සිනමාවේ අපට තිබෙන්නේ සුන්දර තරගයක්

නිෂ්පාදිකා දීපා එදිරිසිංහ
මාර්තු 16, 2023

ලාංකේය සිනමා ව්‍යාපාරයේ ඊ.ඒ.පී. එදිරිසිංහ නාමයට ඇත්තේ සුවිශේෂී අනන්‍යතාවයකි. එසේම ලාංකේය සිනමා ඉතිහාසය පුරා ද මේ නාමය ඉහළින් වැජඹිණ. 1957 වර්ෂයෙන් ඇරඹි මේ සිනමා ගමන් මඟ ඊ.ඒ.පී. එදිරිසිංහයන් ගෙන් සහ සෝමා එදිරිසිංහගේ නිෂ්පාදන දායකත්වයෙන් බිහි වූ අලංකෘත සිනමාලංකාරයකින් සැරසිණ. ඒ ඉතිහාස කතාවේ දීර්ඝතම ධාවන යෂ්ටිය රැගෙන යන්නට වර්තමානයේ තරග බිමට තවත් එදිරිසිංහ නාමයක් පිවිස සිටින්නීය. ඈ අනෙකකු නොව ඊ.ඒ.පී සෝමා යුවළගේ ආදරණීය එකම දියණිය දීපා එදිරිසිංහය.

දීපා සිනමාවෙන්ම උපන් තැනැත්තියක් යැයි මා හැඳින්වූවාට වරදක් නැත. එයට හේතු වනුයේ සිය මවුපියන්ගේ සමාජ වට පිටාවය. පියා සිනමා කර්මාන්තයේ සැලකිය යුතු දුරක් සිය නාමය සනිටුහන් කරන විට ඇය කුඩා දැරියකි. එහෙත් සිය මව මේ මාධ්‍යයේ ජය කෙහෙළිනංවත්දි ඈත් සමඟ දියණියත්, මිතුරියක් සේම මේ සෑම අවස්ථාවකම ළඟින් සිටින්නට වාසනාව ඇයට හිමිවිය. වසර ගණනාවක් හොඳම නිෂ්පාදිකාව මෙන්ම ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදිකාව ලෙසින් සිය මවුතුමිය විවිධ සම්මාන උත්සවවල සම්මානයට පාත්‍ර වෙත්දි ඈ තරම් සතුටට පත් තැනැත්තියක් තවත් නොවන්නට ඇත. සිනමා ක්ෂේත්‍රය තුළ තවත් ලබන්නට තරම් සම්මාන කිසිවක් ඈට නොවීය. අන්තර් ජාතික වශයෙන් ද ඈ නිෂ්පාදනය කළ චිත්‍රපට සම්මාන ගරු බුහුමනට පාත්‍ර වූයේය. එබැවින් මෙවන් සිනමා පරිසරයක උපන් දීපාට සිනමාව යනු අමුතු අත්දැකීමක් විය නොහැකිය.

මවුපියන් ගේ අඩිපාරේ යමින් නොබෝදා ඈ සිය මංගල චිත්‍රපට නිෂ්පාදනය දොරට වැඩමුවාය. ඒ මේ දිනවල තිරගත වන ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ ‘වෙඩි නොවදින ළමයි’ ය. වසර පහකට ආසන්න කාලයක් තිරගත වීමේ පෝලිමේ සිටි ඇයට නොබෝදා එම අවස්ථාව උදා වූයේය. පියා තුළ පැවති නොපසු බට උත්සාහයත්, කැපවීමත්, ධෙර්යයත් සමඟ මවගෙන් ලද අධිෂ්ඨානශිලීත්වය සහ ව්‍යාපාරික ඥාානයත්, සුහදශිලීත්වය හා සමාජශිලිත්වයත් නොඅඩුව හිමිකර ගනිමින් ක්ෂේත්‍රයට පැමිණි ඈ දීර්ඝ කාලීන සැලසුම් හා තීන්දු තීරණ මත මේ ගමන යන්නට බලාපොරොත්තු වන්නීය.

“මම නිෂ්පාදනයට අලුත් වෙන්න පුළුවන්. නමුත් මම සිනමාවට අලුත් කෙනෙක්වත්, සිනමාව මට අලුත් දෙයක්වත් නොවෙයි. අපේ තාත්තා චිත්‍රපට නිෂ්පාදනය කරන කොට ඇත්තටම මම පුංචියි. නමුත් මගේ අම්මා චිත්‍රපට නිෂ්පාදනය කරන විට මම ඇය ළඟින්ම සිටියා. කොහොමත් මගේ ජීවිතේ චිත්‍රපටය කියන එකට වැඩි තැනක් තියනවා. සිංහල චිත්‍රපටයක් ආවත්, විදේශිය චිත්‍රපටයක් ආවත් නොවරදවා ගිහින් නරඹන පුරුද්දක් මගේ ඒ කාලයේ ඉඳන්ම පුරුද්දක් තිබුණා. මේ ළැදියාවත් එක්ක තමයි මගේ අම්මා මිය ගියාට පස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් හොඳයි කියලා මට හිතුණේ. ඇය ජීවත් වූ අවසාන කාලෙදිත් ඇය නිතරම කිව්වා අපි තව චිත්‍රපටයක් හදන්න ඕන කියලා. ඔය තත්වය මත තමයි මම චිත්‍රපට හදන්න ආවේ. නමුත් කොතනින්ද පටන් ගන්න ඕනි කියන එක ගැන මට තේරුමක් තිබුණෙ නෑ,”

දීපා ගේ පියා එනම්, ඊ.ඒ.පී. එදිරිසිංහයන් මුලින්ම චිත්‍රපටයක් නිපදවීමට පෙලඹනුයේ 1957දීය. අති දැවැන්ත නිර්මාණයක් කිරීමට ආසාවක් ඔහුගේ සිත ඇතුළේ තිබුණ ද ඉස් ඉස්සරලාම එවන් කටයුත්තකට අත ගසන්නට ඔහු මැළිවිය. එබැවින් ඔහු මුලින්ම නිපදවීමට තීරණය කළේ ඉන්දියානු චිත්‍රපට රැගෙන දෙබස් කැවීමකටය. ඒ සඳහා ඔහුට සහයෝගය දැක්වීමට ඔහුගේ පන්ති සගයකු වූ පසුකලෙක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා වූයේය. මේ අනුව ඔහු සිංහලෙන් දෙබස් කැවීමට තෝරාගත්තේ ඉන්දියාවේ එතරමි සාර්ථක නොවූ චිත්‍රපටයක් වූ ‘අංජලීය’. එය බණ කතාවක් වූ අතර අධ්‍යක්ෂණය කරනු ලැබුවේ චේතන් ආනන්දය. එහි සිංහල අධ්‍යක්ෂවරයා වූයේ සුරේන්ද්‍ර වෙඩික්කාරය. සිය පළමු සිනමා නිර්මාණයේ නම සිය එකම දියණියට තබන්නට පසුකලෙක මේ පියා කටයුතු කළේය. ඒ අනුව වත්මනයේ අපි දීපා එදිරිසිංහ ලෙසින් හඳුන්වන ඇගේ නමේ මුල් කෑල්ල වනුයේ ‘අංජලී’ය. ඇය අංජලී දීපා එදිරිසිංහය. ඇය සිනමාවෙන් උපන් තැනැත්තියක් ලෙස පෙර මා හැඳීන්වූයේ එහෙයිනි.

“ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ පළමු සිනමා නිර්මාණය වුණු ‘හෝ ගානා පොකුණ මම බැලුවා. ඒකට මම කොයි තරම් ආස වුණාද කියනව නම් දෙවැනි වටයකුත් බැලුවා. මට හිතුණා මම ඔහුව හමුවෙලා මගේ සතුට සහ ප්‍රීතිය ඔහුට ප්‍රකාශ කරන්න ඕන කියලා. පස්සේ දවසක් මම ඔහුව හොයාගෙන විශ්ව විද්‍යාලයට ගිහින් ඔහුට මගේ සුබ පැතුම් පිරිනැමුවා. ඔහු මගේ සුබ පැතුම බොහෝම ආදරෙන් පිළි අරගෙන කිව්වා. තව සති දෙකකින් ඕස්ට්‍රේලියා යනවා. ගිහින් ඇවිත් චිත්‍රපටයක් හදන්න කැමැතියි. මම ඒකට සම්බන්ධ වෙනවා නම් කියලා. මගේ හිතේත් චිත්‍රපටයක් හදන්න අදහසක් තිබුණ නිසා මම කිවුවා ‘අපි ආවහම බලමු’ කියලා. ඒ හමුවෙන් පස්සේ එයා අවුරුදු 2 1/2ට පස්සේ ලංකාවට ආවා. ඇවිදින් මට කතා කරල අපි මුණ ගැසුණා. ඒ පටන් ගැනීම තමයි ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටය දක්වා ගියේ. ඔහු මට කතාව විස්තර කරද්දි ඒ කතාවට මගෙත් කැමැත්තක් ඇතිවුණා. ඒක සමාජ කතාවක්. බස් එකක කොළඹ ඉඳලා අනුරාධපුරයට යන කතාවක්. මමත් මගේ අම්ම වගේම සමාජයට වැඩ කරන්න කැමැති කාන්තාවක්. ඉතින් මටත් හිතුණා මේ කතාව චිත්‍රපටයකින් කළොත් හොඳයි කියලා.’

ඊ.ඒ.පී. සමාගම සිය ඉතිහාස කතාවේ ආරම්භය සනිටුහන් කළේ බණ කතාවකින්ය. එහි තුන් වැනි අදියර ලෙසින් දීපා සිය ගමන් මඟ ආරම්භ කරනුයේ සමාජ කතාවකිනි. එහෙත් ඊ.ඒ.පීලාගේ මුල්ම ස්වතන්ත්‍ර නිර්මාණය වූයේ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටයය. කෙසේ වෙතත් පියා මව මෙන්ම දියණියද හොඳ ආරම්භයකින් තම ගමන් මඟ සකසාගෙන ඇති බව නම් පැහැදිලිය. එදා හෝ ගානා පොකුණට පෙම් බැන්දා සේම දැන් ඇය වෙඩි නොවඳින ළමයින්ට පෙම් බඳින්නීය.

‘ඇත්තටම මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුණේ අනුරාධපුරය ප්‍රදේශයේ. ඉතින් අනෙක් සෑම කටයුතුත් සමඟ මට නිතිපතා මෙතනට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මේ චිත්‍රපට කණ්ඩායම දින දෙකකට වතාවක්වත් මාව දැනුවත් කළා. මොනවද සිද්ධ වුණේ කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම මේ වෙලාවෙත් මට මතක් වුණේ අම්ම - තාත්තා ඇසුරේ චිත්‍රපට ගැන. මම ලබපු අත්දැකීම්. මට තාමත් මතකයි තාත්ත ‘දුලීකා’ චිත්‍රපටය කරනවා. ඒත් එක්කම ‘ලොකුම හිනාව‘ චිත්‍රපටයේ අන්තිමට තියනවා කේක් කන දර්ශනයක්. අපේ ගෙදර තමයි ඒක රූගත කළේ. ළමයි ටිකක් කේක් කන දර්ශනයට මමත් හිටියා මට මතකයි. දුලීකා කරත්දි විජය කුමාරතුංග, බියුලා ඩයස්, කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා වැනි අය අපේ ගෙදර එනවා. මමත් ඒවා බලාගෙන ඉන්නවා. ඒ කාලේ මට වැඩි අවබෝධයක් තිබුණෙ නෑ. නමුත් අම්මා “ධවල පුෂ්පය’ කරන කොට මම වැඩිහිටි වයසට ඇවිත්. එතැන ඉඳලා අම්ම කරපු හැම චිත්‍රපටයකටම මම අම්මත් එක්ක ඉතාම ළඟින් සම්බන්ධ වුණා. අන්තිමට මම ගොඩක් කැප වුණේ සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයට. ඒ කාලේ ඉතින් ඇත්තටම විවේකයකුත් නෑ. අම්මමත් සමඟ සෑම චිත්‍රපට දර්ශනයකටම මමත් සහභාගි වෙනවා.’

දීපා ඇතුළු ඊ.ඒ.පී. පවුලේ දරුවන්ට උරුම වූයේ පියා - මව විසින් සාර්ථකව ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයකි. ඒ අතරින් ජනපි‍්‍රයතම හා බැබලුුණුම ව්‍යාපාරය වූයේ සිනමා ව්‍යාපාරයයි. දීපා ගේ පියා සිනමා නිෂ්පාදනයෙන් ඇරඹී ගමන චිත්‍රපට ක්ෂේත්‍රයේම වෙනත් දිශානයකීන් දක්වා ද ව්‍යාප්ත කළේය. ඔහු චිත්‍රපට එක දෙක නිෂ්පාදනය කරමින් ඉදිරියට යද්දී තමාගේම සිනමා උපකරණ සහ සේවා සැපයීමේ ආයතනයක් ද ආරම්භ කළේය. ඒ අතරම සිනමා ශාලා රාශියක් සමඟ එක්ව ඒවාසේ පාලනයට මැදිහත් වන්නට ද ඔහු උත්සුක වූයේය. ඔහුට අවශ්‍ය වුයේ තමාගේම යැයි කියාගන්නා චිත්‍රපට ප්‍රදර්ශන ජාලයක් ගොඩ නැංවීමටය. ඒ අනුව බලන කල ඔහු මෙම ව්‍යාපාරයේ ඇසූ පිරූ තැන් ඇතිව දුර දිග බලා කටයුතු කළ තැනැත්තෙක් විය. මේ පියාගේ දියණිය ද වර්තමානයේ නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ දීර්ඝ කාලීන සැලසුම් ඇතිවය.

‘මම ගොඩක්ම කලාවට කැමැති කෙනෙක්. මුලින්ම මම චිත්‍රපට නිෂ්පාදනය පෙලඹුණේ ඒ කැමැත්ත නිසා. නමුත් ඊට පස්සේ අපි ආර්ථික පැත්ත ගැනත් බලන්න ඕන. මේ නිර්මාණ වෙනුවෙන් අපි ලොකු ආයෝජනයක් කරන්න ඕන. මේ චිත්‍රපටය එළි දැක්වීමෙන් පස්සේ මම හොඳින් තේරුම් ගත්ත දෙයක් තමයි ව්‍යාපාර පැත්ත ගැනත් අපි හිතන්න ඕන කියන එක. අම්ම චිත්‍රපට නිෂ්පාදනය කරද්දි ඊ.ඒ.පී. සමාගම අපිත් එක්ක හිටියා. ඒ අය ඒක හොඳින් කළමනාකරණය කළා. ඒ නිසා මම ඒ ගැන ඇඟිලි ගහන්න ගියේ නෑ. මේ චිත්‍රපටයේදි මම සහ සම නිෂ්පාදකවරු දෙන්නෙක් ඉන්නවා. මේ අයත් එක්ක මට සෘජුවම කළමනාකරණ පැත්තට සම්බන්ධ වුණා. බොහෝ දෙනෙක් කියන පරිදි මගේ තාත්තා අම්මා සිනමාවට ආපු යුගය වගේ නොවෙයි මම නිෂ්පාදිකාවක් විදියට එන මේ යුගය. නමුත් මට හිතෙනවා මේ යුගය වුණත් අපිට සුබවාදීව හරවා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් මගේ අවධානය සිනමා ශාලා හිමියන් පැත්තට යොමු වෙනවා. මම හිතන විදියට මෙතෙක් අපි ඒ අය පැත්තට වැඩියෙන් යොමු වෙලා නෑ. තම තමන් ගැනම බලාගන්නවා මිසක් සිනමා ශාලා දෙස උනන්දුවෙන් බලල නෑ කියලා මට හිතෙනවා. අපි නිෂ්පාදනයක් කළාට මදි. අපිට ඒක පෙන්නන්න තැනක් තියෙන්නත් ඕන. අපි කොහොමහරි ඒකට වට පිටාවක් හදාගෙන චිත්‍රපට ශාලා ටික උඩට ඔසවා ගත්තොත් මං හිතන්නේ නෑ මේ චිත්‍රපට කලාවෙන් බැහැරට යන තත්ත්වයකට පත්වෙයි කියලා. අනික් පැත්තෙන් අපි හොඳ චිත්‍රපටයක් හදලා දෙනව නම් මිනිස්සු චිත්‍රපට බලන්න එන්නෙ නැත්තෙ නෑ.”

සිය පියාට, මවට චිත්‍රපට හදන්නට හදන්නට නැවත නැවතත් ආසාව මතු වූයේ චිත්‍රපට ක්ෂේත්‍රයේම රැඳී සිටින්නටය. ඒ ආසාව කැමැත්ත නිසාම කෙතරම් නම් අගනා නිර්මාණ මෙන්ම ජනපි‍්‍රය තලයේ සිනමා නිර්මාණ බිහි වුයේ ද? ඊ.ඒ.පී. එදිරිසිංහ යුගය මතකයට ගතහොත් අංජලී ගෙන් පටන් ගෙන පිරිමියෙක් නිසා, සුහද සොහොයුරෝ, කපටිකම, බයිසිකල් හොරා, ලොකුම හිනාව, දුලීකා දක්වාත් ඉන් පසු යුගය සෝමා එදිරිසිංහ අරඹමින් ධවල පුෂ්පය, සෙයිලම, වීසිදැල, රෑ දැනියෙල් දවල් මිගෙල්, රෑ දැනියෙන් දවල් මිගෙල් - 2, කිණිහිරියා මල්, රෝස වසන්තේ, සලෙලු වරම, යකඩ පිහාටු, රෑ ඩැනියෙල් දවල් මිගෙල් 3 ඉර මැදියම, අසනි වර්ෂා, වන්ෂොට් වන්, හිරිපොද වැස්ස, සමාරා, තාරකා මල්, හාට් එෆ්.එම්. දක්වාත් රැගෙන ආ අයුරු අපට මතකය. දැන් ඉතිරිය ඇත්තේ දීපා අතේය.

‘ඉදිරියෙත් මගේ බලාපොරොත්තුව දිගටම චිත්‍රපට ක්ෂේත්‍රයේ රැඳී සිටීමටයි. දැනටමත් ඉදිරි නිර්මාණ කිහිපයකට සූදානමින් ඉන්නවා. ඒවා පටන් ගන්න කලින් මේ නිර්මාණයේ වැඩ කටයුතු නිමාවක් දකින්න ඕන. එතැනදි අපට වැරැදුණ තැන්, අපේ අඩුපාඩු මොනවද කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඊට පස්සේ අලුත් චිත්‍රපට කරන්න කැමැතියි. ඒක දැන්ම සිදුවෙන එකක් නෑ. තව කල් යයි. ඇත්තටම මේ චිත්‍රපටයත් හරිම අමාරුවෙන්, කැපවීමෙන් කරපු එකක්. මේ චිත්‍රපටයට වැඩිපුර සම්බන්ධ වුණේ දරුවෝ, ඔවුන් ලොකු කැපකීරීමක් කළා. රෑට නිදාගන්න ඕන දරුවෝ රෑට ඇහැරලා ඉඳලා දවල්ට නිදාගත්තා. ඒ දරුවන්ට බොහොම වෙහෙසකාරී තත්ත්වයක් තිබුණා. හැබැයි ඉතින් අපේ ප්‍රඩක්ෂන් ජඩඥඹ එක ඒ දරුවන්ගේ අවශ්‍යතා ගැන හොඳින් හොයලා බැලුවා. මේ චිත්‍රපටයේ බස් එකට නඟින්නේ හරිම විවිධාකාර කට්ටියක්. ඉතින් ඒ අයගේ ජීවිතේ කියන්න නම් මේ චිත්‍රපටය නරඹන්න ඒ බස් එකට නැඟිය යුතුයි කියලයි මට හිතෙන්නේ.

අම්ම ඉන්න කාලේ වුණත් අපේ චිත්‍රපට බාරව හිටියේ මගේ එක මල්ලි කෙනෙක් වන අසංක එදිරිසිංහ. ඉතින් මම දකින විදියට එක පවුලක එක ලොකු චරිතයක් තියෙද්දි අනිත් අය එයාව බලාගෙන අනුගමනය කරන එකයි හරි. ඒ නිසා මම ඒ කාලේ මේ ගැන ලොකු අවධානයකින් කටයුතු කළේ නෑ. අපේ මල්ලි ලොකු දැවැන්ත චරිතයක් නේ. එයා එක්ක මට හැප්පෙන්න අවශ්‍යතාවයකුත් නෑනේ. මට තිබුණේ එයත් එක්ක ගිය ගමනක් තමයි. සමහර වෙලාවට එයා කරන ගොඩක් දේවල් දිහා මමත් බලාගෙන හිටියා. ඒ අතරේ මගේ පවුල දරුවෝ එක්ක සම්පූර්ණ කාලයම මෙහෙම බැහැල වැඩ කරන්න ඉඩක් වෙලාවක් තිබුණේ නෑ. දැන් නම් මගේ දරුවෝ ලොකුයි. ඒ නිසා වෙන්නැති ඒ කාලේ අම්මත් එක්ක ඒ ගමන් ගියාට මම තනියෙන් මුකුත් කරන්න තීරණය නොකළේ. අපේ අම්මගේ චිත්‍රපට නිෂ්පාදන වැඩ සටහන් විතරක් නොවෙයි ජන සරණ වැඩසටහන් ඇතුළු, සියලුම වැඩසටහන්වල මම හිටියා. එයත් එක්ක ගියා මිසක් එයාට ඉස්සරහින් ගිහින් කැපී පෙනෙන්න මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. අපි එයාට ගොඩක් ගරු කළා. එයත් එක්ක අපේ ප්‍රතිරූපය ගොඩනැඟුණම ඇති කියලා මට හිතෙන්න ඇති කියල හිතෙනවා.’

දීපා ගේ ජිවිතයේ කලාවට ඇති කැමැත්ත වඩා වර්ධනය වන්නට හේතු වූ පුද්ගලයන් අතර සිය මව - පියා සේම තවත් තැනැත්තියක් සිටි බව ඇය අප සමඟ පැවසුවාය. ඒ ඇගේ මවගේ මව් වන දීපාගේ ආච්චි අම්මාය.

‘අපේ ආච්චි අම්මා කලාවට පුදුම තරමේ කැමැත්තක් දක්වපු කෙනෙක්. එයා අපේ ගෙදර ආවම ඉස්සර අම්මා, අම්මගේ අක්කලා එක්කගෙන නිතරම චිත්‍රපට බලන්න යනවා. ඒ කාලේ මම පොඩි වුණාට ඒ අයත් එක්ක මමත් යනවා චිත්‍රපටි බලන්න. එදා ඒ ඇතිවුණ කැමැත්ත අදටත් මගේ ජීවිතයේ තිබෙනවා. අදටත් සිංහල ද දෙමළ ද, ඉංගි‍්‍රසි ද කියල නෑ චිත්‍රපටයක් ආවොත් කොහොමහරි විවේකයක් හදාගෙන මම බලන්න යනවා. ඒ කැමැත්ත වෙන්න ඇති නොදැනුම්වත්වම මම චිත්‍රපට නිෂ්පාදනයට එළැඹෙන්න හේතුවක් වෙන්න ඇත්තේ. දැනට මම චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ‘දීප්මෝෂන්’ ජ්ඪතථඵ කියන නාමයෙන්. මම චිත්‍රපටය හදලා විතරක් නිකම් හිටියේ නෑ. මගේ පවුලේ පසුබිමත් එක්ක මට ආපු දෙයක් නිසා වෙන්න ඇති. මම ඒක ඉදිරිපත් කරන විදිය සැලසුම් කළා. නැත්තම් මේ විදියේ චිත්‍රපටයක් ඉස්සරහට ගෙනියන්න බෑනේ. මීට සමගාමීව අපි ‘ගජමෑන්’ එක්ක තරග කරන්නත් ඕන. හැබැයි ඒක අපිට සුන්දර තරගයක්. එකත් මිනිස්සු බලන්න ඕන. අපේ චිත්‍රපටයත් මිනිස්සු බලන්න ඕන. මම ඒකට නිවැරැදි සැලසුමක් හැදුවා. චිත්‍රපටය පටන් ගන්න තැන ඉඳලා අවසන් වනතුරු. සාමාන්‍ය ජනතාවත් මේක රසවිඳින්න පුළුවන් නිර්මාණයක් බවට අවබෝධකර ගන්නා තුරු. මේ චිත්‍රපටයේ මිනිස්සුන්ට ආදර්ශයක් තියනවා. කතාව බලන් ඉන්නකොට මිනිස්සුන්ට දැනෙනවා. ඒ පැත්ත නිසා ප්‍රවර්ධනය පැත්තටත් මගේ අවධානය යොමු කළා.

අනිත් පැත්තෙන් මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි වෘත්තීය නිෂ්පාදකවරු නැතිවීම, මේ චිත්‍රපටය මම විතරක් නිෂ්පාදනය කරපු එකක් නොවෙයි. තව සම නිෂ්පාදකවරු දෙදෙනෙක් ඉන්නවා. නමුත් මම මෙතනදි කරන්නේ වෘත්තීය නිෂ්පාදකවරියකගේ කාර්ය භාරය. මට මේ වෘත්තීය පිළිබඳ පසුබිමක් තියනවා. වෙන කෙනෙකුට මේක මුදල් ආයෝජනය කිරීමෙන් පමණක් කළ හැකියි. නමුත් මම මෙතනදි වෘත්තීය නිෂ්පාදිකාවගේ භූමිකාව රඟපානවා මම හිතනවා මේ මොහොතේ මේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වෙන්නේ වෘත්තීය නිෂ්පාදකවරයකු වීමයි කියලා. වෘත්තීය නිෂ්පාදකවරයකු විතරයි දන්නේ මේ නිර්මාණයට කොච්චර ආයෝජනය කරනවද? ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කොච්චර වියදම් කරනවද? මේකෙන් ආදායමක් ලබා ගන්නේ කොහොමද? කියලා. මගේ මුලික අරමුණ වෙන්නේ වෘත්තීය නිෂ්පාදකවරියක වීමයි. එතකොට ඒ හරහා කර්මාන්තයට සේවයක් සැලසීමයි.

අනිත් පැත්තෙන් වෘත්තීය නිෂ්පාදකවරියක් විදියට චිත්‍රපටයක් තිරගත වුණාම වෘත්තීය ඉවරයි කියලා හිතන්න බෑ. ඊට පස්සේ එයාර් බොන්ඩි රයිට්ස් දෙන්නේ කොහොමද? විදේශයන්හි මේ චිත්‍රපටය තිරගත කරන්නේ කොහොමද? විවිධ චිත්‍රපට උලෙළවල චිත්‍රපටය දෙන්නේ කොහොමද? කියන කාරණ පිළිබඳත් අපි හිතන්න ඕන. ඒක ව්‍යාපාරික මනසකිනුත් දකින්න ඕන.’

වෘත්තීය මට්ටමින් සිනමාව ගැන සිතන, ව්‍යාපාරික මට්ටමින් කර්මාන්තය ගැන සිතන මෙවන් නිෂ්පාදිකාවක් සිනමා කර්මාන්තයට අවැසි මොහොතක සිය මංගල ගමන ආරම්භ කරමින්, දේශීය සිනමාවට පැමිණි ඇයට ඉතිහාසය යළි යළිත් නිර්මාණය කරමින් මව - සහ පියා ගමන්ගත් මාවතේ තවත් බොහෝ දුර යන්නට ධෛර්යය හා ශක්තිය ලැබෙන්නට සුබ ප්‍රාර්ථනා කරමි.

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]