‘ගාඩි’ හි ‘ටිකිරි’ගේ චරිතය මට ආශීර්වාදයක්

යොවුන් රංගන ශිල්පිනී ඩිනාරා පුංචිහේවා
පෙබරවාරි 16, 2023

 

මේ දිනවල තිරගත වන ප්‍රසන්න විතානගේ ගේ ‘ගාඩි’ චිත්‍රපටයට හිමිවෙන්නේ නොමඳ ජන ප්‍රසාදයක්. එක් දහස් අටසිය ගණන්වල කන්ද උඩරට රාජධානියේ වංශවත් රදල පවුලක් හා ගාඩි ජන සමාජය අතර ගැටෙන වස්තු බීජයක් පදනම් කර ගනිමින් ගොඩනැඟුණු ගාඩි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වූ ‘ටිකිරි’ ගේ චරිතයෙන් මෙරට සිනමා ක්ෂේත්‍රයට තවත් සුවිශේෂි හැකියාවන්ගෙන් යුත් සිනමා නිළියකගේ සම්ප්‍රාප්තිය සිදුවනවා.

ඇය උඩරට වංශවත් තරුණියකගේ සිට ගාඩි කුලයේ තරුණියක දක්වා එකම චිත්‍රපටයක අන්ත දෙකක රංගන පරාසයකින් යුත් චරිතයක් වන ‘ටිකිරි’ගේ චරිතය නිරූපණය කරනවා. ඇය ඩිනාරා පුංචිහේවා ය.

මෙවර අපගේ සංවාදය යොමු වූයේ ‘ගාඩි’ චිත්‍රපටය ප්‍රමුඛ කර ගනිමින් ඈ සමඟයි.

ප්‍රසන්න විතානගේ ගේ ‘ගාඩි චිත්‍රපටයේ’ ‘ටිකිරි’ වෙන්න අවස්ථාව ඔබට සැලසුණේ කොහොමද?

ඒක ඇත්තටම එක දවසකින් දෙකකින් සිදුවුණ දෙයක් නොවෙයි. මම පුංචි කාලේ ඉඳලම කලාව පැත්තට වැඩියෙන් කැමැත්තක් දැක් වූ කෙනෙක්. මම ඉස්කෝලෙ යන කාලේ ඉඳලම නාට්‍යවල රඟපාන්න සම්බන්ධ වුණු කෙනෙක්. ඉස්කෝලෙන් පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහාත් තෝර ගත්තේ නාට්‍ය හා රංග කලාව. එංගලන්තයේ ඉගෙනීමෙන් පස්සේ ලංකාවට ඇවිත් ඉන්නකොට තමයි ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ‘ගාඩි’ චිත්‍රපටයේ නළු නිළි තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මම ගියේ. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ තමයි මට මේ චරිතය ලැබුණේ. ඒක ලැබුණාට පස්සෙත් අපි මාස 08ක් විතර විවිධ පුහුණුවීම් වැඩමුළු කළා. මුලින්ම මම සම්මුඛ පරීක්ෂණයට යන්නේ 2018 වර්ෂයේ, මාස 08ක් වගේ කාලයක් අපි පුහුණුවීම් කරලා මාස 03ක් මේ චිත්‍රපටය රූ ගත කළා. එහෙම තමයි ඇත්තටම මට මේ ‘ටිකිරි’ කියන චරිතය ලැබුණේ.

ඔබට වේදිකාව තුළ පුහුණුවක් සහ අධ්‍යයනයක් තිබුණා. සිනමා මාධ්‍යය ඔබ හඳුනගත්තේ කොහොමද?

සිනමාවයි, වේදිකාවයි කියන්නේ ගොඩක් වෙනස්, වේදිකාවෙදි අපි හැඟීම් පෙන්වන කොට ගොඩාක් ලොකුවට පෙන්නුම් කරනවා. ඒක හරි සජීවි දෙයක්. සිනමාවට එහෙම නෑ. මේ මාධ්‍යය දෙකම හඳුනා ගෙන සිනමාවට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

මොකද වේදිකා රංගනය තුළ හොඳ හික්මීමක් තියෙනවා. ඒ හික්මීම දැනගෙන ඉන් වෙනස් මාධ්‍යයක් වුණු සිනමාවට ඒමට හැකි වීමෙන් සිනමාව තුළත් ඒ හික්මීම ඇතිකර ගැනීමට මට ලොකු අවස්ථාවක් වුණා ඒක.

ගාඩි ඔබේ පළවෙනි සිනමා අත්දැකීම්. දැන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?

ඇත්තටම මට හරිම සතුටුයි. පළවැනි නිර්මාණයටම මට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඒ ප්‍රතිචාරත් එක්ක බලනකොට මේක මගේ පළමු වැනි සිනමා නිරිමාණයද කියල හිතෙන තරමට ලැබෙන ප්‍රතිචාර වැඩිය.

ඔබ අධ්‍යක්ෂවරයා වූ ප්‍රසන්න විතානගේ ගෙන් මොනවාද ලබා ගත්තේ?

ප්‍රසන්න විතානගේ මහත්මයාගේ නිර්මාණයට දායක වෙන්න බොහෝ දෙනෙක් ආසාවෙන් බලා ඉන්නවා. එහෙම හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක් තමයි මට මේ හිමි වුණේ. ඒක මට ආශිර්වාදයක්. ඒක මට වාසනාවක්. මම ගොඩාක් සතුටු වෙනවා. එතුමාගේ නිර්මාණයකින් සිනමාවට එන්න ලැබීම ගැන. ප්‍රසන්න විතානගේ කියන්නේ ඉතාමත් දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක්. මම සිනමාව පිළිබඳ රංගනය පිළිබඳ සෑහෙන දේවල් ඔහුගෙන් ඉගෙන ගත්තා. ඔහු හරිම සුහදශිලී පුද්ගලයෙක්. රූගත කිරීම් කරන්න කලින් ඔහු නළු නිළියන්ව ඉතාමත් හොඳීන් තේරුම් ගන්නවා. ඊට පස්සේ තමයි ඔහු දර්ශන තලයට යන්නේ. ඔහු අපිව යොමුකළා, විවිධ අභ්‍යාස වලට අපිව ටේ‍්‍රනින් කළා. පොත් කියෙව්වා. සර්ගෙන් සෑහෙන දේවල් ඉගෙන ගත්තා. 1814 මේ කතාව ගැන දැනගෙන අපි ඉක්මනට රූගත කරමු කියලා මේ චිත්‍රපටය කළේ නෑ. සෑහෙන පර්යේ්ෂණයක් කරල තමයි අපි දර්ශන තලයට ආවේ. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. මං වගේ නවකයකුට මේ වගේ විශාල නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.

ඔබ මීට කලින් ප්‍රසන්න විතානගේව කියවලා තිබුණාද? ඔහුගේ නිර්මාණ ආශ්‍රය කරලා තිබුණා ද?

ඔව්. මම ගොඩක් නරඹලා තිබුණා. මම ‘ඉර මැදියම’ නරඹලා තිබුණා. ‘පුරසඳ කළුවර’, ආකාස කුසුම්, අනන්ත රාත්‍රිය වගේ චිත්‍රපට නරඹලා තිබුණා. ඒ නැරඹීමත් එක්ක මම ඔහුගේ නිර්මාණවලට කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත ඒ කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණාට කවදාවත්ම මම හිතුවේ නෑ ඔහුගේ චිත්‍රපටයක මට රඟපාන්න ලැබෙයි කියලා. මම ඔහුගේ ඔඩිෂන් එකට ගියාම මට ලැබුණා.

නොම්මරය 365. ඉතින් ඒ 365 න් මට ‘ටිකිරි’ කියන චරිතය ලැබුණා. එකත් ලොකු දෙයක්නේ.

මේ කතා වස්තුව 1814 සිදුවන ඉතිහාස කතාවක්. ඔබ අයිති වෙන්නේ ඉන් බොහෝ කාලයකට පසු එන පරම්පරාවකට. චරිතය ගොඩනඟන්න ඔබ මේ ඉතිහාසය හැදෑරීම කළේ කොහොමද?

1814 කාන්තාවකගේ චරිතය මට ලැබෙන්නේ. ඒ වගේම ඇය රදළ පවුලක කාන්තාවක්. කතාවේ හැටියට සැමියා අතින් වෙන අඩුපාඩුවක් නිසා රාජ උදහසට ලක්වෙලා ඇයට දඬුවමක් ලැබෙනවා.

ඒක නොකළ නිසා ඒ කාන්තා චරිතය රොඩී කුලයට පාවා දෙනවා. එදා සමාජයේ කාන්තා චරිතය ගොඩක් වෙනස්. නමුත් ඒ චරිතය අධ්‍යයනයෙන් පසු මම චරිතය තුළ ජීවත් වුණා. ඒ වෙනුවෙන් පර්යේ්ෂණ කළා. පොත් කියෙව්වා. තිර පිටපතේ ලියලා තිබුණ දේ අධ්‍යයනය කළා. ඒ නිසා මට ඒ චරිතය තුළ ජීවත් වෙන්න ලේසි වුණා. මේ ඓතිහාසික කතාව ඇතුළේ ආදර කතාවකුත් යනවා. මේ කතාව අදටත් අදාළයි. කුල භේදය දරුණුවටම තිබුණු යුගයක කතාවක්. නමුත් ආදරයට ඒ ජාති කුල මල බේද නෑ. ඒ වගේ දේවල් අදත් වෙනවා.

‘ටිකිරි’ ගේ චරිතය ගාඩි රැහට පිටමං වුණාට පස්සේ ඒ චරිතය ගොඩ නැඟෙන්නේ ගාඩි රැහේ තරුණයකු සමඟ. ඒ චරිතය නිරූපණය කළ සජිත අනුත්තරගෙන් ඊට ලැබෙන සහාය කොයි වගේ ද?

ඇත්තටම සජිත කියන්නේ මටත් කලින් සිනමාවේ අත්දැකීම් ලබපු කෙනෙක්. ඔහු සූරිය අරණ, අබා වැනි චිත්‍රපටවල පුංචි කාලේ ඉඳන්ම විශිෂ්ට විදියට රඟපාපු නළුවෙක්. සජිත මට ඉස්සරලාම මුණ ගැහෙන්නෙත් ගාඩි රඟපාද්දිමයි. දැන් එයා මගේ හොඳ යාළුවෙක්. ඒ යාළුකමත් එක්ක මේ ගමන යන්න අපට ගොඩාක් ලේසි වුණා. ‘විජය සහ ටිකිරි’ ගේ ආදර කතාව ගොඩනඟන්නත්. ඒ නිසා අපට පහසු වුණා. සජිතගෙන් මගේ චරිතය ගොඩනඟන්න විශාල හයියක් ලැබුණා. ඔහුගෙනුත් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා අපි දෙන්නා උපරීම ලෙස මේ චරිත දෙක කළා කියලා. සජිතට නටන්න පුළුවන්. ගායනයත් හොඳට පුළුවන්. කැලේ ඇතුළේ හොඳට දුවන්න පුළුවන්. පුංචි කාලේ සූරිය අරණ වගේ චිත්‍රපයක් කරලා ඔහුට හොඳ අත්දැකීම් තිබෙනවා.

විජය - ටිකිරි ආදර අන්දරය මේ චිත්‍රපටයේ මතු කරන්නේ හරිම සියුම් ආකාරයට නේද?

ඔව්. ඒක ප්‍රසන්න සර් ගේ දක්ෂතාවය. ඇස් වලින් හැඟීම්වලින් දිවෙන ආදරයක්. කොටින්ම කිව්වොත් ස්පර්ශයෙන් තොරව දිවෙන ආදරයක්. මට හිතෙනවා ඒක හරිම සියුම්, හැඟීම්බර, ප්‍රබල ආදරයක් කියලා. ඒ ගැන අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්වුණා කියලා මට හිතෙනවා.

ඔබේ චරිතය අන්ත දෙකකට දිවෙන්නක්. චිත්‍රපටයේ මුල් භාගයේ ඔබ උඩරට කුමාරිහාමි කෙනෙක්. පසුව ඔබ ගාඩි රැහේ ගැහැනියක් බවට පත්වෙනවා. මේ වෙනස නිරූපණය කරන්න උපදෙස් ලැබුණේ කොහොමද?

ඒක වැඩිපුරම වුණේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත. ඔහු වරින් වර මට ඒ පිළිබඳ විස්තර කරලා දුන්නා. අනිත් පැත්තෙන් මමත් රොඩී කුලයේ විවිධ චර්යාවන් ගැන අධ්‍යයනය කළා. අපි දන්නවා සමාජයේ රොඩී කුලයට අයත් පිරිසක් හිටියා කියලා. ඒත් අපි ඒ ගැන වැඩිය අධ්‍යයනයක් තිබුණේ නෑනේ. වැඩිදුර අධ්‍යයනය කරනකොට මමත් ලැජ්ජාවට පත් වුණා. අපි මේ තරම් පහත් අන්දමට ඇයි මේ අයට සැලකුවේ කියලා. ටිකිරි කියන චරිතය මේ චිත්‍රපටය තුළ ඉහළ සිට පහළට වැටෙන චරිතයක්. ඒකත් මම රංගන ශිල්පිනියක් හැටියට ගත්ත අභියෝගයක්. එකම චිත්‍රපටයක දෙයාකාර චරිත නිරූපණයක යෙදීමට හැකි වීම ගැන. ඒකත් විශාල ජයග්‍රහණයක් කියල තමයි මම හිතන්නේ.

ඇත්තටම ‘ටිකිරි’ කරද්දි අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දෙන්න වුණා ද?

ඔව්. හරියට තිබුණා. පළමුවෙන්ම ගත්තොත් අපි රූගත කරපු තැන්. විශාල කැලෑවක් මැද. කටු කොහොලින් පිරුණු ඝන වනාන්තරයක රඟපෑම. කලා අධ්‍යක්ෂණයෙන් පිරිසුදු කරලා කටු ටික අයින් කිරීමක්වත් සිද්ධ වුණේ නෑ. ස්වභාවික කැලය තුළ ස්වභාවිකවම අපි රූගත කළා. නොයෙක් වර මගේ කකුල් පවා තුවාල වුණා. ඒත් මම හිතන්නේ චිත්‍රපටය බලනකොට ඒ දේවල් සියල්ල අමතක වෙනවා. ඇත්තටම ලස්සනයි.

ඔබ වේදිකා නාට්‍ය පැත්තට යොමුවෙන්නේ කොහොමද?

ඉස්සරලම පාසල් වේදිකාවෙන්. මම ඉගෙන ගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයේ. පාසල් වේදිකාවෙන් මම හොඳම නිළිය සම්මානය ලබනවා. ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා බේදයකින් තොරව මම නාට්‍ය වල රඟපෑවා. ඊට පස්සේ තමයි මම උසස් අධ්‍යාපනයට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තේ. මම හිටියේ එංගලන්තේ ක්වීන් මේරී විශ්ව විද්‍යාලයේ. ඊට පස්සේ මම ඉන්දියාවේ Method Acting Foundation කෝස් එකක් කළා. ඊට පස්සේ මම කොළඹ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. රුවන් ඩි. චිකේරා වැන්නන්ගේ වේදිකා නාට්‍යවලට දායක වුණා. පස්සේ තමයි මට ගාඩි එකට සම්බන්ධ වෙන්න ලැබුණේ.

ගාඩිවලින් පසු චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැද්ද?

ගාඩිවලින් පස්සේ චිත්‍රපට 4ක් කරලා තියෙනවා. සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපට දෙකක් කළා. ‘ආශූ’ සහ ‘විහඟ ප්‍රේමය’ කියන චිත්‍රපට දෙක. ඊට පස්සේ ආචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘සහෝ’ චිත්‍රපටයේ රඟපෑවා. ‘රක්ෂා’ කියලා හින්දි කෙටි චිත්‍රපටයකත් රඟපෑවා.

ඔබේ අනාගතය තීරණය වෙන්නේ සිනමාව සමඟ ද?

ඔව්. අනිවාර්යනේම දිගු ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. මම පුංචි කාලේ ඉඳලම රංගන ශිල්පිනියක් වෙන්න තමයි කැමති වෙලා හිටියේ. ඒ හීනේ මගේ දැන් සැබෑ වෙලා.

ඔබේ මේ ගමනට ඔබට පූර්වාදර්ශ සපැයූ අය කවුද?

ලංකාවේ මම හරිම කැමැතියි ස්වර්ණා මල්ලවාරච්චි මැතිනියට. ඇයගේ රංගන ජීවිතයේ කළ අභියෝගාත්මක චරිත වලට. දඩයම, අනන්ත රාත්‍රිය ගත්තත් , සාගර ජලය ගත්තත් ඇයි නිරූපණය කරන්නේ ශක්තිමත් කාන්තා චරිත. ඒ වගේම ඇගේ පෞද්ගලික ජීවිතෙත් ඇය හරිම ශක්තිමත් ගැහැනියක්. මම හරි කැමැතියි ඇයට. මම ගොඩක් චිත්‍රපට බලනවා. මලයාලම්, හින්දි, ඉංග්‍රීසි මේ බොහෝ චිත්‍රපට ඇසුරු කරනවා. මට රංගන ශිල්පිනියක් හැටියට මේ හැම රංගන ශිල්පියකුගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා.

දැනට ඔබ වෙනත් වෘත්තියකට යොමුවෙලා ඉන්නව ද?

මම ජාත්‍යන්තර පාසලක නාට්‍ය උගන්වන ගුරුවරියක්. වෘත්තියක් හැටියට මම නාට්‍ය උගන්වනවා. සෙනසුරාදා - ඉරිදා ළමා නිවාසයකත් මම නාට්‍ය වැඩමුළු පවත්වනවා. ඒක මම කරන්නේ සේවයක් හැටියට.

ලංකාවේ සිනමාව ගැන ඔබට මොනවාද හිතෙන්නේ?

ඇත්තටම අවුරුදු 3ක වගේ කාලයක් අපිට නිහඬවම ඉන්න සිද්ධ වුණා. සිනමාවට අමාරුම කාලයක් ආවා. නමුත් මම හිතන්නේ දැන් චිත්‍රපට තිරගත වෙනවා. ප්‍රේක්ෂකයෝ ඒවා බලන්නත් එනවා. පොඩි පිබිදීමක් තියනවා කියලා දැනෙනවා. අනාගතය හොඳවෙයි කියලා විශ්වාස කරමු.

මේ ගමන එන්න ඔබට ඔබේ පවුලෙන් ලැබුණු සහයෝගය කොයි වගේ ද?

මට ලොකු සහයෝගයක් ලැබුණා. පුංචි කාලේ ඉඳන්ම තාත්තයි අම්මයි... නංගීයි, මල්ලියි ලොකු සහයෝගයක් දුන්නා. මම හිතන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මම ඉගෙන ගන්න යනකොට උපාධියට රංගනය ඉගෙන ගන්නවා කියන එක ඒ තරම් ගණන් ගත්ත දෙයක් නොවෙයි. සමහරු තාත්තට කිව්වා ඇයි ඒවා ඉගෙන ගන්නේ කියලා. නමුත් තාත්තා ඒ ගැන හිතන්නේ නැතුව මට ඉගෙන ගන්න ඉඩ දුන්නා.

ඔබේ පවුල අයට කලා පසුබිමක් තිබුණාද ?

නෑ. කිසිම දෙයක් නෑ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා එයාට සහයෝගය දැක්වූවා. හැබැයි කලාවට ආදරෙයි. තාත්තා චිත්‍රපට බලනවා. ඒ හින්දා අපිටත් පුංචි කලේ චිත්‍රපට පෙන්වූවා. මට පුදුමයි තාත්තා මම මේ පැත්තට හැරෙනවට කැමැත්ත දුන්නටත්. දැන් එගොල්ල මං ගැන හරිම සතුටු වෙනවා. හැම පුවත්පත් ආටිකල් එකක්ම තාත්තා තමයි එකතු කරලා තියෙන්නේ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]