වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
කැමරාවට පුළුවන් නළුවෙක් හදන්න

සිංහයා ලංකාවට ඇවිත්.......
මේ පහුගිය මාසයේ එක්තරා දිනයක අපට ලැබුණු ආරංචියක්. අපිටත් ඕන වුණා සිංහයා දකින්න. වසර ගණනාවකින් දැක්කේ නැති නිසා.
කවුද මේ සිංහයා?
මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ වසර 21 ක් එකදිගට සිංහයාගේ චරිතය රඟපෑ ප්‍රවීණ රංගනවේදි ජයශ්‍රී චන්ද්‍රජිත්.
ඔහු පුරා විසි වසරකට ආසන්න කාලයක් ජිවත් වනුයේ ඕස්ට්‍රේලියාවේය. එහෙත් ඒ ගෙවුණු වසර ගණනාව පුරාම ඔහු වරින් වර ලංකාවට ඇවිත් ගියේය.
මෙවර එහු ලංකාවට පැමිණියේ වසර 4ට පසුවය.
ඉතින් අපි සිංහයා හමුවුණෙමු. දැකපු මොහොතේම මට හිතුණේ තවමත් ඒ සිංහ ලීලාව ඒ අයුරින්ම ඔහු සතුවන බවය. වේදිකාව දෙවනත් කොට ගෙන සිංහයා පැමිණෙන අයුරු අදත් මේ දැනුත් මට මැවී පෙනෙන්නට විය. එදා දුටු ජයශ්‍රී චන්ද්‍රජිත් ඒ අයුරින්ම අප අභියස විය.
ඇත්තටම එදා වගේමයි.
මොකද වසයට යන්නේ නැති හේතුව? අපි විමසුවෙමු.
සතුටින් ඉන්න හන්දා වෙන්නැති
ඔහු ගාණක් නැතුව උත්තර දෙයි.
ඉතින් මොනවද තොරතුරු?
ඔහු කල්පනා කරයි.
මේ ඩිජිටල් ලෝකය නිසා වෙන්නැති හැම දෙයක්ම පිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. දැන් සියලු දේ වෙනස් වෙලානේ. අපේ කාලේ එහෙම නෑ කියලා මේ අතීතකාමය තුළම ඉන්න කතාවක් නෙමෙයි. දැන් බලන්නකො හාස්‍යය කියන දේට මොකද වෙලා තියෙන්නේ කියලා. කුණු හරුප කියන එක නෙවෙයි නේ හස්‍යය කියන්නේ.
ඔහු කියාගෙන යනවා. ඔහු වේදිකාව තුළ පෙරළිකාරයෙක්. ඒ විතරක් නොවෙයි ඉන් පසු කලෙක පැමිණි ටෙලි නාට්‍ය කලාව තුළද ඇසු පිරු තැන් ඇත්තෙක්.
‘ඉස්සර අපි ටෙලිනාට්‍යයක් කරත්දි වැඩිම වුණොත් දවසට සීන් 3ක් කරයි. දැන් පෙන්වන ටෙලි නාට්‍ය දිහා බැලුවම ඒ ෆ්‍රේම් වල හැටියට, ඒ ෂොට් වල හැටියට මට තේරෙනවා තිබ්බා ගැහුවා තමයි කියලා. කොහේ හරි තැනක ඉන්නවා නම් ඇතුළෙ කැමරාව හයි කර ගත්තා, ලොකේෂන් මොකුත්ම නෑ, රිඇක්ෂන් මොකුත්ම නෑ. ෂූට් කරා එච්චරයි.
ඉතින් ඇත්තටම ඒකටද ටෙලිනාට්‍ය කලාව කියන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම කිව්වොත් කැමරාවෙන් පුළුවන් නළුවෙක් හදන්න. අපි ඉගෙන ගත්තේ නම් එහෙමයි.
දැන් මම මෙහෙම කතාකර කර ඉන්න එක කැමරාවට එක විදියකට පේනවා. නමුත් මගේ අනිත් පැත්තෙන් මාව ගත්තොත් මම පේන්නේ වෙන විදියකට. වෙන අදහසකින්.
ඒවට තමයි ෆ්‍රේම් කියන්නේ. ෂොට් කියන්නේ. ඉතින් වර්තමානයේ දකින ටෙලි නාට්‍යවල මේවා දකින්න නෑ. මට තේරෙනවා ඒවා හරි ඉක්මන් කියලා.
ඉස්සර අපි වැඩ කරන කාලේ අනිවාර්යයෙන්ම අපිට තිර පිටපතක් දෙනවා. අනිත් පැත්තෙන් අපිත් තිර පිටපතක් ඉල්ලනවා. ඒක හොඳට කියවලා අධ්‍යයනය කරලා තමයි අපි ලොකේෂන් එකට යන්නේ. අපි කිසියම් චරිතයක් නිරුපණය කරනවා නම් අපි ඒ චරිතයේ ස්වභාවය මුල ඉඳලා අගට දැන ගන්න ඕන.
ඒ විතරක් නොවෙයි ඒ චරිතයත් එක්ක අනිත් චරිත හැසිරෙන ආකාරයත් අපි දැන ගන්න ඕන. එහෙම නැතිනම් අපි කොහොමද අගට යනකොට චරිතය ඩිවලොප් කර ගන්නේ.
අපි හිතමු තරුණ කාලේ ඉඳලා වයසට යන චරිතයක් කියලා. කොහොමද තිර රචනය දන්නෙ නැතුව ඒ විවිධ අවස්ථා ගොඩනඟන්නේ. ඉතින් මේ වගේ දුර්වලතා මම අහලා දැකලා තියෙනවා.
නමුත් මම දන්නවා අපේ වර්තමාන පරපුර අතරේ අති දක්ෂයෝ ඉන්නවා. හොඳ නළුවෝ, අධ්‍යක්ෂවරු ඉන්නවා. එහෙම අලුත් පරම්පරාවක් බිහිවෙන්න ඕන. එහෙම නැත්නම් මේ කලාව දිගින් දිගටම පවතින්නේ කොහොමද? ශේක්ස්පියර් මැරුණ කියලා කලාව නැවතුණේ නෑනේ? පරම්පරාවෙන් පරම්පරාවට ඒවා යන්න ඕන. ,
ඔහු කියන්නේ කලාව කෙරෙහි උපන් අසිමිත ආදරයකිනි. සැබවින්ම ඔවුන් කලාවේ නියුතු වූයේ ඉමහත් වු භක්තියකිනි. එහි කිසිදා ව්‍යාපාරික පදනමක් හෝ මුදල් ඉපයීමේ ව්‍යාපෘති තිබුණේ නැත. අවංක සිතින් කලාව කෙරෙහි උපන් අසිමිත ආදරයකින්ම පැමිණි ගමන් මඟක් නිසාවෙන් ඒ තුළ බොහෝ දුර යන්නට ඔවුන්ට දේවාශිර්වාදයන්ම නිතැතින්ම හිමිවන්නට ඇතැයි මට සිතේ.
‘මගේ ජිවිතේ දැන් ඉතින් අවුරුදු 50ට වැඩි කාලයක් නාට්‍ය, ටෙලිනාට්‍ය කරලා තියෙනවා. නමුත් හැමදාමත් මම මේවා කරලා හරියන්නේ නෑනේ.
හැමදාම මට ඉන්න බෑ. වියපත් වෙනකොට, මානසිකව ශාරීරිකව මිනිස්සු වෙනස් වෙනවා. මම සිංහබාහු නාට්‍යයේ සිංහයා ගේ චරිතය අවුරුදු 21 ක් කරලා තියෙනවා.
ඉතින් අලුත් සිංහයෝ එන්න ඕනනේ. දක්ෂයෝ නැත්තේ නෑ. දක්ෂයෝ හරියට ඉන්නවා. අද මේ දක්ෂයන්ට අවස්ථාත් ඕන තරම් තිබෙනවා. අපි එන කාලවල්වල අපට ඉගෙන ගන්න රංගන පාසල්වත් පාඨමාලාවත් තිබුණේ නෑ. නමුත් අපිට තිබුණ වාසනාව තමයි ඒ කාලේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න අපට ලැබුණ අවස්ථාව.
ඒ අයත් එක්ක කතා බහ කරනවා කියන්නෙත් ඉතින් ඉගෙන ගැනීමක් තමයි. ඒ ආශ්‍රයත් එක්ක අපි පොත පත කියවන්න යොමු වුණා. ඒවයින් තමයි අපි අපේ දැනුම වර්ධනය කර ගත්තේ.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් වැනි නාට්‍ය කලාවේ දැවැන්තයෙකුගේ සෙවණේ නාට්‍ය කරන්නට ලැබීමද ජය ශ්‍රී ට මහත් ආශිර්වාදයකි. රංග කලාව ඉගෙන ගන්නට පාසල් හෝ විශ්ව විද්‍යාල ඒ යුගයේ නැති වුවද මෙවන්නෝ ආශ්‍රයේ වැඩිමද එක්තරා අන්දමක විශ්වවිද්‍යාල ඉගෙනුමකි. ජයශ්‍රී තමන්ට ලැබුණු මේ සියලු අවස්ථාවන් ගෙන් මනා ළුල ප්‍රයෝජන නෙළා ගත්තෙකි.
‘ මම මුලින්ම සරච්චන්දුයන්ට එකතු වුණේ එතුමන් ගේ ‘මහාසාර’ නාට්‍යයට. ඊට පස්සේ තමයි මට සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේ සිංහයා ගේ චරිතයට ආරාධනා කරන්නේ. මුලින්ම නම් මම මට බැ කියලා කිව්වා. මට ඉස්සරලා සිංහබාහු නාට්‍යයේ සිංහයෝ දෙන්නෙක් හිටියා.
මුලින්ම මේ චරිතය කළේ මාක් ඇන්ටනි. ඊට පස්සේ සමන් බොකලවෙල. මම බැහැ කිය කිය ඉන්න කොට සරච්චන්ද්‍රයන් මට කිව්වා නැහැ තමුසේ මේක කරනවා කියලා. ඒ වෙනකොට මම සම්පුර්ණයෙන් සිංහබාහු නාට්‍යය බලළා තිබුණ කෙනෙක් නොවෙයි. යාළු කමට ගිහින් සැරින් සැරෙ තැනින් තැන බලලා තිබුණා. ඒ නිසා මම සරච්චන්ද්‍රයන්ට කිවා මට නැටුම් පුහුණු කරන්න කියලා. ඉඹුල්ගො මාස්ටර් ළඟට යවලා මට ඊට පස්සේ නැටුම් පුහුණු කළා.
එතැනදි එතුමා මාව මැරෙව්වා. මම හිතුවා මෙතැනදි මේක තමයි සිංහයා ගේ බේස් එක. දුවන හැටි කැරකෙවෙන හැටි මේ සියල්ල මට පුහුණු කළා.
සිංහයා ගේ ගමන් තාලේ මම නර්තනයෙන් ඉගෙන ගත්තා. නමුත් මම දැන ගත්තා නළුවෙක් විදියට මට මේකම කරන්න බෑ කියලා. නළුවාගේ වගකීම තමයි අර බේස් එක තියාගෙන චරිතය ඉස්මතු කරන එක. ඒක මම ටිකක් ප්‍රගුණ කළා තනියම. මම තනියම ඒක තර්ක කර කර අධ්‍යයනය කළා. සමහරු කියනවා නළුකම කියන්නේ ආවේස වීමක් කියලා.
ඒක පට්ටපල් බොරුවක්. ආවේස වුණෝතින් හරි වැඩේ වෙන්නේ යක්කු ආවේස වුණා වගේ. නළුවෙකුට එහෙම ආවේස වෙන්න බෑ,
නළුවෙකුට තියෙන්න ඕන අධ්‍යයන සහ නව නළු රස. ඒ නව නව රස නළුවෙකුට විතරක් නොවෙයි අනිත් අයටත් තියෙන්න ඕන.
ඇයි අපි දුක් වෙන්නේ නැත්ද? අපි ළඟ කරුණාව නැත්ද? අපි බය වෙන්නේ නැත්ද? අපිට ශෘංගාරය නැත්ද? අපට හාස්‍යය නැත්ද?
මේ නව නළු රසය කියන එක සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා. නළුවෙකුට තියෙන්නේ තමන්ට හම්බවෙන චරිතයත් එක්කලා ඒ ඒ අවස්ථාවලදි නව නළු රස ගෙනෙන එක.
ඔගොල්ලන්ට මතක ඇති මුලින්ම සිංහයා එන්නේ ‘දස දෙස ඉන්ද්‍රා’ කියලා එයා ගැන වර්ණනාවක් කරමින්. ඊළඟ සින්දුවේ තියෙන්නේ කැලේ ගිහින් ආහාර සොයාගෙන එන එක. ඒක අරකට වැඩිය වෙනස් ඊට පස්සේ ගෙදර එනකොට පුතා නෑ. ශෝකය කේන්තිය වගේ දේවල් ඇතිවෙනවා. ඒකත් එක්ක තමයි සිංහයා ගේ නැටුම එතැනදි ගන්න ඕන. නටන කොට ඉතාමත් වැදගත් දේ තමයි සාත්වික අභිනයයි කටහඬයි කියන එක. වාචික අභිනය නළුවා ගොඩ නඟන්න ඕන. හැබැයි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් තමයි ගොඩ නඟන්න ඕන.
ඒක ටිකක් ලොකු කර්තව්‍යයක්. එතකොට තමයි චරිතයක් සාර්ථක වෙන්නේ.
අවුරුදු 21 ක් එක දිගට සිංහයා රඟපෑම යනු ලේසි පහසු කාර්යයක් නොවේ. එකම රංගනය එකම ආකාරයෙන් සිදු කරන විට එපා වීමක් වත් වෙන්නේ නැතිදැයි විටෙක අපට සිතේ.
එහෙත් ජය ශ්‍රී ට නම් එය එසේ වී නැත.
‘ මට කවදාවත් එහෙම එපා වීමක් වෙලා නෑ. මම රඟපාන්නේ විඳීමින්. හැම දර්ශනයෙන් දර්ශනයටම මට මොනව හරි අලුත් දෙයක් එකතු වෙනවා. අද කරන එකට වඩා හෙට එක මට අලුත්. චරිතයට අදාළව මම ප්‍රායෝගික දේවල් ලබා ගන්නවා. උදාහරණයක් කියනවා නම් මගේ දුව හම්බවුණාට පස්සේ තමයි මට දරු සෙනෙහස කියන එක හොඳටම දැනුණේ.
‘සුරත්ල් දියණිය මොලකැටි වදනින්’ කියන ගීතය මම ඊට පස්සේ ගායනා කළේ අතිශය හැඟීම්බරව. ඒ හැඟිම හරිම තියුණුයි. ඒකට ඒ භාවය තියෙන්න ඕන. ඒක මේකට විතරක් නොවෙයි. හැම චරිතයකටම වැදගත්. එතකොට තමයි ප්‍රේක්ෂකයා ඒක විඳීන්නේ.
මම සිංහයා විදියට වේදිකාවට එනකොට මට ප්‍රේක්ෂකයෝ පේනවානේ. මුල් පේළි 4-5ක්ම මට පේනවානේ. ඉතින් මම දකිනවා ඒගොල්ල අඬනවා. විවිධ සංවේදනා විඳීනවා. මම ආරූඬ වුණා නම් මට මේවා දකින්න ලැබෙන්නේ නැනේ. මට ඒ අය සමඟ ගනුදෙනුවක් තියෙනවා.
ජයශ්‍රී සිංහයා ලෙසින් වසර 21ක් මෙරට වේදිකාව සෙලවුවත් එහු වේදිකාවේ සම්මානයට පත් වී ඇත්තේ වෙනත් නාට්‍යවලය. ඒවා ශෛලිගත සම්ප්‍රදායෙන් මිදුණු මාඝාත, යක්ෂාගමනය වැනි වේදිකා නාට්‍ය වලයි. ජයශ්‍රි සිංහයාට සමුදෙන්නේ විදේශ ගතවීම උදෙසාමයි. ඒ බැඳීයා වෙන් දුරස්වීම කාලයක් යනතුරුම ඔහුගේ සිතට මහත් වේදනාවක් වු බව පැවසුවේ සිංහයාට දැක්වු සැබැ ළෙන්ගතුකමකින්මයි.
මම විදේශගත වුණාට පස්සේ මෙහේ ඇවිල්ලත් වරින්වර විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. එහේ ගියත් මට කලාව අත හරින්න බැරි වුණා. එහේ අය අල්ලගෙන මම මහාසාර නිෂ්පාදනයකුත් එහෙදි කළා.
ඒ වගේ ම මම වර්ක් ෂොප් ලෙවල් එකෙන් විවිධ වැඩමුළු ආදියත් කළා. එක සැරයක් මම මනමේ නාට්‍යයත් මෙහෙන් එහෙට ගෙන්නුවා. එහේ කිප දෙනකුත් ඒ වෙනුවෙන් පුහුණු කළා. සිංහබාහුත් එක සැරයක් ගෙන්නුවා මම සිංහයා ගෙන් සමු ගත්තට පස්සෙ ආයෙ කවදාවත් සිංහයාට රඟපෑවේ නෑ. රඟපාන්නෙත් නෑ. දැන් මට ඒ ජවය නෑ කියලා මම දන්නවා. සිංහයා හැර දාලා විදේශ ගත වෙනකොට පුදුම හිත් තැවුලක් ඇති වුණා. හරියට මගේ ජීවිතේ හැරදාල යනවා වගේ වැඩක් මම කළේ. නමුත් අද ඒවයේ ප්‍රතිඵල තියෙනවා. මගේ දරුවෝ ඉගෙන ගෙන එහේ හොඳ රැකියාවල් කරනවා.
මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මම තෘප්තිමත්. මගේ ළඟ තණ්හාවක් නෑ. මම සල්ලි පස්සේ පන්නපු මිනිහෙක් නොවෙයි. මුල්ම නාට්‍යය කරලා මට රුපියල් 15 යි ලැබුණේ. ඒ කාලේ අලුතෙන් නාට්‍යයක් කරපුවම දර්ශන වාර 10ක් යනකම් මුදල් ගෙවන්නෙත් නෑ. අපි යන්නේ අතින් වියදම් කරගෙන. හැබැයි ඉතින් අපි ඒකෙන්ම ජිවත් වුණේ නෑ. ජීවත් වෙන්න රැකියාවකුත් කළා. කොහොම වුණත් මට හිතෙන්නේ පසුගිය ගෙවුණු අවුරුදු ටිකත් මම මෙහේ හිටියා නම් තව වැඩ ගොඩක් කරයි කියලයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න