇය දක්ෂ කෙටි කතාකාරියක් ඇය තමයි මගේ පිටුපස හිටිය සෙවනැල්ල ඇය ලීවීමට දැක් වූ හැකියාව මාවත් නිරායාසයෙන් ලිවීමට පෙලෙඹෙව්වා. මගේ නංගි යස කහවල ඇයත් දක්ෂ කෙටි කතාකාරිනියක් කුඩා කල පටන් අපි සාහිත්‍ය පොතපතට බොහොම ළැදියි. ඒ ළැදිකම කොච්චර ද කියනවා නම් අපි එකිනෙකාට ගොළු හදවත පොත් වෙන වෙනම තිබුණා. කෙටි කතා රචනා සඳහා අක්කාට නංගිට සම්මාන පවා ලැබිල තිබුණා.

සිරිකහවලට මතකද ඔබේ මුල්ම පුවත්පත් ලිපිය?

මගේ මුල්ම ලිපිය පළ වුණේ 1962 දී ආතර් යූ අමරසේන සංස්කරණය කළ චිත්‍රවාහිනී සඟරාවේ ඒ වෙනකොට මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හින්දි චිත්‍රපටවල නම්වල සිංහල තේරුම තමයි ඒ මුල් ලිපියේ අඩංගු වෙලා තිබුණේ. ආනන්ද මහා විද්‍යාලයේ සිරිකහවල නමින් තමයි. ඒ ලිපි පළ වී තිබුණේ.

චිත්‍රවාහිනී සඟරාවට මුල්ම ලිපිය ලියන ඔහු තවත් බොහෝ සඟරා වගේම පත්තර සඳහාත් ලිපි සම්පානයෙන් දායක වෙනවා.

කලා සඟරාව, සිසු පෙරමුණ, සතිය, මේලා, මනහර, සරසවිය දීපිශිකා, සුරතුර පුවත්පත් සඟරා සඳහා ලිපි රචනයෙන් මම දායක වීමක් සිදුකළා.

සරසවිය පුවත්පත සඳහා ඔබ කොයි ආකාරයෙන්ද සම්බන්ධතාව ගොඩනඟාගන්නේ?

සුනිල් මාධව පේ‍්‍රමතිලක මහත්තයා මාර්ගයෙන් එවක සරසවිය කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා ගේ කාලයේ මම සරසවියට සම්බන්ධ වුණා. 1965 නිදහස් ලේඛයෙක් ලෙසින්. මම සරසවියට ලිපි මාලාවක් ලිව්වා. චිත්‍රපට රූපගත කිරීම් දර්ශනතලවලට ගිහින් එහි සිදු වූ රසවත් සිදුවීම් වගේම චිත්‍රපට දර්ශන රූපගත කළ ආකාරය පිළිබඳව මුලින්ම මේ සඳහා මට ආරාධනා කළේ කිංස්ලි රාජපක්ෂ ඔහුගේ ඉඳුනිල චිත්‍රපටය සඳහා දෙණියාය ප්‍රදේශයේ සති දෙකක් නැවතී සිටි මම මුලින්ම ඒ රසවත් සිදුවීම් සරසවියට ලිව්වා. ඒ ආකාරයට මට ලිපි දිගටම ලියන්න. කර්තෘ මණ්ඩලයෙන් ආරාධනයකුත් ලැබුණා. ඉන්පසු ගොළු හදවත, හන්තානේ කතාව, බක්මහ දීගේ, හතර දෙනාම සුරයෝ, නිධානය, පාරා වළලු, සහනය, නාරිලතා ආදී චිත්‍රපට පහළ වක පමණ තිරය පිටුපස ලිපි පෙළක් සරසවියට ලිව්වා.

නිධානය චිත්‍රපටයේ විලී අබේනායක අයිරින්ව මරන සිද්ධිය ඇසින් දුුටු පුද්ගලයන්ගෙන් අද ජීවතුන් අතර සිටින එක පුද්ගලයෙක් ඔබ?

ඔව්. සරසවියට තිරය පිටුපස සිද්ධි ලියන්න ගිහින් ඉන්න කොට නිධානය රූපගත කිරීමේදී ගාමිණී ෆොන්සේකා,මාලිනි ෆොන්සේකාව මරණ සීන් එක ෂුට් කළා. ඒ සිද්ධිය දැක්ක අය අතරින් අද ජීවතුන් අතර ඉන්න අයගෙන් සිද්ධියට සම්බන්ධ මාලිනි හැරුණු කොට දැක්ක අය ඉන්නේ මමත් ඒ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂ ලෙස වැඩකළ උපාලි පෙරේරාත් විතරයි.

වෛජයන්ති මාලාට පෙම්කරමින් හින්දි භාෂාව ඉගෙන ගන්න ඔබ ඉන්දියාවට යාමේ සිහිනය සැබෑවක් කරගත්තේ කොහොමද?

ගොළු හදවත චිත්‍රපටය කරන අවධියේ හඳුනාගත්ත සුදේශ් ගුණරත්න මාර්ගයෙන් ජේ සෙල්වරත්නම් හඳුනාගැනීමට ලැබුණා. ඔහු හතර ග්‍රහයෝ නමින් චිත්‍රපටයක් කරන්න සුදානම් වුණා. මට එහි දෙබස් ලියන්න ලැබුණා. ඒ වෙනුවෙන් මගේ මුදල වුයේ රුපියල් එක් දහස් පන්සියකි. එයින් රුපියල් හත්සිය පණහක මුදලක් අත්තිකාරම් ලෙස මට ලැබුණා. චිත්‍රපටයේ මුහුරත් එක පමණක් පැවැත්වුණා. චිත්‍රපටයේ වැඩ කටයුතු එතනින්ම නතර වුණා. මට ලැබුණ රුපියල් හත්සිය පණහේ ඇඩ්ිවාන්ස් එකෙන් මට ඉන්දියාවට ගියා. එවක රත්මලානේ ඉඳලා මදුරාසියට ගුවන් යානා ටිකට් එක වුණේ රුපියල් එකසිය විසි පහක්.

ඉන්දියාවට ගිය ඔබ බොම්බායේ සිට සරසවියට ලිපි ලිව්වා නේද?

ඉන්දියාවට ගිහින් මම මුලින්ම සරසවියට ලිව්වේ සින්දුවක් රෙකෝඩ් කරන සිද්ධියක්. ශංකර් ජයකිෂන් සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ ගීතවත් කළ ගීත පටිගත කිරීමක් සම්බන්ධ ලිපියක් තමයි මම ලිව්වේ හින්දි නළු නිළියන් හමුවීමට මට උදවු කරන්න බෙනඩික් පෙරේරා නම් වූ මගේ. යාළුවෙක් පොරොන්දු වී හිටියා. ඒත් ඒ දේ හරි ආකාරව සිද්ධ වුණේ නෑ.

වෛජයන්ති මාලා හමුවීමට ද ඔබේ ඉන්දීය ගමනේ පරමාර්ථය වුණේ?

නෑ. ඒ වෙනකොට මගේ උමතුව යම් අයුරකට පහව ගිහින්. මට ඕනෙ කළේ නළු නිළියන් හමු වී සරසවියට ඔවුන් ගේ ලිපි ලිවීම. හින්දි මහාචාර්යවරයකු වූ ආනන්ද කෞශල්‍යා යන හිමියන් මගේ මිත්‍ර හිිමි නමක් වුණා. මේ හිමියන්ගේ මිත්‍රයෙක් සිටියා භරත්ව්‍යාස් කියල ඔහුට ලියමනක් දී තිබුණා. මට උදවු කරන්න කියලා. ඒ අනුව භරත්ව්‍යාස් මාව යොමු කළා. මාදුරී සඟරාවේ කර්තෘවරයා වෙත මාදුරී සඟරාවේ වැඩකළ ජෛයිනේන්ද්‍ර ජේන් වෙත ඔහු මට හින්දි නළු නිළියන් ගායක ගායිකාවන් රාශියකගේ ලිපිනයන් දුරකථන අංක ලබා දුන්නා. මේ අය ගිහින් හමුවන්න කියලා. ඒ අනුව මම ගීතා දත්, සී රාම් චන්ද්‍ර, මහේන්ද්‍රන් කපුර්, මදන් මෝහන්, කල්යානන්ජි ආනන්ජිවසන්ති දෝසායි ආදී බොහොමයක් අය හමු වී ඔවුන් පිළිබඳ ලිපි සකසා, මා සරසවියට එව්වා. ඒවා සරසවිය පත්තරයේ සතිපතා පළ වුණා. මාස දෙකක පමණ කාලයක් මම ඉන්දියාවේ ගත කළා.

කලක් ඔබ කලාවෙන් ඈත් වෙනවා නොවේද?

1971 දී මට පොහොර සංස්ථාවේ ගබඩා පරිපාලන තනතුරක රැකියාවක් ලැබුණා. මුලින්ම සේවය සඳහා අනුරාධපුරයට ගියා. ඔය අතරේ 1973 දී හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්ය වරයෙක් ලෙස විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ රැකියාවක් කරන්නත් අවස්ථාව හිමිවුණා. හම්බන්තොට, බදුල්ල, අම්පාර ප්‍රදේශවල පොහොර සංස්ථාවේ අලෙවි සම්බන්ධතා නිලධාරි ලෙස රැකියාව කරමින් සිට ප්‍රාදේශීය අලෙවි නිලධාරි ලෙස සේවය කරමින් සිටියදී ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ 1992 දී සේවයෙන් විශ්‍රාම ගියා.

නැවතත් ඔබ ඈත් වී සිටි පුවත්පත් කලාවට යළිත් සම්බන්ධ වෙනවා?

1977 දී සරසවිය පත්තරයට නැවත ලියන්න මම පටන් ගන්නවා. නවයුගය, සිළුමිණ පුවත්වත් සඳහා මම විහිළුලිව්වා. වසර පහක් රසික කියන නමින් තමයි. මම විහළු ලිව්වේ.

ජනකාන්ත නළු විජය කුමාරතුංගයන් ඔබේ සමීප මිතුරෙක් බවට පත්වෙනවා.

1967 දී හන්තානේ කතාව චිත්‍රපට දර්ශන තලයේදී අප දෙදෙනා අතර ඇතිවන මිත්‍රකම විජය මැරෙන තුරාම නොවෙනස්ව පැවතුණා. විජය කියන්නේ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ලේසියෙන් අපට හමුනොවන පුද්ගලයෙක් මගේ ඉඩම් පවා විකුණා, මම ඔහුට දේශපාලනය සඳහා උදවු කළා. අදටත් මම මේ ශ්‍රේෂ්ඨ මිනිසා වෙනුවෙන් ඔහු මිය ගිය පෙබරවාරි 16 වැනිදාට පන්සලට දානයක් දෙනවා නොකඩවාම. මගේ උපන් දිනයත් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ වියෝවත් සිදුවුණේ එකම දවසක.

උපන් දින සුබ පැතුම් සඳහා ඔබ මුල පුරන්නේ?

1980 ආතර් යු අමරසේන සංස්කරණය. කළ සිත්සර පත්තරයෙන් මගේ ජිවිත කාලය .තුළ බෝඩින් 30ක විතර මම නැවතී හිටියා. 1954 සිට 1984 දක්වා මම ගත කරනු ලැබුවේම බෝඩින් ජීවිතයක්. 1977 දී මම නැවතිලා හිටියේ සනත් නන්දසිරිගේ නුගේගොඩ ගෙදර. එහෙ ඉන්න කොට මට ගොඩක් ගායක ගායිකාවන්ගේ උපන්දින තොරතුරු ගොඩක් සොයාගැනීම පහසු වුණා. නිතර නිතර ගායක ගායිකාවන් එහෙට ආව ගිය නිසා.

ඔබේ බිරිය ඔබට හමුවන්නෙත් සරසවිය පත්තරය නිසාවෙන් නේද?

ඇය මල්ලිකා කහවල. ඇගේ ගම වුණේ හපුතලේ සරසවිය පත්තරයේ පාඨිකාවක් වූ ඇය කලාවට ගොඩක් පි‍්‍රය කාන්තාවක්. දේශපාලනික වශයෙනුත් ඇයගේත් මගේත් හැඟීම් බොහොම සමීපයි. මම සරසවියට ලියන ලද හින්දි ලිපි බොහොම ආශාවෙන් කියවපු කෙනෙක්. මගෙන් හින්දි පවා තැපෑලෙන් ඈ ඉගෙන ගත්තා. අපි අතර ආදර සම්බන්ධය ලිපි මඟින් හුවමාරු වෙමින් කාලයක් තිබුණා. ඒ හඳුනාගැනීම පසුව විවාහයෙන් කෙළවර වුණා.

ඔබ චිත්‍රපට දෙබස් රචනයෙත් නියැළි පුද්ගලයෙක්?

මුලින්ම මම යසපාලිත නානායක්කාරගේ නැවත හමුවෙමු. චිත්‍රපටයේ දෙබස් රචනා කළා. ඊට පසු රෝසි, සුරනිමල, රන්දවැල්, චිත්‍රපට සඳහා දෙබස් ලිව්වා. 1992 දී ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ හින්දි චිත්‍රපට විකාශයේ සිංහල උපසිරැසිය මට භාර වුණා. චිත්‍රපට 150කට පමණ සබ් ටයිටල් දැමීම මගේ අතින් ඉටුවුණා.

ඔබ අතින් කවි පොතක් පවා එළි දකිනවා?

1973 දී ඔබේ ගීත මගේ කඳුළු නමින් මගේ පළමු කවි පොත එළි දුටුවා. ඊට පස්සේ මම කවි ලිව්වා. ඒත් පොතක් හැටියට පළ වුණේ නෑ. වයස අවුරුදු 16 දී මම මුලින්ම නවකතාවක් ලිව්වා. දූපතේ මාරකය නමින්. ඒත් ඒක පොතක් හැටියට පළ කරගන්න මට බැරිවුණා. හින්දි පරිවර්තනය කළා. ගයිඩ් නමින් ඒකත් පොතක් වශයෙන් එළි දැක්කේ නෑ.

උපන්දින සුබ පැතුම් ගැන මුල්ම අදහස ඔබට එන්නේ කොහොමද?

මාදුරී නමින් හින්දි සඟරාවක් තිබුණා. ඒක ඇතුළු තිබුණා ජියෝ හසාරෝසා (අවුරුදු දහසක් ජීවත් වේවා) හින්දි කලාකරුවන්ගේ පින්තුර සමඟ ලිපිනය සමඟ උපන්දිනයත් පළ කළා. ඒ ආභාසය තුළින් තමයි මට ඒ අදහස ලැබුණේ. මගේ පුරුද්දක් තිබුණා විශේෂිත පුද්ගලයන්ගේ මියගිය දිනයන් විවාහ වූ උපන් දිනයන් එකතු කිරීමේ පුරුද්දක්. අද වුණත් මම මේ කටයුත්ත කරනවා. අද මම කලා ක්ෂේත්‍රයේ නිල නොලත් විවාහ උපත් මරණ රෙජිස්ටාර් කෙනෙක් වගේ. සමහරුන්ට සුබ පතන්න ගියහම අපුරු රසවත් සිද්ධිත් තියනවා. විවාහ දිනයට සුබපතන්න කතා කළාම කියනවා ඒ කසාදය ඉවර වෙලා කොච්චර කල් ද කියලා. සමහරුන් තුන්වෙනි පාරටත් බැඳලා උපන් දිනයට සුබ පතන්න කතා කළාම තමයි සමහරු දන්නේ එදා නේද තමන්ගේ උපන් දිනේ කියලා ටවර් හෝල් රඟහල පදනමේ මම උපදේශකයෙක් ලෙස 2006 සිට 2013 වසර දක්වා කටයුතු කළා. ඒ අවධියේ ඒ ආයතනය සැලසුම් කළා. කලාකරුවන්ගේ උපන් දිනයට සුබ පැතුම් පතක් අරින්න. ඊට පස්සේ මගේ සේවයෙන් පස්සේ මගේම වියදමෙන් කාඩ් පතක් මුද්‍රණය කර මම උපන් දිනය දවසට ඒ හැම කෙනෙක්ගේම ගෙදරට සුබ පැතුම් කාඩ් එකක් ඇරියා. මේ තැපැල් ගාස්තුව වැඩි වෙනකන් දැන් ඒ ගාස්තුව වැඩිවීම නිසා දැනට ඒ කාර්ය මම නතර කරලා තියෙන්නේ. ඒ කාලේ ඒ සඳහා විතරක් මට රුපියල් හත්දහසක් විතර ගියා මාසයකට මේ හැම දෙයක්ම මම කරන්නේ මගේ ආත්ම තෘප්තියට අද මම කරන්නේ මගේ වියදමින් ගෙදරට ඒ හැම කෙනාටම දුරකථනයෙන් සුබපැතීමක් කරන එක තමා.

සිරිකහවලයන් අතින් බොහෝවිට ලිපි ලියවුණේ හින්දි නළු නිළියන් ගැන ඇයි අපේ කලාකරුවන්ට ඒ තරටම ඉඩක් වෙන් නොවුණේ?

මම අපේ කලාකරුවන් ගැන ලිපි ලිව්වා. නමුත් එක්තරා සිද්ධියකින් පසු මට ඒ දේ එපා වුණා. ඒ තමයි ජයවිලාල් විලේගොඩ ගේ මරණය. එතුමාගේ මරණයට කොහුවල කනත්තට ඇවිත් හිිටියේ කේ.ඩබ්ලිව්. පෙරේරා, ටයිටස් තොටවත්ත, අනුලා කරුණතිලක වගේ කීප දෙනෙක් පමණයි. එතැනදී මට ඇති වූ කලකිරීම නිසාම මම අපේ කෙලෙහි ගුණ නොදත් නළු නිළියන් ගැන ලියන්නෑ කියලා හිතාගත්තා එදාම. ආයෙත් ඒ මගේ දැඩි තීරණය වෙනස් වුණේ විජය කුමාරතුංග නිසා. ඔහු තුළ තිබු ශ්‍රේෂ්ඨ ගතිගුණ නිසාම තමයි මම ආයෙත් පත්තර වලට ලියන්න පෙළඹුණේ.

ඔබටම විශේෂිත වූ මේ අපූරු විනෝදාශයට ඔබෙන් පසු කුමක් වෙයි ද?

ඒක තමයි මටත් තියන ප්‍රශ්නය. අද මේ රටේ ඕනෙම කලාකාරයෙක් ගැන තොරතුරක් දැනගන්න මාධ්‍ය ආයතනයක් වුණත් ඉස්සෙල්ලාම කතා කරන්නේ මට. මගෙන් තමයි තොරතුරේ සත්‍ය අසත්‍යතාවය හරියටම දැන ගෙන වැඩි විස්තරත් සමඟ අදාළ කටයුත්තට මුල පුරන්නේ. මම මේ කටයුත්ත සිද්ධ කරන්නේ බොහොම කැමැත්තෙන්. කිසිදු කෙනෙක්ගෙන් චෝදනාවක් නම් නෑ. සමහරු මගේ සුබ පැතුම එනකන් බලා ඉන්න අයත් ඉන්නවා. උදෙන්ම සුබ පැතුම ලැබුණේ නැති වුණාම ඇයි අද ප්‍රමාද වුණේ කියලත් අහන අය ඉන්නවා. කොච්ිචර නම් මම මේ කාර්ය වෙනුවෙන් කැප වෙලාද කියනවා නම් මගේ අම්මා නැති වුණ දවසේත් මම උපන් දින තිබුණ අයට කතා කරල සුබ පැතුවා. අම්මාගේ දේහය ගෙදර තියාගෙනත්.

ඇත්තද මේ සිරි කහවල හින්දි කලාකරුවන්ට නිළියන්ට සිංහල ඉගැන්නුවා කියන්නේ?

මොහොමඩ් රාෆි. මහේන්ද්‍ර කපුර් ලංකාවට ආපු වෙලාවේ ඔවුන්ට සිංහල ගීත ඉගැන්නුවේ මම.

මොරටුව සිරිමල් උයනේ දිවිගෙවන ඔබ බොහෝ දේ අනුන් වෙනුවෙන් කැප කළ පුද්ගලයෙක්?

අද මමත් බිරිය මල්ලිකාත් සිරිමල් උයනේ තනිවෙලා කෝටි ගණන් දේපළ මගේම අක්කගේ නංගිගේ දරුවන්ට ලියල දුන්නා. ඒ කවුරුවත් අද අඩුම තරමේ මගේ උපන් දිනයටවත් කතා කරල සුබ පතන්නේ නෑ. අද මම මගේම කෝටි ගණන් දේපළ අනුන්ට දීලා පාරේ බස් එකේ යන මාධ්‍යවේදියෙක් පමණක් වෙලා.

 

සේයාරූ - මාලන් කරුණාරත්න

[email protected]