කලා පවුලක උරුමය නිසා ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තිබුණා

වේශ නිරූපණ ශිල්පිනී රෝෂිණී දිලීපා ෆෙරට්
පෙබරවාරි 9, 2023

 

බොහෝ නවකයන් ප්‍රවීණයන්ට ගරු කරනවා අඩුයි

සිනමා කලා පවුලකින් පැවත එන ඇය දක්ෂ වේශ නිරූපණ ශිල්පිනියකි. දැයෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී දොන් සිරිසේන සහ දමිතා සළුවඩන ඇයගේ මාමා සහ පුංචි අම්මා විය. ඇය වයස අවුරුදු 8දිම පාසල් වේදිකාවෙන් රංගනයට පිවිසියාය. ඉන්පසු තරුණ වියට එළැඹීමත් සමඟ ඇය රංගනයට සමු දී වෙනත්ම ගමන් මාර්ගයක් තෝරා ගත්තාය. ඉන් අනතුරුව ක්ෂේත්‍රය තුළ අත්‍යවශ්‍යම අංගයක් වන වේශ නිරූපණ අංශය ඈ තෝරා ගත්තා ය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුරේ හැදී වැඩුණු ඇය නමින් දිලිපා රෝෂණි ෆෙරට්ය.

දිලිපා රෝෂණී කියන නම කොහොමද ජනප්‍රියත්වයට පත් වෙන්නේ?

මම වයස අවුරුදු අටේදී තමයි ඒ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ කාලේ අපේ ගෙවල්වලට නළු නිළියෝ ගොඩක් කට්ටිය ඇවිල්ල යනවා. ඒකට හේතුව වෙන්නේ මගේ මාමා සහ පුංචි අම්මා සහ තව අංකල් කෙනෙක් හිටියා සංගීතයට සම්බන්ධ වෙලා. ඒ නිසා තමයි මමත් ක්ෂේත්‍රයේ ගොඩක් කට්ටිය හඳුනාගන්නේ. ඒ සියලු දෙනාගේ සම්බන්ධකම් නිසා මම පේපර්ස්වලට ජධමඥප නචඨඥඵ සහ ගොඩක් පැෂන් ෂුට් කළා. පාසල් වේදිකාවේ මම රංගනයේ යෙදුණා. ඒ ආරම්භ කරපු ගමන තමයි අද මම මෙතන ඉන්නේ.

 

පාසලෙන් සමු ගත්ත ඔබ රංගනයට පිවිසෙනවා වෙනුවට වෙනත් මාර්ගයක් නේද තෝරගත්තේ?

අපේ ගෙවල්වල නිතර ඇසෙන්නට ගත්තා ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගන්න පුළුවන් කියලා වේශ නිරූපණ ශිල්පියෙක් වුණොත්, සැලෝන එකක් වගේ දාගත්තාම හොඳ ආදායම් මාර්ගයකුත් තියෙනවාය කියලා. මේ කියපු දේවල් නිසා මට ඇත්තටම ආසාවක් ඇති වුණා. කවදාහරි ජීවත් වෙන්නත් මාර්ගයක් ඕනේ ඒ නිසා මම වේශ නිරූපණ ශිල්පිනියෙක් වෙනවා කියන එකයි. ඒ ආරම්භ කරපු ගමන හරිම වෙහෙසකර වුණා. ඒ ආපු ගමනේ මහන්සිය අද මම ගොඩක් ඉස්සරහට ඇවිල්ල මගේ නම කියන තැනට පත්වුණා.

වේශ නිරුපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නට ඉස්සෙල්ලා ඔබේ ප්‍රායෝගික අත්දැකීම් ගැන කියන්න කැමතිද?

මම පාසලෙන් සමුගත්තාට පස්සේ මේ ක්ෂේත්‍රයට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් පාඨමාලාවන් ලෙස හැදෑරුවා. ඒ සදහා ගුරුවරු කිහිප දෙනකු සමඟම කටයුතු කළා. මේ කාලසීමාව තුළදීම මම ටැලන්ට් ෆැක්ට්‍රියේ රැකියාවක නිරත වුණා. රැකියාව සහ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු මම සමබරව ඉන්පස්සෙ කරගෙන ගියා.

ටැලන්ට් ෆැක්ට්‍රියේ ඉඳගෙන ඔබ පිම්මක් පැන්නා නේද?

ටැලන්ට් ෆැක්ට්‍රියේ වැඩ කරනවා දැකලා නිමල් සුබසිංහ මහත්තයා මට සිරස මාධ්‍ය ජාලේට මේකප් ආටිස්ට් කෙනෙක් ලෙස වැඩ කරන්නට කතා කළා. නිමල් සුබසිංහ මහත්තයා යටතේ මම 2012 වෙනකන් සිරස මාධ්‍ය ජාලයේ වැඩ කළා. ඒ කාලේ මම කලා ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ සහ ආධුනික කලාකරුවන් හඳුනා ගත්තා. සිරස මාධ්‍ය ජාලයේ වැඩ කරන කාලය තුළදී වේශ නිරූපණය කරපුවා දැකලා සිරසේ හිටපු ගොඩක් දෙනෙක් අලුත් චැනල් එකක් පටන් ගන්නවා ඒකට එන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මම හිතුවේ ඒ දවස්වල එහෙම කියනකොට විහිළුවට මේ කට්ටිය කියන්නෙ කියලා. කොහොමහරි වැඩේ ඇත්ත වුණා.

 

සිරස නාලිකාවේ හිටපු ඔබ ඊළඟට යන්නේ මොන නාලිකාවට ද?

එදා මම සිරසෙ ඉන්න විට අලුතෙන් පටන් ගන්නවා කියපු නාලිකාවට තමයි මම යන්නේ. ඒ නිමල් ලක්ෂපතිආරච්චි මහත්තයා පටන් ගත්ත ‘හිරු’ නාලිකාවටයි. ඒ ආපු ගමන මම ඉතාලි යනකම්ම වැඩ කළේ හිරු නාලිකාවේ. හිරු නාලිකාව පටන් ගත්තට පස්සේ අපි වැඩ කළේ ෂිෆ්ට් එකටයි. ඒ නිසා නාලිකාවේ කරන සියලුම වැඩ සටහන් වලට වේශ නිරූපණයෙන් දායකත්වය දෙන්න වුණා. ඒ වැඩ කරපු විදිහට විවිධ අත්දැකීම් ලැබුවා. ඒ නිසා මගේ ගමනට ලොකු රුකුලක් වුණා ඒ නාලිකාව.නාලිකාවේ උදේම පටන් ගන්නේ morning show  එකෙන් ඉවර වෙන්නේ News එකෙන්ය. මේ කාලෙදිම පටන් ගත්ත හිරු ස්ටාර් සහ ඩාන්ස් ස්ටාර් හැඩ වුණේ මගේ අතින්.

 

දැනට නිර්මාණ කීයකට විතර දායකත්වය දීලා තියෙනවද?

එහෙම ගණන් කරල මට කියන්න බෑ මෙච්චරයි කියලා. මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ morning show  එකේ ඉදන් නිවුස් එක දක්වා දවසේ වැඩ කොටස සියල්ලම නාලිකාවේ කරනවා. ඉන් අනතුරුව මම වේදික නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමාපට කිහිපයකටම දායකත්වය දීලා තියෙනවා. wedding, birthday   සහ commercial වලටත් දායකත්වය උපරිම මං දීලා තියෙනවා. සියලුම ක්ෂේත්‍රවලට මගේ අත් දෙකෙන් වේශ නිරූපණය සිදු වෙලා තියනවා. සලෝන්වල කරන වේශ නිරූපණය යි කලා ක්ෂේත්‍රය තුළ කරන වේශ නිරූපණයයි දෙකක්. මේ දෙක දෙවිදිහක් නිසා හොඳ අවබෝධයෙන් ඉගෙන ගත යුතුය. මනා ප්‍රායෝගික පුහුණුවක් තිබිය යුතුයි. නිළි රැජන මාලිනී ෆොන්සේකා ගේ සිට රවීන්ද්‍ර රන්දෙණිය හා අද සිටින ජනප්‍රියම නළුවා දක්වා මගේ අතින් වේශ නිරූපණය සිදුවෙලා තියෙනවා. මේ සියලු දෙනාත් එක්කම මගේ තියෙන්නේ හරිම ළෙන්ගතු බැඳීමක්.

 

මාමා සහ පුංචිගේ අඩි පාරේ යන්න හිතුණේ නැත්තේ ඇයි?

මුලදිම මට හිතුණේ වේශ නිරූපණ ශිල්පිනියක් වෙන්න. මට රඟපාන්න එච්චර ආසාවක් තිබුණෙ නෑ. පාසල් කාලයේදී මම හොඳට රඟපෑවා. පවුලේ ගොඩක් දෙනෙක් හිතුවා මම රංගනයට පිවිසෙයි කියලා.රංගනයෙන් පසෙකින් තැබුවත් ක්ෂේත්‍රයේ නියැළුණා. ඒත් එක්කම විවාහ ජීවිතයෙන් පස්සෙ ගොඩක් දේවල් වෙනස් කරන්න සිදු වුණා. මගේ ස්වාමියා ඉතාලියේ පදිංචි වෙලා වෙලා ඉන්නේ. අපිට යම් යම් බැඳීම් එක්ක කරපු කියපු දේවල් සමහරවිට අතාරින්න සිදුවෙනවා. මොකද ජීවිතේ තිරණාත්මක දේවල් වෙනුවෙන් කැප කරන්න වෙනවා. ගැහැනියකුට ආරක්ෂාව සහ පවුල් සංස්ථාව කියන එක අපේ සමාජයේ ඉතාම වටිනා දෙයක් නිසායි.

 

ආධුනික වේශ නිරුපණ ශිල්පීන් සහ ප්‍රවීණයන් අතර ක්ෂේත්‍රයේ බැඳීම මොනවගේද?

අලුතෙන් ක්ෂේත්‍රයට එන ආධුනික වේශ නිරූපණ ශිල්පීන් ක්ෂේත්‍රය ගැන ගොඩක් අවබෝධයකින් තොරව තමයි එන්නේ. ඒ එන සියලු දෙනා අතරින් හොඳ දක්ෂ පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම කළ යුත්තේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් ලබා දීමයි. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය සහය වේශ නිරූපණ ශිල්පීන් ලෙස ආපු අය තමයි අද ඉන්නේ. ඒ සියලු දෙනා හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ මොකද හොඳ ප්‍රායෝගික අත්දැකීම් තියන නිසායි. සමහරක් පිරිස් වලට අවබෝධ කරල දෙන්න අමාරුයි. ඔවුන්ගේ ලෝකයේ ඔවුන් ජීවත් වෙන්නේ. ප්‍රවීණයන්ට ගරුකිරිම් ඒ සියලු දෙනාගේ ම අඩුයි. අපි පුරුදු වෙලා හිටියේ අපේ පුටුව ළඟ ඇවිල්ල ඉඳගන්න සියලු දෙනාටම ගරු කරන්න. වෘත්තියේ ගරුත්වය රැකෙන්නේ එවිටයි. අපි කලා පවුල්වලට සම්බන්ධ වෙලා ආපු නිසා අපි ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ආවේ. ඒ කාලේ අපිට ප්‍රවීණයන් උදව් කළා. අපි දන්නැති දේවල් අහලා ඉගෙන ගත්තා. ඒ නිසා අපිට හැම දෙයක්ම ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව ලබාගන්න පුළුවන් වුණා. අලුතින් එන සියලු දෙනාම ප්‍රවීණයන් එක්ක බැඳීම් ඇති කරගන්න කැමැත්තක් දක් වන්නේ නැහැ. ඒක හරිම කනගාටුදායක දෙයක්. ආධුනිකයන් ගෙන් මෙන්ම ප්‍රවීණයන්ගෙන් ද මම නම් තාම වේශ නිරූපණය විතරක් නෙවෙ හැම පැත්තෙන්ම ඉගෙන ගන්නවා.අද එහෙම කලා ක්ෂේත්‍රයේ නිහතමානී බව නැත්තේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.මුල් කාලයේ මට මේකප් කරන්න ලැබුණේ නෑ .ඉස්සල්ලාම කළේ අත පය වල Foundation  එක ගාන්න විතරයි. එහෙම ලොකු කැපකිරීමක් කරලා තමයි අද මෙතැනට ඇවිල්ලා ඉන්නේ. අද එන අයට ඉස්සෙල්ලාම ඕනේ මේකප් එක දාන්නයි.

 

මේ පවතින ආර්ථික අර්බුද රටාවත් එක්ක කලා ක්ෂේත්‍රයේ වේශ නිරූපණ ශිල්පිනියකට ජීවත්වීමට හැකි පරිසරයක් තියෙනවද?

ඉස්සෙල්ලා නම් කලා ක්ෂේත්‍රයේ හොඳ වටපිටාවක් සැකසිලා හොඳ ආදායම් මාර්ගයක් තිබුණා හැමෝටම. ඒත් දැන් නම් එහෙම හිතන්න අමාරු ප්‍රශ්නයක් මතු වෙලයි තියෙන්නේ. වේදිකාවෙ සිට සිනමාව දක්වාත් වෙළඳ දැන්විම් කලාව තුළත් සියලුම නිෂ්පාදන අඩුවෙන් කරන්නේ. නිෂ්පාදන රසවිඳීන ප්‍රේක්ෂක ප්‍රමාණයත් අඩු වෙලයි. කිසිදු අංශය පිබිදීමත් නැතිකොට මේ අංශය ගැන කියන්නේ කොහොමද. ජීවත්වීමට සරලව පෙනෙන තෙක් මානයක් දකින්නටවත් නැති බවයි කියන්න තියෙන්නේ.

 

අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන්ගෙන් සහ අනිකුත් ශිල්පින්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඕනෑම නිර්මාණ කටයුත්තක් ආරම්භ කරන්නට පෙර ලැබෙන තිරපිටපතේ සිට, චරිත හඳුන්වා දීමේදී වේශ නිරූපණ ශිල්පියාට විශාල කාර්යභාරයක් පැවරෙනවා. අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තුවන චරිතයට ආවේණික වේශ නිරූපණයක් ලබාදීමේදී අධ්‍යක්ෂකවරයා සහ අප අතර තියෙන්නෙ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හොඳ අවබෝධයකින් පවත්වා ගන්නවා. එසේ නොවුණොත් ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්ය. හැබැයි මට මේ තාක් කල් කරපු නිර්මාණවලට සියලුම ⁣ශිල්පින්ගෙන් හොඳ සහයෝගයකින් තමයි කටයුතු කරන්නට ලැබුණේ.මම හැමදාම වැඩකළේ නිර්මාණය මතයි. මුදල මත නෙවෙයි. නිර්මාණයට වටිනාකමක් දුන්නොත් මට හොඳ අගයක් ලැබුණා.

 

වැඩකටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම ක්ෂේත්‍රයට එන දවසේ ඉදන් අද වෙනකම්ම පවුලෙන් ලැබුණේ හොඳ සහයෝගයක්. මගේ අම්මා සහ මල්ලිලා දෙන්නා ඇතුළුව ස්වාමියාගේ සිට සියලුම දෙනා මට හොඳ සහයෝගයක් මගේ ගමනට ලබාදෙනවා.

 

අනාගතය බාරගන්න ඉන්න පරම්පරාවට මොනාද කියන්න තියෙන්නේ?

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ඉන්නවා නම් කවදාවත් මුදල මත ක්ෂේත්‍රයට එන්න හිතන්නෙපා. ඔබ කලා ක්ෂේත්‍රයට ඇවිත් දක්ෂතාවයන් පෙන්නුවොත් ඔබට මිල වටිනාකමක් නිතැතින්ම හිමිවෙනවා. එය ලබාගෙන ගමන යාම තමයි හොඳම දේ. ආවා ගියා කියනවාට වැඩිය නමක් හදා ගෙන පවත්වා ගැනීම තමයි තිබිය යුතුම වන්නේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අරමුණක් ඇතුව ගමනක් යාම තමයි වටින්නේ කියන එකයි.

 

 

[email protected]