තනිකඩ ජීවිතයට මම එදා ඉඳලම මුහුණ දෙන්න හුරුවුණා

ජ්‍යේෂ්ඨ රංගවේදිනී මැණික් කුරුකුලසූරිය
මාර්තු 2, 2023

ගෝඩ් කිං මා ලද භාග්‍යයක්

සිංහල සිනමාවේ චරිතාංග නිළි පරපුරක අවසන් පුරුක

සිංහල සිනමාවේ චරිතාංග නිළි පරපුරක අවසන් පුරුක ඇයයි. ජීවරාණි, ශිරාණි, ජානකී නමැති රූමත් නිළියන් දායාද කළ කුරුකුලසූරිය පවුලේ බඩපිස්සී වන ඇය සිනමා නිළියක, ගායිකාවක, නර්තන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක පමණක් නොව දෙස් විදෙස් රූ රැජින කිරුළු පැලැඳූ රූප රාජිනියකි.

සිය වැඩිමහල් සොයුරිය ජීවරාණි කුරුකුලසූරිය සුරතේ දැවටී සිය සිනමා ගමන ආරම්භ කළ මැණික් කාන්ති කුරුකුලසූරිය නම් වූ ඇය, 1985 වසරේ තිරගත වූ චන්ද්‍රන් රත්නම්ගේ ආදර කතාව චිත්‍රපටයේ සිය රංගන භූමිකාව අරභයා සරසවිය කුසලතා සම්මානයට පාත්‍ර වූ නිළියකි. ඇගේ සිනමා ආගමනය 1963 තිරගත වූ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණ කළ දීපශිකා චිත්‍රපටයයි. එහි සමූහ දර්ශනයක ඇය පෙනී සිටියා පමණි.

සිය වැඩිමහල් සොයුරිය ජීවරාණිගේ දියණිය ලෙස සිඟිති සුරතල් චිත්‍රපටයේ රඟපාන විට ඇය වසර 5ක කුඩා දැරියකි. එදා පටන් දශක පහක් පුරා ඇය රඟ දැක්වූ චිත්‍රපට සංඛ්‍යාව හතළිහක් පමණ සංඛ්‍යාවක් විය.

අපේ පවුලේ පස්දෙනයි. ජීවා අක්කා, ශිරාණි අක්කා, ජානකී අක්කාට පසු අපට අයියා කෙනෙක් හිටියා. මම තමයි බඩපිස්සි. පුංචි කාලේ අපේ පදිංචිය පානදුර. හෝඩිය පන්තියේදී මම ඉගෙන ගත්තෙ පානදුර යපති එඩේරාගේ කන්‍යාරාමයේ. පසුව අපි බොරැල්ල පදිංචියට ආවා. දෙවැනි වසරේ සිට මගේ පාසැල බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ පාසලයි. මම ඒ දවස්වල අක්කලා ෂූටිං යනකොට මාව එක්කගෙන යනවා සිඟිති සුරතල් චිත්‍රපටයේ සහ නාරිලතා චිත්‍රපටය රඟපෑ කුඩා දරුවන් දෙදෙනෙකුට හඩකැවීම් කළේ මම.

අතීතය සුන්දරයි. කොහොමද පාසැල් කාලය?

අපේ පාසලේ කී‍්‍රඩා, නාට්‍ය, රංගනය, කථනය, නර්තනය ආදියට මම නැතිව බැරි ශිෂ්‍යාවක්. එලකියුෂන්වලින් ප්‍රාථමික අංශයෙන් මට පළවෙනි ස්ථානය දිනා ගැනීමට හැකි වූවා. වරක් මම සෙලින්කෝ එකේ පැවති ගෝයා ක්වීන් තරඟය නරඹන්න ගියා. එහිදී මම ගෝයා ක්වීන් ලෙස තේරුණා. වීක්එන්ඩ් පුවත්පතේ මගේ පින්තූර පළ වූ නිසා පාසලේ ගුරුවරු දැක ඇතැයි සිතා බිය වී මං පාසැල් ගමන නතර කළා. පාසලේදි මම විවිධ කි‍්‍රයාකාරකම් වලට මෙන්ම අධ්‍යාපනයටත් දක්ෂයි. පාසල් ත්‍යාග ප්‍රදාන උත්සවයට මට හැමදාම වගේ ත්‍යාග හිමි වෙනවා.

මැණික්ගේ ප්‍රථම රංගනය 1974දී තිරගත වූ ධර්මසේන පතිරාජගේ අහස්ගව්ව. ඒ අවස්ථාව හිමි වුණේ කොහොමද?

ඒ දිනවල අක්කලා රඟපාන නිසා විජය කුමාරතුංග නිතරම අපගේ නිවසට එනවා. විජය අයියා තමයි මාව අහස්ගව්ව රඟපෑමට ධර්මසේන පතිරාජට යෝජනා කළේ. ඒත් සමඟම සැණකෙළිය චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා.

ඔබ සිනමාවට පිවිසි මුල් අවධියේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගෝඩ් කිං චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමි වුණා නේද?

මගේ තාත්තට ලෙස්ටර් මහත්මයා කතා කරලා ගෝඩ් කිං රඟපාන්නට මට අවස්ථාව සලසා දුන්නා. කාශ්‍යප රජුගේ නැඟණියගේ චරිතය සුමිත්‍රා මට ලැබුණු චරිතය. අන්තර්ජාතික තලයේ නිර්මාණයක්. ඇත්තටම ගෝඩ් කිං රඟපෑමට ලැබීම මා ලද භාග්‍යයක්. පාසල් යන අතරතුරදී රඟපාන්නට, සති මාස ගණන් රඟපාල නැවතත් පාසලට එන්න ගුරුවරුන් මට අවස්ථාව සලසා දුන්නා. මේ අතරතුර මම ටියුෂන් පන්තිවලට ගොස් පාසලේදී අතපසුවන පාඩම් හැදෑරුවා. ඒ නිසා විභාග හොඳීන් සමත්වුණා.

මැණික් ස්වාධීන ගති පැවතුම් ඇති නිළියක්

මේ කාලේ වන විට මගේ අක්කලා සියලු දෙනාම විවාහ වෙලා පිටරට පදිංචියට ගිහින්. මගේ පසල් සමය නිමවෙනවාත් සමඟ ම මගේ අම්මා අසනීප වුණා. මම නිවසේ සිට අම්මව රැක බලා ගත්තා. අම්මා නැති වුණා. තාත්තත් නැති වුණා. මම ලංකාවෙ තනි වුණා. එනිසා සියලුම තීන්දු තීරණ මම ගත්තෙ. මම පුරුදු වුණා, ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්නට.

චන්ද්‍රන් රත්නම්ගේ ආදර කතාව ඔබගෙ සිනමා ජීවිතයේ කඩඉමක් සනිටුහන් කළ චිත්‍රපටයක්. ඔබ සරසවිය සම්මාන උලෙළේදී ඇගැයීමට ලක් වුණා.

ඔව්. ආදර කතාවේ අන්තර්ගතය දමිළ සිංහල පෙම් පළහිලව්වක්. රංගනය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණත් චරිතයට මගෙන් සාධාරණයක් ඉෂ්ට වූ නිසයි මට සම්මානය හිමි වුණේ. 1985 මගේ රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානය හිමි වුණා.

මම ඉලක්කයක් ඔස්සේ හඹා ගිය නිළියක් නොවේ. විවිධ චරිත රංගනයට මට ආරාධනා ගණනාවක් ලැබුණා. ඉලක්කයක් තිබුණා ඒ සියලු චරිත බාර ගත්තා නම් මට මීට වඩා දුර ගමනක් යන්නට තිබුණා. එහෙත් ඒ දිනවල මට එතරම් තේරුම් පැහැදුම් තිබුණේ නැහැ.

මා දන්නා තරමින් ඔබ මෝස්තර නිරූපණ ශිල්පිනියක්

ගෝයා ක්වීන් තරඟයට තේරී පත් වූ පසු එවකට නොබැඳී සමුළුව වෙනුවෙන් පැවති ප්‍රසංගයේදී මෝස්තර නිරූපණයට මාව තෝර ගත්තා. එදා පටන් දිගටම ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ මෝස්තර නිරූපණ ශිල්පීන් සමඟ ලංකාවේ පමණක් නොවෙයි විදෙස් රටවලත් මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළා. මගේ සමකාලීනයන් වුයේ රෝසි සේනානායක, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, තමරා සුබ්‍රමනියම්, ඇන්ජලා සෙනෙවිරත්න ආදී ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවන්.

ටයිටස් තොටවත්තයන්ගේ රන් කහවණු ඔබේ ප්‍රථම ටෙලි නාට්‍යය?

පුංචි තිරයේ නිර්මාණ හතරකටම මම දායක වුණා. ටයිටස් තොටවත්තගේ රන්කහවණු රොහාන් වැලිවට ගේ සුසීමා, ජයසේකර අපොන්සුගේ ගිජු සහ ඉන්දියානු නිෂ්පාදනයක් වන නිලංජනා ඒ ටෙලි නාට්‍ය සතරම මා ජනපි‍්‍රයත්වයට කැඳවාගෙන ආවා.

ඔබ ගායිකාවක් ලෙස දොරට වැඩියේ ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සංගීතවත් කළ සුසීමා ටෙලි පසුබිම් ගීතයක් ගායනා කරමින්

ඔව්... එය මා ලද සුවිශේෂ භාග්‍යයක්

තටු සලා යන්නම් අවකාශයේ රැකවරණය පිරි මාපිය ලොවේ අතරමං වෙන්න වෙයි නොදුටු ලොවේ ඉගිළෙන්න එපා

‘තනි වෙන්න එපා මේ ජීවිතේ’,

‘සුසීමා’ ටෙලි නාට්‍යය ගීත ඇතුළත් කැසට් පටයක් නිකුත් කළා. කැසට් පටය අතිශය ජනපි‍්‍රය වුණා. විශාල අලෙවි ආදායම් වාර්තාවක් තැබුවා. ඒ ලද ජනපි‍්‍රයත්වය මත ප්‍රසංග වේදිකාවේ ගී ගැයීමට අවස්ථාව හිමිවුණා. ඒ දිනවල නළු නිළි සංගමයේ එකතු වී ඩුබායි වල පැවැති සංගීත ප්‍රසංගයටත් මම ගීත ගායනා කළ ඉන්දියාව සමඟ එක් වී සම නිෂ්පාදනක රඟපාන්නට මම වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ. එයට හේතුව එවැනි දැවැන්ත නිෂ්පාදනය රඟපාන්නට. මම වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ. එයට හේතුව එවැනි දැවැන්ත නිෂ්පාදනයක රඟපාන්නට ලැබීම ලොකු වටිනාකමක් ලෙස මම ඒ දිනවල දුටුවේ නැහැ. අදයි මට ඒ වටිනාකම දැනෙන්නේ. එපමණක් නොවෙයි පකිස්ථානු සම නිෂ්පාදනයක රඟපෑමට ආරාධනා හිිමිවුණා. ඒ ගැනත් මම උනන්දු වුණේ නැහැ. ඒ කාලේ අපි කළ අනුවණකම් අදයි මට තේරෙන්නේ. සොමී රත්තනායක සහ ටෝනි රණසිංහ මට වේදිකා නාට්‍යයකට කතා කළා ඒකට මම ගියේ නැහැ. මට ලැබුණු අවස්ථා සියල්ලම මම මඟ හරවා ගත්තා. මට හිතෙනවා මාව උනන්දු කරවීම සඳහා සහයෝගය දක්වන්න මා පිටුපස කවුරුන් හෝ සිටියා නම් සිනමාව වේදිකාව ටෙලි නාට්‍ය රංගනය තුළ මට මතකයේ රැඳෙන චරිත කිහිපයක් රඟපාන්න අවස්ථාව සැලසෙනවා. නමුත් ඒ අවස්ථා ගිලිහී ගියේ මගේම වරදින්.

ඔබ ඒ දිනවල මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කළා නේද?

කලක් මම මෝස්තර නිරූපිකාවන්ට ඇඳුම් නිර්මාණය කළා. ඒ යුගයේදී මා යටතේ නිරූපිකාවන් බොහෝ දෙනෙක් මෝස්තර නිරූපණය කළා. සියලු දෙනාටම ඇඳුම් නිර්මාණය කළේ මම. මෝස්තර නිරූපණ වැඩසටහන් මම සංවිධානය කළා. ඇඳුම් අපනයනය ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මේ සියලු දේ බෙහෙවින් ජනපි‍්‍රය වුණා. 1980 මිස් යුනිවර්ස් තරගයට ලංකාවෙන් මම නියෝජනය වුණා.

මම මැණික්ගෙන් ප්‍රශ්න අහන්නම්? ඇයි ඔබ විවාහ නොවී තනියෙන් සිටින්නට තීරණය කළේ?

මම තනියෙන් සිටින්නට තීරණය කළේ නැහැ. නමුත් එය එලෙස සිදුවුණා. ගැහුනු ළමයෙක් කසාද බඳින්න, දරුවෝ හදන්න ඕනෑ. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නට ඕනෑ. ඒ සියලු සිහින මගේ සිතේ තිබුණා. විවාහ වන්නට තිබුණු අවස්ථා මගේ ජීවිතේ මඟහැරී ගියා. බොහෝ දෙදෙකුගෙන් මට ආරාධනා ලැබුණා. එහෙත් මගේ සිතේ තුළ ඒ අය කෙරෙහි ආදරයක් හට ගත්තේ නැහැ. ගෙදර අය විවාහ වන්නට කියා ඉල්ලීම් කළත් මා විවාහ වන පුද්ගලයා මට ගැළපෙන්නෙ නැත්තම් විවාහය අසාර්ථක වෙනවා නේද? පවුල් ජීවිතය අවුල් වෙලා දික්කසාද වුණු කීදෙනෙක් ඉන්නවා ද මෙය මගේ දෛවය වන්නට ඇති. සමහර වෙලාවට පාළුව තනිකම නොදැනෙනවා නොවේ. දැන් මම මේ ජීවිතයට පුරුදුයි. තනිකඩ ජීවිතේ මට හොඳයි. එන දේකට මම මුහුණ දෙනවා. ජීවිතය සතුට තියෙන්නේ මගේ සිතේ. මගේ ජීවිතය සතුටු වන අන්දමින් මම ජීවත් වෙනවා. මගේ අක්කලා නිතරම මා ගැන සොයා බලනවා. නිතරම කතාබස් කරනවා. ඒ නිසා මට තනිකමක් නැහැ.

ඉදිරියට ඔබට ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපාන්නට බලාපොරොත්තුවක් නැද්ද?

මට රඟපෑම සඳහා ආරාධනා බොහොමයක් ලැබුණා. මං ඒ තරම් ඒ ගැන උනන්දුවක් දැක්වුයේ නැහැ.

 

[email protected]

සේයාරූ - දයාන් විතාරණ