වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
දැන් මම විශ්‍රාම සුවයෙන් පර්යේෂණවලට කැපවෙනවා

මෙරට නර්තන කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවයක් සනිටුහන් කළ නර්තන කලාව වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරමින්, ඒ වෙනුවෙන් අතිමහත් සේවයක නියුතු වූ මහාචාර්ය මුදියන්සේ දිසානායකට නර්තන කලා ඉතිහාසයේ හිමි වනුයේ වැදගත් ස්ථානයකි. නර්තන ශිල්පියකු වශයෙන් ආරම්භ කළ සිය ජීවිතය, නර්තන කලා ආචාර්යවරයකු. ඒ පිළිබඳ පර්යේෂකයකු, ග්‍රන්ථ රචකයකු ගේ සිට නර්තන විෂය සම්බන්ධ මහාචාර්යවරයකු දක්වා ඔහු ගමන් කළ මාර්ගය එක් අතකින් මල් අතුල මාවතක් නොවේ. අප්‍රමාණ කැප කිරීම් කරමින්, හැකියාවන්, දක්ෂතාවයන් සමඟ පර්යේ්ෂණයෙන් සොයාගත් දේ අනාගත පරපුර වෙත, ආදරයෙන් දායාද කරමින්. සුවහසක් වූ ගෝලබාල පරපුරක් බිහි කළ ඔහුගේ මෙහෙවර මෙවන් පත් ඉරුවකට සීමා කළ නොහැකි ය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඉසිඹු ලබා සම්මානිත මහාචාර්යවරයකු වශයෙන් තවදුරටත් තම මෙහෙවර නර්තන කලාව වෙනුවෙන් සිදුකරන ඔහු මේ දිනවල සිය නවතම පර්යේෂණ ග්‍රන්ථ 4ක් එළිදැක්වීමේ වැඩකටයුතු වල නිතරව සිටී. මේ ඔහු සමඟ අප කළ කතා බහකි.
මෙරට නර්තන කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවයක් සනිටුහන් කළ නර්තන කලාව වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරමින්, ඒ වෙනුවෙන් අතිමහත් සේවයක නියුතු වූ මහාචාර්ය මුදියන්සේ දිසානායකට නර්තන කලා ඉතිහාසයේ හිමි වනුයේ වැදගත් ස්ථානයකි. නර්තන ශිල්පියකු වශයෙන් ආරම්භ කළ සිය ජීවිතය, නර්තන කලා ආචාර්යවරයකු. ඒ පිළිබඳ පර්යේෂකයකු, ග්‍රන්ථ රචකයකු ගේ සිට නර්තන විෂය සම්බන්ධ මහාචාර්යවරයකු දක්වා ඔහු ගමන් කළ මාර්ගය එක් අතකින් මල් අතුල මාවතක් නොවේ. අප්‍රමාණ කැප කිරීම් කරමින්, හැකියාවන්, දක්ෂතාවයන් සමඟ පර්යේ්ෂණයෙන් සොයාගත් දේ අනාගත පරපුර වෙත, ආදරයෙන් දායාද කරමින්. සුවහසක් වූ ගෝලබාල පරපුරක් බිහි කළ ඔහුගේ මෙහෙවර මෙවන් පත් ඉරුවකට සීමා කළ නොහැකි ය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඉසිඹු ලබා සම්මානිත මහාචාර්යවරයකු වශයෙන් තවදුරටත් තම මෙහෙවර නර්තන කලාව වෙනුවෙන් සිදුකරන ඔහු මේ දිනවල සිය නවතම පර්යේෂණ ග්‍රන්ථ 4ක් එළිදැක්වීමේ වැඩකටයුතු වල නිතරව සිටී. මේ ඔහු සමඟ අප කළ කතා බහකි.
ඔබතුමන්ගේ නවතම පර්යේෂණ ග්‍රන්ථ වලින්ම අපි කතාබහ ආරම්භ කරමු.
අලුත්ම පර්යේෂණ ග්‍රන්ථ 4ක් එළි දැක්වීමේ කටයුතු තමයි මේ දිනවල සිදුකරමින් ඉන්නේ. ඉදිරිමාස දෙක ඇතුළත මේ ග්‍රන්ථ පාඨකයා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
එක ග්‍රන්ථයක් තමයි ලංකාවේ මුද්‍රා නාට්‍ය ඉතිහාසය පිළිබඳ මම කළ පර්යේෂණයෙන් නිර්මාණය කළ ග්‍රන්ථය. ලංකාවේ මුද්‍රා නාට්‍ය උලෙළ පිළිබඳ මෙතෙක් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියවිලා නෑ. 1962 දී තමයි ලංකාවේ පළවැනි මුද්‍රා නාට්‍ය උලෙළ පවත්වල තියෙන්නේ. එදා ඉඳලා මෙතෙක් පවත්වපු අවසාන මුද්‍රා නාට්‍ය උත්සවය දක්වා වූ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් කළා. ‘මුද්‍රා නාට්‍ය ප්‍රවේශය’ කියලා.
ඒකත් එක්කම මම ලිව්වා ‘දෙවොල් දේව කාව්‍ය මංජරී කියල ග්‍රන්ථයක්. ඒකෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නේ දෙවොල් මඩුව කියන පහතරට ශාන්තිකර්මයේ ගායනා කරන කවි, මන්ත්‍ර, ස්ත්‍රෝත්‍ර, යාතිකා පිළිබඳ.
මම පොත් පත් කියවගෙන යද්දි සහ මේ විෂය පිළිබඳ අධ්‍යයනය කරත්දි මට දැනුණ දෙයක් තමයි තවමත් ලංකාවේ පත්තිනි ඇදහිල්ල ජනපි‍්‍රය කාරණයක් බව. ඒ වගේම වීරමුණ්ඩ දෙවියන් ඇදහිල්ලත් තියෙනවා විශේෂයෙන්ම සත් කෝරලය ප්‍රදේශයේ. මට මේ පිළිබඳ අධ්‍යයනය කරත්දි දැනුණා ලංකාවේ ‘පත්තිනි’ කියල කියන්නේ භාරතයේ ‘කන්නගී’ට. ඕන කෙනෙක් ඒක දන්න දෙයක්. ඒ වගේම ‘කෝවලන්’ තමයි ලංකාවේ වීරමුණ්ඩ දෙවියෝ විදිහට අපි අදහන්නේ. කෝවලන් කියන්නේ ඉන්දියාවේ ‘කන්නගී’ ගේ ස්වාමි පුරුෂයා. මේ ගැන මම විචාරාත්මක, පර්යේෂණාත්මක ග්‍රන්ථයක් කළා’ “කන්නගී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ” කියලා. ඒ පොතත් තව මාස 1 1/2 දෙකකින් නිකුත් වෙනවා. තවත් පොතක් මම රචනා කළා. ‘කුලය, බලය හා මිථ්‍යාව මත දෝලනය වන උඩරට ශාන්ති කර්ම’ කියලා. ඒකෙ ලංකාවේ ප්‍රචලිත සහ අප්‍රචලිත උඩරට ශාන්ති කර්ම පිළිබඳ විශේෂ විග්‍රහයක් මම කරල තියෙනවා.
අපේ උඩරට ශාන්ති කර්ම සම්ප්‍රදායේ කුලය කියන කාරණාව විශේෂයෙන් සම්බන්ධයි. ඊළඟට ඒක තුළ බලය කියන එක තිබෙනවා. බලය කියල කියන්නේ දෙවියන්ගේ බලය වගේම මිනිස්සුන්ගේ බලයත් තියෙනවා. ඒ කියන්නේ ‘කුල බලය.’ කිව්වම ගොවිගම කුලයේ ඇත්තන්ගේ බලය, ඊටත් එහා ගියාම උඩින් ඉන්න රදල කුලයේ අයගේ බලය, බෙර කුලයේ බලය, ඊටත් පහළ කුලවල ඇත්තන්ගේ බලය ආදිය. මෙහෙම බලනකොට බල අරගලයකුත් මේ අතර තිබෙනවා. නමුත් ඔවුන් ශාන්තිකර්ම පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි මම කුලය, බලය හා මිථ්‍යාව මත දෝලනය වන උඩරට ශාන්තිකර්ම පොත ලිව්වේ.
ඔබ තවමත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් නේද?
දැන් අවුරුද්දකට විතර උඩ දී මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ලැබුවා. දැන් මම සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක. දැන් මම මගේ සම්පූර්ණ කාලය වැය කරන්නේ පර්යේෂණ කාර්යයට. ග්‍රන්ථ රචනයට සහ නර්තන නිර්මාණයට. තව විශේෂ හේතුවකුත් තිබෙනවා. මේ 2023 වසරට මම ප්‍රසිද්ධ වේදිකාවේ නටන්න වෙලා අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. මම 1973 තමයි නව රඟහලින් ප්‍රසිද්ධ වේදිකාවේ නටන්න එන්නේ. ඒ වෙනකොට මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. වයස අවුරුදු 19යි. එතකොට ඒක රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය.
ඔබතුමාගේ ගුරුවරුන් වුණේ කවුද?
මගේ ගුරුවරුනුත් ඒ පළමු නාට්‍යයේ හිටියා. ඒ මුද්‍රා නාට්‍යය නිර්මාණය කළේ රංගනා තංගරාජා කියන මගේ ගුරුවරිය. රංගනා තංගරාජා කියන්නේ ඒ කාලේ ලංකාවේ ප්‍රකට සිනමා නිළියක්. භරත නාට්‍යම් රංගන ශිල්පිනියක්. ඇය තමයි දැන් දකුණු ඉන්දියාවේ හිටපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ටී. අර්ජුන් ගේ අම්මා. එයා දකුණු ඉන්දියාවේ ලොකු නිෂ්පාදකවරයෙක්. එතුමිය තමයි මගේ පළවෙනි ගුරුවරිය. එයාගේ මුද්‍රා නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. මම ශිෂ්‍යයෙක් වශයෙන් ඒකේ රඟපෑවා වගේම මගේ ගුරුවරු වුණු ඉඹුල්ගොඩ මහත්මයා, ඇස්. පණීභාරත මහත්මයා, කිරිගණිතා ගුරුන්නාන්සේ ආදීනුත් මේ මුද්‍රා නාටකයේ රඟපෑවා. මම තරුණ කොලු ගැටයෙක් වෙලා ඉන්නැද්දිම මට අවස්ථාව ලැබුණා. මේ ප්‍රවීණයෝ එක්ක රඟපාන්න. එදා මෙදා තුර දැන් අවුරුදු 50ක් මම ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතාගෙන ඉන්නවා මේ පොත් හතරක් එළිදක්වලා, තව නිර්මාණාත්ම ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා අවුරුද්දේ අන්තිමට. මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය බොහොමයක් විදේශ රටවල ඉන්නවා. මේ නැටුම් කලාවත් කරගෙන යනවා. දැනටමත් ඔවුන් මට කියලා තියෙනවා ඔවුනුත් මේකට සම්බන්ධ වෙනවා කියලා.
ඔබ ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් අවුරුදු 50ක්. ගෙවුණු කාලය තුළ අති විශාල ගෝලබාල පරම්පරාවක් හැදුවා. ග්‍රන්ථ රාශියක් රචනා කළා. ආපස්සට හැරිලා බලත්දි මොනවද හිතෙන්නේ?
ඇත්තටම මට හරි සතුටක් දැනෙනවා. හේතුව දැන් විශ්‍රාමික නිසා හරිම නිදහසකින් ජීවත් වෙනවා. දැන් තමයි මට තේරෙන්නේ පසුගිය කාලය තුළ මොනතරම් වගකීම් සම්භාරයක් ඔළුවේ දාගෙන හිටිය ද කියලා. ඒ සියලු දෙයින් බැහැර වෙලා දැන් ඉතාම නිදහසේ මගේ පර්යේෂණ කටයුතුවල යෙදෙනවා. ඒ අතර නර්තනයත් කරගෙන යනවා. මම පිහිටෙව්වා මහාචාර්ය මුදියන්සේ දිසානායක කලා පදනම කියලා පදනමක්. මොකද මම කරපු නිර්මාණ මගෙන් පස්සේ කවුරුහරි පවත්වාගෙන යන්න ඕන නිසා. ඒක පිහිටෙව්වේ 2009 වර්ෂයේදි. ඒ පදනමින් මේ අවුරුද්දේ මා වෙනුවෙන් තව උත්සවයක් සූදානම් කරනවා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා. ඒකට පූර්වගාමීව මම මේ මාර්තු 19 වැනිදා බිෂොප් රඟහලේදී රංගාභිෂේක 18 රංගාභිමානී කියලා ප්‍රසංගය පවත්වනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ.
කාලාන්තරයක් තිස්සේ ඔබලා මේ පවත්වාගෙන ආපු සාම්ප්‍රදායික නර්තන කලා අංග වර්තමානයට කෙතරම් වැදගත් ද? අනාගත පරම්පරාව ඒවා කොහොම පවත්වාගෙන යාවි ද යන්න පිළිබඳ ඔබේ අවධානය යොමු වෙලා තිබෙනවද?
මම කියන්නේ මේ රටේ ඉන්න ඕනම පුරවැසියෙක් සෞන්දර්ය විෂයක් ඉගෙන ගත යුතුයි. ඒ ඉගෙන ගන්න ඕන ඔහු හෝ ඇය එහි වෘත්තීය මට්ටමකට යන්න නොවෙයි. ඔහු තුළ රසවින්දනය ඇතිවෙන්න. පුද්ගලයෝ තුළ රසවින්දනය කියන එක ඇතිවෙන්න. පුද්ගලයෝ තුළ රසවින්දනය කියන එක ඇතිවීම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ විද්‍යාත්මක ක්ෂේත්‍රය මිනිස්සුන්ගේ පෝෂණය නොවුණොත් ඔවුන් හරි රළු මිනිසුන් බවට පත් වෙනවා. මේ නූතන සමාජයේ ලොකුම අර්බුදය තමයි මිනිසුන් සංවේදී නොමැති වීම. හරිම දරුණුයි. බෙල්ල කපලා යන්නේ ඒ හින්දනේ. හරිම නපුරුයි.නැත්තම් කිරි දරුවෝ දූෂණය කරන්නේ නෑනේ. මේ බෞද්ධ සංස්කෘතියක් තිබෙන රටක. 2500 ක ඉතිහාසයක් ගැන අපි කියනවා. එහෙම නම් එහෙම වෙන්න පුළුවන් ද ? අපේ අධ්‍යාපනයේ කොහේ හරි තැනක වැරැද්දක් තියෙනවා. මම යෝජනා කරන්නේ ඕනෑම රජයක් යටතේ වේවා ලංකාවේ සෑම පුරවැසියෙකුටම අඩු තරමේ 6 - 10 පන්ති දක්වා වත් සෞන්දර්ය අධ්‍යාපනය දියු යුතුයි. කියලයි.
දැන් ලංකාවේ නැටුම් කලාවට යොමුවන පිරිස වැඩියි. ඒ නැඹුරුව ලොකු ප්‍රවණතාවයක් බවට අද වනවිට පත්වෙලා ඉවරයි.
ඒ නැඹුරුව. ප්‍රවණතාවය සාම්ප්‍රදායික නර්තන කලාව ආරක්ෂාවීමට බලපානවද? නැත්ද? ඔබට කොහොමද ඒක දැනෙන්නේ?
ඉතා හොඳ ප්‍රශ්නයක් ඒක. එක පැත්තකින් මම අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. ඒකේ මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. මම ඉගෙන ගත්තේ බොහොම ගතානුගතික සමාජයක. මීට දශක පහකට එහා කුල ප්‍රශ්නය උග්‍රව තිබුණු, පරිසරයක, ඒ සමාජය හරිවෙනස්. නමුත් අද නූතන සමාජය බොහොම වෙනස්. අද හුඟ දෙනෙක් සාම්ප්‍රදායික කලාවට වඩා ජනපි‍්‍රය කලාවට තමයි යොමු වෙලා තිබෙන්නේ. මාධ්‍ය හරහා ජනපි‍්‍රය වෙන්න බලා ගෙන නටන නැටුම් සාම්ප්‍රදායික නැටුම් නොවෙයි. හැබැයි ඒ අයට ටික දවසක් ගියාම දැනෙනව මම නටන්නේ මොකක්ද කියලා. මොකද මූලයක් නැති නැටුමක් තමයි මම නටන්නේ කියලා ටික දවසක් යන කොට ඒ අයට තේරෙනවා. ඉතින් මම කියන්නේ ඒ නැටුමුත් තියෙන්න ඕන. මිනිස්සුන්ට විනෝද වෙන්න. රසවිඳින්න පුළුවන් විදියට. නමුත් ඒ අතරම තමුන්ට පදනමක් හදාගන්න ඕන නම් ශිල්පියෙක් විදියට සමාජයේ පෙනී හිටින්න ඕන නම් අන්න එතකොට සම්ප්‍රදාය ඉගෙන ගන්න ඕන. තමන්ට මේ රටේ ශිල්පියෙක් විදියට මැරෙන තුරාවට ඉන්න ඕන නම්, තමන් සාම්ප්‍රදායික කලාවේ මූලධර්ම ඉගෙන ගෙන ඒකේ යම් නිපුණභාවයකට එන්න ඕන. එතකොට තමයි ඔහුට හොඳ පදනමක් ඇතිවෙන්නේ. අන්න ඒ පදනම මත කරන නිර්මාණ තමයි රටේ පවතින නිර්මාණ බවට පත් වෙන්නේ.
ඔබේ ජීවිතේ අතීතයට හැරුණොත් මේ කලාව ප්‍රගුණ කළ යුතුයි කියන මූලය කොහෙන්ද ආවේ?
මම කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වාරියපොල ඡන්ද කොට්ඨාශයේ රන්දෙණිය කියන ඓතිහාසික ප්‍රාන්ත රජෙක් හිටිය ගමක උපන් කෙනෙක්. මට ඒක කොහොම ආවද කියන්න මම දන්නේ නෑ. පොඩි කාලේ ඉඳලම ඒකට කැමැතියි. ගෙදරින් විශාල විරෝධතා තිබුණා මම නැටුම් ඉගෙන ගන්නවට. මම පාරම්පරික කලාකරුවෙක් නොවෙයිනේ. එදා එහෙමයි. නමුත් අද නැටුම් ඉගෙන ගන්න දෙමාපියන් බලෙන් දරුවන්ව එක්ක යන්නේ. ඒක ඒ කාලේ එක කොට්ඨාසයකට සීමා වූ දෙයක්.
ඉතින් මම විශ්වවිද්‍යාලයට එනකොට මේ විෂය පිළිබඳ ගුණාත්මක පර්යේෂණ කරලා තිබුණෙ නෑ. මම නැටුම ඉගෙන ගන්න තමයි විශ්වවිද්‍යාලයට ආවේ. ඊට පස්සේ මම මගේ විෂය ක්ෂේත්‍රය වෙනස් කර ගත්තාට මගේ ශාස්ත්‍රපති උපාධියයි ආචාර්ය උපාධියයි කළේ සමාජ මානව විද්‍යාවත් එක්ක ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ. ඒක නිසා මගේ විෂය පථය පුළුල් වුණා. මොකද මම එකම තැනක ඉන්න කැමැති කෙනෙක් නොවෙයි. නැටුම විතරක්ම කර කර හිටියොත් සමාජයක් නෑ. ඒක නිසා මම යෝජනා කරනවා දැන් ඉන්න තරුණ තරුණියන්ට ‘ඔබ නර්තන ශිල්පියෙක්, ශිල්පිනියක් විතරක් වෙලා වැඩක් නෑ. උගත්, බුද්ධිමත්, දැනුම්වත් නර්තන ශිල්පිනියක් විය යුතුය. ඒකට හොඳම උදාහරණ තිබෙනවා. ඉන්දියාවේ ප්‍රකට නර්තන ශිල්පියෝ ශිල්පිනියෝ ගත්තොත් ඒ අය හොඳට විශ්ව විද්‍යලයට ගිහින් උපාධි ලබා ගත්ත අය. ඇකඩමික් පැත්ත බොහොම සාර්ථකව කරපු අය. බටහිර ලෝකය ගත්තත් ඒ තත්ත්වය සමානයි. ඒ නිසා මට හැමවෙලේම කියන්නේ දැන උගත් නර්තන ශිල්පියෙක්. ශිල්පිනියක් බවට පත්වෙන්න. එහෙම නම් හොඳට කියවන්න ඕන. නමුත් දැන් තියන ප්‍රශ්නය නම් කවුරුවත් පොත පත කියන්නෙ නෑ. ඕනෑම යහපත් සමාජයකට දැන උගත්භාවය ඇතිවෙන්නේ කියවීමෙන්.
ඔබ ඉගෙන ගන්න කාලේ කියවන්න ඔය විෂය සම්බන්ධයෙන් පත පොත දුර්ලභයිනේ. ඔබ කොහොමද ඔය කියන දැන උගත් භාවය ඇති කරගත්තේ?
හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. ඒක හරියටම හරි. මම ඉගෙන ගන්න කාලේ මට නැටුම් ගැන කියවන්න තිබුණේ පොත් තුනයි. සේදරමන් මහත්මයාගේ පොත් දෙකකුයි ගොඩකන්දෙනිය මහත්මයාගේ පොතකුයි තමයි තිබුණේ. මම තරුණයෙක් විදිහට කල්පනා කළා මේක එහෙම වෙන්න පුළුවන් ද කියලා. වෙන මුකුත් නැද්ද? කියලා ඒ නිසා මම ප්‍රථම උපාධිය කරල ඉවර වුණාට පස්සේ මේ පර්යේෂණ ක්ෂේත්‍රයට යන්න ඕන කියලා. මම ඊට පස්සේ ක්ෂේත්‍ර පර්යේෂණ විශාල ප්‍රමාණයක් කළා. ඒ ක්ෂේත්‍ර පර්යේෂණවලින් මට හොයාගන්න පුළුවන් වුණා. ශාන්තිකර්ම විශාල ප්‍රමාණයක් අලුතෙන්. මම ඒ තොරතුරු ගන්න හරියට දුක් වින්ඳා. මගේ පොත් පත් කියෙව්වොත් මගේ හැඳින්වීම්වල ලියල තියෙනවා මම වින්ද දුක. සාම්ප්‍රදායික ගුරුවරුන්ගෙන් මේ තොරතුරු ගැනීම ලේසි නෑ. පටිගත කරගන්න ලේසි නෑ. පටිගත කරනවා කියලා දැක්කම හයියෙන් බෙර ගහනවා. එතකොට අර ගායනා ඇහෙන්නෙත් නෑ. දෙබස් ඇහෙන්නෙත් නෑ. ඉතින් මට ඒ කලේ වාසනාවක් තිබුණා, විශ්ව විද්‍යාලයට ආපු දා ඉඳන්ම විදේශ ගත වෙන්න අවස්ථාවක් තිබුණා. ඒක නිසා මම එහෙදී හොඳ තාක්ෂණික මෙවලම් අරගෙන ආවා. මට හම්බ වුණු සල්ලි වලින් මම අරගෙන ආවේ හොඳ කැමරා, වීඩියෝ කැමරා, හොඳ ටේප් රෙකෝඩර්. මම ටේප් රෙකෝඩර් සාක්කුවේ දාගෙන තමයි විස්තර අහන්නේ. මට ඒ තාක්ෂණික වාසිය තිබුණ නිසා තොරතුරු එකතු කරන්න පහසු වුණා. මම මේ විඳින දුක ඊළඟ පරම්පරාවට නොදෙන්න මේ ටික මම එකතු කරලා තියෙනවා කියල හිතලා තමයි මුද්‍රණය කළේ.
අද වනවිට මේ ක්ෂේත්‍රය ගැන කොච්චර පොත් ලියලා ඇත්ද?
මේ වෙනකොට පොත් 53ක් ලියල තියෙනවා. ඒවා ශාන්තිකර්ම පිළිබඳ, නර්තනය පිළිබඳ, අපේ ග්‍රාමීය භාෂාව ගැන, සංස්කෘතිය ගැන, ජනශ්‍රැති ගැන ආදී වශයෙන් විවිධ විෂයන්ට පසුබිම් වෙලා තිබෙනවා. ඊළඟට අපේ ක්ෂේත්‍රයට තවත් අඩුවක් තිබුණා. ශබ්ද කෝෂයක. නර්තනය පිළිබඳ ශබ්ද කෝෂයක් නෑ. ඒ නිසා මම 2009 වර්ෂයේ ‘නර්තන වාග් කෝෂය’ කියලා ශබ්ද කෝෂයක් නිර්මාණය කළා. වචන එකතු කරලා වචන දහස් ගණනක් තියෙනවා. නර්තන ක්ෂේත්‍රයේ පාවිච්චි කරන සියලුම වචන සහ වචනවල තේරුම ඒකේ තිබෙනවා.
මම විශ්වවිද්‍යාල ගණනවක උගන්වලා තියෙනවා. මේ ඉගැන්වීමේදී තමයි මට තේරුණේ අපි පොත්පත් ලියලා ජනතාවට ඉදිරිපත් කරන්න ඕන කියලා. එතකොට තමයි මේ අය කියවන්න පෙලඹෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි මම පොත් පත් ලියන්න විශේෂයෙන්ම පෙලඹෙන්නේ. විශ්ව විද්‍යාලයේ උගන්වන තරුණ ආචාර්ය වරයෙක් හැටියට මට ඒ කාලේ හිතුණා මේ අපේ ක්ෂේත්‍රයට ළමයි වැඩිය එන්නෙ නෑ. අපි කතා කරන භාෂාවෙන් හැඳින් වුවොත්, ‘නැට්ටුවා’, බෙර කාරයා’ වැනි අපහාසාත්මක වචන වලින් තමයි මේ අය හඳුන්වන්නේ. මට හිතුණා ඒ තත්ත්වය වෙනස් කරන්න ඕන කියලා. මම ශාස්ත්‍රපති උපාධිය කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. ඒකට මම ලිව්වේ කොහොඹ කංකාරිය ගැන කරපු සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් ලියවුණු පර්යේෂණ ග්‍රන්ථයක්. 1988 මම ලිව්ව පළවැනි පොත ඒක. ඒකට මම රාජ්‍ය සාහිත්‍ය සම්මානයකුත් ලැබුණා. තොවිලයක් ගැන ලියපු පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණු පළවෙනි අවස්ථාව මේ. මම හිතනවා මම ඒ ශාස්ත්‍රපති උපාධිය ගත්තට පස්සේ නැටුම් ලෝකේ පොඩි පිබිදීමක් ඇතිවුණා කියලා. නැටුම් කරන අයට පශ්චාත් උපාධි ගන්නත් පුළුවන් නේද කියලා.
ඊළඟට නැටුම් ක්ෂේත්‍රයේ අයයි අනිත් ක්ෂේත්‍රවල උගතුන් අතරයි රික්තයක් තියනවා කියලා මට අවබෝධ වුණා. මම කළේ ආචාර්ය උපාධියක් කරන්න තෝ්රගත්තා. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සමාජ මානව විද්‍යා දෘෂ්ටිකෝණයෙන් අපේ රටේ ජන ජීවිතය ගැන. ආචාර්ය උපාධිය කලාට පස්සේ නර්තන ශිල්පියෝ විදියට ප්‍රසිද්ධ වෙලා හිටපු මට මුදියන්සේ ආචාර්ය උපාධියක් කළා ද? කියන තැනට ආවා. අන්න එතකොට සමාජයේ ඇහැ ඇරුණ මේ ක්ෂේත්‍රයෙනුත් ශාස්ත්‍රපති උපාධියත්, ආචාර්ය උපාධියක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අර වැහිලා තිබුණ දොර ඇරුණා. ඒ අතරම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් නිසා මට තනතුරු ඉල්ලන්න පුළුවන්නේ. මම මහාචාර්ය ධුරයට අයදුම් කළා මගේ පර්යේෂණවල ලකුණු වලින් මට මහාචාර්ය කම ලැබුණා. ලංකාවේ පළවැනි වතාවට නර්තන ශිල්පියෙකුට මහාචාර්ය ධූරයක් ලැබුණා. ඒකෙන් පස්සේ තමයි සමාජ මතයක් ගොඩ නැගුණේ නර්තන විෂයත්. අනෙක් විෂයන්ට සාපේක්ෂව ඉහළට යාහැකි විෂයක් බවට. අද මේ ප්‍රබෝධය තිබෙන්නේ ඒ හේතුව නිසා. මම හරිම සතුටක් තියෙනවා. ආපහු හැරිලා බලනකොට. ඉහළට පැමිණීමේ පාර මම ඔවුන්ට විවෘත කරලා දීලා තියෙනවා. දැන් හුඟ දෙනෙක් ඒ පාරේ යනවා.
ඔබගේ උප්පැන්නේ සඳහන් නමට ද මුදියන්සේ දිසානායක කියන්නේ?
මගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ දිසානායක මුදියන්සේලාගේ මුදියන්සේ දිසානායක කියලා. මම පාවිච්චි කරන්නේ මුදියන්සේ දිසානායක කියලා. ඒක මාරු කරන්න මට කීප දෙනෙක්ම ඒ කාලේ කතා කළා. උදාහරණයක් වශයෙන් අපේ පණීභාරත සර් අපේ ගෙදර ගිය වෙලාවක අපේ අප්පච්චිට යෝජනා කළා මගේ නම වෙනස් කරන්න. අපේ අප්පච්චි ඒකට දැඩි විදියට විරුද්ධ වුණා. එයට තරහ ගියා හරියට. ‘මහත්තයෝ’ මේ පුතා මගේ කිව්වා. මේ නම තිබ්බේ මමයි කිව්වා.
පණීභාරත සර් නරකට නොවෙයි කිව්වේ හිතවත්කමට. එයා හිතුවේ සර් ගේ නමක් එහෙම වෙනස් කරපු නමක් නිසා මේකත් වෙනස් කරමු කියලයි. එයත් මට හොඳක් කරන්න හැදුවේ. එතුමාගේ පැත්තෙන් එතුමා කළේ හොඳ යෝජනාවක්. පස්සේ මට කල්පනා වුණා මේ නමත් එක්ක තමයි මේ විෂය ගෙනියන්න ඕන කියලා. ඒ නිසා මම ඒ නම ඒ විදියටම පාවිච්චි කළා. අනෙක අපේ අම්මයි. අප්පච්චි එකතු වෙලා තිබ්බ නම අපි මොකට ද වෙනස් කරන්නේ.
ඔබ නැටුම් කලාව හදාරනවට තාත්තා මුලින් අකමැති වුණට පස්සේ හොඳ ප්‍රතිචාර දක්වන්න ඇති නේද?
නෑ. කවදාවත් නෑ. මම මහාචාර්ය වෙනකොට අප්පච්චි හිටියේ නෑ. නමුත් මම ආචාර්ය උපාධිය ගන්නකොට හිටියා. ඒ වුණාට අප්පච්චිගේ තීරණේ වෙනස් වුණේ නෑ. හැබැයි අම්මා මට විරුද්ධ වුණේ නෑ. අප්පච්චට හොරෙන් යටින් සහයෝගයක් දුන්නා. අප්පච්චි නැතිවන තුරු සහයෝගයක් දුන්නේ නෑ. එයාට ඕන කරලා තිබුණේ මම ඇඩ්වකේට් කෙනෙක් කරන්න. මම ඒක ගැන තරහක් හිතන්නෙත් නෑ. මොකද එයාගේ සමාජය සහ ලෝකය තිබුණේ මෙතන නොවෙයි.
ඔබ තවමත් නටනවද?
ඔව්. තවමත් නටනවා. තාමත් ‘නැට්ටුවා’ මා තුළ ඉන්නවා. හැම සෙනසුරාදා දවසම පුහුණුවීම් කරනවා. සුදර්ශී ආයතයේ මගේ පන්තිය තියනවා. එදාට ළමයිනුත් එක්ක මම නටනවා. මේ අවුරුද්දේ මගේ ෂෝ එකේදීත් මම නටනවා. ඒක නැතුව අපට ඉන්න බෑ. එකම දේ තියෙන්නේ වයසට යද්දි තාරුණයේ තිබුණ ජවය ශක්තිය අඩු වීම පමණයි.