ලිහිනිට වගේම මටත් හොඳට උයන්න පුළුවන්

යොවුන් රංගන ශිල්පිනී ශලනි ප්‍රනාන්දු
අප්‍රේල් 27, 2023

 

2017 වසරේදී දෙරණ රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස ඇය කිරුළ හිමිකර ගන්නීය. ඒ තම පුංචි අම්මා තුළ තිබූ දැඩි උත්සාහය උනන්දුව හා කැපකිරීම නිසාය. එදා දෙරණ අවුරුදු කුමරිය තරඟය සඳහා ඇගේ අයදුම්පත යොමු කරනු ලැබුවේ පුංචි අම්මා විසින්ම වීම විශේෂත්වයකි. සෑම වසරකම සිය නිවසේදී තම උපන් දිනය අඛණ්ඩව සැමරීමේ අවස්ථාවට එක්වන පුංචි අම්මා දැන් වයස කීයද, දැන් වයස කීයද දැයි කියා ඇගෙන් දිගින් දිගටම අසන්නීය. එලෙස යන්තම් වයස අවුරුදු දාහත දහඅට (17-18) පිරෙනවාත් සමගම දෙරණ අවුරුදු කුමරිය තරඟයට ඇගේ අයැදුම්පත දමන්නේ පුංචි අම්මාය. එයින් නොසිතූ විරූ ලෙස ඈ 2017 දෙරණ අවුරුදු කුමරිය ලෙස ප්‍රථම ස්ථානය ලබාගනිමින් ජයග්‍රාහී කිරුළ හිමිකරගන්නීය. එතැන් සිට ඇගේ රංගන ගමන් මඟ ඇරැඹෙන්නෙ දෙරණ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය හරහාය. අදටත් ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිමේ’ එන ගමේ කෙල්ල චූටි මැණිකේ හෙවත් ලිහිණි ලෙස ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඇයට නිරන්තරයෙන්ම කිසිදු අඩුවක් නැතිව ලැබේ. එමෙන්ම දෙරණ රූපවාහිනි නාළිකාවෙන් පසුගිය දා විකාශය අවසන් වුණු ‘ලොක්කී’ ටෙලි නාට්‍යයේ දෙවන අදියර (දෙවන කොටස) වන ලොක්කිගේ කතාවේ ද ලොක්කි හෙවත් සමාධි ලෙස පෙබරවාරි මස මුල් සතියේ සිට සතියේ දින පහේම රාත්‍රි 9.30 ට ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය. ශලනි ප්‍රනාන්දු නම් ඒ යොවුන් රංගන ශිල්පිනිය මෙලෙසින් සරසවිය හා ප්‍රථම වරට කතා බහට එක්වූවාය.

මුලින්ම ඔබේ පෞද්ගලික විස්තර මතක් කළොත්?

මගේ ගමත් දැන් පදිංචිවෙලා ඉන්නෙත් මීගමුවේ පවුලේ විස්තර කිව්වොත් අම්මයි, අයියයි, මමයි. මගේ තාත්තා මම පුංචි කාලෙදීම නැති වුණා.

ශලනිගේ පුංචි කාලය ගැනත් කියමුද?

ඒ කාලේ නම් මම හරිම ලැජ්ජාශීලි අයෙක්. අනිත් ගෑනු ළමයි වගේම තමා අද වන විට මේ වගේ තැනකට එයි කියලා හිතුණේවත් නැ.

ඉගෙන ගත් පාසල?

මීගමුව සෙන්ට් ජෝන්සන්ට් කොලේජ් එකට තමා ගියේ.

අධ්‍යාපනය ලබන කාලේ ශලනිට අරමුණක් තිබූණද?

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න තමා හිතාගෙන හිටියේ. ඉතින් මං ඒ පැත්තෙන් ඉගෙන ගත්තා. දැන් ඒ සම්බන්ධව උපාධියක් කරන්නත් සූදානමින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගනයට දොර විවෘත වන්නේ දෙරණ අවුරුදු කුමරිය වුණාට පස්සෙද?

ඔව් එදා 2017 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරඟයට අයදුම්පත දාන්නේ මගේ පුංචි අම්මා. ඇය හැම අවුරුද්දකම මගේ උපන් දිනය සැමරීමේ අවස්ථාවට අපේ ගෙදරට එනවා. ඒ ආපු හැම වතාවකම දැන් වයස කීයද දැන් වයස කීයද කියලා මගෙන් අහනවා. එහෙම යන්තම් මට අවුරුදු දාහත දහඅට (17- 18) වෙනකොට මගේ පුංචි අම්මාම තමා දෙරණට මගේ අයදුම් පත දැම්මේ. ඊට පස්සේ මට තරඟයට එන්න කියලා තිබුණා. මම ගිහින් එදා දෙරණේ අවුරුදු කුමරි තරඟයට ඉදිරිපත් වුණා. ඒ දිනන්නම හිතාගෙන නොවෙයි. අත්දැකීමක් ලබාගන්න කියලා හිතාගෙන.

 

ඊට පස්සේ ඒකෙන් මොකද වුණේ ?

අවුරුදු කුමරිය තේරීමේ තරඟයෙන් මම 2017 දෙරණ අවුරුදු කුමරිය ලෙස ප්‍රථම ස්ථානය දිනාගනිමින් ජයග්‍රාහි කිරුළ ද හිමිකර ගත්තා.

ඉතින් එදා පුංචි අම්මයි දුවයි සතුටු වුණාද?

හරියට සතුටු වුණා අයියේ කියලා වැඩක් නැ, ඒ අවස්ථාව ගැන නම්. මං මේ වෙලාවේ මගේ පුංචි අම්මව ඉතාම ආදරයෙන් මතක් කරනවා.

‘දෙවෙනි ඉනිමට’ සම්බන්ධ වෙන්නේ කොහොමද?

2017 අවුරුදු කුමරිය ජයග්‍රහණය කළාට පස්සේ තමා මට දෙරණින්ම කතා කරලා ‘දෙවෙනි ඉනිම’ කියන ටෙලි නාට්‍යයේ ලිහිණි කියන චරිතයට අවස්ථාව ලබාදුන්නේ. ඒ කාලෙත් මේ නාට්‍යය උපරිම ජනප්‍රියයි. තරුණ අය වහ වැටිලා වගේ තමා ඒක බැලුවේ. අදටත් එහෙමමයි. ජනප්‍රියත්වයෙන් නම් කිසිදු අඩුවක් නෑ.

ඔබ එහි රඟපාන ලිහිණිගේ චරිතය ගැනත් මතක් කරමු.

ගමේ හැදුණු වැඩුණු අධ්‍යාපනයට කොළඹට ආව කෙනෙක් තමයි ලිහිණි කියන්නේ. හරිම නිහඬ චාම් චරිතයක්. නිහඬවම ආදරයක් එක්ක ගලා යන චරිතයක් තමා ඒක. නංගිගෙයි, මල්ලිගෙයි වගකීමත් මට එහිදී තියෙනවා ඒ ලිහිණිගේ චරිතේ හැටියට. මං මේ වෙලාවෙ මතක් කරන්න ඕ‌නේ අනුහස් විදියට රඟපාන රවීන් අයියවත් ඒවගේම මගේ නංගි ලෙස රඟපාන ඒමාෂා අක්කිවත්. ඒ අය ඇතුළු හැමෝම වගේ මට මෙහිදී ලොකු සහයෝගයක් ලබාදෙනවා.

‘දෙවෙනි ඉනිමේ’ ලිහිණිට වගේ සැබෑ ජීවිතයේදීත් ඇත්තටම ශලනිටත් හොඳට උයන්න පුළුවන්ද?

අපෝ පුළුවන්, මගේ අම්මා මට කියනවා කවදා හරි මට ලැබෙන නැන්දම්මාගෙන් නම් එයාට කිසිම දොසක් අහන්න වෙන එකක් නෑ කියලා. මගේ අයියටත් පොඩි කාලේ ඉඳලම හොඳට උයන්න පුළුවන්.

පසුගිය දා සති අන්තයේ සෙනසුරාදා ඉරිදා දිනවල දෙරණින් ගිය ලොක්කී ටෙලි නාට්‍යයේ දෙවන අදියර නැවත විකාශය ආරම්භ වෙනවා ඒ ගැනත් යමක් කියමු නේද?

ශලනි දැන් වෘත්තීය රංඟන ශිල්පිනියක්ද?

මම දැනට ෆැෂන් ඩිෂයිනර් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනවා. රංගනයට අමතරව තමා ඒ කටයුත්තත් කරගෙන යන්නේ. කොහොම වුණත් මේ දෙකම සමබරව කරගෙන යන්න තමා හිතාගෙන ඉන්නේ.

සැබෑ ජීවිතේ වෙනසක් වෙන්නත් දැන් ශලනිට කාලේ හරි නේද?

අපෝ තවම නැ අයියේ (ඇය සිනාසෙයි) මට තවම අවුරුදු විසි දෙකයිනේ (22)

ඇත්තටම වයස විසි දෙකයිද (22) ඊට වඩා වැඩි නැද්ද?

නෑ ඇත්තටම විසිදෙකයි අයියේ. මගේ උපන් දිනය 1999 දැන් වයස හදලා බලන්නකෝ, ඔයාට මම කියන්නේ බොරුද කියලා.

එතකොට ශලනිගේ විවාහය සිද්ධ වෙන්නේ කවද්ද?

අවුරුදු විස‍ිහතර, විසිපහ (24-25) විතර වගේ වෙද්දී මගේ විවාහයත් සිද්ධ වේවි, බලමු.

දැන් ඒකට කෙනෙක්ව ශලනි හොයා ගෙන ද ඉන්නේ?

තවම නෑ.

කලාවට සම්බන්ධ අයෙක්ද ශලනිගේ අනාගත සහකරු වෙන්නේ?

එහෙම්මම කියලත් නෑ අයියා.

ඔබට ඒ සඳහා ගෙදරින් යෝජනා ගෙනාවේ නැද්ද?

ගෙදරින් නම් මට තවම එහෙම කෙනෙක් හොයලා නැ. මටම කෙනෙක් හොයා ගන්න කියලා තමා ඒ කට්ටියත් නිදහස දීලා තියන්නේ. මට බල කරන්නේ නැ මෙන්න මේ විදිහේ කෙනෙක්ව ඔයා හොයා ගන්න ඕනේ කියලා.

‘දෙවෙනි ඉනිම හා ලොක්කී’ යන ටෙලි නාට්‍යවලට අමතරව ඔබට වෙනත් ටෙලි නාට්‍ය සඳහා රගපාන්න කතා කළේ නැද්ද?

ගොඩාක් ඒවට කතා කරලා තිබුණා. ඒ හැම එහෙකම වගේ මට හරියන විදිහේ චරිත තිබුණේ නැ.

මොනවගේ චරිත කරන්නද ශලනිගේ වැඩි කැමැත්ත?

සරල චාම් බවින් යුත් ගැමි චරිත කරන්න තමා මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ.

ඔබේ දිගුවන් කෙස් කළඹ මෙන්ම ලස්සන රුවත් හැමදාම ඔහොම එකම විදිහට තියාගෙන ඉන්න එකේ රහස මොකද්ද?

එහෙමමයි කියලා කියන්න විශේෂ රහසක් නෑ. ඔයිල් ට්‍රීට් කරනවා. අම්මා සාමාන්‍ය‌යෙන් මගේ කොණ්ඩෙට හොඳට ඔයිල් මසාජ් එකක් කරනවා. ඊට අමතරව මං මූණේ කෝමාරිකා ගානවා. ඔය වගේ දේවල් නිසා තමා ඉතිං මගේ රූපයත්, දිගුවන් කෙස් කළඹත් මේ විදිහට දිගටම තියාගෙන ඉන්නේ.

 

[email protected]