උරුමය තිබුණට මං මගේ අනන්‍යතාවය ගොඩනඟා ගත්තා

සංගීතවේදී ලෙලුම් රත්නායක
පෙබරවාරි 23, 2023

 

කලා ක්ෂේත්‍රයේ ඔහු කා අතරත් ලෙල්ලාය නමින් ලෙලුම් රත්නායක වූ නිසාම ඔහුව හිත මිතුරන් අතරේ ලෙල්ලා විය. තරුණ පරපුර නියෝජනය කරමින් තාරුණ්‍යයේ රසික හද තමන් වෙත නතු කරගත් ලෙල්ලා වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ ඩ්‍රම්ස් වාදකයකු ලෙසිනි.ගායනයෙන් වාදනයෙන් තනු නිර්මාණයෙන් ප්‍රවීණත්වයට පත්ව සිටින ලෙලුම් ලාංකික සංගීත ක්ෂේත්‍රය වඩාත් යහපත් මාවතකට ප්‍රවිෂ්ට කිරීමේ අරමුණින් හරවත් මධුර මනෝහර ගීත රැසක තනු නිර්මාණයන් සඳහා ද මේ වන විටත් දායකත්වයක් එක්කර හමාරය. ලංකාවේ සිටින ප්‍රවීන සංගීතවේදියකු වූ වික්ටර් රත්නායකයන්ගේ බාල පුතු වන ලෙලුම් පිය උරුමයෙන් සංගීත දිවිය උරුම කරගත්තෙකි. ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුනු සංගීත කණ්ඩායම් හී සමාජිකයකු වූ ලෙලුම් කලකට පසු සරසවිය හා පිළිසඳරට එක්වෙමින්.

මේ දවස්වල ඔබගේ කලාදිවියේ අලුත් තොරතුරු කොහොමද?

පසුගිය වසර දෙක තුන කාටත් පොදුවේ ලබල තිබුණේ යහපත් කාල පරිච්ඡේදයක් නොවෙයි. ඒක අප සැමටම පොදු වෙච්ච දෙයක් බවට පත් වී තිබුණා. නමුත් දැන්නම් බෑන්ඩ්වලට, සංගීතවේදීන්ට, ගායකයන්ට වැඩ තියන කාලයක් මමත් එහෙම වැඩ කිහිපයකට සහභාගි වුණා. මගේ සුපුරුදු වැඩසටහන් ටික නැවතත් මම පටන් අරන් තියන්නේ. එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ලැබුණොත් ඒවට සහභාගි වෙනවා. අලුතින් නිර්මාණ කටයුතු කීපයකුත් සිද්ධ කළා. මට මුණ ගැහුණා කුෂාන්ත කාරියවසම් කියලා මිත්‍රයෙක්. ඔහු ගීත රචකයෙක් ඔහුගේ ගීත රචනා පහළවකට විතර තනු නිර්මාණය කළා. පසුගිය කාලයේ රසිත වීරවික්‍රම කියල තව මගේ හිතවතෙකුට ඉන්දියන් ටයිප් එකේ තනු නිර්මාණ කටයුත්තක් එහෙමත් කළා.

ලෙලුම් අද ඉන්දියානු සංගීතයටත් නැඹුරු වෙලා හැඩයි?

කොහොමටත් මට කවුරුත් කිව්වේ වෙස්ටන් පුතා කියලනේ. වික්ටර්ගේ වෙස්ටන් පුතා වෙස්ටන් ටයිප් එකේ පොරක් විධියටනේ කවුරුත් දැක්කේ. ඉතිං මම පොඩි චේන්ජ් එකකට ඉන්දියන් ටයිප් එකටත් ගියා.

කොහොමද ප්‍රසංග වේදිකාවේ අලුත් තොරතුරු?

මම කරන්නේ ප්‍රසංග වේදිකා සංවිධායකයන් ආරාධනා කළොත් ගීත ගායනා කරල එන එක ප්‍රසංග වේදිකාවල වාදක මණ්ඩලත් පසුගිය කාලේ නොයෙකුත් අකරතැබ්බවලට මුහුණ දීලා හිටියා. නමුත් දැන් ඒ හැමෝම යළි පිබිදීමට පටන් අරන් නැවතත් වැඩ කටයුතු පෙර පරිදිම කරමින් ඉන්නා කාලයක් මේක. අපට කවුරු හරි අවශ්‍ය වෙලා වැඩකට කතා කළොත් ලෙලුම් අයියා ලෙලුම් මල්ලී. මම වැඩක් භාර අරන් තියෙන්නේ කියන වචනය තමයි. අපිට දැන් ඇහෙන්න තියෙන්නේ ඒක තමයි වියයුත්තේ ඒ වචනය ඇහෙන කොටත් පොදුවේ අපිට කලාකාරයෝ හැටියට හිතට සතුටුයි කවුරු මොනවා හෝ වැඩක ඉන්නවා කියල.

මෑත භාගයේ අලුත් නිර්මාණ එහෙම එළි දැක්වීමක් සිද්ධ කළේ නැද්ද?

මම හුඟාක්ම කළේ බෑන්ඩ් එක්ක ප්ලේ කරන එකනේ. නමුත් කෝවිඩ් කාලයේ මට හම්බ වෙච්ච තුෂාන්ත ලිව්ව ගීත තුනක් තමයි මට මුලින්ම හම්බ වුණේ. ඒ තුනම සංගීවත් කළේ මම. ඊට පස්සේ එවැනි ගීත පහළවක් දක්වා මම ඔහුගේ ගීත රචනා සංගීතවත් කළා. අද වෙනකොට ඒ ගීත නිර්මාණ යූ ටියුබ් එකේ අහන්න තියනවා. මම ඒ ගීත ගායනාත් කළා. ඊට අමතරව ලක්ෂා ලක්මිණී, ගයාත්‍රි ඒකනායක, නිකොලා ඇන්රියා, රුක්ෂාන් ගුණවර්ධන ඒ ගීත ගායනා සඳහා එක් වුණා.

ඇත්තද මේ වෙස්ටන් පුතා ජනපි‍්‍රය වයලීන් වාදකයෙක් ගායකයෙක් කළා කියන්නේ.

ඔව්. රුක්ෂාන් ගුණවර්ධන කියන්නේ අපිට ඉන්න දක්ෂතම වයලීන් වාදකයෙක්. ඔහුට හොඳින් ගීත කියන්න පුළුවන් කියල මම පෞද්ගලිකව දැනගෙන හිටියා. ඒ වගේම රුක්ෂාන්ව දන්න ක්ෂේත්‍රයේ අයත් මේ ගැන දන්නවා. මට ඕනෙ කළා රුක්ෂාන්ගේ මේ හැකියාවට ඉඩක් අරන් දෙන්න. මම ඔහුට කිව්වා රුක්ෂාන් මල්ලී මම සින්දුවක් හදනවා ඔයා ඒක ගායනා කරන්නම ඕනෙ කියලා.

ලෙලුම් කැමති කවුරු හැටියට හඳුන්වනවටද?

සිංගර්, ඩ්‍රමර්, කොම්පෝසර් කියලද ඔයාට අපි කියන්න ඕනේ කියලා. බොහෝ දෙනා මගෙන් අහන ප්‍රශ්නයක් ඉතිං ඒ හැමෝටම මම කියන්නේ ඔය ඔක්කෝම එකතු කරල මට සංගීතවේදී කියන්න කියලා. සංගීතවේදියා කියලා හැඳින්වීම තමයි හොඳම දේ කියලයි මට හිතෙන්නේ.

ඔබට වාදනය පැත්තෙන් මොන වගේ හැකියාවක් ද තියෙන්නේ?

ජීවිතේට මම ගිටාර් ගහල නෑ. බේස් ගිටාර් එකනම් ප්ලේකරල තියෙනවා. මෝට් ටික තියන තැන් හඳුනාගෙන පියානෝ එක ගහල තියනවා. කීබෝඩ් ගහල තියනවා. ඩ්‍රම්ස් සහ පර්කියුෂන් ප්ලේ එක තමයි මගේ මේන් ඉන්ස්ටෘමන්ට් එක.

ප්‍රසංග වේදිකාවේ ඔබ වඩාත් සංගීතකාමීන්ගේ සිත් දිනාගෙන ඇත්තේ ඩ්‍රම්ස් වාදයෙක් ලෙසින් නේද?

ඉන්ඩෝ කොන්සට් වල වගේම වෙඩින් වලත් බොහෝ දෙනා මාව හඳුනාගෙන ඉන්නේ. ඩ්‍රමර් හැටියට මගේ බෑන්ඩ් එකේ මම සින්දු කියනකොට අයියේ ඔයා නෙමේද ඩ්‍රම් ගහන්නේ කියලත් අහන අය ඉන්නවා. කවුරුත් කැමති මම ඩ්‍රමර් කෙනෙක් ලෙස දකින්න තමයි.

ප්‍රසංග වේදිකාවේ ඔබටම අනන්‍ය වූ ගීත ගායනා එහෙමත් මේ වෙනකොට නිර්මාණය කරගෙන ද ඉන්නේ?

මගේ ගීත ගායනා කරන්න ඕනෙයි කියන තැන්වල ඒ ඉල්ලීම්වලට මගේම ගීත මම ගායනා කරල තියනවා. හැබැයි බොහෝ තැන්වලට කතා කරන්නේ තාත්තාගේ සින්දුවක් කියල යන්න තමයි ප්‍රසංග වේදිකා වලට මම යන්න ටිකක් අකමැති ප්‍රධාන හේතුව තමයි තාත්තාගේ සිංදු කියන්න කියනන කාරණය.

ඒ කියන්නේ ලෙලුම් තාත්තාගේ සින්දු කියන්න අකැමැති ද?

වික්ටර් රත්නායක කෙනෙක් හිටියා. එයාව තාම කවුරුත් අගය කරනවා. පුතාල එයාගේ සිංදු කියන්න ඕනේ නෑ.

ලෙලුම් ඔහොම කිව්වට අනෙකුත් ගායක ගායිකාවන්ගේ දූ දරුවෝ කියන්නේ අපි විතරයි තාත්තා අම්මාගේ ගීත ගායනා කළ යුත්තේ. වෙන අයට එහෙම කියන්න බෑ. එකේ අයිතිය අපිට විතරයි කියලානේ. ලෙලුම් මේ දුවල පුතාලාගෙන් වෙනස්ම කෙනෙක්නේ?

තාත්තා කැමති නම් තාත්තාගේ ගීත අපි ලවා කියවන්න තාත්තාගේ ආශිර්වාදය අපිට දෙයි. හැබැයි මගේ තාත්තා මුල සිටම ඒ ආශිර්වාදය අපිට දුන්නේ නෑ. එහෙම දුන්නේ නැත්තේ අපිට අපේ ගමනක් හදාගන්න කියන පණිවිඩය අපිට පොඩි කාලේ ඉඳල දීපු නිසා. ඒක අපි හදාගන්තා. මගේ අයියා ජයන්ත කීබෝඩ් වාදකයෙක් හැටියට ලෙලුම් ඩ්‍රම්ස් වාදකයෙක් හැටියට අපි වෙනම මං ලකුණක් හදාගත්තා. තාත්තා නිහඬව ඉඳලා අපිට නොදුන් එකේ අපි ගොඩක් දේ ජීවිතයේ කරගත්තා.

ඒ කියන්නේ තාත්තා දුර දැක්කා?

පැහැදිලිවම ඔව්. නැත්තම් අපි දෙන්නාත් තාත්තා ගේ සින්දු කිය කිය ඉදියි.

ඔබම කියනවා ප්‍රසංගවේදිකා සංවිධායකවරු ඔබට ගායනා කරන්න ආරාධනා කරන්නේ තාත්තාගේ සින්දු කියන්න කියලා. වික්ටර් රත්නායකයන්ගේ විශාල ගීත ගොන්නෙන් එවැනි ආරධනා වලට ඔබ මොන ගීත ද තෝරගන්නේ?

ඒක තීරණය කරන්නේ ප්ලේ කරන බෑන්ඩ් එක ඒ අය තාත්තාගේ සින්දු ප්‍රැක්ටිස් කරල තියන විධිය අනුව සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂවරයා කියන ගීත තමයි මම ගායනා කරන්නේ. නමුත් තාත්තාගේ ඕනෙම ගීතයක් මට ගායනා කරන්න පුළුවන්. දෙයියන්ගේ පිහිටෙන් එයාගේ ලේ උරුමයෙන් ආපු මියුසික් තමයි මා ළඟත් තියෙන්නේ.

ජයන්ත රත්නායක නම් වූ ඔබේ අයියා ජිවිතයෙන් සමුගෙන යාමත් සමඟ අද වික්ටර් රත්නායකයන්ගේ එකම පුරුක ලෙලුම්. ජයන්ත හා ලෙලුම් සහෝදරත්වයේ බැඳීමක් සමඟ එකම සංගීත ක්ෂේත්‍රයේ පියවර තැබු දෙපළක් අද අයියාගේ වෙන්වීම ඔබට දැනෙන්නේ කොහොමද?

ජයන්ත අයියා නැතිවුණා කියල මට මගේ සංගීත දිවියේ ලොකු පාඩුවක් සිදුවුණේ නෑ. මොකද හේතුව ජයන්ත අයියාගේ වැඩවලට මම එකතු වුණේ ඔහු මට කතා කළ අවස්ථාවලදී විතරයි. මම එයා එක්ක වැඩ කළේ තවත් සංගීත අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන ආකාරයට. එතැනදී අපි දෙන්නා අතර තිබුණේ බිස්නස් එකක් මිසක් සහෝදරකමක් නොවෙයි. එයා කළේ මට ගෙවීමක් කරල එයාගේ වැඩේට මාව ගැනීම පමණයි. අයිය හැටියට මට තියෙන්නේ මගේ සහෝදරයා නැතිවීමේ දුකක් පමණයි. එහෙම නැතුව සංගීත ගමනේ අයියා නැතිවුණා කියලා මට බාධාවක් පාඩුවක් සිදුවුණේ නෑ. මම වැඩ කරන එක සංගීත අධ්‍යක්ෂවරයෙක් නැතිවුණා කියන හැඟීම ඇරෙන්න වෙන දෙයක් නම් නෑ.

ලෙලුම් කැමති නැද්ද ඔබගේම ප්‍රසංගයක් තුළින් කළඑළි බහින්න?

කතාවෙමින් යනවා පහුගිය කාල වකවානුවේ සිදු වූ බාධාවීම් මධ්‍යයේ ඒ අදහස පසුපස්සට ගියා. නමුත් මම හිතනවා 2023 වසරේ ලෙලුම්ගේ ප්‍රසංගයක් කරන්න.

ඒ ප්‍රසංගය තාත්තාගේ ගීත ඔබේ හඬින් වගේ ප්‍රසංගයක මුහුණුවරකින් ද?

අදටත් මිනිස්සු ලෙලුම් රත්නායකට වඩා වික්ටර් රත්නායකට ආදරෙයි. ඒක නිසා වික්ටර් රත්නායකගේ සින්දු ලෙලුම් රත්නායකගේ හඬින් අහන්න මිනිස්සු ආස කරයි. නමුත් මට ගායනා කරන්න අවසර තියන තාත්තාගේ ගීත කීපයක් ගොනුකරගෙන මගේම ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න තමයි මම කැමැති.

ලෙලුම් කියන්නේ තාත්තාගේ සියලු ගීත ගායනා කරන්න තවම අවසර දීලා නෑ කියන එක ද?

ඇත්තටම අවසර දීලා නෑ. ඒකට වාරණයක් කරල තමයි තියෙන්නේ. ඒ වාරණය මට දාල තියෙන්නේ තාත්තාගේ වුවමනාවට නොවෙයි කියලත් මම දන්නවා. තාත්තාට වාරණය කරන්න පුළුවන් ඔහු මියුසික් කරපු සින්දු ටිකනේ තාත්තාට තියෙන්නේ සංගීතමය අයිතිය. ගායකයා කියන්නේ වාහකයානේ ඒක තාත්තත් කියන දේනේ. මොන තරම් සින්දු තියනවාද තාත්තා ගායනා කළ සිංදු පමණක්. ඒවා ගායනා කරන්න මට බාධාවක් නෑ. මම හිතනවා තාත්තා දහදාහකට කිට්ටුව සින්දු කියලා ඇති. හැබැයි මමවත් දන්නෑ හරියටම ගාණ කොච්චර ද කියල චිත්‍රපට ගීතත් ඇතුළුව ගත්තහම.

තාත්තා ඔබව මේ සංගීත ක්ෂේත්‍රයට බලපෑම් කරමින් කුඩා අවධියේ සිටම යොමු කළා ද නැත්තම් ඔබේ ලේ උරුමයත් සමඟ මේ වෙත යොමු වුණා ද?

තාත්තා අපිව හොඳ ඉස්කෝලෙකට දැම්මා. මමත් අයියාත් ගියේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට. මම හිතනවා තාත්තා එහෙම කළේ අපිට වෙන පැති හදාගන්න කියලා. නමුත් නිරායාසයෙන් ජයන්ත අයියා සංගීතය පැත්තෙන් පාසලේත් ගුරුවරු සමඟ ගමනක් ගියා. අයියා පොඩි කාලේ ඉඳලා එයා සංගීතය පැත්තෙන් කරපු වැඩවලදී මාව සම්බන්ධ කරගත්තා. සින්දු කියන්න. මම කළේ ඉස්කෝලේ වැඩවලදී සින්දු කියපු එක පමණයි. කිසිම ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරලත් නෑ. සංගීතය පාසලේ දී හැදෑරුවෙත් නෑ. මම රටෙන් එළියට ගිහින් තමයි සංගීතය හදාරන්න පටන් ගත්තේ. සංගීතය කියන දේ මගේත් අයියාගේත් ඇඟේ තිබුණ දෙයක්. අයියා බයෝසයන්ස් කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ගිය කෙනෙක්. ඒත් එහෙම වුණේ නෑ. මම ආට් කරපු කෙනෙක්. මට ලැන්වේජ් කරන්න ඕනෙ කළා නමුත් මම ගිය දුරකුත් නෑ. අන්තිමට අපි දෙන්නත් මියුසික්වල තමයි හිරවුණේ.

අද ඔබ දුක් වෙනවාවද මියුසික්වල හිරවීම ගැන?

නෑ මම හිතනවා මට කරන්න පුළුවන් දේ හිතේ සතුටින් කරල තියනවා කියලා. එහෙම දුක් වෙන්න කාරණයක් නම් නෑ.

පවුලේම අභාසය තිබියදීත් ඇයි ඔබ රටෙනුත් පිට ගිහින් සංගීතය ඉගෙන ගන්නේ? සංගීතයේ පතාක යෝධයෙක්ගේ සෙවණේ ඉඳගෙන ඇයි ඔබ බැහැරව ගොස් සංගීතය හදාරන්නේ?

මම රටෙන් එළියට යන කොටත් මට කීබෝඩ් ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. නමුත් මම ඒක ඩිවලොප් කරගත්තේ රටෙන් එළියට ගිහිල්ලා. මට ඉඩකඩ ලැබුණේ නොයෙකුත් ගුරුවරු යටතේ ඒ ටික ඉගෙන ගන්න. මම අවුරුදු හයක් හතක් කැනඩාවට ගිහින් මේ දේවල් ඉගෙන ගෙන නැවත ලංකාවට ආවා. අම්මා අසනීප උණ නිසා තමයි මම ලංකාවට ආවේ නැත්තම් මම ලංකාවට එන්නේ නෑ. ඒ වෙනකොට සිහ ශක්ති කියන්නේ ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබුණු බෑන්ඩ් එකක්. මගේ අයියා ආනන්ද අයියා එහෙම එතකොට ඒ බෑන්ඩ් එකේ හොඳ පොපියුලර් කැරැක්ටර් ඉතිං මාත් නිරායාසයෙන් එතනට ජොයින් වුණා.

සිහ ශක්ති සමඟ ඔබ දිගු ගමනකට මුල පුරනවා නොවේද?

සිහ ශක්ති සමඟ එකතු වුණේ 1997 දී 2001 විතර වෙනකන් මම එහි ප්ලේ කළා. සිහශක්ති එක්ක තමයි. මම ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නේ ප්ලේයර් කෙනෙක් හැටියට මාව රසිකයෝ හඳුනා ගන්නේ මෙතනදී.

රියලිටි ෂෝ එදා තිබුණු ප්‍රාසංගික බව උඩු යටිකුරු කරලද?

රටක අලුත් දක්ෂතා එළියට එන්න ඕනේ. ඒ දක්ෂතාවලට ටෙලි විෂන් මාධ්‍ය දෙන බැක්එක අපි අවතක්සේරු කළයුතු නෑ. ඒක බොහොම හොඳ දෙයක් කියලයි මම කියන්නේ. අලුත් දක්ෂතා එන තරමට තමයි හොඳ පරණ අයත් තමන්ට අලුත් අය සමඟ සංසන්දනය කරල තමන්ට නැති දේ හඳුනගන්නෙත් මේක වැදගත්. අලුත් අය යන පාර පරණ අයට හඳුනාගන්න හොඳ මාවතක් මේ රියැලිටි ෂෝ. අද නවකයන්ට හොඳ වේදිකාවක් තියනවා. ෆේස්බුක්, යූටියුබ් චැනල්. නමුත් එදා මේ පහසුකම් පරණ අයට තිබුණේ නෑ. නවකයොත් මේ වෙනස හඳුනාගෙන කටයුතු කළ යුතුයි. එතකොට තමයි මේ දෙගොල්ලන්ටම හොඳට ජෙල්වෙලා බ්ලෙන්ඩ් වෙලා වැඩක් කරන්න පුළුවන්. ලොක්කෝ කරන වැඩ පොඩි උන් කරන්නේ නෑ. පොඩි උන් කරන වැඩ ලොක්කෝ කරන්නේ නෑ. මෙන්න මේ දෙක හොඳින් තේරුම් ගත්තහම කාටත් හොඳයි.

ලෙලුම් පරපුරක් හදන්න උත්සාහ කරන සංගීතඥයෙක් නොවෙයිද?

ගොඩක් අය මගෙන් ක්ලාස් කරන්න අහනවා. මට ළමයිව අතරමං කරන්න බැරිකමක් තියෙනවා. මම කරන අනෙක් කටයුතු එක්ක පුර්ණකාලීනව මට ඔවුන් වෙනුවෙන් කැපවෙන්න කාලයක් නෑ. මම හැමවෙලේම කියන්නේ ඔබට විවේක වෙලාවක මට කතා කරන්න. මට විවේක වෙලාවක අපි හම්බ වෙමු. මම උදව් කරන්නම් මම නෝට් දෙන්නම් ඒවා ප්‍රැක්ටිස් කරන්න. මම ඉගෙන ගත්තෙත් එහෙම මම ඩ්‍රම් ඉගෙනගෙන ආවත් මට මෙහෙ හිිටියා ගුරුවරු. ඔවුන්ගෙන් මම බොහෝ ටෙක්නික් ඉගෙන ගත්තා. මම ගුරුතන්හීලා සලකන අරුණ සිරිවර්ධන වැන්නන්ගෙන් අදටත් මගෙන් ගුරුහරුකම් ලබනවා.

ලෙලුම්ගේම බෑන්ඩ් එකක් නැද්ද?

තියනවා ලීඩ් ගිටාර්, බේස් ගිටාර්, ඩ්‍රම්, කීබෝඩ් ඇතුව මම ගයනවා. අපි ෆයිව්පීස් බෑන්ඩ් එකක් හැටියට යන්නේ වෙඩින් එකකට නම් යන්නේ වෙනසකට එක්ක. ගර්ල් කෙනෙක් යොදා ගන්නවා. නැත්නම් අපි පස් දෙනෙක්ගෙන් මේ බෑන්ඩ්එක ප්ලේ කරනවා. බෑන්ඩ් එකේ නම ලෙලුම් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්.

ගීත ඇල්බමයකට යන්න අදහසක් නැද්ද?

නිර්මාණ මං කොල්ලය ගැන මට ප්‍රශ්නයක් නෑ. මම හදන සින්දු තව කෙනෙක් කියනවා නම් මම කියන්නේ මගේ වටිනාකම මට දෙන්න කියල විතරයි. මේක ලෙලුම් කළ ගීතයක් කියල විතරක් කිව්වහම ඇති. මගේ සින්දුවක් කවුරු කිව්වත් ප්‍රශ්නයක් නෑ. අපි යනකොට ගෙනියන දෙයක් නෑ. මම නිර්මාණකාරයෙක් හැටියට මට මේ හදපු සින්දුවලට වැඩිය තව ගීත දාහක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියනවා නම් මට කවුරු මගේ සින්දු ගත්තත් ප්‍රශ්නයක් නෑ. අපි සින්දු කරන්නේ මිනිස්සුන්ට.

මගේම සින්දුවක් කාටවත් කියන්න බෑ කිව්වොත් නඩු දානවා කියමින් ගහ මරාගන්න සමාජ වටපිටාවක ඔබ වෙස්සන්තර කෙනෙක් වෙලාද?

මම කියන්නේ සදාචාරාත්මක සමාජය ඇතුලේ නීති ඕනේ නෑ කියල. සමාජය සදාචාරාත්මක නම් කෙනෙක්ගේ දෙයක් පාවිච්චි කරල ඒ වෙනුවෙන් මාසෙ අන්තිමට යමක් දෙන්න පුළුවන් නම් මේ වගේ ගැටලුවක් ඇතිවෙන්නේ නෑනේ. සදාචාරයක් තියනවා නම් නීති හදන්න ඕනේ නෑනේ. උදාහරණයක් කිව්වොත් තමනට සින්දු ලියපු, තනු නිර්මාණය කරපු අයට තමන් පිටරට ප්‍රසංගයකට ගිහින් එනකොට පෑනක් ගෙනත් දෙන්න පුළුවන්නම් මට උඹව මතක් වුණා කියල ඒක මොන තරම් වටිනවාද? කලාකාරයෝ කියන්නේ නිහතමානීව ජීවත්වෙන අනුන් වෙනුවෙන් නිර්ලෝභීව කටයුතු කරන පිරිසක්නේ. මම හදපු සින්දුවක් තවත් පිරිසක් කිව්ව කියල ඒකට ගහ මරාගන්න එක හරි නෑනේ. මම ඩ්‍රම් ගහන ෂෝවල පුතාල ඇවිත් තාත්තාගේ සින්දු කියල යනවා. ඒ තාත්තාගේ ආශිර්වාදය නිසා. නමුත් මට තාත්තාගේ ආශිර්වාදය ලැබිලා නෑ. ඒත් මගේ තාත්තා ඈත ඉඳල බලන් හිතනවා ඇති මම මේකට මොනවත් කරල දීලා නැතිව මේකා ඇවිත් තියන දුර කියලා.

ඔබේ පියා ඇයි ඔබට එවැනි දායාදයක් නොදෙන්නේ?

මම තාත්තාගේ ඇගිල්ලේ එල්ලිලා ආපු කෙනෙක් නොවෙයි. හැබැයි මම තාත්තාව අධ්‍යයනය කලා. මගේ අයියට වඩා තාත්තා මාත් සමඟයි ගනුදෙනු කළේ. ගෙදර ඇතුළේ මෑන්ටු මෑන් ටෝක් කළේ මාත් එක්ක. අයියා අම්මාගේ පුතා මම තාත්තාගේ පුතා. තාත්තා එක්ක ෂෝ වලට සහයට ඩැනී හැටියට ගියේ මම. තාත්තා මට ජීවිතය හදාගන්න ගොඩක් ඇඩ්වයිස් දීලා තියෙනවා.

රෝහණ වීරසිංහගේ රෙකෝඩින් නිසා අපේ ගෙවල්වල එක කාලයක් බත් ඉදුණ යුගයක් තිබුණා. නමුත් රෝහණ අංකලුත් අපේ තාත්තාත් අතර ප්‍රශ්නයක් ඇති වී විරසක වීමත් සමඟ අයියවයි මාවයි එයාගේ වැඩවලින් අයින් කළා. දවසක් අපි ඔක්කෝම එකට කෑම මේසයේ කන ගමන් අයියා කිව්වා තාත්තා ගේ වැඩ නිසා අද රෝහණ අංකල් අපිව අයින් කරල දාලා අපිට දැන් වැඩත් නෑ කියලා. ඒ පාර තාත්තා මම දිහා බලල මෙහෙම කිව්වා. ජයන්ත හෙට රෝහණ වීරසිංහ මැරුණොත් ජයන්ත අනිද්දා ඉඳලා කාගෙ වැඩ ද ඔයා කරන්නේ කියලා. එතනින් මම දෙයක් ගත්තා. මම මගේ ඔප්ෂන් එක හදාගත යුතුයි කියලා. ලංකාවෙම ඉන්න සංගීත අධ්‍යක්ෂවරුන් හතර පස් දෙනාගෙන් කෙනෙක් වෙන්න මට පුළුවන් නම් ඒක තමයි මම කළ යුත්තේ කියලා. ලෙලුම් නැතුව මේ වැඩේ බෑ ලෙලුම් ඕනෙ කියන තැනට මම පත්වෙන්න ඕනේ. මගේ තාත්තා 1973 ඉඳලා 2012 වෙනකන් ‘ස’ ප්‍රසංග 1450ක් කළා. ඒ තාත්තාගේ මාස්ටර් ප්ලෑන් එක. තාත්තා කාටවත් බැන බැන හිටියේ නෑ. එයාගේ ගමන එයා ගියා. මට තාත්තා නැතිවුණා කියලා මගේ ගමන නතර කරන්නත් බෑ. මටත් ජීවිතයක් කියල දෙයක් තියනවා.

දුර ගමනක් පෙන්නුව ඔබේ තාත්තා සමඟත් ඔබ මතවාදාත්මක ගැටුමකට එක්වෙනවා. ඒක ඔබට වූ විශාල පාඩුවක් හැටියට දකින්නේ නැද්ද?

එතැනදී මට වුණ පාඩුවට වඩා මම බැලුවේ තාත්තාට වන යම් කරදරයකින් එළියට ගන්න. තාත්තා පොඩි විනාශයකට යනවා කියලා. අපේ තාත්තාත් හරිම දඩබ්බරයි. ඒ දඩබ්බරකම් තමයි අපිටත් තියෙන්නේ. ඒකයි ඇත්ත කතාව මමයි අයියයි ඒක තාත්තාට තේරුම් කරල දෙන්න ගිය වෙලාවේ තාත්තා අපි අකමැති තාප්පෙන් එහාට ගිහින් ඉවරයි. තාත්තා තමයි අපිව අත්හැර දැම්මේ. තාත්තා අපිට කතා කරල කිව්වා මගේ මරණයකටවත් උඹලා එන්න එපා කියලා. තාත්තා පුතා සම්බන්ධකම් මෙතැනින් ඉවරයි කියලා කතාව සරලයි. නමුත් තාත්තා ගේ ඔය කතාව අයියාට තදින් දැනුණා. තාත්තාගේ වැඩවල සංගීත අධ්‍යක්ෂවරයා වුණේ අයියා. ඒ නිසා අයියාට ගොඩක් කෙරෙන්න තිබුණු වැඩ අහිමි වෙලා ගියා.

තාත්තා දැඩි තීරණයක් ගත්තා ඒක එයාට හොඳ ඇති. නමුත් දරුවන්ව තාත්තාගෙන් ඈත් කරන්න නම් ඒ තර්ඩ් පාටි එක ආවේ එතකොට තාත්තාට හරි කෙනා නොවෙයිනේ ලැබිල තියෙන්නේ. තාත්තා අපිට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් සියලු දේ දුන්නා. තාත්තා වගකීම් ඉටු කරපු තාත්තා කෙනෙක්. ඒක මම වගකීමෙන් කියනවා. වික්ටර් රත්නායක කියන්නේ දරුවන්ට වගකීම් ඉටුකළ තාත්තා කෙනෙක්. නමුත් තාත්තා යුතුකම් කළා ද කියල මම දන්නෑ. යුතුකම් වෙනයි වගකීම් වෙනයි. තමන්ගේ දරුවෙක් යන ගමන දැක්කම ඕනෙම තාත්තා කෙනෙක් තමන්ට උපරීමයෙන් කළ හැකි දේ දෙන්න බලනවා. තාත්තාට එහෙම දෙන්න පුළුවන්කම තියෙද්දී එහෙම දුන්නේ නෑ. හැබැයි තාත්තා වගකීමෙන් බේරෙන්න වැඩ කරල තියනවා. ඒකට මම ගරු කරනවා. හැබැයි කාටවත් බෑ තාත්තාට චෝදනා කරන්න. තමන්ගේ අතේ හැන්ද තියන කොට දරුවන්ට දෙන්න ඕනෙ දේ දීලා ඉතුරු ටික බෙදන්නේ ඔහු කැමති පරිදි. දරුවෝ හතර දෙනාට දෙන්න තියෙද්දී තමයි ඔය තර්ඩ් පාටි එක ආවේ. ඇවිල්ලා අපිව තාත්තාගෙන් වෙන් කළේ.

තාත්තා තුන්වන පාර්ශ්වය අතට යාම සම්බන්ධයෙන් විවෘත මත දැක්වීමක් ප්‍රකාශ කළේ වික්ටර් රත්නායකන්ගේ ලේ උරුමක් කාරයන්ගෙන් ඔබ නේද?

වික්ටර් රත්නායකයන්ට දරුවෝ හැටියට හිටියේ මමත් අක්කල දෙන්නාත් අයියත් විතරයි. අද වෙන කොට ලොකු අක්කා, අයියා ජීවිතයෙන් සමු අරගෙන ගිහින්. අද ජීවතුන් අතර ඉන්නේ. මමත් පොඩි අක්කාත් විතරයි. අයියත් මමත් තමයි මේ ප්‍රශ්න වලදී විවෘත ප්‍රකාශයන් සිද්ධ කළේ. ඒ අතරිනුත් මම තමයි මේ ගැන දැඩිව මගේ අදහස කිව්වේ. ඒකට හේතුවක් තිබුණා. මගේ අම්මා මට පොඩි කාලේ කියල තිබුණා ලෙලුම් ඔයාට තාත්තා බයයි කියලා. මම අහනවා ඇයි කියලා. එතකොට අම්මා කියනවා ඔයා කතා කරන විධියට තාත්තාට අනික් පැත්තට කියන්න දෙයක් නෑ කියලා. මම පොඩි කලේ ඉඳලා පොයින්ට් එකට කතා කළ කෙනෙක්. තාත්තත් දඩබ්බරයි මමත් දඩබ්බරයි. ඒක මට ඇවිත් තියෙන්නෙත් තාත්තාගෙන්මයි. මට කවදාවත් කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලන් නෑ. මගේ වාසියට ප්‍රසිද්ධයට. ඒක මගේ දුර්වලතාවයක් ද කියල මම දන්නේ නෑ. තාත්තාගේ ආඩම්බරකම ඒ පුරුද්ද මටත් තියනවා වෙන්නත් පුළුවන්.

ඉදිරියේදී ඔබගේ බලාපොරොත්තු මොනවද?

ලංකාවේ ගායකයෙක් වෙනවා නම් තමයි හොඳ. වාද්‍ය ශිල්පීන් තමයි අද ගායකයන්ටත් වඩා වැඩිය ඉන්නේ. මට ලංකාව තුළ ගායකයෙක් වෙන්න වරම් ලැබුණොත් මම හොඳ දෙයක් කරනවා.

අද වෙන කොට ගායකයෙක් වෙන්න ඔබට වරම් ලැබිල නෑ කියල ද ඔය කියන්නේ?

මම හිතන්නෑ. ලෙලුම් ගායකයෙක් කියලා හඳුන්වන තැන් හරි අඩුයි. මගේ බෑන්ඩ් එකත් එක්ක ගිහින් මුල ඉඳල අගවෙනකන් මම සින්දු තිහක් විතර කියනවා. බෑන්ඩ් එකේ අනෙක් අයත් සින්දු කියනවා. මම සාමාන්‍යයෙන් වෙස්ටන් සින්දු සිං කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සිංහල විධියට ඇවිත් අමරදේව, වික්ටර් රත්නායක, ආත්මා ලියනගේ වගේම අද ඉන්න. බාචිලාගේ සින්දු ඩැඩී බෑන්ඩ් එකේ සින්දු කියනවා. ඊට පස්සේ රොක් පැත්තට බර සින්දු කියනවා. අන්තිමට බයිල සෙට් එකේ නිහාල් නෙල්සන්. එම් එස්. ප්‍රනාන්දු සුනිල් පෙරේරාගේ තියන බයිල ටිකත් කියනවා. බුකිං එක ඉවර වුණාට පස්සේ කට්ටිය අහනවා ලෙලුම් මෙච්චර කාලයක් ඔබ කොහෙද හිිටියේ කියල. අපි ඩ්‍රම කෙනෙක් කියලනේ දැනන් හිටියේ. මේ වගේ කෑපෑසිටි එකක් තියන කෙනෙක් අපි දැකලා නෑ ඇයි ඔයා සින්දු කියන්නේ නැත්තේ කියල අහනවා. මට සින්දු කියන්න එන චාන්ස් අඩුයි.

ලෙලුම් සී.ඩී. එකකුත් කළා නේද?

මට මතක හැටියට 2012 දී විතර ලෙලුම් කියල සී.ඩී. එකක් කළා. මම ඒක එළියට දැම්මේ තනියෙන් ෂෝ එකක් කරලා. නමුත් මට අද ඒ වගේ තනියෙන් ෂෝ එකක් කරන්න වත්කමක් නෑ. එදා ඒ ෂෝ එක මම කළේ මගේ හිතවත් වගේම තාත්තාගේ ළඟම හිතවතෙක් වූ ව්‍යාපාරික අනුර හේමචන්ද්‍ර මහතාගේ උදවුවෙන් වගේම මම අතින් මිලියන 2 1/2ක් යොදල මට ඕනෙ එක ෂෝ එකක් කරන්න. එහෙම කරගත්තොත් මම පෙන්වනවා ලෙලුම් කියන්නේ කවුද කියලා. ඒ පෙන්වන දවස තමයි මගේ දවස වෙන්නේ. කළොත් වැඩක් කරන්න ඕනේ කල්පවතින්න. හැබැයි ලංකාවේ නොවෙන්නෙත් අහන්න ඒක සද්ද දාල පටන් ගත්තට අන්තිමට මාසෙන් දෙකෙන් කරපු අයත් නෑ. කරපු තැනුත් නෑ. කරපු දේකුත් නෑ. ඕකයි ලංකාවේ වැඩවල හැටි. කලාවේ විතරක් නොවෙයි. හැම ක්ෂේත්‍රයකම දකින්න තියෙන්නේ ඔය පිළිවෙත තමයි.

ලෙලුම් කොහොමද පවුලේ තොරතුරු?

බිරිය සාරු නිරෝෂිනී ඇය ගෘහණියක් වශයෙන් ගෙදර කටයුතු බලා හදාගන්නවා. පුතා සෙනරු මැලේෂියාවේ රෙකෝඩින් ඉංජිනියර් උපාධිය කරනවා. මේ දවස්වල පුතා ලංකාවට ඇවිත් ලබන මාසේ නැවත මැලේෂියාවට යයි. පුතාටත් බෙර වාදනය හොඳට පුළුවන්. දුව දුලාරා ලීඩ් ඉන්ටනැෂනල් පාසලේ ඉගෙන ගන්නවා. දුව නැටුම්වලට දක්ෂයි. කලාව පැත්තෙන් දුව ආශා සින්දු කියනවාට වඩා ඩාන්සින් පැත්තට චන්දන වික්‍රමසිංහ ගුරුපියානන් ළඟ දුව නැටුම් ප්‍රගුණ කරනවා.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]