මං හිතන්නේ මගේ ඇතු‍ෙළ් වැඩියෙන්ම ඉන්නේ ගීත රචකයා කියලයි

ගීත රචක, ලේඛක සුජිත් ප්‍රසංග
පෙබරවාරි 23, 2023

මගේ නවකතාවට ඉන්දියාවෙත් ඉහළ පිළිගැනීමක් ලැබීම සතුටක්

නව පරපුරේ කවියකු, නවකතාකරුවකු, ගීත රචකයකු හා පුවත්පත් කලාවේදියකු ද වන සුජිත් ප්‍රසංග පසුගිය දා සුවිශේෂ අවධානයට යොමු වූයේ ඔහු විසින් රචිත සාමිමලේ නවකතාව හේතුවෙනි. විශේෂයෙන් මෙරට තේ වගාවේ ආරම්භයත් සමඟ දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් මෙරටට ගෙනවිත් උඩරට ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි කරවනු ලැබූ දෙමළ ජනයා පිළිබඳ මෙහි සිදුවන අනාවරණයන් සාමිමලේ නවකතාව ලාංකික පාඨක සමාජයෙන් පිටත වැඩි දෙනකුගේ අවධානයට හසුවීමට බලපෑ සුවිශේෂ කාරණ ලෙස සැලකිය හැකිය. එහිදී නව පරපුරේ ගීත රචකයකු ලෙස ඔහු ස්පර්ශ කරන වෙනස් ඉසවු සමඟ වැඩි බලාපොරොත්තු තබාගත හැකි නිර්මාණකරුවකු ලෙස ද හඳුනාගත හැකිය.

ඔබේ නිර්මාණ පිළිබඳ පළමුවෙන් කතා කරමු.

ඉදිරි දිනවල නව ගීත කීපයක් එන්න තියෙනවා. මගේ ගී පද රචනා කිහිපයක්. නිරෝෂා විරාජිනි ගායනා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉරපාන නිවා කියන ගීතය තමයි ළඟදී එන්න නියමිතව තියෙන්නේ. එහි සංගීතය නිර්මාණය කළේ අමිත් ලියනගේ විසිනුයි. ඒ වගේම ඉන්දිකා උපමාලි ගායනා කරන ගීතයකුත් නිදහස් වෙන්න නියමිතයි. අනේ සුසානෝ කියලා. ඒක 2018 දකුණු පළාත් රාජ්‍ය සාහිත්‍ය උලෙළේ හොඳම ගී පද රචනය විදියට තේරුණ නිර්මාණයක්. ඒ ගීතයේ නිෂ්පාදන කටයුතු කරන්නේ දකුණු පළාත් සභාවෙන්මයි. එහි සංගීතය කළේ නවරත්න ගමගේයි. ඉන්දිකා උපමාලිම තවත් ගීතයක් ගායනා කළා, ‘ගෑනු අපට ද වැරදුණේ’ නමින්. එහි නිෂ්පාදන කටයුතු කළේ ජගත් කීර්තිසූරියයි. එහිත් සංගීතය කළේ නවරත්න ගමගේමයි. ඒ අතරේ අමිත් ලියනගේ ගේ සංගීතයට රෝහණ බැද්දගේ මහත්මයා, ප්‍රදීප් මුතුකුඩආරච්චි සමඟ එක්ව ගීතයක් ගායනා කළා. එයත් ඉදිරියේදී නිදහස් වෙන්න නියමිතයි. ඒ සියල්ලේම පටිගත කිරීම් මේ වන විට අවසන්වයි තිබෙන්නේ.

ඔබ රචනා කළ විශේෂ නවකතාවක් පිළිබඳ මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙනවා නේද?

සාමිමලේ 2021 වර්ෂයේ සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වුණේ. නමුත් එය මේ වර්ෂයේ ඉන්දියාවේ එතීර් වෙලියාදු කියන ප්‍රකාශන සමගම විසින් දමිළ බසින් මුද්‍රණය කරනු ලැබුවා. එය පරිවර්තනය කළේ රිශාන් ෂරීෆ්. එය මේ දිනවල ඉන්දියාවේ අලෙවි වනවා. පසුගිය දා ඉන්දියාවේ පැවැත්වුණු චෙන්නායි පොත් ප්‍රදර්ශනයේ දී ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණු අතර මටත් ඊට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ කාරණා නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳ උනන්දු වුණා.

සාමිමලේ නවකතාවක් ලෙස ඉන්දියාවේ පාඨකයාගේ අවධානයට හසුවන්නේ කුමන හේතු නිසාද?

මා හිතන්නේ එය දමිළ බසට පරිවර්තනය වීමට සුවිශේෂව බලපෑවේ එහි තේමාවයි. මෙතෙක් අපි වැඩියෙන්ම අපේ රටේ දමිළ ජනතාව අරභයා අවධානයට ගනු ලැබුණේ උතුරේ දෙමළජනතාවගේ වාර්ගික ගැටලුවයි. වසර තිහක යුද්ධය සමඟ අපට වැඩියෙන්ම මාතෘකා වුණේ එයයි. නමුත් මෙරට වසර දෙසියයක ඉතිහාස කාලයක් තුළ මෙරට කොපි වගාවේ අවසානයත් සමඟ සිදු වූ තේ වගාවේ ආරම්භය එක්ක ඉංගී‍්‍රසින් විසින් එහි කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට රැගෙන එනු ලැබු දෙමළ ජනයා පිළිබඳ මෙහි අනාවරණයක් සිදුවනවා. අර්ධ වහල් සේවකයන් ලෙස රැගෙන ආ ඔවුන් උඩරට ප්‍රදේශ ආශි‍්‍රතව පදිංචි කර වූ අතර ඔවුන් තමයි තේ වගා කටයුතුවල අද දක්වාම නියැළී ඉන්නේ. අවුරුදු දෙසිය ගණනක් ගත වූ පසුත් අද වෙද්දී ඒ අයට ඒ අයගේ අර්ධ වහල් සේවය පමණයි නැති වී තියෙන්නේ. ඒ තත්ත්වය බේදනීයයි. වතු කම්කරු දෙමළ ජනතාවගේ පහසුකම් පිළිබඳ කාටවත් සතුටු වන්න බැහැ. තවදුරටත් ඉතා අවම පහසුකම් යටතේ ජීවත් වන ඔවුන්ට සොබා දහමින් පැමිණෙන බාධාත් සමඟ විඳින්න සිදුවී තිබෙන පීඩාව සේම, අපේ රටේ නිලධාරිවාදය හැසිරෙන ආකාරය පෙන්නුම් කරමින් තමයි මේ නවකතාව ලියැවී තියෙන්නේ. ඒ අනුව චෙන්නායි පොත් ප්‍රදර්ශයේදී ඔවුන් මෙය හැඳින්වුවේ ලාංකීක වතු දෙමළ ජනතාව පිළිබඳ මෙතෙක් ලියවුණු පළමු සිංහල නවකතාව ලෙසයි. ඒවගේම ඔවුන් බොහෝ ඉහළින් එය පිළිගනු ලැබුවා.

ඔබ මේ වකවානුවේත් නවකතාවක් ලියමින් නේද ඉන්නේ?

ඔව් ඒ සඳහා මට යම් කාලයක් යයි. මොකද මම සංස්කරණ කටයුතුවල දී කාලයක් ගන්න නිසා. එතනදී 1950 ගණන්වල පටන් 2000 ගණන් දක්වා කාලය තුළ ලාංකික ජනජීවිතය සමඟ බද්ධ වූ නොයෙක් ඉසවු සොයා යන්නයි මට එහිදී වුවමනා වුණේ. ඒක ටිකක් වෙනස් විදියකට ලියවේවි. හැබැයි ඒ සඳහා ගතවන කාලය ගැන මට තවම අදහසක් නැහැ. රැකියාවට අමතරව මගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ ගීතයටයි. ඉතින් ඒ නිසා දැනට නවකතා සීමිත ප්‍රමාණකුත් ලියවී තියෙන්නේ.

ගීතයට ඔබේ වැඩි ඇල්මක් තිබෙනවා.

ඔව් පාසල් කාලයේදීමයි ඊට නැඹුරුවක් ඇතිවෙන්නේ. මගේ පළමු වැනි ගීතය එළි දකින්නේ 2004 වසරේදී. එය ගයන්නේ විශාරද සුරංජි ශ්‍යමලී. හැබැයි එය පටිගත වෙන්නේ 2011 වසරේදීය. ගීත ක්ෂේත්‍රයට විත් දැන් අවුරුදු දහ අටක්, දහ නවයක් විතර, ගීත විසිපහක් විතර තවම කර තිබෙන්නේ. හෙමින් පැමිණි’ ගමනක් හැබැයි හරිම තෘප්තිමත්. එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, දයාන් විතාරණ වැනි ප්‍රවීණයන් පැකිළිමකින් තොරව මගේ ගීත ගායනා කළා. සංගීත අධ්‍යක්ෂණය පැත්තෙනුත් ඒ වගෙයි. මගේ ගීත සඳහා සංගීතය නිර්මාණය කළ බොහෝ දෙනෙක් විශාල සහයෝගයක් දුන්නේ. ඉතින් මම අඩු ගීත ප්‍රමාණයක් නිර්මාණය කර තිබුණාට මම කරපු හැම ගීතයක් ඔස්සේ මට ඕන වුණේ මේ රැල්ලට නොයා එක්කෙනකුට හරි සමාජමය පණිවිඩයක් දෙන්නයි. කෙනකු එය අසා රස විඳ එයින් පුංචිම හෝ දෙයක් උකහා ගන්නවා නම් එයයි මගේ සතුට වුණේ. ඒ නිර්මාණ හැම එකක්ම අතිශයින් ජනප්‍රිය නොවුණත් මිනිස්සු වැලඳගත් නිර්මාණ ගොඩක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අලුත් පරපුර අතර ගීත රචකයෙක් කියන පසුබිමේ මට හොඳ පිළිගැනීමක් තියෙනවා.

ඔබ නව පරපුරේ කෙනෙක්. නමුත් පෙර පරපුරේ ප්‍රවීණයන් සමඟ නොපැකිළිව කටයුතු කරන්න තරම් පොහොසත් නිර්මාණ පසුබිමක් සහිතයි.

අපි හද්ද ගමේනෙ. මම ගාල්ලෙ. ඉතින් අපි පුංචි කාලෙ ඉඳලම ලැබුවේ හරි සුන්දර අත්දැකීම්. ඉතින් අපේ මුළු ජීවිතේම ලියවිලා තියෙන්නේ මේ අත්දැකීම් ඇසුරේයි. කොළඹ ආවට පස්සේ බොහෝ දේවල් වෙනස් වුණත් ගමේ පාසල, දහම් පාසල ඇසුරේ ලැබූ අත්දැකීම්වලින් ලැබු පෝෂණය, නිර්මාණ හැකියා ඉදිරිපත් කරන්න ලැබු ඉඩ ප්‍රස්තා එහිදී මුලිකයි. මම හැම විටම හිතන්නෙ හරිම ගමනක් හරි හිමින් ආවා කියලයි. මම ඉස්සෙල්ලාම ලියන්නේ දහම් පාසලේ භක්ති ගීත, පිළිගැනීමේ ගීත ආදියයි. එහෙම ආභාසය ලබල තමයි 2004 මගේ ගීත රචනයක් ගායනය සඳහා පිළිගන්නේ. මගේ ගීත රචනයක් මුල්වරට සුරංජි ශ්‍යමාලී සොහොයුරියට ගයන්න තෝරා දෙන්නෙ සුනිල් ආර්. ගමගේ මහත්තයා. ඒ යුගය තාක්ෂණික වශයෙන් අද තරම් දියුණුවක් නොතිබුණු කාලයක්නෙ. මොබයිල් දුරකතනයවත් බහුලව තිබුණෙ නැහැ ඒ කාලයේ. සුරංජි ශ්‍යමාලි සොහොයුරිය හඳුනාගත්තට පස්සේ මිතුරකුගේ දුරකතනයෙන් තමයි ශ්‍යමාලි අක්කට වචන ටික කියුවෙ ලියාගන්න. ඒ වචන ටික තමයි ඇය සුනිල් ආර්. ගමගේ මහත්මයට පෙන්වන්නෙ ගයන්න පුළුවන් ද කියා බලන්න කියලා. එතුමා තමයි ඒක හොඳ ගීතයක්, ඒ නිසා ගයන්න කියා තිබෙන්නේ. මගේ නිර්මාණ හැකියාව හඳුනාගත්ත ඊළඟ කෙනා තමයි, යමුනා මාලිනී පෙරේරා, ඒ කාලයේ මම එතුමියට යවන නිර්මාණ පිළිබඳ සැලකිල්ලෙන් සොයා බැලුවා. පුවත්පත්වල පළ කර දුන්නා. අද වන තුරුම ගුරුවරියක ලෙස විශාල මඟ පෙන්වීමක් කරන්නේ ඇයයි. ඒ කාලයේ ප්‍රවීණ ගායකයකු හෝ ගායිකාවක් එතුමියගෙන් නිර්මාණයක් ඉල්ලුවත් ඇය ඒ සමඟ මගේ නිර්මාණයකුªත් දෙනවා මේකත් හොඳද බලන්නැයි කියා. ඉතින් එසේ ආ ගමනක් මේතාක් දුර ප්‍රවීණයන් සමඟ එක්ව කටයුතු කරන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්.

ඔබ හැමවිටම නිර්මාණකරණයේදී වැඩි දෙනෙක් නොසොයන ඉසවු සොයා බලන බවක් පෙනෙනවා. පේ‍්‍රමය සහ විරහව වැනි මාතෘකා ඔබ යොදා ගන්න විදිහ වෙනස් ද?

නිර්මාණයකදී අපිට පේ‍්‍රමය හෝ විරහවෙන් බැහැර වෙන්න බැහැනේ. හැබැයි ඒ යෞවන පේ‍්‍රමයට එහා ගිය කොයිතරම් වපසරියක් තුළ අපට ගීතය පිළිබඳ කතා කරන්න පුළුවන්ද? ඒ නිසා මට හැමවිටම වුවමනා වුණේ හොඳ ගීත අසා ඒවා එහෙමම ආදර්ශ කොට ගන්නවා වෙනුවට තවත් එහා ගිය සමාජීය කාරණා ගීත තුළින් කතා කරන්න. මම එවැනි ගීත බොහෝ නිර්මාණය කර තියෙනවා. දැන් ඉදිරියේදී එළි දකින්න නියමිත ගීත බොහොමයකට පාදක වන්නෙ එවැනි මාතෘකා. මම මගේ පරපුරෙන් සහ මගේ පිටුපසින් එන පරපුරෙන් හැමවිටම ඉල්ලන්නේ අපි නිර්මාණයක් කරද්දී අපි හැමවිටම හිතන්න ඕන මේකෙන් අපි මොකක් ද තව කෙනෙකුට දෙන්නෙ කියලයි. එය ආදර්ශයක් විය යුතුයි. අපි අතීත නිර්මාණ ගොඩක් රස විඳපු පිරිසක්. අපි කොළඹ මේ ගෙන්දගම් පොළොවේ පයගහල කාටවත් කරදරයක් නොවෙන්න සමාජ දෙකක හැළහැප්පෙන්නෙ ඒ අපි අහපු නිර්මාණ නිසා කියලයි මම හැමවිටම විශ්වාස කරන්නෙ. ඒ නිසා අපේ නිර්මාණ පවා ඒ ගුණයෙන් යුතු විය යුතුයි. ඒ නිසා මමත් කැමැති මගේ නිර්මාණයක් අසා කවුරු හෝ එක් කෙනෙකු හරි ඉන් යමක් උකහා ගන්නවා නම්. එය තමයි මං නිර්මාණයකින් ලබන එකම සතුට.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ලක්බිම පුවත්පතෙන්. මාව ලක්බිම පුවත්පතට සම්බන්ධ කරනු ලැබුවෙත් යමුනා මාලිනී පෙරේරා මහත්මියයි. ඒ පිළිබඳ මම ස්තූති පුර්වකව සිහිපත් කරන්න ඕනේ. එහිදී රුවිනි ගුරුගේ, මහින්ද දළුගොඩආරච්චි, අප අතරින් නැසී ගිය ජටිල වැල්ලබඩ වැනි මාධ්‍යවේදීන් තමයි මූලිකත්වය ගනු ලැබුවේ. මගේ හැකියා හඳුනාගෙන මගේ අනාගතය නිර්මාණ කර ගන්න. එහිදී ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ළමා පිටුවේ ලියන්න පටන් ගෙන අන්තිමට එහි කලා පිටුව සංස්කරණය කරනතෙක් යොමු වුණා. ඊට පස්සෙයි මම ලංකාදීප පුවත්පතට සම්බන්ධ වෙන්නෙ. ඇත්තටම මගේ හීන දෙකක් තිබුණා. එකක් ගුරුවෘත්තියේ යෙදෙන්නත්, අනික පත්තරකාරයකු වෙන්නත්. එහිදී මට පත්තරකාරයකු වෙන්න ලැබීම ගැන මම හරිම තෘප්තිමත්. පුංචි කාලෙ අපේ ගෙදර පොත් පත්තර ඕනෑ තරම් තිබුණා. මට නොතෙරන කාලයේ පවා මං ගොඩක් පොත් පත්තර කියෙව්වා. ඒ ආභාසය තමයි මට මෙතෙක් නිර්මාණකරණයේ දුරක් එන්න ලොකු බලපෑමක් වුණේ. හැබැයි දැන් දරුවන්ට ඒ අවස්ථා එපමණටම තියෙනවා ද කියා හිතාගන්න බෑ. අපි ඒ අවධියේ අවබෝධයෙන් යුතු ගමනක් ආවේ. ඉතින් ආ පිට හැරී බලද්දී මා බලාපොරොත්තු වූ තැනක ඉන්නේ. ඉතින් ඉන් මම තෘප්තිමත්.

නව පරපුරේ නිර්මාණකරුවන් දැනුමින් සන්නද්ධ වීමට මැළි බවක් දක්වන බව ප්‍රවීණයන්ගේ පිළිගැනීමයි. ඔබ ඊට දක්වන ප්‍රතිචාරය මොකක්ද?

මමත් අලුත් පරපුරේ කෙනෙක්. හැබැයි මගේ පසුපසින් එන සහ අලුත් පරපුරට කියන්න තිබෙන්නේ මේ වගේ දෙයක්. බොහෝ දෙනෙක් නිර්මාණයක් කරන්න හරිම හදිසියි. ඒක මමත් පිළිගන්නවා. ඒකට හේතු වී තියෙන්නේ තාක්ෂණයේ දියණුව සහ සමාජ මාධ්‍ය භාවිතාවත් සමඟ නව පරපුරේ නිර්මාණකරවන් ඉතා ඉක්මන් ප්‍රතිඵල පැතීමයි. මුදල් සමඟ මේ දේවල් කරන්නත් ගොඩක් පහසුයි. විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයක් හරහා බොහෝ දෙනෙක් කැමතියි, තමන් කුමන හෝ කලා වෘත්තියක නියැළී සිටින බව ලොවට පෙන්වන්න. තරුණ පරපුරේ දක්ෂ නිර්මාණකරුවන් සිටිනවා. හැබැයි ඔවුන් පවා මේ හදිසියට නතු වෙනවා. හැබැයි එය එතරම් සුදුසු නෑ. ලියන්නන් වාලේ පොතක් ලියා හෝ එහෙම නැතිනම් ගීතයක් කර යූ ටියුබ් දැමුවාට සමාජයට ඉන් ගත යුත්තක් නැතිනම් වැඩක් නැහැ කියලයි මං හිතන්නේ. හැබැයි මම මේ මතයේ සිටින නිසා බොහෝ දෙනෙක් මා ගැන දරන්නේ වැරැදි මතයක්. හැබැයි මට ඕනෙ ඕනෑම නිර්මාණයක් හරි විදියට සමාජයට මුදා හරින්නයි. නව පරපුරේ නිර්මාණකරුවකු විදියට විශාල කැපවීමක් දරමිනුයි මුල් කාලයේ සිටම මම වැඩ කළේ. ඒ නිසා මම අලුත් පරපුරේ අයට දෙන උපදෙසත්් කැපවීමෙන් හරියට යමක් කරන්න, ඍඪඥඹඵ පස්සේ යන්න හදිසි වෙන්න එපා කියන එක සේම, තමන් හරියට යමක් කර ඉන් එක් අයකු රසවින්දත් ඉන් ලබන තෘප්තිය මුළු ජීවිත කාලයටම ඇති කියන අදහසයි.

නිර්මාණකරණයට පෙර හැදෑරීම පිළිබඳ අදහස තවමත් ඔබෙන් මතු වුයේ නෑ.

ඇත්තෙන්ම එය කළ යුතුමයි. අධ්‍යයනය කළ යුතුයි. නිරන්තර කියවීම් කළ යුතුයි. අභ්‍යාස කළ යුතුයි. අමරදේවයන්ගේ, මහගම සේකරයන්ගේ මානවසිංහයන්ගේ වගේම, ඩබ්.ඒ. අබේසිංහ මහත්මයාගෙ රත්න ශ්‍රී මහත්මයාගෙ සුනිල් ආරියරත්න සර්ගේ පද වැලක් අහන්නේ නැතිව ගීත ලියන අය ඉන්නවා. ඉතින් අපි අධ්‍යයනයක් කරන්න් නැතිව කියවන්නේ නැතිව, සොයන්නේ නැතිව සරුසාර නිර්මාණයක් කරන්නෙ කොහොමද? අලුත් පරපුරේ දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා. හැබැයි හැදෑරීමයි නැත්තෙ. ෆේස්බුක් වැනි මාධ්‍යක ඕනෑම දෙයක් ලිවිය හැකි වෙන්නෙ වාරණයක් නැති නිසානෙ. නමුත් ඒ ලියන දේ මේ සමාජයට කොයිතරම් දුරට ගැළපෙයිද, යෝග්‍ය ද කියා ඔවුන් හිතන්න නෑ. ඊළඟට ෆේස්බුක් එකේ කුමක් ලියා තිබුණත් සමහරවිට කියවන්නේවත් නැතිව ලයික්, කමෙන්ටුවලින් පුරවා දමනවා. සමහරවිට එය නිසියාකාරව රසවිඳ හෝ නැතිව වෙන්න පුළුවන්. හැබැයි ඒ දමන ලයික්, කමෙන්ටු ගණනට විතරක් රැවටුණොත් අපට අපි ගැන හරි තක්සේරුවක් ගන්න බැරි වෙයි. සමහරවිට කවීත්වයත් විනාශ වෙයි. ඒ නිසා මුලිකව මෙය අවබෝධ කරගත යුතුයි. ඇත්තටම ෆේස්බුක් කියන්නේ නිර්මාණකරුවකුට හොඳ තෝතැන්නක්.

ඉතින් මේක අලුත් පරපුරට තමන්ගේ හැකියා ඉදිරිපත් කරන්න තියෙන හොඳ තැනක්. හැබැයි ඒ පසුබිම අපි භාවිත කරන්න ඕන හරිම අවබෝධයෙන්. එහෙම නූනොත් නැතිවෙන්නේ අපේ කවීත්වය. ඒ වගේම ඉන් තව පරපුරක් මොටවන්න තිබෙන ඉඩකඩත් වැඩි වෙයි. නිර්මාණයක් සිතක මැවුණාට එය පෝෂණය වෙන්න කාලයක් අවශ්‍යයි. එහෙම නැතිව මේසයක, පුටුවක වාඩි වී මෙන්න මම කවියක් ලියනවා. කතාවක් ලියනවා කියා එය කරන්න බෑ. නිර්මාණයක් පෝෂණය වෙන්න කාලය වගේම බොහෝ අමුද්‍රව්‍යයත් වුවමනයි.

නිර්මාණකරණයේ යෙදෙන නව පරපුරට කුමනාකාර දිරි දීමක්ද අවශ්‍ය වෙන්නේ.

මං හිතන්නේ නිර්මාණකරණයේ යෙදෙන නව පරපුර අගය කිරීමට ලක්විය යුතුමයි. මොකද ඒ අය සමාජයට අයහපත් දෙයක නොවෙයිනේ නිරත වෙන්නේ. මේ මිනිස්සු ඇබ්බැහි වෙලා තියෙන්නෙ නිර්මාණකරණයකටනෙ. හැබැයි ඒ ඇගැයුමට ලක්වීම තුළ ඔවුනුත් තවත් පරපුරක ඇගැයුමට ලක්වීමට ඔබින ලෙසත් වැඩ කළ යුතුමයි.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මම තිර පිටපතට හරිම කැමැතියි. හොඳ තිර පිටපතක් ලියන්න ලොකු කැමැත්තකින් ඉන්නවා. දැන් කවිය නම් ටිකක් ලියවෙනවා අඩුයි මගේ අතින්. මං හිතන්නේ මගේ ඇතුළෙ වැඩියෙන්ම ඉන්නෙ ගීත රචකයා කියලයි. මම නවකතාවෙන් මිදී නෑ. හැබැයි නවකතාවක් ලියවෙන්නේ හෙමින්. රැකියාව හා කාර්යබහුල බවත් මේ ප්‍රමාදයන්ට යම් පමණකට හේතුවක්. හැබැයි ඒ කොහොම වුණත් මේ සෑම දෙයක් ගැනම මං හරිම තෘප්තිමත්. හරිම හෙමින්, කාලයක් තිස්සේ පැමිණි ගමනක් වුණත් ඒ ගමන හරිම පී‍්‍රතිමත්.

 

 

[email protected]