රූපවාහිනියට මා එක්වූයේ හෙන්රි ජයසේන සර් නිසා

සම්මානනීය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකා විනීතා කරුණාරත්න
මාර්තු 16, 2023

 

දරුවකු තම දෙමාපියන්ගේ හෝ වැඩිහිටියකුගේ දෙපා අල්ලා වැඳ නමස්කාර කරන්නා සේ ඈ තම 34 වසරක සේවා කාලය නිම කොට ජාතික රූපවාහිනියෙන් සමුගත්තේ දණ බිම ගසා දෙඅත් එක්කොට ජාතික රූපවාහිනී ගොඩනැඟිලි පරිශ්‍රයට වැදනමස්කාර කරමිනි. තමන්ව රටට හඳුන්වාදුන් තමන්ගේ ජීවිතයට සෙවණක් සැලසු තම ජීවිතයේ වැඩි කලක් සේවය සැලසු තමන්ට මහා විසල් නුග වෘක්ෂයක් බඳු වූ ජාතික රූපවාහියෙන් ඈ සමුගෙන ගිය 2021 මාර්තු 18 වැනිදා ඇයත් සමඟ සමීපව කටයුතු කළ සියලු සහෝදර කාර්ය මණ්ඩලයට බොහෝ හැඟුම් බර දෙනතට කඳුලක් එක්කළ මොහොතක් විය. රසික සිත් සතන් හි ලැගුම් ගත් කලාකරුවන්ගේ ජීවිතය හා ඔවුන්ගේ නිර්මාණ පෙළගැස්ම අලළා නිර්මාණය වූ සෙනෙහසේ නවාතැන, ආලකමන්දාව, භාරත ගී මිහිර බෙදූ සුභානි රාත් වැනි වැඩසටහන්හි නිර්මාණකරුවා වුයේ ඇයයි. කුඩා කළ පටන් සංගීතයට පෙම්බැඳි ඇ කිසියම් හෝ දිනක සංගීත ගුරුවරියක් වීමට සිහින මැවුවාය. ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ සරල නූර්තී ගී ගායිකාවක වූ ඈට කුඩා සන්ධියේ සංගීතයෙන් කලාවෙන් තොර ජීවිතයක් නොවීය. භාත් ඛණ්ඩ සංගීත විශ්ව විද්‍යාලයේ විශාරද උපාධිය පළඹුපෙළේ සාමර්ථ්‍යයක් ඇතුව සමත්වන ඈ සංගීත ගුරුවරියක් ලෙසින් කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයේ වසර දෙකක් සංගීත ගුරුවරිය ලෙසින් ද කටයුතු කරනු ලැබුවාය.

ජාතික රූපවාහිිනියට නිවේදිකාවන් ගන්නා බව සඳහන් පුවත්පත් දැන්වීමකට චීත්ත ගවුමක් ඇද රූපවාහිනියට ගොඩ වඳින ඈ තිර පරීක්ෂණ තුනකින් සමත්ව 1987 දී ජාතික රූපවාහිනියට එක්වනුයේ පුුහුණුවන නිෂ්පාදන සහකාරියක් ලෙසිනි. ඉන්පසු දිගු අත්දැකීම් සමුදායකින් පසු වැඩසටහන් නිෂ්පාදිකවරියක් බවට පත්වන ඈ රූපවාහිනිය තම එකම ලෝකය බවට පත් කරගන්නේ අප්‍රමාණ වූ භක්තිආදරයෙන් යුතුවය. කවදත් ජාතික රූපවාහිනිය දේවත්වය කොට සැලකූ අය සිය විශ්‍රාම දිවියට පාත්‍ර වනුයේ ඈ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසිනි. සිය සේවා කාලය තුළ සම්මානීය රූපවාහිනී වැඩසටහන් රාශියක නිෂ්පාදිකාව අධ්‍යක්ෂවරිය වූ ඈ නමින් විනීතා කරුණරත්නය. මේ කතාබහ ඈ සමඟය.

විනීතා රූපවාහිනියට පා තබන්නේ නිවේදිකාවක් ලෙසින් නේද?

ඔව් මම සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කරන අතරේ රූපවාහිනියට පුවත්පතක පළ කළ දැන්වීමකට නිවේදිකා තනතුරට ඉල්ලුම් කළා. ඒ සඳහා තෝරාගැනීමේ තිර පරීක්ෂණ තුනක් තිබුණා. ඒ සඳහා මාත් සහභාගි වුණා. නිල්මිණි සිගේරා, රත්නාලාලිනී, රේණුකා බාලසුරිය ආදීන් ඇතුළුව මාත් සමඟ දස දෙනකුගේ කණ්ඩායමක් තේරී පත් වුණා. ඊට පසු අපිට රූපවාහිනි අභ්‍යාස ආයතනයේ පුහුණුවක් ලබාදුන්නා. ඉන්පසු තමයි රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත්කරන්න ලැබුණේ. මම පළමුවෙන්ම කරපු රූපවාහිනි වැඩසටහන වුණේ. හේන්රි ජයසේනයන් සමඟ කළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර වැඩසටහන. ඊට පසු මම කළා. සප්තප් සර, ප්‍රතිභා උදය ගීතම්, ළමා ප්‍රසංග ආදී බොහෝ වැඩසටහන්වල නිවේදන කටයුතු සිද්ධ කළා.

රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදිකාවක් වන්නට ප්‍රථම ඔබ ලේඛිකාවක් වශයෙන් නියැලී යා නොවේද?

මම පත්තරවලට ලිපි ලිව්වා. ඒ වගේම ගුවන් විදුලියට ලිපි ලිව්වා. ලියතඹරා, කාන්තා කලඹ, ලාලන රේඛා, ගුවන් විදුලි වැඩසටහන් වල ලිව්වා. දිනමිණ, මිහිර ආදී බොහෝ පුවත්පත්වලට ලිපි ලිව්වා. මා තුළ සාහිත්‍ය පැත්තෙන් යමක් කිරීමේ හැකියාවකුත් තිබුණු නිසාවෙන් ඒ පැත්තෙන් නිර්මාණත් සිද්ධ කළා.

නිවේදිකාවක් වන ඔබ වැඩසටහන් නිෂ්පාදිකාවක් බවට පත්වන්නේ කොහොමද?

හෙන්රි ජයසේන මහතා වරක් මගෙන් ඇහුවා ඔබ කැමැති නැද්ද රූපවාහිනියට සම්බන්ධ වෙන්න කියලා. ඒ වචන ටික ඇහෙන කොටත් මට හරිම සතුටුයි. මම දෙපාරක් හිතුවේ නෑ කැමැතියි කිව්වා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් හැටියට තමයි හෙන්රි ජයසේනයන් රූපවාහිනියේ ඒ කාලයේ කටයුතු කළේ හෙන්රි සර් වරක් මගෙන් ඇහුවා කොහොමද ඉලංදාරි ගෑනු ළමයා රූපවාහිනියට සම්බන්ධ වුණොත් කියලා ඒ තරම් සර් අපිත් සමඟ බොහොම සමීප වුණා. ඒ ආරාධනයන් සමඟ තමයි මම පුහුණුවන නිෂ්පාදන සහකාරියක් ලෙස රූපවාහිනියට සම්බන්ධ වන්නේ අනියම් සේවකයෙක් ලෙසින් දිනක වැටුප රුපියල් 45ක මුදලකට.

ඔබ වඩාත් ආශා කළ සංගීත විෂයට අදාළ අංශයකට ඔබව යොමුකරනවා නොවේද?

සේමසිරි ඉලේසිංහ සංගීත වේදියා තමයි එවක රූපවාහිනියේ සංගීත අංශය භාරව හිටියේ. මම ගුරු වෘත්තියෙන් ඉවත්ව දිනපතා රූපවාහිනියට පැමිණියා සචින්දත් කිට් තමයි එවක සිටි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරය. ඔහු කළේ සංගීත වැඩසටහන් ස්වර රංග ස්වර සංකලන ආදී වැඩසටහන් සඳහා මම කළේ ඔහුට සහයවීම ඊට පසු සෝමසිරි ඉලේසිංහ මහතා කළ සංඛපද්ම දැය ගී සරණීය සංගීත මකරන්ද ආදී වැඩසටහන් සඳහා නිෂ්පාදන කටයුතු වලට දායකත්වයක් එක්කළා. ඒ තුළින් මම මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් බොහොමයක් ලැබුවා.

කුඩා අවධියේ ඔබේ සිහින ලෝකයේ සිටි බොහෝ සංගීතවේදීන් රූපවාහිනි පරිශ්‍රය තුළ ඔබට සමීපව ඇසුරු කරන්නන් ලැබෙනවා?

ඔව්. පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, නන්දා මාලිනි වැනි චරිත සමඟ මේ අයුරින් සමීපව කටයුතු කරන්න ලැබීම තුළ මම ලොකු සතුටක් ලැබුවා.

ඇත්ත ද මේ නිරංජලා සරෝජිනීට ඔබ බොහොම කැමැත්තක් දක්වනවා කියන්නේ?

පුංචි කාලේ ඉඳලා මම ගොඩාක් ආශයි නිරංජලා සරෝජිනීට. ඇගේ සින්දු අහන්නත් මම හරි ආශයි. මම පාසලේ දී සින්දු කියන්නේත් නිරංජලා සරොජිනිගේ හුරුවට. මගේ හඬින් ඒ ගීත ගායනා කිරීම් හැකියාවකුත් මට තිබුණා. මම හරි ආදරෙයි ඇයට. ඇය වගේ අඳින්න මම හරියට ආශා කළා. ඒ කාලේ මට සිහින් සිරුරක් තිබුණේ නිරංජලා සරෝජීනිට තිබුණා කෝපි පාට කැන්ඩියන් සාරියක්. මමත් ඒ වගේ එකක් හදාගෙන ඉස්සෙල්ලාම නිවේදිකාවන් තෝරන තිර පරීක්ෂණයට ඇඳගෙන ආවා. එදා හැමෝම හිතුවේ නිරංජලා සරෝජිනි වගේ කෙනෙක් එන්නේ කියලත්. ඇගේ ගමන බිමන ඈ අදින විධිය මම අනුකරණය කළා කිව්වොත් හරි.

ඒකට හේතුව?

මම එයාට හරි ආදරෙයි. එයානේ මගේ හිතේ ඉන්නේ. මම ගුවන් විදුලියට මුලින්ම නිර්මාණ යවද්දී ඇය සමහර ඒවා කියවනවත් මම අහල තිබුණා. ඒ නිසාමත් ඇගේ ගීත වලටත් මම ඇයට පෙම් කළා. අදටත් නෙරංජලා අක්කත් මමත් පුදුම ලෙන්ගතුකමකින් තමයි ඉන්නේ. ඒ ආදරණීයකම අදටත් තියනවා.

විනීතා කුඩා කල බොහොම හුදකලා දිවියක් ගත කළ කෙනෙක්?

අදටත් මම මගේ අම්මාගේ රූපයක් දැකල නෑ. මට අවුරුද්දක් වගේ කාලයකදී මගේ මව මිය යනවා. මගේ මව නිසා ඇය නැති තනිකම මට ගොඩක් දැනෙනවා. මම මොනවා ලිව්වත් ලියන්නේ අම්මා ගැන. නිසදැසක් ලිව්වත් එහෙමයි. මම උසස් පෙළ කරන්න කළුතර ඥානෝදය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණේ මම. පාසලේ සමිති සමාගම් වල නිලතල දරනවා. පාසලේ දී උසස් පෙළට සංගීතය හදාරන එකම සිසුවිය වන්නෙත් මම පමණයි. පාසලේ ගුරුවරියන් ළමයින්ට අම්මව එක්කගෙන එන්න කිව්වදාට මට එක්ක එන්න අම්මා කෙනෙක් නැති නිසා මම පන්තියේ තනි වෙනවා. අම්මා නැති නිසා මාව හදාවඩා ගත්තේ මගේ නැන්දා මාමා මට උගන්වලා බොහොම දුක් මහන්සියෙන් මාව ජීවත් කරලා තැනකට ගේන්න ලොකු කැපකිරීමක් කළ දෙපළක්. මම පාසලේ ගායිකාවක් වෙලා හිටියේ හැම සමිතියකම මම සිංදු කියනවා. ඉස්කෝලේ ජනපි‍්‍රය චරිතයක් ගීත ගායනා පැත්තෙන්. ඒ නිසාම මට සිංදු කියන විනීතා කියලා නමකුත් පටබැදිල තිබුණා.

මාලිනී බුලත්සිංහල මහත්මියත් ඔබේ ජීවිතයට බොහොම සමීප චරිතයක් බවට පත්වෙනවා.?

උසස් පෙළ සංගීත විෂයට මම විශ්ෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමත් සමඟ මම පත්තරයක තිබු දැන්වීමකට මහරගම මාලිනි බුලත්සිංහල මහත්මියගේ කලාශ්‍රම කලායතනයට අයදුම්පතක් ඉදිරිපත් කළා වැඩිදුර සංගීතය හැදැරීම සඳහා. ඒ අනුව පරීක්ෂණයක් තියලා මාව සංගීතය හැදෑරීමට තෝරාගත්තා. මම පාසල් ශිෂ්‍යයාව ඉන්නා අවධියේ ගුවන් විදුලියට නිතර ආව ගියා. පිබිදෙන ගායක පරපුර, නැවුම් මිහිර ගායනා තරඟ සඳහා අම්ලිගා ගීතයෙන් ගීතය ආදී තරඟ වැඩසටහන් සඳහාත් සහභාගි වුණා. මාලිනි බුලත්සිංහල මහත්මිය මට කියන මුල්‍ය අපහසුතා නිසාවෙන් නොමිලේම පන්තියකට ඇවිත් ඉගෙන ගන්න ඉඩපහසුකම් සකසල දුන්නා. එතුමියගේ මැදිහත්වීම මත තමයි මගේ විවාහය පවා සිද්ධ වෙන්නේ. මගේ ජීවිතයට අම්මා කෙනෙක් නොදුටු මට අම්මා කෙනෙක් වෙන්නේ ඇය ඒ තරටම මට එතුමිය මගේ ජීවිතයට සමීප වෙනවා.

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසින් ඔබ හා පුරා කියා නිෂ්පාදනය කරන්නේ මොන වගේ වැඩසටහනක් ද?

කවිමඩුව මේ වැඩසටහන බාහිර රූපගත කිරිම් වැඩසටහනක් ලංකාව වටේම ගිහින් මේ වගේ වැඩසටහන් හැත්තෑපහක් විතර මම කරන්න ඇති. පියසේන රතුවිතාන මහත්තයා ඇතුළු කවියන් කීප දෙනෙක් සමඟ තමයි මේ වැඩසටහන මම කළේ. ඒ වෙනකොට මම විනීතා මීගහවත්ත. මම විවාහ වෙලා නෑ. ඉස්සෙල්ලාම රූපවාහිනී තිරයේ මගේ නම යන්නේ මේ වැඩසටහනත් සමඟ. කලාතුරකින් දෑ ගී සරණීය, මකරන්ද කියන වැඩසටහන්වල මගේ නම ප්‍රචාරය වුණ අවස්ථාත් තිබුණා. ඉන්පසු කවිනඩුව, නිම්නාද පුෂ්පාංජලී ආදී වැඩසටහන් මා අතින් නිෂ්පාදනය වෙනවා.

ලංකාවේ රූපවාහිනී ඉතිහාසයේ පළමු ගීත දර්ශකය ගී හත ආරම්භ කරන්නේ ඔබ?

මොහාන්රාජ් මඩවල නිවේදකයෙක් ලෙස කලඑළිබහින්නෙත් මේ ගී හත ඔස්සේ ගී හත වැඩසටහන් තුන්සීයක් මම කළා. ඒ හැම වැඩසටහනක්ම සේවා දායක වැඩසටහන්. ගී හත නිසාම මම බාහිරව ගීත සඳහා රූපගත කිරීම් කරන්න වෙලා තිබුණා. ගී හත කඳුරට චාරිකාව නමින් අපි සේවාදායකයෝ රසිකයෝ ගායක ගායිකාවෝ එකතු කරන් අපුරු ආකාරයේ වැඩසටහනකින් තමයි ගී හත නිමා කරනු ලැබුවේ.

සෙනෙහසේ නවාතැන රූපවාහිනියට කැන්දාගෙන එන්නේ ඔබ?

මම ගොඩක් ආසයි කලාකාරයන්ට. මට ඕනෙ කරනවා ලංකාවේ විවිධ ශිල්පීන් සමඟ මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. මගේ බොහෝ වැඩසටහන්වල ආරම්භක ශිල්පිනියක වන්නේ යශෝධා විමලධර්ම. ඇයගෙන් තමයි මම මුලින්ම සෙනෙහසේ නවාතැන පටන් ගත්තේ. කලාකරුවන්, කලාකාරියන් කළ නිර්මාණ ඔවුන්ගේ වතගොත මම මේ වැඩසටහනින් ඉදිරිපත් කළා. වැඩසටහන් අසුපහක් විතර මම නිර්මාණය කළා. ජීවතුන් අතර නැති දෙනවක හාමිනේ, රූබී ද මැල් වගේ අය පිළිබඳවත් මම වැඩසටහනක් කළා. ගාමිණි ෆොන්සේකා පිළිබඳවත් මට සෙනෙහසේ නවාතැන සඳහා වැඩසටහන් කරන්න හැකියාව උදාවෙනවා. අදටත් රූපවාහිනී නාළිකාවක තියන එකම වැඩසටහන ගාමිණි ෆොන්සේකා පිළිබඳ මම කළ ඔය වැඩසටහන. ගාමිණී ෆොන්සේකා මහතා මියගිය මොහොතේ ජාතික නාළිකාව ඔස්සේ විකාශය කරන්න තිබුණු එකම වැඩසටහන වුණේ මම කළ ඔහු පිළිබඳ වැඩසටහන.

නිරංජලා වගේම යශෝධාත් ඔබේ ජීවිතයට සුවිශේෂයි?

මම ගායිකාවක් ලෙස නිරංජලා සරෝජිනීට කැමැතියි. නිළියක් හැටියට යශෝධා විමලධර්මට කැමතියි.

ආලක මන්දාව නමින් නව ආරක වැඩසටහන් ඔබ නිෂ්පාදනය කරනවා?

මට අවශ්‍ය වුණා සෙනෙහසේ නවාතැන වැඩසටහනට එහා ගිය නව ආරක වැඩසටහනක් කරන්න. කලාකරුවන් පිළිබඳ කලාවේ නව මං සොයායන, විශිෂ්ටයන් පිළිබඳ වැඩසටහන් විධියට මම ආලකමන්දාව වැඩසටහන නිර්මාණය කළා. මෙහි මුල්ම වැඩසටහන වුණේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් සමඟ කළ වැඩසටහන අශෝක වීරසිංහ තමයි එහි තිරපිටපත මුලින්ම ලියන්නේ. මේ වැඩසටහන බාහිරව රූපගත කිරිම් කරන පැය 1 1 /2ක වැඩසටහනක් රූපවාහිනියකින් ඒ වගේ වැඩසටහනක් මුලින්ම පේ‍්‍රක්ෂකයෝ දකින්නේ. මේ ආලකමන්දාව තුළින් ජෝ අබේවික්‍රම, පණ්ඩිත් අමරදේව, ලෙස්ටර් ජේම්ස් පීරිස්, අයිරාංගනී සේරසිංහ, ඩි.බී. නිහාල්සිංහ ආදී ලංකාවේ විශිෂ්ට කලාකරුවෝ ගැන මම මේ වැඩසටහන කළා. ජීවතුන් අතර නැති මොහිදීන් බෙග්, සුනිල් ශාන්ත,මහගමසේකර, එච්.ආර් ජෝතිපාල වැනි අය පිළිබඳවත් මම වැඩසටහනක් කළා. මේ වැඩසටහන දීර්ඝ ඉතිහාසයක් තියන වැඩසටහනක්. මම වැඩසටහන් 98ක් කරනවා. ආලකමන්දාව වැඩසටහනට අයිරාංගනී සේරසිංහ සමඟ කළ වැඩසටහනට මම ගොඩක් කැමතියි.

ආලකමන්දාව මෙතරම් ජනපි‍්‍රය වෙන්න හේතුව?

විශේෂයෙන් පිටපත් රචනය මෙතැනදි වැදගත් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධදාස ගලප්පත්ති, අශෝක වීරසිංහ, පුෂ්කර වන්නිආරච්චි, රත්න ශ්‍රී විජේසිංහ, බන්දුල නානායක්කාරවසම්, සුනිල් මිහිදුකුල ආදීන් ලබාදුන් ප්‍රබල පිටපත් ලංකාවේ විශිෂ්ට නිවේදයකු වූ ක්‍රිෂාන්ත දයානන්ද ලබාදුන් පසුබිම් කථනය තමයි ආලකමන්දාවේ ප්‍රාණය. මෙය පටිගත කරන කැමරාශිල්පීන්, ආලෝක ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පින් ආදීන්ගේ තිබෙන දැඩි කැපවීම තමයි මේ වැඩසටහනේ සාර්ථකත්වය. අදටත් රූපවාහිනිය මේ වැඩසටහන් වලට පුදුම ගෞරවයක් දක්වනවා. රූපවාහිනියට තියන සංරක්ෂණ වටිනාකමක් තියන රූපවාහිනියට අනන්‍ය වූ වැඩසටහනක් මේක. රූපවාහිනියට කුමන සභාපතිවරයෙක් ආවත් කුමන අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් ආවත් මේ වැඩසටහනට ඔවුන්ගේ ආශිර්වාදය තියනවා. මේ වැඩසටහන් අදටත් ඉදිරිපත් කරන එම ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන මනෝරි සමන්තිකා ජයතිලක මහත්මිය මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අදටත් මම රූපවාහිනියේ නැතත් ඒ වැඩසටහන් වල තියන වටිනාකම නිසාම ඒවා කාලකරුවකුගේ සුවිශේෂී දිනයක ප්‍රචාරය වීම ගැන කලාකරුවන් අමතක කර නැති බව හොඳම සාක්ෂියක්.

රූපවාහිනයේ දීර්ඝ වැඩසටහනක ආරම්භක නිෂ්පාදිකාව වන්නේ ඔබ?

2000 වසරේ අපේ‍්‍රල් මාසේ 17 වැනිදා ආරම්භ කෙරුණු නුගසෙවණ සජීවි විකාශයේ ආරම්භ නිෂ්පාදිකාව මම. මෙය මගේ පළමු සජීවී නිෂ්පාදනය. ඊට පසු දවස් පහ වෙනුවෙන් තවත් නිෂ්පාදකවරු නිෂ්පාදකවරියන් වෙන වෙනම එකතු වෙනවා.

සිනමාවේ ඉතිහාසයේ සිට සිනමා ගීතය, චිත්‍රපට ගැන කතාකරන රිදී නිම්නය වැඩසටහනේ නිෂ්පාදිකාව වුණේ මම.

හින්දි සිනමාව ගැනත් ඔබ අතින් වැඩසටහන් නිෂ්පාදනය වෙනවා?

සුභානි රාත් ඒ අතරින් විශේෂයි.

රූපවාහිනියෙන් ඔබ සමුගැනීමත් සමඟ මේ වැඩසටහන් පෙළත් පේ‍්‍රක්ෂකයන්ගෙන් ඈත් වෙලා යයි නේද?

මම රූපවාහිනියේ නැති නිසා කෙරෙන්නේ නෑ. නමුත් බාහිරින් සිට මේ කාර්ය මට කරන්න පුළුවන්. රූපවාහිනියෙන් වුණත් ඉල්ලීමක් තියනවා. ආලකමන්දාව මට බාහිරින් නිෂ්පාදනය කරල රූපවාහිනයට දෙන්න කියල මේ සඳහා මම නිෂ්පාදකයෙක් සහ අනුග්‍රාහකයෙක් සොයමින් ඉන්නේ. දැනට මට නිෂ්පාදකයෙක් පිළිබඳ ඉඟියක් ලැබිල තියෙනවා. අපි වැඩසටහන් පටිගත කරල සේවා දායකයෙක් එක්ක තමයි රූපවාහිනියට භාර දෙන්න ඕනෙ.

වීනිතා සම්මාන පිට සම්මාන ලැබු වැඩසටහන් නිෂ්පාදිකාවක්?

මට මුලින්ම සම්මානයක් ලැබුණේ 2007 වසරේ ආලකමන්දාව වෙනුවෙන් එච්.එම්. ජයවර්ධනයන් පිළිබඳ කළ වැඩසටහනට ඒ සුමති සම්මානය ආලකමන්දාව වැඩසටහනට විතරක් මට සම්මාන විසි දෙකක් ලැබිලත් තියෙනවා. සුමති සම්මාන රාජ්‍ය සම්මාන,රයිගම් සම්මාන ඒ අතර විශේෂයි. 2010 වසරේ මම ආලකමන්දාව වැඩසටහනට සම්මාන තුනක් හිමිකරගන්නවා. මුද්‍රා නැටුම් ශිල්පී වසන්ත කුමාර මහතා පිළිබඳ කළ ඉඟිනළු සම්ප්‍රදායක නර්තන රචකයාණෝ නමින් කළ වැඩසටහන වෙනුවෙන්. මේ වෙනුවෙන් මට රාජ්‍ය, රයිගම සම්මානය ඒඕඍ කුසලතා සම්මානය හිමිවෙනවා. මේ ඒඕඍ සම්මානය ගන්න මම නවදිල්ලියට යනවා. මේ සම්මානය තමයි මම මේ වැඩසටහන වෙනුවෙන් ලබාගත් පළමු අන්තර්ජාතික සම්මානය විශ්ව අභිනන්දන, සිංහ අභිනන්දන, ජනාධිපති සම්මාන පවා මට හිමිවෙනවා ආලකමන්දාව වෙනුවෙන්.

මෙතරම් කාර්ය බහුල රාජකාරී ජීවිතයක් ගත කළ ඔබට පෞද්ගලික ජීවිතය තුලනය සඳහා ඉඩහරසර යොදාගන්නේ කොයි ආකාරයට ද?

මගේ දවසේ වැඩි කාලයක් මම ගත කළේ රූපවාහිනීය තුළ මම කළ හැම වැඩසටහනක්ම පාහේ රූපගත කිරීම් සිදුකළේ. බාහිරව සමහර වැඩසටහන් වෙනුවෙන් සති ගණන් ගිහින් රූපගත කිරීම් කරල තියනවා. මම විවාහ වුණේ මගේ රාජකාරී දිවිය ගැන වැටහීමක් තියන ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ නිහාල් කරුණාරත්න සමඟ අපි දෙදෙනාගේ විවාහය සිද්ධ වෙන්නේ යෝජනාවකින් ඔහුට තිබුණු අවබෝධය නිසා මගේ නිර්මාණ කාර්ය මට පහසුවක් වුණා. අද මගේ පුතා රවීදු වගීෂ කරුණාරත්න ඔහු මාධ්‍ය රූපශිල්පියෙක්. පුතාත් රූපවාහිනී සංස්ථාවේම සේවය කරන නවීණ තාක්ෂණ ඔස්සේ මාධ්‍ය රූප භාවිතය ගැන ඔහු මේ වන විටත් බොහෝ දුර ගමනක් ගිහින්. මගේ පුතා අද ඇවිත් ඉන්න දුරගමන ගැන මට හරි සතුටුයි. මගේ සැමියත් අද ගුවන් විදුලියෙන් විශ්‍රාම අරන් මගේ පුතා මගේම ආලකමන්දාව වැඩසටහනේ පුර්ව ප්‍රචාරක පවා පරිගණක අක්ෂර සංයෝජනය තේමා නිර්මාණය වගේ දේවල් පවා කරල තියනවා. විශ්ව ගමන ටෙලි නාට්‍යයෙන් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන රතුකඳුළේ ගීතයේ රූප රාමු සඳහාත් පුතා රංගනයෙන් දායක වුණා.

කුඩා කාලේ ඉඳලා පුතා කලාව පැත්තට නැඹුරු වුණා. කැමරාකරණ සංස්කරණය වගේ දේවල් පවා පුතාට පුළුවන්. අයි.ටී පැත්ත තමයි පුතා ඉගෙන ගන්න ආශා කරන්නේ. පුහුණුවකට රූපාවාහිනි්යට ඇවිත් ඔහුගේ දක්ෂතා නිසාවෙන් ජාතික රූපවාහිනියේ සේවයට සම්බන්ධ වෙනවා.

ක්ෂේත්‍රය ගැන මනා පරිචයක් ලැබු ඔබට හැකියාවක් ලැබුණේ නැද්ද ඔබ උත්සාහ කළේ නැද්ද තවත් ගෝල පරපුරක් හදන්න.

මේ වැඩසටහන් කරද්දී අපිට කිසිම නිෂ්පාදන සහකාරවරයෙක් නෑ. අධ්‍යක්ෂකත් මම සහයකත් මම ඒ විධියට තමයි මේ කාර්යභාරය කෙරෙන්නේ. කලාතුරකින් විශ්ව විද්‍යාලයෙන් එවනවා පුහුණුවට ළමයි. එහෙම ආපු ළමයි අතරින් වැඩිම කාලයක් මාත් එක්ක පුහුණුවක් ලබපු දරුවෙක් තමයි නාලක වේහැල්ල. මම හදපු ගෝලයෙක් හිටිය නම් ඒ නාලක. ඔහු ආවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. පුදුම කැපවීමක් තිබු දරුවෙක්. නමුත් ඒ ගෝලයා අද වෙන කොට මාධ්‍යයේ රැදිලා නෑ. වව්නියාවේ උසස් නිලයක් දරන උසස් රැකියාවක නියුතු පුද්ගලයෙක්. මගේ කිසිම ගෝලයෙක් අද වෙනකොට කලාව තුළ රැදිල නම් නෑ. ඒකට හේතුව පුහුණුවීමට එන කෙනාට පුහුණුව අවසානයේ රූපවාහිනියෙන් යන්න වෙනවා. හැබැයි මගෙන් බිහිවෙච්ච නිවේදකයෝ ඉන්නවා. තනුජ් හේමන්ත, චමිලා මංගලගම, මොහාන්රාජ් මඩවල, කාන්ති තිලකරත්න, ශ්‍රිනාත් මද්දුමගේ, රොජර් සෙනෙවිරත්න, ශි‍්‍රමත් ඉන්ද්‍රජිත් ලියනගේ, චමිල පලිහේන, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, වත්සලා සමරකෝන්, ආචාර්ය නුවන් නයනජිත් කුමාර මේ අය අදටත් දිගු ගමනක් ගිය පුද්ගලයෝ. මට ඒ අයගේ දිගු ගමනට අත්වැලක් වන්න අවස්ථාව ලැබීම ගැන මම බොහෝ සතුටු වෙනවා.

ගෙදර ගියත් රූපවාහිනිය අතහැරල නෑ ඔබ?

කොහෙත්ම නෑ. රූපවාහිනියෙන් මොනවාද කලාකරුවෙක් ගැන මගෙන් අහන්නේ. මට ඒ ඕනෙ මොහොතක සැදී පැහැදී සිටිනවා. ගෙදර ඉඳලම උදව් කරන්න. අදටත් මට කාලාකාරවෝ ආදරෙයි. මමත් එහෙමයි මම රූපවාහිනියේ නෑ කියල නෑ. විශ්ව විද්‍යාල දරුවන්ටත් මම මුහුණු පොත හරහා ගොඩක් උදව් කරනවා ගෙදර ඉඳලාම. මම කලාකරුවන් වෙනුවෙන් කළ මෙහෙවර ගැන මගේ ඒ වැඩසටහන් නැවත විකාශයේදීත් මට ඔවුන් සුබපතන අවස්ථා එමටයි. මම මේ හැම දෙයක්ම කළේ මගේ රටේ කලාකරුවන් වෙනුවෙන් රටවෙනුවෙන් මගේ රටේ කලාව වෙනුවෙන්. හැමදාමත් මගේ අන්තිම හුස්ම පොද යන කන් මම ඒ වෙනුවෙන් කැපවෙනවා. මම කරපු හැම වැඩසටහනකම කලාකරුවන්ගේ ජිවිතයට මම ඇතුළු වුණා. ඔවුන් පිළිබඳ තොරතුරු සෙව්වා. ඔවුන්ගේ ජීවිත කතාව මගේ දෙයක් බවට පත්කරගෙන තමයි මේ වැඩසටහනත් මම කළේ.

ආපසු හැරිල බලනකොට පසුතැවීම් එහෙමත් තියනවාද?

වික්ටර් රත්නායක, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, සනත් ගුණතිලක, රෝහණ වීරසිංහ, අශෝක හඳගම ආදීන් වෙනුවෙන් මට ආලකමන්දාව කරන්න ලැබුණේ නෑ. සමහරුන් පිළිබඳ පිටපත් පවා මා ලියාගෙන තිබුණා. මට අදටත් අවශ්‍යයි මේ අය ගැන දෙයක් කරන්න. අද හෝ හෙට මේ අය ගැන වැඩසටහනක් කරන්න මට නිෂ්පාදකයෙක් අනුග්‍රාහකයෙක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විශ්‍රාම ගියත් ඔබේ දායකත්වය රූපවාහිනියට පමණ ද?

වෙනත් ආයතනයකට ඇතුල්වෙලා මට අද රාජකාරියක් කරන්න බෑ. බාහිරින් ඉඳලා තමයි දෙයක් කරනවා නම් කරන්න පුළුවන්. ආලකමන්දාව සුභානිරාත් වැඩසටහන් කළොත් ඒවා කළ යුත්තේ රූපවාහිනියට. වෙනත් ආයතනයකට කරනවා නම් කලාකාරයෙක් ගැන වෙනත් විධියකින් මෙහෙවරක් මට කරන්න පුළුවන්. රූපවාහිනියට මගෙන් මෙහෙවරක් අවශ්‍ය නොවෙනවා නම් වෙනත් මාධ්‍යයකින් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. මට තව මෙහෙවර කරන්න පුළුවන් කියල මම දන්නවා. මම කියන්නේ ගනිව් ගනිව් තව මගෙන් වැඩ ගනිව් කියලා. එතන තමයි මම අද ඉන්නේ. ඒක තමයි මගේ පාඨය. මගේ අතපය හයියයි. මට තව වැඩකරන්න පුළුවන් මගේ හිතේ ධෛර්ය තියනවා. උත්සාහය තියනවා ඒ නිසා මම කියන්නේ ගනිව් ගනිව් තව මගෙන් වැඩ ගනිව් කියලා.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]