වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ප්‍රේක්ෂකයා අපි තනි නොකරන තෙක් මා නාට්‍ය නිර්මාණ කරනවා

සිහින! අපි සැවොම සිහින දැක ඇත්තෙමු. අප පමණක් නොව සිදුහත් තවුසාණෝ ද සිහින දුටහ. ඒ නියත වශයෙන්ම බුදුවන බවටය. කොසොල් රජු ද සිහින දුටුවේය. ඒ ලෝක සත්ත්වයාගේ අනාගතය පිළිබඳවය. එවැනි හීන දුලබ සේම පරාර්ථකාමී නිසා ඒවා දුටුවන්ගේම සිහින බවට පත්ව ලෝ පතළව ඇත. එහෙත් ඔබත් මමත් නිරන්තර දකින්නේ එවැනි සිහින නොවේ. ඒවා අප කාටත් පොදුවේ ළඟා කරගන්නට ආසාවක් ඇතිවන සිහින ය. එනිසා අපට පොදු සිහින ද තිබිය හැකිය. ධනයෙන් බලයෙන් වැඩෙත්ම ඒ සිහින සැබෑ කරගැනීමට හැකියාව වැඩි වුවද කෙනෙකු බලසම්පන්න වන විට දකින සිහිනවල පොදු සිහිනවලට වඩා වෙනසක් ඇත. එනිසා ප්‍රබලයන් වෙහෙසෙන්නේ බලවත් සිහින සැබෑ කරගන්නටය. එවිට සමාජ විසමතාව අනුව අනෙකුත් සාධකවල සේම සිහිනවල ද විසමතාවක් ඇතිවන බව පැහැදිලිය. අපම පමණක් දකින අපේ සිහින සැබෑ කරගන්නට අප ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරද්දී අපටත් හොරෙන් ඒවායේ වටිනාකම අනුන් මැනගන්නා බව අපට නොදැනේ. භෞතික සම්පත් මෙන් නොවේ යැයි සිතුවත් අපගේම සිතෙහි අපටම වෙන්වුණු අස්පර්ශී වස්තුවක් වන අපේ සිහින සොරකම් කර ඒවා අපටම විකුණා ලබන වටිනාකම්වලින් ඇතැම්හු ඔවුන්ගේ සිහින ජය ගනිති. එහෙත් අප බොහෝ දෙනාට නොවැටහෙන ප්‍රබලම කරුණ නම් අපට වඩා ප්‍රබලයන්ට පමණක් නොව දුබලයන්ට ද අපේ සිහින සොරාගන්න හැකියාව ඇති බවය. 'සිහින හොරු අරන්' ඒ සොරුන් ගැන සෙවිල්ලෙන් ඉන්නට අපට ඔත්තුවක් දෙයි.
පසුගිය 2023 ජනවාරි මාසයේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වේදිකාගත කෙරුණු ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළ නැරඹූවන්ට ඒ ඔත්තුව පමණක් නොව '2019 ජූලි මාසේ දවසක්' පිළිබඳව අදහසකුත් 'නැතුව බැරි මිනිහෙක්' යනු කෙබන්දෙක්ද යන්නත් හඳුනා ගන්නට අවස්ථාව ලැබිණි. ඔහු එසේ අවස්ථාව සලසා දුන්නේ ලයනල් වෙන්ඩ්ට් හි පැවැත්වූ ඔහුගේ නවවැනි නාට්‍ය උලෙළෙනි. 2006 සිට ඔහුගේ අලුත්ම නාට්‍යයක් සමඟ තවත් නාට්‍ය දෙකක් හෝ තුනක් එක් කොට දෙවසරකට වරක් උලෙළක් පැවැත්වීම සිරිතක් කොට ගෙන තිබිණි. කොවිඩ් වසංගතය වැනි අවස්ථාවල හැර අනෙක් සැම විටම ඔහු සිය සහෘද රසිකයන් වෙනුවෙන් එය සංවිධානය කළේය.
“අලුත් නාට්‍යයක් සමඟ එහෙම පෙර නාට්‍ය කීපයක් නැවත රඟ දක්වද්දි අපටත් අභ්‍යාසයක් ලැබෙනවා.” සුපුරුදු සිනාවෙන් ඔහු පැවසුවේ, අප්‍රේල් 01දා වේදිකාගත වන නාට්‍යය පිළිබඳ තොරතුරු විමසන්නට අප ඔහු හමු වූ මොහොතේය.
“අප්‍රේල් 01දා අපි ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වේදිකාගත කරන්නේ ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යයේ සවස දර්ශනයයි. එය අප ගත කරන මේ සමකාලීන තත්ත්වයටත් තවමත් අදාළ බව සිතුණු නිසා රසිකයන්ට නරඹන්න අවස්ථාව දිය යුතුයැයි සිතුණා.
‘2019 ජූලි මාසේ දවසක්’ නාට්‍යයේ වර්ෂපූර්ණය තමයි ජනවාරි උලෙළින් සැමරුවේ. කොවිඩ් වසංගතය සමඟම රටේ ඇතිවුණ ආර්ථික අර්බුදය සහ පෙට්‍රල් ඩීසල් හිඟය, විදුලි අර්බුද වැනි දේ සහ අරගල තත්ත්වයන් සමඟ මාස පහක් හයක් පමණ අපේ සියලු සංස්කෘතික කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටියා. ඒ කාලය හැර අනෙක් සැම මාසයකම එක් නාට්‍ය දර්ශනයක් හෝ අපි රඟ දැක්වූවා. එහිදී කියන්න සතුටුම කරුණ ඉතා හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් නාට්‍යවලට ලැබුණා. මේ තිබෙන ආර්ථික අර්බුද හා විවිධ අසීරුතා, අරාජික තත්ත්වයන්, අවිනිශ්චිතතා ආදිය මැද පවා ප්‍රේක්ෂකයා රඟහල සමඟ තිබුණු සම්බන්ධය අඩාළ වුණේ නෑ. සමහර විට සමාජයේ පුද්ගලයන්ට තිබුණු මානසික ආතතිය, පීඩනය වැනි දේවල් ම එයට හේතු වන්න ඇති කියාත් හිතෙනවා. ඇතැම්විට කිසියම් කලා භාවිතාවක් සමඟ තමන් සහභාගී වීම මඟින් වින්දනයක් පමණක්ම නොවේ, අපේ නාට්‍ය ඔස්සේ කරන්නට උත්සාහ දරන සමාජ සංවාදය සමඟ සමීප වීමෙන් යම් අවබෝධයක් ලබා ගැනීමටත් ඔවුන් උත්සාහ දරනවා විය හැකියි. අපේ නාට්‍ය මඟින් කිසියම් වින්දනාත්මක සිතීමක් ඇති කිරීමයි අපේ උත්සාහය. මෑත කාලයේ දිගින් දිගටම ඒ සමඟ බැඳුණු අපේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ක්‍රමිකව වර්ධනය වුණා. ඒකම තමයි අපට මේ නාට්‍ය භාවිතාව අත්නොහැර පවත්වාගෙන යෑමට අපට ඇති එකම සහ විශාලම ශක්තිය.’ ඔහු සුපුරුදු නිහතමානී සිනාවෙන් සතුටක සේයාව පළ කළේය.
ඒ සමඟම ඔහුගේ මුවින් යම් කනගාටුදායක හැඟීමක් සමඟ මෙවන් අදහසක් පළ විය. ‘පසුගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ නාට්‍ය දෙකක් රඟදැක්වීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා ඒ කාලේ ඇති වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වැඩවර්ජන හේතුවෙන්. මම විශ්වාස කරනවා මේ තත්ත්වය සමනය වූ පසු විශ්වවිද්‍යාල තුළත් නැවත ඒ සංස්කෘතික කටයුතු ඇරැඹෙයි කියා. මම දන්නවා සමහර ශිෂ්‍යයන් මේ ඇතිවුණු අර්බුද සමඟ වසර දෙකක් පමණ ඔන්ලයින් ක්‍රමයට දේශනවලට සහභාගී වෙලයි විශ්වවිද්‍යාල ජීවිතය පටන් ගත්තේ. ඒ ක්‍රමයෙන් මිදිලා යළිත් සංස්කෘතික කටයුතුවලට අවස්ථාව එළැඹෙද්දීම එය ඇනහිටීම විශාල ගැටලුවක්. සමහර සිසුන්ට එය ගැටලුවක් කියා නොදැනෙනවා ඇති. එහෙත් විශ්වවිද්‍යාල ජීවිතය කියන්නෙම දේශනවලට සහභාගී වීම පමණක් නොවේ. උද්ඝෝෂණවලට සහභාගී වීම පමණකුත් නොවේ. මමත් කොළඹ සරසවියේ සිසුවකු ලෙස, විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපට නරඹන්න ලැබුණු නාට්‍ය, කියවන්න ලැබුණු පොතපත සහ කොළඹ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට තමයි අපට පුරවැසියකු, මනුෂ්‍යයකු වගේම විද්‍යාර්ථියකු ලෙසත් පෝෂණය වන්න හේතු වුණේ. ඒවාත් මඟහැරෙන කාලයක් බවට පත්වෙලා මේ සමය. එහෙත් මගේ විශ්වාසය මේ ශිෂ්‍ය ප්‍රජාවටත් ඒ අවස්ථාව ලැබෙනවා නම් හොඳයි කියන එකයි. පාසල් දරුවන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට මේ නාට්‍ය නැරඹීමේ විශේෂ සහන ක්‍රම සලස්වන්න අප හිතුවෙත් ඒ නිසාමයි.’
ඩොලරයේ අගය වෙනස් වීම නාට්‍ය කලාවටත් බලපෑවා? මගේ පැනය වත්මන් ආර්ථික තත්ත්වය හා ගැළපුවෙමි.
‘ආර්ථික අර්බුදය හැම ක්ෂේත්‍රයකටම අදාළව දැඩිව බලපෑවා. එය අති විශාල ලෙස බල පෑ ක්ෂේත්‍රයක් ලෙස නාට්‍ය කලාව හඳුන්වන්න පුළුවන්. මොකද සමහර රංග ශාලාවල ගාස්තු සියයට සියයක් වැඩි වන තත්ත්වයක් පෙන්නුම් කළා. එහෙත් ප්‍රවේශපත්‍රවල මිල අපට ඊට සාපේක්ෂව ඉහළ දමන්න පුළුවන් කමක් නෑ. මොකද ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ප්‍රධාන දේ නාට්‍ය නෙවෙයි. එහිදී ඇතිවන පිරිවැය පියවා ගැනීමේ ගැටලුව අපට යම් තරමකට හෝ ජයගන්න හැකි වුණේම ප්‍රේක්ෂක සහභාගීත්වය වැඩි වීම නිසයි. ප්‍රේක්ෂාගාරය පිරෙන්න සෙනඟ ඉන්නවා නම් අපට ප්‍රවේශ පත්‍ර මිල වැඩි නොකර වුවත් වියදම් දරාගන්න පුළුවන් වනවා. බොහෝ විට ඉතා සුළු වැඩි වීමක් ප්‍රවේශපත්‍රවලට කළත් ඊට වඩා වට්ටම් දෙන ක්‍රම අපි නාට්‍ය උලෙළෙදි හඳුන්වා දුන්නා. ඒ අපව තනි නොකරන ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපිත් යමක් කළ යුතු වූ නිසා සහ ඔවුන් රැකගත යුතු වූ නිසා.
ඒ වගේම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් සංවිධානය කරන නාට්‍යවල අප ඉතා විශාල සහන ලබා දෙන්න කටයුතු කළේත් මුලින් සඳහන් කළ සියලුම හේතු නිසා. ආහාර පානවල මිල පමණක් නොවේ ප්‍රවේශපත්‍ර මුද්‍රණයේ සිට සියලුම වියදම් ඇතැම් අවස්ථාවල පාලනයකින් තොරව විශාල වශයෙන් ඉහළ ගිය මොහොතේත් අප නාට්‍ය අතනොහැර සිටියේ අප වෙනුවෙන් නාට්‍ය අත නොහැරි ප්‍රේක්ෂක පිරිස වගේම ප්‍රතිලාභ නොතකා නාට්‍ය කලාව වෙනුවෙන් කැප වුණු නළුනිළියන් සහ ශිල්පීන් පිරිසක් තවමත් අප වටා සිටින නිසයි.
පසුගිය දශකවලත් නාට්‍ය කලාව පැවතුණේ මෙවැනි පිරිස් නිසායි. ඉදිරියටත් එය එහෙමම තමයි.’
ඔබ පැවසූ ශාලා ගාස්තු, ප්‍රවේශපත්‍ර මුද්‍රණය වැනි දේට අමතරව රංගවස්ත්‍ර, පසුතල නිර්මාණය, අලෝකකරණය වැනි දේටත් මේ තත්ත්වය තදින් බලපෑවා? මගේ පැනය ඔහුගේ වතට ගෙනාවේ බැරෑරුම් ස්වරූපයකි.
‘ඔවු විශාල වශයෙන් බලපෑවා. අපේ නාට්‍යවල පෙර සූදානම් කළ රංග වස්ත්‍ර නොවේ යොදා ගන්නේ. ඒ ඒ කාලයට අනුව සාමාන්‍ය කෙනෙක් භාවිතයට ගන්න ඇඳුම් ආදියයි. ඒවායේත් චරිත අනුව මිල දී ගත යුතු ගුණාත්මක තත්ත්වයන් අපට නඩත්තු කළ යුතුව තිබෙනවා. ඒවා මිලදී ගැනීමට ගිය විට පෙරට වඩා විශාල පිරිවැයක් දරන්න සිදු වුණා. ඒ වගේම පසුතල සඳහා යොදා ගන්නා භාණ්ඩ ආදිය පිළිසකර කිරීමේදී පවා විශාල වියදමක් දරන්න සිදු ව තිබෙනවා. පසුගිය විදුලි අර්බුදය මත ඇතැම් රඟහල්වල විදුලි ජනන යන්ත්‍ර සඳහා වෙනම පිරිවැයක් දරන්න සිදු වීම නිසා ඔරොත්තු දෙන්න බැරි තත්ත්වයක පවා පවතිද්දි නාට්‍යකරුවන් ඒ අභියෝග සියල්ලට මුහුණ දුන්නා. මට හිතෙන්නේ සමහර දේවල්වලට සීමාවන් වැඩිපුර පැනවෙද්දි උනන්දුව වැඩි වෙන ලක්ෂණයක් මිනිසුන්ට තිබෙන නිසා, වෙනදාටත් වඩා උනන්දුවකින් නාට්‍යකරුවන්ට ඒ උනන්දුව ඇති වුණා කියලා. ඉදිරියේදී තවදුරටත් මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපට සිදුවෙන්න පුළුවන්. ඒත් අපට මේ නාට්‍යකරණ අභ්‍යාසයේ අත්නොහැර යෙදෙන්න හැකි වන්නේ ප්‍රේක්ෂකයා මේ දක්වා කළාක් මෙන් අප අතනොහැර සිටිනතාක් පමණයි.’
නාට්‍ය කලාව අයත්වන රාජ්‍ය ආයතන ආදියෙන් මීට පෙර කවදා හෝ පහසුකම් සැපයූ බවක් ඔබ දන්නවාද?
‘නෑ. මම දන්න තරමින් කිසිම ආයතනයකින් ප්‍රවාහන හෝ කිසිදු පහසුකමක් නාට්‍යකරුවන්ට සපයා නෑ. ඉස්සර ටවර් හෝල් පදනමෙන් බස්රථයක් සාමාන්‍ය අයකිරීම් යටතේ ලබා දුන්නා. ඒ හැර සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කළ එකම එක දේ රාජ්‍ය නාට්‍ය උලෙළක් පැවැත්වීම. ඒ පත්වෙන ඇගැයුම් මණ්ඩලවල ගැටලු තිබුණත් තවත් බොහෝ ප්‍රශ්න තිබුණත් එය වාර්ෂිකව පැවැත්වාගෙන ගියා. ඒත් දැන් කියන්න කනගාටුවක් සහ ලැජ්ජාවකුත් ඇති වෙනවා මේ වෙද්දි ඒ උලෙළ පවා කරන්නේ නැති වීම සහ නොකෙරෙන බවට දැනුම්දීමක්වත් නැති වීම ගැන. ඒ තරම් අතහැර දමා ඉන්න පුළුවන් වීම විස්මය ජනකයි. ප්‍රතිපාදන නැත්නම් අනෙකුත් දේවලට ඇති ප්‍රතිපාදනවලින් යම් ඉතිරියක් කර හෝ උලෙළ කරන්න උත්සාහයක් නොගැනීම පුදුම සහගතයි. එය රාජ්‍ය උත්සව පවත්වන්න එපා කියන චක්‍රලේඛයක් නිසා කළ බව ඇතැම් නිලධාරීන් කීවත් ඔවුන්ට අවශ්‍ය ඇතැම් රාජ්‍ය උත්සව පැවැත්වීම පිළිබඳ ජනතාව ප්‍රශ්න කිරීම ඒ අනුව බැලූවිට සාධාරණයි.
ජනතාව තමන්ගේ උත්සාහයෙන් සංස්කෘතික ජීවිතයක් ගත කරන්න ස්වයං උත්සාහයක යෙදෙන මොහොතක එයට යම් පමණකින් හෝ ලබා දුන් අවම දායකත්වය හෝ නොදී සිටින්නට පුළුවන් වීම ගැන බලධාරීන් ලැජ්ජා විය යුතුයි.
මොකද පැහැදිලිවම මේ මොහොත තමයි මිනිසුන්ට දුෂ්කර අවදිවල ජීවිතාවබෝධය, සමාජ අවබෝධය සහ රසවින්දනය ඇති කරගන්න යම් පමණකට හෝ අවම දායකත්වයක්වත් ලබා දීමට ඒ ආයතන කළ යුතුයි. මෙවන් මොහොතක රටට ඔරොත්තු නොදෙන ආකාරයේ රංගශාලාවක් ලෙස මිලියන දෙදහකට වැඩි මුදලක් වැය කර ජෝන් ද සිල්වා සමරු රඟහල අසල ශාලාවක ඉදිකිරීම මඟ නවතා තිබෙනවා. නිලධාරීන්ට වාසි හෝ ප්‍රතිලාභ ලැබෙන නිසා දෝ ඒ ව්‍යාපෘති සඳහා ඇති උනන්දුව මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යෑමට නැති වීම කනගාටුදායකයි. හැබැයි ඕනෑම කෙනෙක් නිලධාරියකු වන්නට පෙර රසිකයකු විය යුතුයි.
සමහර නිලධාරීන් පවසන්නේ නාට්‍යකරුවන් විසින් ඒ උලෙළ පැවැත්වීම සඳහා ඉල්ලීම් කළ යුතු බවයි. ඒත් මෙතෙක් කල් පැවැති සම්ප්‍රදායක් තවදුරටත් කරගෙන යන්න කියා කලාකරුවන් ඉල්ලීම් කරමින් වැඳ වැටිය යුතුද? මෙවැනි තත්ත්වයක් යටතේත් නාට්‍යකරුවන් සහ රසිකයන් මෙය පවත්වාගෙන යෑමයි දක්ෂතාවය.
පෞද්ගලිකව මට හිතෙන්න පුළුවන් මේ මොහොතේ නාට්‍ය උලෙළ නොපැවැත්වුවත් කමක් නෑ කියලා. මොකද මට අවස්ථා කීපයකම සම්මාන ලැබී තිබෙන නිසා. එහෙත් අලුත් තරුණ නාට්‍ය ශිල්පීන්ට තමන්ගේ විශේෂ දායකත්වයන් වෙනුවෙන් හිමි විය යුතු ඇගයීම නොලැබීම අසාධාරණයක්.’
නාට්‍යකරුවන් නාට්‍ය ප්‍රදර්ශනය කරනවා කීවාට අලුතෙන් නාට්‍ය නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුබවක් ඔබට දැනෙන්නේ නැද්ද?
‘ඔබ කියන දේ යම් සත්‍යතාවක් තිබෙනවා. මේ මොහොතේ නව නාට්‍ය නිර්මාණ රඟදැක්වෙන සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. පසුගිය වසර සැලකුවොත්, කොවිඩ් තත්ත්වයෙන් පසු නිර්මාණය වුණු නාට්‍ය සැලකුවොත් ඔබේ කතාව හරි. 2019 ජූලි මාසේ දවසක් නාට්‍යය ගත්තත් එය අප නිර්මාණය ආරම්භ කළේ කොවිඩ්වලට පෙර. එනිසා අලුතෙන්ම නාට්‍ය නිෂ්පාදනය වීමේ අඩුවක් තිබුණත්, පෙර රඟදැක්වූ නාට්‍යවල යම් වර්ධනයක් තිබෙන බව පේනවා. මේ දිනවල වුවත් අපට අලුතින් පුහුණුවීම් කෙරෙන නාට්‍ය පිළිබඳ ආරංචි ලැබෙන්නේ නැහැ.
එයට හේතුව ලෙස මේ සමාජයේ ඇති වුණු කලබගෑණිය සහ එහි ප්‍රතිඵල ලෙස දැනුණු අවිනිශ්චිතතාවත්, අරාජිකභාවයකට යෑමේ අනතුරුදායක හැඟීමත් බලපාන්න ඇති කියා සිතනවා. නවකයන් නිර්මාණකරණයට පිවිසීමේ අඩුවක් වගේම දැනට සිටින නිර්මාණකරුවන්ගේ අලුත් නිර්මාණවලත් අඩුවක් තිබෙන බව පේනවා. සිනමාව වැනි කලාංගවලත්, සාහිත්‍යකරණයේත් ඒ තත්ත්වය අපට දකින්න පුළුවන්. එහෙත් ඉදිරියේදී එය මඟහැරී යයි කියා මම විශ්වාස කරනවා.’
එසේ නව නිර්මාණ බිහි නොවන්න හේතුව නිර්මාණකරුවන්ට සුදුසු පරිසරයක් රටේ නොපැවැතීමද?
‘ලෝකේ නිර්මාණකරුවන් ඉතිහාසයේ සිටම කටයුතු කර තිබෙන්නේ අර්බුදකාරී තත්ත්ව යටතේම තමයි. සියලු දේ හොඳීන් පවතිනවා දැන් නිර්මාණ කරන්න සුදුසුයි කියන තත්ත්වයන් තිබුණාද කියා සිතන්න අමාරුයි. එයම තමයි නිර්මාණකරුවන්ට තිබෙන අභියෝගයත්. අපි අපේ ජීවිතවල සියලුම ප්‍රශ්න විසඳුණු පසු දැන් නිර්මාණයක් කරනවා කියා හිතන්න බෑ. අප නාට්‍ය පවා කරන්නේ ඒ ඒ යුගවල තිබුණු විවිධ අර්බුද මධ්‍යයේම තමයි. චිත්‍රපට පවා නිර්මාණයේ අඩුවක් අප දකිනවා. එවැනි නිර්මාණ වාරකං කාල කලා ක්ෂේත්‍රයේ පැවැතී තිබෙනවා. එය සාමාන්‍ය දෙයක්.’
නව පරපුර නිර්මාණකරණයට යොමු වුණා නම් ඔවුන්ට ඒ ඔස්සේ තමන්ගේ අරගලය කරන්න තිබුණා?
‘නව පරපුර තමන්ගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස නාට්‍යකරණය භාවිතයේ අඩුවක් තිබේද කියා ඔබ විමසුවොත් පෙර දශකවලට වඩා එහි අඩුවක් තිබෙන බව කිව හැකියි. හේතුව ඔවුන් ඔවුන්ගේ විරෝධය, වේදනාව, ආවේග, අදහස් පළ කරන්න මේ වන විට කලාත්මක ප්‍රකාශනයක් ලෙස නාට්‍ය තෝරාගන්නවා වෙනුවෙට වෙනත් මාධ්‍ය යොදා ගන්නවා. එය ෆේස්බුක්, ටික්ටොක්, කෙටි චිත්‍රපට, වෙනත් සමාජ මාධ්‍යයක කරන ප්‍රකාශයක් වැනි ඕනෑම දෙයක් වන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගිකව උද්ඝෝෂණවලට සහභාගී වීමත් වෙන්න පුළුවන්. ඒත් මම හිතනවා තවමත් නාට්‍ය කලාවට ආකර්ෂණය වන උනන්දුවක් ඇති එය හදාරන අලුත් පරපුරක් ඉන්නවා. සම්පූර්ණයෙන් දෙයක් නවතයි කියා මම විශ්වාස කරන්නේ නෑ. මීට පෙරත් එවැනි අඩුවැඩි වීම් විවිධ අංශවල තිබිලා තිබෙනවා.’
නාට්‍යයක් පූර්ණ වශයෙන් රසවිඳීමට නාට්‍යයට අමතරව යම් යම් හමුවීම්, සුහද සම්භාෂණ ආදිය පැවැත්විය හැකි යුගයක් නොවේ අද තිබෙන්නේ?
‘අද නාට්‍යයක් බලන්න පවුලේ සාමාජිකයන් හතරදෙනාම සමඟ යන අවස්ථා සීමා කරන්න වන තත්ත්වයක් උදා වී තිබෙනවා තමයි. ඉස්සර නාට්‍යයක් හෝ සිනමාවක් නැරඹීමෙන් පසු තිබූ ඇතැම් පුරුදු අපට අතහරින්න සිදුව තිබෙනවා. උදාහරණයකට මවුපියන් සහ දරුවන් දෙදෙනා නාට්‍යයක් නරඹා පිටින් ආහාර වේලක් ද ගෙන ඒ රාත්‍රිය රසවිඳී තත්ත්වය අද පවත්වා ගන්න බෑ. චිත්‍රපටයකට පසු එය විචාරය කළ හැකි මිතුරන් සමඟ ප්‍රිය සම්භාෂණයක් පවත්වන්න අපහසු වන්න පුළුවන්. ඒත් ඇත්තටම නිර්මාණයක් රසවිඳීම කියන්නේ හුදෙක් නාට්‍යය බැලීම පමණක් නෙවෙයි. එහෙත් පෙර දශකවල තිබුණු තත්ත්වය සීමා වෙලා තමයි. හැබැයි සමහරු නාට්‍යයක් නොබලා කෑම කන්න පිටට යනවා. රසිකත්වයට මුල් තැන දෙන පිරිස නාට්‍යය බලලා ගෙදර ගිහින් හෝ කෑම ටික කනවා. එවැනි රසිකත්වය ඇති ලැබෙන චින්තනය, ඥානනය, ඔවුන්ගේ සිත්තුළ අවබෝධය දැල්වීම අවශ්‍ය බව සලකන පිරිසක් ඉන්න නිසා තමයි සමාජය මේ තරමට හෝ රැකී තිබෙන්නේ. කෑමට පමණක් වියදම් කරන පිරිස පමණක් හිටියා නම් මෙය පූර්ණ පරිභෝජනවාදී සමාජයක් ලෙස සීමා වෙන්න පුළුවන්. මිනිසුන්ට ඇයි කලාව අවශ්‍ය කියන ප්‍රශ්නය සහ ශතවර්ෂ ගණනක් පුරා මිනිසුන් නාට්‍ය අත්නොහැර තිබෙන්නේ ඇයි. මවු කලාවක් වන නාට්‍ය මේ තරම් යුද ගැටුම් ආදිය මැද ඉතිරිව තිබෙන්නේ කෙසේද කියන ප්‍රශ්නයේදී මිනිසුන්ගේ ආත්ම ප්‍රකාශනය බෙදා ගන්න තිබෙන අවශ්‍යතාව අපට පැහැදිලි වෙනවා.
රූපවාහිනිය, සමාජ මාධ්‍ය වැනි දේ තිබෙන මේ යුගයක පවා සජීවී රංගනයට ඇලුම් කරන මේ පුරුද්ද නොනැසී පැවතීම ම තමයි නාට්‍ය කලාවේ තිබෙන ශක්‍යතාව. ඒ අත්දැකීම වෙන කිසිවකින් ලැබිය නොහැකි බව නාට්‍ය රසිකයන් දන්නවා.
ඔබේ නාට්‍යවලින් කෙරෙන සමාජ කතිකාව වැඩි වශයෙන් නරඹන්නේ කොළඹ රසිකයන්. මෙය රටපුරා ප්‍රචලිත කිරීමට වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි නේද?
‘අප බොහෝ අවස්ථාවල විවිධ අනුග්‍රහයන් ලබාගෙන දැඩි උත්සාහයන් යොදා කොළඹින් පිට රඟදැක්වූ අවස්ථා තිබෙනවා. තවමත් අප ඉඳහිට ඒ උත්සාහය දරනවා. ඒත් මෑත කාලයේ ඉන්ධන මිල ආදිය නිසා තරමක් සීමා වුණා. අරගලය තිබුණේ ගෝල්ෆේස් එකේ. එයට එන්න අවශ්‍ය අය ගෝල්ෆේස් ආවා. ඒ වගේ නාට්‍ය නැරඹීමේ අවශ්‍යතාව තිබෙන අය කොළඹ පහසුකම් ඇති හොඳ රඟහලක් වන ලයනල් වෙන්ඩ්ට් එනවා. එවැනි අයට අපට ලබා දිය හැකි සහයෝගයත් ලබා දෙනවා. නාට්‍යයක් නැරඹීමේදී ප්‍රේක්ෂකයා දරන්නේ ප්‍රවේශපත්වල පිරිවැය පමණක් නොවේ. ඒ බව අපි දන්නවා. ඒත් අපට නාට්‍ය පිටට රැගෙන යෑමේ සීමාවන් තිබෙනවා. ඒ කොහොම වුණත් අපේ උත්සාහය අප නවත්වා නෑ. නැතුව බැරි මිනිහෙක් අපි අම්පාර, කිලිනොච්චිය, පොලොන්නරුව, හම්බන්තොට, නුවර වැනි ප්‍රදේශවලට රැගෙන යන්න හැකියාව ලැබුණා. ඉදිරියේදී අපි කොළඹින් පිට ප්‍රේක්ෂාගාරයට අපේ නාට්‍ය ගෙන යා හැකි ආකාරය සොයා බලනවා. කොළඹින් ඈත රසිකයන් පවා දන්නවා හොඳ ශාලාවක නාට්‍යයක් නරඹන විට ලැබෙන රසය වෙන ශාලාවක ලැබෙන්නේ නැති බව. ගාල්ලේ ක්‍රිකට් තරග පවත්වද්දි අපි එහි යනවා වගේ ඇතැම් රසිකයන් විවිධ ක්‍රම යොදාගෙන කොළඹ පැමිණ නාට්‍ය නැරඹීම අපට විශාල සතුටක්.’
ඔබේ නාට්‍යවලට නවක පිරිස් නිතර සම්බන්ධ කර ගන්නවා?
‘මම අධ්‍යක්ෂවරයකු විදිහට වාසනාවන්තයි අලුත් අය සමඟ කටයුතු කරන්න ලැබීම නිසා. මගේ කණ්ඩායමට අලුතින් කෙනකු බඳවා ගනිද්දි මම තරමක් සැලකිලිමත් වෙනවා ඒ පුද්ගලයා සම්බන්ධව. සාමාන්‍යයෙන් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය උලෙළවල ඇගැයුම් මණ්ඩල සාමාජිකයකු ලෙස සම්බන්ධ වී කටයුතු කරද්දි සහ තරුණසේවා සභාවෙත්, ටවර්හෝල් රඟහල පදනමේත්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරද්දීත් හමුවන දක්ෂ නවකයන් මම කැඳවා තිබෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ සිටින අය හමු වූ විට නාට්‍යවලට ගැළපෙනවා නම් ඔවුන්ටත් මම ආරාධනා කරනවා.
මෙවර උමාලි තිලකරත්නට මම එවැනි ආරාධනයක් කළා. නැතුව බැරි මිනිහෙක් සඳහා ඇයට ආරාධනා කළා. රූපවාහිනියේ සහ සිනමාවේ දක්ෂ නිළියක් වුවත් ඇය වේදිකාවට පළමුවරට සම්බන්ධ වන්නේ මේ නාට්‍යයෙන්. ඒ වගේ මම හැම නාට්‍යයකින්ම උත්සාහ කරනවා අලුතින් එක් අයකු හෝ දෙදෙනකු සම්බන්ධ කරගැනීමට.’
බොහෝ දේ ගැන ඔහුගේ අදහස් විමසීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පැනයකින් එය නිමා කරන්නට සිතීමි. ඒ වසර තිහ සමරන ආකාරය පිළිබඳ විමසීමෙනි.
‘අපි ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ කළ නාට්‍ය කීපයක් නැවත නිෂ්පාදන කර නාට්‍ය උලෙළක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එයට මුල් කෘතිවලට සම්බන්ධ වූ ඇතැම් ශිල්පීන් දායක කරගැනීමටත් කටයුතු යොදා තිබෙනවා. අවම වශයෙන් නාට්‍ය තුනක් හෝ රංගගත කරනවා. නාට්‍ය පහක් තමයි අපි රඟදක්වන්න අපේක්ෂා කරන්නේ. ඒ වන විට පවතින තත්ත්වයන් අනුව නාට්‍ය ගණන තීරණය කරන්න සිදු වෙයි. කෙසේ වෙතත් සහෘද රසිකයන් වෙනුවෙනුයි ඒ උලෙළ සංවිධානය කරන්නේ.’
සේයාරූ - නිශ්ශංක විජේරත්න