වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ගෙවුණු මාස කිහිපය තුළ අපේ වැඩසටහන් පෙළ ගැස්ම වෙනස් කළා

මෙරට රූපවාහිනී නාලිකාවක ආරම්භය සිදු වූයේ 1970 දශකයේ අග භාගයේය. එහෙත් ඊට පෙර රූපවාහිනී දර්ශන අප රටේ දක්වන්නට ඇතැම් විදේශිකයන් සමත්ව සිටි බව ඒවා නැරැඹූවන්ගේ මතකයයි. 1982 පෙබරවාරි 14 වැනි දින සමාරම්භ කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය ගමන අරඹන්නේ මෙරට බිහි වූ දෙවැනි රූපවාහිනී ආයතනය සේම රාජ්‍ය ආයතනය ද ලෙසයි. දශක හතරක් සපුරා හමාර කරමින් 41 වැනි සංවත්සරය සමරන මොහොතේ ජාතික නාලිකාව ලෙස එය ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතාගෙන් සරසවිය කළ විමසුමකි මේ...
දශක හතර පසුකරද්දි ජාතික රූපවාහිනියේ වෙනස කෙබඳුද?
මම සභාපතිධුරයට පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේ. ගෙවුණු මාස කීපය තුළ අපේ වැඩසටහන් පෙළ ගැස්ම වෙනස් කරගත්තා. අලුත් වැඩසටහන් ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුන්නා. පෙරවරු 6.00ට අලුත් වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. උදේ 7-8 හෝරාවත් ආකර්ෂණීය වැඩසටහනක් සඳහා වෙන් කළා. ඒ වගේම රටේ සංවර්ධන වැඩසටහන් ආදිය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට වැඩසටහන් වෙන් කළා.
අපි චැනල් අයි ඔස්සේ ඇතැම් විදේශීය චිත්‍රපට ආදිය විකාශය කරනවා. නේත්‍රා ඔස්සේ දකුණු ඉන්දීය චිත්‍රපට විකාශය කරන්නේ අපේ රටේ දෙමළ චිත්‍රපට නිෂ්පාදනයට තරම් හැකියාවක් නැති නිසා. අපි යම් රටක තානාපතිවරයකුට ආරාධනා කර ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇති කරගෙන මාසිකව සිනමා උලෙළ පවත්වන්න කටයුතු කරනවා. පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවත් සමඟ ඉරාන තානාපති කාර්යාලයේ සහයෝගයෙන් එරට චිත්‍රපට පහක උලෙළක් පැවැත්වුවා 6දා සිට10දා දක්වා. ඊළඟ මාසයේ එක්සත් ජනපද තානාපති සමඟ සාකච්ඡාවක් සූදානම් කර තිබෙනවා චිත්‍රපට උලෙළක් පැවැත්වීමට. තව රිච්මෑන් පුවර් වුමන් ටෙලි නාට්‍යය හඬකැවීම් කරගෙන යනවා ඉදිරියේ විකාශය සඳහා. තවත් කොරියන් ටෙලි නාට්‍යයක් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී අපේ සංස්කෘතියට ගැළපෙන ඒවා තමයි අපි තෝරා ගන්නේ.
41 සංවත්සරය යෙදෙන දිනය වෙනුවෙන් මෙවරත් අපි හැම වාරයකම කළා වගේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළා. පෙබරවාරි 14 පරිත්‍රාණ ධර්මදේශනාව සහ 25 නමකට දානමය පුණ්‍යකර්මය සිදු කළා. 13 වැනිදා සියලු ආගමික ස්ථානවල ආගමික කටයුතු කරන්න යෙදුණා. ඉරාන චිත්‍රපට උලෙළ කළා. ලංකාවේ සිනමා කර්මාන්තය පහත වැටී ඇති නිසා එය ඉහළ දැමීමේ අදහසින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ උපදෙස් මත සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9.30 සිට පැය භාගයක් එය නිර්මාණය කළ හැටිත් රාත්‍රී10.00 සිට චිත්‍රපටය විකාශයටත් කටයුතු යොදා තිබෙනවා. හෙට 17 වැනිදා සන්දේශය චිත්‍රපටයෙන් පටන්ගෙන වසර පුරාම විකාශයට රේඛාව වැනි චිත්‍රපට රැසක් ඒ සඳහා පෙළ ගස්වා තිබෙනවා.
25 වැනිදා සිට ජපාන නාට්‍යයකුත් රූපවාහිනියේ පෙන්වනවා. නාට්‍ය දෙකක් අපේ ආයතනික නිෂ්පාදකවරුන් විනිස් නිර්මාණය කරනවා. නාට්‍ය තේරීම් මණ්ඩලය මඟින් අනුමත නාට්‍ය පමණයි අප පිටතින් ගන්නේ.
සතියේ දින පහට දෙමළ, ජපන්, හින්දි, කොරියන්, සහ හින්දි භාෂා පහ උගන්වන්න පැයක් බැගින් වෙන් කළා.
41 වැනි සංවත්සරය වෙනුවෙන් ඒ වගේ වෙනස්කම් රැසක් අප ජාතික නාලිකාවේ වගකීම දරාගෙන කර තිබෙනවා.
සියලු ආයතන මුහුණ දෙන ආර්ථික අර්බුදය ඔබ ආයතනයට දැනෙන්නේ කෙසේද?
මේ වෙද්දි අවුරුදු දෙකක් පමණ රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නැතිවයි රූපවාහිනිය පවත්වාගෙන යන්නේ. අවුරුදු 38ක් පමණ භාණ්ඩාගාරයේ මූල්‍ය ආධාර යටතේ තමයි මේ ආයතනය පැවතුණේ. අද 840ක පමණ සේවක පිරිසක් අපට සිටිනවා. ඔවුන්ගේ මාසික වැටුප්වලට පමණක් මිලියන 80ක් වැය වනවා. රටම ආවරණය වන නාලිකාවක් හැටියට අපට ඇති මාසික පිරිවැය ඉතා ඉහළයි. එය මිලියන 160ක් පමණ වනවා. මේ තරගය අතර ඒ මුදල සැම මාසයකම ඉපැයිය යුතුයි. ඒ නිසා අපි අනවශ්‍ය වියදම් අවම කිරීමට කටයුතු කරනවා. එහෙත් ප්‍රේක්ෂකයාට වඩාත් වින්දනීය නිෂ්පාදන දෙන්න උත්සාහ කරනවා. අපේ දෙමළ ජනතාව වෙනුවෙන් නේත්‍රා නාලිකාවත්, ඉංග්‍රීසි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අයි නාලිකාවත් තිබෙනවා. අපේ ආයතනය තුළම පවතින් වෙනත් ආයතනයක් ලෙස පවතින රූ එන්ටර්ටේන්මන්ට් මඟින් අප අපේ නිෂ්පාදන අලෙවි කිරීමෙන් ආදායම් ඉපැයීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. අපේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන අනුග්‍රාහකත්වයත් අඩුවෙලා නාලිකා අතර තරගය වැඩි නිසා. මොන අසීරුකම් මධ්‍යයේ වුවත් අපි වැටුප් ගෙවීම සිදු කළා. සංස්ථාව දියුණු කරන්න ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඇති කර තිබෙනවා. මොන අභියෝග මැද වුවත් අපට පසුගිය වසර 40තුළ තිබුණු පිළිගැනීම පවත්වාගැනීම මූලිකයි. ස්වාධීන රූපවාහිනියට පසු ජාතික රූපවාහිනිය තමයි මෙරට පුරෝගාමී නාලිකාව වන්නේ.
භාණ්ඩාගාරයෙන් ලැබෙන මූල්‍ය ශක්තිය අහිමි වූ විට ගත යුතු පියවර ගැන මුලින් සැලැස්මක් තිබුණාද?
රූපවාහිනී සංස්ථාවත් ගුවන්විදුලියත් රජයේ පනත් අනුව හදලා තිබෙන්නේ. ඒ අවස්ථාවලදි හිතලා නැතිව ඇති භාණ්ඩාගාරයෙන් යැපීමක් නැති දවසක මොකද වෙන්නේ කියලා. අපේ ආයතනවලට කියන්නේ 'රජයේ හොරණෑව' කියලා. ඒත් සත්‍ය දැනගන්න වුවමනා වුණාම බලන්නෙත් අපේ නාලිකා.
සමහර පෞද්ගලික නාලිකාත් රජයේ වැඩ කරලා දෙනවා තමයි. ඒත් ඔබ දන්නවා නෛතිකව රජය සතු මාධ්‍ය ආයතන හතරක් තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය සහ ඔබ සේවය කරන ලේක්හවුස් ආයතනය. 2020 කෝවිඩ් ප්‍රශ්නය නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවුණ බව රහසක් නෙවෙයි. ඒ නිසා මේ ආයතනවලට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලත් අඩු වුණා. හැබැයි රූපවාහිනි පනත අනුව අපට හරි හම්බ කරගන්න අරමුදල් උපයාගන්න ක්‍රමවේද තිබෙනවා. කොවිඩ් ව්‍යසනය නිසා අපට ආදායම් ඉපයීමේ ක්‍රම ඇණ හිට තිබෙනවා තමයි. ඒත් අපට වගේම අනෙක් ආයතනවලටත් දෙන්න රජයට මුදල් නැහැනෙ. ඒ හැර නරක හිතකින් නෙවෙයි මුදල් නොදී ඉන්නේ. අපි අතිකාල දීමනා අඩු කර තිබනවා, සේවකයන්ට පහසු කාලයක් නෙවෙයි මෙය. වාහන පහසුකම් අඩුකරලා. ඒත් මෙහෙයුම් වැඩ අඩු කරලා නෑ ඒ වුණාට. මොකද රජය රට වෙනුවෙන් කරන වැඩපිළිවෙළ පිළිබඳ නිසි ප්‍රචාරය දීමේ වගකීමකුත් මේ ආයතනවලට තිබෙන නිසා. ඒ අතර ණයට වැඩ කරන්නත් එපා කියන තීරණයකුත් ආවානේ. ඒ සියලු තීන්දු තීරණවලට එකඟව, ඍජුවම මේ ආයතනයෙන් ජීවත් වන පවුල් 850ත් රැකගෙන, ඒ වගේම ජාතික නාලිකාව ලෙස අපෙන් රටට විය යුතු වැඩ කොටස කරන්නයි අපි උත්සාහ ගන්නේ. ඒ වෙනුවෙන් අප ගන්නා වැඩපිළිවෙළට වෘත්තීය සමිති කීපයේත් සහයෝගය අපට ලැබී තිබෙනවා මේ මොහොතේ.
මොනවගේ කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වැඩපිළිවෙළ ද ඔබ යෝජනා කර තිබෙන්නේ?
කෙටිකාලීනව අපි මුලින්ම පැවැත්ම තහවුරු කරගත යුතුයි. දිගු කාලීනව අපට සිදුවනවා අපේ මෙහෙයුම් වෙනස් කර පුළුල් කරගන්න. මොකද මේ වෙද්දි සැම දෙයක්ම රූපවාහිනී යන්ත්‍ර තිරය මතින් පමණක් නරඹන්නෙ නැති තැනට ලෝකයම පත්වෙලා. සියල්ල අපේ අතේ ඇති ජංගම දුරකථනයට රොක් වෙලා. ඒ නිසා යූටියුබය ඇතුළු නව මාධ්‍යවලට ගැළපෙන අයුරින් අපේ වැඩසටහන් විවිධාංගිකරණය කළ යුතුයි. අපට දිවයිනම ආවරණය වන ආකාරයේ විකාශ හැකියාවක් තිබෙනවා. එහි ගුණාත්මකබව තවත් ඉහළ නැංවිය යුතුයි.
ප්‍රේක්ෂාගාරය වැඩසටහන් මත වෙනස් වෙනවා. එල් එම් ආර් බී රේටිංස් අනුව අපි 80 ගණන්වල සිටි ස්ථානයෙන් පහළට ගිහින් තිබෙනවා කාලයත් සමඟ. ඒත් මේ වෙද්දි එල්එම්ආර්බී ආයතනයත් නෑනේ. රේටිං හදද්දිත් සමස්ත ජනයා නියෝජනය වන ආකාරයෙන් එය සිදු විය යුතුයි. බොහෝ අවස්ථාවල එවැන්නක් සිදුවන්නේ නෑ. කෙසේ වෙතත් අපේ ග්‍රාමීය ජනතාවගෙන් විමසා බැලුවොත් අපි තමයි ඉහළින්ම ජනතා ප්‍රසාදයට ලක්ව සිටින ආයතනය ඇතැම් වැඩසටහන්වලින්.
තරගකාරීත්වයට මුහුණ දීමේදී වැඩසටහන්වල ගුණාත්මකබව රැකගත හැකි වෙයිද?
ඇතැම් නාලිකාවල වැඩසටහන්වලට මම චෝදනා කරන්නේ නෑ. ඒත් අපට ඒ වගේ වැඩසටහන් කරන්න බෑ. දරුවන්ගේ අධ්‍යාපනය, අවබෝධය, රසඥතාවය වැනි දේ පිළිබද ජාතික වගකීමක් අපට තිබෙනවා. අපට ප්‍රවෘත්ති කියා බොරු, හිතළු, අනාගත වාක්‍ය කියන්න බෑ. ඒ ගුණාත්මක බව රැකගනිමින් යද්දි අපේ ගමන හෙමින් වන්න පුළුවන්. ඒ වගේම අපේ විෂයභාර ඇමැතිවරු අපට කියා තිබෙන්නේ රේටිං පස්සේ යන්න එපා කියලා. අපටත් බොළඳ වැඩසටහන් කරලා ජනතාව රවටගෙන රැස්කරගන්න පුළුවන් වුණා නම් ලේසියි. ඒත් අපි අපේ ආයතනයේ වගකීම ඉටු කරගෙන යන මේ ගමන අභියෝගාත්මකයි.
අපට තරගකාරීත්වයට මුහුණ දෙන්න බැරිකමක් කොහෙත්ම නෑ. මොකද අනෙක් හැම නාලිකාවක්ම රූපවාහිනිය සමඟ තරග කරනවා. උදාහරණයකට ගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති උත්සවය තනිකර ආවරණය කළේ අපි. ඇතැම් නාලිකා අපේ උපකරණ කුලියට ගන්නවා. ඒ සේවයත් අප කරනවා.
පෞද්ගලික නාලිකා පවත්වාගෙන යන්න තිබෙන පහසුකම් සහ අපට තිබෙන අපහසුතා බැලුවාම අපට තරගයක් නෑ. පෞද්ගලික නාලිකා පටන්ගත් දා සිටම එක සභාපතිවරයෙක් එක කළමනාකාරීත්වයක් යටතේ පවතින්නේ. ඒ සේවකයන් දන්නවා ඔහුගේ දැක්ම මොනවගේද කියලා. ඒත් රජයේ නාලිකාවකට එහෙම බෑ. හිතලා බලන්න පසුගිය අවුරුදු හතළිහට සභාපතිවරු කීදෙනෙක් වෙනස් වුණාද? අධ්‍යක්ෂ ජනරාල්වරු කීදෙනෙක් වෙනස් වුණාද? 2022 වසරට පමණක් පත්වුණ හතරවැනි සභාපති තමයි මම. ඊට කලින් තිදෙනෙක් ඉඳලා තිබෙනවා. මම කාටවත් දොස් කියනවා නෙවෙයි. ඒත් මේ වගේ දැවැන්ත ආයතන ඒ ආකාරයට ඇමැතිවරුන් මාරු වෙද්දි සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් මාරු කරමින් යද්දි ආයතනය එක අරමුණක ගෙන යෑම අපහසුයි. ඒ නිසා හොඳම සුදුසු සභාපති කෙනෙක් සහ කළමනාකරණ මණ්ඩලයක් පත්කර ඒ අයට අඩුම තරමින් අවුරුදු දෙකක්වත් ආයතනයක් කරගෙන යන්න දෙනවා නම් ගමනක් යන්න පුළුවන්. නැත්නම් අලුතින් එන කෙනාට විවිධ අය ඇති කරන ගිය ප්‍රශ්න විසඳමින් ඉන්න එක තමයි කරන්න තිබෙන්නේ. ඒ ගැටලුත් විසඳගෙන යන නිසයි මේ ගමන ප්‍රමාද වෙන්නේ. නැත්නම් ඇත්තටම අභියෝගයක් හෝ තරගයක් අපේ ආයතනවලට නැහැ.
උදාහරණයකට මේ ආයතනයේ මානව සම්පත ගත්තොත් අපේ ආයතනයෙන් පුහුණු වී ආරම්භය ලැබූ අය තමයි වෙනත් ආයතනවල පවා හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. මෙහෙන් ගිය අය ඒ නාලිකා වලත් ජාතික වගකීමක් සහිතව වැඩ කරන්න උත්සාහ කරනවා.
41 වසරක් ගෙවෙද්දි ආයතනික දියුණුව උදෙසා ගන්නා නව උපාය මොනවාද?
මම වැඩ බාරගන්න විට අපට වැටුප් ගෙවන්නත් බැරිවයි සිටියේ. එනිසා අපි විවිධ උපායමාර්ග ගනිමින් ඉන්නවා ආදායම් තත්ත්වයේ දියුණුව වෙනුවෙන්. (සිනාසී) සමහරු විවිධ ප්‍රචාරය කළාට රූපවාහිනිය කඩා වැටිලාම නෑ. වැටුණා කීවට එහෙම ඉන්න බෑ. මෙය අපට විතරක් වුණ දෙයක් නෙවෙයි. රජයේ ආයතනවල විතරක් නෙවෙයි, සියලු ආයතනවල ප්‍රචාරණ වැය අඩු කරලා තිබෙන්නේ. අපිටත් එය බලපානවා.
ඒත් අපි නැවත විකාශය කළ ටෙලි නාට්‍ය වෙනුවට අලුතෙන්ම ටෙලි නිර්මාණ කරනවා. අන්තර්ගතයන් වැඩිදියුණු කර තිබෙනවා. අලෙවි අංශයෙන් අඩුපාඩු රැසක් සිදු වී තිබුණා. අලුත් අලෙවි කළමනාකරුගේ සහායෙන් අනුග්‍රාහකයන් හමුවන්න අපි යනවා. පිරිවැය අඩු කිරීමට කොළඹ අවට බියගම ප්‍රදේශයේ අවුරුදු කුමරා කුමරි තේරීම කරනවා.
අයිඑම්එෆ් එකේ ප්‍රතිසංස්කරණවලට මේ ආයතන අයත් නෑ. ඒ නිසා එවැනි ප්‍රශ්න නෑ. මූල්‍ය දුෂ්කරතාවයෙන් මිදෙන්න අපිම කටයුතු කිරීමයි අවශ්‍ය. අපේ රන්තිලිණ ගිය වසරේ නැතිව ගියා. වෛද්‍ය පාරිතෝෂික නැතිව ගියා. සේවකයන් සහ වෘත්තීය සමිති එකතුව ආයතනය ගොඩගැනීමට අවශ්‍ය අදහස් ඉදිරිපත් කළා. අපි කණ්ඩායමක් හැටියට යන්නේ. වෘත්තිය සමිති පාලන අධිකාරිය සමඟ ගැටුම් ඇති කරගෙන නැහැ. මම ආව මාස හයට වෘත්තීය සමිති සමඟ සාකච්ඡා අටක් තැබුවා. සමහර චරිත ඉන්නවා මේ ආයතනය තුළම ඉඳගෙන අපට විරුද්ධව කතා කරනවා. ඒවා අපි එතරම් ගණන් ගන්නේ නෑ.
ආයතනයේ පෙර තිබුණු ණය ආදිය ගෙවමින් ඉන්නේ. සමහර අක්‍රමිකතා සිදුව තිබෙනවා පත්වීම්වලදි. සාමාන්‍ය පෙළවත් නැති අයට උසස්ම තනතුරු දී තිබුණා. සුදුසුකම් නැති සමහරු තනතුරු තුනහතර දරා තිබුණා. ඒ නිසා අපි සම්මුඛ සාකච්ඡා තබා සුදුසුකම් ඇති අයට තනතුරු ලබා දී බඳවාගැනීම් පටිපාටිය අනුව ඒ පුරප්පාඩු පුරවන්න කටයුතු කළා. පසුගිය දිනවල ඇතැම් අය ඉවත් වී ගිය කෙනෙක් අපට දොස් කියලා තිබුණා. ඉතින් ඒවාත් අපි කළමනාකරණය කරගෙන යනවා. මට හොඳ පළපුරුද්ද තිබෙනවා මේ පරිපාලන කටයුතු සම්බන්ධව. එය ප්‍රයෝජනයට ගන්නවා. බයවෙන්න එපා රූපවාහිනිය වහන්න දෙන්නේ නෑ.
නවීන තාක්ෂණය සහ තරගකාරීත්වය ඔබට බලපාන්නේ කෙසේද?
අපි මහන්සි ගන්නේ ආයතනයට තිබෙන ආකර්ෂණය වැඩි කරගන්න. එහිදී දරුවන්, කාන්තාවන් ගැන අවධානය දෙන්න ඕනෙ. මේ ආයතනයට සිංහලයන් ගැන විතරක් හිතලා වැඩ කරන්න බෑ. සියලු ජාතිකයන් සිටින රටක් ලෙස හිතලා ඒ අය ගැන වැඩි උනන්දුවක් දක්වන්න ඕනෙ. තයිපොංගල් දිනයට අපි වෙනම වැඩසටහනක් කළා. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබා ගන්න. ඔවුන්ගේ ඉල්ලීම පරිදි නේත්‍රා නාලිකාවේ විකාශ කාලය වැඩි කරන්න යාපනය කොකාවිල් ඇතුළු ප්‍රදේශවලට නොපෙනී තිබුණු ප්‍රශ්නය විසඳුවා. දෙමළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය කීපයක් අරගෙන ප්‍රදර්ශනය කරන්න කටයුතු කළා. දකුණු ඉන්දියානු චිත්‍රපටවල තිබෙන ප්‍රචණ්ඩකාරී දර්ශන අඩු නිර්මාණ තමයි අපි ගත්තේ.
ප්‍රවෘත්ති අංශය පෞද්ගලිකව මම අධීක්ෂණය කරනවා. රජයේ පුවත්වලින් පමණක් පුරවන්නේ නැතිව ජනතාවට සාධාරණ විදිහට පුවත් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. මම එන්න ටික කලකට කලින් පුවත් විකාශ කාලය වෙනස් කර තිබුණා. එයට හොඳ ප්‍රතිචාර තිබෙන නිසා එය දිගටම ක්‍රියාත්මක කරනවා. අපට පෞද්ගලික නාලිකාවල වගේ වැඩසටහන් යොදන්න බෑ. අපේ ටෙලි නාට්‍ය තේරීම් මණ්ඩලයේ හිටියේ බොහෝ ජ්‍යෙෂ්ඨ අය. ඔවුන්ගේ අදහස් තරමක් වැඩිහිටි වැඩි නිසා ඒ මණ්ඩලයට තරුණ අය යොදා ගන්න කටයුතු කළා.
අපේ යූටියුබට භාවිත කිරීම අමතක කළා වගේ තත්ත්වයක තිබුණේ. දැන් අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා නැවත කාර්ය මණ්ඩලය යොදලා වැඩසටහන් අප්ලෝඩ් කරන්න කටයුතු කරමින් යනවා. නිදහස් දින උත්සවය පවා අප ඒ ආකාරයෙන් කරන්න කටයුතු කළා.
ආයතනය තුළ පරිපාලන දුර්වලතා නිසා කලකිරීම් බහුලව දක්නට ලැබුණා. අනෙක නාස්තිය ඉතා ඉහළයි. නිෂ්පාදන කටයුත්තකදි අවශ්‍ය පමණට වඩා නාස්තිය වැඩියෙන් දකින්නට ලැබුණා. අපි ඒවා නතර කළා.
ඔබ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලෙස අත්දැකීම් බහුලයි?
අපට කොතරම් අත්දැකීම් තිබුණත් එය ආයතනයේ ස්වභාවය අනුව කොටු කරගන්න ඕනෙ. මගේ වැඩකටයුතු සැම විටම පිරිසුදුව, විනිවිදව කරන්නයි මම බලන්නේ. අපට විකාශ අධිකාරියක් අවශ්‍යයි යන දේ අපට තදින්ම දැනෙනවා. අලුත් නාලිකාවලට අවස්ථාව දෙන්නේ රූපවාහිනී පනත යටතේ ගුවන්විදුලි නාලිකාවකට ගුවන්විදුලි පනත යනතේ. එය වැරැදියි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් කෙටුම්පත් කළා.
ඔබ කියූ මගේ පළපුරුද්දෙන් තමයි මේ ප්‍රශ්න නිරාකරණය කරන්න හදන්නේ. කාර්මික සහයෝගය සහ සේවක සහයෝගය සමඟයි මම කටයුතු කරන්නේ. වැරැදි තිබෙනවා නම් ඒවා නිවැරැදි කරනවා.
අනෙක රජයටත් අවස්ථාවක් තිබෙන්න ඕනෙ තමන්ගේ අදහස් දක්වන්න. මොකද පෞද්ගලික නාලිකා මැතිවරණ ආදියේදී හැසිරෙන ආකාරය අප දැක තිබෙනවානේ. අපේ අභියෝගය තමයි කිසිදු ආධාරයක් නැතිව හෝ මෙය පවත්වාගෙන යෑම. ඒ සටනේ තමයි අපි නියැළිලා ඉන්නේ.
කවුරුහරි හිතනවාද දන්නේ නෑ සභාපති කෙනෙක් නැතුවට ආයතනය දුවයි කියලා. ඒත් එහෙම වන්නේ නෑ, හැබැයි පත් කරද්දි අරමුණක් දිය යුතුයි.
රූපවාහිනී නාලිකා සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔබ සිතනවාද?
ජාතික ප්‍රතිපත්ති සාපේක්ෂයි. අනෙක අපේ රටේ එහෙම දෙයක් බොහෝ දේවලට නෑනේ.
42වැනි සංවත්සරය වන විට රූපවාහිනිය ඔබ ගෙන යන්නේ කොතැනටද?
දැන් ප්‍රයිම් ටයිම් එකට ටෙලි නාට්‍ය ඕනෙමයි. වැඩසටහන් පිළිවෙළ හොඳනම් පමණයි අලෙවි අංශයේ අයටත් අවස්ථාව හරියට ලැබෙන්නේ ආයතනය පුබුදුවන්න. රියැලිටි වැඩසටහන්වලට විශාල මුදලක් වැය වන නිසා මුලින් ඒ මුදල් සොයාගනෙ ඉන්න ඕනෙ. හැබැයි අපි රාජ්‍ය සේවයේ අයට සහභාගී විය හැකි වැඩසටහනක් නුදුරේදී ඉදිරිපත් කරනවා. නුගසෙවණ වැනි වැඩසටහන් එලෙසම ගෙන යනවා. නැණ මිහිර වැඩසටහන, ශිෂ්‍යත්ව වැඩසටහන් කෙරෙනවා. දෙමළ ප්‍රේක්ෂකයන් ප්‍රශංසා කළා අප ඔවුන්ට කරන සේවයට. මේ මාර්තු අවසානය වන විට මිලියන 25ක් 30ක්වත් හොයන්න කටයුතු කිරීමයි අපේ අරමුණ. නාලිකාවේ ලාංඡනය පිළිබඳ ප්‍රශ්නයත් විසඳන්න මට හැකි වුණා. ඒ නිසා ඊළඟ වසර වන විට පවතින තත්ත්වයට වඩා හොඳ ගමනක් ගොස් තිබෙයි කියන විශ්වාසය තිබෙනවා.
එතෙක් ඔබ ප්‍රේක්ෂකයන්ට පවසන්නේ?
රූපවාහිනිය අතහැර යන්න එපා. අපි ඉහළම තැනට ආ යුගයක් තිබුණා. ජාතික රූපවාහිනිය ඒ තත්ත්වයට අපි යළි ගෙන එනවා. තාක්ෂණික අභියෝගත් ජයගන්නවා. වැඩසටහන්වල රසිකත්වය, විවිධත්වය, ගුණාත්මකබව වැඩි කරන්න අපි කටයුතු කරගෙන යනවා. දැන් බොහෝ විචාරකයන් පවා කියනවා වැඩසටහන් පෙරට වඩා හොඳයි කියලා. අපි ජාතික නාලිකාව මෙන්ම පුරෝගාමී නාලිකාවක් ලෙස අපට ඒ ජාතික වගකීම ඉටු කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ගැන විශ්වාසය තබා අප සමඟ රැඳෙන්න කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න