වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මහාචාර්යවරියක වීමේ සිහිනය අතහැර සිනමාවට ආවා

හොඳ නිර්මාණ ලංකාවේ ප්‍රේක්ෂකයාට දායක කරන්න කැමැතියි
වත්මනෙහි මෙරටට හින්දි චිත්‍රපට ගෙන්වා බෙදා හැරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක නිරත වන කෞශල්‍යා වික්‍රමසිංහ ලංකාවේ සිද්ධිවිනායක් සිනෙආර්ට්ස් සමාගමේ සභාපතිනිය වශයෙන් ද කටයුතු කරයි. යෞවන වියේදීම සිය ජීවිතයේ සුවිශේෂ සිහිනයක් ද සමඟ ඉන්දියාවට යන කෞශල්‍යා අද වන විට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර කලාත්මක හා සංස්කෘතිමය වශයෙන් වැදගත් වූ පාලමක් සාදා තිබේ.
විශේෂයෙන් පසුගිය දා ඈ තවත් සුවිශේෂ කටයුත්තක් සමඟින් ඒ බැඳීම තවදුරටත් ශක්තිමත් කළ අතර ඒ පිළිබඳ කෞශල්‍යා වැඩිදුරටත් දැක් වූ අදහස් බලමු.
ඔබ පසුගිය දා සුවිශේෂ කටයුත්තක් සිදුකළා. ඒ ගැන ප්‍රථමයෙන් පැහැදිලි කරමු.
ඔව්. 1998 සිට මේ දක්වාම මගේ දෙවැනි මව්බිම වැනි ඉන්දියාව සමඟ මට තිබෙන සුවිශේෂ බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්න වාගෙම, ඒ බැඳීමට දක්වන ගෞරවයක් ලෙසත් පසුගිය ජනවාරි 26 දාට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනය අලළා සුවිශේෂ චිත්‍රපටයක් ලංකාවේ එළිදැක්වීමට කටයුතු කළා. එනම් මුළු ලෝකයේම කතා බහට ලක් වූ සුවිශේෂ චරිතයක් වූ මහත්මා ගාන්ධිතුªමන්ගේ ජීවන චරිතය අලළා නිෂ්පාදනය කෙරුණු ගාන්ධි ගොඩ්සේ චිත්‍රපටය උත්සවාකාරයෙන් තිරගත කරන්න කටයුතු කළා.
ඒ වෙනුවෙන් ජනවාරි 27 වැනිදා වන් ගෝල්ෆේස් හී ර්‍ථඅඍ සිනමා ශාලවේදී සවස හතට විශේෂ දර්ශනයක් පැවැත්වුවා. ඉන්දියන් තානාපති නිලධාරින්ට, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් පිරිසකට හා ජන මාධ්‍යවේදින්ට. මෙම චිත්‍රපටය ජාත්‍යන්තරව බෙදා හරිනු ලබන්නේ ඉන්දියාවේ රිලායන්ස් සමාගම සහ ර්‍ථඍඅ පික්චර්ස් සමාගම විසිනුයි. එසේම ඉන්දීය ර්‍ථඍඅ සමාගමේ අංශයක් ලෙස පවතින වන් ගෝල් ෆේස්හී ර්‍ථඍඅ සිනමා ශාලාවේ තමයි එදින මේ චිත්‍රපටය තිරගත කළේ. මේ චිත්‍රපටය ලංකාවේ බෙදාහරිනු ලබන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව වන අතර මම එහි ආනයනකරු ලෙසයි කටයුතු කරන්නේ. එසේම එම චිත්‍රපටයේ අයිතිය මා සතු වනවා.
මේ වනවිට ඔබ මෙරට සිටින හින්දි චිත්‍රපට මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ප්‍රමුඛ කාර්යභාරයක නිරත වන අයෙක්. නමුත් 1998 ඔබ ඉන්දියාවට පැමිණෙන්නේ වෙනත් සිහිනයක් රැගෙනයි. ඔබ වෙනස් මඟක් තෝරාගැනීමට හේතු පාදක වූ කාරණා පෙළ ගැසුණේ කොහොමද?
1997 ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා 1998 මා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා සංගීත උපාධිය හදාරන්න. හැබැයි මෙය අහම්බයක් ලෙස මා දකින්නේ නැහැ.
මම වයලිනය අතට ගන්නෙ හය වසරේදියි. එතැන් සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වාම හදාරන්නේ හින්දුස්ථානි රාගධාරි සංගීතයයි. කොහොමටත් පුංචි කාලෙ සිටම ඉන්දියානු රාගධාරි සංගීතය, ඉන්දියානු සංස්කෘතිය ඉන්දියානු සදාචාරය මෙන්ම ඉන්දියානු සභ්‍යත්වය ගැන මට හැඟීමක් තිබුණා. මට ඉන්දියාවට යන්න ඕනෑයි කියා අම්මාට පුංචි කාලෙ පටන් කියා තිබී තිබෙනවා. ඒ නිසා ඒ බැඳීම මට දැනෙන්න ගත්තේ මට ගොඩක් පුංචි කාලෙදීමයි.
මගේ අම්මා හොඳ කිවිඳියක්. රෝහිණී ගුණවර්ධන විශාල ප්‍රසිද්ධියක් ලබා නැතත් ඒ අවධියේ ඇය නිතරම වාගෙ පත්තරවලට ලියුවා. මගේ තාත්තා හොඳ කලාකාමී හදවතක් තිබුණු කෙනෙක්. හැබැයි වෘත්තීය කලාකරුවකු නොවෙයි. අපේ ගම වැලිගම.මාතර දිස්ත්‍රික්කයේ අපි සිටියේ. අම්මගෙ තිබුණු කවීත්වය, තාත්තාගෙ කාලාකාමීබව වෙන්නැති මට බලපෑමක් වුණේ. කුඩා කාලයේ ද සිටම කවදාවත් බටහිර සංගීතයට කැමැති වුණේ නෑ. ඉන්දියාවේ ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයේ සංගීතය විෂයක් විදිහට ඉගෙන ගන්න අතරතුරේ කවදාවත් මම හින්දි බස විෂයක් විදියට හැදෑරුවේ නෑ. අධ්‍යයන කටයුතු සියල්ල සිදු කෙරුණේ ඉංගී‍්‍රසි බසින්. මම හැදෑරුවේ හින්දුස්ථානී රාගධාරි සංගීතයයි. මම හින්දි ඉගෙන ගත්තේ ව්‍යවහාරයෙන්.
අදටත් මට හින්දි වදනක්වත් කියවන්න බෑ. හින්දි අකුරක්වත් ලියන්න බෑ. නමුත් හින්දි බස අසා, කතා කරන්න ඉගෙන ගනිමින් ඉක්මනින් භාෂාවක් ලෙස හොඳින් ප්‍රගුණ කළා.
ඉන්පසු මම 2001 වසරේ දී ලක්නව් හී භාත්ඛන්ඩේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වනවා, තබ්ලා හා වයලීන් වාදනය පිළිබඳ විශාරද විභාග සම්පුර්ණ කරන්න. නැවත 2003 වසරේ දී ලංකාවට පැමිණ මහරගම ගුරු විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීම ආරම්භ කර මාස හයක් එහි කටයුතු කරනවා.
නමුත් නැවත මම 2004 වසරේදී ඉන්දියාව බලා යනවා. එහිදී ඉන්දියාවේ ගී‍්‍රන්වුඩ් හයි ජාත්‍යන්තර පාසලේ හින්දුස්ථානී රාගධාරී සංගීතය පිළිබඳ අංශභාර ප්‍රධානී ලෙස කටයුතු කරන අතරේදීම වයලීන් වාදනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක ලෙස ගී‍්‍රන්වුඩ් හයි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේත් සේවය කළා. වෘත්තියෙන් සංගීත ගුරුවරියක්, බාහිර කථිකාර්යවරියක් ලෙස ඉඳද්දී චිත්‍රපට ක්ෂේත්‍රයට ඒම අහම්බයක්. ඉන්දියාවට යෑම නොවේ විශේෂත්වය. ඉන්දියාවට යන්න තිබුණා කොහොමටත්. එය ඉරණමේ තිබුණු දෙයක්නෙ. එහිදී සංගීතය හදාරා මහාචාර්යවරියක් ලෙස පැමිණීමයි මගෙ බලාපොරොත්තුව වී තිබුණේ.
ඒ අදහස ඔබව වෙන පාරකට හැරවුවේ කොහොමද?
සමන් වීරමන්, මගෙ ඥාති සොහොයුරා, එවකට චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළේ. ඒ වගේම ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු එවකට මට යෝජනාවක් කළා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සොයාගන්න උදවු කරන ලෙස. ඒ පිළිබඳ කතා කරද්දී එහි නිෂ්පාදක නවීන් ගුණරත්න මහතාත් සිහිපත් කළ යුතුයි. ඒ අනුව අපි මුම්බායි නගරයට ගොස් තරුණයන් එක්දහස් ගණනක් අතුරින්. හාරසිය පනස් ගණනක් තිර පරීක්ෂණයට ඉදිරිපත් කර ඒ අතුරින් සිද්ධාර්ථ චරිතයට තරුණයකු තෝරා ගනු ලැබුවා. ඒ තමයි ගගන් මලික්.
ගගන් මලික් සිද්ධාර්ථ චරිතයට සුදුසුකම් ලබන්නේ ඔබ නිසායි?
ඔව්. හැබැයි බොහෝ දෙනෙක් එය දැන සිටියේ නෑ. අපි මේ සඳහා ගොඩක් කැපවුණා. ඒ වාගෙම මේ චිත්‍රපටය සඳහා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චරිතයට සුදුසු නළුවා තෝරා ගනිද්දී මහා සංඝරත්නයේ මඟ පෙන්වීම ආශිර්වාදය ඇතිවයි එය කළේ. ඒ වගේම මේ කාරණය මුල්වරට එදා හෙළි කළේ සරසවිය පුවත්පතයි.
ඒ වගේම දේව්දත්ගේ චරිතයත් මමයි තෝරා දුන්නේ. ඔහු ගෞතම් ගුලාටි. දැන් ඔහුත් මුම්බායි සිනමාවේ දැවැන්ත චරිතයක්. ඔහුවත් ඔහුගේ පළමු පියවරට ඔසොවා තබන්න මුලික වුණේ මමයි.
මේ තිර පරීක්ෂණය සිදුවන අතරතුරදීම සුවිශේෂ යෝජනාවකුත් ඔබට ලැබෙනවා.
ඔව්. ඒ චිත්‍රපටයේ තිර පරීක්ෂණ යන අතරතුරේ බොලිවුඩයේ සමාගම් කීපයක් මට කතා කළා. ඔවුන්ගේ යෝජනාව වුණේ මේ කටයුතු අතරේ ලංකාවට හින්දි චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමේ කටයුත්තටත් දායක වන ලෙසයි. නමුත් ඒ මොහොතේ මට ඒ පිළිබඳ ලොකු තේරුමක් තිබුණේ නැහැ. හැබැයි එවකට චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වූ සමන් වීරමන් මගේ ඥාති සොයුරා මට ඒ පිළිබඳ අවබෝධයක් ඇති කළා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ නීති රෙගුලාසිවලට අනුකූලව චිත්‍රපට ගෙන්වා බෙදාහැරීමේ බලපත්‍රය 2007 වසරේදී ගනු ලැබුවා. ඒ යටතේ ඒ වසරේම මම පළමුවැනි හින්දි චිත්‍රපටය (දේතාලි) ලංකාවට ආනයනය කරනු ලැබුවා. ඒ යටතේ එදා මෙදා තුර චිත්‍රපට විශාල ප්‍රමාණයක් මා ලංකාවට ගෙනෙනු ලැබුවා.
ඒ යටතේ අති දැවැන්තම නිර්මාණ වූ ගජිනි (අමීර් ඛාන්) ස්ලම්ඩෝග් මිලියනෙයර් (ඔස්කා සම්මාන දිනූ) පා (අමිතාබ් බච්චන්) විශ්වරූපම් (කමල්හසන්) සූර්යවංශී, 83 ආදී චිත්‍රපට ගණාවක් ආනයනය කරන්නත් අපට හැකි වුණා. මේ වන විට මසකට චිත්‍රපට හතරක් විතර ප්‍රදර්ශනයට නිදහස් කරන්නත් අපට හැකි වෙලා තියෙනවා. දැනට මේ ක්ෂේත්‍රයේ ලංකාවේ සිටින හින්දි චිත්‍රපට මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ප්‍රමුඛතම අයකු වශයෙන් මේ අවස්ථාවේ ස්තූතිවන්ත විය යුතුයි, ඉන්දියාවේ රිලායන්ස් එන්ටටේන්මන්ට් සමාගමට, මධු එන්ටටේන්මන්ට් ටී සීරිස් වැනි සමාගම්වලට.
සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය සමඟ ඔබේ සම්බන්ධය පිළිබඳත් කතා කරමු.
සෙකන්ඩ් ෂෝ හේමාල් රණසිංහ සමඟ කළ චිත්‍රපටයක්. එය ශ්‍රී ලංකා ඉන්දීය සම නිෂ්පාදනයක්. එහි ශ්‍රී ලංකා නිෂ්පාදනයට තමයි මම දායක වුණේ. එය භාෂා දෙකකින් කළ නිර්මාණයක් එනම් දමිළ හා සිංහල භාෂා ද්විත්වයෙන් අපි මේ චිත්‍රපටය රූගත කළේ. ඒ භාෂා දෙකෙන්ම කතා කරන විදිහටයි. හේමාල් එහි සිංහල හා දමිළ යන භාෂා දෙකම කතා කරනවා. මෙහි හේමාල් ලංකාවේ රංගන ශිල්පියකු විදියට කටයුතු කළ අතර ලාංකීය කාර්මික ශිල්පීන් මේ චිත්‍රපටයේ වැඩ කළා. ඒ වගේම ඉන්දියානු රංගන ශිල්පීන් මෙහි වැඩ කළා. එහි සියලු රූපගත කිරීම් සිදුකරනු ලැබුවේ එංගලන්තයේයි. ඒ වගේම ලක්ෂ 800ක පමණ පිරිවැයක් දරා කළ චිත්‍රපටයක්. මීට මාස පහකට පෙර ලංකාවේ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල අප එය ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලැබුවා. ඉදිරියටත් එවැනි චිත්‍රපට කීපයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් (හින්දි සිංහල /හින්දි දෙමළ වශයෙන්) අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.
1998 විශාල සිහිනයක් සමඟ ඉන්දියාවට යන ඔබ 2007 දී සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනවා.
ඇත්තෙන්ම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වන්නේ 2007 වසරේදීයි. මීට වසරකට කලින් නැසී ගිය මගේ ඥාති සොහොයුරා සමන් වීරමන් කියන නිර්මාණකරුවා නිසායි එය සිදුවන්නේ. ඔහු හොඳ සාහිත්‍යවේදියෙක්. තිර රචකයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්. සංගීතය පිළිබඳ මහාචාර්යවරියක වී කටයුතු කරන්න සිහිනයක සිටි මාව සිනමා ක්ෂේත්‍රයට ඇදලා ගන්නේ ඔහුයි. හැබැයි අදටත් සංගීතයට ඇති ඇල්ම කිසිසේත් අඩු වී නෑ.
සංගීතයට සම්බන්ධ කටයුතු කිරීමත් අත්හැර නෑ. සිනමා ක්ෂේත්‍රයේ කටයුතුවල කාර්ය බහුල වුණත් සංගීතයට ඇති ඇල්ම නිසා ඕනෑම මොහොතක සංගීතය සම්බන්ධ කටයුත්තකට දායක වී කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය වෙනුවෙන් මගේ සොහොයුරා හට උදවු කර නැවත අධ්‍යයන කටයුතු සඳහා යන්න පැමිණි මාව බොලිවුඩය විසින් ඇද ගනු ලැබුවා. දැන් මෙය මගේ වෘත්තියයි. ඉන් මට මිදෙන්න බෑ. මම ලාංකිකයකු වුවත් මගේ දෙවැනි මව්රට ලෙස සලකන්නේ ඉන්දියාවයි. ඒ නිසා ඊට දැක්විය හැකි උපරීම ගෞරවය දී කටයුතු කරන්න මම කටයුතු කරනවා.
ඔබ මෙරටට හින්දි චිත්‍රපට
ආනයනය කර බෙදාහරින අයකු ලෙස ලාංකික ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය හඳුනාගෙන තිබෙන්නේ කොහොමද?
ගොඩක් හොඳයි. හින්දි චිත්‍රපටය දැන් අපේ හුරුවක්නෙ. 1970 ගණන්වල සිට මෙරටට හින්දි චිත්‍රපට මේ අයුරින්ම ගෙන්වීම සිදු වුණා. ඒ යුගයේ ජනපි‍්‍රයම චිත්‍රපට වූ ගීත්, එක් පූල් දෝ මාලි, ආරාධනා, මධුමතී ආදී චිත්‍රපට ගෙන්වා තියෙන්නේ කේ.කේ. ජක්ත්‍යාති, ශන්මුගරාජා වැනි අයයි. ඊට පසු ජනිත මාරසිංහ වැනි අය හොඳ චිත්‍රපට ගෙනාවා. මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2007 වසරෙන් පසුනෙ. ඒ වනවිට ඊ.ඒ.පී. වැනි සිනමාහල්වල ඉතාම සාර්ථකව දැවැන්ත හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. අදටත් නෙට්ෆ්ලික්ස්, ඇමසෝන් වැනි නාලිකා ඔස්සේ මෙවැනි චිත්‍රපට නැරඹිය හැකි වුණත් සිනමා හලකට ගොස් නරඹන පේ‍්‍රක්ෂකයන්ගේ අඩුවක් නෑ. කොරෝනා සමයේ පවා මම මේ අභියෝගය ජයගත්තා. සූර්යවංශී චිත්‍රපටය මම ගෙනාවේ කොරෝනා සමයේ. කොරෝනා වසංගතයෙන් පීඩිතව සිටි මිනිස්සු මුව ආවරණයක් නැතිව, නිවෙස්වලින් පිටතට යන්න බිය වී සිටි කාලයක්නෙ. එවැනි කාලයක චිත්‍රපටයක් නිදහස් කිරීම අවදානම් බව හිතුවතුන් කිව්වා. නමුත් අන්තිමේදී මිනිසුන් පුදුම වුණා. සිනමාහල් පිරී යන තරමට එය පේ‍්‍රක්ෂකයා වැලඳ ගත්තා. ඒ අවස්ථාවේ මිනිසුන් තුළ තිබූ මානසික පීඩනය සමනය කරගන්න මිනිස්්සු ඊට ඇදී ආවා. විශේෂයෙන් අවුරුදු විසි පහෙන් ඉහළ ප්‍රේක්ෂක පිරිස සිනමාහල් කරා පැමිණෙන බව අපට හඳුනාගන්න පුළුවන් වුණා. උපරීම පහසුකම් සහිත හොඳ සිනමා ශාලාවකට ගොස් හොඳ සිනමා අත්දැකීමක් ගන්න මිනිස්සු තවමත් කැමැතියි. මගේ දිවියේ මම විශාලම අවදානමක් ගත් අවධි කීපයක් තමයි කොරෝනා හා අරගලය සිදු වූ අවධි. නමුත් ඒ බාධක බිඳිමින් ඉදිරියට ගියා මිසක හින්දි චිත්‍රපට ගෙන්වීම නැවැත්වුයේ නෑ.
මේ සඳහා ඔබ දරන පිරිවැය අනුව ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අදහස මොකක්ද ?
ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ආනයනය පිළිබඳ දැනට තිබෙන පනත අනුව මණ්ඩලවලට 10%ක්, චිත්‍රපටය පෙන්වන සිනමාහලට 50%ක් සහ ආනයනකරුට 40%ක් වශයෙනුයි ආදායම් බෙදී යන්නේ. මෙය අභියෝගයක් වුවත් ඒ අවදානම ගෙන කටයුතු කරන කීප දෙනකු මා ඇතුළුව අපේ රටේ සිටිනවා.
ඒ කෙසේ නමුත් මම හරිම කැමැතියි හින්දි සිනමා ක්ෂේත්‍රය සමඟ වැඩ කරන්න.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ කටයුතු අතරේ චිත්‍රපට නිෂ්පාදන කටයුතුවල නියැළෙන්නත් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. එහිදී සිනමා ක්ෂේත්‍රයට මාව යොමු කළ මගේ සොහොයුරා නැසී ගිය සමන් වීරමන් මහතා ගෞරවයෙන් සිහිපත් කරවා සේම මගේ ඥාති සොහොයුරු, අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ පිළිබඳත් මා සිහිපත් කළ යුතුමයි. (බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අගමැති සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ හිටපු ලේකම්) මේ මොහොතේ උන්වහන්සේට මගේ හදපිරි ගෞරව පුර්වක ස්තූතිය පුද කළ යුතුමයි. අදත් මා හට අවවාද අනුශාසනා දෙමින් සෙවණැල්ලක් සේ සිටින්නේ උන්වහන්සේයි.
මේ දිනවල සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය සඳහා සුදානමින් නේද සිටින්නේ?
ඔව්. එහි දර්ශන වාර කීපයක් ඔස්ට්‍රේලියාවේ පවත්වන්න සුදානමින් සිටිනවා. එහිදී ඒ සඳහා අපට විශාල සහයක් ලබා දුන් කිත්සිරි කරුණාරත්න මහතාට ස්තූතිය පුද කළ යුතුයි. ඒ ගමනින් පසු නැවතත් රූපගත කිරීමක් සඳහා එංගලන්තයට යෑමට නියමිතයි. සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදකවරයා වන ගනේෂ් මහදේවන් මහතා එංගලන්තයේයි වෙසෙන්නේ. ඒ කටයුතුත් සමඟ දිගටම හොඳ නිර්මාණ ලංකාවේ පේ‍්‍රක්ෂකයාට දායක කරන්න කැමැත්තෙන් ඉන්නවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න