ලංකාවේ සෙවණැලි නාට්‍ය කලාවට පුරෝගාමී වීම සතුටක්

සෙවණැලි නාට්‍ය හා ටෙලි නිර්මණවේදිනී - තමාෂා ජයසූරිය
මාර්තු 30, 2023

 

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ වෙනස් මානයකට පේ‍්‍රක්ෂක අවධානය යොමු කරමින් ඉතා සුවිශේෂ කාර්යභාරයක නිරත වන නූතන පරපුරේ නිර්මාණකාරිනියක ලෙස තමාෂා ජයසූරිය හඳුනාගත හැකිවේ. මේ වන විට ශ්‍රී ලංකාවට ආධුනික ක්ෂේත්‍රයක් වූ සෙවණැලි නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේහිලා දැඩි උත්සාහවත් කාර්යභාරයක නිරතවන තමාශා සංචරණය පිළිබඳ ද අවධානයක් සහිත නිර්මාණකාරිනියක ලෙස හඳුනාගත හැකිය. කුඩා අවධියේ සිට සංචරණය කෙරෙහි. ඇල්මක් ඇතිව වැඩුණු තමාශා පසුකාලීනව සංචරණය පිළිබඳ වැඩසටහන් නිර්මාණය කරන්නියක දක්වා වර්ධනය වීම ද සුවිශේෂිය. මේ වනවිට පිටපත් රචිකාවක, ටෙලි නිර්මාණ හා සෙවණැලි නාට්‍ය අධ්‍යක්ෂවරියක සේම නිෂ්පාදිකාවක ද ලෙස කටයුතු කරන තමාෂා අනාගතයේ සිය වත්මන් අත්දැකීම් මැනවින් කැටිකොට චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සුවිශේෂ ඉලක්කය පෙරදැරිව ද මේ වන විට සිය නිර්මාණ කාර්යයෙහි නියැළෙයි.

ලාංකේය පේ‍්‍රක්ෂකයාට තවමත් තරමක් ආධුනික නිර්මාණ ක්ෂෙත්‍රයක් ඔබ ප්‍රවර්ධනය කරනවා. ඔබේ නිර්මාණ කාර්යය ගැන පැහැදිලි කරමුද?

මෙය සෙවණැලි නාට්‍ය (Shadow Drama)) ලෙස හඳුන්වන අතර වේදිකා නාට්‍ය කියන අංශයටම අයත් වන කලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එතැනදි අපි වේදිකා නාට්‍යයක් ලෙසටම සජීවීව පේ‍්‍රක්ෂකාගාරයක් ඉදිරිපස රංගනයක් ඉදිරිපත් කළත් විශේෂත්වය වන්නේ සංගීතයයි, ආලෝකයයි මාධ්‍ය විදියට පාවිච්චි කර තිරයෙන් පිටුපස සිට මිනිස් ශරීරය උපයෝගී කරගනිමින් හැඩතල නිර්මාණය කර කතාවක් පේ‍්‍රක්ෂකයාට කීමයි. එතැනදී අපි දෙබස් පාවිච්චි කරන්නෙ නැහැ.

2012 දී පමණ අපොස උසස් පෙළ හදාරන අවධියේදී තමයි මගේ නාට්‍ය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ. ඔබ කිව්වා සේම ලංකාවේ මෙය තවමත් එතරම් ප්‍රචලිත නැති වුණත් ලෝකයේම රටවල් ගත්විටත් තවමත් රටවල් දහ තුනක පමණයි මේ කලාව පවතින්නේ. ඒ අතරට අපේ රටත් මේ වනවිට ඇතුළත්. ඉතින් ලෝකයේ කුමන රටක සෙවණැලි නාට්‍ය සම්බන්ධ කටයුත්තක් සිදුකෙරුණත් අපේ නාට්‍ය කණ්ඩායමටත් (ඍඪබචතඪලඥ) ආරාධනා කරනු ලබනවා. දැනට ලංකාවේ මා දන්නා ලෙස මේ කලාවේ නිරත වන වෙනත් පිරිසක් නැහැ. එහිදී පාසල් මට්ටමින් දරුවන් මෙබඳු නිර්මාණ කාර්යයක නිතර වනවිට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්න මට ආරාධනා කර සිටිනවා. ඇත්තටම ලංකාවේ මේ කලාව වැඩි දියුණු කරන්න නොහැකි ප්‍රධාන බාධකයක් විදියට මා දකින්නේ මේ සඳහා අධික පිරිවැයක් දරන්නට වීමයි. ඒ වගේම මේ සඳහා වැය කරන්නට වන පුහුණු කාලයත් වේදිකා නාට්‍යය සමඟ සංසන්දනය කරද්දි වැඩි කාලයක් වීමත් හේතු ලෙසයි මා දකින්නේ. ඒ වාගෙම ඒ සඳහා නම්‍යශීලි ශරීරයකුත් පවත්වා ගත යුතුයි. මේ වනවිට මගේ කණ්ඩායමේ සාමාජිකයන් දස දෙනෙකු සිටින අතර ඔවුන් දස දෙනාම ජිම්නාස්ටික් පුහුණුවක් ලබා ඇති අයයි. නමුත් කවුරු හෝ මේ කලාවට කැමැතියි නම් තමා ස්ථුල ශරීරයකින් යුතු වුවත් බලාපොරොත්තු අත් හැරිය යුතු නෑ. මොකද ඒ අයට ව්‍යායාම පවතිනවා සේම නිර්මාණ කාර්යයකදී අපි යම් හැඩතල නිර්මාණය කරද්දි ස්ථුල ශරීරය පවා උපයෝගී කරගත යුතු අවස්ථා අපට තියෙන නිසා. ඇත්තටම මෙය විශේෂ වැඩක්. මොකද කෙනකු තිරය පිටුපසට විත් බැලුවොත් තමයි වැටහෙන්නේ යම් හැඩතල නිර්මාණය කරන්න ගන්නා උත්සාහයන් කොතරම් වෙනස් ද ඒ වගේම කොයිතරම් වෙහෙසකර විය හැකි ද කියලත්.

ලංකාවට තවමත් නුහුරු මෙබඳු කලාවක් කෙරේ ඔබට නැඹුරුවක් ඇතිවුණේ කොහොමද?

මම උසස් පෙළ හදාරමින් ඉඳිද්දි යූ ටියුබ් එකෙන් දකින පුංචි විඩීයෝ ක්ලිප් එකක් නිසා. ඒ වීඩියෝ ක්ලිප් එක දැක්කහම මට හිතුණෙ කොහොමද මිනිස් ශරීරය උපයෝගි කරගෙන ඒවගෙ නිර්මාණ කරන්නෙ කියන එකයි. මම දැක්කේ වෙනත් රටක සෙවණැලි නාට්‍ය සම්බන්ධව නිර්මාණකරණයේ යෙදෙන පිරිසක්. ඔවුන් ස්පාඤ්ඤායේ කටයුතු කරන නාට්‍ය කණ්ඩායමක්. ඉතිත් මා ඔවුන්ට නිතර ඊමේල් පණිවුඩ යවමින්, ස්කයිප් මාර්ගයෙන් කතා කරමින් මේ පිළිබඳ තොරතුරු දැනගන්න උත්සාහ කළා. එහිදී ඔවුන් නිතරම කිවුවේ නිතරම පුහුණුවීම් කරන්න එය හරිම වැදගත් කියන එකයි. ඉතින් ඒ දිරිමත් කිරීම් සියල්ලත් සමඟ තවදුරටත් ගොඩක් උත්සාහවන්ත ලෙස කටයුතු කර 2012 දෙසැම්බර් මාසයේ මගේ පළමුවැනි සෙවණැලි නාට්‍යය පෙන්වන්න හැකිවුණා. ඒ වෙලාවේ ළාබාලතම අධ්‍යක්ෂිකාවක් නිර්මාණකාරිනියක් විදියට රැඟුම් පාලක මණ්ඩලයේ ඇගැයුමට පවා ලක්වන්න හැකි වුණා. ලංකාවේ මින් පෙර සුළු වශයෙන් මෙවැනි අත්හදා බැලීම් කර තිබුණත් සෙවණැලි ආධාරයෙන් පැයකට අධික කාලයක් පුරා කතාංගයක් විදියට නිර්මාණයක් බිහි වී තිබුණේ නැහැ.

වෙනස්ම කලාවකට යොමු වු වී කටයුතු කළත් ඔබ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ වෙනත් අංශයකින් නේද?

ඔව් මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදැරුවේ. වැඩිදුර අධ්‍යපනය ලැබුවෙත් ඒ අංශයෙන්මයි. මා උපාධිය හිමිකරගත්තේ ජෛව වෛද්‍ය විද්‍යා අංශයෙන්. වෙනස් අංශයකින් උපාධිය හිමිකරගත්තත් නිරතුරු මගේ කැමැත්ත වුණේ මේ අංශයෙන් වැඩ කරන්නයි. ඇත්තටම මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියාව කරනවා නම් මට සිදුවන්නේ විද්‍යාඥයකු විදිහට වැඩ කරන්නයි. ඉතින් මම ටික කලකට විදේශගත වුණා, මට විද්‍යාඥයකු විදියට වැඩ කරන්න පුළුවන් දැයි හඳුනාගන්න. හැබැයි මට එලෙස ස්ථාවර වෙන්න හිත ඉඩ දුන්නේ නැති නිසා 2020 වසරේදී ලංකාවට විත් නැවත මගේ සෙවණැලි නාට්‍ය වැඩකටයුතු හා ටෙලි නිර්මාණ කටයුතු ආරම්භ කරන්න තීරණය කළා. ඒ ගත් ආරම්භයත් සමඟ 2021 ඔක්තෝබර් මාසයේදී ජාතික රූපවාහිනිය හා එක්ව මගේ පළමු ටෙලි නිෂ්පාදනය ‘මිස් ට්‍රැවලර්’ (ර්ඵ. ඊපචමඥතතඥප) වැඩසටහන ආරම්භ කළා. මම සංචාරය කරන්න ගොඩක් කැමැති කෙනෙක්. මේ වන විට රටවල් විස්සක පමණ මං සංචාරය කර තියෙනවා. ඒ රටවල දී මං දුටු දේවල් කොහොමද අපේ රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට යොදගන්න පුළුවන් කියන දේ ගැන මම ගොඩක් හිතුවා. ඒ වගේම (ඒඤමඥදබභපඥ) ක්‍රියාකාරකම් පිළිබඳත් මගේ ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් ඒ අදහසත් එක්ක මං පිටපතක් සකස් කරගෙන ජාතික රූපවාහිනියට ගිහින් ඒ පිළිබඳ හැඳින්වීමක් කළ විට ඔවුන් ඒ වැඩසටහන අරගන්න කැමැති වුණා. ඉතින් ඒ විදියට ආරම්භ කළ ර්ඵ. ඊපචමඥතතඥප වැඩසටහන අද දක්වාම ජාතික රූපවාහිනියේ සෙනසුරාදා සවස හයට විකාශය වෙනවා. එහිදී විශේෂිත කාරණයක් වන්නේ මෙවර රයිගම් සම්මාන උලෙළ සඳහා මේ වැඩසටහන නිර්දේශ වී තිබීමයි. ඇත්තෙන්ම ටෙලි නිර්මාණ අධ්‍යක්ෂිකාවක් විදියට මගේ පළමු නිර්මාණයම එසේ නිර්දේශ වීම මට විශාල සතුටක්.

ඔබ ඉතා තුරුණු වියේ පසුවන අධ්‍යක්ෂවරියක්. ඔබ නිර්මාණ කාර්යයේදී විශාල අවදානමක් ගෙන කටයුතු කළේ කොහොමද?

ඇත්තෙන්ම මගේ දිවියේ මුහුණු දුන් විශාලම අභියෝගයත් තනිවම මේ කටයුත්තට මුල පිරීමයි. විශේෂයෙන් මගේම අදහසක් නැතිනම් මගේ නිර්මාණයක් තවත් කෙනකු යටතේ කරන්න ගියා නම් යම් ගැටලු මතුවන්න පුළුවන් කියා මට සිතුණා. ඒ ගැටලු මඟහරවා ගන්න නම් මගේම කණ්ඩායමක් එක්ක වැඩ කිරීම සුදුසු යැයි සිතුවා. එහිදී නිර්මාණයක් කරන්න වාගේම අදාළ නාලිකාවට ඔවුන්ගේ ගුවන් කාලය වෙනුවෙන් අනුග්‍රාහකයකු සොයා දීම යන අභියෝග සියල්ලටම මා මුහුණ දිය යුතු වුණා. ඒක විශාල අභියෝගයක්. අනිත් පැත්තෙන් මේ වැඩසටහන්වල පිටපත ලිවීමේ සිට මා සමඟ වැඩ කරන කණ්ඩායමේ කටයුතු කළමණාකරණය කිරීම, අදාළ දර්ශන තල පිළිබඳ සොයා බැලීම, විදේශයක රූගත කිරීමක් නම් අවශ්‍ය වීසා සූදානම් කරගැනීම ආදී විශාල කාර්යභාරයක් මා පිට පැවැරී තියෙනවා. ඉතින් එය විශාල අභියෝගයක් වුණත් ඒ අභියෝගය මම අරගත්තා.

ඔබ ලැබූ ආර්ථිකමය ප්‍රතිලාභ නිවැරැදිව කළමනාකරණය කරගන්නේ කොහොමද?

මගේ සෙවණැලි නාට්‍ය නිර්මාණ විදේශයන්හි ඉදිරිපත් කිරීමේදී මට සතුටු දායක විය හැකි ප්‍රතිලාභයන් ලබාගන්න පුළුවන් වුණා. මුලිකව බැලුවොත් ඒ ආදායම් මට මගේ උසස් අධ්‍යපන කටයුතුª වෙනුවෙන් වගේම මගේ අනිකුත් ටෙලි නිර්මාණ නිෂ්පාදන කටයුතු වෙනුවෙනුත් යොදාගන්න පුළුවන් වුණා. ඒ විදියට මගේ නිර්මාණවල නිෂ්පාදන පිරිවැය මම දරාගනිමින් නිම කර ආයතනයකට ලබාදෙන්නැයි මුල් කාලයේ සැලසුම් කළේ. මේ වන විට මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් ගොඩනඟා ගැනීම දක්වා ගමන් කරන්න හැකි වීම මට විශාල සතුටක්. මේ වනවිට මගේ නිර්මාණ සියල්ලක් පාහේ කරන්නේ ඒ ඇසුරේයි.

ඔබේ ඉහළම අනාගත සැලැසුම මොකක්ද?

මගේ ලොකුම ඉලක්කය චිත්‍රපටයක් නිර්මාණය කිරීම. ඊට අත්දැකීම් එකතු කරගැනීම තමයි මුලික අරමුණු අතර වෙන්නේ. අනිත් අතින් මා හිතන විදියට මගේ ගුරුවරයා මමම වීම තමයි මා දකින විදියට හොඳම දෙය වන්නේ. එය මම පෞද්ගලිකව හිතන විදියයි. කෙසේ වුවත් මම වුවමනා වෙලාවේදී යූටියුබ් හෝ මා දන්නා හඳුනන නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගෙන් නොදන්නා යම් දෙයක් සොයා බලන්න හෝ විමසා දැනගන්න උත්සුක වෙනවා.

ඔබ කෙටි කලකට බොලිවුඩ් කරා යන්නේත් ඒ වෙනුවෙන් නේද?

ඔව්. 2018 මම බෙහෙවින් කැමැති නිසාම බොලිවුඩ් හී ‘ෆිල්ම් සිටි’ වෙත යන්න උත්සුක වුණා. එහිදී මට උපකාර කරනු ලැබුවේ රාජේශ් රණසිංහ කියන සිංහල නමක් සහිත චිත්‍රපට හා ටෙලි නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු හඳුනාගෙන කතා කළ විට ඔහු මට ආරාධනා කළා, ඔහුගේ දර්ශන තලවලදී අධ්‍යක්ෂවරකුගේ භූමිකාව කෙබඳුදැයි දැක අත්දැකීම් ලබාගන්න පැමිණෙන ලෙස. ඉතින් ඒ ලබාගත් අත්දැකීම්, දීර්ඝ කාලයක් එහි රැඳෙන්න බැරි වුණත් පසුකාලීනව මට බෙහෙවින් වැදගත් වූ බව මම නිතරම විශ්වාස කරනවා.

මේ වන විට ඔබ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා සාධනීයව කටයුතු කරන බවක් පෙනෙනවා.

ඔව්. සමාජ මාධ්‍ය මෙන්ම මගේ වැඩසටහන්වලින් ඒ අදහස ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. ඇත්තටම මගේ උත්සාහය විදේශිකයන්ගේ අවධානයටත් යොමු වී තියෙනවා වගේම ඔවුනුත් මේ වන විට මා සමඟ එක් වී සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ප්‍රවර්ධන කාර්යයට දායක වී කටයුතු කරන්න පෙලඹී ඉන්නවා.

නවක අධ්‍යක්ෂවරියක් විදිහට ඔබ කොතෙක් දුරට ඔබේ නිර්මාණ කාර්යයන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරනවාද?

ඇත්තෙන්ම මෙය විශාල අභියෝගයක්. නමුත් අපි මහන්සි වුණොත් පමණයිනේ අපට ප්‍රතිඵලයක් ලැබිය හැකි වන්නේ. ඒ නිසා මා මෙය අත් හරින්නේ නැහැ. තවදුරටත් මා වර්ධනය විය යුතුයි. තවදුරටත් මම මගේ අඩුපාඩු සකසාගත යුතුයි. කිසිවිටක මා කලබල ගමනක් යන්න උත්සාහ කරන්නේ නැහැ. ඉවසිලිමත් ගමනක් ගොස් දිනෙක නිසි වටිනාකම හිමිකරගැනීමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ උදෙසා තමයි මම වැඩ කරන්නේ.

නිර්මාණයක ගුණාත්මකබව ආරක්ෂා කරන්න ඔබ කෙබඳු සාධක කෙරේ විශ්වාසය තබමින් ද කටයුතු කරන්නේ?

පුංචි කාලයේ අපි ඩිස්කවරි වැඩසටහන්වලින් විස්මයටත් සතුටටත් පත්වුණා. දැන් අපි ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඒවා එතරම් සියුම්ව නිර්මාණය වන්නේ කොහොමදැයි අවබෝධයක් ලබා තියෙනවා. නිසි අවබෝධයක් ඇතිව පෙර සැලසුමක් ඇතිව දෙයක් කළොත් අපට හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. අධ්‍යක්ෂවරියක් විදියට මම වටහා ගත් දෙය එයයි. ඉතින් මම මගේ පුංචි කාලයේදී එබඳු වැඩසටහන් නරඹලා සතුටට පත්වුණේ කෙසේ ද ඒ ලෙසම අද තව පිරිසකට සතුටක් දෙන්න ඒ වගේම පරිසරයට ආදරය කරන පිරිසක් හැදෙනවා දකින්න, සංචාරයට කැමැති පිරිස් හදන්න නිර්මාණශීලිව දෙයක් කරන්න පුළුවන් නම් ඒකට මම ගොඩක් කැමැතියි. ඒ ගමනේදී මම කැමැතිම දේ නැතිනම් ලොකුම ඉලක්කය පෙරදීත් කිවුවා වගේම චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. එහිදී ව්ඥබටතඪය වැනි වේදිකාවක් මා ඊට තෝරගන්න කැමැති ඒ ඔස්සේ විශාල අවකාශයකට මට නිරාවරණය විය හැකි නිසා. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් විදිහේ නිර්මාණයක් ඒ පසුබිමේ නිර්මාණය කරන්නයි මට ඕනේ.

ඔබ අධ්‍යාපනික වශයෙන් ලැබූ සුදුසුකම් මේ මොහොතේ අමතක කර කටයුතු කරන බවක් හැඟී නැතිද?

කොහොත්ම නෑ. වසර හතරක් පුරා හැදැරූ විශේෂ උපාධියක් මා ලබා තියෙන්නේ. (මම ජෛව වෛද්‍ය විද්‍යා උපාධිධාරිනියක් ඒ ඇසුරේ විද්‍යාඥවරියක් විදියටයි මට කටයුතු කරන්න හැකිවන්නේ. විද්‍යාඥවරියක්, පර්යේෂිකාවක් විදියට විද්‍යාගාරයක් තුළයි මට රැකියාව කරන්න සිදුවන්නේ. ඊට මම ආසයි. ඒ වුණත් මම වැඩියෙන්ම කැමැති මේ විදියට නිර්මාණශීලි කාර්යයක නියැළෙන්නයි. හැබැයි ඉදිරියේ යම් දිනෙක ජාන පිළිබඳ විද්‍යාගාරයක් ආරම්භ කරන්නත් මං ගොඩක් කැමැතියි.

මේ වෙද්දී ඔබ සංචාරය කර ඇති රටවල් පිළිබඳ ආවර්ජනය කළොත් නැවත නැවත කතා කරන්න කැමැති වන්නේ ඉන් කවරක් ගැනද?

ශ්‍රී ලංකාව ගැන. මේ වෙද්දි මම ලෝකය පුරා රටවල් 20ක පමණ සංචාරය කර තියෙනවා. ඒ මගේ සංචාරය පිළිබඳ වැඩසටහන කරන්න වාගෙම, මගේ පවුලේ අය සමඟ කළ පෞද්ගලික සංචාර මෙන්ම මගේ සෙවණැලි නාට්‍යවල වැඩ කටයුතු වෙනුවෙනුත්. හැබැයි මං දැනුත් වැඩිපුරම සංචාරය කරන්න කැමැති ලංකාව ඇතුළතයි. ඊට අමතරව මගෙන් ඇසුවොත් සංචාරය කරන්න කැමැති රට විදියට මම කියන්නේ ස්පාඤ්ඤය කියලයි. හැබැයි මම දැකපු ලස්සනම රට ලංකාවයි. ඒ කියන්නේ සොබාදහම අතින් ගත්විට ලංකාව ගොඩක් ලස්සනයි. ඒ ගැන ගොඩක් දේ කතා කරන්න පුළුවන්. ඉතින් මට වගේම අපි ඕනම කෙනෙක්ට තනි තනිව වුණත් ලංකාවේ මේ ලස්සන ලෝකයට පෙන්වන්න පුළුවන් මාධ්‍ය ගොඩක් තියෙනවා. සමාජ මාධ්‍ය මේ සඳහා ඵලදායිව යොදාගන්න පුළුවන්. තනි පුද්ගලයකු ලෙස සාධනීය දෙයක් අපි සමාජ මාධ්‍යයේ පළ කළොත් ඒක මුළු ලෝකයටම පෙන්වන්න පුළුවන් වගේම ලොකු බලපෑමකුත් කරන්න පුුළුවන්.

නිර්මාණකාරිනියක ලෙස ඔබේ පණිිවිඩය කීමට උත්සහා ගනිද්දී වෙහෙසකර බවක් දැනුණේ කුමන කරුණු අරභයා ද?

මම කියන දෙයහි අරමුණ නැතිනම් අවසන් ප්‍රතිඵලය මෙන්න මේ යැයි වටහා දීම තමයි මට මුහුණ දෙන්න වුණු වෙහෙසකරම අභියෝගය. එසේම සමාජශිලී හා මිත්‍රශිලි කෙනකු විදියට මා ළඟ ඇති ඒ ගතිගුණ වාසි සහගත විදියට සේම අවාසි සහගත ලෙස බලපෑ අවස්ථාත් මා අත්විඳ තියෙනවා. හැබැයි මම නිනරම නිර්මාණ කාර්යයේදී කෙනකු හා ගනුදෙනු කරන්නේ නිර්මාණයට ප්‍රමුඛත්වය දෙන ලෙසින්ම පමණයි. නෙමුත් එවැනි අවස්ථා මා දකින්නේ අත්දැකීම් ලෙසයි. මොකද අත්දැකීම්නෙ අපව හැමවිටම දියුණු කරන්නෙ.

ඒ නිසා ඒ අත්දැකීම් පවා සාධනීයව ගන්න මම කල්පනා කරනවා. ඒ වගේම මුලදී කිසිවකු මගේ අදහස සාර්ථක වේ යයි විශ්වාස කරන තැනක සිටියේ නෑ. මගේ පවුලේ අය පවා දැරුවේ ඒ අදහසයි. හැබැයි මම හැමවිටම ලොකු විශ්වාසයකිනුයි කටයුතු කළේ. ඒ නිසා ඒ බොහෝ දෙනෙකුගේ විශ්වාස අද මා දිනාගෙන තියෙනවා. මගේ පවුලේ අය මා වෙනුවෙන් බොහෝ දේ කරනවා. කෙතරම් වෙහෙසකර වුවත් නිර්මාණ කාර්යයකට අතගසන මොහොතේ සිට මා ඊට දැඩිව කැපවෙනවා. බොහෝ දේ පිළිබඳ හදාරමින් හා අධ්‍යයනය කරමිනුයි මා නිර්මාණ කාර්යයේ නියැළෙන්නේ. මා කියන තොරතුරු පිළිබඳ මා විශ්වාසවන්ත විය යුතුයි. කෙතරම් වෙහෙසකර වුණත් හොඳම දෙය කරන්නයි මා කැපවෙන්නේ. ඊට වුවමනා අධිෂ්ඨානය මා තුළ තියෙනවා.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]