වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සෝනි නාලිකාව මගේ හැකියාව ඇගැයීම සතුටක්

පාසැල් යන කාලයේ ප්‍රවෘත්ති වීඩියෝකරණයට තිබුණු ආසාව නිසා පාසලෙන් සමුගත් පසු ඔහු කැමරාකරණය පිළිබඳ ජාතික තරුණ සේවා සභාවේ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාළේය. පාඨමාලාව අවසන් වීමෙන් පසු පෞද්ගලික නාලිකාවක ආලෝකකරණ ශිල්පියකු ලෙස රැකියාවට එකතුවිය. එහිදී ආලෝකකරණය පිළිබඳ හසළ දැනුමක් ලබා ගත්තේය. එතැනින් නොනවතුණ ඔහු ආධුනික කැමරා ශිල්පියකු ලෙසට එකතු විය. ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව හදාරා එයින් ලද දැනුම හා නාළිකාව තුළින් ලද ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මත ඔහු දක්ෂ කැමරා ශිල්පියකු ලෙසට මාධ්‍ය ලෝකයට අවතිරණ විමට ඉඩප්‍රස්තාව සකසා ගත්තේය. පසුව සිරස මාධ්‍ය ජාලයට එකතු විය. දක්ෂ කැමරා ශිල්පියකු ලෙස ආලෝක රටාවන් වෙනස්ම මානයකට ගෙන යමින් කැමරාකරණයක නිරත වන්නට ඔහුට හැකිවිය.එහි ලද භාග්‍ය වන්නේ සිරස මාධ්‍ය ජාලයේ ලක්ෂපති වැඩසටහනේ ප්‍රධාන කැමරා ශිල්පියා වීමයි. ඔහු නමින් ඉෂාර පත්මපෙරුමයි. මේ ඔහුගේ අත්දැකීම් සරසවිය සමඟ බෙදාගත් මොහොතයි.
ප්‍රවෘත්ති කැමරාකරණයට ආශා කළේ ඇයි?
මට හරිම ආසාවක් ඇතිවුණා ලංකාවේ විවිධ නාලිකාවල ප්‍රවෘත්ති වාර්තාකරණය දැකලා. ඒවගේ කැමරාකරණය පිළිබඳව ඉගෙන ගන්න. මම පුරුද්දක් හැටියට හැමදාම ප්‍රවෘත්ති නරඹන්න ඒ කාලේ වෙලාවක් වෙන් කරගෙන තිබුණා. ප්‍රවෘත්ති විකාශයේ දී යන කැමරා කෝණ ගැන මම තරමක හැදැරීමක් ලබාගත්තා. පාසල් යන කාලයේදී ඇතිවුණු ආසාවක් නිසා පාසලෙන් සමුගත්තාට පසුව මම ජාතික තරුණ සේවා සභාවේ එක් අවුරුදු කැමරාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා.පාඨමාලාව ඉවර වෙලා මම කෙලින්ම පෞද්ගලික නාලිකාවක පුහුණු ශිල්පියකු ලෙස සම්බන්ධ වුණා. එයින් ලද දැනුමත් එක්කම ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා ගත්තා. සිරස මාධ්‍ය ජාලයේ තිබුණු පුරප්පාඩුවක් සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. එහි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා තමයි අද මම සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කැමරා ශිල්පියකු ලෙස සේවය කරන්නේ.
සිරස නාලිකාවට සම්බන්ධ වුණාට පස්සේ මොකද හිතුණේ?
මෙතැනට එන්න ඉස්සෙල්ලා මට ගොඩක් කට්ටිය උදව් කලා. සරත් මහත්තයා විශේෂයෙන් මතක් කළ යුතුයි.ඔහුගෙන් ලද දැනුම් සම්භාරය කියලා නිම කරන්න බෑ. ඔහු හොඳ ගුරුවරයෙක් හැම දෙයක්ම කියාදුන්න කෙනෙක් කියල මට කියන්න පුළුවන්. සිරසට සම්බන්ධ වුණාට පස්සේ පොඩි චකිතයක් ඇති වුණා. ඒත් චන්දන සූරියබණ්ඩාර සර් මගේ හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගෙන මාව හොඳ මඟකට ගෙන ආවා. එහෙයින් මට සිරස ලක්ෂපති වැඩසටහනේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. එයම මම ලද භාග්‍යයක් සිරසට ඇවිත්. චන්දන සර් එක්ක වැඩ කරනවා කියන්නේ හරියට ගිරයට පුවක් ගෙඩියක් අහුවුණා වගේ දැනුණා මුල් දවස්වල. ඒත් සර් ගේ ගුරුහරුකම් නිසාද යම් තැනක අද ඉන්නවා කියලා කියන්න පුළුවන්.
ලක්ෂපති වැඩසටහන අන්තර් ජාතික මට්ටමේ වැඩසටහනක් නිසා මොකද හිතෙන්නේ?
මුලින් මෙම වැඩසටහන කරන විට අන්තර්ජාතික මට්ටමේ කොන්දෙසි ගොඩක් පණවලයි තිබුණේ. ඔවුන් කියන විදිහට වෙනස් වෙලා වෙනත්ම ස්ටයිල් එකට වැඩසටහනේ කැමරා කෝණ වෙනස් කළා ආලෝකකරණය වෙනස් කළා. මේ වගේ ගොඩක් දේවල් වෙනස්කම් කළා. ඔවුන්ට හිතාගන්න බැරි විදිහට කැමරා ස්ථානගත කරලා වැඩසටහනට කිසිදු හානියක් නොවෙන විදිහටයි. ඒ සියලු දේවල් දැකලා අපේ වැඩසටහනට ප්‍රශංසා කරන්න පටන්ගත්තා සෝනි ආයතනයෙන්.
අන්තර්ජාතික මට්ටමේ ඇගැයීමට ලක්වුණා කියන්නේ ඇත්තද?
ඇත්තටම මම ලක්ෂපති 9 වැනි වැඩසටහන්වල තමයි ලොකුම වෙනසක් කළේ. ලක්ෂපතියේ ඒ වැඩසටහන දැකලා තමයි සෝනි නාලිකාව මාව ඇගැයීමකට ලක් කළේ. මෙවැනි කැමරා ශිල්පීන් ලංකාවෙ ඉන්නවා කියන එක ඔවුන්ට සතුටක් කියලා. සීසන් 09 අපිට ඕන විදියට ඔවුන් නිදහස ලබා දුන්නා වැඩසටහන කරගෙන යන්න. ඒ නිසා මගේ ටීම් එකත් එක්ක එකතු වෙලා ලක්ෂපති නිෂ්පාදන ටීම් එක වැඩසටහන හොඳට කරගෙන ගියා. ඒ නිසා අපේ ප්‍රේක්ෂක ජනතාව විතරක් නෙවෙයි විදේශීය ප්‍රේක්ෂක ජනතාව ද සෝනි ආයතනයත් පුදුම විදිහට මේ වැඩසටහන ගැන පැහැදීමකට පත් වෙලා සතුටු වුණා. ඒවාගේ වැඩසටහනකින් ජනතාව සතුටක් විඳිනවා කියන එක තරම් සතුටක් මා ඇතුළු මගේ කණ්ඩායමට නැති තරම්ය. අපි හැම වැඩසටහනකින්ම බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේමයි.
ප්‍රධාන කැමරා ශිල්පියකු ලෙස දැනට කරන වැඩසටහන් මොනවාද?
මේ දවස්වල මම ලක්ෂපති 10 වැඩ සටහනේ සහ මනි ඩ්‍රෝර්ප් වැඩසටහනේ ප්‍රධාන කැමරා ශිල්පියා වෙනවා. ඊට අමතරව ලක්ෂපති 8ට සහ 9 හා සජ්ඣායනා වැඩසටහනේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළා. ඊට අමතරව ආයතනයේ ප්‍රධාන වැඩසටහන් ගොඩක් කැමරා ගත කරලා තියෙනවා. විශේෂත්වක් කියලා තියන වැඩසටහන්වල කැමරා ශිල්පියා ලෙස වැඩ කරන්නෑ. අපි කණ්ඩායමක් ලෙස එකට වැඩකරන්නේ ඒ නිසා තමයි අපේ වැඩසටහන් ජනප්‍රිය වෙන්නේ.
ප්‍රවෘත්ති වාර්තාකරණයට ආසා කළ ඔබ වැඩසටහන්වලට පමණක් කොටුවෙලා නේද?
මම පාසල් යන කාලේ ප්‍රවෘත්ති වාර්තාකරණ කැමරා ශිල්පියෙකු වෙන්න තමයි ආසා කළේ. ඒත් අපි හිතන සියලු දේවල් ද ඒ ලෙසින්ම සිදුවෙනවා කියලා කියන්න අමාරුයි. කොහොම නමුත් මගේ මගේ ආසාව අතෑරලා නෑ. ඒත් දැන් මං මේ කරන වැඩසටහන් සමඟ කණ්ඩායමක් ලෙස අපි හොඳ ගමනක් යනවා. අපි මාධ්‍ය ජීවිතයට අවතිරණ වුණාම අපිට ලැබෙන ඕනෑම දෙයක් අපි කළ යුතුයි. ඕනෑම දෙයක් පසුපස හඹා යා යුතුයි. එහෙම වුණොත් ඉලක්කයක් කරා ගමනක් යන්න පුළුවන්. එකම තැනකට කොටු වුණොත් අපේ රාමුව කොටු රාමුවක් බවට පත්වෙනවා විතරයි. එය බිඳගෙන යායුතුයි හැම දෙයක් කළාම. ඒ ගමන යන්න මම මේ වෙහෙසෙන්නේ.
මේ ක්ෂේත්‍රයට එන්න හිතනවනම් බය නොවිය යුතුයි
කිසිම මොහොතක ක්ෂේත්‍රයට එනවා නම් බය නොවිය යුතුය. ඒ වගේම ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රායෝගික හා න්‍යායාත්මකව ක්ෂේත්‍රය තුළ දැනුමෙන් සන්නද්ධ වන තරමටම ඔහු ශක්තිමත් වෙනවා. පොතපත කියවීම මාධ්‍ය කලාව දැනගැනීම, කැමරා කෝණ සහ කැමරා ගත කරන ආකාරය විවිධ වැඩසටහන් නැරඹීම කොහොමද රූපරාමු වැඩසටහනින් වැඩසටහනට වෙනස්වන ආකාරය. ප්‍රවෘත්තිකරණය හා වැඩසටහන්වල වෙනස් වෙන්නේ කොහොමද එහි අන්තර්ගතය ගැන නිසි අවබෝධයක් ගත යුතුයි. විද්‍යුත් මාධ්‍ය කලාවේ සහ මුද්‍රිත මාධ්‍ය කලාවේ සිටිනවා නම් මම දන්න හැටියට හැම දවසම ලෝකය ගැන කියවිය යුතුයි. කාගෙවත් උදව්වෙන් මෙතනට ඇවිල්ල මේ වැඩේ කරන්න බෑ හොඳ ඇහැක් තිබිය යුතුයි. ඒවගේම පැහැදිලි දැක්මක් තමා තුළ ගොඩනගා ගන්න පුළුවන්නම් මේ ජිවිතයට ගෞරවාන්විත බවක් ලැබෙනවා ඕනම තැනකින්. වරදින්න වරදින්න හදාගන්න ඕන. එහෙම වුණොත් ගමන ලේසියි.
මේ වන විට පාවිච්චි කරලා තියන කැමරා ගැන කිව්වොත්?
යුමැටික් කැමරාවේ සිට මම මේ දක්වා තියෙන කැමරා වලින් කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ අතරෙන් මම වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ ‘ඇරී’ කියන කැමරාව තමයි. දැනට ගොඩක් දෙනෙක් ‘මෙරලස්’ කැමරාවලට තමයි හුරු වෙලා ඉන්නේ. sony සහ canon ඇරුණාම Nikon Mirrorless එකත් පාවිච්චි කරනවා. Red Eye වගේ කැමරා වල් ගොඩක් ආයතන වල නැහැ. නමුත් එළියෙ Production house වල මේ කැමරාව පාවිච්චි කරනවා.
වැඩසටහනක් රූපගත කරන්නට ඉස්සෙල්ලා අනුගමනය කරන්නේ මොනවාද?
විශේෂයෙන් වැඩසටහනක් රූපගත කරන්නට ප්‍රථම එහි background එක බැලිය යුතුමයි. ඉන්පසුව තමයි කොහොමද ආලෝකකරණය ඕනේ කොහොමද කැමරා ගත කරන්න ඕන කෝණ මොනවාද කියන එක නිරීක්ෂණය කළ යුතු වෙන්නේ. සෑම මොහොතකම තියරියට වැඩිය practical එක තමයි අවබෝධ කරගත යුතු වන්නේ වැඩසටහනක. ලක්ෂපති වැඩසටහනේද මම අනුගමනය කළේ ගොඩක්ම practical knowledge එකයි. ඒ හින්දා ලක්ෂපති මව් සමාගම විසින් අපේ ආලෝකකරණය හා කැමරා කෝණ පිළිබඳ මුලින්ම විශ්වාස කළේ නැහැ. ඔවුන් විශ්වාස කළේ වීඩියෝ ප්‍රක්ෂේපණයක් කියලායි. ඉන්පසු ඒ තැන් සජීවීව රූපරාමු තුළින් පෙන්විමෙන් තමයි ඔවුන් විශ්වාස කළේ. මම දකින විදිහට මේ හැමදේකම තියෙන්නේ ඉගෙන ගැනීමක් හා ප්‍රායෝගික අවබෝධයක්. මේ ගමන හිමින් ගියොත් හොඳ ගමනක් යන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. මේ සියලු දේවල් මවු සමාගමෙන් දැක්කට පස්සේ ඔවුන් සියලු දෙනාම ඹධඹ කියන තැනට පත්වුණා. එදා මගේ සතුට ලක්ෂපති වැඩසටහන පුරාම විසිරිලා ගියා දෙනෙත්වලින් වැටුණු කඳුලුවලින්. මගේ ජීවිතයේ ලබපු ලොකුම සතුටත් ඒ වෙන්න ඇති කියල මම හිතනවා.
කැමරා අධ්‍යක්ෂකවරකෙª හෝ කැමරා ශිල්පින් ලෙස වැඩිපුරම දක්නට ලැබෙන්නේ පිරිමින් පමණයි, ගැහැනියකු මෙතැන හිමිකරගන්නවාට කැමැතිද?
අපේ රටට පමණයි මේ සීමාවල්, පවුරු බැමි තියෙන්නේ. ඒ නිසා ඕනෑම අවස්ථාවක මේ ක්ෂේත්‍රයට ද කාන්තාවනුත් පැමිණිය යුතුයි. මම සමහරක් වෙලාවට දැකලා තියෙනවා අන්තර්ජාතික මට්ටමෙන් කාන්තා කැමරා අධ්‍යක්ෂකවරියන්. මම කවදාක්වත් හිතන්නේ නෑ මේ තැන අපිට පමණක් උරුමයි කියලා.අපි හිතනවට වැඩිය ඔවුන්ගේ ඇස හරිම තියුණුයි. මේ ලෝකේ සිදුවෙන්න ඕනේ මේ දේතමයි කියන තැන මම හැමදාම ඉන්නවා. අපිට එක්තරා පැත්තකින් දැන් සතුටු වෙන්න පුළුවන් කාරණයක් ලංකාවේ සිදුවෙලා තියෙනවා. ඒ සිනමා කැමරා අධ්‍යක්ෂවරියක් බිහිවෙලා තියෙන නිසාය. ඒ වගේ සිය දහස් ගණනක් තරුණ අය මේ ක්ෂේත්‍රයට පැමිණිය යුතුයි.
ඔබේ ගමනට පවුලෙන් සහ ක්ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලේ සියලු දෙනාම මට හොඳ සහයෝගයක් ලබාදෙනවා. ඔවුන්ගේ සහයෝගය නිසා තමයි මම අද මෙතැනට ඇවිල්ලා ඉන්නේ කියන එක කියන්න ඕන. ඒ වගේම සිරස ආයතනයට ආවට පස්සෙ චන්දන සූරිය බණ්ඩාර කියන ඉදිරිය දකින ගුරුවරයෙක් හමුවීමෙන් ඔහු මගේ දක්ෂතාව හඳුනාගත් නිසා මම අද ගොඩක් දුර ඇවිල්ල ඉන්නවා. මේ ගමනට උදව් කරපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මට මේ පාර කියා දුන්නාට එක වචනවලින් කියල ඉවර කරන්නත් බෑ. ලියලා ඉවර කරන්නත් බෑ.